රටට බත දෙන්න වැව් ටික හදා දෙන්න


සිංහලේ රාජ්‍ය සමයේ දී වැව් බැඳි රට මුල් කොට අනුරපුර අගනුවර බවට පත් කොට මුළු රටටම බත බුලත සැපයූ බව වංශකතාවල දැක්වේ. ජාතියේ එම අතීත උරුමයේ සංකේත ලෙස අදටත් අනුරපුර දිසාවේ පැරණි රජවරුන් හා ගමේ නායකයන් මුල් වී ඉදි කළ මහ වැව්, යාය වැව්, පොකුරු වැව්, ගමේ වැව්, කුළු වැව් ආදී වශයෙන් වැව් 3412ක් පැවති බවට වාරි මාර්ග වාර්තාවලින් හෙළි වී තිබේ. මේ වැව් සම්භාරයට වැහි සමයට පිරුණ ජල කන්දරාවෙන් මුළු රටම බතින් බුලතින් පිරී ස්වයං පෝෂණය වූ නමුත් අද වෙන විට තවමත් මේ වැව් සම්භාරයෙන් 10%ක් පමණ වල් බිහිව නටබුන්ව පවතී.  


අපේ මව්බිම සුද්දන් විසින් පැහැර ගැනීමෙන් පසු, ආත්මාභිමානයෙන් පිරී සිටි වැව් බැඳි රටේ ජනතාවගේ කොන්ද බිඳ දමා, ඔවුන් සුද්දන් ඉදිරියේ වැඳ වැටෙන නිවට ජනතාවක් බවට පත් කිරීමේ උපාය මාර්ගයක් වශයෙන් වැව් බැඳි රටේ පැවති සියලු වැව් ගමෙන් උඳුරා ගෙන රජයේ දේපොළක් බවට පත් කරන්නට බ්‍රවුන්රික් ආණ්ඩුකාරයා කටයුතු කළේය. විශේෂ ගැසට් නිවේදනයක් මගින් වැව් බැඳි රටේ සියලුම වැව් රජයේ දේපොළක් බවට පත් කොට, වැව්වල වැඩ කිරීම දඬුවම් ලැබීමේ වරදක් ලෙස ප්‍රකාශයට පත් කර ගැමියා වැවෙන් ඉවත් කොට එතෙක් ගතානුගතිකව පැවති වැව් ගම්මාන සමාජ ක්‍රමය මුළුමනින්ම කඩා බිඳ දමන ලදී. සුද්දා විසින් පනවන ලද එම නීති රීති නිසා එතෙක් ගමේ වැව රැක බලා ගෙන සිටි ගැමියා වැවෙන් ඈත් විය. වැව් ගම්මාන ක්‍රමය අහෝසි විය.   


බ්‍රවුන්රික් ආණ්ඩුකාරයා විසින් නීති රීති මගින් ගමෙන් ගලවා ගත් වැව් සම්භාරය විනාශ කර දැමීම සඳහා ඔහු විසින් විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබීය. මහකනදරාව, හිරිපිටියාගම, එළියදිවුල්වැව, මලව වැනි මහවැව් දෙබෑවී යන පරිදි වැව් මැදින් ප්‍රධාන මාර්ග ඉදිකිරීමද බොහෝ ග්‍රාමීය හා යාය වැව් වනගත වෙන්නට හැර නටබුන් කර දැමීමද සුද්දන් විසින් දිගින් දිගටම කරගෙන යන ලදී. ඔවුන් විසින් වනබත් කර දැමූ සමහර යාය වැව් අදටත් වල් බිහිව නටබුන්ව පවතී.   


වැව් බැඳි රට යළිත් සරුසාර බත් රටක් කරන්නට නම් අනිවාර් යෙන්ම කළ යුතුව ඇත්තේ සුද්දන් විසින් වැව වටා වළ දමා ඇති සිංහලේ වැව් ගම්මාන සංස්කෘතියට යළි පණ දීමය. නමුත් මේ රටට නිදහස ලැබූ දා සිට හාපුරා කියා පළමුවෙන් පටන් ගත යුතුව තිබුණේ වැව් බැඳි රටේ වැව් සම්භාරය පුනරුත්ථාපනය කරමින් යළිත් යටගිය වැව් ගම්මාන සංස්කෘතිය මතු කිරීම වුවත් එතෙක් මෙතෙක් නිදහස ලැබී වසර 69ක් පුරාවට රටේ පාලනය පැවතියේ කොඩිගහයට උපන් මිනිසුන් අත නිසා ඔවුන්ට වැව් බැඳි රටේ වැව් මහිමයත් වැව් ගම්මාන සංස්කෘතියේ මහිමයත් තේරුම් ගන්නට වත් බැරි විය.   

 

 

ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක බතේ පියවරුන් වැව් බැඳි රටට වැදී වනබත්ව ගිය වැව් එළි පෙහෙළි කරමින් ඒ ආශ්‍රිතව යළි ජනපද පිහිට වූ නමුත් ඉන් පසුව බලයට පත් වූ අයට වැව් අගය තේරුම් ගත ​නොහැකි විය. ඉන් පසුව ඔවුන් කරන ලද්දේ අවුරුදු පතා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය ඇතිව වැව් හැදීම දේශපාලන කොන්ත්‍රාත්කරුවන්ට පැවරීමයි. වසරකට වැව් 100ක් පමණ මෙසේ දේශපාලන කොන්ත්‍රාත්කරුවන් මගින් රුපියල් ලක්ෂ ගණන් දිය කොට වැව් හැදූ නමුත් ඔවුන් වැව් හදා ගොඩ එන විට අනික් පැත්තෙන් යළින් වැව් කඩා වැටී වල් බිහි වෙන්නට පටන් ගැනින. මේ රටේ වැව් විනාශ කර දමන්නට බ්‍රවුන්රීග් නෝනා විසින් ලස්සන මල් වර්ගයක් යයි හඳුන්වා දෙමින් පිටරටින් ගෙනැවිත් වැව් බැඳි රටේ වැව් සම්භාරයට බෝකළ ජපන් ජබර ජලජ පැළෑටියවත් වැවෙන් ඉවත් කර දමන්නට මේ  කොන්ත්‍රාත්කරුවන්ට නොහැකිවිය. පිළිකාව මුළු සිරුර පුරා පැතිරී ගොස් අන්තිමට මුහුණටත් පැමිණියාක් මෙන් වැව් මාරයා වූ ජපන් ජබර ජලජ ශාකය අද වනවිට වාපී ශිල්පය රටටත් ලෝකයටත් හඳුන්වා දුන් අපේ ජාතික අනන්‍යතාවය වූ අනුරපුර අභය වැවටත් දැන් ජපන් ජබර ජලජ ශාකය බෝ වී ඇත. වැව් හැදීමේ සහ වැව් රැක ගැනී​ෙම් අරුමය මෙයින්ම පැහැදිලි වේ.   


පසුගිය වසර කීපය තුළ මෙසේ දේශපාලන කොන්ත්‍රාත්කරුවන් හරහා රුපියල් ලක්ෂ පනහ, හැට, සීය ආදී වශයෙන් වැය කොට අලුත්වැඩියා කරන ලද එප්පාවල, කදුරුගස්වැව, හූරිගස්වැව, එළියදිවුල්වැව, හිරිපිටියාගම, ඉහළ සියඹලෑව, මලව ආදී වැව් සියල්ලම අද වෙන විට තිබුණාටත් වඩා නරක අන්දමින් විනාශයට පත් වී ඇත. වසර කීපයකට වරක් වාරි ශිල්පය අනුව වැවක් හදා ගොඩ වීමෙන් පලක් නැත. වැවක් යනු වසරක් පාසා අවුරුද්දේ රජරටට වැහි නැති නිකිණි (අගෝස්තු) මාසයේදී අලුත්වැඩියා කළ යුතු ජලාශයකි. වැව යනු කුමක් දැයි පාලකයන්ට තේරුම් ගත නොහැකි වූ නිර්මාණයක් බව ඉහත සඳහන් කළේ මේ නිසාය.   


වැවක් අලුත්වැඩියා කිරීමේදී සුවිශේෂයෙන් හඳුනා ගත යුතු වැවේ උපාංග රාශියක් හඳුනාගෙන ඒවා අලුත්වැඩියා කළ යුතුව තිබේ. ඒ උපාංග අතර පෙරමුණ, පහමුණ, රළපනාව, කට්ටකඩුව, පෝටාවැටිය, මඩකළුව, වාන, පිටවාන, අයියනාමුණය, දිය දලබය, වැව් තාවුල්ල, වැව් රක්ෂිතය, වැව් දියමං, සංහිඳ, නාන මංකඩ, පාන මංකඩ, ගව මංකඩ, රදා මංකඩ, තුරුවදුල, නෙළුම්, මානෙල්, ඕලු ආදී අත්‍යාවශ්‍ය ජලජ පැළෑටි, බිසෝ කොටුව, සොරොව්ව, දිය කැට පහණ මේ ආදී උපාංග එකින් එක හඳුනා ගෙන අලුත්වැඩියාවේදී මේවාද ප්‍රතිසංස්කරණය විය යුතුය. නමුත් බොහෝ වැව් අලුත්වැඩියාවේදී මේ උපාංග ගැන කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැත. උඩින් පල්ලෙන් එහෙත් මෙහෙන් වැව හාරා, අලුත් පස් ටිකක් දමා වැවෙන් ගොඩවිත් කොන්ත්‍රාත්තුවේ මුදල් එහාට මෙහාට බෙදා හදා ගැනීම දැන් වැව් හැදීමේ චාරිත්‍රය බවට පත් ව ඇත. කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් විසින් විනාශ කර දැමූ වැව් හතක් පුනරුත්ථාපනය කිරීමට රුපියල් කෝටි දහයක පමණ මුදලක් පසුගිය කාලයේ වෙන් කළ නමුත් එකම වැවකවත් පස් පිඬැල්ලක්වත් නොකපා මුදල පිල්ලි ගොස් තිබූ බව ජනාධිපති විමර්ශන ඒකකය මගින් සොයා ගෙන තිබිණ. 
වැවට ගමට රටට අාදරය නැති සහ මුදලට ආදරය ඇති මිනිසුන් අතට වැව් කොන්ත්‍රාත් ගිය විට රටට ගමට ඉතිරි වෙන්නේ යළිත් ගරා වැටුණ, කැලෑ වැඳුන වැව් පමණි. පසුගිය වකවානුව පුරාවට අවුරුදු පතා කොන්ත්‍රාත්කරුවන් මගින් වැව් සිය ගණනින් හැදුවත් අද රජරටට ඉතිරි වී ඇත්තේ පුරුදු පරිදි ජපන් ජබරවලින් ගිල ගත් අභාවයට ගිය වැව් පමණි.    


මේ මහ වැව් සියල්ල හෙළ රජ දරුවන් විසින් එනම් මහසෙන්, වසභ, ධාතුසේන, වට්ටගාමිණී, දෙවැනි පෑතිස්, පණ්ඩුකාභය වැනි රජවරුන් විසින් රජරට නියඟය පිටුදැක රට බතින් බුලතින් පුරවන්නට ඉදි කළ ඒවාය. මේ මහ වැව් අද වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් නඩත්තු කරනු ලබයි.   


නෙළුම්, මානෙල්‍්, ඕලු යනාදී දේශීය ජලජ පැළෑටි වැව් දියේ ආරක්ෂිතයන් බඳුය. නෙළුම් මල බුදු පුදට, නෙළුම් අල ආහාරයට, නෙළුම් ඇට රට කජු මෙන් කෑමට, නෙළුම් කොළ වැව් දිය හිරු රැසින් බේරා ගැනීමට මේ ආදී වශයෙන් ගොඩ බිමේ පොල් ගස මෙන් වැව් දියේ නෙළුම් ගස රජරට ජන ජීවිතයට මහෝපකාරී විය. නෙළුම් පිළිබඳ පවතින ජන කවියක් මෙසේය.

   
නෙළුම් ගොල්ල පිපිලා වාසනාවා   
දණ්ඩි කොරලි උඩ පැන පැන සුබාවා   
කොක්කු වටේ ඉඳ ගෙන බාවනාවා   
​නෙළුම් කොළේ බත මට වාසනාවා   


වැවේ පැවැත්මට නෙළුම් ගස අත්‍යවශ්‍යය. වැවට වැටෙන දැඩි හිරු රැසින් වැව් දිය වාෂ්ප වීම වළක්වා ගැනීමට නෙළුම් කොළය දිය මත පාවෙමින් පවතී. මෙහෙව් වටිනා නෙළුම් ගස, අපේ රටේ දේශීය පාලකයන් පලවා හැර සුද්දන් රට අල්ලා ගත්තාක් මෙන් නෙළුම් ගස වඳ කර දමා ජපන් ජබරවලින් වැව් ආක්‍රමණය කර ඇතත් අවම වශයෙන් වැව් විනාශ කරන ජපන් ජබර ජලජ ශාකයවත් විනාශ කර වැව් ටික රැක ගැනීමට පාලකයන් අසමත් වී ඇත.  


 නාගයා ශුද්ධ වස්තුවක් ලෙස සැලකේ. මේ නිසා දෙවියන් නාගයාට ආරූඨ වී සිටිතැයි මුතුන් මිත්තෝ ඇදහූහ. මේ නිසා නාග වෙස්ගත් දෙව්වරු නිධාන, වෙහෙර, විහාර රැකීමේ යෙදී සිටිතියි විශ්වාස කරති. ජලය ද එබඳු මහාර්ඝ සම්පතකි. මේ නිසා ජලය රැකිීමට ද නාග සංකේතය යොදා ගෙන ඇත. පෙරදා වැවක් හැදූ හැම තැනකම වැව් දිය ආරක්ෂාවට නයි පෙණ සංකේතයක් යොදා ගෙන ඇත්තේ එබැවිනි.   


රජ රැටියාගේ ජීවිතය රැකුණේ ජලය නිසාය. මේ නිසා ජලය දේවත්වයෙන් සැලකූහ. දැනට අම්පාර දිසාපති කාර්යාලයේ සුරක්ෂිතව තබා ඇති “කොන්ඩු වට්ටුවාන්” සෙල්ලිපිය මෙයට හොඳම උදාහරණයකි. සිරිසඟබෝ රජුගේ සහ දිවිගොන් රැජිනියගේ පුත් උප්පල රජු විසින් දිය පත්තායම් දහයක් පනවා මෙම සෙල්ලිපිය පිහිටුවා ඇත. භූ දිය තහංචිය, මඩකළු තහංචිය, දිය අගාර තහංචිය, රක්ෂිත තහංචිය, තාවලු තහංචිය ආදී වශයෙන් මෙම සෙල්ලිපියේ තහංචි දහයක් පනවමින් ඒවා උල්ලංඝනය කරන අයට රාජ දඬුවම් පමුණුවන බව එහි දක්වා ඇත.   

 

 

එ් සෙල්ලිපිය අනුව නම් අද වැව් තාවුලුවලට වැව් රක්ෂිතවලට කර තිබෙන හානි ගැන පළමුවෙන්ම රජයේ සමහර මැති ඇමතිවරුන්ට රාජ දඬුවම් පැමිණවිය යුතුව ඇත. වැව් දිය ගැනත් වැව් ගැනත් මීට වඩා වැඩි අවධානයක් පාලකයාගෙන් යොමු විය යුතුව තිබේ.   


විශේෂයෙන් පෙරදා වැව් ආරක්ෂා කර ගත්තේ වැව් ගම්මාන ක්‍රමය තුළිනි. වැවක් ඉදිකොට වැව වටා ගමක් ඉදි කොට ගමට වැවේ නඩත්තුව බාර දීම එදා පැවති ක්‍රමවේදයයි. එදා සෑදු වැවත්, වැව වටා හැදු ගමත් අදටත් පවතී. කළ යුතුව ඇත්තේ වැවේ නඩත්තුව ගමට බාර දීමයි. එය නුහුරු නුපුරුදු නොකළ හැකි දෙයක් නොවේ. ගම්වල පවත්නා පුංචි පුංචි වැව යාය වැව් ඒ ඒ ගම්වලට බාර දී වැවේ නඩත්තුව ගමට බාර දුන් විට වැව් හැදීමේ කොන්ත්‍රාත්වලට රුපියල් ලක්ෂ ගණනින් කරන රාජ්‍ය විදයම් නැවැත්විය හැකිය. බ්‍රවුන්රික් ආණ්ඩුකාරවරයා විසින් ගමෙන් කොල්ල කා ගත් වැව ආපසු ගමට බාර දීමෙන් වැව් ගම්මාන සංස්කෘතිය යළි ඇති කිරීමට පුළුවන.   


එදා ගැමියන් විසින් වැවට දැක්වූ ගරු නම්බුව මේ ජන කවියෙන් පැහැදිලි වේ.   


සුම්බරේ බැඳං හක්මන් වැවේ නැතී   
පච්ච වඩම් ඇඳ වෑකඳු මත නොයතී   
හරක් වටේ වෑ කන්දෙන් නොදක්කතී   
නොඑන ගමන් වත් වෑ කන්දෙන් නොයතී.  


වැව රජරට ගැමියාගේ ජීවිතයයි. අද රජරට පුරාවට අලුතෙන් වැව් හදන්න ඉඩක් නැත. වර්තමාන පාලකයන් විසින් කළ යුතුව ඇත්තේ පැරණි රජ දරුවන් විසින් හදා රජරැටියාට දායාද කළ වැව් ටික ආරක්ෂා කර දීම පමණි.  

 

 

 

 

 

 

 


එප්පාවල රත්න බී. එ්කනායක