යක්කු ගස් නගින හෝරාවේ බඹරකන්ද මුදුනට ගිය දුෂ්කර ගමනක්


 

මෙතෙක් අපගේ සියලුම සංචාර සිදුවුණේ හිරුඑළිය මැදදීය. කඳු හෙල්, නිම්න මිටියාවත් හා දියඇලි ගල්ගුහා උමං සොයා අප පියමැන්නේ හිරු එළිය පොළව සිපගෙන සිටි හෝරාවන්වල පමණි. නමුත් මෙවර අපගේ ගමන ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ හෝරාවේ ගිය ක්‍රියාදාම ගමනකි. එනම් රාත්‍රී 12 ට කඳු නැගීම ආරම්භ කරමින් රාත්‍රී සංචාර (Night Hike) යක් සිදු කිරීමයි. ටෝච් එළිය පමණක් අතැතිව මහ රූස්ස කැලයක මුළු කළුපහන ගමම නිදා සිටි රාත්‍රියේ අපගේ ක්‍රියාදාමය සිදු කළේ සතර අත ඝන කළුවර සහ අධික සුළඟක් තිබූ ලංකාවේ උසම දිය ඇල්ල පිහිටි බඹරකන්ද මුදුනට යාමෙනි. වෙනස්ම සංචාරක අත්දැකීමක් වන මෙය මීට පෙර ඔබ අසා නැති දැක නැති චාරිකාවක් බව නොඅනුමානය. 


සතියේ වැඩ නිමාකරන සිකුරාදා දින රාත්‍රී 8 ට අප ගමන ආරම්භ කළේ කොට්ටාව නගරයෙනි. යතුරු පැදි මගින් රාත්‍රී ගමන් මීට පෙර බොහොමයක් සිදු කළ නිසා රාත්‍රී පිටත්වීම අපට නවතම ඉසව්වක් නොවුණි. එම නිසාම හයිලෙවල් පාරේ අවිස්සාවේල්ල හරහා රත්නපුරයට පැමිණ ඉන්පසු බලංගොඩත් බෙලිහුල්ඔයත් පසුකොට කළුපහන නගරයට පැමිණියේ කි.මී. 170 ක් ගෙවා දමමිනි. කළුපහන හන්දියෙන් වම් පසට දිවෙන පටු මාර්ගය යනු හෝර්ටන් තැන්නට යක්‍ෂයාගේ පඩිපෙල හරහා දිවෙන ඔහිය මාර්ගයයි. එහි කි.මී. 4 ක් ගිය පසු අප ළඟාවූයේ මීට පෙර අට වතාවක් පමණ හිරු එළිය මැද දුටු ලංකාව් උසම දිය ඇල්ලවන බඹරකන්ද අසලටයි. මෙතැන් සිට සමස්ත ඉදිරි ගමනට අපටද අලුත් අත්දැකීමක් විය. වෙනදාට සුදට සුදේ මහා ගල් තලාවෙන් වැටෙන බඹරකන්ද මේ සඳ එළියවත් නැති කෑලි කැපෙන අඳුරේ නිකමටවත් දැක ගැනීමට නොතිබුණි. අඳුර කොපමණද කිවහොත් කැමරාවේ එළියකටවත් අපට ඇල්ලේ රාත්‍රී ඡායාරූපයක් ගැනීමට නොහැකි වුණි. නමුත් අප ගෙන ආ ටෝච් එකක් ඇල්ල දෙසට එල්ල කළ විට යන්තම් ලා සුදු පාටින් ජල දහරාව දිවීය. ඒ හැරුණු විට අපගේ නෙතු මානයේ ඇත්තේ ඝන අන්ධකාරයත් අපගේ සවනට වැකෙන්නේ දිය ඇල්ල වැටෙන ජලයේ හඬත් පමණි. වන ලැහැබ අසල අපගේ යතුරු පැදි නවතා ඇල්ලට යන කුඩා අඩිපාර අසලට ආවේ අපගේ රාත්‍රී සංචාරය පටන් ගැනීමටය. 


මෙවැනි රාත්‍රී සංචාරයක් යාමේදී අප අනුගමනය කළ යුතු ආරක්‍ෂක ක්‍රියාමාර්ග හා අවධානය යොමු කළ යුතු දේවල් කිහිපයක් වේ. ප්‍රථමයෙන් අප යන මේ වන පියස හා එහි ශාඛ ව්‍යාප්තියත් පසේ ස්වභාවයත් පිළිබඳව දැන සිටීම වැදගත්ය. 


බඹරකන්ද යනු පයිනස් ගස් පිරුණු කැලයකි. මෙහි පසේ ස්වභාවය සාමාන්‍ය වුවත් පස මතුපිට ඇත්තේ වේලීගිය පයිනස් කොළ නිසා මාර්ගය නිතැතින්ම ලිස්සන සුළු වේ. තවද මෙම දවස් කිහිපය තුළ වර්ෂාව නොමැතිවීම අපට මහත් පිටුවහලක් විය. මන්ද ලිස්සීම ඉන් බොහෝ දුරට නැතිවීමත් කූඩැල්ලන්ගේ ප්‍රහාරවලට ලක්වීමට අවස්ථාව නොමැතිවීමත් නිසාවෙනි. එම නිසා අප දිග කලිසමකින් හා සපත්තු යුගලයකින් සැරසුණි. තවද කඳු තරණයකදී අපගේ බෑග් පිළිබඳ සැලකිලිමත් විය යුතුය. එම නිසාම අපගේ බෑග් තුළ බරැති දේවල් තිබුණේ නැත රාත්‍රී ආහාරය කල් තියාම අරගත් නිසාත් ඇල්ලේ ජලය පානය කළ හැකි නිසාත් බෑග්වල වූයේ බිස්කට් හා අමතර ඇඳුම් කිහිපයක් පමණි. රාත්‍රී ගමනට නිතැතින්ම අවශ්‍ය ප්‍රධානතම අංගය නම් විදුලි පන්දම (LED Torch) ක් නිසා අප සියල්ලන් අත එවා තිබුණි. නමුත් එහි එළිය අඩි 15 කට වඩා දුරක් නොපැවතුණි. 


ප්‍රථමයෙන් කොන්ක්‍රීට් පඩි මතින් ආරම්භ කළ ගමන සාමාන්‍යයෙන් බඹරකන්ද ඇල්ල පාමුලට යන සුපුරුදු ගමන නිසාවෙන් එම මීටර 300 පහසුවෙන් යා හැකි වුණි. ප්‍රාදේශීය සභාවෙන් බඹරකන්ද ඇල්ල පාමුලට වනතුරු පමණක් එලෙස ක්‍රමවත් ලෙස මාර්ග සංවර්ධනය කර තිබුණි. බඹරකන්ද ඇල්ලට කියා දෙස් විදෙස් සංචාරකයන්ගෙන් 95% ක්ම පැමිණෙන්නේ බඹරකන්ද දිය ඇල්ල පාමුලටය. එම නිසාම ඒ මාර්ගය ක්‍රමවත් ලෙස තිබුණි. ඉන්පසු අප අවතීර්ණ වූයේ කිසිඳු සලකුණක් නොමැති පයිනස් වනාන්තරයටයි. අඩියක් පමණ අඩි පාර තිබුණත් එය හඳුනා ගත යුත්තේ බිම වැඩී තිබෙන පයිනස් කොළ වල හැසිරීම් රටාවෙනි. එම නිසාම අප ගමන පටන් ගෙන සෙමින් ඉදිරියට ඇදුනෙමු. 


මෙම පාරේ වම් පස යනු තනි හෙළක් වන අතර දකුණු පස ඉහළට විහිදුනු කන්දේ ඉතිරි කොටස විය. පයිනස් ගස් අතරින් වැටී තිබුණු මාර්ගය දිගේ අප විදුලි එළි දල්වාගෙන ඉදිරියට ඇදුනෙමු. වර්ෂාව නැති වුවද ඉතාමත් තද සුළං ප්‍රවාහයක් උඩු වියන සිසාරා පැවතුණි. එම සුළඟ කොතරම් ප්‍රචණ්ඩද කිවහොත් අහස ගොරවන සද්දයටත් වඩා වැඩි සද්දයක් එහි තිබුණි. ඒ මන්දයත් පයිනස් ගස් ඉතා උස සහ අතුපතර විහිදීම අධික ලෙස පැවතුන හෙයිනි. මීටර දෙතුන් සියයක් පමණ අප ඉදිරියට ගියේ සමතලා වැනි මාර්ගයකිනි. ඉන්පසුව අපට සිග් සැග් ක්‍රමයට මීටර කිහිපයක් ඉදිරියට නගින්නට සිදු වුණි. සමහර අවස්ථාවල මාර්ගය සොයා ගැනීම පවා ඉතා අපහසු විය. මන්දයත් විටෙක පොළව පුරා පයිනස් කොළ පැතිරීම එකවගේ වූ නිසාවෙනි. 


තවත් දුර යන විට අප දුටු දෙයින් තවත් අලුත් සිතුවිල්ලක් හට ගැනුණි. නමුත් ඒ සිතුවිල්ල එතරම් සුභදායක වූවක් නම් නොවෙයි. ඉදිරියෙන් මාර්ගය හරහා පයිනස් ගස් වැටී තිබුණි. ඒවා දුටු විට අපට එකවරම සිහිවූයේ මේ තිබෙන චණ්ඩ සුළඟ නිසා හදිසියේ හෝ පයිනස් ගසක් කඩා වැටුණහොත් අපට දුවන්නටවත් ප්‍රදේශයක් නොපෙනෙන නිසාවෙනි. සිතට යම් චකිතයක් දැණුනද අප අපගේ ගමන ඉදිරියට ගෙන යන ලදී. කෙසේ හෝ අප දන්නා පරිදි මෙම ගමන යනු බඹරකන්ද ඇල්ල පාමුල සිට වම් පස කන්දේ කෙළවරට ගොස් නැවත කෙළවරේ සිට දකුණු පසට යා යුතු ගමනකි. අප දැන් ප්‍රමාණවත් උස් ස්ථානයකට පැමිණ ඇති බව අපට වැටහුණේ වම් පස ඈතින් තිබෙන බෙලිහුල්ඔය නගරයේ විදුලි එළි යන්තමින් දුටු නිසාවෙනි. ඉන් සුලු වෙලාවකට පසු අප නියමිත කඳු මුදුනට පැමිණියෙමු. 


සඳවතියත් නොමැති කළු අහසේ තරු කැටයක්වත් පායා නොතිබුණි. සඳ එළිය නැති දුකින් හිත වවාගත නොහැකි වූ සුළඟ ඉබාගාතේ යමින් ප්‍රචණ්ඩ ලෙස අප අවට දැවටුණි. ඒ සුළං සර තුරු මුදුනේ සිසාරා ගිගුම් දෙමින් ගුවනට පැනයන නමුත් ගත දැවටෙන සීතලත් කඳු වළල්ල වටකර ගෙන පාවෙන මීදුම් සේලත් අපගේ තනි නොතනියට සිටියහ. රූස්ස කැලයේ අවසන් ඉසව්වට පැමිණි අප ඉදිරියට සම්බන්ධ වී තිබුණු මාර්ගය දිගේ ගමන නැවත ආරම්භ කළේ සුළු විවේකයක් ගත් පසුවය.


රාත්‍රී 12 ට පටන් ගත් ගමනේ කිලෝමීටරයකට වඩා වැඩි දුරක් ගෙවා දමමින් පැමිණි කාලය රාත්‍රී 01 පසු වෙමින් තිබුණි. මානා කැලය මැදින් අඩි පාර තිබූ නිසා අප ඉදිරියටම ගමන් කළෙමු. ඒ අතර අපට ප්‍රථම වරට පුංචි දිය දහරාවක් හමුවුණි. එය මෙම කන්දෙන් හටගන්නා පුංචි දිය උල්පතකි. ඉන්පසු අප ඉතාමත් විවෘත ප්‍රදේශයකට පැමිණියෙමු. මෙහිදී අපගේ දෑසට පෙනෙන වට පිටාවෙන් අංශක 300 ක් පමණ වසාගෙන සිටින්නේ මහ දැවැන්ත කඳු පන්තියකිනි. අපගේ වම් පසින් හෝර්ටන් තැන්නේ බෑවුමත් ඒ ආශ්‍රිත කිලෝමීටර ගණනක් ඈතට දිවයන කඳු වැටියකුත් දක්නට ලැබුණි. අප මේ සිටින ස්ථානයේ වම් පස හෙළකි. එය සැබවින්ම නිම්නයක් විය. අප සිටින කඳු වළල්ලට විරුද්ධ අතින් පිහිටියේ පෙරකී දැවැන්ත කඳු වැටියයි. අප සිටින්නේද කන්දකය. 
මෙම ප්‍රදේශයේදී සුළඟේ ප්‍රචණ්ඩ බව පෙරටත් වඩා දැනෙන්නට විය. එය කොතරම් ප්‍රබලදයත් අපට දකුණු පසට තල්ලු කිරීමට සමත්වන තරම්ය. එහි ඝෝෂාකාරී ශබ්දය ඉතාමත් භයංකර විය. මානා පඳුරු යාය මැදින් අප ඉදිරියට ගිය අතර අපට පාර වැරදුනාවත්දැයි සැකයක් ඇති වුණා. තවත් මීටර කීපයක් දුර ගිය විට අපට මාර්ගය දෙකට බෙදෙන ස්ථානයක් හමුවුණි. 


 ඉන් වම් පසට දිවෙන මාර්ගය නම් ලංකා ඇල්ලට දිවෙන මාර්ගයයි. අනෙක් අතට යන මාර්ගය අප සිතුවේ බඹරකන්ද මුදුනට යන මාර්ගය ලෙසය. නමුත් අප නිකමට මෙන් බඹරකන්ද අවට පරිසරය ගැන සිතූවිට අපට හැඟී ගියේ අප ආවේ වැරදි මාර්ගයක බවයි. එම නිසා අප ආපස්සට ගොස් කන්ද කෙළවර අප හැරුණු වංගුවේ නැවතුණි. එතැන් සිට ඉහළට කන්ද මුදුනට යායුතු බව අපට පෙනී ගිය හෙයින් අප මාර්ගයක් සාදාගෙනම නැවතත් කඳු මුදුනේ පිහිටි පයිනස් කැලය මැදින් ගමන් කළෙමු. මෙම ගමන නම් බොහෝ අවදානම් ගමනකි. මන්දයත් දැන් අපගේ හෙළ ඇත්තේ දකුණු පසය සැබවින්ම මෙය ඍජු ප්‍රපාතයකි. අප දැනටමත් සිටින්නේ බඹරකන්ද ඇල්ල උඩ පිහිටි ගල් තලාවේය. එනම් කන්ද මුදුනේය. අප තවත් දුර මෙම මාර්ගයේ යා යුතුව තිබුණි. කෙසේ හෝ රාත්‍රී 2 පසුවනවාත් සමගම අපට ජලයේ ශබ්දය ඇසුණි. 


පයිනස් කැලයේ ඉහළට ගොස් නැවතත් පහළට බැස ගත්තේ දිය ඇල්ලේ ශබ්දය දෙසට සවන් යොමාගෙනය. රාත්‍රී සංචාරය සාර්ථකය. දැන් අප සිටින්නේ ලංකාවේ උසම දිය ඇල්ල මුදුනේය. බඹරකන්ද ඇල්ල මුදුනේ තවත් ඇල්ලක් තිබෙන අතර එය මීටර 30 ක් පමණ උසය. එම ඇල්ල අසල පයිනස් කැලයේ සමතලා බිම් ප්‍රදේශයක කූඩාරම් අටවා ගෙන නිදා ගැනීමට අප තීරණය කළෙමු. පයිනස් යනු කිසිඳු ප්‍රයෝජනයක් නැති ගස් වර්ගයකි. මෙම ගස් කොළ පොළවට පතිත වූ ප්‍රදේශවල වෙනත් කිසිම ගසක් වැවීමට ඉඩක් නැත. මෙම ප්‍රදේශයේ සර්ප ගහනයද ඉතා විරලය. එම නිසා දියඇල්ල අසල රාත්‍රී කූඩාරම් ලා සීටීම අවදානමක් රහිත ක්‍රියාකාරකමකි. අප ගෙන ආ කූඩාරම සකස් කර ගත් පසු බඹරකන්ද උඩ ඇල්ල අසල ජල තටාකයට ගියෙමු. මෙතැන සිට මීටර 8 ක දුරින් මෙම ජල කඳ මීටර 243 ක් පහළට එක එල්ලේ කඩා වැටෙමින් නිර්මාණය කරන්නේ ලංකාවේ උසම දිය ඇල්ලයි. 


සුළඟ හා සීතල කොතෙක් වුවත් මෙම ජලය ඊටත් වඩා සීතල වුවත් පාන්දර 3 ට ළං වූ කණිසමේ අපේ හිත දුන්නේ මෙහි ස්නානය කිරීමටයි. එම නිසාම ජලයට බැස ඇඟපත සෝදා ගත් අපගේ ගමන් මහන්සිය විඩාව හා දහදිය සියල්ල නැති වුණි. දැන් අපට නැවුම් දිනයක පරිදි නින්දට යා හැකිය. කූඩාරම තුළ අප සියල්ලන්ටම පහසුවෙන් නිදා ගැනීමට ඉඩ තිබූ නමුත් අකිලගේ උසට එහි දිග ප්‍රමාණවත් නොවුණි. එම නිසාම අප කූඩාරමේ ඉදිරිපස දොර විවෘත කරගෙනම නින්දට වැටුණා. ඒ නිසාම කූඩාරම තුළට ගලන සුළඟ හා සීතල මීදුම මගින් අපට තවත් සුවදායක බවක් දැනුණි. කෙසේ හෝ පැය තුනක් පමණ රාත්‍රී කඳු නැග්මකින් පසු අප සාර්ථක ලෙස ගමනේ අවසානයට පැමිණ සිටියෙමු. සුන්දර බඹර කඳු මුදුනේ අප රැය පහන් කළේ කිසිඳු ගිනිමැලයක්වත් නොදල්වාගෙනය. 


කෙසේ හෝ උදේ 7 වනවිට අප අවදි වූ අතර නොනවත්වා ගලන බඹරකන්ද දියවර හා පෙර දිනයේ අප පැමිණි පයිනස් කැලයේ ලස්සන දකින්නට හැකි වූයේ එවිටය. ලා රතු පාටින් ඈතින් ඈතට පැතිර තිබෙන පයිනස් ගස් යට මුළු පොළවම වසාගෙන එහි කොළ වැටී මවන පරිසර චිත්‍රය හරිම අලංකාර විය. යක්‍ෂයාගේ පඩිපෙළ ඉසව්වේ නැගී සිටින මහ කඳු වළලු සේම වංගෙඩිගල හා ගොම්මෝලි කඳු පන්තියේ අපූර්වත්වයද අපට විඳීමට හැකිවිය. තවද හරිත පැහැ වෙලාගත් පයිනස් තුරු මුදුන සහ බෙලිහුල්ඔය, හල්දුම්මුල්ල දක්වා ඈතට දිවෙන පරිසරයද දැක ගැනීමට ලැබුණි. 


නැවත ජල ස්නානය කිරීමට පෙර අප හිමින් සීරුවේ බඹරකන්ද ඇල්ල මුදුනේ හෙළට නැඹුරු වූ කොටසට ගියෙමු. මීටර 243 පහළට ඍජුව මහ ජල කඳ වැටෙන අයුරු අපි ඇස්පිය නොහෙලා බලා සිටියෙමු. ජලය එතරම් නොමැති නිසා මෙලෙස සිටිය හැකිය. චිරි චිරියේ උඩ පනිමින් පින්න විහිදුවමින් ගලාගෙන යන මහ ජල කඳ කෙත් වතු සරුසාර කරමින් වලවේ ගං ඉසව්වට එකතු වේ. කෙසේ හෝ පෙර දින රාත්‍රීයේ අසිරිය නොදැක ස්නානය කළ ජල තටාකය කෙතරම් ලස්සන හා අපූරු ස්ථානයක් දැයි දැක ගත්තේ පසුවය. සීතල වතුරේ අප බොහෝ වෙලාවක් කාලය ගත කළ අතර මෙම කුඩා ඇල්ල මුදුනට ගිය විට තවත් මෙවැනි කුඩා දිය ඇල්ලක් දැක ගත හැකිවිය. ඉන් ඔබ්බට දිය දහරාව දිගේ ගමන් කළ විට යක්‍ෂයාගේ පඩිපෙල මාර්ගය දැක ගත හැකි විය. සුන්දර කඳු වළලු රාශියකින් වටවී තිබෙන මේ ස්ථානය සැබැවින්ම චමත්කාරය. 


හෝරා දෙකක් පමණ මෙහි කාලය ගත කළ පසු අප නැවත කන්ද බැසීමට තීරණය කළෙමු. එහිදී අප කූඩාරම් ලාගත් ස්ථානයට මීටර 100 ක් පමණ දුරින් හෙළට නෙරාගිය ගලක් පිහිටි ස්ථානයක් අසලට අප ගියෙමු. සැබවින්ම එම ස්ථානය ඡායාරූපකරණය සඳහාම සෑදුනු ස්ථානයක් බඳු විය. එහිදී අපට සම්පූර්ණ ඇල්ල පසෙකින් දැක ගත හැකි වූ අතර පහළ පාමුල සිටින මිනිසුන්ද දැක ගැනීමට ලැබුණි. කෙසේ හෝ සාර්ථක රාත්‍රී ගමනක් හා චමත්කාරජනක උදෑසනක ගත කළ කාලය අවසන්වූ අතර දවසේ මීළඟ නවාතැන්පල සොයා ක්‍රියාදාමය ඇරඹුවෙමු. මුහුණු පොතේ  Travel in Sri Lanka - Sobasiri සරස හා සම්බන්ධවී ඔබට අවශ්‍ය ක්‍රියාදාම සංචාර පිළිබඳ දැන ගැනීමට හැකි අතර ඔබගේ චාරිකා “හරිත සංචාර” ලෙස පරිසරයට හිතැතිව කරන මෙන් ඉල්ලා සිටිමු.


සංචාරක සටහන හා ඡායාරූප 
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු