යටිපතුල් ගෙවෙන තුරු ඇවිද රාජකාරි කළ වින්නඹු මාතාවක්


මුල්ම පඩිය රුපියල්  හැත්තෑ දෙකයි

පවුලේ හිතවතුන් සමඟ  

 

 

හිසේ කෙස් ගාණට දරුවන්ට මෙලොව එළිය දකින්නට අත දුන් මාතාවක් තමාගේ ජීවිතයේ වසර සියය සම්පූර්ණ වීම වෙනුවෙන් ආගමික කටයුතුවල නිරත වෙමින් සමාජ සත්කාරක වැඩසටහන්වලට එක්වීමක් පසුගිය 17 වැනි දින සිදුවිය.   


මෙම උතුම් මාතාව නමින් ඩී.ඇස්. කුරුප්පු වන අතර මහනුවර මැණික්හින්න අංක 2 නිවසේ වෙසෙන්නීය.

මෙම උතුම් මාතාව පසුගිය 17 වැනි දින තම ජීවිතයේ වසර සියය සම්පූර්ණ කරන ලද අතර දූ පුතුන් දස දෙනකු මෙලොවට බිහිකළ උතුම් මවකි.   
1921 සැප්තැම්බර් මස 17 වැනි දින පානදුරේ තන්තිරිමුල්ල ග්‍රාමයේ උපත ලද අතර තන්තිරිමුල්ල බාලිකා විදුහලේ සිය අධ්‍යාපන කටයුතු හැදෑරුවාය. 

 
1946 ජනවාරි පළමු වැනි දින පවුල් සෞඛ්‍ය සේවිකා පත්වීම් ලද ඇය මහනුවර මැණික්හින්න නගරයට තම සේවාව සඳහා පැමිණ ඇත.   
මෙම උතුම් මාතාව තමා කරන ලද වසර 33ක අඛණ්ඩ සේවය ගැන අප වෙත මෙසේ තම හඬ අවදි කළාය.   


“ඇත්තෙන්ම පුතා මට අද වාගේ මතකයි. මගේ මුල් පත්වීම ලැබී මැණික්හින්න ප්‍රදේශයේ තමයි රාජකාරිය ඉටු කළේ.   
ඒ අවධියේ මැණික්හින්න රෝහල පොල් අතු සෙවිලි කරන ලද ශාලාවක් වශයෙන් තමයි තිබුණේ.   


මම හරි සතුටින් තමයි මගේ රැකියාව කළේ. රැකියාව දේව කාරියක් ලෙස හදවතට අරගෙනයි කටයුතු කළේ.   
මම ගම්වල ඒ කාලයේ ඇවිදින විට ගල්මුල්වලින් නැගලා බැහැලා සැතපුම් ගණන් පයින් ගියා.

   
මගේ රාජකාරිය හැටියට මම කොහේ හරි පැල්පතකින් බබාලා හම්බවෙන්න කියන පණිවිඩයක් ඇරගෙන යම් අයෙක් ආවිට කොහොම හරි ගිහින් ඒ දරු සම්පතට මෙලොව එළිය දකින්න කටයුතු කරනවා.   


ගම් තුනක මා සේවය කළා. මගේ පවුල් සෞඛ්‍ය සේවාව ඉතාමත් සතුටින් තමයි ඉටු කළේ.   
මට දැන් වාගේ මතකයි ලෝක යුද්ධය පැවති සමයේ මම රාජකාරි ඉටු කළේ කටුගස්තොට ප්‍රදේශයේ.  
ඒ අවදියේ කාපිරි මිනිසුන් හිටියා. අපි හරිම බයෙන් තමයි රාජකාරි කළේ.   

 

 


අපේ රාජකාරිය ඇවිදගෙන ගිහින් තමයි ​ඉටු කරන්නේ. මම සැතපුම් දහස් ගණන් ඇවිද තිබෙනවා.   
මට ජීවිතයේ අමතක නොවන දිනයක් තිබෙනවා. ඒක තමයි 1953 වසරේ මම අමුණුගම පොල්ගොල්ලවත්ත ගුන්නෑපාන ග්‍රාමවල සේවය කරන විට එකම දිනයකදී නිවුන් දරු උපත් තුනක් සිදුවුණා.   


ඇත්තෙන්ම එය මට හරිම සතුටු දිනයක්. මම රාජකාරිය කළේ දේවකාර්යයක් ලෙස සලකා ගෙනයි.   
1946 වසරේ මගේ මුල්ම පඩිය ලැබුණේ රුපියල් 72ක් පමණයි.   


මගේ රාජකාරිය තුළ මෙලොව එළිය දකින්න අත දුන් දූ පුතුන් ගණන සිය දහස් ගණනක් වෙනවා.   
ඒ උපන් දූ දරුවන් අද උසස් තැන්වල රාජකාරියේ නිරත වෙනවා.   


ඒ අතර විහාරාධිපති හිමියන් වහන්සේලා සිටිනවා. අස්ගිරි විහාරයේ වැඩ වසන 10 කණුව මැණික්හින්න ස්වාමීන් වහන්සේ, ඉත්තවල්ලියගොඩ විහාරස්ථානයේ පවරගිරි හිමියන් වහන්සේ, වලල පේමාලංකාර හිමියන් වහන්සේලා මගේ අතින් තමයි මෙලොවට බිහි කළේ.   


වෛද්‍ය කරුණාරත්න, වෛද්‍ය රෝහිණි තෙන්නකෝන් යන දූ පුතුන්ලා මගේ දෑතින් තමයි මෙලොවට බිහි කළේ.   
මගේ අතින් මෙලොවට බිහිකරන ලද පුතෙක් දැනට වසර හයකට පමණ පෙර මෙලොවින් සමුගත්තා.   
ඒ තමයි කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනුර සෙනෙවිරත්න පුතා.   


මගේ ස්වාමි පුරුෂයා 1997 වසරේ මැයි මස මෙලොවින් සමු ගත්තා.   


මගේ පුරුෂයා දෙවැනි ලෝක යුද්ධය කාලේ 1941 සිට 1945 වසර තුළ හමුදා සේවයේ නිරතව විදේශයේ රාජකාරී කරන ලද විරෝදාර පුරුෂයෙක්.   
මගේ රාජකාරිය තුළ වසර 33ක් සැතපුම් දහස් ගණනින් ඇවිද තිබෙනවා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස අද මගේ ඇවිදීමේ අපහසුතාවක් තිබෙනවා.   
වෛද්‍යවරු නම් පවසන්නේ ඒ මතයයි. ඒත් මම සතුටු වෙනවා අපේ දූ පුතුන් වෙනුවෙන් කරන ලද රාජකාරිය ගැන.   


මගේ ආසම ප්‍රියතම පුවත්පත තමයි ඉරිදා ලංකාදීප සහ දිනපතා ලංකාදීප පුවත්පත.   


දැනට මම කණ්ණාඩි නොදමා පුවත්පත් බලනවා. මට වසර සියයක් සම්පූර්ණ වුණා. මට හරිම සතුටුයි.   


මම දරුවන් දස දෙනකු මෙලොවට බිහිකළා. දැනට ලේළිවරුන් පස් දෙනෙක් බෑණාවරුන් දෙදෙනෙක් මුනුපුරන් මිනිබිරියන් විසිපස් දෙනකු සිටිනවා.”   
දැනට මෙම උතුම් මාතාවගේ දූ දරුවෝ විශ්‍රාමික ගුරු භවතුන් මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයේද දේශපාලන ක්ෂේත්‍රයේද නිතරව සිටිති.   


මෙම උතුම් මාතාවට වසර සියය පිරීම නිමිත්තෙන් දීර්ඝායුෂ පැතීමේ ආගමික වැඩසටහනක් මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරස්ථානයේදී වලල ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිපති පූජ්‍ය පණ්ඩිත බණ්ඩාරගම ධම්මාලෝක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.   


මෙයට අමතරව වත්තේගම පිටියේගෙදර පදිංචි මන්ද මානසික දරුවකුගේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය ඇඳුම් පැලඳුම් ඇතුළු උපකරණ රැසක් එම දරුවාගේ නිවසටම ගොස් මේ උතුම් මාතාව අතින් පරිත්‍යාග කරන ලදී. 

 
අද සමාජයේ බොහෝ පිරිස් තමා උපන් දිනයේ මත්පැන් පානය කරමින් විනෝද වෙන අවස්ථාවක මෙම උතුම් මාතාවගේ සියවැනි උපන් දිනය නිමිත්තෙන් කරන ලද සමාජ සත්කාරක වැඩසටහන සමාජයට ආදර්ශයක් වනු ඇත.

 

රත්නපුර අධිකරණ
ඒ.ජී. වික්‍රමසිංහ