රතිඤ්ඤා බෝම්බ හදන්න ගිහින් දෑත් නැතිකරගත් සොහොයුරෝ


මෙම පිපිරීම සහරාන්ගේ සොහොයුරාට තුවාල සිදුවූ පිපිරීම සිහිගන්වනවා   

 

 

 

දිනය පසුගිය 24 වන දිනයයි. වේලාව රාත්‍රි 7.00 පසුවූවා පමණි. ඉබ්බාගමුව පන්නල ප්‍රදේශයේ පිහිටි මීගහමුලවත්ත ප්‍රදේශයම දෙදුරුම් කවමින් මහා ශබ්දයක් පැතිර ගියේය.   


“අනිවාර්යයෙන්ම බෝම්බයක් වගේ දෙයක් තමයි ඒ පිපිරුවේ...”‍ ඒ මහා ශබ්දය කන වැකුණු මීගහමුලවත්ත ප්‍රදේශවාසීහු කතිකා කර ගත්හ. මින් පෙර දිනක එවන් අධික ශබ්දයක් ප්‍රදේශයෙන් අසා නොතිබූ ප්‍රදේශවාසීන්ට ඉන්පසුව ඇතිවූ ප්‍රශ්නය වූයේ මේ ශබ්දය ආවේ කොහෙන්ද... කුමක් නිසාද... කියාය.   
වැඩි වේලාවක් නොගොසින්ම ඒ ගැටලුවට පිළිතුරක් ලැබුණි.   


මීගහමුලවත්තේ ත්‍රීවීල් වැඩපොළක් පවත්වාගෙන යන අයිය මලෝ දෙදෙනෙකු බෝම්බයක් පුපුරා යාමෙන් බරපතළ තුවාල ලබා ඇති බවය. තවත් පැත්තකින් කියැවුණේ ත්‍රීවීල් වැඩපොළේ බෝම්බයක් පුපුරා යාමෙන් දෙදෙනෙකු මියගොස් ඇති බවය.   


වැඩි වේලාවක් නොගොසින්ම ඉබ්බාගමුව ප්‍රදේශය, කුරුණෑගල දිස්ත්‍රික්කය පමණක් නොව මේ අධි බලැති පිපිරුම් ශබ්දය මුළු රට පුරාම පැතිර ගිය සිද්ධියක් බවට පත් වූයේ ජනමාධ්‍ය ආයතනවලටත් කලින් මුහුණු පොත හරහා මේ සිද්ධිය සම්බන්ධයෙන් විවිධාකාරයෙන් තොරතුරු සංසරණය වීම නිසාය. 

 

 
මෙම පිපිරුමෙන් බරපතළ තුවාල ලබා සිටි 21 හැවිරිදි අබ්දුල් මුත්තලිප් මුහම්මද් මුප්සීර් සහ 27 හැවිරිදි අබ්දුල් මුත්තලිප් මුජිබු රහුමාන් නමැති එකම පවුලේ සොයුරන් වහාම ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණි. 

 

පිපිරුමට ලක්වීමෙන් 21 හැවිරිදි තරුණයාගේ දෑතේම මැණික් කටුවට ඉහළින් වූ අත්ල කොටස ඇඟිලි ද සමඟ සම්පූර්ණයෙන්ම විනාශයට ලක්ව තිබුණේ ඔහුගේ තුරුණු දිවියට ද අඳුරක් එක් කරමින්ය. ඔහුගේ සොයුරාගේ දෑතේම අත්ල පුපුරා ගොස් ඇඟිලිවලට මෙන්ම මුහුණට ද තුවාල සිදුවී තිබුණි. මේ අනුව එම පිපිරීමෙන් මේ අයිය මලෝ දෙදෙනාගේම දෑත්වලට බරපතළ හානි සිදුව තිබෙන බව වෛද්‍යවරුන්ගේ අදහස විය. ඉක්මන් සැත්කම්වලින් දෙදෙනාගේම ජීවිත අවදානම අවම කිරීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු සමත් වූහ.

   
වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ උපදෙස් අනුව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ සිද්ධිය සම්බන්ධයෙන් වන විශේෂ විමර්ශනයක් කුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.වයි.බී. ක්‍රිශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් වහාම එම රාත්‍රියේම ආරම්භ කෙරිණි.   


මීට අමතරව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥ නිලධාරියකු සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායේ කුරුණෑගල කඳවුරේ නිලධාරීන් පිරිසක් ද පැමිණ පරීක්ෂණ පවත්වන්නට වූහ.   


මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන පොලිස් නිලධාරීන් කියා සිටියේ මෙය පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය මෙහෙය වූ සහරාන්ගේ සොයුරා වූ රිල්වාන් හට පිපිරුමකින් තුවාල සිදුව තිබූ ආකාරය නැවත සිහි ගන්වන බවය. බෝම්බයක් අත්හදා බැලීමට යාමේ දී අනපේක්ෂිත ආකාරයට සිදුවූ පිපිරීමකින් රිල්වාන්ගේ දෑතට බරපතළ තුවාල සිදුවූ ලෙසින්ම මේ සොයුරන් දෙදෙනාගේම දෑතට තුවාල සිදුව ඇති බව පොලිස් නිලධාරීන්ගේ අදහස විය.   


‍මුස්ලිම් ජාතිකයන් රාමසාන් උපවාස සමය සමරන මෙම කාලවකවානුවේ මෙවැනි පිපිරීමක් සිදුවීම පාස්කු ප්‍රහාරය හා සසඳා බැලීමේ දී යම් අවදානම් තත්ත්වයක් මෙහි ඇති බැවින් තුවාල ලද සොයුරන් දෙදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීම ප්‍රශ්න කිරීම් සඳහා පොලිස් බාරයට ගනු ලැබීය.   


මේ අයිය මලෝ දෙදෙනාම එක්ව ත්‍රීරෝද රථ සඳහා කුෂන් කිරීමේ වැඩපොළක් නිවසේම පවත්වාගෙන යන අතර යකඩ බටයක් උපයෝගී කරගෙන මල් වෙඩිල්ලක් සකස් කිරීමට යාමේදී මෙම පිපිරීම සිදුවූ බව ප්‍රශ්න කිරීම්වල දී ඔවුන් දෙදෙනාම පවසා ඇත. මේ සඳහා තම මිතුරෙකුගේ වෙළෙඳසලකින් මෙවර සිංහල අවුරුද්දට ⁣විකුණා ඉතිරි වූ රතිඤ්ඤා කරල්වලින් ලබා ගත් වෙඩි බෙහෙත් යොදාගත් බව ද ඔවුහු ප්‍රකාශ කළහ.   
මීට පෙර අවස්ථාවක ද මෙවැනිම ආකාරයට සකස් කළ මල් වෙඩිල්ලක් සාර්ථක වූ බව ද ඒ අනුව යළි එවැන්නක් සෑදීමට යාමේදී මෙම පිපිරීම සිදුවූ බව අයිය මලෝ දෙදෙනාම ප්‍රකාශ කළ අතර පොලිස් පරීක්ෂණවලින් ඒ බව තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ද පිපිරීම සිදුවූ ස්ථානයේ තිබී ඇත.   
යකඩ බටයක් උපයෝගී කරගෙන එය ඇතුළට තුන් හුලස් බට්ටා වර්ගයේ රතිඤ්ඤා කරල්වලින් ලබාගත් වෙඩි බෙහෙත් පුරවා ඇති අතර යකඩ බටය ප්‍රමාණයෙන් දිග වැඩි වූ බැවින් විදුලි කියතක් (ග්‍රයින්ඩරයක්) මඟින් එහි කොටසක් කැපීමට තම සොයුරන් දෙදෙනා උත්සාහ කළ අවස්ථාවේ දී එය පුපුරා ගිය බව ඔවුන්ගේ සොයුරියක් පොලීසියට ප්‍රකාශ කර තිබුණි. යකඩ බටය බාල සොයුරා අල්ලාගෙන සිටිත්දී අනෙක් සොයුරා එය කැපීමට උත්සාහ කළ බව ද ඇය සඳහන් කර තිබේ. ඒ අනුව යකඩ බටය අල්ලාගෙන සිටි තරුණයාගේ දෑතට පිපිරීම හේතුවෙන් දැඩි හානි සිදුව තිබේ. වෙඩි බෙහෙත් පිරවූ යකඩ බටය කුඩා කැබලි බවට පත්ව තිබුණේ පිපිරුමේ තරම කොතරම්දැයි කියා පාමින්ය. යකඩ බටයේ කුඩා කැබලි තරුණයන් දෙදෙනාගේ සිරුරුවලට ද කා වැදී තිබූ අතර මෙම පිපිරුමේ ප්‍රබලත්වය අනුව දෙදෙනාගේම ජීවිතවලට හානියක් සිදු නොවීම ද පුදුමයට කරුණක් බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය. 

 
වෙඩි බෙහෙත් අධික ප්‍රමාණයක් පිරවූ යකඩ බටය ග්‍රයින්ඩරයෙන් කැපීමට යාමේදී රත්වීම හේතුවෙන් වෙඩි බෙහෙත් සහිත බටය පුපුරා යන්නට ඇති බව සැක කරයි. මේ සඳහා යොදාගෙන ඇති තුන් හුලස් වර්ගයේ රතිඤ්ඤා කරල්වලට භාවිතා කරන වෙඩි බෙහෙත්වල සැර සාමාන්‍ය රතිඤ්ඤාවලට භාවිත කරන වෙඩි බෙහෙත්වලට වඩා ප්‍රබල වීම හේතුවෙන් මෙම පුපුරා යාම වඩා ප්‍රබල වන්නට ඇති බව විමර්ශන මෙහෙයවන පොලිස් නිලධාරීන්ගේ අදහස වේ.   


තුවාල ලද තරුණයන් දෙදෙනාගේ පියා ඔවුන් අතැර ගොස් සිටින අතර තම මව හා සොයුරියක් සමඟ ඔවුන් වෙසෙන අතර දෙදෙනාම වෘත්තිය ලෙස කුෂන් වැඩපොළක් පවත්වාගෙන යන බව කියයි. මොවුන් දෙදෙනාගේම එකම ප්‍රකාශය වූයේ එළඹෙන රාමසාන් උත්සවය වෙනුවෙන් මල් වෙඩිල්ලක් නිර්මාණය කිරීම තම අදහස වූ බවය. එම ප්‍රකාශයේ සත්‍යයක් තිබේ ද නැත්නම් මොවුන් පාස්කු ප්‍රහාරකයින් හා සම්බන්ධ වෙනත් අන්තවාදී සංවිධානයකට සම්බන්ධ දැයි සොයා ගැනීම සඳහා මේ වනවිට පුළුල් විමර්ශනයක් සිදු කරමින් තිබෙන බව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළේය. එසේම රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් ද සමඟ පොලිස් සහ හමුදා බුද්ධි අංශ කීපයක් ද මෙම සිදුවීම සම්බන්ධයෙන් තවත් පැත්තකින් විමර්ශන පවත්වමින් සිටී. මෙම පිපිරීම සඳහා යොදාගෙන ඇති වෙඩි බෙහෙත් වර්ගය කුමක්දැයි අනාවරණය කර ගැනීමට පොලිස් විමර්ශන සිදු කෙරේ.   


බුද්ධි අංශ නිලධාරියෙකු සඳහන් කළේ මෙය ආසාවට මල් වෙඩිල්ලක් සකස් කිරීමට යාමේ දී සිදුවූ අත්වැරදීමක් යැයි කියා බැහැර කළ ⁣නොහැකි බවය. සහරාන්ගේ සොයුරාට මෙවැනිම අත්හදා බැලීමක දී සිදුවූ පිපිරීමකින් තුවාල ලැබූ සිද්ධිය පිළිබඳව එදා නිසි විමර්ශන ක්‍රියාත්මක වූවා නම් අහිංසක ජීවිත රැසක් බිලිගත් පාස්කු ප්‍රහාරය ඉන් පසුව සිදු කිරීමට අවස්ථාවක් නොලැබෙන බව ද එම නිලධාරියා සඳහන් කළේය.   

 

 

සේයාරූ / විස්තර - 
පුෂ්පකුමාර ජයරත්න