යුරෝපයේ තවත් අසාර්ථකවූ රටක් ස්ලෝවෙනියාව


වළපල්ලට ගිය රටවල්

ස්ලෝවේනියාවේ දරිද්‍රතාවය

 

 

රටකට අවශ්‍ය, අසරණ ජනතාවගේ සහ විරුද්ධවාදීන්ගේ අතපය හතර හන්දි කඩා බිඳදමන පොලීසි මෙහෙයවන පාලකයින් නොවේ. විදේශවලින් ලැබෙන සහන අවභාවිත කරමින්, රට නගන බව කියමින්, එවැනි දේශපාලකයින් ගහන ගැහිලි නිසා රටවල් කාබාසිනියා කර ජනතාවගේ මොළගෙඩි බේගල්වලින් පුරවන පාලකයින්ගෙන් රටකට සෙතක් නැත. සතුටු විය හැකි හැම දෙයක්ම ඔවුහු අත්පත් කරගනිති. 

 
දුක්වෙන හැම දෙයක්ම ඔවුහු ජනතාවට ලබාදෙති. ඔවුන් තුළ ඇත්තේ මුදල් පසුපස හඹායාමේ නොතිත් ආශාවයි. එවැන්නන්ගේ පාලනය අග්නි ජාලාවකි. ඔවුහු ජනතා අයිතීන් යටපත් කරති. ජනතාව හෙම්බත් කරති. ඔවුහු රටවල් මංකොල්ල කති. එවැනි රටවල මිනිසුන් මියයන්නට පෙර මියයන වාර ගණන අනන්තය. අප්‍රමාණය.   


එවැනි රාජ්‍යයන් රාශියක් දුටු මම කඳුළු තැවරුණ මතකය අවදි කරමින් ලියූ ලිපි පෙළක අවසාන ලිපි කීපයයි මේ. එම රාජ්‍යයන්හි අශිෂ්ට දේශපාලනය ශිෂ්ත්වටය කරා ගෙනයන පුද්ගලයින්ට තැනක් නැත. අවකාශයක් නැත. යථෝක්ත දේශයන්හි බලලෝභී දේශපාළුවෝ කති බොති. සැප විඳිති. රට වටේ හති වැටි වැටී යති. ඒ රටට සෙතක් සැලසීමට නොවේ. ඡන්ද වැඩිකර ගැනීමටය. යළි බලය ලබාගැනීමටය.   


ස්ලෝවේනියාවේ දුක් රාවේ 

 
යුගෝස්ලෝවියාවෙන් කැඩී බිඳීගිය මධ්‍යම යුරෝපයේ පිහිටි ස්ලෝවේනියාව (SLOVENIA) පිළිබඳ විස්තරයක් අද ඉදිරිපත් කෙරේ. මේ කියන ජනරජයද දශමයෙන් දශමය වළපල්ලට යන රටකි. ඉතාලිය සහ ඔස්ට්‍රියාව වැනි දියුණු රටවල් සහ ක්‍රොඒෂියාව සහ හන්ගේරියාව වැනි අගාධයට ඇද වැටුණ රාජ්‍යයන්ද මැදිකොට පිහිටි ස්ලෝවේනියාවද අතිශය බරපතළ අසීරුතාවන්ට මුහුණදී සිටින පුරවැසියන් ජීවත්වන දේශයකි. මට කියන්නට තිබෙන්නේ ණයවෙලා හතර වටේ යනවා ලෝකෙ වටේ කියන එකයි.   


මෙහි ජාතික සම්පත් විනාශ වී යයි. නිසි කළමනාකාරිත්වයක් සහ නිසි දේශපාලන නායකත්වයක් නොලැබීම තුළින් රට විනාශ මුඛයට පත්වෙමින් තිබේ. ලාබ ලබමින් රජයට හා රටට බරක් නොවෙමින් තිබූ විවිධ කර්මාන්තශාලා විනාශ වී හමාරය. නැතහොත් පෞද්ගලික ආයතනවලට විකුණා ඇත. ලංකාවේ වාගේම රටට හිතකර රට ගොඩගන්නා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මෙහි අමන පාලකයින්ද දන්නේ නැත.   


රටේ විශාලත්වය ව.කි.මී. 20273 ක් හෙවත් ව.සැ. 7827 කි. ජනගහනය 2084301 කි. ජනාධිපති බොරුට් පහෝර්ය. අගමැති මර්ජාන් සරේක්ය. විසි ලක්ෂයක ජනගහනයකින් සමන්විත මේ රටේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව 130 කි. මේ මන්ත්‍රී සංඛ්‍යාව වැඩිකර ගැනීමට පොරබදන දේශපාලන පක්ෂ රාශියක් ඇත. පසුගිය දශකයේ රටේ කිසියම් ප්‍රගතියක් දක්නට ලැබුණත් පාලකයින්ගේ අනුවණකම් නිසා දැන් එම ප්‍රගතිය යටපත් වී තිබේ.   


සරණාගතයින්ගේ හද ගැස්ම   


මෙහි බහුතර ජනතාවගේ දෛනික ආදායම ඩොලර් 1.90 කට වඩා අඩුය. රැකියා විරහිත තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව අති විශාලය. බොහෝදෙනාට ඇත්තේ තාවකාලික රැකියාවන්ය. සෞඛ්‍ය සේවය ඉතා පිරිහී ඇත. සෞඛ්‍ය පහසුකම් සඳහා අයවැයෙන් වෙන්කරන්නේ සියයට 3 ක් පමණකි. 2013 වර්ෂයෙන් පසු ආර්ථික පසුබෑම හමුවෙහි රටේ කම්හල්වලින් සියයට 46 ක් වසාදමනු ලැබීය. මේ හේතුවෙන් රැකියා අහිමිවූවන්ගේ සංඛ්‍යාව ලක්ෂ ගණනකි.   


මෙය යුරෝපයේ අඩුම වැටුප් ගෙවන තවත් රටකි. මෙම විස්තර උපුටා ගන්නා ලද්දේ ද ස්ලෝවේනියා ටයිම්ස් (THE SLOVENIA TIMES) පත්‍රයෙනි.   


මෙහි ආහාර සලාක ලබාගන්නා දිළිඳු ජනතාවගේ සංඛ්‍යාව 278000 කට අධිකය. ජනතාව බදු බරින් පෙළේ. බැලූ බැල්මට දියුණු රටක් බව පෙනෙන නමුත් රට අභ්‍යන්තරයේ ජනතාව ගෙවන ජීවිත පිළිබඳ විශ්ලේෂණයක යෙදුණ විට කිව හැක්කේ ආහාර, නිවාස, රැකියා, අධ්‍යාපන, සෞඛ්‍ය, විදුලිය, ගමනාගමන ආදී විවිධ දැවෙන ප්‍රශ්න වලින් ඔවුන් පෙළෙන බවය. තරුණ තරුණියන් අතුරින් සියයට 26 ක් පමණ රැකියා විරහිතව යුරෝපයේ දියුණු රටවලට පැනයාමට උත්සාහ දරයි. බොහෝ කම්හල් වැසීගොස් ඇත්තේ අයබදු වැඩිකිරීම හා රජය මගින් විවිධ නීතිරීති පැනවීම නිසාය.   


යකඩ වැටෙන් ගසා කෑ හැටි   


ස්ලෝවේනියාවත් ක්‍රොඒෂියාවත් වෙන්කරන දේශසීමාව හරහා කි.මී. 180 ක ඉතා උස යකඩ වැටක් ඉදිකිරීම සඳහා රජය අති විශාල මුදලක් වැය කිරීම විදේශ මාධ්‍යයන්හි දැඩි විවේචනයට පාත්‍ර වී තිබේ.   


රජය පවසන්නේ සරණාගතයින් රටට පැන ඒම වැළැක්වීමට මෙම වැට ඉදිකරන බවය. සරණාගතයින් ලක්ෂ ගණනක් සිටින රටකට තවත් සරණාගතයින් නොපැමිණෙන බව විදේශ මාධ්‍යවල මතයයි. ජනතාවගේ සුබසෙත තකා වැය කිරීමට තිබූ ඩොලර් මිලියන 900 කට වැඩි මුදලක් මේ සඳහා වැය කර ඉන් වැඩි කොටසක් දේශපාලකයින් ගසා කෑ අයුරු දැන් හෙළිවී තිබේ. ආරාජික රටවල සිදුවන්නේ මෙවැනි බහුබූත වැඩය. ලංකාවද ණය සාගරයක ගිලී ඇත්තේ මේ නිසාය.   


මෙම දේශයේ අවුරුදු 55 ත් 64 ත් අතර වයසේ පසුවන අයගෙන් රැකියා ඇත්තේ සියයට 38.5 කට පමණකි. රටපුරා විවිධ ලෙඩ රෝග පැතිරීයාම නිසා පුරවැසියන්ගේ ආයුෂ අවුරුදු 58 දක්වා අඩුවී ඇත. ග්‍රීසිය සහ ක්‍රෝෂියාව හැරුණු විට දරිද්‍රතාවයෙන් පෙළෙන රටවාසීන් වැඩිම පිරිසක් සිටින රටකි. රටේ වැඩිපුරම ඇත්තේ කිසිදු පහසුකමක් නැති කඳුකර ගම්මානය.   


ගමනාගමන පහසුකම් නොමැති නිසා මේ ගම්මානවල ජනතාව ගෙවනුයේ ඉතා අසීරු ජීවිතයි. යුරෝපයේ අධ්‍යාපන පහසුකම් අඩුම ජනරජයකි. මා මේ සඳහන් කළේ ස්ලෝවේනියාවේ දරිද්‍රතාවයෙන් බිඳක් පමණකි.   


හිටපු අගමැතිගේ හොරකම්   


ස්ලෝවේනියාවේ හිටපු අගමැති ජේන්ස් ජැන්සාය. 2004 සිට 2008 දක්වාත්, 2013 වර්ෂයේත් ස්ලෝවේනියාවේ අගමැති තනතුර දැරුවේ එහි කොන්සර්වේටිව් එස්ඩීඑස් පක්ෂයේ නායකත්වය දැරූ ඔහුය. ෆින්ලන්තයෙන්, යුද්ධ ටැංකි 135 ක් මිලට ගැනීමේදී ඩොලර් මිලියන 363 ක් හෙවත් යුරෝ මිලියන 278 ක් වංචාකිරීම සම්බන්ධයෙන් වරදකරු බවට පත්වූ ඔහුට අධිකරණය මගින් අවුරුදු 2 ක සිරදඬුවමක් නියම කරන ලදී. ඩොලර් 57,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියම කරනු ලැබීය.   


මේසා වංචාවක් සිදුකළ හිටපු අගමැතිවරයාට අධිකරණයෙන් ලබාදුන් දඬුවම මෙයයි. ඔහු මෙම නඩු තීන්දුවට එරෙහිව දැනට අභියාචනයක් ඉදිරිපත් කොට ඇත. මුල් නඩුව විභාගකිරීමට අධිකරණය වසර 5 කට වැඩි කාලයක් ගත්තේය.   


සිරදඬුවම් නියම වූ හිටපු හොර දෙටු අගමැතිවරයා අභියාචනාධිකරණයෙන් නිදහස් කරන ලදී. ඔහු යළි ස්ලෝවේනියාවේ අගමැති තනතුරට පත්වුවහොත් එය පුදුම විය යුතු කරුණක් නොවන බව ඇතැම් විදේශ මාධ්‍යයන්හි මතයයි. ලංකාව ඇතුළු ලොව බොහෝ රටවල සිදුවන්නේ මෙය නේද? වළපල්ලට වේගයෙන් යන්නේ මෙවැනි රටවල්ය. මෙවන් මොහොතක මට සිහිවන්නේ ‘‘මේ කවුරු ආවත් හොරු නම් අල්ලන්නේ නැහැ’’ යනුවෙන් 2019 අගෝ 28 දා මාධ්‍යයන්ට රන්ජන් රාමනායක කළ ප්‍රකාශයයි. රන්ජන්ගේ ප්‍රකාශය හරියටම හරිය.   


සුනාමිය වැනි දේශපාලකයෝ   


සුනාමිය එද්දි මුහුද පස්සට ගියාක් මෙන් ලංකාව ඇතුළු බොහෝ රටවල දේශපාලකයින් තමන්ට දූෂණ චෝදනා එල්ල වූ විට පස්සට ගොස් යළි ඉස්සරහට එන අයුරු මම දුටුවෙමි. අන්තර්ජාලයේ විකිපීඩියා දත්ත ජාලය සඳහන් කරන්නේ ස්ලෝවේනියාවේ දේශපාලන පක්ෂ වංචා දූෂණ සිදුකරන සියලු ආයතන අබිබවමින් පෙරමුණේ සිටින බවයි.   
තවත් විවිධ දූෂණ චෝදනා සහ ඇඩ්‍රියාටික් වරායේ සිට ඉතාලි දේශ සීමාව දක්වා දුම්රිය මාර්ගයක් ඉදිකිරීමේ ඩොලර් බිලියන 1.2 ක ව්‍යාපෘතිය සම්බන්ධ අක්‍රමිකතා හේතුකොටගෙන ස්ලෝවේනියාවේ තවත් හිටපු අගමැතිවරයකු වූ මයිරෝ සෙරාර් තනතුරෙන් ඉල්ලා අස්වීමේ පුවත විස්තරාත්මකව හෙළිකර තිබුණේ 2018 මාර්තු 14 දා වීඕඒ නිව්ස් මාධ්‍යය මගිනි.   


මේ අතර 2019 පෙබරවාරි 14 දා බීබීසී (BBC) නිව්ස් මගින් ස්ලෝවේනියාව පිළිබඳ ඉතා හාස්‍යජනක පුවතක් වාර්තා කළේය. එම පුවතේ සඳහන්වූයේ එහි අගනුවර ආපනශාලාවකින් සැන්ඩ්විච් එකක් සොරකම් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මාර්ජන් සරෙක් තමා කළ වරද පිළිගෙන මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ බවය.   


ස්ලෝවේනියාවේ මෙන්ම ලංකාවේද මන්ත්‍රී පදවි ලබාගන්නේ මෙවැනි පුද්ගලයින්ය.   


2019 පෙබරවාරි 27 දා ඒඑෆ්පී මාධ්‍ය වාර්තාවක සඳහන් වූයේ ස්ලෝවේනියාවේ විශේෂ ව්‍යාපෘති හා පරිසර ඇමති ජුරේ ලෙබන් දුම්රිය මාර්ග ඉදිකිරීමේදී සිදුකළ වංචා සම්බන්ධයෙන් ඉල්ලා අස්වූ බවය.   


මර්ජානා සරෙක් අගමැතිවරයාගේ ආණ්ඩුවේ දූෂණ චෝදනා එල්ල වීම නිසා ඉල්ලා අස්වූ තුන්වැනි කැබිනට් ඇමැතිවරයා ඔහු වන බවද එම මාධ්‍ය වාර්තාවේ සඳහන් විය.   
දූෂිත දේශපාලකයින් වංචාවක් සිදුකළ විට ඔවුන්ට ඉල්ලා අස්වීමට ඉඩහැර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම ලංකාව ඇතුළු බොහෝ රටවල ඇස්පනාපිට සිදුවන ක්‍රියාදාමයක් නොවේද? ඉල්ලා අස්වූ ඇමැතිවරයා දුම්රිය මාර්ගය ඉදිකිරීමට යන වියදම මෙන් දෙගුණයක් සාක්කුවේ දමාගෙන ඇති බව හෙළිවිය.   


ඉල්ලා අස්වූ දූෂිත ඇමැතිවරු   


බොහෝ වළපල්ලට ගිය රටවල වේදිකා මතදී උත්කර්ෂයට නැගෙන දේශපාලකයින්ගේ ජාත්‍යාලය මම දුටුවෙමි. මෙම කතාන්දරවලින් මෝහනයට පත්වන ඡන්දදායකයින් දුටුවෙමි. මෙම ඡන්දදායකයින් ළිං කටින් කවදාවත් ගොඩඑන පාටක් නැත. මෙවැනි රටවලට කුමන සෞභාග්‍යයක්ද? කුමන දියුණුවක්ද? මා වැඩි වශයෙන්ම දුටුවේ ධනය හා බලය හමුවෙහි නිවටයින් වන පුරවැසියන්ය.   


2018 නොවැම්බර් 14 දා රොයිටර් වාර්තාවක ස්ලෝවේනියාවේ සංවර්ධන කටයුතු පිළිබඳ ඇමැති මාර්කෝ බැන්ඩෙලි දූෂණ චෝදනා එල්ලවීම නිසා ඉල්ලා අස්වීමේ පුවත විස්තරාත්මකව සඳහන්විය. දේශපාලක හොරුන්ට සොරකම් කළ මහජන මුදල් යටිමඩි ගසාගෙන සුරසැප විඳිමින් නිදැල්ලේ හැසිරීමට ඉඩදීම ප්‍රජාතන්ත්‍රවාදී නිදහස දැයි ජාත්‍යන්තර මාධ්‍යයන් විමසයි.   


ජනතා සහන සහ රට නගන බව කියා මොවුන් ගහන ගැහිලි තුළින් රටක් ඉදිරියට යන්නේ කෙසේද?   


ඩොනල්ඩ් ට්‍රම්ප් විවාහ වූ ස්ලෝවේනියා සුරූපිය 

 
ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වූ මෙලේනියා ස්ලෝවේනියා ජාතික කාන්තාවකි. ඇය ඉපදුණේ ස්ලෝවේනියාවේ නොවෝ මෙස්ටෝ (NOVO MESTO) ප්‍රදේශයේය. පාසල් යද්දී මහ මගදී ඡායාරූප ශිල්පියෙකු විසින් ඇයගේ ඡායාරූපයක් ගෙන එය පත්‍රයක පළකිරීම හේතු කොටගෙන අැයට පින පෑදුණේය.   


එ් වනවිට ඇයගේ වයස අවුරුදු 16 කි. මෙලේනියාද ස්ලෝවේනියාවේ දරිද්‍රතාවයෙන් පෙළුණ පවුලක උපන් දැරියකි. මෙතරම් දිළිඳු රටක උපත ලැබූ ඇය ඇමෙරිකාවේ ධවල මන්දිරයේ පදිංචියටයාමේ සිද්ධිය ප්‍රතිහාර්යයක් බඳු යැයි ඇමෙරිකාවේ වසන මට සිතේ.   


ස්ලෝවේනියාවේ මෙලනිජා කන්වාස් මෙලිනියා ට්‍රම්ප් බවට පත්වීමේ කතාන්දරය පොත් ගණනාවක් ලිවිය යුතු ප්‍රේම වෘත්තාන්තයකි. මෙවැනි ලිපියකට රෝමියෝ ජුලියට් වැනි ප්‍රේම කතාවක් ඇතුළත් කිරීමෙන් මෙහි අන්තර්ගතය වෙනත් දිශාවකට යොමුවේ. එහෙත් ලොව ප්‍රබලම පොහොසත්ම රටක් හා යුරෝපයේ දිළිඳු දේශයක් යා කෙරුණ එම සිද්ධිය ඉතා සංක්ෂිප්තව දැක්වීම යෝග්‍යය වන්නේය.   


ට්‍රම්ප් මෙලේනියා ආදර කතාව   


දැරියක්ව සිටියදී ගත් ඡායාරූපය පත්‍රයක පළවීම හේතුකොටගෙන, නිරූපණ ශිල්පිනියක් බවට පත්වී ලෝකයට අවතීර්ණ වීමට මෙලනියා සමත්වූවාය. 26 හැවිරිදි වියේදී අැයට ඇමෙරිකාවේ නිව්​ෙ‌යා්ර්ක් නුවරට ළඟාවීමට වාසනාව පෑදුණි. ඇයට ධන කුවේරයකු වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රථම වරට මැන්හැටන් නගරයේදී හමුවුණේ 1998 දී ප්‍රියසාදයකදීය.   
ඒ වනවිට ට්‍රම්ප් තම දෙවැනි බිරිඳවූ මාර්ලා මේපල්ස් (MARLA MAPLES) දික්කසාද කිරීම සඳහා අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටියේය. මෙම ප්‍රියසාදයේදී සුරූපී මෙලනියාගෙන් ට්‍රම්ප් ඇයගේ දුරකථන අංකය ඉල්ලා සිටියේය. ඒ වෙනුවට මෙලනියා කළේ තම දුරකථන අංකය ට්‍රම්ප්ට දෙනවා වෙනුවට ඔහුගේ පුද්ගලික දුරකථන අංකය තමා ලබාගැනීමයි.   
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා අතර ප්‍රේම සම්බන්ධය ඇරඹුණේ මෙසේය. ට්‍රම්ප් 1999 දී තම දෙවැනි බිරිඳ මාර්ලාගෙන් දික්කසාද විය. 2005 වසර වනතෙක් ට්‍රම්ප් මෙලනියා ආදර කතාව දිග හැරුණේය. මේ යුවළ 2005 දී විවාහ වූහ. 2006 දී මෙලනියා බැරොන් (BARRON) පුතා ප්‍රසූත කළාය. මෙලනියා ඇමෙරිකා පුරවැසි බව ලබාගත්තේ 2006 දීය. ඇය ස්ලෝවේනියාවේ විසූ තම දිළිඳු මව්පියන්ද ඇමෙරිකාවට ගෙන්වා ගත්තාය. මෙලනියා පවුල රටවල් දෙකේම ද්විත්ව පුරවැසිකම ලබාගැනීමටද උත්සාහ කළේ නැත. ඇය ලෝක පොලිස් කාරයාගේ බිරිඳ වුවත් ඇමෙරිකාවට හෝ වෙනත් රටවලට හෝ පොලිස් පාට් දැමීමට ගියේද නැත. දැනට 49 හැවිරිදි ඇය 73 හැවිරිදි ට්‍රම්ප් සමග වයිට් හවුස් මන්දිරයේ පදිංචියට ගියේ 2017 ජනවාරි 20 දාය.   


ඇමෙරිකන් සිහිනය   


මෙලෙනියා ට්‍රම්ප් මෙන්ම ලොව බොහෝ අය ඇමෙරිකන් සිහිනය සැබෑකර ගැනීමට වෙර වීරිය දරති. බොහෝ වළපල්ලට ගිය රටවල තරුණ තරුණියන්ගෙන් බහුතරය ඇමෙරිකාව ප්‍රමුඛ ලොව දියුණු රටවලට පැනයාම තම එකම අරමුණ කරගෙන සිටින බව මෙහිලා සඳහන් කළ යුතුමය. වළපල්ලට ගිය රටවල් හරහා මාගිය ගමනේදී මට වැටහුණේ කළුවර ළංවෙද්දී හෙවණැල්ලත් අතහැරලා යන ලෝකයක අප ජීවත්වන බවයි.   


දෙපැත්ත කන, ජරා වැඩ කරන, හදවත ගල්වුන, අමන දේශපාලකයින්ගෙන් රටකට වැඩක් තිබේද? ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපති ට්‍රම්ප් අද මහ පොළවට බරක්වී ඇති තම බිරිඳගේ නිජභූමිය වූ ස්ලෝවේනියාව ගොඩගනීද? 

 

 

 

සිරි හීන්පැල්ල 
නිව්​ෙ‌යා්ර්ක් නුවර සිට ලියයි