රත්නාවලී ආදි සිසු වෛද්‍යවරියන්ගේ ‘‘සුවැති දියණියෝ’’


රත්නාවලී විදුහල්පතිනී හේමා ජයවර්ධන

 

සායනයකට එක් වූ වෛද්‍ය කණ්ඩායමක් විදුහල්පතිනිය සමඟ

 

වර්තමානයේ අධ්‍යාපනය ලබන සිසු දරුවන් වැඩිදෙනා තුළ ඉහළම තලයකට ගමන් කිරීමේ දැඩි අධිෂ්ඨානයක් පවතින බැවින් අවිවේකය සහ පීඩනය මත ඇතැම් දරුවන් මානසික ආතතිය වැනි තත්ත්වයන්ගෙන් පෙළෙන බව වෛද්‍යවරු පවසති.  


මෙම තත්ත්වය තේරුම්ගත් පිරිසක් තම ශ්‍රමය සහ කාලය වැය කරමින් සුවපත් සිසු දරු පිරිසක් දැකීමේ අරමුණින් නිහඬ මෙහෙයක නිරතව සිටිති.  


ඔව්හු ගම්පහ රත්නාවලී බාලිකාවෙන් සිප්සතර හද‌ාරා දැනට මෙරට සහ විදේශයන්හි වෛද්‍යවරියන් ලෙස කටයුතු කරනු ලබන ආදි සිසුවියෝ ය.  


මෙරට රජයේ සහ විදේශයන්හි සේවය කරන වෛද්‍යවරියන් දෙසීයක පමණ කණ්ඩායමක් මේ සඳහා එක්ව සිටින අතර මෙම පිරිස අතුරින් එක් සායන දිනයකට අට දෙනෙකු පමණ සහභාගිවෙමින් සිසු දැරියන් වෙනුවෙන් ‘‘සුවැති දියණියෝ’’ නමින් මෙලෙස සායන පැවැත්වීම සිදු කරති.  


මෙම වෛද්‍ය පිරිසෙහි නායිකාව ලෙස හැඳින්විය හැකි වෛද්‍යවරිය, තමන් අධ්‍යාපනය ලද විදුහලට යම් මෙහෙයක් කළ යුතු බවට නැගුණු සිතුවිල්ල මෙම වැඩසටහනෙහි ආරම්භය වී තිබේ.  


මෙම වෛද්‍යවරිය නමින් ෂර්මිලා ජයසිංහ ය. මේ වන විට කොළඹ ජාතික රෝහලෙහි කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක ලෙස ​ෙස්වය කරන ෂර්මිලා මහත්මිය උසස් පෙළ හද‌ාරා රත්නාවලී බාලිකාවෙන් සමුගෙන ඇත්තේ 2001 වසරේ දී ය. තමන්ගෙන් පාසලට යම් මෙහෙයක් කළ යුතු බවට සිතට නැගී ඇති සිතුවිල්ල රත්නාවලී බාලිකාවේ විදුහල්පතිනිය හේමා ජයවර්ධන මහත්මිය වෙත සැල කිරීමෙන් පසුව තීරණය වී ඇත්තේ සිසු දැරියන් වෙනුවෙන් වෛද්‍ය සායන වැඩසටහනක් පැවැත්වීමය.  


මේ අනුව ඉකුත් වසර අවසානයේදී රත්නාවලියේ ආදි සිසුවියන් අතුරින් දැනට වෛද්‍ය වෘත්තියෙහි නිරතව සිටින පිරිසක් සොයා ගැනීමට අදහස් කළ ෂර්මිලා වෛද්‍යවරිය, මේ සඳහා උපයෝගී කර ගෙන ඇත්තේ (Face book) මුහුණු පොතය. මෙමගින් ලබාදුන් පණිවිඩයට ලැබී ඇත්තේ සිතාගත නොහැකි තරමේ ඉහළම ප්‍රතිචාරයකි.  


ඒ අනුව ‘‘සුවැති දියණියෝ’’ නමින් වෛද්‍ය සායනය නම්කර ඇති අතර පසුගියදා රත්නාවලී විදුහල් පරිශ්‍රයේදී පැවති සායනයට පැමිණි වෛද්‍ය කණ්ඩායම සමඟ සිටි විශේෂඥ වෛද්‍ය ෂර්මිලා ජයසිංහ මහත්මිය හමුවීමට ඉරිදා ලංකාදීපයේ අපට අවස්ථාව ලැබිණි.  


“ෆේස් බුක් හරහා අපගේ සහෝදරියන් ලෙසින් එදා රත්නාවලියේ සිටි කණ්ඩායමක් දැඩි කැමැත්තෙන් මීට සම්බන්ධ වුණා. එම පිරිස දෙසීයක් විතර. මේ ගැන මම රත්නාවලියෙ විදුහල්පතිනියට පැවසීමෙන් පසුව වෛද්‍ය සායනය පවත්වන්න තීරණය කිරීමෙන් මෙම වසර මුලදී ‘‘සුවැති දියණියෝ’’ සායනය ඇරඹීමට හැකි වුණා.  


මුලින් මසකට වරක් සායනයක් බැගින් පැවැත්වීමට තීරණය කළත් අපගේ සහෝදර වෛද්‍ය කණ්ඩායම්වල කැපවීම නිසා පසුගිය මාස පහට සායන අටක් පැවැත්වීමට හැකි වුණා.  


අපේ මේ කණ්ඩායම අතර මෙරට රජයේ වෛද්‍යවරියන් මෙන්ම විදේශයන්හි සේවය කරන අයත් සිටිනවා. මෙම අය අතර අංශ කිහිපයක විශේෂිත වෛද්‍යවරියන්ද වෙනවා. විදේශවල සිටින අය නිවාඩු සඳහා මෙරටට පැමිණෙන විටදීත්, මෙරට විවිධ ප්‍රදේශවල සේවය කරන අය නිවාඩු ලබාත් පැමිණ මේ දැරියන් වෙනුවෙන් සායනවලට සහභාගි වෙන්නෙ දැඩි කැපවීමකින්”  


පාසල් දරුවන් අතර ඇතැමුන් ස්ථුලභාවය, අඩුබර, දියවැඩියාව, අධික රුධිර පීඩනය, ඌනතා රෝග ඇතුළු විවිධ සංකූලතාවන්ද ආතතිය ආදී බෝ නොවන රෝග තත්ත්වයන්ගෙන් පෙළීම හේතුවෙන් සායනයේ දී පරීක්‍ෂාවන්ට ලක්කොට එවැනි රෝග තත්ත්වයන්ගෙන්​ පෙළෙන බව පෙනී ගියහොත් අවශ්‍ය ප්‍රතිකාර කිරීම ද සිදු කෙරේ.  


මෙම සායන වැඩසටහන යටතේ විද්‍යාලයේ සියලුම සිසු දැරියන් පරීක්‍ෂාවන්ට ලක් කරන අතර යම් රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ නම් මෙලෙස ප්‍රතිකාර කොට, දිගුකාලීනව ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය වෙතොත් රජයේ රෝහල්හි සායනයන් සඳහා යොමු කෙරෙන බවත් විශේෂඥ වෛද්‍ය ෂර්මිලා මහත්මිය ප්‍රකාශ කළාය.   


එසේම අධ්‍යාපන කටයුතුවල අධික ලෙස නිරතවීම හේතුවෙන් මානසික ආතතියෙන් පෙලෙන සිසුවියන් හමුවුවහොත් ඔවුන් හඳුනාගනිමින් උපදේශන සේවාවක් පැවැත්වීම ද මෙමගින් සිදු කෙරේ.  


පසුගිය වෛද්‍ය සායනය සඳහා සහභාගිව සිටි වෛද්‍ය කණ්ඩායමට, කොළඹ ජාතික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ෂර්මිලා ජයසිංහ මහත්මිය, රාගම මහ රෝහලේ මහාචාර්ය ඒකකයෙහි කායික විද්‍යා අංශයේ වෛද්‍ය සුදර්ශනී සුභසිංහ, රාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අයේෂා පියරත්න, රාගම මහ රෝහලේ නහර පිළිබඳ ශල්‍ය වෛද්‍ය අනුරාධා රණවීර, මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය (එංගලන්තය) චායා කපුගම, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ළදරු දැඩි සත්කාර ඒකකයෙහි වෛද්‍ය එල්.ජේ. කුමුදුනී, කරවනැල්ල මූලික රෝහ​ෙල් වෛද්‍ය බුද්ධිනී සමරසිංහ සහ මුතූර් රෝහලෙහි මානසික සෞඛ්‍ය වෛද්‍ය උදාරි සෙනරත් යන ආදී රත්නාවලී බාලිකාවෝ ඇතුළත් වූහ.  

 

සායනය පැවැත්වෙන අයුරු බලා සිටින විදුහල්පතිනී හේමා ජයවර්ධන සහ නියෝජ්‍ය විදුහල්පතිනී ඩිනාලි බාලසූරිය යන මහත්මීන්

 

සායනයට එක්ව සිටි සිසුවියන් පිරිසක්  

 

මෙම ‘‘සුවැති දියණියෝ’’ සායන වැඩසටහන සම්බන්ධයෙන් විදුහල්පතිනී හේමා ජයවර්ධන මහත්මියගෙන් මෙම වෛද්‍ය කණ්ඩායමට ඉහළම ප්‍රසාදයක් හිමිව ඇති අතර එම පිරිස ශ්‍රමය හා කාලය කැප කිරීම අගය කරමින් මෙලෙස අදහස් දැක්වූවාය.  


“විශේෂඥ වෛද්‍ය ෂර්මිලා ආදි සිසුවිය මා සමඟ සාකච්ඡා කොට අපේ ආදි බාලිකාවියන් පිරිසකගෙන් සමන්විත වෛද්‍යවරියන් ඉතා කෙටි කලකින් සම්බන්ධ කර ගනිමින් ඉතා සාර්ථක වැඩසටහනක් පවත්වාගෙන යනව. මෙය මම අගය කරනවා. විදුහලක ආදි සිසුවියන්, වෛද්‍ය වෘත්තිකයින්ව මෙවන් සායනයක් පැවැත්වීම පළමු වැඩසටහන ද විය හැකියි.  


මෙම සායන සඳහා විද්‍යාලයේ 3500ක් පමණ වන සිසු දියණියන් සහභාගි කරවමින් කිසියම් රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන්නේදැයි පරීක්‍ෂා කෙරෙනවා.  


ඇතැම් සිසුවියන් අධ්‍යයන කටයුතු සඳහා අධික ලෙසින් මහන්සිවීම, අධික පීඩනය නිසා මානසික ආතතියෙන් පෙළෙන බවත් මෙම සායනවලදී පෙනී ගොස් තිබෙනවා. දරුවන්ට කායික හා මානසික සුවයෙන් අධ්‍යාපනය ලැබීම පිණිස අවස්ථාව සලසා දීමට මව්පියන් වගබලා ගත යුතු වෙනවා.  


රත්නාවලියේ සුවැති දියණියන් පිරිසක් අධ්‍යාපනය ලබනු දැකීම මගේ අපේක්‍ෂාවයි. මේ සඳහා අපගේ ආදි බාලිකාවියන් වන මෙම වෛද්‍ය කණ්ඩායම විසින් කරන්නා වූ මෙහෙය ඉතා විශිෂ්ටයි”

 

 

 

 

ගම්පහ - තිලකරත්න දිසානායක