යුරෝපයේ දිළිඳු රාජ්‍යයක් වන ඇල්බේනියාව


වළපල්ලට  ගිය රටවල්

 

 

‘වළ පල්ලට ගිය රටවල්’ තීරුවෙන් අද හඳුන්වන්නේ යුරෝපයේ තවත් රටකි. ඒ ඇල්බේනියාවය. (ALBANIA) බෝස්නියාව හැරුණ විට ඇල්බේනියාව යුරෝපයේ දිළිඳුම රාජ්‍යයකි. 2019 ජනවාරි 24 වෙනි ඉරිදා ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත්පත මේ රට හැඳින්වූයේ යුරෝපයේ කොලොම්බියාව වශයෙනි. මෙය ලෝකයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වල කේන්ද්‍රස්ථානයක් බවට පත්වී ඇති මුස්ලිම් ආගමිකයන්​ෙග් ජනරජයකි.


දේශපාලකයන්ට සැප ජනතාවට දුක


කොසෝවෝ, මැසිඩෝනාව,  ග්‍රීසිය, ඉතාලිය අසල්වැසි රාජ්‍යයන්ය. නැගෙනහිර යුරෝපයේ කුඩාම රටකි. විශාලත්වය ව.කි. 28,748ක් හෙවත් ව.සැ. 11,100කි. ජනගහනය 28,76,591කි. 1939 දී ඉතාලි ආක්‍රමණයට නතුවිය. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු 1991 දී නිදහස් රාජ්‍යයක් බවට පත්විය. 1998 දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගනු ලැබීය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 140කි. ජනාධිපති ඉලිර් මේටාය. (ILIR META) අගමැති ඉඩි රාමාය (EDI RAMA) වත්මන් ජනපති මේටා ඊට පෙර 1999 වර්ෂයේ සිට ඇල්බේනියාවේ අගමැති ධුරය දැරුවේය.


මා දුටු බොහෝ ආරාජිත රාජ්‍යයන්හි අගනුවර හා ප්‍රධාන නගර කීපයක් පමණක් දැක එම රටවල ඇතුළුපැත්ත පිළිබඳ විවරණයක් ඉදිරිපත් කිරීමට කෙසේවත් නොහැක. නගරයෙන් ඈත රට අභ්‍යන්තරයෙහි ස්වරූපය බෙහෙවින් වෙනස්ය.​ නොදියුණු ගම්මානවල කිසිදු පහසුකමක් නැති කැලෑබද කඳුකර දුෂ්කර ප්‍රදේශවල ජනතාව විඳින දුක අනන්තය. අප්‍රමාණය.


ඇල්බේනියාව ද දරිද්‍රතාවයේ පහලටම කිඳා බැස පීඩිත බහුතර ජන සමූහයක් ජීවත් වන අසමත් රාජ්‍යයකි. මා මෙතෙක් හඳුන්වා දුන් ඇතැම් රාජ්‍යයන් තවමත් අන්තර්ජාලයේ ‘විකිපීඩියා’ (WIKIPEDIA) දත්ත ඒකකයටවත් ඇතුළත් වී නොමැති රටවල්ය.


ඇල්බේනියාවේ දුක් සුසුම් රාවේ


රටේ මුළු ජනගහනයෙන් ලක්ෂ 8කට වැඩි පිරිසකගේ දෛනික ආදායම ඩොලර් 2කට අඩුය. රටේ රැකියාව හිඟය උග්‍රවී ඇත. මෙහි රැකියා විරහිත තරුණ තරුණියන් ලක්ෂ 6කට වැඩි පිරිසක් ඉතා අසහනයට පත්වී සිටිති. මන්ද පෝෂණයෙන් පෙළෙන කුඩා දරු දැරියන්ගේ සංඛ්‍යාව 1,20,000කට මදක් වැඩිය. තරුණ තරුණියන්ගෙන් බොහෝ දෙනා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට නැඹුරුවී සිටිති. තරුණ තරුණියන් වැඩි දෙනා ප්‍රංශයට හෝ ඉතාලියට පැන ගොස් නව දිවියක් ඇරඹීමට පෙරුම්පුරති. රටක තරුණ පරපුර රට අතහැර යාමට මෙසේ උත්සාහ දරන රටවල් පරිහානියට පත්වූ රටවල්ය.


ඔවුන් තම රට අතහැර යන්නේ තම මව්බිම යළි ගොඩ එන බවක් පෙනෙන්නට නොමැති නිසාය. එසේ ගිය අය යළි මව් රටට පැමිණෙන්නේ නැත. ලංකාවේද අද තත්ත්වය මෙසේය. සෝවියට් දේශය බිඳ වැටී වසර 27ක් ගතවී ඇතත් සෝවියට් පාලනයෙන් මිදුනත් ඇල්බේනියාව තවමත් එතැනමය. වසර 47ක කොමියුනිස්ට් පාලනය හා ඉන් මිදීමෙන් පසුවද රට ආ පස්සට ගිය ආකාරය පිළිබඳ විස්තරයක් 2018 නොවැ. 21දා අයි. බී. එන්. ඒ. (IBNA) මාධ්‍ය වාර්තාවක සඳහන් වී තිබුණි.


හතර වරං ගහන දේශපාලකයෝ


මෙවැනි රටවල් විනාශ කළේ විනිවිද භාවය හා අවංකකම, පිළිබිඹු කරලීමේ සම්ප්‍රදාය බල්ලට දැමූ අත්තනෝමතික පාලකයින්ය. රටකට අවශ්‍ය රට ගොඩනැගිය හැකි පාලකයන් මිස රට කන පාලකයන් නොවේ. ඥාති සමූහයා, තමන්ට අතදුන් ව්‍යාපාරිකයින් හා දේශපාලන ගැත්තත් සමග එක්වී ජනතාව රවටමින් හතරවරන් ගහන පාලකයන්ගෙන් රටකට වැඩක් නැත. ඇල්බේනියාව නැමති රටේ සිටින බහුතර දේශපාලකයන් රට විනාශ මුඛයට පත්කර තිබේ. 2019 ජූනි 18දා ‘ප්‍රාන්ස් 24’ මාධ්‍ය වාර්තාවක සිරස්තලය වූයේ ඇල්බේනියාවේ දේශපාලනය මඩ පර්වතයක් බවය.


කොකේන්, හෙරොයින් ප්‍රමුඛ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ විවිධ දුෂණ හා අල්ලස් තුළින් උපයාගත් ‘කළු සල්ලි’ ඡන්ද ව්‍යාපාරවලට වියදම් කර බලය ලබා ගන්නා දේශපාලකයන් ඇල්බේනියාව විනාශ කරන බව එම මාධ්‍ය වාර්තාවෙහි සඳහන් වේ .ඇල්බේනියාව යුරෝපා සංගමයට ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලා සිටියේ 2009 වර්ෂයේදීය. මේ රට යුරෝපා සංගමයට ඇතුළත් කර ගන්නේ 2014 වර්ෂයේදීය. එම වසර 5 තුළදී රට ප්‍රපාතයට ඇද වැටු​ෙණ්ය.


ඉස්ලාම් ආගමික අන්තවාදීන්ගෙන්ද පිරුණ දේශයක් වශයෙන් ඇල්බේනියාව හැඳින්විය හැක. මෙහි ඉස්ලාම් ආගමේ ව්‍යාපෘතිය පිළිබඳ දිර්ඝ විස්තරයක් ‘චිකාගෝ ට්‍රිබියුන් පත්‍රයේ පළවී තිබුණි.


කලකට පෙර සුබ නත්තලක් ​ෙව්වා යයි කීම පවා මෙම රටේ තහනම් කර තිබූ අයුරු එම මාධ්‍ය වාර්තාවෙහි සඳහන් වේ. අරාබියේ සිට ක්‍රියාත්මක ඉස්ලාම් අන්තවාදී සංවිධානයන්හි ක්‍රියාධරයින් ඉස්ලාම් ආගමිකයින් වැඩි වශයෙන් ජීවත්වන ඇල්බේනියාව වැනි රටවල් ගොඩ ගැනීමට වෙර දරන්නේ නැත්තේ මන්දැයි එම පුවත්පත විමසයි.


ගල්අඟුරු ටිකටත් විදින පාලකයෝ


ඇල්බේනියාවේ කඳුකර ප්‍රදේශ අධිකය. මෙම කඳුකර ප්‍රදේශවල දස ලක්ෂයකට වැඩි ජනතාවක් ඉතා දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවති. ඔවුන්ට අධ්‍යාපන, සෞඛ්‍ය, ගමනා ගමන, විදුලිය, ජලය, නිවාස ආදී පොදු පහසුකම් නැත. තවමත් බූරුවන් පිටේ බඩු එහා මෙහා ගෙනයන ගොවියන්ගෙන් මේ ගම්බද ප්‍රදේශ පිරී පවතී. ඔවුන්ට ලැබී ඇත්තේ බූරුවන්ගේ පිහිට පමණකි. මෙය විවිධ පලතුරු වර්ග සරුවට වැවෙන රටකි. ධීවර කර්මාන්තය ද ප්‍රධාන ආදායම් මාර්ගයකි.


එමෙන්ම රිදී, තඹ, ගල්අඟුරු ආදී ඛනිජ ද්‍රව්‍ය සරුවට ඇති පොළොවක් ඇති රටකි. මෙම ඛනිජ ඉල්ලම් වලින් ලැබෙන ධනයෙන් රට ගොඩ ගැනීමට හැකි වූවන් දේශපාලකයන්ගේ ගසාකෑම් හේතු කොටගෙන එම කර්මාන්ත කාබාසිනියා වී තිබේ.


ඛනිජ ද්‍රව්‍ය කැණීම සඳහා බලපත්‍ර ලබාදීමේ දී දේශපාලකයන් සිදුකළ වංචා හා දූෂණ මාධ්‍ය​ෙයන් හෙළි කරන ලදී. එහෙත් එම දේශපාලන හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීය. අද යුරෝපයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වල කේන්ද්‍රස්ථානය වී ඇත්තේ ඇල්බේනියාවය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ඇල්බේනියාවේ ඇතැම් දේශපාලකයන් පවත්නා සම්බන්ධතා විදේශ මාධ්‍යයන් මගින් හෙළිකර ඇත.


2019 ජනවාරි 13 වෙනි ඉරිදා ‘ද ගාඩියන්’ මාධ්‍ය වාර්තාවක සිරස්තලය කොකේන් රජවරු යන්නයි. මුළුමහත් යුරෝපයට මෙන්ම තවත් බොහෝ රටවලට මත් ද්‍රව්‍ය බෙදාහරිනුයේ ඇල්බේනියාව හරහාය. මත්ද්‍රව්‍ය නිපදවීම හා බෙදා හැරීම සිදු කරන ප්‍රධාන මුස්ලිම් රාජ්‍යයක් වූ ඇල්බේනියාව විවිධ පාතාල කල්ලිවලටත් නතුවී ඇති අයුරු දක්නට ලැබේ.


නඩුවලින් ගොඩඑන නඩුකාරයෝ


ඇල්බේනියාවේ ඉතාමත් දූෂිත අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මක වන බව ‘බෝල්කන් ඉන්සයිට්’ මාධ්‍ය වාර්තාවක සඳහන් වේ. මෙහි නඩුකාරයින් පවුම්, 100000 සිට පවුම් 300000 දක්වා අල්ලස් ගන්නා බව එම මාධ්‍ය වාර්තාව දක්වයි.


මේ රටේ සිටින නඩුකාරයින් 800 කගෙන් 140 දෙනකු විවිධ දූෂණ හා අල්ලස් චෝදනා යටතේ ධුරවලින් නෙරපා හරිනු ලැබුවත් තවමත් එහි අධිකරණයෙහි වෙනසක් සිදුවී නැත. මාධ්‍ය වාර්තා දක්වන්නේ විනිශ්චයකරුවන් පොලිස් නිලධාරීන් සමග එක්වී නඩු වාෂ්ප කිරීමේ ජාවාරම ගජරාමයට සිදු කරන බවය.


ඇල්බේනියාවේ අගමැති එඩි රාමාගේ ගෝලයකු වූ ස්වදේශ ඇමැති සයිමිර් තහිරි මත්ද්‍රව්‍ය ජාවරම් හා අල්ලස් දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට ගන්නා ලද්දේ 2017 වසරේ අග භාගයේදීය. මුදල් විශුද්ධිකරණය ද ඔහුට එරෙහිව එල්ලවී තිබූ තවත් චෝදනාවකි. ඔහුට එරෙහි නඩු විභාගය නඩුකාරයන්ගෙන් තවත් නඩුකාරයකුට වශයෙන් උසාවියෙන් උසාවියට මාරු වෙමින් තවමත් දිග් ගැසෙමින් පවතී.


මෙම නඩුව ද ඉතා ඉක්මනින් වාෂ්ප වනු ඇත. හරියටම ලංකාවේ වගේමය.


ගතවූ දෙවසර තුළදී රටේ පරිපාලන නිලධාරීන් 265 දෙනෙකු රාජ්‍ය තනතුරුවලින් ඉවත් කර ඇත්තේ ඔවුන් දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වී ඇති නිසාය. එහෙත් ඔවුන්ට දූෂණ ක්‍රියා සිදු කිරීමට විධානය දුන් දේශපාලකයන්ට එරෙහිව ​ෙම් රටේ නීතිය ක්‍රියාත්මක වී නැත. ඇල්බේනියාවේ හිටපු නීතිපති ඇඩ්‍රියාටික් ලලාට (ADRIATIK LALLA) එරෙහිවද මුදල් විශුද්ධිකරණය හා දූෂණ ක්‍රියා පිළිබඳව ද දැනටම පරීක්ෂණයක් අරඹා ඇත.


ජනතාවගේ ඇස්වලට වැලි ගසමින් මේ පරීක්ෂණ කාලයේ වැලි තලාවෙන් වැසී යයි. විවිධ දූෂණ ක්‍රියා සිදුකර ඇති බව කියන අගමැති එඩි රාමාට ඉල්ලා අස්වන ලෙස කියමින් 2019 මාර්තු 19දා ටිරාන් අගනුවර ඇරඹුන උද්ඝෝෂණ තවමත් අවසන්වී නැත. රට අගාදයට ඇද වැටී ඇත්තේ මේ රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය නිසාය.


වළපල්ලට ගිය බොහෝ රටවල අල්ලස් දූෂණ මුදල් විශුද්ධිකරණ ආදී විවිධ චෝදනා එල්ල වූයේ බලයේ සිටින දේශපාලකයන්ටය. ඇල්බේනියාවේ විපක්ෂ නායකයාටද මුදල් විශුද්ධිකරණ චෝදනාවක් එල්ලවී තිබේ. එහි විපක්ෂ නායකයා ලුල්සිම් බාෂාය. ඔහු ටිරාන් අගනුවර හිටපු නගරාධිපතිනිය. ඩිමොක්‍රටික් පක්ෂයේ නායකයාය. බලයේ සිටින අය සහ බලය ලබාගන්නට පොරකන අයද මේ රටේ වංචා දූෂණවල නිරත වනවිට කුමන පැත්ත ගන්නේද? තේරුම් බේරුම් කරගත නොහැකිව ජනතාව අන්දමන්ද වී සිටිති.
විපක්ෂ නායකයාට එරෙහි නඩු විභාගය අනිකුත් සියලු නඩු අබිබවමින් ඉදිරියට ඇදී යන අයුරු දක්නට ලැබේ. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පවතින මේ රටේ තත්ත්වය මෙහෙමය.
යුරෝපයේ පිහිටි රටවලින් යුක්‍රේනය සහ මෝල්ටෝව හැරුණවිට ඊළඟ දූෂිත රාජ්‍යයය ඇල්බේනියාව බව සඳහන් කරන්නේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයයි. ජාත්‍යන්තර දේශපාලන විචාරකයන්ගේ මතය වී ඇත්තේ දූෂිත විනිශ්චයකාරවරුන් 140 දෙනකු නෙරපා හැරීම හා ඉල්ලා අස්වීමට ඉඩ සැලැස්වීමෙන් පමණක් ඇල්බේනියාවේ අධිකරණ පද්ධතිය සුද්ධ කිරීමට නොහැකි බවය. එම දූෂිත විනිසුරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට දඬුවම් ද ලබාදිය යුතු බව ඔවුන්ගේ මතයයි. මෙහි නිදහස් මාධ්‍යවේදීන් මර්දනය කිරීමට රජය ගත් පියවර පිළිබඳ උදාහරණ රාශියක්ම ඇත.


දේශපාලන ඔක්කාරය


විවිධ ආරාජික රාජ්‍යයන්හි සිදුවන්නේ එම රටවල වටිනා සම්පත් පාලකයන් විසින් කාටත් හොරෙන් විදේශ රටවලට විකිණීමයි. තම හිතවත් ව්‍යාපාරිකයන්ට බදු සහන දී රජයේ ආදායම් කප්පාදු කිරීමයි. මේවා සිදු කෙරෙන්නේ හොර රහසේය. මේ දිනවල දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති ජේකොබ් සුමාට (JACOB ZUMA) එරෙහි දූෂණ වංචා නඩුව එරට අධිකරණයෙහි විභාග වේ.


නෙල්සන් මැන්ඩෙලා සමග එරටට නිදහස ලබාගැනීම වෙනුවෙන් කළ සටනට සහභාගි වී එදා සිරබත් කෑ නමුත් ඔහු රාජ්‍ය දේපොළ අවභාවිත කළ අයුරු හෙළිවිය. 77 හැවිරිදි ඔහුට එරෙහිව විභාග වන නඩුව ලෝකයේ අවධානයට යොමුවී ඇත. දූෂණ චෝදනා එල්ලවීම නිසා ඔහුට ඉල්ලා අස්වීමට සිදුවිය.


බොහෝ රටවල ජනතාවගේ දැවෙන ප්‍රශ්න එක තැන පල්වෙයි. ඇතැම් රටවල ජනපතිවරුන් එරට අගමැතිවරු ඉදිරියේ පඹයකු වීමට අකමැතිය. එවැනි රටවල ජනතාවට දේශපාල ඔක්කාරය හැදේ. පුහු මාන්නය හා කට හැකරකම තුළින් මෙවැනි රටවල පාලකයින් ජනතාවගේ විහිළුවට පාත්‍රවේ. ජාත්‍යන්තර අවබෝධයක් නොමැති වූවන් අතට පාලන බලතල ලැබීමෙන් රටවල් අඳුරට තල්ලුවී යයි. ජනතාවට අපාදුක් ලැබෙන්නේ එවිටය. ‘වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසනු ඒ අමාරුව’ යන කියමන ඇල්බේනියාව නැමති ජනරජයට හොඳින්ම ගැළපේ. මෙම කියමන හරියටම ගැළපෙන රටවල් 60කට වැඩි සංඛ්‍යාවක් මෙම තීරුව මගින් හඳුන්වා දීමට හැකිවිය.


ඉකුත් සතියේදී වොෂින්ටන්හි ධවල මන්දිරයේදී ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපිට දී පකිස්ථානයේ අගමැති ඉම්රාන් ඛාන් රටවල් වනසන දූෂිත දේශපාලකයින් පිළිබඳ මනා විවරණයක් ඉදිරිපත් කළ අයුරු මම දුටුවෙමි. එම විවරණය අදටත් අනාගතයටත් වලංගුය.

 

 

 

 

සිරී හීන්පැල්ල
නිව්‌යෝර්ක් නුවර සිට ලියයි