රට යන්න උදව් කළොත් පදක්කමක් ගේන්නම්


දුෂ්කර පාසලේ දරුවන් අට දෙනකුගේ බේස්බෝල් සිහිනය   

 

ඉතා දුෂ්කර ප්‍රදේශයක පිහිටි පාසලක බේස්බෝල් ක්‍රීඩකයින් 8 දෙනෙකු ශ්‍රී ලංකාවේ ජාතික බේස්බෝල් කණ්ඩායම නියෝජනය කිරීමේ දුර්ලභ අවස්ථාවක් තිබේ. එහෙත් අවාසනාවක මහිමය! ජාත්‍යන්තර තරග දෙකක් සඳහා ඔවුන්ට ජපානය හා තායිවානයට පිටත්ව යාමට ගුවන් ටිකට් පත් ලබාගැනීමට මුදල් නොමැතිව ජාත්‍යන්තර තරගයට එක්වීමේ අවදානම බලවත්ව ඇත.   


මෙම දරුවන් පිළිබඳව ලැබුණු තොරතුරු මත අපි දඹුල්ල, වෑවලවැව නම් වූ කෘෂිකාර්මික ජනපදයට ගියෙමු. අතිදුෂ්කර වූ බොරලු මාර්ගයක ගිය අපි වැවලවැව විද්‍යාලයට ගොඩ වුණෙමු.


“වෑවලවැව ළමයි 2013 වසරේ ඉඳලා බේස්බෝල් ක්‍රීඩාවේ නිරතවෙනව’. 2018 වසරේ එහි උපරිම ඵල නෙළා ගත්තා මේ අවුරුද්දේ වයස අවුරුදු 12 න් පහළ ආසියානු බේස්බෝල් කුසලානය සඳහා ඉදිරිපත් වුණු ලංකා කණ්ඩායමේ නියෝජනය කිරීමට මගේ පාසලේ ළමයි හතර දෙනෙක් ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම වයස අවුරුදු 18න් පහළ ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලිය සඳහා ජාතික කණ්ඩායමට මගේ පාසලේ දරුවන් හතර දෙනෙක් තෝරාගෙන ඉන්නවා”.   


“ඒ අය ජපානයේ පැවැත්වෙන දොළොස් වෙනි ආසියානු ලෝක කුසලාන තරගය සඳහා ජූලි 31 වැනි දින ජපානයට පිටත්ව යෑමට නියමිතව තිබෙනවා. ජපානයට යන්න එන්න එක දරුවෙකුට ගුවන් ටිකට් පත් සඳහා එක් ලක්ෂ තිස් දාහක් අවශ්‍ය වෙනවා. එහෙම ළමයි හතර දෙනෙකුට ටිකට් ඕන වෙනව. අපිට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ එම මුදල් ටික සොයා ගැනීමට නොහැකිවීම. 

 
ඒ වගේම තමයි මේ ළමයි තෝරාගෙන තියෙන්නේ ලංකාවේ පුරාම පිහිටි පාසල්වලින් දක්ෂ දරුවෝ. මගේ පාසලෙන් විතරක් දරුවන් අට දෙනෙක් තෝරාගෙන ඉන්නවා කණ්ඩායම නියෝජනය කරන්න විදේශීය තරග සඳහා”   


 “වෑවලවැව කියන මේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම දෙමව්පියන් කුලී වැඩ හා කෘෂි කර්මාන්තයෙන් තමයි ජීවත් වෙන්නේ. 50% ක මිනිසුන්ට තමයි අඩුම තරමේ ඉඩමක් කඩමක් තියෙන්නේ. අනිත් සියලු දෙනාම ඒ අයගේ කුලීකරුවන්. අපිට මේ දක්වා බේස්බෝල්වලට අනුග්‍රාහකයෙක් ලැබිල නෑ. අපි මේ වෙලාවේ දැඩි උත්සාහයක නිරත වෙමින් ඉන්නවා මේ දරුවන්ගේ ගුවන් ටිකට් පත් සහ අනෙකුත් වියහියදම්ද සොයාගන්න.”   
“ඒ වගේම තමයි වයස අවුරුදු 12 න් පහළ දරුවන් හතර දෙන තේරිලා ඉන්නවා අගෝස්තු 13 වැනි දින තායිවානයේ පැවැත්වෙන ආසියානු කුසලාන තරගයට ජාතික කණ්ඩායමෙන් තරග වදින්න. එක දරුවෙකුට ගුවන් ටිකට් පත් සඳහා යන්න එන්න රුපියල් හැට අටදාහක් විතර ඕන වෙනවා. දෙමව්පියන්ට මේක දරන්න බැහැ.”

   
“මේ තරගය සඳහා සිසුන් තෝරා ගෙන තියෙන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් තමයි. එම තරගාවලියේ නවාතැන් පහසුකම් ආහාර පාන ආදී පහසුකම් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලබාදෙනවා. ගුවන් ටිකට් පත සහ ළමයින් සූදානම් කිරීම සඳහා අවශ්‍ය මුදල තමයි අපි සපයාගන්න ඕන.” මේ දවස්වල පුහුණුවීම් සඳහා දරුවෝ කොළඹ එක්ක යන්න බස් වියදමවත් සොයා ගන්නේ අමාරුවෙන්.”   


විදුහල්පතිවරයා එසේ අප සමග පවසද්දී විද්‍යාලයේ බේස්බෝල් පුහුණු උපදේශක ගුරුවරයා වූ සංජීව ජයරත්න මහතා අපට හමු වූයේ දරුවන් තරග සඳහා පුරුදු පුහුණු කරමින් සිටියදීය.


“අපි බේස්බෝල් ක්‍රීඩාව ආරම්භ කරලා තවම අවුරුදු හතරක් වගේ කෙටි කාලයක ඉතිහාසයක් තියෙන්නේ. ඒ අතර කාලයේ ක්‍රීඩාව තුළින් අපට ජාතික ක්‍රීඩා තරග රැසකින් ජයග්‍රහණ හිමි වුණා. පුහුණුකරුවකු හැටියට මගේ ජීවිතයේ ලබාගත්ත සුවිශේෂීම ජයග්‍රහණය තමයි පසුගිය සතියේ ලබා ගැනීමට හැකි වුණේ. ඕනෑම පුහුණුකරුවෙකුගේ එකම සිහිනය බවට පත්වෙන්නේ ජාත්‍යන්තර තලයේ එක ක්‍රීඩකයෙකු හරි පත්කිරීමයි. මම පුහුණුකරුවකු හැටියට මගේ දරුවෝ ටික මේ වෙද්දී ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් බවට 8 දෙනෙකු පත්කර ගත්තා”


“නමුත් මේ දරුවන් දුප්පත්කම නිසාම ජාත්‍යන්තර ජයග්‍රහණවල හිමිකම් කීමට නොහැකියි. අභාග්‍යසම්පන්න තැනකට ලක්වෙලා ඉන්නව. වයස අවුරුදු 18න් පහළ කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙක් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් තෝරාගනු ලැබුවා. එයින් පාසල් දරුවන් හතර දෙනකුම මගේ පාසලේ දරුවන්. ඒ වගේම වයස අවුරුදු 12 න් පහළ ක්‍රීඩකයින් පහළොස් දෙනෙක් ඉන්නවා. ඒකෙන් හතර දෙනෙකු මගේ දරුවන් වීම මට ආඩම්බරයක්.”   


රටේම පාසල් අතරින් කොළඹ රාජකීය, නාලන්ද විද්‍යාලය, කොළඹ, නුවර, ගාල්ල ආදි ප්‍රදේශවල උසස් පාසල්වල දරුවන් තමයි ඉතිරි අය තේරීපත් වෙලා තිබෙන්නේ. ඒ කණ්ඩායම් දිහා බැලුවහම අපට හිතාගන්නවත් බෑ. මොකද රාජකීය විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, මහානාම විද්‍යාලය, සේනානායක විද්‍යාලය වගේ පාසල්වල ක්‍රීඩකයින් තමයි තෝරාගෙන තිබෙන්නේ.”   


”අපේ පාසලේ විතරක් නෙවෙයි ලංකාවේම පාසල් ඉතිහාසය වෙනස් කෙරෙන කරුණක් තමයි එකම පාසලකින් ජාතික කණ්ඩායමකට ක්‍රීඩකයින් 8 දෙනෙකු ඉදිරිපත්වීම. ඉතින් මගේ සිහිනය සැබෑ වුණා. දරුවන්ගේ සිහිනය බොඳ වේවි කියලා ලොකු බයක් තමයි තිබෙන්නේ. ගුවන් ටිකට් පත්වලට යන මුදල් ප්‍රමාණය හොයාගන්න බැරි වෙයි කියලා. එහෙම වුණොත් අපේ දරුවන්ට තරග සංචාරය සඳහා සහභාගිවීම අවිනිශ්චිත තත්ත්වයක් පවතින්නේ.”   


මේ දරුවන්ට ගුවන් ටිකට් පත් ලබාගැනීමට නොහැකි වුණොත් ඒක විශාල අපරාධයක්. හැබැයි, මම ඉල්ලීමක් කරනවා කාගෙන් හරි අපට උදව්වක් ලබා දීල මේ අහිංසක දරුවන්ට ගුවන් ටිකට් පත් ටික මිලදී ගන්න උදව් කරන්න කියලා. මෙම දරුවන් ටික ශ්‍රී ලංකා මාතාවට හොඳ කීර්තියක් අත්කර දෙන දරුවන් කියලා මට විශ්වාස පළ කරන්න පුළුවන්.”   


පුහුණු ගුරුවරයා එසේ අප සමග කියද්දී ජපානෙට සහ තායිවානයට යෑමට සිහින මවා සිටින ග්‍රාමීය ක්‍රීඩකයින් අටදෙනා මූණෙන් මූණ බලාගෙන ක්‍රීඩාංගණය අසල රැඳී සිටිනු අපි දුටුවෙමු.


එමෙන්ම වයස අවුරුදු 18න් පහළ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන ලහිරු ප්‍රසාද් අප සමග මෙසේ පැවසීය.   

 

 

 “මම බේස්බෝල් ක්‍රීඩාවට මුලින්ම ආවේ 2013 වසරේ. අපි බේස්බෝල් ක්‍රීඩාව කියන්නෙ මොකක්ද කියලවත් දැනගෙන හිටියේ නෑ. කොහොමද සෙල්ලම් කරන්න කියලා දන්නෑ එහෙම ක්‍රීඩාවක් අඩුම තරමේ මම රූපවාහිනියෙන්වත් දැකලා තිබුණෙ නෑ. අඩුම තරමේ සෙල්ලම් කරන ක්‍රීඩා උපකරණයක් වත් දැකලා තිබුණෙ නෑ. අපේ සංජීව සර් තමයි ඇවිල්ලා අපිට මේක පුරුදු කළේ. 2013 වසරේ ඉඳලා අපි මේ තරග පුහුණුවෙලා තරග කරනවා. එදා ඉඳලා අපේ දෙමව්පියෝ දස අතේ ණය වෙලා තමයි අපිට ක්‍රීඩාවට අවශ්‍ය පහසුකම් සපයන්නේ. අපි අවුරුදු ගණනාවක් එදා ඉඳල එක දිගටම ජාතික තලයේ ජයග්‍රහණය කරලා සමස්ත ලංකා ජයග්‍රහණ පවා ලබාගත්තා”.   


 “අපේ එකම බලාපොරොත්තුව වුණේ ජාතික කණ්ඩායමට නියෝජනය කරන්න. ඒ වාසනාව අපට උදා වුණා පසුගිය මාසේ. ඒත් අපි බලාපොරොත්තු තිව්වට වැඩිය ජාතික කණ්ඩායමට අපේ පාසලෙන්ම අට දෙනෙක් තේරුණා. දැන් අපිට වෙලා තියෙන්නේ ජාත්‍යන්තර තරගවලට යන්න විදිහක් නැතිව දුක්වෙන එක. අපේ අම්මලාට තාත්තලාට එහෙම සල්ලි හොයල දෙන්න හැකියාවක් නෑ. උදේ ඉඳලා හැන්දෑ වෙනකල් වැඩ කළාම හම්බවෙන්නේ රුපියල් හත්සීයක් රුපියල් දාහක මුදලක්. මේ දවස්වල අපේ පැත්තෙ ලොකු ලූනු වගාවත් නෑ. ඒ නිසා අම්මලාටත් හරි අමාරුයි. අපි අට දෙනාම විතරක් නෙවෙයි අපේ බේස්බෝල් කණ්ඩායමේ සියලුම දෙනා හරිම දුප්පත් පවුල්වල අය.” 


“ඇත්තටම අපිට ගොඩාක් අගහිඟකම් තියෙනවා. අපේ ගමේ ඔක්කොමල වගේ ගොවිතැන් කරන අය. ආර්ථික මධ්‍යස්ථානයේ මුදලාලිලාට ගොඩදෙනෙක් ණයයි. අවුරුදු ගාණකින් අපට හරි හමන් ගොවිතැනක් තිබ්බෙ නෑ. එදිනෙදා කුලී වැඩක් කරලා තමයි මේ දරුවෝ ජීවත් කරවන්නේ. ඇත්තටම වේලක් ඇර වේලක් තමයි කන්නේ. මේ දරුවෝ ජාතික කණ්ඩායමට සහභාගී වෙනවා කියන්නේ අපිට හිතාගන්නත් බැරි වුණා. මොකද ගඩාගෙඩි කාලා අඩුම තරමේ සෙරෙප්පු දෙකක්වත් හරිහමන් ඇඳුමක්වත් නැතුව ඉස්කෝලෙ යන ළමයි මේ. අපි පංගුවක් දවස්වලට ඉස්කෝලේ යන්නෙත් නෑ උදේට කාලා යන්න මොනවත් නැති නිසා. අපේ විදුහල්පතිතුමා සහ ගුරුවරු සමහර දවස්වලට දරුවන්ට කන්න දෙන්නෙ.”


මම විතරක් නෙවෙයි අපේ පැත්තේ ඉන්න හැම කෙනෙක්ම එකම දුක තමයි විඳින්නේ. උදේට බඩගින්නේ ඉස්කෝලෙ ගියාම ඔය මොනවා හරි ගඩා ගෙඩියක් කාලා දරුවෝ පුහුණු වෙලා රෑට රෑ වෙලා තමයි වැවෙන් නාගෙන රෙදි ටිකත් ගුළි කරගෙන ගෙදර එන්නේ. අපට කියල එහෙම ලොකු දැනුමකුත් නෑ. අපි ගුරුවරු විස්වාස කරල තමයි මේ ඔක්කොම කරන්නේ. ඇත්තටම බේස්බෝල් ගහනවා කිව්වට අපි ඒව දන්නෙත් නෑ. කොහොම හරි මගේ විතරක් නෙවෙයි අපේ දරුවො ටික රට වෙනුවෙන් ජාත්‍යන්තර තරගවලට යවන්ඩ ගුවන් ටිකට් පත් ටික අරන් දෙන්න කියල අපි ක්‍රීඩා ඇමැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා.

 

 

 

 


සටහන/ඡායාරූප
දඹුල්ල කාංචන කුමාර ආරියදාස