යුද සමයේ කොටි අඩවියට ගිය ගමනක සටහනක්


 

දෙමළ ඊළාම් රාජ්‍යය 1990 - 2009


ප්‍රභාකරන්ගේ ඝාතන මූලෝපාය පිළිබඳ විශ්ලේෂණයක යෙදුණු බ්‍රිතාන්‍ය ආරක්ෂක සහයක නිලධරයකු වූ ලුතිනන් කර්නල් ගාෂ් සිව් වැනි ඊළාම් යුද්ධයේ අවසන් අදියරය පිළිබඳව හා 1990 සිට 2009 දක්වා වූ කාලයේ පැවැති දෙමළ ඊළාම් රාජ්‍යයේ ස්වභාවය පිළිබඳව විමර්ශනාත්මක ලිපියක් පළ කළේය. මෙම ලිපිය එහි අන්තර්ගත නොවූ නව දත්ත මත සම්පාදනය වූවකි. 


දෙමළ ඊළාම් රාජ්‍යයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව විශාල වශයෙන් වර්ධනය වූයේ 1990 වසරේ මුල් භාගයේ සිටය. ඉන්දියානු සාම සාධක හමුදාව මෙරටින් බැහැර වීමත් සමඟ යාපනය අර්ධද්වීපයෙන් වැඩි භූමිභාගයක් එල්.ටී.ටී.ඊ.යේ පාලනයට නතු විය. 1990 මැද භාගය වන විට කොටි ත්‍රස්තවාදීහු ප්‍රේමදාස රජයේ පාලනයට නතුව තිබූ නැගෙනහිර පළාතේ බොහෝ ප්‍රදේශද තම පාලනයට නතු කර ගත්හ. පොලිස් ස්ථාන රැසකට ප්‍රහාර එල්ල කළ ඔවුහු තමනට යටත් වූ පොලිස් නිලධාරීන් 600 දෙනෙකු ඝාතනය කළහ. 


මෙම තත්ත්වය යම් පමණකට අවම වූයේ 1995 අග භාගයේදී ශ්‍රී ලංකා යුද හමුදාව පලාලියේ සිට ප්‍රහාර එල්ල කොට යාපනය අර්ධද්වීපයේ පාලනය තමන් වෙත නතු කර ගැනීමෙන් අනතුරුවය. 1996දී කොටි ත්‍රස්තවාදීහු යළි මුලතිව් හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කොට කිලිනොච්චි නගරයේ පාලනය තමන් සතු කර ගන්නා ලද අතර 1999 -2000 කාලයේ අලිමංකඩ හමුදා කඳවුරද අත්පත් කර ගැනීමට සමත් වූහ. 


එල්.ටී.ටී.ඊ.යේ සහ ඔවුන්ගේ විදේශගත ආධාරකරුවන්ගේ අවශ්‍යතාව වූයේ විශාල භූමිභාගයක් ඊළාම් දේශයට අත්පත් කර ගැනීමය. තම සාම්ප්‍රදායික නිජබිම් වශයෙන් හඳුන්වමින් ඊළාම් දේශයේ සිතියම් නිර්මාණය කිරීමටද ඔවුහු පියවර ගත්හ. 1949 සිට ෆෙඩරල් පක්ෂය පුත්තලම හා හලාවත යන ප්‍රදේශද තම සාම්ප්‍රදායික නිජබිම්වලට අයත් යැයි කියා සිටිති. 


එල්.ටී.ටී.ඊ.යේ උත්තරීතර නායකයා වූ වේලුපිල්ලෙයි ප්‍රභාකරන් 1990 සිට උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි ස්වාධීන පාලනයක් ස්ථාපනය කළේය. සියලු කලාපීය මධ්‍යස්ථානයන්හි පාලන බලය පැවරුණේ ඔහුගේ හමුදා අණදෙන නිලධාරීන් හටය. සිවිල් පරිපාලනය පැවැති සමයේ රාජ්‍ය නිලධාරීන් වශයෙන් සේවය කළ දෙමළ වැසියන්ගේ තනතුරු අතීතයට සීමා විය. එල්.ටී.ටී.ඊ.ය ක්‍රමයෙන් ඔවුන් එම තනතුරුවලින් ඉවත් කොට ඒ සඳහා තම නියෝජිතයන් අදේශ කිරීමට පියවර ගත්හ. මෙම ක්‍රියාවලිය අධිකරණ පද්ධතියද ගිල ගත්තේය. එල්.ටී.ටී.ඊ. අධිකරණ නිර්මාණය වූ අතර නීතියේ ආධිපත්‍යයද එල්.ටී.ටී.ඊ.ය යටතට පත් විය. 

 


1996ත් 2001ත් අතර කාලයේ එල්.ටී.ටී.ඊ. හමුදා ලද සාර්ථකත්වය මතින් එල්.ටී.ටී.ඊ.යේ ඒකාබද්ධ රාජ්‍ය අධිකාරයද වර්ධනය විය. නෝර්වේ රාජ්‍යයේ ප්‍රාමාණික සහයෝගය මත විශේෂයෙන් එරික් සෝල්හයිම්ගේ සහයෝගය මත එය ජාත්‍යන්තර තලයටද පත් විය. චන්ද්‍රිකා කුමාරතුංග රජය එල්.ටී.ටී.ඊ.ය සමඟ 2002 අප්‍රේල් මාසයේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් සටන් විරාමයකට එළැඹියේය. 2002 අප්‍රේල් 10 දින කිලිනොච්චියේ පැවැති ප්‍රභාකරන්ගේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව ලෝක අවධානය දිනා ගැනීමට සමත් වූ අතර එම මාධ්‍ය සාකච්ඡාවට නායක ප්‍රභාකරන්, ඔහුගේ විදේශ ඇමැති බඳු ඇන්ටන් බාලසිංහම් හා දේශපාලන නායක තමිල් සෙල්වම්ද සහභාගී වූහ. එම අවස්ථාව ආවරණය කිරීම සඳහා ලොව නන් දෙසින් මාධ්‍යකරුවෝ පැමිණියහ. 


එල්.ටී.ටී.ඊ. පාලනය යටතේ ඉතා කාර්යක්ෂම ඒකාධිපති ඊළාම් රාජ්‍යයක් ගොඩනැඟුණු අතර එහි පාලනය එම රාජ්‍යයේ වැසියන්ගේ ගෞරවයට පාත්‍ර වූ ඒකාධිපතියකු යටතේ පැවතියේය. එහි ප්‍රචාරණ ක්‍රියාවලිය නව්‍යතාවකින් යුතු විය. එහි ක්‍රියාකාරිත්වය මධ්‍යගත වූයේ මහාවීරයන් නොහොත් සටනේදී මියගිය වුන්ට ප්‍රණාම දැක්වීමේ ක්‍රියාවලිය සමඟිනි. සෑම වසරකම නොවැම්බර් මස 27 දින එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සමාදානයේ සැතපෙන ස්ථාන (සොහොන් බිම්) 21කදී ඔවුනට ගෞරව දැක්වීම සිදුවූ අතර එම සොහොන් බිම් පූජනීයත්වයේ ලා සලකනු ලැබිණි. මෙම ක්‍රියාකාරකම් සති කිහිපයක් පුරා පැවැත්වුණු අතර ඊට අනුරූපී සංගීත රාවය දසත පැතිර ගියේය. 


1995දී මහාවීරයන් උදෙසා කාර්යාලයක් විවෘත කෙරිණි. එහි ප්‍රධානියා වූයේ පළපුරුදු නිලධාරියෙකි. 2004 වසරේදී මට ඔහු හමුවී තිබිණි. යාපනය අර්ධද්වීපයේ මෙන්ම මඩකළපුව වැනි ප්‍රදේශවල අධ්‍යාපනය සම්බන්ධයෙන් දිගුකාලීන ඉතිහාසයක් පැවැති අතර පරම්පරා ගණනක් මුළුල්ලේ රජයේ සේවකයන් විසින් මෙම වැඩසටහන් ක්‍රියාවට නැංවූහ එල්.ටී.ටී.ඊ.යද එම ක්‍රියාවලිය පවත්වාගෙන යෑමට පියවර ගත්තේය. 
දෙමළ ඊළාම් රාජ්‍යය නවෝත්පාදක රාජ්‍යයක් විය. 1990 මුල් භාගයේ ඔවුහු යාපන නගරයේ භූගත රෝහල් ඉදිකිරීමට ක්‍රියා කළහ. මුලතිව්හි ඉදි කෙරුණු භූගත සංකීර්ණය සිත් ඇදගන්නාසුලු විය. ඔවුන් විසින් නිෂ්පාදනය කරන ලද නොගැඹුරු ජලයේ පහර දිය හැකි බෝට්ටු මුහුදු කොටින්හට මහත් ශක්තියක් විය. ඝාතන ක්‍රියාවලිය සඳහා මරාගෙන මැරෙන කළු කොටි හමුදාවක් ඔවුනට සිටියහ. 1996 ජනවාරි 31 වැනි දින කොළඹ මහ බැංකුවට හා 2001 ජුලි මාසයේ 24 දින කටුනායක ගුවන් තොටුපළට ප්‍රහාර එල්ල කරන ලද්දේ මොවුන් විසිනි. 


මගේ කිලිනොච්චි ජනවාර්ගික අත්දැකීම් 


උදයම් කාර්යාලයේ හා මගේ දෙමළ මිතුරන්ගේ උපදෙස් මත 2004 නොවැම්බර් 26 දින මම යාපනයේ සිට කිලිනොච්චිය දක්වා ගමන් කළෙමි. ශ්‍රී ලංකා රජයේ හා එල්.ටී.ටී.ඊ.යේ මාර්ග බාධක පසුකරමින් ගිය මට හැඟුණේ ලොව සෑම තැනකම පවතින මෙවැනි කටයුතු සමාන බවය. කිලිනොච්චියට ගිය අපට ප්‍රථමයෙන් සහභාගී වීමට සිදු වූයේ මාධ්‍ය මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවයකටය. එහි ප්‍රධාන දේශකයා වූයේ තමිල් චෙල්වම්ය. නොවැම්බර් 27 දින පැවැති මහාවීර සැමරුම් දිනයටද සහභාගී වීමට අපට හැකි විය. දකුණු තුයිලුමිලම් ප්‍රදේශයේ කනගපුරම් නගරයේ පැවැති මෙම සැමරුමට සහභාගී වීම සඳහා 150,000ක පමණ පිරිසක් පැමිණ සිටියහ. මෙම උත්සව දෙකම ඉතා ආදර්ශවත් ලෙස සංවිධානය කර තිබිණි. ජනතාවට පීඩාවක් නොවන පරිදි ඒවා සංවිධානය කර තිබූ අතර සහභාගී වූවන්ගේ පහසුව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර තිබිණි. ආපන ශාලා විවෘත කර තිබූ අතර ප්‍රවාහන සේවාද මනාව ක්‍රියාත්මක විය. මෙහිදී මා දුටු විශේෂ සිදුවීමක් වූයේ පාපැදිවලින් හා ට්‍රැක්ටරවලින් එහි පැමිණියවුන් එම ප්‍රදේශයේ වැසියන්ට තිළිණ කිරීම සඳහා පොල්පැළ දෙක බැගින් ගෙන ඒමය. 


එදින භෝජනය ගන්නා අතර අපට හමු වූ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු සමඟ මම සුහද සාකච්ඡාවක නිරත වීමි. ඔවුන්ගෙන් එක් අයකු වූයේ තිරු මාස්ටර්ය. ඒ වන විට ඔහු එල්.ටී.ටී.ඊ.යේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වූ අතර මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයේ එක් දේශකයකුද විය. ඔහුගේ නිවෙසේ පැවැති එම හමුවේදී ශ්‍රී ලංකා රජයේ ක්‍රියාකාරකම් පිළිබඳ බොහෝ විවේචන අසන්නට ලැබිණි. යළි යුද්ධය ආරම්භ වන තෙක් මෙම නිලධාරීන් දෙදෙනා මහත් නොඉවසිල්ලකින් බලා සිටියහ. එල්.ටී.ටී.ඊ. පාලනය යටතේ ඇති ප්‍රදේශවල ජීවත් වන ජනයා ශ්‍රී ලංකා රජයට ප්‍රතිපක්ෂ වන අතර එල්.ටී.ටී.ඊ.යට සහය පළ කරන බැව් මුරලිදර් රෙඩ්ඩි සහ සීලන් කදිර්ගාමර් මට පැවසූහ. මෙවැනි සිදුවීම් තුළින් එහි පැවැති වාතාවරණය හඳුනා ගැනීමට මට හැකි විය. 


එල්.ටී.ටී.ඊ. සංවිධානය සාමාන්‍ය සිවිල් වැසියන්ට අවි පුහුණුව ලබා දීමට පියවර ගත් බැව් මෙහිදී අප අමතක නොකළ යුතුය. ඉන් ගම්‍ය වනුයේ ඔවුන් යුද්ධයට මනාව සූදානම් වූ බවය. මා නතර වී සිටි ආගන්තුක නිවාසයේ කළමනාකරු වූයේ ඉන්දියානු දෙමළ වැසියෙකි. නුවර පදිංචිකරුවකු වූ ඔහු තම පවුල සමඟ 1970දී පමණ කාලයේ වන්නියේ පදිංචියට පැමිණ තිබිණි. ඔහුගේ පුත්‍රයා එල්.ටී.ටී.ඊ.යට බඳවා ගැනුණු අතර ඔහු සටන්කාමියකු ලෙස මරණයට පත් විය. ඔහු වෙනුවෙන් තැනූ කුඩා සිද්ධස්ථානයක් ආගන්තුක නිවාසයේ දැකිය හැකිය. 50 හැවිරිදි කළමනාකාරවරයා මා සමඟ පැවසුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය ඔවුන්ගේ හමුදාවට බැඳන්නට තමාට ආරාධනා කළහොත් තමාද සතුටින් එයට එක්වන බවය. 


ස්වෛරීත්වයේ සලකුණ 


2006 මැද භාගයේ එල්.ටී.ටී.ඊ. නායකත්වය සිව් වැනි ඊළාම් යුද්ධය දියත් කරන ලද්දේ එතුළින් වෙනම රාජ්‍යයක් පිළිබඳ ලෝක අවධානය දිනාගැනීමටද යන්න පිළිබඳව සියුම් සැකයක් පවතී. පවත්නා රාජ්‍යත්වයේ බලාධිකාරිය පිළිබඳව ඔවුන් සතු වූයේ අල්ප වැටහීමකි. චන්ද්‍රිකා කුමාරතුංග රජය සමයේ විදුලිය ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ වේලාව පැයකින් වෙනස් කිරීමට පියවර ගැනුණු අතර එල්.ටී.ටී.ඊය එයට විරෝධය පාමින් වේලාව වෙනස් කිරීමෙන් වැළකී සිටි අයුරු මගේ මතකයට නැඟේ. මෙම සරල සංඥාව ඔවුන්ගේ අවම වැටහීම පිළිබඳ අදහසක් ලබා දෙයි. ඊළාම් රාජ්‍යයේ භාවිත වූයේ ශ්‍රී ලංකා රුපියලය. මා කිලිනොච්චියෙන් ලබා ගත් ආහාරපාන, පොත්පත් හා සීඩී ආදිය සඳහා ගෙවූයේ ශ්‍රී ලංකා රජයේ මුදලිනි. 


රුපියල භාවිතය වෙනස් නොවූයේ ඊළාම් දේශයේ වැසියන්ගෙන් වැඩි පිරිසක් විශ්‍රාමිකයන් හෝ රජයේ දෙපාර්තමේන්තුවල සේවකයන් හෝ වූ බැවිනි. ඔවුන්ගේ වැටුප් හෝ විශ්‍රාම වැටුප හෝ ගෙවන ලද්දේ ශ්‍රී ලංකා රජයේ භාවිත මුදලිනි. රජයෙන් වැටුප් ලැබුවද ඊළාම් රාජ්‍යයේ සිටි රාජ්‍ය සේවකයාට නියෝග ලැබුණේ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙනි. එල්.ටී.ටී.ඊ. ආර්ථිකය ගොඩනැඟුණේ ශ්‍රී ලංකා රජයෙන් ගලා ආ මුදලිනි. 
එල්.ටී.ටී.ඊ. පාලනය යටතේ පැවැති ප්‍රදේශවලට ආහාරපාන හා ඖෂධ සැපයුණේ ශ්‍රී ලංකා රජයෙනි. ඒවා බෙදාහැරුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හා වෙනත් මානවවාදී රාජ්‍ය සංවිධාන මගිනි. කොළඹ රජය මෙවැනි ක්‍රියා මගින් තමන්ගේ ස්වෛරී අයිතිය රැකගැනීමට සමත් විය. මෙම සැපයුම් අත්‍යවශ්‍ය වූ හෙයින් ඒවා තම ප්‍රදේශයට ගලා ඒම පිළිබඳව එල්.ටී.ටී.ඊයේ විරෝධයක් නොවීය. ආහාර හා ඖෂධ ශ්‍රී ලංකා රජයෙන් ලබාගැනීමත්, ශ්‍රී ලංකා රජයේ භාවිත වූ රුපියල මත යැපීමට සිදුවීමත් මත එල්.ටී.ටී.ඊ.යේ වෙනම රාජ්‍යයක් පිළිබඳ සංකල්පයට බාධා පැමිණිනි. මෙය 2006දී නායක ප්‍රභාකරන්ගේ මූලික අවධානයට යොමු නොවූ කරුණකි. 


අතීත සාර්ථකත්වය මත ප්‍රභාකරන් හා ඔහුගේ අනෙකුත් නායකයන්ගේ මතය වූයේ යුද්ධය තුළින් වෙනම රාජ්‍යයක් නිර්මාණය ගත හැකි බවටය. 2004 නොවැම්බර් මාසයේ කිලිනොච්චියේදී මට හමු වූ කොටි සංවිධානයේ ප්‍රචාරණ කටයුතු පිළිබඳ ප්‍රධානී රමේෂ් එම වසරේ දෙසැම්බරයේ මුලතිව් ප්‍රදේශයට පැමිණීමට සූදානමින් සිටියේ මෙම අරමුණ ක්‍රියාවට නැංවීමේ අරමුණිනි. එම වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ඔහුගේ ගමන ප්‍රමාද විය. එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි සංවිධානය වී මාවිල් ආරුවේදී සිව් වැනි ඊළාම් යුද්ධය ආරම්භ කරන ලද්දේ 2006 අගෝස්තුවේදීය.

 

 

 

පරිවර්තනය 
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා