යුද්ධයෙන් පසුත් කඳුළු සලන බෝගස්වැව ජනතාව


 

වැලිඔය ජනපදයේ ත්‍රස්තවාදී ප්‍රහාරවලින් අතිශයින්ම බැට කෑ ගම්මාන කිහිපයක් පිළිබඳව අප පසුගිය සති කිහිපය පුරා ඔබ වෙත විස්තර කළෙමු. ඒ, කෙන්ට් ෆාම්, ඩොලර් ෆාම් සහ ඇතාවැටුණුවැව ගම්මාන පිළිබඳවයි. එවැනිම ත්‍රස්ත ප්‍රහාරවලින් බැට කෑ ගම්මාන කිහිපයක් පිළිබඳව හා එම ගම්වාසීන් මුහුණ දුන් අත්දැකීම් සහ අද වෙන විට ඔවුන් මුහුණ දෙන ජීවන අරගලය පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ, නන්දිමිත්‍ර ගම, සැළලිහිණි ගම, බෝගස් වැව පළමු පියවර, බෝගස් වැව දෙවැනි පියවර යන ගම්මාන පිළිබඳවයි.

 
බෝගස් වැව ගම්මානයේ පදිංචි සිරිල් අබේවික්‍රම මහතා එදා ගම්මානය පැවති ආකාරයත් අද පවතින තත්ත්වයත් පිළිබඳ විස්තර කළේ මේ ආකාරයටයි.   


‘‘මේ බෝගස් වැව කියන ගම්මානය ඒ දවස්වල කැලෑබද ප්‍රදේශයක්. නමුත් ඉතා සරුසාරයි. ගොවිතැන් බත් කරගෙන තමයි අපි ජීවත් වුණේ. අපි හුඟ දෙනෙක් හේන් ගොවිතැන් තමයි කළේ. 1985 යුද්ධය ඉතා දරුණු ලෙස පැවති අවදියේ අපි කඳවුරුවල තමයි ජීවත් වුණේ. මේ ප්‍රදේශයේ වැව පාර කියන ස්ථානයේ ඉස්සෙල්ලම අම්මටයි දුවටයි වෙඩි තිබ්බා. දුවට එතකොට අවුරුදු 6 යි වයස. ඊට පස්සේ තමයි මේ ගමේ අය ගම අත හැරලා යන්න ගියේ. අපි එතකම්ම ගමේ රැඳී සිටියා. දවල්ට ගෙදරට එනවා රාත්‍රී කාලයේ කැලයේ තමයි ඉන්නේ. වෙඩි තියන වෙලාවේ අපි ඇඳි වත පිටින් කැලයට ගියා. අපි කැලය මැදින්ම තමා කඳවුරුවලට ගියේ. ඉන් කොටසක් පදිංචි වුණා බුද්ධංගල විද්‍යාලයේ. සිංහපුර කියන ප්‍රදේශයේ වාඩි ගහගෙන තාවකාලිකව පදිංචි වුණා. තවත් අය නෙළුම්කුලම, මාමඩිය, කච්චකුඩි කියන ප්‍රදේශවල පදිංචියට ගියා. යුද්ධය අවසන් වුණාට පස්සේ 2010 ජුලි මාසයේ 27 වැනිදා තමයි නැවත අපි මේ ගමට ආවේ. අපට නැවත ගමට එන්න යුද හමුදාව උදව් කළා. නමුත් පාරක් නැහැ. හමුදාවේ එදා සිටිය බ්‍රිගේඩියර් නාපාගොඩ කියන මහත්තයා අපට කිව්වා බිම් බෝම්බ ඉවත් කරලා පාර සකස් කරලා දෙන්නම් නැවත ගමේ පදිංචි වෙන්න කියලා. දවස් 3 න් ගමට පදිංචියට එන්න හදලා දුන්නා.   


අපි ඇවිල්ලා ගස් යට තමයි පදිංචි වුණේ වාඩි ගහගෙන අපි මාස 3 ක් යනකම්. එතකොට සිටිය දිසාපති නෝනා දෙමළ ගම්මානවලට නිවාස සාදා ගන්න අවශ්‍ය උපකරණ ලබා දුන්නා. නමුත් සිංහල ගම්මානවලට උදව් කළේ නැහැ. බොන්න වතුර නැහැ. අපි මේ හරියේ තිබෙන රුවන් මඩුව කියන වැවෙන් බොර වතුර ගෙනල්ලා ඒවා ඉඟිනි ඇට ගෙනල්ලා උරච්චි කරලා තමයි බීමට වතුර සපයා ගත්තේ. එතකොට බෝගස් වැව කඩලා වැවේ වතුර සේරම පිටතට ගිහින්. අපි නාන්නෙත් ඒ වතුරමයි. බොන්නෙත් ඒ වතුරමයි. පස්සේ වව්නියාවේ තිබුණ උත්සවයකට පැමිණි ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට මේ බව අපි දැන්වුවා.   


එතුමා වහාම එවකට සිටි ආණ්ඩුකාරවරයාටත් දන්වලා එතුමන් මේ බෝගස් වැව කියන ගමට ආවා. එතන රැස්වීමක් තියලා අපිට තහඩුයි වියළි සලාකයි දෙන්න පොරොන්දු වුණා. මාස 3කට පස්සේ අපිට තහඩුයි අංග සම්පූර්ණ වියළි සලාකයකුයි දුන්නා. ඒ වියළි සලාකය මාස 9 ක් වෙන තුරු දුන්නා.   


ප්‍රශ්නය - ඊට පස්සේ මොකද වුණේ?   

 

 


පිළිතුර - නැවත පදිංචිය සඳහා පවුල් 190ක් ආවා. අර මුල් පවුල්වල අනු පවුල්. මොකද වසර 30කට පස්සෙනේ නැවත පදිංචියට ආවේ. එතකොට රජයේ නිලධාරීන් වගේම හමුදාවේ නිලධාරීන් කොළඹට කථා කරලා අපිට සෑම ආධාරයක්ම ලබා දුන්නා. එවකට මෙහි සිටි ප්‍රාදේශීය ලේකම්වරයා අක්කර 50 ක ප්‍රමාණයක් පොදු ගොවි පළක් වශයෙන් රජයේ ට්‍රැක්ටර් දාලා හාලා කරලා තිබුණා. බිත්තර වී ප්‍රමාණය ඒ ඒ පවුල්වලට බෙදලා දුන්නා. එහෙම තමා මේ ගමේ අය ජීවත් වුණේ. ගමේ සිට පැමිණි පවුල්වලට කුඹුරු හම්බ වුණා. ඒත් අලුත් පවුල්වලට හම්බ වුණේ නැහැ.   


ප්‍රශ්නය - දැනට පවුල් කොපමණ සංඛ්‍යාවක් මේ ​බෝගස් වැව කියන ගමේ පදිංචි වෙලා ඉන්නවාද?   


පිළිතුර - දැන් වෙනකොට 325 ක් සිටිනවා. ඊට ඉස්සෙල්ලා යුද්ධයට පෙර සිටියේ පවුල් 70 යි. අනු පවුල් එක්ක තමයි 190 ක් වුණේ. ඊට පස්සේ යුද්ධය අවසන් වුණාම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ අනුග්‍රහය මැදිහත්වීම මත පිටින් පවුල් ගෙනල්ලා මෙහි පදිංචි කළේ. ඊට ඉස්සෙල්ලා අපිට යන්න එන්න පාරක් තිබුණේ නැහැ. වැහි කාලයට යන්න එන්න බැහැ. දනිස් වටක් විතර මඩේ එරෙනවා. දැන් හොඳට පාරවල් එහෙම හදලා තිබෙනවා. ඒ අතරතුරේ ගමේ උදවියට ස්වයං රැකියා කරන්න ආධාර ලැබුණා.   


ප්‍රශ්නය - අද වෙන විට ගමේ තත්ත්වය කොයි වගේද?   


පිළිතුර - මේ දවස්වල වතුර නැති නිසා විශාල ගැටලුවකට අපි මුහුණ දීලා තිබෙන්නේ. ඉතින් සුළුවෙන් තමයි වගා කරන්නේ. ඒ අස්වැන්න අපි වව්නියාව පොළට ගිහින් තමයි අලෙවි කරන්නේ. අලුයම 3.30 ට බස් එකක් යනවා. අපි ඒකෙ තමයි වව්නියාව සති පොළට යන්නේ. ඉස්සර එහෙම නැහැ. එක බස් එකක් තමයි දවසටම ධාවනය වුණේ. ගමනාගමනයට දැන් පහසුයි. නිතරම බස් ධාවනය වෙනවා.   


ප්‍රශ්නය - ප්‍රදේශයේ අධ්‍යාපන කටයුතු කොහොමද? 

 
පිළිතුර - අධ්‍යාපන කටයුතු කරන්න මෙහෙ දරුවන්ට පාසලක් තිබුණේ නැහැ. අපි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළා. දිගින් දිගටම අපිට පාසලක් ලබාදෙන්න කියලා. නමුත් ලැබුණේ නැහැ. ඊට පස්සේ මගේ පුතයි, තවත් තරුණියකුයි ගුරුවරු හැටියට පත්කර ගෙන ගහක් යට තමයි දරුවන්ට අධ්‍යාපනය කළේ. ළමුන් 4 දෙනයි සිටියේ. ඊට පස්සේ ළමුන් 12 දෙනෙක් වුණා. ඊට පස්සේ සිංගප්පූරු හාමුදුරුනමක් වැඩම කරලා තාවකාලික ඉස්කෝලයක් හදලා දුන්නා.   


ඊට පස්සේ ළමුන් 20 ක් දක්වා වැඩි වුණා. නමුත් ඉඳගන්න පුටු බංකු නැහැ. මේ ප්‍රදේශයේ තිබෙන දෙමළ පාසලක තිබුණ කැඩිච්ච පුටු බංකු ගෙනල්ලා ඒවා සකස් කරලා තමයි ළමුන් පාවිච්චියට ගත්තේ. ඊට පස්සේ තමයි බෝගස් වැව විද්‍යාලය හදලා ළමුන් අධ්‍යාපනය ලබන්නේ. ළමුන් 4 දෙනෙකුගෙන් ආරම්භ කළ පාසලේ අද ළමුන් 650 ක් සිටිනවා. ගුරුවරු 22 දෙනෙකු සිටිනවා.


ප්‍රශ්නය - කොහොමද අද වෙන විට ගොවිතැන් බත් කරන්නේ.   


පිළිතුර - අපිට අද බලපාලා තිබෙන ප්‍රධාන ගැටලුව තමයි ගොවිතැන් කරන්න ජල පහසුකම් නැතිකම. දැන් අවුරුදු 5ක්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව හරහා ඇළ වේලි හදලා වතුර දුන්නා. දැන් මහවැලියට බාර ගත්තනේ මේ වැව් අමුණු ටික. නමුත් වාචිකව අරගත්තට ලිඛිතව අරගෙන නැහැ. මේ කට්ටිය මහවැලියෙන් කියලා අරගෙන කිසිම ප්‍රතිපාදනයක් මහවැලියෙන් අපට දීලා නැහැ. මහවැලියෙන් කරන්නේ මුදල් තිබෙන අයට ඉඩම දෙනවා. වෙන වරප්‍රසාදත් හම්බවෙනවා. බැරි මනුස්සයාට මුකුත්ම නැහැ. ගෙයක් හදාගන්න පෝරමයක් හදාගන්න ගියාම රුපියල් 15,000 ක් ලබා ගන්නවා සාමාන්‍ය මනුස්සයෙකුගෙන්. නැතිනම් ඒක අත්සන් කරන්නේ නැහැ. ඒ වගේ නිලධාරීන් කිහිප දෙනෙක් ඉන්නවා. අපි ගමේ පදිංචි කෙනෙක්. ග්‍ර්‍රාමසේවක මහතාගෙන් ඡන්ද හිමි නාම ලේඛන අරගෙන මෙහෙට එන්න ඕනෑ. නමුත් සල්ලිකාරයෙකු මෙහෙට ආවාම රුපියල් ලක්ෂයක් දෙකක් දුන්නොත් ඉඩම් දෙනවා. අපිට දෙන්නේ අක්කරයක් නම් ඒ සල්ලිකාරයන්ට අක්කර දෙකක් දෙනවා.   


ඒ වගේ මේ පා​රේ වැඩට ආව අයෙකුට මෙහෙ ඉඩම් දීලා තිබෙනවා. අක්කර දෙකක් පොල් සිටවන්න කියලා. ඒ මොන පදනම මත ද දන්නේ නැහැ. නමුත් ලක්ෂ දෙකක් අරන් තිබෙනවා කියලා අපට ආරංචියි. මහවැලියෙන් පෝරමයක් අත්සන් කළේ නැතිනම් නිවාස අධිකාරියෙන් ඒක අනුමත කරන්නේ නැහැ. අපට ත්‍රස්තවාදය හොඳයි. නමුත් මහවැලිය අපට ඊට වඩා ත්‍රස්තවාදයක් වෙලා දැන්. ගම සම්පූර්ණයෙන් විනාශ වෙලා යන්නේ මේ මහවැලිය නිසා. මේ ගම පෙන්වලා මහවැලියේ නිලධාරීන් නඩත්තු වෙන එකයි මෙතන දැන් සිද්ධ වෙන්නේ.   


 දැන් වසර 3 ක් තිස්සේ මේ වැවේ බන්ට් එක සුද්ධ කරන්න මුදල් අනුමත වෙලා නැහැ. නමුත් මේ ගොවි සංවිධානයේ සභාපති වෙලා මම වසර 10 ක් වෙනවා. නමුත් මම දන්න විදිහට මුදල් අනුමත වෙලා තිබෙනවා. අවුරුදු 3 ක් බන්ට් එක සුද්ධ කළේ නැහැ. අවුරුදු 3 ක් ඇළ වේලි සුද්ධ කරලා නැහැ. දැන් මේ ගමේ ඉන්නේ දුප්පත් මිනිස්සු. ඔවුන්ට වගාකර ගන්න ක්‍රමයක් නැහැ.   


ප්‍රශ්නය - මේ ගැන බලධාරීන්ට දැනුම්දීලා නැද්ද?   


පිළිතුර - කාට කිව්වත් වැඩක් නැහැ. හරියට බීරි අලින්ට වීණා වයනවා වගේ වැඩක් මේක. මහවැලි එල් කලාප​යේ කියලා නම් කළාට මහවැලියෙන් කිසිම ප්‍රතිපාදනයක් අපිට නම් ලබාදීලා නැහැ. බෝගස් වැවට විතරක් නොවෙයි. මේ අවට තිබෙන ගම්මාන 6ටම.   


කොටි ත්‍රස්තවාදීන්ගෙන් බැට කෑ බෝගස් වැව ජනතාවගේ ගැටලු විසඳීමට මැදිහත් නොවීම නිසා ගම්වාසීහු දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වෙන්නේ ක්‍රමවත් වාරි පද්ධතියක් සකස් කරදෙන ලෙසයි. 


බෝගස් වැවට ත්‍රස්ත ප්‍රහාරය එල්ල කෙරෙන විට එම සිද්ධියට මුහුණ දුන් බෝගස් වැව පදිංචි ලලිතා මහත්මිය සිය අත්දැකීම විස්තර කළේ මෙසේය.


‘‘අපිට වෙඩි සද්දේ ඇසුණා. ඒ සමගම මමයි මගේ දුවයි, මල්ලියි කැලයට දිව්වා. ටිකක් වෙලා යනකොට අපේ ගමේ කෙනෙක් දුවගෙන ඇවිල්ලා කිව්වා ඉක්මණට කැලේට යන්න. මගේ දුවයි නෝනවයි මැරුවා කියලා. අපි ඉක්මණට කැලයට දිව්වා. අපේ මහත්තයා හිටියෙත් නැහැ. එයා ටවුමට ගියා. බඩු මුට්ටු ගේන්න. අපි දවස් 3ක් කැලේට වෙලා සිටියා. රෑට අපේ මහත්තයා හොරෙන් ඇවිල්ලා මඤ්​​​ඤොක්කා ගලව ගෙන කැලයට ගිහිල්ලා තම්බගෙන කනවා. අපිට එළියට එන්න බයයි. කොටි කොහේ ඉන්නවද දන්නේ නැහැ. ඊට පස්සේ දවස් 3කට පස්සේ හමුදාව ආවා. ඒ නිලධාරීන් කිව්වේ ඔය ගොල්ලෝ කැලේ ජීවත් වෙන්න එපා ඔයාලාට ආරක්ෂාව දෙන්න අපේ නිලධාරීන් මදියි. එතකොට දරුණු ලෙස යුද්ධය පැවතුණා. කිලෝ මීටර් 9ක් පාරවල් නැහැ. අපි කැලේ මැදින් ගියා. අපිට ඉතුරු වුණේ ඇඳගෙන සිටිය ඇඳුම් පමණයි. පරාක්‍රමපුරට යනකොට සවස 6 විතර වුණා. අලුයම තමයි අපි පිටත් වුණේ. හරියටම 1985 අගෝස්තු 17දා. පරාක්‍රමපුර තිබෙනවා චේතියගිරිය කියලා රජමහ විහාරයක්. එහි නායක හාමුදුරුවන්ට ආරංචි වෙලා තිබෙනවා බෝගස් වැව මිනිස්සුන්ට කරදරයක් වෙලා කියලා. අපි පන්සලට යනකොට අපට අවශ්‍ය සියලු පහසුකමක්ම ඒ හාමුදුරුවෝ පිළියෙල කරලා තිබුණා. අපි යනකොට මැරිච්ච අයගේ මළ කඳන් අරගෙන හමුදාවේ කට්ටිය පිටුපසින් ආවා. අපේ ඥාතියෙක් මරලා දවස් 12කට පස්සේ තමයි මිනිය හම්බවුණේ. එතකොට ඇටකටු ටික විතරයි තිබුණේ. ඒ ගියාට පස්සේ නැවත ගමට ආවේ යුද්ධය අවසන් වුණාට පස්සේ. එතකොට අපි නැවත ගමට එනකොට අපේ ගෙවල් සියල්ලම ගිනි තියලා විනාශ කරලා’’.   


අපිට කිසි අඩුපාඩුවක් තිබුණේ නැහැ. අපි වී, කුරක්කන්, ධාන්‍ය වර්ග වසරකට සෑහෙන්න ලෑස්ති කරලා තිබුණේ. අපි මිරිස් තුනපහ ටික තමයි කඩෙන් ගන්නේ. අපිට කාගෙන්වත් ඉල්ලන්න හෝ කුලී වැඩක් කර ගන්න ඕනෑ නැහැ. අපි ඒ දේවල් සියල්ලම සකසා දෙන්නේ. සමහර වී තොග මාස ගණනක් ගිනිගෙන තිබෙනවා. අපි ඉතින් සියල්ලම විනාශයි කියලා හිත හදාගෙන අවුරුදු 25ක්ම කඳවුරුවල සිටියා.   


ප්‍රශ්නය - එතරම් කාලයක් කොහේද සිටියේ?   


පිළිතුර - එක තැනක් කියලා නැහැ. ඉස්සෙල්ලාම අපි පරාක්‍රමපුර පාසලක සිටියා. එතන පාසල පවත්වාගෙන යන්න ඕනෑ කියලා අපිව සිංහපුරට ගෙනගියා. සිංහපුර තෙන්නමරන් වාඩියට මෙහායින් ආපහු අපිව පදිංචි කරා. එතන කිසිම පහසුකමක් නැහැ. එතන දවල් කාලයේ වත් ඉන්න බැහැ. අපි ළමයිවත් අරගෙන දවල් කාලයෙත් කැලේ මයි සිටියේ.   
එතනට ප්‍රසිද්ධියේම කොටි ත්‍රස්තවාදීන් එනවා. එතනදිත් අපේ කිහිපදෙනෙක් මැරුණා. සමහරුන්ට වෙඩි තිබ්බා. සමහරු අරන් ගියා. අදටත් ඔවුන්ට වෙච්ච දෙයක් නැහැ. අපි අපේ උවමනාවට නැවත ආවා පරාක්‍රමපුරට. පදවියේ සිටියා ගාමිණී චන්ද්‍රසේන කියලා දිසාපති කෙනෙක්. ඒ මහත්තයා අපිව අඳුනනවා. අපේ තාත්තගේ නම් ගම් කියන කොට අපි විඳින දුක බලලා අපට පිහිටවුණා. අපිත් එක්ක පරාක්‍රමපුර සිටිය සෑම පවුලකටම අක්කර බාගය ගානේ දුන්නා. එතන වගා කරන්න බැහැ. තනිකර කළු ගලක්. ඒත් අපිට ලබා දුන්නනෙ. එතන පොඩි පොඩි ගෙවල් හදාගෙන ජීවත් වුණා. යුද්ධය අවසන්වෙලා සාමය උදා කරන තුරු ඒ පැල්පත්වල තමයි සිටියේ. කුලියක් කරගෙන තමයි ජීවත් වුණේ.   


ප්‍රශ්නය - ඊට පස්සේ මොකද වුණේ?   


පිළිතුර - අපි 2010 වසරේ තමයි නැවත මේ ගමට ආවේ. දැන් ඉතින් අපිට කියලා නි​ෙවස තිබෙනවා. පහසුකම් තිබෙනවා. අපිට කුඹුරක් ලබා දුන්නා. අපි පරණ අය නිසයි ඒ කුඹුරු ලබා දුන්නේ. අලුතින් පදිංචි අයට නැහැ.   


ප්‍රශ්නය - දැනුත් ඉස්සර වගේ වසරකට සෑහෙන කෑම බීම රැස් කරලා තිබෙනවාද?   


පිළිතුර - දැන් එහෙම කරන්න බැහැ. මොකද විශාල ප්‍රශ්නයක් තිබෙන්නේ වතුර නැතිකම. අපිට හේන් තිබුණනේ. අපි ඒ හේන්වල වගා කරලා තමයි ඵලදාව රැස් කළේ. නමුත් දැන් වතුර නැතිකම තමයි ප්‍රධාන ප්‍රශ්නය. අපි ඒ දවස්වල පොල් තෙලුයි, ලුණුයි, තුනපහ ටික තමයි කඩෙන් ගත්තේ. අනිත් සෑම දෙයක්ම අපිමයි සපයා ගත්තේ. ගොවිතැන් කරන්න වතුර නැහැ. දැන් බොන්නවත් වතුර නැහැ. මමත් රෝගී තත්ත්වයෙන් තමයි ඉන්නේ. මගේ මහත්තයා වයසයි. එයාටත් වගා කටයුතු කරගන්න බැහැ. ඒත් අපිට වතුර ටික කොහොම හරි ලබලා දෙනවා නම් අපි පුළුවන් විදිහට වගා කරලා ජීවත් වෙනවා. ළිං තිබෙනවා.   


නමුත් වතුර නැහැ. වැව තිබෙනවා. නමුත් ඇළ වේලි සකස් කරලා නැති නිසා කුඹුරුවලට ජලය එන්නේ නැහැ. කුඹුරු තිබුණට අපි වගා කරන්නේ අහස් වැස්සෙන්. කුඹුරුවලට වතුර ගන්න සෑහෙන දුකක් විඳින්නේ. අපි ඉල්ලන්නේ මේ ඇළ වේලි හදලා කුඹුරුවලට වතුර එන වැඩපිළිවෙළක් හදලා දෙන්න කියලා.   

 

 


යුද්ධය නිම වී වසර 9 ක් ගත වී ඇතත් එම ජනතාවගේ ගැටලු මෙතෙක් විසඳී නැත. ප්‍රදේශයේ මහ මාර්ග සකස් කර ඇතත් සිය ජීවනෝපාය කරගෙන යාම සඳහා වගා කටයුතුවලට අවශ්‍ය ජලය ලබාදීම ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම අතර වෙයි.   


බෝගස් වැව ගම්මානයේ පදිංචි මොහාන් ජයරත්න මහතා සඳහන් කළේ තමන්ගේ කුඹුරු විනාශ වී යාම නිසා දැන් කිසිදු ගොවිතැන් බතක් කර ගැනීමට ​නොහැකි වී ඇති බවයි. මේ නිසා දැන් ජීවත්වීමේ ගැටලු රැසක් ඇතැයි ඔහු සඳහන් කළේය.


යුද්ධයේ අමිහිරි අත්දැකීම් සහ දැන් බලපා ඇති ගැටලු විස්තර කළ මොහාන් ජයරත්න මහතා:-   


‘‘අපි මේ කුඹුරු යාය මී හරක් ලවා මඩ කරලා තමයි කුඹුරු වගා කළේ. අපි කුඹුරු වපුරලා රෑ පැල්වල කට්ටියත් එක්ක ඉන්නකොට එල්.ටී.ටී.ඊ. එකෙන් ආවා. ඇවිල්ලා අපෙන් ඇහුවා ගමේ තුවක්කු කීයක් තිබෙනවාද කියලා. මගේ ළඟත් තුවක්කුවක් තිබුණා. ඒත් මම ඒක හංගලා තිබුණේ. ඔවුන් ටෝච් ගහගෙන එනකොට තුවක්කුව හැංගුවා මෙතන තුවක්කු එකක් වත් නැහැ කියලා අපිට ගමට යන් කියලා අපිව ගමට එක්කන් ගියා. ඒ වෙලේ මම කකුලේ උලක් ඇණිලා තියෙන්නේ මට යන්න බැහැ කිව්වා. මම එහෙම කිව්වේ මගේ තුවක්කුව හංගලා තිබුණ නිසා. තවත් කෙනෙක්ගේ කකුලේ තුවාලයක් තිබුණ නිසා අපි දෙන්නට ඔතනම ඉන්න කිව්වා. අනිත් කට්ටිය එක්ක ගමට ගියා.   


අපේ තාත්තගේ කඩයක් තිබුණා. ඒ කඩේ සේරම බඩු අරගෙන ඒ ආපු කට්ටිය. පස්සේ ගමේ සෑම ගෙදරකටම ගිහින් තුවක්කු අරගෙන ආපසු එනකොට අපි දෙන්න පැළ ළඟ සිටියේ නැහැ. අපි පැනලා දිව්වා. අපේ ගමේ අය තමයි තුවක්කු තිබෙන ගෙවල් පෙන්වූයේ’’.   


ප්‍රශ්නය - ඊට පස්සේ නැවතත් ප්‍රහාරයක් එල්ල වුණා නේද?   


පිළිතුර - මේ ප්‍රදේශයේ තිබෙනවා ‘මීමාකැපූගල’ කියලා තැනක්. අන්න එතන තමයි ගමේ හැමෝම හැංගිලා ඉන්නේ. දවල්ට හොරෙන් ඇවිත් වත්ත පිටිය බලලා යනවා. එක දවසක් ත්‍රස්තවාදීන් ආවේ උදේ වරුවේ. ඒ වෙලාවෙ තමයි නැවත ප්‍රහාරයක් එල්ල කළේ. අපිට වෙඩි සද්දේ ඇසුණා. අපි ටිකක් වෙලා ගිහින් බලන්න ආවා. අපි එනකොට කුඩා ළමයකුට බයිනෙත්තුවෙන් ඔළුවට ගහලා මොළය එළියට පැනලා තිබ්බේ. එ්ක කනවා ගෙදර බල්ලෝ ටික. අපි ඒ මළ කඳ වහලා දැම්මා. ඊට පස්සේ පොලිසියෙන් ඇවිල්ලා අපිව අරන් යන්න හැදුවා. අපි බොහොම අමාරුවෙන් බේරුණේ ගමේ කට්ටිය මැදිහත් වෙලා වව්නියාවෙන් ආවේ. ඒත් පසුවදා අපි මළ කඳ වැසුවා කියලා තමයි අපිව අරගෙන යන්න හැදුවේ. අපි තමයි ගමේ අය ගොඩක් රැක ගත්තේ. තුවක්කු අපට දීලා තිබුණා ගම ආරක්ෂා කරන්න.   


ප්‍රශ්නය - දැන් මොන වගේ තත්ත්වයක් ද ගමේ තිබෙන්නේ.   


පිළිතුර - දැන් නම් අපට සාමය උදාවෙලා තිබෙනවා. නමුත් අපිට සම්බෝලයි බතුයි හරි කාලා ඉන්න පුළුවන්. අපිට වගා කරන්න ප්‍රමාණවත් ජලය නැහැ. අපි ඉල්ලන්නේ කවුරු හරි මැදිහත්වෙලා මේ වැව සකස් කරලා වැව් අමුණු ටික සකස් කරලා දෙනවා නම් ඒක ලොකු පිනක්. මොකද අපි අවුරුදු 30 ක්ම ජීවිතයයි මරණයයි අතර සටනක් දුන්නේ. අපි මරණය පෙනි පෙනී තමයි සිටියේ. නමුත් දැන් අපිට ඒ බය නැහැ. නමුත් අපට අපේ අවශ්‍යතා ටික ලබා දෙනවා නම් ඒක තමා යුතුකම. අපි ලොකු ලොකු දේවල් ඉල්ලන්නේ නැහැ. අපිට අවශ්‍ය ජලය විතරයි. අපි වගා කරගෙන කන්නම්, මොකද මේ ප්‍රදේශයේ කුලී වැඩ නැහැ. එහෙනම් වෙනත් දුර පළාතකට යන්න ඕනෑ. එහෙම උණොත් මේ ගම් පාළුවට යනවා.   
යුද්ධයේදී මෙන්ම දැනට පීඩා විඳින සැළලිහිණි ගම පිළිබඳ ලබන සතියේ කථා කරමු.

 

 

 

සටහන - නිශාන්ත කුමාර බණ්ඩාර   
ඡායාරූප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය
(බෝගස්වැව සංචාරයකින් පසු)