රටින් කෑම බීම ගේන්න මෙහෙමත් වියදමක්


වසරකට අපට අවශ්‍ය භාණ්ඩ හා සේවාවලින් කොපමණක් ආනයනික ඒවාද? එම ආනයන සඳහා වසරකට කොපමණ මුදලක් අපට වැය වෙනවාද? ඇතැම් සීමා කළ හැකි ආනයනයන් පවා දිගින් දිගටම පිටරටවලින් ගෙන්වීමට හේතු මොනවාද? ‘කන්ට අදින්ටා පිටරටින් එනතුරු මුහුදට දත නියවන්නා’ යනුවෙන් ලක්ෂ්මි බායි ගායන ශිල්පිනිය ගැයුයේ අදටත් වසර පනහකට හැටකට වත් වඩා අතීතයකය. එහෙත් තවමත් අපට දේශීය නිෂ්පාදන ආශ්‍රිතව යැපෙන පරිභෝජන ක්‍රියාවලියක් සකසා ගැනීමට නොහැකි වූයේ මන්ද යනාදිය සම්බන්ධයෙන් අපි විමසුමක යෙදුනෙමු.  
මුදල් අමාත්‍යාංශය සපයන වාර්තාවන්ට අනුව මෙම වස​ෙර් ජනවාරි සිට ජූනි දක්වා වූ කාලසීමාව තුළ පාරිභෝගික භාණ්ඩ වශයෙන් ගැනෙන එළවළු, කිරි නිෂ්පාදන, සීනි රසකැවිලි, ධාන්‍ය හා ඇඹරුම් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු, පාන වර්ග, වෙනත් ආහාර හා පාන වර්ග සහ ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ වශයෙන් ගැනෙන රථවාහන බෙහෙත් ඖෂධ නිෂ්පාදන රෙදිපිළි හා උපාංග ඇතුළු වෙනත් ආහාර නොවන විවිධ වර්ගයේ පාරිභෝගික භාණ්ඩ, ඉන්ධන  බොරතෙල්, පිරිපහදු කළ ඛනිජ තෙල්, ගල් අඟුරු, දියමන්ති ලෝහ වර්ග, රත්රන්, රසායනික නිෂ්පාදන, රෙදිපිළි හා රෙදිපිළි උපාංග, මූල ලෝහ, තිරිඟු හා ඉරිඟු, රථවාහන යන්ත්‍රසූත්‍ර කොටස් මෙන්ම රබර් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන, පොහොර, සකස් නොකළ දුම්කොළ, යන්ත්‍රසූත්‍ර හා උපකරණ, ගොඩනැගිලි ද්‍රව්‍ය, ප්‍රවාහන උපකරණ හා වෙනත් වර්ග නොකළ ආනයන ඇතුළු ද්‍රව්‍යයන්ගේ සමස්ත ආනයන වියදම ඇමෙරිකන් ඩොලර් මිලියන දසදහස් එකසිය පනස් එකකි. (10,151.0) ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා අයි.ඕ.සී. සමාගම හා ශ්‍රී ලංකා මහ බැංකුව යන ආයතනවල දත්ත පදනම් කරගෙන මුදල් අමාත්‍යාංශය ආනයන වියදම් පිළිබඳ මෙම (තාවකාලික) ලේඛනය දක්වා ඇත. ආර්ථික විද්‍යාඥයන් සඳහන් කරන ආකාරයට අපේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය තවමත් රැඳී ඇත්තේ කෘෂිකර්මාන්තය ආශ්‍රිතවය.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෙදහස් දාසය වසරට අදාළ වාර්තාවට අනුව කෘෂිකාර්මික හා මත්ස්‍ය අංශයේ නිමැවුමෙහි වෙනස්වීම මනිනු ලබන කෘෂිකාර්මික නිෂ්පාදන දර්ශකය දෙදහස් පහළොව වස​ෙර්දී වාර්තා වූ සියයට හතරයි දශම හතරක සමස්ත වර්ධනය හා සැසඳීමේදී දෙදහස් දාසය වසරේදී සමස්තයක් ලෙස එය සියයට දෙකයි දශම හතරකින් පහත වැටී තිබේ. එයින් වී නිෂ්පාදනය වසර දෙදහස් පහළොවේදී පැවැති ඉහළ නිෂ්පාදන මට්ටම මෙට්‍රික් ටොන් හතරයි දශම හතර දක්වා පහළ වැටුණ තත්ත්වයක් දක්නට ඇත. එය සියයට අටයි දශම තුනක පහත වැටීමකි. ප්‍රධාන අපනයන භෝග වන තේ රබර් පොල් නිෂ්පාදනය පිළිබඳව මහ බැංකු වාර්තාවේ මෙසේ සඳහන් වේ. ඒ අනුව ඉකුත් වසරේදී මෙරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන දෙසිය අනූදෙකයි දශම හයකි. රබර් නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන හැත්තෑ නවයයි දශම එකකි. එම වර්ෂයේ පොල් නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන තුන්දහස් එකොළහක පමණ ප්‍රමාණයකි. එම වාර්තාවට අනුව ඉකුත් වසරේ කාලගුණික තත්ත්වයන් චක්‍රීය හා ඍතුමය අස්වනු රටා හේතුවෙන් කෘෂි නිෂ්පාදන ක්‍රියාවලියට යම් යම් බාධා සිදුවී තිබේ. කුරුඳු, කරඳමුංගු, පුවක්, කෝපි, කොකෝවා, කරාබු නැටි, සාදික්කා ආදියට කාලගුණික තත්ත්වයන් යම් යම් බලපෑම් සිදුකොට ඇත. මේ සියල්ලේ අවසාන ප්‍රතිඵලය ලෙස ආනයනය කිරීම් ඉහළ යෑමට සිදුවීම පිළිබඳ හේතු හඳුනා ගතහැකිය.  

 

 

 අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සම්බන්ධ මේ වන විට පවතින තත්ත්වය කුමක්ද? තොග හා සිල්ලර වෙළඳ සංගමයේ සභාපති බන්දුල ජයමාන්න මහතා ඒ සම්බන්ධයෙන් අප සමඟ මෙසේ අදහස් දැක්වීය.   


“මේ වන විට අපට ගැටලුවක් වී තිබෙන්නේ ලෝකයේ පවතින ආහාර හිඟය නිසා ආහාරවල ගැනුම් මිල ඉහළ ගොස් තිබීමයි. මේ සම්බන්ධයෙන් රජයට කළ හැකි යමක් නැහැ. රජය සැම අත්‍යාවශ්‍ය භාණ්ඩයකම බදු අවම කරලා තිබෙනවා. පරිප්පු, අල, ලොකු ලූනු ආදී සියල්ලේම බද්ද රුපියල දක්වා අවම කරලා තිබෙනවා. ඒ අනුව කිලෝ එකකට අයකරන්නේ රුපියලක පමණ මුදලක්. මෙයින් ඉදිරියට ආහාරපානවල මිල තීරණය වන්නේ මිලදී ගැනීම් ප්‍රමාණයක් අනුවයි. ආනයනය කිරීමේදී අපට වැයවන මුදල සාමාන්‍ය තත්ත්වය තිබෙනවා. ඒ වගේම මේ වන විට ඉන්දියාවේ සහල් නිෂ්පාදනය අවම වීම නිසා ඔවුන් අතර ගැනුම් මිල වැඩි වී තිබෙනවා. පොල් තෙල් පිළිබඳව නම් ගැටලුවක් නැහැ. පොල් තෙල් වර්ග දෙකක් අපි මෙරටට ආනයනය කෙරෙනවා. ඒ අනුව ‘සී. පිටෙන්’ සහ ‘සි.පී. එයිට්’ යන වර්ග දෙකෙන් ‘සි.පි. එයිට්’ කියන හොඳම වර්ගයේ පොල් තෙල් රුපියල් දෙසීය හතළිස් පහකට ලබා ගතහැකි වී තිබෙනවා. දෙවැනි වර්ගය රුපියල් දෙසිය හතළිහකට අලෙවි වෙනවා. පොල් තෙල් සඳහා අය කෙරෙන ආනයන බද්ද අවම කොට තිබෙනවා.  


අපේ රටට ගෙන්වන අත්‍යාවශ්‍ය භාණ්ඩවල ප්‍රමාණයන් ගැන නිශ්චිතව සඳහන් කිරීමේ හැකියාවක් නැහැ. සීනි වැනි නිෂ්පාදනයක් මසකට කන්ටේනර් දෙදහසක් ගෙන්වනවා. සමහර අවස්ථාවල ඒ තත්ත්වය අඩු වැඩි වෙනවා. උදාහරණයක් ලෙස සඳහන් කළොත් මෙම කාලසීමාවේ අපේ රටට සහල් වැඩිපුර ආනයනය කෙරෙනවා. රට තුළ අස්වැන්න අඩුවීම හේතුවක් අනුරාධපුර පොළොන්නරු ප්‍රදේශවලට අද වන විටත් වර්ෂාව ලැබෙන්නේ නැහැ. ඉදිරියටත් අස්වැන්න ලැබීම පිළිබඳ ගැටලුවක් තිබෙනවා. එසේ අස්වැන්න ලැබීමට නම් මේ වන විට වී වපුරා තිබිය යුතු වෙනවා. මේ තත්ත්වය මත හාල් කිලෝවක මිල රුපියල් එකසිය පනහක පමණ මිල ඉහළ යෑම වළක්වා ගැනීමට නොහැකි වී තිබෙනවා. සාමාන්‍ය සහල් කිලෝවක් පාරිභෝගිකයා අතට පත්වෙන්න හතර දෙනෙක් බදු ගෙවීම සිදුකෙරෙනවා. ජාතිය ගොඩනැගීමේ බද්ද, ආනයන බද්ද සේවක අර්ථසාධක අරමුදල් ආදී සියල්ල ගෙවලා තමයි මෙම ද්‍රව්‍ය ගම ඇතුළට එවන්නේ. එහිදී ප්‍රවාහන ගාස්තු ආදී සියල්ල වගේම ලාභයත් එකතු කරවීම සටහන් කරන මිලට වඩා පාරිභෝගිකයා මිලදී ගැනීමේදී රුපියල් දහයක පමණ මුදලක් ඒ අයට ඒ සඳහා ගෙවීමට සිදුවෙනවා. සීනිවලටත් මේ වන විට රුපියල් විසිපහක බද්දක් අය කෙරෙනවා. එම අය කිරීම අසාධාරණ නැහැ. රට තුළ මේ වන විට සීනි නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඊට හේතුව මේ උක් වගාව කෙරෙන කාලසීමාවක් නොවීමයි. ඉන්දියාව පවා මේ වන විට උක් අස්වැන්න ලැබෙන තුරු බලා සිටින කාලසීමාවක් වී තිබෙනවා. බ්‍රසීලයෙන්, ජර්මනියෙන්, තායිලන්තයෙන් සීනි ගෙන්වීම සිදුකෙරෙනවා. වෙළෙඳ පොළ තුළ සීනි හිඟයක් නැහැ.  


 මේ දිනවල රට තුළ පොල් නිෂපාදනය අඩුවෙන් සිදු නොකෙරෙන නිසා පාම් ඔයිල් සඳහා ඉල්ලුම වැඩි වී තිබෙනවා. ඒ අනුව තෙල් පිටරටින් ආනයනය කිරීම වැඩි වී තිබෙනවා.” යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.  


 මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාවට අනුව ඉකුත් වසරේදී (2016) දී මෙරටට ආනයනය කළ සහල් ප්‍රමාණය සහල් මෙට්‍රික් ටොන් විසිනවදහස ඉක්මවයි. නමුත් සමස්ත ලංකා ගොවිජන සේවා සම්මේලනයේ සභාපති සඳහන් කරන ආකාරයට අපේ රටට පිටරටින් හාල් ගෙන්වීමට කිසිදු අවශ්‍යතාවක් නැත. මේ එ් සම්බන්ධයෙන් සම්මේලන​ෙය් සභාපති නාමල් කරුණාරත්න මහතා අප සමඟ දැක්වූ අදහසයි.  


 “අපේ රටේ ආනයන වියදම අවම කරන්න පුළුවන් සහල් ආනයනය සඳහා වැයවන මුදල අවම කිරීම එහිදී ප්‍රමුඛ වෙනවා. මේ වියදම වැඩිවීමට ප්‍රධාන හේතුව කොමිස් මත යැපෙන පිරිස් ආනයනය සඳහා තවදුරටත් අතහිත ලබා දීමයි. ආනයනය නිසා ලැබෙන මුදලින් රටට යම් ප්‍රතිලාභයක් ලැබෙනවා නම් අප එයට විරුද්ධ විය යුතුයි කියලා එකවර කියන්නේ නැහැ. නමුත් ආනයනය නිසා වාසි ලබන්නේ එක්තරා පිරිසක් පමණයි. ලබන අප්‍රේල් වෙනකන් අපේ රටට අවශ්‍ය සහල් ප්‍රමාණය රට තුළ සංචිත වී තිබෙනවා. ඒ තිබියදීත් ඉකුත් සමයේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් ගෙන්වා තිබෙනවා. අපේ රට තුළ මසකට පරිභෝජන අවශ්‍යතාව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක පමණ ප්‍රමාණයක් වෙනවා. නමුත් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සහල් දැනටත් රට තුළ තිබෙනවා. පිටරට සහල් අඩු මුදලට ගෙන්වලා මෙරට සහල් සමඟ කවලම් කරලා අලෙවි කිරීමේ වැඩපිළිවෙළකුත් මේ අතර තුර ක්‍රියාවට නැ​ංවෙනවා. මේ ක්‍රියාවලිය අනෙක් බොහෝ පාරිභෝගික භාණ්ඩවලටත් සිදුකරෙනවා. ලොකු ලූනු සඳහා ඉකුත් සමයේ සියයට සියකින් බද්දක් පැනවූවා. ඒ සමයේ අපි ආහාර ගබඩා පරික්ෂා කිරීමක නිරත වුණා. ආනයනය කළ ලූනු ගබඩා පරික්ෂා කිරීමේදී සඟවා තබා ඇති ලොකු ලූනු අපට හමුවුණා. චීනයෙන්, පාකාස්ථානයෙන්, කසකස්ථානයෙන් ගෙන්වූ ලූනු බව පවසමින් ඔවුන් ලූනු ගොඩගසා රඳවා ගෙන තිබෙනවා. ඒ ලූනු පැළවෙන මට්ටමට පත්වෙලා. ඒ අතර තවත් ලූනු විශාල ප්‍රමාණයක් කන්ටේනර් මගින් ගෙන ඇවිත් ගබඩාවලට එකතු කරනවා. මේ වෙද්දී අපේ රටේ ගොවීන්ට ලූනු නැහැ. ඒ සියල්ල වැස්සට හසුවෙලා විනාශ වෙලා. එයින් ඉතිරියේ හොඳම කොටසක් ඒ වන විට විකිණී හමාරයි. දේශීය ගොවියා ශක්තිමත් කිරීමට යන අදහසින් ආනයන ලූනු බදු මිල වැඩි කළත් දේශීය ගොවියා සතුව ඒ වන විට ලූනු සංචිතයක් නැහැ. අවසානයේදී නැවත වටයකින් පාරිභෝගිකයාට සිදුවෙන්නේ ලූනු කිලෝ එකක් රුපියල් එකසිය හැත්තෑ පහක් එකසිය අසූවක් වැනි මුදලකට මිලදී ගැනීමටයි.  


 රටේ ලොකු ලූනු අවශ්‍යතාවෙන් සියයට පනහක්වත් සම්පූර්ණ වෙන්නේ නැහැ. අර්තාපල් සඳහාත් තිබෙන්නේ මෙවැනිම තත්ත්වයක්. ගොවියාට හොඳ වර්ගයේ බීජ ප්‍රභේද හඳුන්වා දීමට පොහොර සහනාධාර ලබා දීමේ ආදියේ හැකියාවක් තිබියදී පිටරටින් ලැබෙන කොමිස් සහන නිසා ඒ ක්‍රියාවලියට අත තැබීමට බලධාරීන් නැඹුරු වෙන්නේ නැහැ. රට තුළ වගා කළ හැකි මුං ඇට, කවුපි, ගම්මිරිස් වැනි දෑ වගා කිරීමේ හැකියාව හොඳින්ම තිබෙනවා. දැනට කෙරෙන වගාවලට පවා කිසිදු නියාමනයක් නැහැ. වැයවන පොහොර ප්‍රමාණය බීජවල ගුණාත්මක බව, අවශ්‍ය බීජ ප්‍රමාණය, ජල සැපයුමේ සීමා ආදිය පිළිබඳව ප්‍රදේශ මට්ටමින් සිටින රාජ්‍ය නිලධාරීන් විමර්ශනය කළ යුතු වෙනවා. නමුත් එවැන්නක් සිදුවෙන්නේ නැහැ. ගොවියා තමන්ගේ හිතුමනාපෙට වගා කිරීම් සිදුකරනවා. ගබඩා පහසුකම් හරිහැටි නැති නිසා සමහර අවස්ථාවල වගා අපතේ යෑමක් සිදුවෙනවා. උදාහරණයක් විදිහට හබරණ, දිගම්පතන ප්‍රදේශවල එළවළු අස්වැන්න වල් අලි ග්‍රහණයට නිරන්තරයෙන්ම ගොදුරු වෙනවා. ඒ ක්‍රියාවලිය වැළැක්වීමක් නැහැ. කොයිතරම් සඳහන් කළත් ඊට පිළියමක් නැහැ. වගාවලට හානිවීම ඉවර වෙන්නේ නැහැ. ගොවියා සියයක් රැගෙන ගියොත් එයින් වෙළෙඳ අගයක් ලැබෙන්නේ හැටක පමණ ප්‍රමාණයකටයි. මේ ක්‍රියාවලිය ඉතාම ඛේදනීයයි. අවසානයේ ගොවියාගේ ශ්‍රමය සහ මුදල අපතේ යනවා.  


අපේ රටේ බලධාරීන්ට යම් දෙයක හිඟයක් ඇති බව මාධ්‍ය වාර්තාවක් නිකුත් වෙනතුරු ඉවසුමක් නැහැ. ඔවුන් ඒ සැණින් ආනයනයනට පෙලඹෙනවා. ඊට හේතුව ඔවුන්ට කොමිස් මුදලක් ලැබීමයි.  


රටේ අවශ්‍යතාවයටත් වඩා වී නිෂ්පාදනයක් සිදුවෙනවා. ලොකු ලූනු සියයට හතළිස් අටක් පමණ නිෂ්පාදනය වෙනවා. අර්තාපල් නිෂ්පාදනය වෙන්​ෙන් සියයට පහකටත් වඩා අඩු ප්‍රතිශතයක්. මේ සියල්ල සියයට සියය වශයෙන් සම්පූර්ණ කිරීමේ හැකියාවක් සහිත ඒවායි. ඒ සියල්ල සම්පූර්ණ කරගැනීම හොඳ මට්ටමේ රටට හිතැති වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා.  


 අපේ රටේ කිරි අවශ්‍යතාවද සියයට සියයකින් සම්පූර්ණ කළ හැකි එකක්. එම සමස්ත ලංකා කිරි ගොවීන්ගේ ජාතික ව්‍යාපාරයේ සංවිධායක චම්ලි ජයරත්න මහතා සඳහන් කරයි. කිරි ආශ්‍රිත ආහාර නිෂ්පාදන කරන අය කිරි වෙනුවට ආනයනික කිරිපිටි මගින් එම ආහාර නිෂ්පාදනය කිරීම සිදුකරනවා. දේශීය ගොවියාගේ කිරි මිලදී ගැනීම ඔවුන් විසින් ඇතැම් අවස්ථාවල ප්‍රතික්ෂේප කෙරෙනවා. අපේ රටට තිබෙන ලොකුම ආද‌ායම වෙන්නේ ගෘහ සේවිකාවන් මගින් රටට ලැබෙන රුපියල් බිලියන අටක විදේශ විනිමයයි. නමුත් කනගාටුවට කරුණ වන්නේ ඉකුත් සම​ෙය් ආනයන කිරිපිටිවලට ලබා දුන් සහනයද බිලියන අටක මුදලක් වෙනවා. අප ඒ පිළිබඳව නිශ්චිතවම ගණන් මිනුම් සකස් කර නිරීක්ෂණය කරලා බැලුවා. අපේ රට ණය කන්දක් සහිත රටක් කියලා දේශපාලනඥයෝ නිතර කියනවා. නමුත් කිරිපිටි බීමටම රුපියල් බිලියන අටක් වියදම් කිරීමට තරම් රජය පෙලඹවීම කනගාටුවට කරුණක් වෙනවා. අපි කිරිපිටි ආනයනය කරද්දී ඩොලරයේ මිල ඉහළ යෑමෙන් ඊට සාපේක්ෂව අපේ රුපියල් වැඩි වැඩියෙන් ගෙවීමට අපට සිදුවී තිබෙනවා.  


 අපේ රටේ ආර්ථිකය ගොඩනැගීමට හොඳ වැඩපිළිවෙළ අවශ්‍යයි. ඒ වෙනුවෙන් කැපකිරීමක් අවශ්‍යයි. යුද්ධයක අභියෝගය භාරගත් අපි ආර්ථිකය ගොඩනැගීමේ අභියෝගය භාර නොගැනීමට තරම් කොන්දක් නැහැ කියන්න බැහැ. දේශීය කිරි මගින් පරිභෝජන අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමේ හැකියාව අපට තිබෙනවා.  


වසරට අපේ රටේ සීනි නිෂ්පාදනය කෙබඳුද? අපි ඒ පිළිබඳ විමසුමක යෙදුනෙමු.  


පැලවත්ත සීනි සමාගමේ අන්ත්ර් සමාගම් සේවක සංගම​ෙය් ලේකම් සුනිල් අත්තනායක මහතා ඒ සම්බන්ධයෙන් අප සමඟ මෙසේ අදහස් දැක්වීය.  


“අපේ රටේ එකවර සියයට සියයක් අපට අවශ්‍ය සීනි ප්‍රමාණය නිෂ්පාදනය කරන්න බැහැ. නමුත් ක්‍රමික ක්‍රියාවලියක් ඔස්​ෙස් එය කරගෙන යෑමේ හැකියාවක් තිබෙනවා. දැනට පැලවත්ත, සෙවණගල සහ හිඟුරාණ සීනි කර්මාන්ත ආයතන මගින් සීනි නිෂ්පාදනය සිදුකෙරෙනවා. එයින් පැලවත්ත හා ​ෙසවණගල නිෂ්පාදනගාර ආරම්භ වී දැනට වසර තිහක් පමණ වෙනවා. රාජ්‍ය ආයතන වුවත් මේවාට රාජ්‍ය මැදිහත්වීම ලැබෙන්නේ නැහැ. නිෂ්පාදන කටයුතු සිදුකරලා ලැබෙන ආදායමෙන් සේවක පඩි වැටුප් ගෙවීම් අාදිය සිදුකරලා ආයතනය පවත්වාගෙන යනවා. නිෂ්පාදනය ඵලදායී කිරීමට උසස් මට්ටමේ උක් බීජ ලබාදීම පොහොර ලබාදීම බීජ සැකසීම නොමිලේ සිදුකොට දීම වැනි දෑ සිදු කළ හැකියි. රජය බොහෝ වගාවලට සහන ලබාදෙනවා. නමුත් උක් වගාවට පොහොර සහනාධාර ලබා දෙන්නේ නැහැ. ඒ වගේම උසස් මට්ටමේ උක් ප්‍රභේද තිබියදී තවමත් ඒවා ගොවීන්ට හඳුන්වා දීමක් සිදුවී නැහැ. සීනි ප්‍රතිශතය වැඩි උක් ප්‍රභේද බොහොමයක් ලෝකයේ තිබෙනවා. දැනට අපේ රටේ අවශ්‍යතාවෙන් සියයට දහයකට අඩු ප්‍රමාණයක් පමණයි රට තුළ සිදුවෙන්නේ. සීනි නිෂ්පාදනය සක්‍රීය කිරීමෙන් පොහාර නිපදවීමට ස්ප්‍රීතු නිෂ්පාදනය ආදී අතුරු ලාභද ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. සෙවණගල උක් කර්මාන්තයට වාරිමාර්ග ආශ්‍රිත ජල සැපයුම් තිබෙනවා. නමුත් පැල්වත්තට වාරි ජල සැපයුම් නැහැ. ජල සැපයුම් සක්‍රීයයි නම් හෙක්ටයාරයකට ලබා ගන්නා අස්වැන්න පවතින මට්ටමට වඩා ඉහළ නංවා ගැනිමේ හැකියාව තිබෙනවා.  


සීනි කර්මාන්තය පෞද්ගලික කිරීම වෙනුවට රාජ්‍ය අංශයේ මැදිහත්වීම මත නිෂ්පාදනය හා එම කර්මාන්තයට හා ගොවියාට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස අප ඉල්ලා සිටිනවා.  


 ආනයනයට යොදවන මුදල රට තුළ ඉතිරි කිරීමේ වැඩපිළිවෙළක් සැකසීම සම්බන්ධයෙන් අප කළ යුත්තේ කුමක්ද? ආනයන අපනයන ආදායම් වියදම් හෝ සමතුලිත කරගැනීමේ හැකියාවක් අපට තිබේද, ඒ සම්බන්ධයෙන් මෙම අදහස් දැක්වීම සිදුකළේ කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්.ජී. කුලරත්න මහතාය.  


 ආනයනය හෝ අපනයනය හෝ කිරීමේදී අප හැමවිටම බැලිය යුතු වන්නේ වඩා වාසිය කුමකින් ලැබේවිද යන්නයි. අපනයනය කිරීමෙන් ආදායමක් උපයා ගැනීමත් ආනයනය මගින් අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමත් එහිදී අපේක්ෂා කරනවා. අපි ආනයනය කරන පාරිභෝජන අවශ්‍යතා, ප්‍රාග්ධන අවශ්‍යතා අතරමැදි භාණ්ඩ ඒ යටතට අයත් වෙනවා. වෙළෙඳපොළ අවශ්‍යතා අනුව අපනයනයද කළ හැකි හැකියාවක් තිබෙනවා. ඊට හොඳ නිෂ්පාදන ක්‍රියාවලියක් තිබෙනවා.  


 අපි ආනයනය කළ යුතු වෙන්​ෙන් මොනවාද? අපි ආනයනය කළ යුතු ප්‍රධානතම දේ වන්​ෙන් අපට කිසිදු විටෙකවත් නිෂ්පාදනය කළ නොහැකි අපේ රටේ නැති ඉන්ධන පමණයි. ආනයන අවශ්‍යතාවේ ප්‍රමුඛතාව ලැබෙන්​ෙන් ඉන්ධනවලටයි. රටක අයවැයකින් වැඩිම සහන ලබා දිය යුත්​ෙත් ඉන්ධන ආනයනයට යැයි යන්න මගේ අදහසයි. ඉන්ධනවලට සහන ලැබීම ඔස්සේ අනෙක් සියල්ලටම සහන සපයා ගැනීමේ හැකියාව තිබෙනවා. තෙල් මිල ඉහළ යෑම සමස්තයටම බලපානවා. කර්මාන්ත නිෂ්පාදන ක්‍රියාවලියට බලපානවා. ප්‍රවාහනයට බලපානවා. බස්ගාස්තු ඉහළ යෑම් ආදියට ඍජු බලපෑමක් සිදුවෙනවා. කෑමට සහන දෙනවාට වඩා ඉන්ධන මිලට සහන ලබාදීම වඩාත් වැදගත් වන්​ෙන් එම හේතුව නිසයි. දෙවැන්න ලෙස රටක විකල්ප බලශක්ති සඳහා රජය මගින් සහන ලබාදිය යුතුයි. විද්‍යුත් ආරෝපණ, මෝටර් රථ ගෙන්වීම පවා හොඳ ඉදිරි පියවරක් විදිහට අප හඳුනා ගන්නවා.  


 පෙට්‍රල්, ඩීසල්, ගෑස්වලට සහන ලබාදීම හා ඉන් අනතුරුව ආහාර ආනයනයට සහන ලබා දීම සිදුවිය යුතුයි. එක්දහස් නවසියහැට වැනි කාල සීමාවේ කවුපි වගාව වැනි බෝග සඳහා රජය ජනතාවට සහන ලබාදීම් දිරිමත් කිරීම් සිදුකළා. නමුත් අදවෙද්දී කරපිංචා ගහක් මිරිස් පැළයක්වත් ගෙවත්​ෙත් වගා කරන පිරිස් අඩුයි. ඒ සියල්ල ඔවුන් සපයා ගන්​ෙන් වෙළඳපොළට ගොස් මිලදී ගැනීමෙනුයි. ලංකාවේ තිබෙන පොල්ගස් කපලා ඉඩම් කට්ටි කරලා විකුණන අපි, පොල්තෙල් පිටරටින් ගෙන්වීම සාධාරණ නැහැ. වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය තුළ ආනයනය තහනම් කිරීමේ හැකියාවක් නැහැ. ආනයනය මත අය කෙරෙන ආදායම් මත රාජ්‍ය ආදායම තර කරගැනීමේ හැකියාවක් තිබෙනවා. නමුත් අපේ රටේ තවමත් තිබෙන්නේ කෘෂිකර්මයට නැඹුරු පොළොවක්. ඉන්දියාව වැනි රටක් සැලකුවහොත් ඉන්දියාව කියන්නේ ගහක් දැකිය හැකි තැනක් නැති තරමේ තත්ත්වයක්. නමුත් අපේ රටේ එවැනි තත්ත්වයක් නැහැ. අපේ රටේ පරිප්පු වැවෙන්නේ නැහැ. නමුත් අර්තාපල්, එළවළු, මිරිස් ආදිය රටේ පොළොවේ වැවෙනවා. අනෙක් අතට වගා කිරීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවන භාණ්ඩ ආනයනය කිරීම වරදක් කියලා අපි කියන්නේ නැහැ. අතරමැදි භාණ්ඩ සම්බන්ධයෙන් ඒ තත්ත්වය බලපානවා. ඒ වගේම ගොවියෝ අද වන විට තමන්​ෙග් වගා සිදුකරන්නේ පසුගිය කන්නයේ සිදුකළ වගාවන්ගේ ලැබුණු ආදායම් ප්‍රමාණය සැකසීමෙන් පසුවයි. නමුත් අපි දිගින් දිගටම ආනයනික භාණ්ඩ මත යැපීමට සිදුවුවහොත් ඒ ඒ රටවල් අපේ රට තම ආධිපත්‍යයට නතුකර ගැනීමේ උත්සාහයක නිරත වන්නට පුළුවන්. ඒ වගේම දිගින් දිගටම ආනයනය මත යැපුණොත් අපේ රටේ ස්වභාවික සම්පත්වලින් ප්‍රයෝජනයක් නැතිවෙනවා.  


 අද වන විට අපේ රටේ නිෂ්පාදනවලට වෙළෙඳපොළ තුළ ඇති තත්ත්වය ඇතැම් අවස්ථාවල ඉතා කනගාටුදායකයි. වෙළෙඳපොළේ දේශීය සහල් හඳුන්වන්නේ ‘බඩ බත් කියලා’ අනෙක් සහල් වර්ග විවිධ නම්වලින් හඳුන්වලා වෙළෙඳපොළ අගය වැඩි කිරීමට කටයුතු කරලා තිබෙනවා. අනෙක් අතට කෘෂිකාර්මික වගාවට අද වන විට වැඩි පිරිවැයක් දැරීමට සිදුවෙලා තිබෙනවා. වැය පිරිවැයක් දරා අස්වැන්නක් ලබා ගැනීමත් ලාභ ලබා ගැනීමට හැකියාවක් නැහැ. එවැනි අවස්ථාවක නිෂ්පාදනයට වඩා ආනයනය වාසි විය හැකියි. වැඩි වාසි අපේක්ෂාවෙන් කරන ඇතැම් ක්‍රියා නිසා අහිතකර අතුරු ප්‍රතිඵල ලැබීමේ අවකාශයන් වැඩියි. උදාහරණයක් විදිහට කෘෂි බෝගවලට කෘමිනාශක යෙදීම නිසා සෞඛ්‍ය වියදම් ඉහළ ගොස් තිබෙනවා. වකුගඩු මධ්‍යස්ථාන විවෘත වෙන ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. මූල්‍යමය වාසිය පිටුපස අතිවිශාල සමාජ පිරිවැයක් වැය කිරීමට සිදුවීම ආර්ථිකයටත් ගැටලුවක්. අපේ රටේ කෘෂිකර්මාන්තයට දිරියක් සැපයිය යුතුයි විශේෂයෙන් අපි මුං ඇට වැනි භෝගයක් පිටරටින් ආනයනය කළ යුතු නැහැ. රජරට ගොවීන්ට හැකියාව තිබෙනවා රටට අවශ්‍ය තරම් මුංඇට නිෂ්පාදනය කරන්න. නමුත් දේශපාලනඥයෝ තමන්​ෙග් විදේශ ගිවිසුම් මත ආනයනය පුළුල් කිරීම නිසා වෙළෙඳපොළ ආර්ථිකය ශක්තිමත් වෙලා දේශීය නිෂ්පාදකයා අ​ධෛර්යමත් වීම සිදුවෙනවා. එයින් සිදුවෙන්​ෙ​න් ව්‍යාපාරිකයා දියුණු වීම පමණයි.  
 ‘ගෙයි තබාගෙන කෑමයි කඩෙන් ගෙන්වා ගෙන කෑමයි’ අතර වෙනසක් තිබෙනවා.  


වාහන නිෂ්පාදනය පිළිබඳව සැලකුවහොත් අද වන විට අපේ රටට නැගීසිටීම අසීරු මට්ටමට පත්ව තිබෙනවා. අද අපේ රටේ වෙළෙඳපොළ නිර්මාණය වී තිබෙන්නේ ජපන් වාහනවලට පමණයි. අපිත් එක්දහස් නවසිය හැට පමණ කාලසීමාවේ සිට වාහන නිෂ්පාදන ක්‍රියාවලිය සමඟ නිරත වී සිටියා නම් ලෝක ප්‍රවණතා සමඟ අලුත් වෙමින් වාහන නිෂ්පාදන ක්‍රියාවලියේ ගමන ඉදිරියට රැගෙන යෑමේ හැකියාවක් ඇතිවන්නට තිබුණා. දැනට අපිට තිබෙන විකල්පය වාහන ගෙන්වීම පමණයි. එය අප වරදක් ලෙස දකින්නේ නැහැ. භාණ්ඩ හුවමාරුව ලෝකයේ සෑම තැනකම සිදුවෙනවා. නමුත් අප ආනයනය කරන්නේ අපට අවශ්‍ය ප්‍රමාණයට ද යන්න ගැටලුවක්. ඒවායේ සීමා අප දැන සිටිය යුතුයි. වටිනාකම ඉහළ වාහනවලට බදු වැඩිකිරීම මගින් රජයට වැඩි ආදායම් තිබෙන අයගෙන් යම් මුදලක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් කුඩා කුඩා වර්ගයේ වාහනවලට සහන දීමෙන් පොදු ප්‍රවාහනය අධෛර්යමත් වීමක් සිදුවෙනවා. ඒ වගේම එයින් ඇතිවන මාර්ග තදබද​ෙය් ගැටලුවත් විසඳීමට පියවරක් එසේ නම් තිබිය යුතුයි.  


ලෝකයේ දියුණු වූ රටවල් තොරතුරු ලබා ගැනීම, සන්නිවේදන ක්‍රියාවලිය සක්‍රීය වීම, ප්‍රවාහන ක්‍රියාවලිය විධිමත් වීම ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකිවෙනවා. අද අපේ රටේ කැලණිය සිට මාතරට යන්න එන්න පැය දෙකක් තුනක් ඇතුළත සිදුකරගත හැකියි. නමුත් කැලණියේ සිට කොළඹට යන්න ඊට වඩා වැඩි කාලසීමාවක් වැයවෙනවා. කැලණියේ සිට මාතරට යෑම ඒම, කඩවත සිට අධිවේගී මාර්ගයට ප්‍රවේශ වීම හරහා ලෙහෙසියෙන් සිදුකළ හැකියි. නමුත් කැලණියේ සිට කොළඹට යන්න සරල ක්‍රමයක් නැහැ. මාර්ග තදබදය වැඩියි. රට ඇතුළේ මාර්ග පද්ධතිය සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ ගැටලුකාරි තැන් තිබෙනවා. මාර්ග සැලසුම් කිරීමේ වැඩපිළිවෙළ පවා මෙයට වඩා දියුණු විය යුතුයි” ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා අප සමඟ සඳහන් කළේය.  


 අපේ රට සංවර්ධනය කිරීමට සැකසෙන වැඩපිළිවෙළ අතර දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය සක්‍රිය කිරීමට වැඩපිළිවෙළක් සැකසීම වඩාත් වැදගත් යැයි අපි යෝජනා කරන්නෙමු. ඉහත සඳහන් අප ඉස්මතු කළ හේතු කාරණා ඊට යම්වූ පදනමක් සපයනු ඇතැයි අවසන් වශයෙන් අපේක්ෂා කරන්නෙමු.  

 

 

 

 

 

 

 

 

 

 සටහන  
 සමන්තිකා මාධවී