රටේ සම්පත් කොල්ලකන ග්‍රැනඩා රටේ පාලකයෝ


වළපල්ලට ගිය රටවල්

 

අගාදයට ගිය බොහෝ රටවල් ගිලෙන නැව් බවට පත්වී තිබේ. මේ නැව් ගිලෙන්නේ යළිත් ගොඩ ගන්නට බැරි විදියටය. ඒ රටවල පොදු ජනතාව වංචනික දේශපාලකයන්ගේ දාම් ලෑල්ලේ ඉත්තන් ව​ගේ යැයි කිව හැකිය. අසාර්ථක රාජ්‍යයන්හි පුරවැසියන්ගෙන් බහුතරය ශෝකය, තාපය, පාළුව අතරේ ඉකිබිඳ හඬති.   


ගරා වැටුණු දේශයන්හි සිටින්නේ තම රට දියුණු යයි ලෝකයට පම්පෝරි ගහන දේශපාලකයින්ය. ආත්මාර්ථකාමී පරමාර්ථ පෙරදැරි කරගත් පාලකයින්ය. ඔවුන් තුළ ඇත්තේ උමතු සංකල්පය. රටක ජාතීන් අතර අසමගිය ඇති කිරීම ඔවුන් තුළ ඇති භයංකාර ප්‍රවණතාවයකි. ජනතාවගේ සිතුම් පැතුම් මනාව අවබෝධ කරගෙන ඊට අනුගතව ක්‍රියා නොකරන පාලකයින්ගෙන් රටට වැඩක් නැත.   


පාලකයන්ට අයථා ලෙස ධනය උපයා ගැනීමට මාර්ගය පාදා දෙන්නේ අනුවණ රට වැසියන්ය. බොහෝ රාජ්‍යයන්හි දේශපාලකයින් බලයේ සිටින කාල සීමාව තුළ හැකිතාක් මුදල් යටිමඩි ගසා ගනිති. පැරදුණ පසු ද හතර වර්ගයා සමග ‘රජ සැප’ විඳීමට විරුද්ධ දේශපාලකයින් සමග සම්මුති (ඩීල්) ඇති කරගනිති. වළපල්ලට ගිය අනිකුත් රටවල මෙන්ම ලංකාවේ ද සිදුවන්නේ මේ සෙල්ලමය.   


ඇමෙරිකාව ආක්‍රමණය කළ ග්‍රෙනේඩාව   


අද මෙම තීරුවෙන් හඳුන්වා දෙනු ලබන්නේ දූපත් රාජ්‍යයකි. එය ග්‍රෙනේඩා (GRENADA) රාජ්‍යයයි. එය බටහිර ඉන්දීය (WEST INDIES) රටකි. කැරිබියන් (CARIBBEAN) මුහුදේ පිහිටි තවත් කුඩා දූපත් 6ක් මේ රටට අයත්ය. ආසන්නම පිහිටි රට වන්නේ වැනිසියුලාවය. විශාලත්වය ව.කි.මී. 348.5ක් හෙවත් ව.සැ. 134.6කි. ජනගහණය එක් ලක්ෂ දස දහසකට මදක් වැඩිය. බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගත්තේ 1974 පෙබරවාරි 7 දාය. දීර්ඝ කාලයකට පෙර ග්‍රෙනේඩාව ප්‍රංශ කොලනියකි.   


1974 නිදහස ලැබුවත් තවමත් දෙවැනි එලිසබෙත් මහ රැජිණ නියෝජනය කරන ආණ්‍ඩුකාරවරයෙකු සිටින රටකි. අගමැති කීන් මිචෙල් ය.   


මෙය 1983 ඔක්. 25 දා ඇමෙරිකා හමුදාව ආක්‍රමණය කළ රාජ්‍යයකි. ඇමෙරිකාව එදා මෙම රට ආක්‍රමණය කිරීමට මූලික හේතුව වූයේ රුසියාවේ මග පෙන්වීම යටතේ කියුබාව මගින් ග්‍රෙනේඩාහි යුද ගුවන් යානා නැවැත්වීමේ දැවැන්ත ගුවන් තොටුපොළක් ඉදිකිරීමයි. මෙය තම රටට ද තර්ජනයක් වන බව ප්‍රකාශ කළ එවකට ඇමෙරිකා ජනපති තනතුර දැරූ රොනල්ඩ් රේගන් ග්‍රෙනේඩා රාජ්‍ය ආක්‍රමණය කළේය. මෙම යුද ගුවන් තොටුපොළ ඉදිකිරීමේ කටයුතු නවතා දැමීමෙන් පසු 1983 දෙසැම්බර් මාසයේ දී ඇමෙරිකා හමුදාව ග්‍රෙනේඩා රාජ්‍යයෙන් ඉවත් විය.   


මරබියෙන් පසුවන පුරවැසියෝ   


ග්‍රෙනේඩාහි මුළු ජනගහණයෙන් සියයට 32 කට වැඩි ප්‍රමාණයක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව සඳහන්වී ඇත්තේ ලෝක බැංකු වාර්තාවල ය. මෙහි පුරුෂයන්ගේ ආයු කාලය අවුරුදු 54 සහ ගැහැණුන්ගේ ආයුකාලය අවුරුදු 48 දක්වා ද අඩුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධාන (WHO) වාර්තා දක්වයි. මෙහි වැඩි පුරම සිටිනුයේ ධීවරයින් සහ ගොවියන්ය. වැඩියෙන්ම දුක් විඳින්නේ ඔවුන්ය.   


විරැකියාවෙන් යුත් තරුණ තරුණියන්ගේ ප්‍රතිශතය සියයට 24කි. අධ්‍යාපන පහසුකම් නැති නිසා දරු දැරියන් ගොවිතැනට නැඹුරුවී සිටිති. 2004 දී අයිවන් සුළි සුළඟින් ද 2005 දී එමලි සුළි සුළඟින් ද මේ රට විනාශයට පත්විය. ස්වභාවික විපත්වලින් සිදුවූ හානියට වැඩි හානියක් 1974 නිදහස ලබා ගැනීමෙන් පසු ඉකුත් වසර 45 තුළ දී දේශපාලකයන් විසින් මේ රටට සිදුකර තිබේ.   


මුළු ජනගහනයෙන් සියයට 49 ක්ම විවිධ ලෙඩ ​රෝග වැළඳී මර බියෙන් පසුවන පුරවැසියන්ය. සෞඛ්‍ය පහසුකම් නොමැති වීම නිසා ලෙඩ රෝගවලින් අති විශාල පිරිසක් මියයති. මත්ද්‍රව්‍ය ජාවාරම් සීග්‍රයෙන් සිදුවන රටකි. සිදුවන අපරාධ සංඛ්‍යාව ද අධිකය. මෙහි ලිංගික අතවර වැඩි වශයෙන්ම සිදුවන අතර දැරියන් හා තරුණියන් ගෙවනුයේ අනාරක්ෂිත ජීවිතයි. බහුතර රට වැසියන්ගේ දෛනික ආදායම ​ෙඩාලර් 1.48 ක් පමණ වේ.   


පාලකයින්ගේ හොරකම්   


කෙසෙල්, කොකෝවා, සාදික්කා, පළතුරු, පරිප්පු හොඳට වැඩෙන රටකි. රෙදි නිෂ්පාදනය මහා පරිමාණයෙන් සිදුවූ රටක් වුවත් බලයට පත්වූ දේශපාලකයින් එම කර්මාන්තය ද විනාශ කර දමා තිබේ. ග්‍රෙනේඩා රටට අයත් මුහුදු තීරයේ තෙල් නිය ඇති බව සොයාගෙන තිබේ.   


මෙම තෙල් පොම්පකර පිරිපහදු කිරීමේ කටයුතු රුසියානු සමාගමකට පැවරීමේදී පාලකයින් සිදුකළ මහා පරිමාණයේ වංචා හා දූෂණ පිළිබඳව දැන් අනාවරණය වී තිබේ. 2017 ඔක් 27 කැරිබියන් නිව්ස් පත්‍රය මෙය හෙළිකළේය.   


චීන සූත්තර   


ග්‍රෙනේඩාහි ජනතාව දුක් විඳිද්දී ඩොලර් මිලියන 55ක මුදලක් වැයකර නවීන හා දැවැන්ත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම ද මාධ්‍යයන්හි විවේචනයට පාත්‍ර විය. චීනයේ මැදිහත්වීම් ග්‍රෙනේඩාවාට ද බෙහෙවින් බලපා තිබේ. චීනයේ විවිධ වෙළෙඳ සමාගම් ග්‍රෙනේඩාහි විවිධ ව්‍යාපෘති අරඹා ඇත. චීන ජාතිකයන්ට වීසා නොමැතිව මෙහි පැමිණ කටයුතු කිරීමට ඉඩදීම තුළින් අනාගතයේ දී ග්‍රෙනේඩාව චීන කොලනියක් වනු ඇද්දැයි ඇතැම් මාධ්‍ය විමසයි.   


චීනය ග්‍රෙනේඩා හි ද වරාය නගර ව්‍යාපෘති ඇරඹීමට දැනටම පියවර ගෙන තිබේ. මෙම කටුතුවලදී ග්‍රෙනේඩා පාලකයින් හා චීන ව්‍යාපාරිකයින් අතර සිදුවූ ගනුදෙනු හෙළිකරන ලද්දේ කැරිබියන් ජර්නල් (CARIBBEAN JOURNAL) පත්‍රයයි. ග්‍රෙනේඩා රජය චීනයෙන් ලබාගත් ණය මුදල් ආපසු ගෙවීමට නොහැකිව මේ වනවිට ඉමහත් අසීරු අධියකට පත්ව සිටී. ආර්ථික මඩගොහොරුවෙ ගිලී සිටින ග්‍රෙනේඩා රාජ්‍යය ඉන් ගොඩ එන බවක් දක්නට නැත.   


මුදල් අමාත්‍යාංශයත් සුද්ධ කළ අගමැති   


වත්මන් අගමැති කීත් මිචෙල්ට එරෙහිව අල්ලස් දූෂණ ​චෝදනා රාශියක් එල්ලවී තිබේ. මෙහි මුදල් ඇමැතිවරයා වන්නේ ද අගමැතිවරයාය. මුදල් අමාත්‍යාංශයේ සිදුවී ඇති මහා පරිමාණයේ වංචා සහ දූෂණ පිළිබඳ තොරතුරු අනවරණය වීමෙන් පසු ඔහු ඉල්ලා අස් නොවීම රට වැසියන්ගේ දැඩි විරෝධයට පාත්‍රවී තිබේ. මෙම දූෂණ සිදුකර ඇත්තේ මුදල් අමාත්‍යාංශය යටතේ ඇති එම්.එන්.අයි.බී (MNIB) නමැති රාජ්‍ය ආයතනය හරහාය.   


ආර්ථික සංවර්ධන ඇමැති රුවල් එඩ්වර්ඩ්ස් (RVEL EDWARDS) මුදල් අමාත්‍යංශයේ සිදුවූ ඩොලර් මිලියන 50ක පමණ වංචාවලට ඍජුවම සම්බන්ධ බව අගමැති මිචෙල් 2018 ඔක්. 26 දා ප්‍රකාශ කළේය.   


මෙම ප්‍රකාශයෙන් පසු එඩ්වර්ඩ්ස් නමැති එම ඇමැතිවරයා ඉල්ලා අස්විය. අගමැති ඔහුව ඉන්පසු වෙනත් ප්‍රබල තනතුරකට පත් කළේය. ඔහු එසේ සිදු ක​ෙළ් තමා සිදුකළ වංචාවලින් ගැලවීම සඳහා බව විරුද්ධ පක්ෂ නායකයින් උද්ඝේෂණය කරන්නට පටන් ගත්හ.   


ඉන්පසු මේ පිළිබඳව සොයා බැලීමට පත් කළ විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි දීමට අගමැතිවරයා එකඟ විය. ග්‍රෙනේඩා රටේ ද දූෂිත පාලකයින් තම දූෂණ වසා ගැනීමට උප්පරවැට්ටි යොදා ගන්නේ මෙසේය.   


බලවතුන්ගේ නඩු වාෂ්ප වන රටක්   


පුද්ගලයෙකු තානාපතිවරයෙකු බවට පත් කිරීම සඳහ​ා ඔහුගෙන් ඩොලර් 50,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීම ග්‍රෙනේඩා වත්මන් අගමැති මිචෙල්ට එල්ලවී ඇති තවත් චෝදනාවකි. අගමැතිවරයා එම මුදල සූට්කේසයක තැන්පත් කර එම සූට්කේසය රැගෙන එක්තරා ස්ථානයකින් එළියට පැමිණ වාහනයකට ගොඩවන අයුරු වීඩියෝ (VIDEO) ගත කර ඇති බව ද මාධ්‍ය වාර්තා දක්වයි.   


අගමැතිගෙ සූට්කේස් අල්ලස් නඩුව   


ග්‍රෙනේඩා පාලකයා වූ අගමැති මිචෙල්ගේ දූෂණ චෝදනා පිළිබඳ නඩුව විභාග කිරීම විනිසුරුවරුන් විසින් කල් දමමින් සිටින බව පෙනේ. මෙම නඩුව ජාත්‍යන්තර මාධ්‍යයන් හඳුන්වනු ලබන්නේ ‘‘සූට්කේස් අල්ලස් නඩුව’’ (SUITCASE BRIBERY CASE) යනුවෙනි.   


ග්‍රෙනේඩා රාජ්‍යයේ විවිධ විදේශ බැංකු ශාඛා 40ක් ඇරඹීම සඳහා එම බැංකුවලින් අල්ලස් ලබා ගැනීම ද ග්‍රෙනේඩා අගමැතිට එල්ලවී ඇති තවත් චෝදනාවකි. රජය සතු ඉඩම් චීනයට බදු දීමේ දී සිදුවූ බව කියන දූෂණ ද ඔහුට එරෙහිව එල්ලවී තිබේ.   


ග්‍රෙනේඩා නමැති අතිශයින්ම දිළිඳු දුක්ඛිත ජන කොට්ඨාසයක් දිවි ගෙවන මේ දූපත ද කැලෑ නීතිය රජ කරන, බලවතුන්ට එරෙහි නඩු වාෂ්ප වන දූපතකි. රට ප්‍රපාතයට ඇද වැටීමට මූලික හේතුව මෙම පාලකයින්ගේ වංචා සහ දූෂණයි. සාදික්කා හොඳට වැවෙන, සාදික්කා අපනයනය කරන, සාදික්කාවලින් ද ගසා කන දේශපාළුවන් සිටින මේ දූපත ගැන කියන්නට විස්තර බොහෝ ඇත.   


73 හැවිරිදි කීත් මිචෙල් 1995 සිට 2008 දක්වා අවුරුදු 13ක් ග්‍රෙනේඩා හි අගමැති තනතුර දැරුවේය. 2008 සිට 2013 දක්වා ග්‍රෙනේඩා පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ නායකයා වශයෙන් ක්‍රියා කළේය. 2013 දී යළිත් අගමැති තනතුරට පත්විය. මේ අනුව මේ දක්වා අවුරුදු 19ක් ග්‍රෙනේඩාහි අගමැති තනතුර දරා ඇත.   


අගමැති වූ ක්‍රිකට් කැප්ටන්   


ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. 1973 ග්‍රෙනේඩා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ඔහුය. ක්‍රිකට් කැප්ටන් කෙනෙකු පකිස්තානයේ 122 වැනි අගමැති තනතුරට පත්විය. ඒ ඉම්රාන් ඛාන්ය. ග්‍රෙනේඩා රටේ අගමැති තනතුර ලබාගත් කීත් මිචෙල් කුමන අයුරින්වත් පාකිස්තානයේ ඉම්රාන් ඛාන්ට සමාන කළ හැකි පුද්ගලයෙකු නොවේ.   


ඉම්රාන් ඛාන් අල්ලසට දූෂණයට එරෙහිව නැගී සිටින රාජ්‍ය නායකයෙකි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජනප්‍රිය වූ මිචෙල් ග්‍රෙනේඩාහි පාලකයා සියතට ගෙන එහි ජනතාවගේ පොදු ප්‍රශ්න අමතක කර රටේ නවීන ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදිකරමින් රාජ්‍ය දේපොළ ගසා කෑම ඔහුට වැරදුන තැනය. ඔහු ග්‍රෙනේඩාව වළපල්ලට ඇද දැමූ බව ජාත්‍යන්තර ජන මාධ්‍යයන් ඔහුට චෝදනා එල්ල කරයි.   


පුතා කරළියට ගත් අගමැති   


ජැමෙයිකා ඔබ්සර්වර් (JAMAICA OBSERVER) පත්‍රය ඔහු පිළිබඳව විශේෂ ලිපියක් 2013 පෙබ 21 දා පළකර තිබුණි. එහි සිරස්තලය වූයේ පිරිසිදු කළා. අතු ගෑවා යන්නය. (CLEAN SWEEP) ඔහු පිළිබඳ විස්තර රාශියක් මෙම ලිපියේ ඇතුළත් වී තිබේ. ඔහු රට කා දැමූ අයුරු මින් විග්‍රහ කෙරේ.   


ග්‍රෙනේඩා අගමැති කීත් මිචෙල් අගමැති තනතුරට අමතරව මුදල් ඇමැති තනතුර ද දරමින් තම පුතාවූ ඔලින්ගා මිචෙල් (OLINGA MITCHELL) මුදල් අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශක (LEGAL ADVISOR) තනතුරට පත් කිරීම දැඩි දෝෂ දර්ශනයට ලක්විය. 

 
මේ මාර්ගයෙන් ඔහු තම එකම පුතා දේශපාලන කරළියට ගෙන ඒම ඔහුගේ අභිප්‍රාය වන්නේ යයි මාධ්‍ය වාර්තා දක්වයි. අගමැතිගේ පුතා මුදල් අමාත්‍යාංශය සුද්ධ කරමින්, විදේශිකයින්ට මහා පරිමාණයෙන් ගමන් බලපත්‍ර හෙවත් පාස්පෝර්ට් විකිණීමේ ජාවාරමක් සිදුකරන බවද දැන් හෙළිවී තිබේ.   


ග්‍රෙනේඩා රාජ්‍යය ද මේ අනුව පවුල් පාලනයට යටවී ඇති දූපතකි. මේ රට ගැන ද කිව හැක්කේ රට පෙරට නොව පවුල පෙරට යන බවය. පවුල් පාලනය පවතින්නේ කුමන රකටද, පාලකයින් ජීවිතාන්තය තෙක් බලයේ රැඳී සිටින්නට උප්පරවැට්ටි යොදන්නේ කුමන රටක ද, එම රට විනාශ මුඛයට පත්වන බව කීමට තවත් සාධක කුමටද? 

 

 

 

සිරී හීන්පැල්ල
නිව්​ෙ‌යා්ර්ක් නුවර සිට ලියයි