යකඩ කෑලි වලින් දුම්රිය අනුරූ හදන සිත්තරා


කලාව දෝතින් තුරුළු කරගෙන බිහිවන කලාකරුවෝ මේ හෙළබිමේ විවිධ දක්ෂතා දක්වති. ඔවුන් කලාවට සේවය කරනුයේ කිසිදු අයකුගේ දිරිගැන්වීමක් හෝ අනුග්‍රහයක් නැතුව මෙන්ම දහසින් බැඳි පියලි සඳහා නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. එවැනි නිර්මාණකරුවකු පසුගියදා අපට මුණගැසුණි.   


මේ නිරහංකාර, නිර්මාණශීලී කලාකරුවා නමින් ප්‍රදීප් කුමාර කරුණාසිංහය. ගලහිටියාව මැදි විදුහලෙන් සිප් සතර හදාරා චිත්‍ර ශිල්පියකු, රංගන ශිල්පියකු මෙන්ම රුක් කලා නිර්මාණකරුවකු ලෙස ද විවිධ හැකියාවන් පෙන්වන ප්‍රදීප්, දුම්රිය එන්ජින්වල අනුරූ නිර්මාණය කර තිබේ. එය බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක්ව තිබේ. 


‘කඳුළට උපන් දූවරු’, ‘මිරිඟුව’, ‘කටු’, ‘දේශ සාක්කි’ ඇතුළු වේදිකා නාට්‍ය කිහිපයකට ද තිස්ස ඩයස්ගේ සුමග ඒකාංගික ටෙලි නාට්‍යයේ ද ‘ක්‍රිස්තු චරිතය’ චිත්‍රපටයේද රඟපෑමෙන් තම රංගන හැකියාව පෙන්වා තිබේ. ඉදිරියේදී මෝටර් රථ නිර්මාණ, රුක් කලා නිර්මාණ මෙන්ම ඇඳි චිත්‍ර ද ඇතුළත් ප්‍රදර්ශනයක් පැවැත්වීමට ප්‍රදීප් බලාපොරොත්තු වේ. මේ ප්‍රදීප් නමැති නිර්මාණශීලී කලාකරුවාගේ කතාවයි. 


“හේමමාලි මහා විදුහලේ ඉගෙනුම ලබන කාලයේ පන්ති කාමරය තිබුණේ රේල් පාර කිට්ටුවයි. පන්තියේ ඉගෙනුම ලබන විටදී දුම්රියක් යනවිට නැගිට එය බැලීම මට පුරුද්දක් වී තිබුණා. එම අවස්ථාවේදී පන්තියේ ගුරුතුමියගෙන් ගුටි කාපු වාර අනන්තයි. ඒ කාලයේ පටන් දුම්රිය එන්ජිමක් නිර්මාණය කිරීමේ ආසාව මට තිබුණා. මා පාසලේ ප්‍රදර්ශනයකට දුම්රිය එන්ජිමක් නිර්මාණය කර තෑගිත් ලැබුවා. එවිට ගුරුවරු මට ප්‍රශංසා කළා. එදා මට පුදුම සතුටක් ඇතිවුණා. 


මා පාසලෙන් අයින්වෙලා අවු. 18 පසු නැවත දුම්රිය එන්ජිමක් (බැටරිවලින්) නිර්මාණය කර සහතික ද හිමිකර ගත්තා. නැවතත් අවු. 24කට පසු එන්ජින් 4ක් නිර්මාණය කළා. (M1, M2, M4) අඟුරුවලින් ක්‍රියාත්මක පැරණි එන්ජිමක අාකෘතියක් සහ බැටරිවලින් ක්‍රියාත්මක දොඹකරයක් එයට ඇතුළත් වුණා. 


ආදර්ශ දුම්රිය එන්ජින් සඳහා සුලභව භාවිත කරන H.O ක්‍රමයටයි මම දුම්රිය එන්ජින් නිර්මාණය කරන්නේ. මට එම ක්‍රමය ගැන එතරම් වැටහීමක් නෑ. මා පරිමාව භාවිත කරන්නේ හිතෙන්මයි. මම නිර්මාණය කළ M4 එන්ජිමේ රෝද සියල්ල ඇලුමේනියම්වලින් වාත්තු වැඩපොළකින් අච්චුවේ වක් කරලා හදලා තියෙන්නේ. බෙලෙක් තහඩු කැසට් මෝටර, පරණ ඔර්ලෝසු මැෂින් වගේ ඉවතලන ඉලෙක්ට්‍රික් අමතර කොටස් උපයෝගී කරගත්තා. ඉවතලන යකඩ සුන්බුන් ගොඩාක් දැක්කාම නිර්මාණවලට අවශ්‍ය දේවල් සොයා ගන්න පුළුවන්. වෙන කෙනකුට නම් ඒවා සතපහකට වත් වටින්නේ නැතුව ඇති. 


මට එන්ජිම හදන්න අවු. 1 1/2ක් පමණ ගියා. අවශ්‍ය දේවල් සොයා ගන්න නැහැ. ඒවා වෙළෙඳපොළෙහි ලබාගන්න නැහැ. මේ නිර්මාණ​ෙය දී වාත්තු, ලියවන පට්ටල්, වෑල්ඩින් වැඩපොළවලින් සහයෝගය ලැබුණා. මට රත්මලාන දුම්රිය අංගනයට යන්න හුඟාක් කල් සිට ආසාවක් තිබුණා. ඒත් ඒවා බලන්න යන්න අවසර දෙන්නේ නැහැ. මේ නිර්මාණ කළේ පින්තූර බලලයි. 


ඊට අමතරව දුම්රියපොළ ළඟට ගොස් දුම්රියක් එනතුරු පැය ගණනක් රස්තියාදු වෙනවා. සමහරද‌ාට මට අවශ්‍ය දුම්රිය එන්ජිම නොවෙයි එන්නේ. එදාට ආපසු ගෙදර යනවා. දුම්රිය එන්ජිමක කොටස් ඇඳගන්න මාස ගණනක් යනවා. එක පාරටම මතක තබාගන්න අමාරුයි. දිනක් දුම්රිය එන්ජිමේ උඩපැත්ත ඇඳගන්න දුම්රිය නැවතුම්පොළේ මගී පාලම උඩට වෙලා හිටියා. ටික වේලාවකින් දුම්රිය එනවා ඇසුණා. මා පෑනකුත් කඩද‌ාසියකුත් අත ඇතිවයි සිටියේ. දුම්රිය ඈතින් එනවා දුටුවා. මට එවෙලේ සතුටක් ඇතිවුණා. 


දැන් දුම්රිය ළඟ එන නිසා ඇසිපිය නොහෙළා බලා සිටියා. සුළු මොහොතකින් කවුදෝ කමිසයේ කොලර් එකෙන් ඇද්දා. මා හැරී බලනවිට ආරක්ෂක නිලධාරියෙක්. කෝ ටිකට් කියා බැණ වැදුණා. එවිට මා විමතියට පත්වුණා. මා ඔහුට පැමිණි කාරණය කිව්වා. එවිට ඔහු මට එතනින් යන්න කිව්වා. එතකොටම දුම්රියත් ගියා. මමත් හිස් අතින් ගෙදර ගියා. එවැනි අත්දැකීම් නම් අප්‍රමාණයි. 


ඉදිරියේදී ගුවන් යානයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තුවක් තිබෙනවා. මගේ රුක් කලා නිර්මාණ කිහිපයක් දැනට මගේ ළඟ හදලා තියෙනවා. ඒවා ගස් අතු මුල් උපයෝගී කරගෙන කරන නිර්මාණයි.


ඉස්සර ගමේ හැම කෙනෙක්ම මා සොයාගෙන එන්නේ නාම පුවරුවක්, මරණ දැන්වීමක් උත්සව වගේ දේවල්වලටත්, තොරණවල අකුරු ඇඳීමටයි. අවුරුදු, වෙසක් දිනවලට රෑ එළිවෙනතුරා වැඩ. සමහරදාට දවසක් මහන්සිවෙලා බැනර් ඇඳලා මුදල් ගෙනත් දෙන්නම් කියා බැනර් රැගෙන ගිහින් තිබෙනවා. කවදාවත් මුදල් නම් ලැබුණේ නෑ. 


ඩිජිටල් බැනර් මුද්‍රණය කරන තැන්වල බිල් ගෙවලා අරගෙන යනවා. ඒත් අතින් අඳින අපට මුදල් දෙන්න අදිමදි කරනවා. අද ඉන්නේ කලා මුදලාලිලායි. දැන් අපට අඳින වැඩ නැහැ. ඉඳලා හිටලා තමයි මොන්ටිසෝරිවල චිත්‍ර ඇඳීම, දේවරූප ඇඳීම ලැබෙන්නේ. 


මා වැනි කලා නිර්මාණකරුවන්, මටත් වඩා හැකියාවන් තිබෙන අය ගම් මට්ටමින් ඉන්නවා. ඒ අය ඇගැයීමකට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අයට රජයෙන් හෝ පුද්ගලික ආයතනයකින් අත හිත දෙනවා නම් හොඳයි. එය ලොකු උපකාරයක් වෙනවා. අපි වගේ අයට බැංකුවකින් ණයක් ගැනීමත් සිහිනයක් පමණයි. 


ආර්ථික අපහසුතා මැද මේ නිර්මාණ කරන්නේ. එයින් අපට කිසිම මුදලක් ලැබෙන්නේ නැහැ. නිර්මාණ කිරීමට හැකි අය කරන්නේ නැත්තේ පලක් නැති නිසයි. එහෙත් කැලේ පිපී කැලේ පරවී යන මලක් ලෙස නොසිට මම නිර්මාණයක් කරන්නේ සමාජයට යම් වැඩද‌ායක දෙයක් පෙන්වන්නයි. 


කලා නිර්මාණකරුවකුට උත්සාහයත් අවංකකමත්, ඉවසීමත් තිබෙන්න ඕනෑ. නිර්මාණයක් මුදලට මිල කරන්න බැහැ. නිර්මාණයක් කළ පසු ලැබෙන මානසික සතුට කියා නිම කළ නොහැකියි. අද මිනිසුන් තුළ නැත්තෙත් මානසික සතුටයි. 


මගේ මෝටර් රථ නිර්මාණ, රුක් කලා, චිත්‍ර එකතුවක් කර ඉදිරියේදී ප්‍රදර්ශනයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ නිර්මාණ කිරීමේදී මට සහය ලබාදුන් මගේ බිරිඳ හේමමාලි ධම්මිකාත් මීනු මධු තාරක කරුණාසිංහ පුතුටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ දෙන්නාගෙන් ලැබෙන සහාය මිලකරන්න බැරි තරම්.”

 

 

 

 

 

යහම්පත් 
ඡායාරූප - මීනු මධු තාරක