රටම අඳුරු කළ ජූලි කලබල


දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයට වසර 35

 

කළු ජූලිය ශ්‍රී ලංකාවේ එක්තරා අඳුරු පරිච්ඡේදයක් සනිටුහන් කළ සිදුවීමක් විය. මෙරට ජන වාර්ගික සබඳතාව බිඳ දමන්නට පාදක වූ දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වය මුදාහැරුණේ මින් 35 වසරකට ඉහත 1983 ජුලි මාසයේ අවසන් සතියේය. නිදහසින් පසු මෙරට දෙමළ ජනයා 1956, 1958, 1977, 1981 සහ 1983 යන වසරවලදී විවිධ මැර ප්‍රහාරවලට ලක් වූ අතර 1983 සිදුවීම ඒ සියල්ලටම වඩා ප්‍රචණ්ඩකාරී විය. 

 
කළු ජූලිය නමින් හැඳින්වුණු එම ප්‍රචණ්ඩත්වයට පාදක වූයේ මින් 35 වසරකට ඉහත ජුලි 23 වැනිදාවක එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යාපනයේ තිරුනෙල්වේලියේදී හමුදා භටයන් පිරිසක් ඝාතනය කිරීමේ සිදුවීමය. වේළුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ මූලිකත්වයෙන් යුතුව ඔහුගේ නියෝජ්‍ය නායකයකු වූ “සෙල්ලක්කිලි අම්මාන්” තැපැල් පෙට්ටිය හන්දියේදී හමුදා අනුකණ්ඩයකට පහර දී ලුතිනන් වාස් ගුණවර්ධන ඇතුළු ශ්‍රී ලංකා පාබළ හමුදාවේ සොල්දාදුවන් 13 දෙනකු ඝාතනය කරනු ලැබීය. එයට පළිගැනීමක් ලෙස හමුදා භටයන් පිරිසක් යාපනයේ විවිධ ස්ථානවලදී සිවිල් වැසියන් 51ක් වෙඩි තබා ඝාතනය කළහ.   


හමුදාව උතුරේ කැරැල්ලක් ආරම්භ කර ඇතැයි ද පොලිසියට එය පාලනය කරගත නොහැකි වී ඇතැයි ද එවක උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.ඩී. රාජගුරු මහතා පොලිස්පති රුද්‍රා රාජසිංහම් මහතාට දැනුම් දුන්නේය.   


සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාට දැනුම් දෙන ලද අතර ඔහු තම බෑණා කෙනකු වූ ජනරාල් තිස්ස (බුල්) වීරතුංග යාපනයට එවීය. තත්ත්වය ප්‍රචණ්ඩකාරී වූ හෙයින් සොල්දාදුවන් 13 දෙනාගේ සිරුරු පූර්ණ හමුදා ගෞරව සහිතව පලාලි හමුදා කඳවුරේ භූමදාන කරන ලෙසට ජනාධිපති ජයවර්ධන, ආරක්ෂක ලේකම් ජනරාල් සේපාල ආටිගල මහතාට උපදෙස් දුන්නේය. එම උපදෙස ජනරාල් ආටිගල විසින් තිස්ස වීරතුංග වෙත දැනුම් දුන් අවස්ථාවේ “මා එවැන්නක් කරන්න උත්සාහ කළහොත් ඔවුන් මා ද මෙහි වළ දමනු ඇතැයි” වීරතුංග පැවැසීය. ඔහුගේ මතය වූයේ එම මළ සිරුරු කඩිනමින් ඔවුනොවුන්ගේ ගම් ප්‍රදේශ වෙත යැවිය යුතු බවටය.   


ජාතික ආරක්ෂක කවුන්සිලය වහා රැස් වූ අතර, ඔවුන්ගේ නිගමනය වූයේ මළ සිරුරු ගුවන් හමුදා යානයකින් කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන විත් එම්බාම් කොට ඔවුනොවුන්ගේ ඥාතීන්ට බාර දිය යුතු බවටය. ඒ අනුව එම්බාම් කරන ලද මළ සිරුරු ඔවුන්ගේ ගම්බිම් වෙත රැගෙන යාම සඳහා වායුසමීකරණය කරන ලද වාහන 13ක් සූදානම් කර තැබීමට පොලිසියට දැන්වූහ. ජනාධිපති ජයවර්ධන එම තීරණය අනුමත කළේය.   
එහෙත් මොහොතකින් එම තීරණය අවලංගු කෙරිණි. මළ සිරුරු 13 රත්මලාන ගුවන් තොටුපළ වෙත ගෙනවිත් කොළඹ කනත්තේ එකවර භූමදානය කිරීමට තීන්දු විය. ජනාධිපති ජයවර්ධන එම තීරණය ගන්නා ලද්දේ එවක කර්මාන්ත හා විද්‍යා කටයුතු පිළිබඳ අමාත්‍ය සිරිල් මැතිව් මහතාගේ ඉල්ලීමක් අනුව බැව් පසුව වාර්තා විය. සොල්දාදුවන් 13 දෙනාගේ අවමංගල උත්සවය පිළිබඳ ප්‍රවෘත්තිය ගුවන් විදුලිය හා රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරිණි.   


සොල්දාදුවන් 13 දෙනාගේ සිරුරු බොරැල්ල කනත්තේ භූමදාන කෙරෙන බවට වාර්තා වීමත් සමඟ විශාල පිරිසක් බොරැල්ල කනත්ත වෙත ඇදී එන්නට වූහ. රජයේ වාහනවලින් ද විශාල පිරිසක් එම ස්ථානයට රැගෙන එන ලදහ. මෙම තත්ත්වය තවත් උත්සන්න වූයේ ප්‍රධාන පෙළේ බෞද්ධ භික්ෂූන්ගේ ඇතැම් ආවේගශීලී ප්‍රකාශ හේතුවෙනි.   


පොලිස්පති රුද්‍රා රාජසිංහම්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන අර්නි පෙරේරා සහ ආර්. සුන්දරලිංගම් යන මහත්වරුන් සමඟ කොළඹ කනත්ත වෙත ගිය අතර තත්ත්වය එතරම් හිතකර නොවන බැව් ඔවුනට පසක් විය. පොලිස්පතිවරයා වහා වෝඩ් පෙදෙසේ පිහිටි ජනාධිපති ජයවර්ධනගේ නිවෙස කරා ගොස් ඉරිදා රාත්‍රියේ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරන ලෙසට ඔහුගෙන් ඉල්ලා සිටිය ද එය ප්‍රතික්ෂේප කෙරිණි.   


ඇසළ සඳ   


එම ඉරු දිනය පෝය දිනයක් විය. එදින සන්ධ්‍යාව වනවිට තත්ත්වය ක්‍රමයෙන් නරක අතට හැරෙමින් පැවැතියේය. මැර පිරිස් තිඹිරිගස්යාය ප්‍රදේශයේ සිට බොරැල්ල කනත්ත දෙසට ගමන් කරමින් සිටියහ. ඔවුහු දෙමළ මිනිසුන්ට අයත් නිවාස සහ ව්‍යාපාරික ස්ථානවලට පහර දෙන්නටත් ගිනි තබන්නටත් වූහ. වළාකුලක් නොවූ අහසේ දීප්තිමත්ව පායා තිබූ ඇසළ සඳ දෙමළ ජනයාගේ ගිනි ගත් නිවෙස් හා ව්‍යාපාරික ස්ථානවලින් නික්මුණු දුමාරයෙන් වැසී ගියේය.   


පසු දින එනම් ජුලි 25 වැනි සඳුදා දෙමළ ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වය දසත පැතිරෙන්නට විය. වතුකරයේ දෙමළ නායකයකු වූ සෞම්‍යමූර්ති තොන්ඩමන් පසු අවස්ථාවක එය අරුත් ගැන්වූයේ “සන්ඩේ සිල්, මන්ඩේ කිල්” (ඉරිදාට සිල් ගැනීම - සඳුදාට මැරීම) යනුවෙනි.   


පොලිස්පති රුද්‍රා රාජසිංහම්ගේ බලවත් ඉල්ලීම මත අවසානයේ ඇඳිරි නීතිය පැනවීමට ජනාධිපති ජයවර්ධන පියවර ගත්තේය. එහෙත් එය සඳු දින සවස් වන තෙක් ප්‍රමාද කිරීමට ඔහු වගබලා ගත්තේය. ඇඳිරි නිතිය ක්‍රියාත්මක වීමෙන් පසුව ද ප්‍රචණ්ඩ ක්‍රියා නොනැවතුණු අතර දින තුනක් පුරා පැවැතියේය. 27 වැනි බදාදා එය උත්සන්න විය.   


තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා ජුලි 28 දා ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි එවක ඉන්දියානු විදේශ අමාත්‍යවරයා වූ පී. නරසිම්හ රාඕ විශේෂ නියෝජිතයකු ලෙස ශ්‍රී ලංකාවට එවීමට පියවර ගත්තාය.   
ජුලි 28 දා කොළඹට කොටි සාමාජිකයන් පිරිසක් පැමිණ ඇති බවට කොළඹ හා අවට ප්‍රදේශ බියෙන් තැතිගන්වන දූෂමාන පුවතක් පැතිර ගියේය. එහෙත් එය අසත්‍ය ප්‍රචාරයක් විය. ජුලි 30 හා 31 වනවිට ප්‍රචණ්ඩත්වය ක්‍රමයෙන් අවම වෙමින් පැවැතිණි. ප්‍රචණ්ඩත්වය පාලනය කරන ලෙසට ජාත්‍යන්තරයෙන් ජනාධිපති ජයවර්ධන හට බලපෑම් කරන ලදැයි පැවැසිණි. “කළු ජූලිය එල්.ටී.ටී.ඊ.ය විසින් උතුරේදී සොල්දාදුවන් 13 දෙනකු ඝාතනය කිරීමට එරෙහිව දකුණේ සිංහල ජනයා විසින් ක්ෂණිකව දක්වන ලද ප්‍රතිචාරයක් යැයි” ජනාධිපති ජයවර්ධන හා පාලක පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරු ප්‍රකාශ කළහ.   


කළු ජූලියේ අඳුරු සිදුවීම් පිළිබඳ විමසීමේදී පැහැදිලිවම පෙනී යන කරුණක් තිබේ. ඒ සමස්ත සිංහල ජනතාව වෙතම චෝදනා එල්ල වීමය. සිංහලයන් වරදකරුවන් හා දෙමළ ජනයා වින්දිතයන් වූ බව සත්‍යයකි. එහෙත් දෙමළ ප්‍රජාවට එරෙහි සිංහල නැගිටීම සමස්ත සිංහලයන් විසින් සිදුකරන ලද්දක් නොවීය. එසේ වූවා නම් මෙම කතාව පැවැසීම සඳහා එකදු දෙමළ ජාතිකයකු ඉතිරි නොවනු ඇත. 

 

 

 

භීතියට පත් සිංහල ජනතාව   


දෙමළ ජනයාට එරෙහිව සිදු වූ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් සිංහලයෝ අතිශය කැළඹීමට පත් වූහ. කිසිවක් කරකියාගත නොහැකි වූ ඔවුනට කළ හැකි වූයේ ඔහේ බලා සිටීම පමණකි. නිවෙස් ගිනි තබමින් ගිය ප්‍රචණ්ඩකාරීන් ඒ සඳහා ඉන්ධන ලබා ගත්තේ “රට ජාතිය බේර ගන්න - පැට්‍රල් තෙල් ටිකක් දෙන්න” යන සටන් පාඨය කියමිනි. දෙමළ ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වය පැතිරවීම සඳහා සහභාගී නොවූ පිරිසක් සිටි බැව් අප අමතක නොකළ යුතුය. එහෙත් ප්‍රචණ්ඩත්වයට එරෙහි වීමෙන් වැළකී නිහඬව සිටීමෙන් ඇතැමෙක් ඒ සඳහා නිහඬ අනුමැතියක් ලබා දුන් බවට ද නිගමනය කළ හැකිය.   


සිංහල ජනයාගෙන් විශාල පිරිසක් දෙමළ ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වයට එරෙහි වූහ. විශාල අවදානමක් ගනිමින් ඔවුහු දෙමළ ජනයා ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කළහ. බොහෝ මුස්ලිම් වැසියෝ ද අසල්වැසි දෙමළ ජනයා තම නිවෙස්වල සඟවා ගැනීමට පියවර ගත්හ.   


1983 ජුලි ප්‍රචණ්ඩත්වය සංවිධානාත්මක ක්‍රියාදාමයක් විය. බොහෝ පිරිස් සිය කැමැත්තෙන් ඒ සඳහා එක් වුව ද ඒ සඳහා සහභාගී වූ ප්‍රධාන කණ්ඩායම් පැමිණ සිටියේ කලින් සූදානම් වීමෙනි. ඔවුන් ප්‍රචණ්ඩත්වය මුදාහරින විට සිය කැමැත්තෙන් එක් වූ පිරිස් ඔවුන්ට සහාය දැක්වූහ. මෙම කණ්ඩායම්වලට එවක බලයේ සිටි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන පෙළේ සාමාජිකයන්ගේ ආරක්ෂාව හිමි විය. ඔවුන් අත දෙමළ වැසියන්ගේ නිවාස හා ව්‍යාපාරික ස්ථාන පිළිබඳ ලයිස්තු තිබිණි. ඒවායේ හිමිකරුවන් පිළිබඳ සියලු විස්තර ඔවුහු දැන සිටියහ. එම නිවෙස් හා ව්‍යාපාරික ස්ථානයන්හි හිමිකරුවන් සිංහලයන් නම් ගොඩනැගිලිවලට හානියක් නොවන පරිදි දෙමළ ජනයාට අයත් ගෘහභාණ්ඩ හා අනෙකුත් උපකරණ පමණක් එළියට ඇද දමා ගිනි තැබීමට ක්‍රියා කළහ.   


බොහෝ මැර කණ්ඩායම්වලට නායකත්වය දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිතිය වන ජාතික සේවක සංගමය මගිනි. එයට මහ නගර සභා සහ නගර සභා නියෝජිතයන්ගේ ද සහාය ලැබිණි. ප්‍රධාන පෙළේ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ හිතවත්හු එයට එක් වී සිටියහ. මැරයන් අත්අඩංගුවට ගැනීමෙන් වළකින ලෙස එක්සත් ජාතික පක්ෂ දේශපාලනඥයන්ගෙන් පොලිසියට අණ ලැබිණි. 

 

පොලිස්පති රුද්‍රා රාජසිංහම්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන අර්නි පෙරේරා සහ ආර්. සුන්දරලිංගම් යන මහත්වරුන් සමඟ කොළඹ කනත්ත වෙත ගිය අතර තත්ත්වය එතරම් හිතකර නොවන බැව් ඔවුනට පසක් විය. පොලිස්පතිවරයා වහා වෝඩ් පෙදෙසේ පිහිටි ජනාධිපති ජයවර්ධනගේ නිවෙස කරා ගොස් ඉරිදා රාත්‍රියේ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරන ලෙසට ඔහුගෙන් ඉල්ලා සිටිය ද එය ප්‍රතික්ෂේප කෙරිණි.

 
මැරයෝ සහ හෙංචයියෝ   


ප්‍රහාර සඳහා පැමිණි මැර කණ්ඩායම් හා හෙංචයියන් විශාල වශයෙන් ප්‍රවාහනය කෙරුණේ ලංගම බස්රථවලින් හා රාජ්‍ය සංස්ථාවලට අයත් වාහනවලිනි. ආහාර පැකට් සහ මත්පැන් ද ඔවුන් අතර ක්‍රමානුකූලව බෙදාහැරිණි. ගුණගරුක දේශපාලනඥයන් වූ ෂෙල්ටන් රණරාජා සහ රේණුකා හේරත් යන දේශපාලනඥයෝ නුවර සහ නුවරඑළිය ප්‍රදේශයන්හි මැරයන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට අණ කළ ද සමහර දේශපාලනඥයෝ ඔවුන් නිදහස් කර ගැනීමට ක්‍රියා කළහ.   


සිරිල් මැතිව් සහ ඔහුගේ දේශපාලන හෙංචයියන් විසින් ඇති කරන ලද ප්‍රචණ්ඩත්වය කිසිවකුට රහසක් නොවේ. ඔවුන්ගෙන් සමහරෙක් වර්තමානයේ ද දේශපාලනයේ නිරත වන අතර ඉහළ නිලතල ද හොබවනු ලබති. කළු ජූලිය යනු ක්ෂණිකව මතු වූ කැරැල්ලක් නොව මනාව සැලසුම් කරන ලද සංහාරයකි.   


එය සොල්දාදුවන් 13 දෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් පැන නැගුණු ආතතිය මත සිදුකෙරුණු බවට ඔවුහු නිදහසට කරුණු දක්වති. එහෙත් අවධානයට ලක් විය යුතු කරුණක් වන්නේ වවුනියාව, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ද දෙමළ ජාතිකයන් ඉලක්ක කර ප්‍රචණ්ඩත්වය මුදාහළ බවයි.   


පිළිකුල් සහගත ප්‍රතිචාරය   


මෙම සංහාරයේ කනගාටුදායක තත්ත්වය වූයේ ජේ.ආර්. ජයවර්ධන සහ ඔහුගේ ​ෙජ්‍යෂ්ඨ ඇමැතිවරුන් රූපවාහිනී මාධ්‍ය ඔස්සේ දක්වන ලද පිළිකුල් සහගත ප්‍රතිචාරයයි. ඔවුහු වින්දිත දෙමළ ජනතාව වෙනුවෙන් අනුකම්පාව දක්වන එකදු වදනක් හෝ ප්‍රකාශ කිරීමට උනන්දු වූයේ නැත. සිංහල ජනතාව වෙත අනියම් ආකාරයෙන් දෝෂාරෝපණය කළ ජේ.ආර්. ජයවර්ධන, එය ස්වාභාවික ප්‍රතිචාරයක් යැයි කියා සිටියේය. දෙමළ ජනයා පත්ව ඇති තත්ත්වය පිළිබඳ සොයා බලනු වෙනුවට ජේ.ආර්. ජයවර්ධන ප්‍රකාශ කළේ බෙදුම්වාදය තහනම් කිරීම සඳහා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පියවර ගන්නා බවටය. මෙම ප්‍රචණ්ඩත්වයට විදේශ බලවේග වගකිව යුතු යැයි රාජ්‍ය අමාත්‍ය ආනන්ද තිස්ස ද අල්විස් මහතා ප්‍රකාශ කළේය. සිංහලයන් හා දෙමළ ප්‍රජාව අතර ද සිංහලයන් හා මුස්ලිම් ප්‍රජාව අතර ද බෞද්ධයන් හා කිතුනුවන් අතර ද අර්බුද ඇති කිරීමට කිසියම් කුමන්ත්‍රණයක් පවතින බව ද ඔහු කියා සිටියේය. ඉන්දියානු හමුදාවට ශ්‍රී ලංකාවට පැමිණ දෙමළ ජනයා ගලවා ගැනීමට පැය 14ක් ගත වන අතර, ඔවුන් විනාශ කිරීමට සිංහලයන්ට අවශ්‍ය වූවා නම් ඊට ගත වන්නේ විනාඩි 14ක් පමණක් බැව් ඔවුන් සිහි තබාගත යුතු යැයි ඉඩම් සහ මහවැලි සංවර්ධන ආමාත්‍ය ගාමිණී දිසානායක දෙමළ ජනයාට අනතුරු ඇඟවීය.   


ප්‍රචණ්ඩකාරී සිදුවීම් හේතුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලට ගැනීමට ජනතාවට යළි පෝලිම්වල සිටීමට සිදුවීම පිළිබඳව වෙළෙඳ හා නාවික කටයුතු අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතා කනගාටුව පළ කළේය. මුදල් අමාත්‍ය රොනී ද මෙල්, සේන සහ ගුත්තික යුගය පාදක කරගනිමින් ඉතිහාසය පිළිබඳ දේශනයක් පැවැත්වීය. කර්මාන්ත සහ විද්‍යා කටයුතු පිළිබඳ අමාත්‍ය සිරිල් මැතිව් ඉන්දියානු ගෝනිබිල්ලකු මවමින් මෙයට වගකිව යුත්තේ අදිසි හස්තයක් යැයි කියා සිටියේය. ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන අමාත්‍ය සෞම්‍යමූර්ති තොන්ඩමන් එම ප්‍රකාශයට එරෙහි වෙමින් කියා සිටියේ මෙයට වගකිව යුතු වන්නේ රජයට සම්බන්ධ පිරිස් බවයි.   


83 කළු ජූලිය දෙමළ හා දෙමළ මිනිසුන් යැයි වරදවා වටහා ගන්නා ලද මුස්ලිම් මිනිසුන් 4,000කගේ පමණ ජීවිත විනාශ කර දැමීය. දහස් ගණනක් තුවාල ලැබූහ. ඇතැම් තුවාලකරුවෝ රෝහල්ගත කිරීමෙන් පසු මරණයට පත් වූහ. 200,000කට අධික පිරිසක් අවතැන් වූහ. 130,000ක් පමණ අනාථ කඳවුරුවලට ගාල් වූහ. 2500කට අධික සුළු හා මහපරිමාණ ව්‍යාපාර අර්ධ හෝ පූර්ණ හෝ වශයෙන් විනාශයට පත් විය. විනාශ වූ නිවාස හෝ දේපළ සම්බන්ධයෙන් පැහැදිලි තක්සේරුවක් නොවීය.   


දෙමළ නිජබිම   


දෙමළ නිජබිම පිළිබඳ සංකල්පය සාධාරණීය කෙරෙන තර්කය යළි තහවුරු කෙරිණි. ශ්‍රී ලංකාව එහි ජීවත්වන සියලු වාර්ගිකයන්ට අයත් වන අතර කිසිදු වර්ගයකට එහි කිසිදු ප්‍රදේශයකට තනි අයිතියක් ඇති බවට හිමිකම් කිව නොහැකිය. එහෙත් 83 ජුලි සිදුවීමෙන් පැහැදිලි වූයේ දෙමළ ජනයාට උතුරු හා නැගෙනහිර පළාතේ හැර වෙනත් ප්‍රදේශයක පැවැත්මක් නොමැති බවටය. වින්දිත දෙමළ ප්‍රජාව උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වෙත යොමු කරන ලද්දේ එම ප්‍රදේශවල පමණක් ඔවුනට ආරක්ෂාව සැලසුණු හෙයිනි. එවක සිටි විරුද්ධ පක්ෂ නායක අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් “අපගේ ජනතාවගේ ආරක්ෂාව” සහ “අපගේ නිජබිම පිළිබඳ අවංකභාවය” යනුවෙන් විවිධ අවස්ථාවන්හි ප්‍රකාශ කරනු ලැබුවේ දෙමළ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙනි. “දෙමළ ජනයාට ඇති ප්‍රශ්න මොනවාදැ”යි සර්ව පාක්ෂික සමුළුවේදී වල්පොළ රාහුල හිමියන් ප්‍රශ්න කළ අවස්ථාවේ “1983 ජුලි සිදුවීමෙන් පසුවත් ඔබවහන්සේ මෙවැනි ප්‍රශ්නයක් නඟන්නේ කෙලෙසකදැ”යි අමිර්තලිංගම් ඉතා ශෝකී ස්වරයෙන් පෙරළා ඇසීය.   


ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි සහ ඉන්දියානු ජනතාව ද තමිල්නාඩු ප්‍රාන්තය ද පීඩාවට පත් දෙමළ ජනයා වෙත සානුකම්පිත වූහ. කළු ජූලිය ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳ තීරණාත්මක සලකුණක් විය. වින්දිතයන් වූ දෙමළ ජනයා උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් බැහැරව වාසය කළ පිරිස වූහ. සාමයෙන් ජීවත්වීමට ඔවුනට තිබූ අපේක්ෂාව සිංහලයන් විසින් බොඳ කර දමනු ලැබීය.   


ඉන් ප්‍රවණතා දෙකක් පැන නැඟිණි. දෙමළ එක් කණ්ඩායමක් උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්හි යළි පදිංචි වූහ. තවත් පිරිසක් සරණාගතයන් ලෙස විදේශගත වූහ. යුද්ධය උග්‍ර වෙද්දී උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්හි වාසය කළ විශාල පිරිසක් ශ්‍රී ලංකාව හැර ගියහ. සිය දහස් ගණනක් ඉන්දියාවේ සරණාගතයෝ වූහ.   


එල්.ටී.ටී.ඊ.ය සමඟ පැවැති යුද්ධය 2009 මැයි මාසයේ අවසන් කෙරුණු අතර විශාල පරිවර්තනයක් මේ වනවිට සිදු වී තිබේ. මේ වනවිට දෙමළ ජනයා වැඩි අවධානයක් යොමු කර ඇත්තේ 2009 මැයි මාසයේ අහිමි වූ ජීවිත සම්බන්ධයෙනි. 2009 මැයි මාසයේ දහස් ගණනකගේ ජීවිත අහිමි වූ අතර විශාල පිරිසක් අතුරුදන් වී තවත් පිරිසක් තුවාල ලැබූහ. ඒ අනුව 2009 මැයි මාසය ද හැඳින්විය යුත්තේ ‘කළු මැයි මාසය’ ලෙසිනි.

 

 

 

 

පරිවර්තනය - 
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා