යුද්ධයෙන් බැට කෑ ඇතාවැටුණුවැව තවමත් අසරණයි


නිවෙසට යාබදව ඉදි කළ බංකරයක්

ඇතාවැටුණුවැව විද්‍යාලය

පානීය ජලය සපයා ගන්නා ගමේ නළ ළිඳ

 

 

​කොටි ත්‍රස්තවාදීන් විසින් අහිංසක ජනතාව සමූහ ඝාතනයට ලක් කළ ඩොලර් ෆාම් සහ කෙන්ට් ෆාම් ගම්මානය පිළිබඳව අපි පසුගිය සති කිහිපය තුළ විස්තර කළෙමු. ත්‍රස්තවාදී ප්‍රහාරවලින් අතිශයින්ම බැට කෑ එම පිරිස අද වන විට නිදහසේ ජීවිතය ගත කළ ද සිය දෛනික කටයුතු පවත්වාගෙන යාමට නොහැකිව ගැටලු රැසකට මුහුණ දී සිටිති. එක් පැත්තකින් සිය කුඹුරු හෝ හේන් ගොවිතැන් කිරීමට නිසි පරිදි ප්‍රමාණවත් ජල පහසුකම් නොමැති වීම නිසා ගැටලු රැසක් පැන නැගී තිබේ.   


රැකියා නොමැතිවීමත් දරුවන්ට අධ්‍යාපන කටයුතුවල නිරත වීමට ප්‍රමාණවත් පහසුකම් නැතිවීමත් නිසා ඔවුහු දැඩි ගැටලු රැසකට මුහුණ දී සිටිති.   


ත්‍රස්තවාදී ප්‍රහාරවලින් අතිශයින්ම බැට කෑ තවත් ගම්මානයක් පිළිබඳව සොයා බැලිමට පසුගියදා එහි සංචාරය කළෙමු. ඒ ඇතාවැටුණුවැව ගම්මානයයි. වැලි ඔය ජනපදයේ මහවැලි එල් කලාපයට අයත් ඇතාවැටුණුවැව පසුගිය ත්‍රස්තවාදී භීෂණය සමයේ දැඩි ලෙස කාලතුවක්කු ප්‍රහාරවලට ලක් වූ ප්‍රදේශයකි. පවුල් 200ක් පමණ එහි පදිංචි වී සිටියද ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ බොහෝ දෙනකු සිය ගම් බිම් හැර ගොස් තිබේ. එහෙත් එදා යුද ගැටුම් හමුවේ හෝ ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ සිය ගම් බිම් අත හැර නොගොස් කඳවුරුවල ජීවත් වූ ගම්වාසීන් කිහිප දෙනෙක් අදටත් වැලිඔය ඇතාවැටුණුවැව ගම්මානයේ ජීවත් වෙති.   


ඇතාවැටුණුවැව මුලින්ම හැඳින් වූයේ ‘අලියකොන්ඩාරම්’ නමිනි. ඒ දමිළ භාෂාවෙනි. අලියකු වළකට වැටී ඇති නිසා එම ප්‍රදේශය ඇතාවැටුණුවැව ලෙස අද හඳුන්වයි. වැලි ඔය ජනපදයේ අතිධුෂ්කර මායිම් ගම්මානයක් ලෙස හැඳින් වූ ඇතාවැටුණුවැව පසුගිය ත්‍රස්තවාදී සමයේ කොටින්ගේ කාලතුවක්කු ප්‍රහාර නිරන්තරයෙන් එල්ල වූ ගම්මානයකි. ඔවුන් යුද්ධය නිමා වීමට පෙර සිය නිවෙස් තුළ ආරක්ෂාව පතා බංකර සකස් කර ගෙන තිබේ. අදටත් ඇතැම් නිවෙස් තුළ එම බංකර දැකිය හැක. ත්‍රස්තවාදීන්ගේ කාලතුවක්කු ප්‍රහාර එල්ල වෙන දිසාව ආවරණය කොට මෙම බංකර ඉදි කර තිබේ. ඒ සඳහා එදා පැවති රජය එක් නිවාස ලාභියකුට රුපියල් 75000ක පමණ මුදලක් මෙම බංකර ඉදි කර ගැනීම සඳහා ලබා දී ඇත. ඇතාවැටුණුවැව ග්‍රාමයේ ජීවත් වන බී.ඩී. සිරිවර්ධන මහතා එදා ලැබූ අත්දැකීම් හා ඇතාවැටුණුවැව අද තත්ත්වය පිළිබඳ අප සමග විස්තර කළේ මෙසේය.   
අපි මෙම ගම්මානයට මුලින්ම පදිංචියට ආවේ 1984 වර්ෂයේදී. දිඹුලාගල නාහිමියන්ගේ මූලිකත්වයෙන් මඩකළපු දිස්ත්‍රික්කයේ පැල්පත් සාදාගෙන තමයි අපි ජීවත් වුණේ. අපිට ඉතා කුඩා භූමි ප්‍රමාණයක් තමයි හම්බ වුණේ. ගොවිතැන් බත් කර ගෙන ජීවත් වෙන්න. අපි නව මාසයක් පමණ එහි ජීවත් වුණා. එහිදී එවකට සිටි දේශපාලනඥයකුගේ විරෝධතාව නිසා එම ගම්මාන අතහැරලා අපට නැවත දිඹුලාගලට එන්න සිද්ධ වුණා. එතැනින් පවුල් 1000ක් තෝරා ගෙන මේ වැලි ඔය ජනපදයට රැගෙන ආවා. එතැනදී ඇතාවැටුණුවැවට පවුල් 500 යි. නිකවැව කියන ගම්මානයට පවුල් 500 යි පදිංචි කළා. ඒ කාලයේ මහවැලියක් තිබුණේ නැහැ. ඉඩම් කොමසාරිස්වරයා යට​ෙත් තමයි පාලනය කළේ. ඊට පස්සේ තමයි මේ යුද්ධයක් කියලා ඇති වුණේ. අපි එතකම් දන්නේ නැහැ යුද්ධයක් කියන්නේ මොකක්ද කියලාවත් ආවට පස්සේ තමයි අපේ පවුල් 1000 ම දැන ගත්තේ. ඉස්සෙල්ලාම ඩොලර්​ ෆාම් සහ කෙන්ට් ෆාම් කියන ගම්මානවලටයි ප්‍රහාර එල්ල වුණේ. එතනදී එක පේළියට මිනිස්සු සිටවලා වෙඩි තිබ්බා. කුඩා ළමයි උල්වල හිටවලා තමයි මරා දාලා තිබුණේ. ඒවා දැකපු පවුල් 250ක් පමණ ගම්මානය අත හැරලා ගියා. ඊට පස්සේ තමයි යුද්ධය වර්ධනය වුණේ.   


ඊට පස්සේ ජීවිතය ගැන බොහෝ කලකිරුණු අය ගම අතහැරලා ගියා. බොහෝම සුළු පිරිසක් තමයි රැඳී සිටියේ. ඒ ඉන්න පිරිසකගෙන් පවුල් 60ක් හෝ 70ක් වගේ පිරිසක් ඉන්නවා එක ගමක. සෑම දුකක් කරදරයකට මුහුණ දී ජීවත් වුණා ඒ පිරිස. මගේ නංගියි මස්සිනයි ඇතුළු 8 දෙනෙක් අපේ පවුලේ මැරුණා. ඒත් අපි ගම්මානය අත ඇරලා ගියේ නැහැ. අපි තවත් මේ ගම්මානයේ ජීවත් ​ෙවනවා.   


එහෙත් දැන් තිබෙන තත්ත්වය දිහා බලපුවාම ඒ පරණ මිනිස්සු පිළිබඳ කිසිදු තැකීමක් හෝ ඔවුන් පිළිබඳ ආරක්ෂාවක් දෙන දීමනා කිසිවක් ලැබෙන්නේ නැහැ. අද මේ රජයන්වලින් කිසිදු උපකාරයක් ලැබෙන්නේ නැහැ. අදාළ නිලධාරීන් උදව් කරන්නේ නැහැ. අපි පරණ අය කියලා. අලුත් අයට තමයි සියලු දීමනා ලබා දෙන්නේ. වරප්‍රසාද ලැබෙන්නේ දැන් පවතින ඉඩෝර තත්ත්වයත් ගම්මානවල තබෙන භීෂණයත්, කෑම බීමවල අඩු පාඩු රැසක් අපට තිබෙනවා.   


අපිට බිත්තර වී ටිකක් ගන්න තැනක් නැහැ. අපිට ඉඩෝරයත් සමග ගොවි තැනක් බතක් කරගන්න විදිහක් නැහැ. පසුගිය දවස්වල සුළු වර්ෂාවක් ලැබුණා. ඒත් තවමත් නිසි වගාවකට අපි බැස්සේ නැහැ. නමුත් අපි ගමේ ජීවත් වන්නේ අලුත් පරණ කියලා නෙමෙයි.   


අපි විඳින අපහසුතා ගැන හිතලා අපට අඩුම තරමේ සලාකයක් හෝ ලබා දෙනවා නම් යන්තම් හෝ අපිට ජීවත් වෙන්න කියලා එ්ක වටිනවා. එහෙම නැතිනම් බිත්තර වී ටික වත් අපට ලබා දෙන්න ඕනෑ. එහෙම නැතිනම් ජීවත් වෙන්නට යම් කිසි ක්‍රමවේදයක් මේ ගම්වාසීන්ට ලබා දෙනවා නම් අපි මීට වඩා උනන්දුවකින් අපි වගා කටයුතුවල නිරත වෙන්න පුළුවන්.   

 

යුද කාලයේ ග්‍රාමය ආරක්ෂා කරන ග්‍රාම ආරක්ෂක නිලධාරීන්

 

 


ප්‍රශ්නය- යුද්ධ කාලයේ ලබපු අත්දැකිම් ටිකක් කෙටියෙන් විස්තර කළ හොත්?   


පිළිතුර - යුද්ධ කාලයේ මේ ගමේ ඇතාවැටුණුවැව කියන ගම්මානයේ 15 බෝක්කුව කියන තැන ගජබා පුර හමුදා කඳවුරේ අනු ඛණ්ඩයක් තිබුණා. වෙන හමුදාව හෝ පොලිසියක් තිබුණේ නැහැ. හමුදාවෙන් තමයි අපේ සියලු ප්‍රශ්න විසඳුවේ. අපේ ගැටලු කියන්නේ කරන්නේ ඒ කඳවුරේ සිටින නිලධාරීන්ට. එතන 25ක් 30ක් විතර හිටිය. ඔය අතරතුරේ තමයි අපේ ගමේ 15 දෙනෙක් කොටි ත්‍රස්තවාදීන් විසින් කපා කොටා මරලා දැම්මේ. අක්කර 3 1/2ක් විතර ඉඩම් ප්‍රමාණයක් අපට දීලා තිබුණා. ඒ අය මේ කැලෑවේ ඇතුළට ගියා. කදුරු පොතු ගලවන්න, ලී ඉරන්න වගේ දේවල්වලට. ඒ අවස්ථාවේ තමයි කැලයේ සැඟවිලා සිටිය කොටි ඒ එන එන කෙනාව කපලා කොටලා මරා දාලා ගොඩ ගසා තිබුණේ. වෙඩි සද්දයක් ඇසුනම අපි ආමි එකට දැනුම් දුන්නා. ඒ අයත් එක්ක අපි කිහිප දෙනෙක් බෆල් එකට නැගලා සිද්ධිය වූ ස්ථානයට ගියා. යන කොටත් එක් අයකුගේ පණ තිබුණා. ඔහු අම්මේ අම්මේ කියලා කෑ ගැහුවා. එයාව අරගෙන අපි ඉස්පිරිතාලයට ඇතුළු කරන්න පාරට ආවා. ඒත් අතරමගදී ඔහු මිය ගියා.අපි නැවත ඔහුගේ මිනිය පලු ගහක් ළඟ හේත්තු කරලා අනිත් මිනී ටික අරගන්න ගියා. එතනදී අපිට හමුදාවෙන් දැනුම් දුන්නා එක පාරට මිනී ළඟට යන්න එපා කියලා. දිග කෙක්කක් ගෙනල්ලා එක මිනියක් ඇදලා ගත්තා. අදින කොට එක එක්කෙනාගේ කකුල් එකිනෙකට ගැට ගහලා ඔක්කෝම එක අ‌ෑඳලා තිබ්බේ. පසුව අපි ලනු කපලා මළ සිරුරු ගමේ ශාලාවක තැන්පත් කරලා දවස් 4 කට පස්සේ තමයි අවසන් කටයුතු සිදු කළේ. ඒක තමයි මගේ පළමු අත්දැකීම.   


එතන ඉඳලා මේ ගමේ 15 බෝක්කුව තියන තැනට 7ත් 8 වතාවක් විතර කොටි පහර දුන්නා. දෙන්නා තුන් දෙනා මැරුණා. වාහනවලට පහර දුන්නා. ගමේ අයට පහර දුන්නා. හමුදාවේ වාහනවලට පහර දුන්නා. එදා ඉඳලා අපි විවිධ පීඩා විඳිමින් තමයි මේ ඇතාවැටුණුවැවේ ජීවත් වුණේ. අපි ගම දාලා ගියේ නැහැ. පොලිසියවත්, මහවැලියේ නිලධාරීන්වත් අපට උදව් කළේ නැහැ. අපිට හිටියේ යුද හමුදාවේ අය පමණයි. හමුදාව තමයි එදා ඉඳලා අපේ දුක සැප බැලුවේ. එතකොට මේ ගම හැඳින් වූයේ ‘අලියකොන්ඩාරම්’ කියලා. ඊට පස්සේ අපේ ගමේ වැඩිහිටියෝ කිහිප දෙනෙක් එකතු වෙලා මොක්ද මේ අලියා කොන්ඩාරම් කියන්නේ කියලා හොයලා බැලුවා. ඒක දෙමළ නමක්නේ. ඒකේ මොකක් හරි අර්ථයක් ඇති කියලා අපි ඒක හොයන්න ගියා. අපි කණ්ඩායමක් ගියා කැලය ඇතුළට. මේ වැවට මොකද වුණේ කියලා බලන්න. මේ වැව කොහේද තිබෙන්නේ කියලා. එතකොට හම්බ වුණා මේ වැවේ අඩි 200ක 300ක පමණ ප්‍රමාණයක් කැඩී බිඳී ගොස් තිබෙනවා කියලා. ඒක විශාල වළක්. ඒ වළ ඇතුළේ ගොවිතැන් කටයුතු කරලා තිබෙනවා. දෙමළ ජනතාව ගොයම් හිටවලා ගොයම් කපා ගෙන තිබෙන බව අපි දැක්කා. එතකොට අපි කල්පනා කළා අලියා වැටුණනෙ කොහේටද? මේ වළට තමයි මේ අලියා වැටෙන්න ඇත්තේ. එහෙම නම් අපි මේකට නම් කරමු ඇතාවැටුණු වැව කියලා තීරණය කළා. ඒක තමයි අලියාකොන්ඩාරම් කියන එක අද ඇතාවැටුණුවැව කියලා හඳුන් වන්නේ.   


ප්‍රශ්නය - අද වන විට ගමේ තත්ත්වය කොහොමද?  ගොවිතැන් කටයුතු, ආදායම් තත්ත්වය කොහොමද?   


පිළිතුර - අපි ඉතා හොඳින් ගොවිතැන් බත් කර ගෙන ජීවිතයක් ගත කළ අය. මේ ගම්මානයේ ඉන්න සේරම ගොවියෝ. නමුත් දැන් ගොවිතැන් බත් කරගන්න ගොඩාක් පහසුකම් අඩුයි. අපිට ඉඩම් තිබෙනවා. අක්කර 3 1/2ක් ලබා දීපු අය සිටිනවා. නැති අයත් ඉන්නවා. නමුත් අපි අර නැති මිනිස්සුන්ටත් අපි මනුෂ්‍යයෝ හැටියට අඳේට හරි කර ගන්න කුඹුරු ලබා දෙනවා. නමුත් අද වන විට කිසිදු ​ගොවිතැනක් හේනක් එළවළු බෝග ටිකක් වගා කරන්න බැහැ වැසි ජලය නැති නිසා. වැවට වතුර ටිකක් ලැබුණොත් තමයි අපි හිත් සන්තෝෂයෙන් ගොවිතැන් කටයුතු කරන්නේ. ඒත් දැන් වතුර ප්‍රශ්නයට විශේෂයෙන් නා ගන්න පානිය ජලය සඳහා මහවැලියෙන් නළ ළිං සවි කරලා තිබෙනවා. ඒත් ගොවිතැන් කටයුතුවලට ප්‍රමාණවත් ජලය නැහැ. අපි දිගින් දිගටම ඉල්ලන්නේ මේ ගමට ජල ව්‍යාපෘතියක් ලබා දෙන්න, ඉඩෝර කාලයේදී අපේ අවශ්‍යතා සඳහා. ඉඩෝර කාලයේදී මේ නළ ළිං හිඳෙනවා. එතකොට තමයි ජල ගැටලුව උග්‍ර වෙන්නේ. ගොඩ ළිං හිඳෙනවා. වැව් හිඳෙනවා. මේ පහසුකම අනිවාර්යයෙන්ම අපට අවශ්‍ය දෙයක්. ගොවිතැන් කිරීමට නම් වැසි වර්ෂාව හෝ ජල පහසුකම් මේ ප්‍රදේශයට තිබෙනවා නම් රජයෙන් කියලා කිසිම උපකාරයක් අපට අවශ්‍ය නැහැ. අපි මිරිස් වගා කරලා හරි ජීවත් වෙනවා. මේ ගම්වල පොළව හොඳයි. පොළවේ ඕනෑම දෙයක් වගා කළොත් හැදෙනවා. ඒකට වතුර ටික තමයි ඕනෑ. ඒ ටික අපට කොයි රජයකින් හෝ ලබා දෙනවා නම් මේ ගම් බබළවන්න අපට පුළුවන්.   
ඇතාවැටුණුවැව ගම්මානය සුන්දර ගම්මානයක් වුවත් එහි ජීවත් වන අයට එතරම් සුන්දරත්වයක් නම් නැත. යුද්ධයෙන් බට කෑ එම ජනතාව ආර්ථික අතින්ද දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති. විශේෂයෙන් ඔවුන්ගේ වගා කටයුතු සඳහා අවශ්‍ය ප්‍රමාණවත් ජල පහසුකම් නොලැබීම හේතුවෙනි.   

 

 


අැතාවැටුණුවැව ගම්මානයේ පදිංචි අජිත් කුමාර රොවුගු මහතා සිය අත්දැකීම් විස්තර කළේ මෙසේයි.   


මම මේ ගම්මානයට ආවේ වයස අවුරුදු 10දී. 1984 වසරේ අපේ දෙමාපියන්ට මෙහි ඉඩම් හම්බ වුණා. අපිට ප්‍රථමයෙන් ඉඩම් හම්බ වුණේ කෙන්ට් ෆාම්, ඩොලර් ෆාම් කියන ගම්මානයේ. එතකොට බන්ධනාගාර ගත වෙලා නිදහස ලබන්න සුළු කාලයක සිටින රැඳවියන්ටත් ඉඩම් දීලා එහි පදිංචි කෙරුවා. ඔය අතරේදී තමයි 1984 නොවැම්බර් 30 වැනිදා අලුයම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කළේ. අපේ ගේ තිබුණේ කැලෑව ආසන්නයේ. අපි කැලේට පැනලා මමයි මගේ සහෝදයන් දෙන්නයි අම්මයි ජීවිතය බේරා ගත්තා. ටික වෙලාවකින් අපි එළියට එන කොට තමයි දැක්කේ සිරකරුවන් පෝලිමට තියලා වෙඩි තියලා කියලා. පොඩි ළමුන් උල්වලින් ඇනලා උල්වල සිටවලා මරලා දාලා තිබුණේ. අපි ඊට පස්සේ නිකවැව කියන ගම්මානයට සවස 5 වෙද්දී ආවා. අපේ කකුල් තුවාල වෙලා කටු ඇනිලා ගස්වලට කැපිලා. ඒ ඇවිල්ලා අපි පරාක්‍රම පුර ඇළකිඹුලාගල පාසලේ කඳවුරු බැන්ඳේ. ඊට පස්සේ අපිට මොනරවැව කියන ගම්මානයේ ඉඩම් ලබා දුන්නා. ඒක විශාල මුකලාන කැලෑවක්. චේතිය ගිරිය පන්සලේ නායක හාමුදුරුවෝ තමයි අපිට මේ ඉඩම් පෙන්නලා පදිංචි වෙන්න ඉඩ කඩ සැලැස්සුවේ. අපි ඉතා කුඩා ළමයි. අපි ඒ ප්‍රදේශයට නායක හාමුදුරුවෝ සමග එන කොට මොනරෙක් එක වරම ඉගිලුනා. මොනරා ඉගිලිලා යන ඔස්සේ අපි ඉදිරියට ගියාම වැවක් හම්බ වුණා. වැව හම්බ වුණාට පස්සේ හාමුදුරුවෝ කිව්වා මේ ගමට මම මොනරවැව කියලා නම තබනවා කියලා. එදා ඉඳලා තමයි මොනරවැව කියලා ප්‍රසිද්ධ වුණේ. ඒ ගම්මානයේ අපි සෑහෙන කාලයක් ජීවත් වුණා. පස්සේ එල්.ටී.ටී.ඊ. එකෙන් දිගටම දිගමට ප්‍රහාර එල්ල වුණා. ඊට පස්සේ අපි මේ ඉඩම්වලට පදිංචියට ආවා. ඔය අතර තුරේ අපිට දිගින් දිගමට ආටි (කාලතුවක්කු) ප්‍රහාර එල්ල වුණා. අපි කැලයට දුවනවා. නැවත එනවා. අපේ ඉඩම්වලට නිතරම ආටි වැටුණා. අපි වැඩි හරියක් බංකර් තුළ තමයි ජීවත් වුණේ. පස්සේ යුද්ධය නතර වුණාට පස්සේ තමයි අපි දැන් මේ තත්ත්වයෙන් ඉන්නේ. යුද්ධ කාලයේ අපේ ගම්මානයේ සෑම කෙනෙක්ම ඉතාමත් දුක් වින්දා. අපේ ගෙදරට එහා ගෙදර දරුවට ආටි එකක් වැදිලා ඇස් අන්ධ වුණා. අපි සවස 5 වෙන කොට කෑම කාලා මේ අකුල් අස්සේ තමයි නිදා ගත්තේ. බොහෝම දුෂ්කර කාලයක් ගත කළේ. මොකද එල්.ටී.ටී.ඊ. සංවිධානය අපි දැක්කම බෙල්ල කපලා මරලා දානවා. අද සම්​බෝලයි බතුයි කාලා හරි සතුටින් ජීවිතය ගෙවනවා.   


ප්‍රශ්නය- දැන් තත්ත්වය කොහොමද?   


පිළිතුර - දැන් කියලා වෙනසක් නැහැ. දැනුත් විශාල අඩුපාඩුකම් මධ්‍යයේ තමයි කාලය ගත කරන්නේ. අපිට ජලය අඩුපාඩුකම විශාල ගැටලුවක්. මොකද මේ ගම්මානයේ ඉන්නේ බොහෝ දෙනෙක් ගොවීන්. ස්ථිර රැකියා නැති අය බොහෝ දෙනෙක් ඉන්නවා. ඔවුන් ඉතා දුෂ්කරතාවලට මුහුණ දීලා තමයි ජීවත් වෙන්නේ. වතුර ටික ලැබෙන්න ජල ව්‍යාපෘතියක් තිබෙනවා නම් වගා කටයුතුවල නිරත වෙලා ජීවන තත්ත්වය ගොඩ නගා ගන්න පුළුවන්. අපිට අද වෙන තුරු එවැනි දෙයක් තවමත් නැහැ.   


ප්‍රශ්නය - එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් මුහුණට මුහුණ හමුවෙලා තිබෙනවාද?   


පිළිතුර - අපෝ කිහිප වතාවක්ම හම්බ වෙලා තිබෙනවා. මම වැවට යන කොට මේ ප්‍රදේශයේ පදිංචි කළු අයියා කියලා කෙනෙක් වැවේ මාළු බාමින් සිටියේ. එල්.ටී.ටී.ඊ. එකෙන් එයාගේ ළමයව අරගෙන යන කොට ළමයා කෑ ගැහුවා. එයාව බේරගන්න තාත්ත යන කොට තාත්තාවත් අරගෙන ගියා කැලයට. අපි කැලයේ ගිහින් බලන කොට ළමයව උඩ දම දමා ගෙන යනවා. තවත් දවසක් අපි කැලේට යන කොට අපිට ගම ආරක්ෂා කරන්න ෂොට් ගන් කියලා තුවක්කුවක් දීලා තිබුණා. අපිට සද්දයක් ඇහිලා බලන කොට එල්.ටී.ටී.ඊ. එකේ අය කැලේ මැදින් යනවා. අපිට වෙඩි තියන්න බැහැ. මොකද උන් ගාව බර අවි තිබුණේ. අපි කැලයේ නිදිය ගෙන හැංගිලා සිටියා. අපි හමුදාවට කිව්වා මේ ගැන. පස්සේ අපිව අරගෙන ගියා කොටින්ට ඔත්තු දෙනවා කියලා. එදා තමයි කෝන්ගහවැව හමුදා මුර පොළට පහර දුන්නේ.   


සමහර වෙලාවට අපි කියන දේවල් හමුදාවේ නිලධාරීන් විශ්වාස කළේ නැහැ. එ්ගොල්ලෝ හිතුවේ අපි කොටින්ගේ ඔත්තුකාරයෝ කියලා. ඒ වගේ අපි දෙපැත්තෙන්ම බැට කෑවා. අවුරුදු 10 ඉඳලා අවුරුදු 35ක් විතර යනකම් අපි යුද්ධය නිසා දුක් වින්දා. අපි මේ ගමේ සෑම ගහක් යටම නිදාගෙන තිබෙනවා. අපි දැනටත් දුක් විඳින්නේ මේ වතුර වගේම ප්‍රවාහන පහසුකම් දේවල් නැති නිසා.   


දැනට ඇතාවැටුණුවැව ගම්මානය තුළ පවුල් 600ක් පමණ ජීවත් වෙති. එම පවුල්වල දූ දරුවන්ට අධ්‍යාපන කටයුතු සිදු කරන්නට ඇත්තේ ඇතාවැටුණුවැව විද්‍යාලය පමණි. ඒත් විද්‍යාලයේ අඩුපාඩු රැසක් මධ්‍යයේ අධ්‍යාපන කටයුතු පවත්වා ගෙන යයි. ගුරුවරුන්ගේ අඩු පාඩු රැසක් පවතින අතර දුෂ්කර නිසා ඔවුන් එම ගම්මානයේ පාසල් කරා යොමු වන්නේ නැත. පාසලේ ඩෙක්ස් බැංකු රැසක අඩුවක් තිබේ.   


අැතාවැටුණුවැවේ දැන් තිබෙන තත්ත්වය පිළිබඳව අප සමග කරුණු පැහැදිලි කළ එම්.බී.ඒ. නිශාන්ත මහතා.   


අපි යුද්ධයෙන් ගොඩාක් පීඩා විඳි අය. අපිට මහින්ද රාජපක්ෂ මහතා 2009 වසරේදී සාමය උදා කර දුන්නට පස්සේ ඒ යුද බිය දැන් නැහැ. ඒක අපිට විශාල සහනයක්. නමුත් යුද්ධයක් අවසන් වුණාම රටක් දියුණු වෙන්න ඕනෑ. ගමක් දියුණු වෙන්න ඕනෑ. නමුත් අපට තවමත් එවැනි දෙයක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපේ ගම පාලනය වෙන්නේ මුලතිව්වලින්. එතකොට සිංහල ගම්මාන මේ වැලි ඔය කලාපයට තිබෙන්නේ 13ක්. ඒ සියල්ලම සිංහල ගම්මාන. මුලතිව් හා වව්නියාව යන දිස්ත්‍රික්ක දෙකට මේ ගම්මාන බෙදිලා තිබෙන්නේ. එතකොට පරිපාලන කටයුතු සිදු වෙන්නේ පැති දෙකකින්. දැන් අපට කොයි පැත්තකින්වත් සහනයක් නැහැ. දැන් මේ ගම්මානවල සිටින සිංහල ජන කොටස අතරමං කරලා මැදකට දාලා හිර කරලා වගේ තමයි තිබෙන්නේ. ඒක අපිට විශාල ගැටලුවක්. අප මේ පිළිබඳව සෑම ආණ්ඩුවකටම සෑම රජයේ නිලධාරියකුටම පැහැදිලි කළා. අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මහවැලි කාර්යාලයට දිගින් දිගමට දැනුම් දෙනවා. නමුත් ඔවුන් සඳහන් කරන්නේ ප්‍රමාණවත් ප්‍රතිපාදන නැහැ කියලා. අපේ මේ ප්‍රදේශයේ ජනතාවට ජීවත් වෙන්නට ලැබෙන ප්‍රතිපාදන මදියි. දැන් පාසල ගත්තොත් පාසලේ කිසිම දියුණුවක් දකින්නට නැහැ. පාසල තුළ අඩුපාඩු බහුලයි. පළමු වැනි කාරණය ගුරුවරු හිඟ කම, දෙවැනි කාරණය ළමුන්ට ඉඳගන්න, ලියන්න ඩෙස්ක් පුටු නැහැ. වතුර ටික, වැසිකිළි පහසුකම් නැහැ. හදිසියේ වැසිකිළි යන්න පාසලේ වතුර නැහැ. පාසල අසල තිබෙන නළ ළිඳෙන් වතුර ගෙනල්ලා තමයි ඒ දරුවන් වැසිකිළි යන්නේ. මේ ඇතාවැටුණුවැවට තිබෙන්නේ ඇතාවැටුණුවැව විද්‍යාලය පමණයි. සමස්තයක් වශයෙන් ගතහොත් වැලි ඔය ජනපදයේ හැම පාසලක්ම පවත්වා ගෙන යන්නේ මේ ආකාරයට තමයි.   

 

පුරන් වූ කුඹුරු යායක්

 


ඉදිරියට දැන් එන්නේ වැසි කාලය. ඇත්තටම කියනව නම් වසර 4ක කාලයක් ප්‍රමාණවත් ගොවි තැන් කරගන්න ජල පහසුකමක් තිබුණේ නැහැ. දැන් මේ එන කන්නයේ වගා කටයුතු කරන්න වී ටිකක් මිලදී ගන්න මෙහෙ ඉන්න ගොවීන්ට වත්කමක් නැහැ. බොහෝ දෙනා කුලී වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ. එතකොට ඒ තත්ත්වයවත් මෙහේ ජනතාවට උදාවෙලා නැහැ. අන්න ඒ වගේ විශාල ගැටලු රැසක් තිබෙනවා.   


අද කුඹුරු තිබුණට බිත්තර වී ටික මිලදී ගන්න බැරි අසරණ මිනිස්සු ජීවත් වෙන්නේ මේ ගමේ. අපි ගොවිජන සේවා කාර්යාලයෙන් ඉල්ලීමක් කළා අපට සහන මිලකට හෝ බිත්තර වී ලබා දෙන්න කියලා. අපි වැලිඔය ජනපදයට එන කොට කුඩා ළමයි. අපි මේ ජනපදයේ මේ ගම්මානයේදීමයි හැදුණේ වැඩුණේ. නමුත් අපි වැලිඔය දාලා ගියේ නැහැ. අපි 1984 ඉඳලා මේ වෙනකම් ජීවත් වෙනවා. නමුත් හරියට තවමත් මේ ජනතාවගේ අඩුපාඩු විසඳලා නැහැ. මම එන සෑම රජයකටම කියන්නේ අපි ගැන අවධානය යොමු කරන්න. අපි ගැනත් සොයලා බලන්න කියලා.   


මේ වැලි ඔය ප්‍රදේශයට ප්‍රතිපාදන එන්නේ මුලතිව් දිස්ත්‍රික්කය හරහායි.   


එතකොට අපේ ප්‍රධාන ඇමතිලා ඉන්නේ ඒ පැත්තේ. එතකොට මේ පැත්තට ප්‍රතිපාදන එන කොට අඩුපාඩුකම් සිද්ධ වෙනවා. මෙම ප්‍රදේශය පාලනය වන්නේ උතුරු පළාත් සභාවෙන්. නමුත් උතුරු පළාත් සභාවෙන් මම දන්නා තරමින් මේ ප්‍රදේශයේ මොන යම් දෙයකට හෝ කිසිම ප්‍රතිපාදනයක් ලබා දීලා නැහැ. දැන් වව්නියාවේ ඉන්න මැති ඇමතිවරු කිහිප දෙනකු තමයි අපේ දුක සැප යම් තරමින් හෝ සොයා බලන්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පදවිප්‍රාප්ත වෙලා වසර කිහිපයකට පස්සේ තමයි වැලි ඔය මහවැලි කාර්යාලයට ආවේ. එදා නම් කිව්වා මාසයකට සැරයක් වැලි ඔයට එනවා කියලා නමුත් තවම ආවේ නැහැ.   


විශාල ගැටලු තිබෙනවා. දැන් වසර 4ක් ගොවිතැන් බත් නොකරන ගොවීන් සිටිනවා. අද කුලී වැඩක් නැහැ. රැකී රක්ෂා නොමැති 60 %ක පමණ ජනතාවක් සිටිනවා වැලි ඔය ජනපදය තුළ පමණක්. අපි ඉල්ලීමක් කළා අඩුම තරමේ අපට මාසයකට සලාකයක්වත් දෙන්න කියලා. නමුත් එවැනි කිසි දෙයක් මේ වන තුරුත් වෙලා නැහැ.

 

 


ලබන සතියට

 

  සටහන නිශාන්ත කුමාර බණ්ඩාර   
ඡායාරූප ඇලෙක්සැන්ඩර් බාලසූරිය   
(ඇතාවැටුණුවැව සංචාරයකින් පසු)