රටම හෙල්ලූ ජවිපෙ ‘‘කීර්ති විජේබාහු’’ හසුවූ හැටි


ජවිපෙ 2වැනි කැරැල්ලෙන්

 

24 වැනි කොටස 

 

 

වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ජවිපෙ 2වැනි කැරලි සමයට පාදක වන මෙම ලිපි මාලාව ලියන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ධර්මන් වික්‍රමරත්න මෙයට ප්‍රථම ජවිපෙ 2වැනි කැරැල්ල - ප්‍රථම කාණ්ඩය මැයින් පිටු 880ක ග්‍රන්ථයක්ද එළිදක්වා තිබිණි. ඉදිරියේදී නිකුත්වන ඔහුගේ දෙවන කාණ්ඩයේ ග්‍රන්ථයට අදාළ මෙම ලිපි මාලාව මෙ​ෙතක් කිසිදු පුවත්පතක හෝ ග්‍රන්ථයක පළවී නැති අතර එය කොටස් වශයෙන් පාඨක ඔබවෙත ගෙන එනු ලබයි. මෙවර පළවන්නේ ජවිපෙ 2වැනි කැරැල්ලට නායකත්වය දුන් දේශපාලන මණ්ඩල සභික සමන් පියසිරි ප්‍රනාන්දු පිළිබඳවය.   


සෙල්ලප්පෙරුමගේ සමන් පියසිරි ප‍්‍රනාන්දු ජවිපෙ 2වැනි කැරැල්ල මෙහෙයවූ ජවිපෙ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නායකයාය. මොරටුව ලූනාවේදී 1958 මාර්තු 23 උපන් ඔහු ක්‍රිස්තියානි මෙතෝදිස්තය. කීර්ති විජේබාහු, කබ්රාල්, මෙන්ඩිස්, බාප්පා, මුදියන්සේ, මහින්ද, ධම්මික සහ ජනක යනුවෙන්ද සමන් පියසිරි ප‍්‍රනාන්දු හැඳින්විණි. (ලේඛකයාගේ සටහන - ලංකාවේ පහතරට ප‍්‍රදේශවල විශේෂයෙන් පුත්තලමේ සිට මාතර දක්වා වෙරළ තීරයේ ජනතාවගෙන් බහුතරයක් එකල කතෝලික දහම වැළඳගෙන පෘතුගීසි වාසගම් ලබාගෙන තිබිණි. ජර්මානු රජ පෙළපතක් වන ෆර්ඩිනන්ඩ් යන්නේ පෘතුගීසි නාමය ලෙස ෆර්නෑන්ඩෝ හැඳින්විය හැක. ප‍්‍රනාන්දු යනු එහිම ලාංකේය ප‍්‍රකාශනයයි).   


සමන්ට සොයුරු සොහොයුරියන් තිදෙනෙක් වූ අතර ගුරුවරියක් වූ මව ටී. ජොසී එන්ගල්ටිනා පීරිස්ය. පියා ඊබට් වරාය කොමිෂන් සභාවේ වැඩ පරික්ෂකවරයෙකි. එම දෙපළගේ තෙවැනි දරුවා සමන් පියසිරිය. ගනේමුල්ලේ පදිංචි වැඩිමහල් සොහොයුරිය කලක් රජයේ රෝහලක හෙදියක් ලෙස සේවය කළ අතර වසර 1981දී විවාහවූ ඇය දෙදරු මවකි. කනිටු නැගණිය වූ රංජනීද පසුකලෙක ජවිපෙ පූර්ණකාලිනියකි. වැඩිමහල් සොහොයුරා රෝගී දරුවෙකු වූ අතර 1970දී අංගොඩ රෝහලේදී මියගියේය. පවුලේ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඔහුගේ දේහය පවා භූමදානය කළේ රෝහල් සුසාන භූමියේ රජයේ වියදමිනි.   


සමසමාජ පක්ෂයට හිතවත්වූ සමන්ගේ පියා සැමට පිහිට වූවද මත්පැනට අධික ලෙස ඇබ්බැහිවීම නිසා සමන් පියසිරි ඇතුළු දරුවන්ගේ ළමා කාලය බෙහෙවින් දුක්බර විය. පියා ඊබට් අවට වැසියන් සහ නෑහිතමිතුරන් සමඟ ඇතිකරගත් ආරවුල් නිසා මොරටුව එගොඩඋයන අතහැර මවගේ ඥාතියෙකුට අයත් ගනේමුල්ලේ පදිංචියට යෑමට සමන් ගේ දෙමාපියන්ට සිදුවිය. එතෙක් එගොඩඋයන කනිෂ්ඨ විදුහලේ 5 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූ සමන් 6 වැනි ​ෙශ්‍ර්ණියට ඇතුළු ​ෙවන්නේ කුඩා බොල්ලත ප‍්‍රාථමික විදුහලටය. ගලහිටියාව හේමමාලි විද්‍යාලයට 8 වැනි ශ්‍රේණියටද පසුව ගලහිටියාව මධ්‍ය මහ විද්‍යාලයට ද ඇතුළත් වන හෙතෙම අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සම්මාන 6ක් සමගින් සමත් විය. වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරා 1977දී ඒ සාමාර්ථ 1, බී සාමාර්ථ 1 සහ සී සාමාර්ථ 2ක් ලබා කැලණි සරසවියට 1978දී ඇතුළු විය.   


සමන් පියසිරි ප‍්‍රනාන්දු ජවිපෙට එක්වූයේ 1978 වේයන්ගොඩ ජවිපෙ රැළියකදී ගමනායක ගේ දේශනයකට සවන්දීමෙන් පසු රාගම සෝමේ හරහාය. මීරීගම ආසනයේ පල්ලෙවෙල මුද්දරගම පැවති අධ්‍යාපන කඳවුරට ඔහු සහභාගි විය. එම අධ්‍යාපන කඳවුර මෙහෙයවන ලද්දේ වික්‍රමරාළලාගේ ජයතිලකය. (2වැනි කැරැල්ලේද ක්‍රියාකාරිකයෙකු වූ ජයතිලක කටුනායක ගුවන් හමුදා කඳවුරේ ආයුධ පැහැරගැනීමේ ප‍්‍රහාරයට එක්ව පසුව අත්අඩංගුවට පත්විය. අනතුරුව ජවිපෙ කැරලිකරුවන් 221ක් සමඟ 1988 දෙසැම්බර් 13 බොරැල්ල මැගසින් බන්ධනාගාරයෙන් පලාගොස් යළි කැරැල්ලට එක්විය. හොරණ ලයනල් රණසිංහගේ නිවසේ මැලේරියා උණ සෑදී සිටියදී 1989 අවසාන භාගයේ පොලිස් අත්අඩංගුවට පත්ව ඝාතනය විය.)   


ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමය කැලණි සරසවිය තුළ පොදු ශිෂ්‍යයින්ගේද සහාය ඇතුව එජාපයේ සමවාදී ශිෂ්‍ය සංගමයට එරෙහිව බලවේගයක් සේ ගොඩනැගෙන්නේ 70 දශකයේ අග භාගයේදී සුදර්ශන පොන්නවීර, සමන් පියසිරි ප‍්‍රනාන්දු, සිරිමෙවන් ඇතුළු කිහිපදෙනෙකු ගේ නායකත්වයෙනි. වාණිජ උපාධිධාරියෙකු වශයෙන් සමත්වීමෙන් පසු රැකියාවක් වෙනුවට සමන් පියසිරි තෝරාගත්තේ ජවිපෙ පූර්ණකාලීන දේශපාලනයයි. පසුව කොලොන්නාව ආසනයේ ජවිපෙ සංවිධායකවරයෙකු විය.   


ජවිපෙ 1983 ජූලි තහනමෙන් පසු සමන් පියසිරි 1984 පෙබරවාරි මධ්‍යම කාරක සභිකයෙකු විය. ජවිපෙ යළි ගොඩනැගීම සඳහා ඔහු කළ කැපවීම ඇගයුමට ලක්වූ අතර 1985 ඔක්තෝබර් ජවිපෙ දේශපාලන මණ්ඩලයටද පත්කරන ලදී. ජවිපෙ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය බිහිකිරීමේ ප‍්‍රථම විධිමත් සාකච්ඡාවක් 1986 මාර්තු 4 සහ 5 රත්පුනර ඇලපාතදී දෙදිනක් පුරා පැවති අතර එහිදී පැවති දේශපාලන මණ්ඩල රැස්වීමේදී යුද අංශයේ නායකයා ලෙස සමන් පියසිරි පත්කර ගන්නා ලදී. විජේවීර අසනීපව සිටි බැවින් එහි මුලසුන දැරුවේ පියදාස රණසිංහය. රැස්වීම පැවතියේ රත්නපුර කුඩුගල්වත්තේ ව්‍යාපාරිකයෙකු වන පොඩි මහත්තයා ගේ නිවසේදීය.   


සන්නද්ධ අංශයක් පිහිටුවීමේ යෝජනාව ජවිපෙ දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් වූයේ 1984 අග භාගයේදීය. දෙමළ බෙදුම්වාදීන්ට සහාය දුන් දකුණේ වාම කණ්ඩායම්වල සන්නද්ධ පුහුණුවීම්වලට එරෙහිවද ජවිපෙ මර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙලට මුහුණදීම සඳහා ද සන්නද්ධ අංශයක් බිහිකිරීමට උවමනා බව එහිදී යෝජනා විය. සන්නද්ධ අංශයේ කටයුතු වේගවත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් 1985 දෙසැම්බර් මස පැවති අතර විධිමත් ලෙස සන්නද්ධ අංශය ආරම්භ වූයේ ඉහත රත්නපුර ඇලපාතේදී 1986 මාර්තු පැවති එම රැස්වීමේදීය. මුල් කාලයේ ජවිපෙ සන්නද්ධ අංශය දේශප්‍රේමිත්වය තේමා කරගත් රණශූරත්වය තරමටම උපායශීලිත්වය මුල්කරගත් යුද්ධයක නිරත විය යුතු බවට තීරණය කෙරිණි.   


ඒ වනවිට හොරණ මූණගම ප‍්‍රදේශයේ නැවතී සිටි සමන්ගේ දෙමාපියන් සහ පවුලේ සාමාජිකයින් පසුව පෝරුවදණ්ඩට ගියේය. පසුව පානදුරේට ද, නුගේගොඩ එක්වත්තටද උඩහමුල්ල ඇතුළු ස්ථාන කිහිපයකට ගියේය. සමන් අත්අඩංගුවට පත්වූ නාවල නිවසට පැමිණියේ 1989 දෙසැම්බර් 25ය. විජේවීර 1987 හල්දුම්මුල්ලේ හාල්ඇටතැන්නේ සහ 1987 ජුලි මස සිට බණ්ඩාරවෙල නෙළුව ලෙව්ගොඩවත්තේ නිවෙස්වල සිටින විට විජේවීරගේ බිරිඳ සහ දරුවන් සමඟ එහි නිවසේ සහායට කෙටි කලක් සිටි අය අතර සමන්ගේ නැගණිය කමනීද වූවාය.   


 ජවිපෙ යුද නායකයා වූ සමන් පියසිරිගේ යුද න්‍යායචාරවරයා වූයේ දයා වන්නිආරච්චිය. ඔහු යුද කටයුතු පිළිබඳව සහ ගරිල්ලා කටයුතු පිළිබඳව පොත්පත් පරිශීලනය කිරීමෙන් සහ සෙසු දැනුම සමාජයෙන් උකහාගෙන සමන් පියසිරි වෙත ලබාදී තිබිණි. ජවිපෙ විසින් රටපුරා අරඹන ලද අවි පුහුණු කඳවුරු සමන් ගේ මෙහෙයවීමෙන් ආරම්භ වූ අතර 1988 මැද භාගය තෙක් පුහුණු කඳවුරුවල අවසාන දින විසිරයෑමේ අවස්ථාවටද ඔහු බොහෝ විට සහභාගි විය. හමුදා කඳවුරු සහ පොලිස් ස්ථානවලට එල්ල කරන ලද ප‍්‍රධාන ප‍්‍රහාර 5කදී සමන් පියසිරි විසින් කණ්ඩායම මෙහෙයවූ අතර තවත් අවස්ථා 12කදී එම ප‍්‍රහාර සැලසුම් කර තිබිණි. සමන් පියසිරි ගේ යුද සැලැසුම්වල ආරම්භයේ මූලික තැනක් දුන්නේ ගරිල්ලා සටන් කෙරෙහිය. ආරක්ෂක අංශ බලවත් අවස්ථාවන්හිදී සටන් වැදීමෙන් තොරව පසු බැසීමද ඔවුන් දුබලවූ අවස්ථාවන්හිදී අවධානයෙන් සිට ප‍්‍රහාරයන් එල්ල කිරීම ද උපාය මාර්ගය විය. එහෙත් 2වැනි කැරැල්ලේ මැද භාගය ​ෙවනවිට සියල්ල උඩු යටිකුරු වී බහුතරයක්ම වාගේ පුද්ගල ඝාතන සහ කඩාකප්පල්කාරී ක්‍රියාමාර්ග වලට මුල්තැන දුන්නේය.   


විජේවීර ඝාතනයෙන් පසු ජවිපෙ නායකත්වයට සමන් පියසිරි පත්වූයේ 1989 නොවැම්බර් 28 රත්නපුර පණුකරාපිටියේදී පැවති දේශපාලන මණ්ඩල රැස්වීමේදීය. සංවිධානාත්මක වැඩ සම්බන්ධයෙන් ඉතිරිව සිටි දක්ෂම පුද්ගලයා සමන් බැවින් ඒ වනවිට ජීවත්ව සිටි ඔහුට වඩා දේශපාලන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨයින් වූ ශාන්ත බණ්ඩාර සහ සෝමවංශ අමරසිංහ ලිඛිතවද දේශපාලන මණ්ඩල සභික ලලිත් විජේරත්නගේද සහාය එම යෝජනාවට හිමිවිය. රජය 1989 නොවැම්බර් 28 නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සෝමවංශ අමරසිංහ, ශාන්ත බණ්ඩාර, සමන් පියසිරි ප‍්‍රනාන්දු, ගාමිණී ගුණසේකර සහ උපාලි ජයවීර යන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බවත් ඔවුන් පිළිබඳව තොරතුරු සපයන අයට වටිනා ත්‍යාග පිරිනමන බවත්ය. 

 
සමන් පියසිරි ජවිපෙ නායකයා වූ බව ප‍්‍රථමවරට හෙළිකළේ පිලිපීනයෙන් විකාශනය වූ වෙරිටාස් කතෝලික ගුවන් විදුලියේ සිංහල සේවය මගිනි. ඒ 1989 දෙසැම්බර් 01ය. වෙරිටාස් මැනිලා වාර්තාකරු ප‍්‍රවීණ මාධ්‍යවේදී එල්මෝ ප‍්‍රනාන්දුට ඒ පිළිබඳව දැනුම් දෙනු ලැබුවේ ප‍්‍රවීණ මාධ්‍යවේදී දයා ලංකාපුර විසින් ලේඛකයාගේ මැදිහත්වීමක් අනුවය. එය සිදුවූයේ ලලිත් විජේරත්න මෙම ලේඛකයාගෙන් කරන ලද ඉල්ලීමක් අනුවය. දෙවැනි කැරලි සමයේ ලංකාවේ සත්‍ය තොරතුරු දැනගැනීමේ ප‍්‍රධාන මාර්ගයක් බවට එකල වෙරිටාස් ගුවන්විදුලිය ජනප‍්‍රියව තිබිණි. ග්‍රෙගරි පාරේ අපරාධ විමර්ශන මූලස්ථානයේ (සී.ඩී.බී) පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක ගේ ප‍්‍රධානත්වයෙන් සහ පොලිස් පරීක්ෂක දන්තිල ශ‍්‍රී ජයසිංහ ගේ සහභාගිත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් නාවල කොස්වත්තේ නිවසක සිටියදී 1989 දෙසැම්බර් 27 සමන් පියසිරි අත්අඩංගුවට ගන්නා ලදී. මෙම නිවස ගුවන් විදුලියේ මාර්ක් ඇන්තනි ප‍්‍රනාන්දුට අයත් වූ අතර එය ලබාදීමට මැදිහත් වූයේ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාය. සමන් පියසිරි අඩි 5 අඟල් 2ක් උසය. තරමක් මහතය. වම් අතේ කළු ලපයකි. දකුණු කනේ පසුපස එලෙසම ලපයකි. ඔහුට කීලොයිඩ් රෝගය වැළඳී තිබිණි. එවැනි රෝගියෙකුට හමේ කුඩා තුවාලයක් සිදුවූවද අසාමාන්‍ය ලෙස කැළලක් ඉතිරි වේ. ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් සමන් පියසිරි ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයට ගෙන ආ පසු ඔහු සමන් පියසිරි බවට නිශ්චිත වශයෙන් හඳුනාගත්තේ එම ශරීර ලක්ෂණ අනුවය.   

 

සමන් පියසිරි විසින් නායකත්වය දුන් ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මගින් 1989 රටපුරා පැවැත්වූ ජාතික විරෝධතා දිනයකදී කොළඹ කොටුවේ යෝක් වීදිය දිස්වූයේ මෙසේය.

 


අත්අඩංගුවට ගත් සමන් පියසිරිව ග්‍රෙගරි පාරේ පොලිස් අපරාධ විමර්ශන මූලස්ථානයට ගෙන ගොස් ප‍්‍රශ්න කරන ලදී. එහි පොලිස් අධිකාරිවරුන් වූයේ ලයනල් ගුණතිලක, ගාමිණී පෙරේරා, ආරියසිංහ සහ ජයසිංහය. පසුව ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයට (ඔප්ස් කම්බයින්) ගෙනවිත් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කළද හෙතෙම කිසිවකට උත්තර නොදුන්නේය. වධබන්ධන වලට ලක්වූවද කිසිදු තොරතුරක් අනාවරණය නොකළේය. පසුව සමන් පියසිරි 1989 දෙසැම්බර් 29 මත්තේගොඩදී ඝාතනයට පත්වූ අතර සිරුර පොල්අතු ගොඩක් උඩට දමන ලදී. එහිදී ඔහු සමඟම 1989 දෙසැම්බර් 28 නුගේගොඩ දෙල්කඳ දී ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වූ ජවිපෙ මධ්‍යම කාරක සභික සමරප්පුලිගේ සෝමසිරි හෙවත් රාගම සෝමේද, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරයෙකු වශයෙන් සිටි වැලිසර පදිංචි යුස්ටස් දිලීප් චන්ද්‍ර ප‍්‍රනාන්දු හෙවත් පතී හෙවත් සොයිසාද, දකුණු පළාත් සන්නද්ධ නායකයෙකු වූ රත්නායකද ඝාතනය විය. ඔවුන්ගේ සිරුරු පන්නිපිටියේදී විනාශ කෙරිණි. රාගම සෝමේ සහ පතී දෙසැම්බර් 28 ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගන්නා ලද්දේ සමන් පියසිරි සමඟ නාවල නිවසේ සිටියදී අත්අඩංගුවට ගත් සමන් බන්දුල ගේ තොරතුරක් අනුව බව කියති.   


සමන් පියසිරි අත්අඩංගුවට ගත් අවස්ථාවේදී එම නිවසේ සිටි සමන් පියසිරි ගේ මවද ඔහුගේ කනිටු නැගණිය වන රංජනී හෙවත් සුදු නංගීද සමන් පියසිරි විවාහ ගිවිස ගැනීමට යෝජිතව සිටි ජවිපෙ හිටපු ලේකම් වීරකැටිය හීන්බුන්නේ උපන් දයා වන්නිආරච්චි ගේ නැගණිය වන ඉන්ද්‍රානිද, ඇයගේ කනිටු සොහොයුරා වූ 1971 උපන් සමන් බන්දුලද (18) ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගන්නා ලදී. සමන් ගේ මව මාස කිහිපයකින් නිදහස් කරන ලදී. සමන් ගේ නැගණිය සහ පෙම්වතිය අපරාධ විමර්ශන මූලස්ථානයේ 6 වැනි තට්ටුව ඇතුළු ස්ථාන ගණනාවක විවිධ ප‍්‍රශ්න කිරීම් වලට ලක්ව අවසානයේ රන්මුතුගල නිවාසයේ වසර 2ක් පුනරුත්ථාපනයට ලක්ව නිදහස් විය. සමන් බන්දුල අත්අඩංගුවට පත්වී දෙදිනකට පසු ඝාතනයට ලක්විය. 

 
එහෙත් ආරක්ෂක අංශ 1989 දෙසැම්බර් 29 ප‍්‍රකාශ කළේ අත්අඩංගුවට ගත් සමන් පියසිරි ගේ මඟපෙන්වීම අනුව කැරලිකරුවන් ගේ සටන් මධ්‍යස්ථානයක් වශයෙන් ක්‍රියාත්මක වූ පිළියන්දල හැඬිගම පිහිටි කුකුළු ගොවිපළට ගොස් එහි සිටි ක්‍රියාකාරිකයින් අත්අඩංගුවට ගැනීමේදී එක් අයෙකු තබන ලද වෙඩි ප‍්‍රහාරයකින් සමන් පියසිරි මියගිය බවය. එමෙන්ම ආරක්ෂක අංශ එසේ එල්ල කළ ප‍්‍රතිප‍්‍රහාර වලින් රාගම සෝමේ ඇතුළු කොළඹ දිසා කමිටුවේ කැරලිකරුවන් 6ක් මියගිය බවකි. ඔවුන්ගේ හදිසි නීතියේ 55 වැනි වගන්තිය යටතේ මළ සිරුරු සඳහා ක්‍රියාකර ඇති බව එදින පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී ආරක්ෂක රාජ්‍ය ඇමති රන්ජන් විජේරත්න පැවසීය.   


සමන් අත්අඩංගුවට ගැනුණේ උඩහමුල්ල දුම්රියපොළ මාවතේ 186 නිවසේ සිටි සමන්ගේ පෞද්ගලික ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළැයි ආරක්ෂක අංශ පවසන මාතරගේ දොන් ආරියදාස (39) හෙවත් එම්.ඩී. ආරියදාස ගේ මඟපෙන්වීම අනුවය. කම්කරු දෙපාර්තමේන්තුවේ මුදල් අංශයේ ලිපිකරුවෙකු ලෙස ඔහු සේවය කළේය. එම්.ඩී. ආරියදාස 1989 දෙසැම්බර් 26 අලුයම අත්අඩංගුවට ගනු ලබන්නේ 1989 දෙසැම්බර් 12 අත්අඩංගුවට ගත් ජවිපෙ ක්‍රියාකාරිකයෙකු වූ ග්ලැඩ්ස්ටන් කොඩිකාර හෙවත් ටෝනි ගේ මඟපෙන්වීම අනුවය. පොලිස් අධිකාරි රොනී ගුණසිංහ විසින් ටෝනි අත්අඩංගුවට ගන්නා විට ඔහු සිටි නිවසේ බාල්කයක් තුළ තැනූ කුහරයක සඟවා තිබී රුපියල් දශලක්ෂයකට අධික වටිනාකමකින් යුත් දේශීය සහ විදේශීය මුදල් තොගයක්ද සොයාගන්නා ලදී.   


එම්.ඩී. ආරියදාස සිය බිරිඳ සීතා සහ දරුවා සමගින් උඩහමුල්ල නිවසේ පදිංචියට ගියේ දේශපාලන මණ්ඩල සභික ලලිත් විජේරත්න ගේ දැනුම්දීමක් අනුවය. වසර 1989 දෙසැම්බර් 10 එසේ පදිංචිය වෙනස් කිරීමට පෙර 1989 ඔක්තෝබර් සිට දෙසැම්බර් 10 දක්වා ආරියදාස සිටියේ මහරගම බටදොඹගහවත්තේ නිවසකය. එහි සිටියේ සමන් පියසිරි ගේ නැගණිය සහ මව ඇතුළු පවුලේ දෙදෙනෙකි.   


උඩහමුල්ල නිවසේ සිටින විට 1989 දෙසැම්බර් 25 උදෑසන සමන්ගේ නැගණිය විසින් ආරියදාසට කියා සිටියේ අනතුරුදායක තත්ත්වයක් උද්ගතවී ඇති බැවින් වහාම එම ස්ථානයෙන් පිටව යන බවය. කලින් ඇය ආරියදාසට කියා සිටියේ දෙසැම්බර් 27 යන බවකි. එහෙත් ඔවුහු ආරියදාස සහ දරු පවුල එහි ගෙනයෑමට මනාපයක් නොදැක්වූහ. එහෙත් සමන් පියසිරි ගේ නාවල නිවසේ උඩහමුල්ල නිවසේ සිට පදිංචියට යෑමේදී බඩු රැගෙන යෑමට ආරියදාස ගේ සහාය එක් අවස්ථාවකදී ලබාගන්නට ඔවුන්ට සිදුවිය.   
උඩහමුල්ල නිවසින් දෙසැම්බර් 25 සවස ඉවත්වන ආරියදාස සිය බිරිඳ සහ දරුවා සමඟින් තම වැඩිමහල් සහෝදරිය පදිංචිව සිටි දෙහිවල කවුඩාන පාරේ නිවසේ තාවකාලික වාසයට ගියේය. එදින රාත‍්‍රී 9.30ට පමණ සහෝදරිය ගේ නිවසට ගොස් නිදාගෙන සිටියදී පසුදා අලුයම එම ස්ථානය වටකළ ආරක්ෂක අංශ ආරියදාස සහ ඔහුගේ බිරිඳ ද අත්අඩංගුවට ගන්නා ලදී. පසුව ප‍්‍රශ්න කිරීම් සහ වධබන්ධනවලට ලක්වූ ආරියදාස ගේ මඟපෙන්වීම අනුව සමන් පියසිරි ගේ නාවල නිවස ආරක්ෂක අංශ වෙත හෙළිදරව් විය. ජවිපෙ සාමාජිකයෙකු වූ ආරියදාස සිය මිතුරෙකු වූ ලලිත් විජේරත්න ගේ ඉල්ලීම මත 1987දී රැකියාවෙන් ඉවත්ව 2වැනි කැරැල්ලට පූර්ණකාලීනව එක්වූවෙකි. 

 
පොලිස් අත්අඩංගුවට ගත් ආරියදාස ගේ ප‍්‍රකාශය අනුව පන්නිපිටිය වීර මාවතේ 265/2 දරණ ස්ථානයේ පදිංචිව සිටි නවරත්න මුදියන්සේලාගේ මුතුබණ්ඩාද (34) වසර 1990 ජනවාරි 07 අත්අඩංගුවට ගන්නා ලදී. කම්කරු දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙක් ලෙස 1980 පෙබරවාරි 12 සේවයට බැඳුණු මුතුබණ්ඩා විසින් එහිම සේවය කළ ආරියදාස සමීපව හඳුනාගන්නා ලද්දේ 1985දීය. සමන් පියසිරිට අයත් හමුදා ප‍්‍රහාරවලට සම්බන්ධ රහස් ලියකියවිලි ඇතුළත් බෑගයක් ආරියදාස සතුව තිබූ අතර උඩහමුල්ල නිවස අතහැර යන විට එය වැඩි ආරක්ෂාව තකා 1990 දෙසැම්බර් මස මුතුබණ්ඩා ගේ නිවසට ගොස් භාරදෙන ලදී.   

වමේ සිට තෙවැනි ඡායාරූපය දක්වා ඇත්තේ සමන් පියසිරි ප්‍රනාන්දුගේ ජීවිතයේ විවිධ අවස්ථාවන්ය. සිව්වන ඡායාරූපය සමන්ගේ මව ජොසී එන්ගල්ටින් පීරිස්ය. සමන්ගේ කනිටු නැගණිය රංජනී ප්‍රනාන්දු දකුණේ ඡායාරූපයේ වේ.

 

 


අත්අඩංගුවට ගත් මුතුබණ්ඩා බන්ධනාගාර ගතකොට 1990 අගෝස්තු 31 දක්වා තබාගෙන පසුව 1990 නොවැම්බර් 28 දක්වා අකුරේගොඩ පුනරුත්ථාපන කඳවුරේදී පුනරුත්ථාපනය විය. පසුව ඔහු ඇතුළු 25ක් 1990 නොවැම්බර් 28 සිට මහරගම විපස්සනාරාම විහාරයේ ආගමික ආශ්‍රිත වැඩසටහන් වලට යොමුකරන ලදී. එසේ පුනරුත්ථාපනය වූ පසු ඔහුට 1990 දෙසැම්බර් 21 යළි කම්කරු දෙපාර්තමේන්තුවේම රැකියාව හිමිවිය.   


සමන් පියසිරි නාවලදී අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශවලට මඟපෙන්වූ එම්.ඩී. ආරියදාස උසස් පෙළ සමත්වූයේ දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයෙනි. වරලත් ගණකාරි ආයතනයේ ප‍්‍රථමික පරීක්ෂණයෙන් සමත්ව එහි අවසාන පරීක්ෂණයට ඔහු සූදානම්ව සිටියේය. පසුව කම්කරු දෙපාර්තමේන්තුවේ මුදල් අංශයේ ලිපිකරුවෙකු විය. මහරගම බටදොඹගහවත්ත පටුමගේ අංක 59 පදිංචිව සිටි ඔහු විවාහ වූයේ දෙහිවල සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ සිතා එම්.පී. අබේවර්ධන සමඟය.   


ජවිපෙ සමඟ 1977 සිට හිතවතෙකු වශයෙන් කටයුතු කළ ආරියදාස අවසානයේ 1986 පූර්ණකාලීනයෙකු වී සමන් පියසිරි ප‍්‍රනාන්දුගේ පෞද්ගලික ලේකම්වරයෙකුද විය. ජවිපෙ විසින් ආරියදාසගේ නමට වසර එකහමාරකට බදුගත් බොරලැස්ගමුව සමූපකාර මාවතේ 29/4 දරණ නිවස ජවිපෙ ඉහළ පෙළේ නායකයින්ගේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් වූ අතර බැංකුවලින් පැහැරගත් රත්තරන් කිලෝ 60ක් සහ මුදලින් රුපියල් ලක්ෂ 23ක්ද එහි සඟවා තිබී ආරක්ෂක අංශ මගින් සොයාගනු ලැබීය. ඒවා සටහන් පොත්වල ඇතුළත් කරමින් දේශපාලන සභිකයින්ට ඔවුන්ගේ ඉල්ලීම පරිදි ලබාදුන්නේ ආරියදාසය.   


වසර 1992 පෙබරවාරි 22 පෙරවරු 10.10ට පැවති යුද්ධාධිකරණය හමුවේ යුද හමුදා පොලිසියේ සේවය කළ ලාන්ස් කෝප‍්‍රල් ආර්.කේ.අයි. සිල්වාට එරෙහි නඩුවේදී සමන් පියසිරි අත්අඩංගුවට ගැනීමට මඟපෙන්වූ බව කියන මාතරගේ දොන් ආරියදාස විසින් දෙන ලද සාක්කියේ සමන් පියසිරි අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළ යුද්ධාධිකරණ වාර්තාවේ අදාළ කොටස පහත දැක්වේ. බ්‍රිගේඩියර් සිරි පීරිස්ගේ සහභාගිත්වයෙන් යුත් යුද්ධාධිකරණයේ සෙසු සාමාජිකයන් වූයේ කර්නල් ජේ.පී.ඒ. ජයවර්ධන සහ ලුතිනන් කර්නල් වී.ආර්. සිල්වාය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩී.පී. කුමාරසිංහ යුද්ධාධිකරණයේ විනිශ්චකාර අධිනීතිඥයෙකු ලෙස ක්‍රියා කළේය. පැමිණිල්ල මෙහෙය වූ නිලධාරිනිය වූයේ මේජර් අයි. විජේරත්නය. (මෙහි පහත ජනක ලෙස නම්කර ඇත්තේ සමන් පියසිරි ප‍්‍රනාන්දුය.)   


පැමිණිල්ලේ නිලධාරිනි: තමුන් අල්ල ගත්තේ කවදාද?   

ආරියදාස: 1989 දෙසැම්බර් 25.   
පැමිණිල්ලේ නිලධාරිනි: ලලිත් විජේරත්නයි තමනුයි විතරද ඒ ගෙදර පදිංචිවී සිටියේ?   
ආරියදාස: මමයි, ලලිත් විජේරත්නයි, එයාගේ බිරිඳයි දරුවයි.   
පැමිණිල්ලේ නිලධාරිනි: කොහේද ඒ ගෙදර?   
ආරියදාස: බොරලැස්ගමුව සමූපකාර මාවතේ පාසල් පෙදෙස.   
සභාපති: බොරලැස්ගමුවේ හිටියේ කවදාද?   
ආරියදාස: 1988 අප්‍රේල් මාසයේ සිට 1989 ඔක්තෝබර් 4 තෙක්. බදු කාලය ඉවරවෙනකම්.   
පැමිණිල්ලේ නිලධාරිනි: ඊට පස්සේ?   
ආරියදාස: මහරගම වජිරාඥාණ පටුමගේ 59/1 වගේ තැනක.   
විනිශ්චකාර අධිනීතිඥ: තමන් සමන් පියසිරි ප‍්‍රනාන්දු සහ තවත් හුඟක් අය ආශ‍්‍රය කළා නේ?   
ආරියදාස: ඔව්.   
විනිශ්චකාර අධිනීතිඥ: ලලිත් විජේරත්න කියන කෙනා කෝ දැන්?   
ආරියදාස: එයා මැරුණා කියලා තමයි දන්නේ.   
විනිශ්චකාර අධිනීතිඥ: සමන් පියසිරි ප‍්‍රනාන්දු හෙවත් ජනක කියන කෙනා?   
ආරියදාස: එයත් පොලිස් අත්අඩංගුවට ගත්තා. එයත් මැරුණා කියලා තමා දැනගන්න තියෙන්නේ?   
විනිශ්චකාර අධිනීතිඥ: කොහෙදි ද පොලිස් අත්අඩංගුවට ගත්තේ?   
ආරියදාස: එයා ගත්තේ නාවල කොස්වත්තේදී.   
පැමිණිල්ලේ නිලධාරිනි: ජනක ගේ සහෝදරිය ගේ නිවසේදී ඇතිවූ ප‍්‍රශ්නය මොකද්ද?   
ආරියදාස: ඒ ගොල්ලන් ඒ නිවස හැරයාමට සූදානමින් සිටියේ. අපිට ගෙයක් ලැබෙන්න තිබුණේ 1986 දෙසැම්බර් 26. ජනකගේ නංගිලා ඒ ගොල්ලොන්ගේ අලුත් ගෙදරට යන්න හිටියේ දෙසැම්බර් 27වැනිදා. නමුත් ආරක්ෂක අංශවලින් කොයි මොහොතේ හරි එතෙන්ට එන්න පුළුවන් කියලා ඒ ගොල්ලෝ සැක කළා. ඒ නිසා දෙසැම්බර් 25 හදිස්සියේම එයාලා තීරණයකට ආවා.   
පැමිණිල්ලේ නිලධාරිනි: ජනකගේ නංගීත් ගියාද?   
ආරියදාස: ඔව්.   
පැමිණිල්ලේ නිලධාරිනි: ගෙයි ඇඩ්රස් එක කීවද ජනකගේ නංගී?   
ආරියදාස: ඇඩ්රස් එක දුන්නේ නැහැ. ඒ ගොල්ලෝ ඉන්න තැන දැනගන්නවා කියන ප‍්‍රශ්නේ උඩ. ඒ ගොල්ලෝ යන තැනකට අපිව එක්ක යන්න සූදානමක් නෑ.   
පැමිණිල්ලේ නිලධාරිනි: තමුන්ට දැනගන්නට ලැබුණාද ජනක කියන පුද්ගලයා අත්අඩංගුවට ගත්තා කියලා?   
ආරියදාස: ඔව්. මගේ ඉස්සරහ පිටදී තමා අත්අඩංගුවට ගත්තේ.   
පැමිණිල්ලේ නිලධාරිනි: තමුන්ගේ ඔත්තුවක් මතද ජනක අත්අඩංගුවට ගන්නේ?   
ආරියදාස: මම දීපු ඔත්තුවක් කියලා කියන්න මට බෑ. මගෙන් ප‍්‍රශ්න කරලා ඔහුව අත්අඩංගුවට ගත්තා කියලා බොහෝ දුරට සිද්ධවෙන්න ඉඩ තියෙනවා.   
පැමිණිල්ලේ නිලධාරිනි: තමුන්ව ප‍්‍රශ්න කරලා ඒ ප‍්‍රශ්නවලට දුන් පිළිතුරු අනුව ජනකව සොයාගත්තා කියලා කියන්න පුළුවන්ද?   
ආරියදාස: මට කියන්න පුළුවන්, ඒ කියන්නේ මාව පදනම් කරගෙන තමයි එයා අත්අඩංගුවට ගත්තේ කියලා.   
පැමිණිල්ලේ නිලධාරිනි: කොහාටද ගියේ?   
ආරියදාස: නාවල පැත්තට. තැන් තැන්වලින් එක එක්කෙනා ගෙන් තොරතුරු විමසමින් ඒ ගොල්ලෝ වෑන් එකකින් හුඟාක් එහාට මෙහාට ගියා. ඒ ගිහිල්ලා එක ගෙයක් වට කළා. නමුත් ඒ ගෙය නොවෙයි කියලා ඒ ගොල්ලොන්ට තේරුණා. වෑන් එක ඒ එක්කම පල්ලෙහාට ගිහින් නැවත්තුවා. ඒ ගොල්ලෝ ඇතුළට ගියා. මාව ඇතුළට එක්ක ගියේ නැහැ. මම වෑන් එකේ හිටියා. ඇතුළට ගියාට පස්සේ එයාව ගෙනාවා.   
පැමිණිල්ලේ නිලධාරිනි: ජනක කොහේද වාඩි වුණේ?   
ආරියදාස: එයා මගේ ගාවින් තමා වාඩි වුණේ.   
පැමිණිල්ලේ නිලධාරිනි: ජනක කථා කළාද?   
ආරියදාස: කථා කළේ නෑ. දෑත් බැඳලා. ඉතාම ද්වේශකාරී තත්ත්වයකින් ඉන්නවා මම දැක්කේ.   
පැමිණිල්ලේ නිලධාරිනි: ජනක අත්අඩංගුවට ගත් අවස්ථාවේ ජනක ගෙන් ප‍්‍රශ්න කිරීම තමුන් ඉදිරිපිට සිදුකළාද?   
ආරියදාස: ඒ අවස්ථාවේ අපරාධ පරික්ෂණ මූලස්ථානයට ගෙනාවට පස්සේ මාව ඉස්සරහට කැඳෙව්වා.   
පැමිණිල්ලේ නිලධාරිනි: ඊට පස්සේ?   
ආරියදාස: ඊට පස්සේ ජනකගෙන් ඇහැව්වා මාව අඳුරනවද කියලා. එයා දන්නේ නැහැ කීවා.   
පැමිණිල්ලේ නිලධාරිනි: අත්අඩංගුවට ගත් පසු තමන්ගෙන් ඇහුවාද ජනක ගැන විස්තර?   
ආරියදාස: ඔව්. මා ළඟ ඔප්පුවක් තිබුණා. ඒ කලින් අවස්ථාවක ජනක විසින් මට ඉදිරිපත් වෙලා ගන්න කිවූ දේපලක ඔප්පුවක් 1989 ජනක මට කීවා. වැඩක් තියෙනවා. ඔයා ඉදිරිපත් වෙන්න ඕන ගැණුම්කරු විදිහට කියලා.   
විනිශ්චකාර අධිනීතිඥ: කොහේද ඒ දේපොළ?   
ආරියදාස: පිළියන්දල.   
පැමිණිල්ලේ නිලධාරිනි: ජනකත් එක්කද ගියේ?   
ආරියදාස: ජනකත්, ජනකගේ ගෙදර හිටිය බන්දුත් එක්කයි ගියේ. (ලේඛකයාගේ සටහන - මෙම බන්දුල යනු 18 හැවිරිදි සමන් බන්දුලය. සමන් පියසිරි ගේ පෙම්වතිය වන ඉන්ද්‍රාණි ගේ කනිටු සොහොයුරාය. එම නිවසේම ජීවත් වූ බන්දුල, සමන් පියසිරි සමඟ අත්අඩංගුවට පත්ව දෙදිනකට පසු ඝාතනයට පත්විය.)   
පැමිණිල්ලේ නිලධාරිනි: කෝ දැන් ඔප්පුව?   
ආරියදාස: ඔප්පුව මා ළඟ තිබිලා පොලිසිය අතට පත්වුණා. ඊට පස්සේ සත්‍ය කථාව මම කීවා.   

 


මාතරගේ දොන් ආරියදාසට එරෙහි නඩුවේදී මහාධිකරණ විනිසුරු එෆ්.ඩී.එන් ජයසූරිය විසින් 1992දී ආරියදාසට බරපතළ වැඩ ඇතිව වසර 2ක සිරදඬුවමක් පනවා එය වසර 10කට අත්හිටුවන ලදී. අනතුරුව ආරියදාස රජයේ සහාය ඇතිව විදේශ රැකියාවකට යොමුවිය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය 1989 අගෝස්තුw ගත් තීරණයක් අනුව හමුදා සහ පොලිස් භටයන් සිය සේවාවලින් ඉවත් නොවීම නිසා එම පවුල්වල අය ඝාතනය කිරීමට කටයුතු කළේය. ආරක්ෂක අංශවල සාමාජිකයින්ට ක්ෂණික මරණ බිය ඇතිකළ හැකිවූවද පවතින මරණ බියක් ඇතිකිරීමට නොහැකි විය. එම තීරණයත් සමඟම ආරක්ෂක අංශවල සාමාජිකයින් කැරලිකරුවන්ට එරෙහිව අනුකම්පා විරහිත මෙහෙයුමක් ආරම්භ කළ අතර එය කැරලිකරුවන්ට අවසානයේ පාරාවල්ලක් විය.   


විජේවීර ඝාතනයෙන් පසු මසක් පිරෙන 1989 දෙසැම්බර් 13 රටපුරා විවිධ ස්ථානවලට පහරදීමට ජවිපෙ තීරණය කළ අතර එය ඉතිරිව සිටි කැරලිකරුවන් බහුතරයකට සහ ආරක්ෂක අංශ විසින් රඳවාගෙන සිටි දහස් ගණනකට මරණය කැඳවාගැනීම ඉක්මන් කරන්නක් විය. එම තීරණය ගැනීමට නිවැරදි විග‍්‍රහයක් සහ ඒ වනවිට කණ්ඩායම සතු වූ සන්නද්ධ හැකියාව පිළිබඳව පූර්ණ තක්සේරුවක්ද නව දේශපාලන මණ්ඩලය සතු නොවීය. කැරැල්ලේ අවසන්භාගය වන 1989 ජුලි සිට සන්නද්ධ අංශය මධ්‍යගත නොවූ අතර බොහෝ කලාප නායකයින්ට අවැසි ලෙස හුදකලාවේ සන්නද්ධ අංශය ක්‍රියාත්මක විය. ජවිපෙ 2වැනි නායකයා වශයෙන් 1989 නොවැම්බර් 28 තෝරා පත්කරගත් සමන් පියසිරි ප‍්‍රනාන්දු 1989 දෙසැම්බර් 29 ඝාතනයට පත්වන විට දින 32ක් ජවිපෙ නායකයා වශයෙන් කටයුතු කළේය.  


(ජවිපෙ 2 වැනි කැරලි සමය වූ 1986 සිට 1990 දක්‌වා පළවන මෙම ලිපි මාලාව පිළිබඳ විස්‌තර දුරකථන 011-5234384 ලබාගත හැකිය)  

 

 

 

 

 


 

පසුගිය සතියෙන්....


අනෙක් ඩිෆෙන්ඩර් වාහනයේ හමුදා භටයින්ට අමතරව රත්නපුර දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරයෙකුව සිටි කොළඹගේ ආරච්චිගේ පර්සි වීරසිංහ හෙවත් හේමන්ත හෙවත් රවි හෙවත් ඉළුක්කුඹුරද, කලවාන නිවිතිගල කලාපයේ සන්නද්ධ නායක දිසානායක මුදියන්සේලාගේ ගුණරත්න හෙවත් සුගත්ගේ ද දෑතට මාංචු දමා නංවා ගන්නා ලදී. ශාන්ත අවසාන කාලයේ රත්නපුර දිස්ත්‍රික්කයේ සැඟවී සිටියේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කළ රත්නපුර රෝහල අසල පදිංචි ගාමිණීගේ නිවසේ, දොඩම්පහලවත්තේ විජේවර්ධනගේ නිවසේ සහ ඇහැලියගොඩ පනාවල ජිනදාසගේ නිවසේය. අත්අඩංගුවට ගන්නා විට ශාන්ත සිටියේ වික්ටර් විසින් සොයා දුන් නිවිතිගල උඩකරවිට පදිංචි හදිසි මරණ පරීක්ෂක නිමල් පද්මසිරිගේ නිවසකය. එය පිහිටා තිබුණේ කරවිට පඤ්ඤානන්ද මධ්‍ය මහා විද්‍යාලයේ සිට කිලෝමීටරයක් ආසන්නවය. එම නිවස රත්නපුර ලංගම ඩිපෝවේ සේවය කළ ජස්ටින් හරහා ශාන්ත විසින් සොයා ගත්තකි.   


ශාන්ත අත්අඩංගුවට ගැනීම සඳහා උඩකරවිට එම නිවසට හමුදා භටයින් පැමිණියේ 1990 ජනවාරි 01 රාත‍්‍රී 7ට පමණය. නිවසේ පසුපසින් ද පැනයෑමට හැකි හෙයින් එය ද හමුදා භටයින් විසින් ආවරණය කරන ලදී. වික්ටර් පෙරටු කරගත් හමුදා භටයින් ඇතුළු වූ අතර සෙසු කැරලිකරුවන් දෙදෙනා එම ස්ථානය නොදන්නා බැවින් ඩිෆෙන්ඩර් රථයේම මාංචු පිටින්ම එක් හමුදා භටයෙකු මුරට යොදා තබන ලදී. අනතුර දුටු වහාම උඩුකය නිරුවත්ව සරමක් පමණක් හැඳ සිටි ශාන්ත පිටුපසින් පළායෑමට තැත්කළ ද එය නොහැකිවීම නිසා වත්තේ තිබූ කෙසෙල් ගාලක සැඟවිණි. නිවස වටලා විනාඩි 20ක මෙහෙයුමකින් පසු ශාන්ත හමුදා අත්අඩංගුවට පත්විය. පසුව වික්ටර් දුටු විගස ශාන්ත ඇසුවේ “ඇයි මල්ලී, මෙහෙම කළේ?” යන්නය.   


උඩකරවිට සිට කොළඹ බලා ශාන්ත රැගෙන ඒමේදී රත්නපුර තිරිවානකැටිය කන්ද උඩ පිහිටි හමුදා කඳවුරේදී හමුදා පිරිස තේ පානය කළ අතර ශාන්ත ඇතුළු කැරලිකරුවන්ට ද තේ ලබාදී තිබිණි. මත්තේගොඩ කඳවුරට 1990 ජනවාරි පළවෙනිදා රාත‍්‍රී 11ට පමණ ගෙන ආ ශාන්ත බණ්ඩාර ඇතුළු පිරිසට රාත්‍රී ආහාර ලබාදෙන ලදී. ජනවාරි 02 සවස නව දේශපාලන මණ්ඩල සභිකයෙකු වූ උපාලි ජයවීර ද ශාන්තට දැකගන්නට ලැබිණි. නුවරඑළිය හාවාඑළිය නිවාස සංකීර්ණයේදී 1990 ජනවාරි 02 අලුයම 1.45ට අත්අඩංගුවට ගත් උපාලි ජයවීර ද මත්තේගොඩ කඳවුරට ඒ වනවිට ගෙනවිත් තිබිණි.   


මත්තේගොඩට ශාන්ත සමඟ ගෙන ආ වික්ටර්, ඉළුක්කුඹුර සහ ගුණරත්න 1990 ජනවාරි 04 උදෑසන යළි කුරුවිට බුලත්ගම හමුදා කඳවුරට ගෙනවිත් රඳවා තැබීය. මත්තේගොඩ හමුදා කඳවුරේ රඳවාගත් ශාන්තගෙන් යුද හමුදා බුද්ධි අංශයේ විශේෂ බුද්ධි නිලධාරි දයා රත්නායක විසින් ප‍්‍රශ්න කරන ලදී. උපාලි ජයවීර 1990 ජනවාරි 06 උදෑසන යළි නුවරට රැගෙන යන විට ද ශාන්ත මත්තේගොඩදී දැකගන්නට ලැබිණි.   


පසුව ශාන්ත බණ්ඩාර 1990 ජනවාරි 06 රාත‍්‍රී ඝාතනයට ලක්විය. ඔහුගේ සිරුර බොරලැස්ගමුව සුසාන භූමියේ ආදාහනාගාරයේදී තවත් කැරලිකරුවන් කිහිපදෙනකු සමඟ දැවී ගියේය. අවසාන මොහොතේදී ශාන්තගේ ඉල්ලීම වූයේ තමා කිසිවෙකු පාවා නොදී ජ.වි.පෙ. ස්ථාවරය රැකගත් බව පක්ෂයට දැනුම්දෙන ලෙසය. එම පණිවිඩය එහි සිටි හමුදා නිලධාරියෙකු විසින් රත්නපුර බුලත්ගම කඳවුරට පසුදින ගිය අවස්ථාවේදී එහි කැරලි නායකයකුට දන්වා තිබිණි. 

 
ශාන්ත මියයන විට බිරිඳ ඉන්දු පස්මස් ගැබිනි මවකි. ඒ වනවිට බැංකු සේවයෙන් තාවකාලිකව සමුගෙන සිටි ඇය 1989 නොවැම්බර් වනවිට පදිංචිව සිටියේ ගම්පොළ නිවසකය. වසර 1990 අප්‍රේල් මස උපන් ශාන්තගේ දියණිය අධ්‍යාපනය ලැබුවේ පෞද්ගලික පාසැලකය. ශාන්තගේ වැන්දඹු බිරිඳ බැංකු සේවයට නැවතත් එක්වූ අතර පසුව යළි නව දිවියක් ඇරඹීය. ඇය විශ‍්‍රාම ගියේ බැංකු නිලධාරිනියක ලෙසිනි. කිසිදා ශාන්ත බණ්ඩාර නුදුටු දියණිය 2018 වනවිට සේවය කළේ පෞද්ගලික ආයතනයක නිලධාරිනියක් ලෙසිනි.   
ශාන්ත බණ්ඩාර යනු ජ.වි.පෙ. ඉතිහාසය තුළ සිටි සුවිශේෂී චරිතයකි. පුද්ගල ත‍්‍රස්තවාදය ප‍්‍රතික්ෂේප කළ අතර සතුරාට එරෙහිව සටන පමණක් කළ යුතු බව ඇදහූ ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලයේ සුළුතරය අතරින් එක් අයෙකු වූයේ ද ඔහුය. ඕනෑම දුෂ්කර තත්ත්වයක් තුළ එයට මුහුණදීමට ඇති හැකියාව මෙන්ම යමක් පිළිබඳව ගැඹුරින් සිතීමේ හැකියාව ද ඔහු සතු විය. විජේවීර ඝාතනයෙන් පසු කඩා වැටුණු ජ.වි.පෙ. යළි ගොඩනැගීමේ ප‍්‍රයත්නය ශාන්තගේ ඝාතනයත් සමඟම දෙවන වරට ද අඩාල විය. ​