මොළ සෝදා විනාශකාරී කල්ලිවලට මිනිසුන් බඳවා ගන්න හැටි


 

 

පසු​ගිය අප්‍රේල් 21 දා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු අපි සියලුම දෙනාම ඉතාමත් උනන්දුවෙන් අපගේ මාතෘ භූමිය පත්වී ඇති භයානක උවදුරෙන් ගලවා ගන්නේ කෙසේ දැයි කියා පිළියම් සොයමු. විනාශකාරී කණ්ඩායම් පිළිබඳව දැනුම්වත් වීමට මෙම ලිපිය ඔබ සියලුදෙනා සඳහා අත් වැලක් යයි සිතමි.   


1978 දී දකුණු ඇමෙරිකාවේ ජෝන්ස්ටවුන්හි විසූ ජීම් ජෝන්ස් පූජක තුමාගේ කල්ලියේ ළමුන් 304ක් ඇතුළුව අනුගාමිකයෝ 913ක් එකවර සයනයිඩ් සහිත බීමක් පානය කිරීමෙන් සිය දිවි හානි කර ගැනීමේ සිද්ධිය මෑත ඉතිහාසයේ සිදු වුණ දරුණුතම සිදු වීමයි. ඔවුන් එසේ තම නායකයාගේ අණට කීකරු වී සිය දිවි හානි කරගෙන ඇත්තේ එම රටේ තිබෙන වාර්ගික සහ අනිකුත් ප්‍රශ්න විසඳීමේ අටියෙනි. මෙසේ හොඳ අරමුණක් සඳහා මෙම අනුගාමිකයන් සිදු කරගෙන ඇත්තේ තමාව මුළුමනින්ම විනාශ කර ගැනීමය. ඉන් පසු කල්ල ක්‍රියාකාරීත්වය නිසා 1994 දී, යුරෝපයේ Solar Temple Cult බලපෑමෙන් ප්‍රංශයේ සහ ස්විට්සර්ලන්තයේ සාමාජිකයෝ 60 දෙනෙකුට වැඩියෙන් සිය දිවි නසා ගත්හ. 1995 දී ජපානයේ Aum Shinrikoyo Cult එක ටෝකියෝවල ඉතාමත් ජනාකීර්ණ උමං මාර්ග කීපයක සැරින් නමැති ස්නායු කාරක විෂ 44 වායුවක් මුදා හැරීමෙන් 13 දෙනෙක් මියගොස් 6000 කට වඩා අනතුරට පත් කළේය. මෙවැනි බොහෝ කල්ලි ලෝකයේ ක්‍රියාත්මකවී භයානක සිදුවීම් ලෝකයාට අත්දැකීමට සිදු වුවත් මේවා ගැන හරි වැටහීමක් අප හට ​ෙනමැති විය.   
2019 අප්‍රේල් 21 දින IS කල්ලිය විසින් එවන ලද මරාගෙන මැරෙන සාමාජිකයන් විසින් පාස්කු ඉරිදා දේව මෙහෙය සිදු කරමින් තිබූ ක්‍රිස්තියානි පල්ලි තුනකට හා තරු පහේ හෝටල් තුනකට කරන ලද ම්ලේච්ඡ ප්‍රාහරයෙන් 290ක් මියගොස් 600 කට වැඩි ගණනක් අතුරට පත් වුණ අතර බො​ෙහා් පවුල් අන්ත අසරණ භාවයට පත් විය. අද මුළු ශ්‍රී ලංකාවම භීතියට පත් වී ආර්ථිකය, අධ්‍යාපනය, සමාජයීය සියලුම ක්‍රියාකාරකම් කඩා වැටී ඇත. සියලු සත්වයාට මෛත්‍රී කරන බෞද්ධ පරිසරයත්, මැල්කම රංජිත් පියතුමා ව්‍යසනය සිදු වූ වහාම නැගී සිට ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම වන ‘‘සතුරාට සමාව දෙන්න’’ කියා කිතුනුවන් අමතා, මුස්ලිම් ජනතාවට අතක්වත් එස වීමට එපා කීම නිසාත් අප රටේ ජනයා බුද්ධිමත්ව අවිහිංසාවාදීව ඇති වු ප්‍රශ්නයට පිළිතුරු සෙවීම ඉතා ප්‍රශංසනීයයි. ඒ වගේම බෞද්ධ ස්වාමීන් වහන්සේලා අනෙකුත් දේශකයන් සංසුන් වී බුද්ධියෙන් ක්‍රියා කිරීමට උපදෙස් දීමත් අගේ කළ යුතුය. 


නවීන තාක්ෂණය ඔස්සේ ලැබූ තොරතුරුවලින් කල්ලියක ඇති භයානකකම අද මුළු ශ්‍රී ලංකාවම අවබෝධ කරගෙන හමාරය. හිත් පිත් නැති නායකයෙකුගේ අණ හිස් මුදුනින් පිළිපදින සිහින ලෝකවල දේවල් ප්‍රාර්ථනා කරන අනුගාමිකයෝ සිටිනා බව අපි අපේ දෑසින්ම දුටුවෙමු. කල්ලි හඳුනා ගැනීමත් අනුගාමිකයන් හඳුනා ගැනීමත් අපි සියලු දෙනාටම අයත් කාර්යයකි. වගකීමකි. අපේ ජීවිත සුරක්ෂිත වන්නේ එවිටය. 


මෙම IS කල්ලිය පෝෂණය වන්නේ මුස්ලිම් ප්‍රජාව තුළ බැවින් අහිංසක මුස්ලිම් ජනයා අතුරෙන් ත්‍රස්තයන් හඳුනා ගැනීම කළ යුතුව ඇත. මෙම ලිපිය ඒ සඳහා විද්‍යාත්මක විග්‍රහයකි. 


විනාශකාරී කල්ලි මෙම සහඝ්‍රයේ ඉහළ අගයක් ගන්නා බවත් එවැනි කල්ලි හඳුනා ගැනීමට අවශ්‍ය ලක්ෂණ විද්‍යාත්මක හැදෑරීම්වලින් මනෝ විද්‍යාඥයින් හෙළිදරව් කර ඇත. ඇමෙරිකවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ හිටපු ගෞරවණීය ලෙස විශ්‍රාම ගිය මහාචාර්ය මාග්‍රට් සිඟර් මහත්මියත්, ආචාර්ය රොබට් ජේ ලිප්ටන් මහත්මයත්, ප්‍රමුඛ පෙළේ සිටිනා කල්ලි විශේශඥ උපදේශක ස්ටිවන් හෑසන් ඇතුළු මනෝ විද්‍යාඥයන් බොහෝ දෙනෙකුගේ පොත් පත් ලිපි වීඩියෝ ආදිය අධ්‍යයනය කිරීමට අද අන්තර්ජාලයේ පහසුකම් ඇත. 
1998 වර්ෂයේ ආචාර්ය මාග්‍රට් සිඟර් මහත්මිය විසින් පළ කරන ලද Danger of Cults is Growing යන ලිපියේ සඳහන් අන්දමට. ආර්ථික සහ ආගමික කල්ලි එවකට ඇමෙරිකාවේ පමණක් 5000 ක් වන බවට ගණන් බලා ඇති බවත්, ඒවායින් බලපෑම්  කර ඇති පිරිස මිලියන 2.5ක් පමණ බවත් සඳහන් කර තිබේ. ඒ වාගේම ලෝකයේ කල්ලි ප්‍රමාණය ඉතා විශාල බවත් ඒවායේ බලපෑම් ඒ ආකාරම බවත් සඳහන් කර තිබේ. කල්ලි වැඩිවීම ඉතාමත් වේගවත් බවත් පවසා ඇත. (ඝාතීය ශ්‍රිථයක ආකාර ගනී.) 


​ෙම් අනුව අද ලෝකයේ කල්ලි ප්‍රමාණය කොතරම් ද, ඒවායේ බලපෑම් කොතරම් ද කියා අපට අනුමාණ කළ හැක. තවද මිලියන ගණන් මිනිසුන් කල්ලිවලට කෙළින්ම සම්බන්ධ නොවුණත් ඒවාට අනුබල දෙයි. තමා කල්ලියකට කෙළින්ම සම්බන්ධ නොවුණත් තමා කල්ලියකට අනුබල දෙනවා දැයි තමන්ම නොදනී. 


ලෝකයේ සිටින කල්ලි සාමාජිකයින්ගෙන් 25 % ක් නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත් වේ. ඔවුන්ගේ අවශ්‍ය ලෙස හැඟීම් දැනීම්වලත් සමාජයීය පවුල තුළ හා රාජකාරි පරාසය තුළ තිබිය යුතු ක්‍රියාකාරීත්වය අඩපණ කරයි. වංචාවෙන් බඳවාගෙන කල්ලියේ සාමජිකයෙක් බවට පත්කර ගත් සෑම පුද්ගලයෙකුම (Behavior) හැසිරීම්, (Information) තොරතුරු, (Thought) සිතුවිලි, (Emotion) හැඟීම් පාලනය කරමින් ඔහුව කල්ලිය තුළ රඳවා ගනී. 


උදාහරණයක් ලෙස අප දුටු කෘමියෙකු ඌ කුරුමිණියෙකු යැයි හඳුනා ගන්නේ කෙසේද? අප කුඩා කළ අපගේ මව්පියෝ කුරුමිණියෙකු පෙන්වා උගේ ගති ලක්ෂණ අපට අවබෝධ කරදී ඇති නිසා අපි එම ගති ලක්ෂණ සංසංදනය කිරීමෙන් ඌ කුරුමිණියෙකු යැයි හඳුනා ගනිමු. 


මේ ලෙසින් ලොව ශ්‍රේෂ්ඨ විද්‍යාඥයින් කල්ලි සම්බන්ධව දීර්ඝ කාලයක් තිස්සේ අධ්‍යනය කර කල්ලියක් හඳුනා ගැනීමේ ලක්ෂණ හදාරා ඉදිරිපත් කර ඇත. අපට සැක හිතෙන කණ්ඩායම්වල ලක්ෂණ කල්ලිවල මෙම ලක්ෂණ හා සසඳා එම කණ්ඩායම කල්ලියක් දැයි තීරණය කළ හැක. ඕනෑම කෙනෙකුට මෙවැන්නන් ආශ්‍රයෙන් කතාවෙන් වටිනාකම් ඇගයීමෙන් මනස පාලනය වූවෙක් බව දැන ගත හැක. මව්පියන් ගුරුවරු යහළු මිත්‍රයින් අවිශ්වාස කරයි. නුරුස්සයි. 


සමාජයේ ඇති විවිධ විශ්වාසයන් ඇදහිලි ආදිය තමාට කැමති පරිදි කෙනෙකුට විශ්වාස කිරීමට අයිතියක් නිදහසක් ඕනෑම කෙනෙකුට ඇත. නමුත් නිවැරදි කණ්ඩායමක් නම්, එහි ක්‍රියාකාරීත්වය අවංකව විවේචනය ගැන කිසිම බියක් අකමැත්තක් තිබිය නොහැක. එවැනි කණ්ඩායම් ලැබන විවේචනවලට බිය නොවී තම කණ්ඩාය​ෙම් අඩුපාඩුවක් ඇත්නම් එය නිවැරදි කිරීම අවංකව සිදු කරයි. 


කල්ලිය නව සාමාජිකයින්ට මුලදී බොහෝ පොරොන්දු දෙයි. නමුත් ඒවා එකක්වත් සිදු නොවී ඇති බව කල් යද්දී වටහා ගත හැක. කල්ලි ඒකාධිපති ස්වරූපයක් ගනී. එය ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයකි. ප්‍රජාතන්ත්‍රවාදයේ අඩිතාලම වනුයේ මිනිසාගේ විවිධ බව පිළිගැනීමයි. මිනිසුනට ඔවුන්ගේ තර්කාන්විත, සහේතුක බුද්ධිමය ශක්තිය පාවිච්චි කිරීමට හැකියාව තිබිය යුතුය. මනස පාලනය ක්‍රියා කරන්නේ මිනිසාගේ තාර්කික භාවය වෙනතක යොමුකර ඔහුගේ සිය කැමැත්ත ස්වතන්ත්‍රභාවය ඉවත් කිරීමෙනි. ස්වතන්ත්‍රභාවය නොමැතිවිට, මූලික මානුෂික නිදහස, එනම් අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහස, ආගමික නිදහසට ආදියට කිසිම තේරුමක් නොමැති වේ. පරීක්ෂාවෙන් නොසිටියහොත් අවසානයේදී මනස පාලනය මිනිසාගේ සියලු මූලික නිදහස විනාශකර ප්‍රජාතන්ත්‍රවාදය ද විනාශ කර දමනු ඇත. 


කල්ලියකට සම්බන්ධව සිටි (Ex-Cult) පුද්ගලයන්ගේ ලක්ෂණ සමාජයට වෛරසයක් ලෙස අනර්ථයක් කරයි. එනම් කල්ලි බලපෑම නිසා ඔවුන්ගේ විකෘති වූ ගති පැවතුම් නොදැනීම සමාජ ගත කරයි. විනාශකාරී කල්ලි ක්‍රියාකාරීත්වය නිසා ඇති කරන සමාජ විනාශය අධ්‍යයනයෙන් තොරවීම නිසා, එමගින් ඇති කරන මානසික සෞඛ්‍ය හා සමාජයීය ප්‍රශ්න නොසලකා අතපසු කර තිබීම විශාල පාඩුවකි. 


​ෙමය ලෝකයේම ව්‍යාප්ත වූ වසංගතයකි. මෙවැන්නන් අඳුනාගෙන නිවැරදි කර සමාජ ගත කළ යුතුය. අපට විශ්වාසයෙන් ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය කර ගැනීම අප සතුය. මේ සඳහා අප එකිනෙකාගේ දායකත්වය අනිවාර්යයෙන් දිය යුතුය. අපි එකිනෙකාට යහතින් ජීවත් විය හැක්කේ මුළු සමාජයම යහපත්නම් පමණි. 
කල්ලි උපක්‍රමශීලීව, වංචනිකව පුද්ගලයන් බඳවාගෙන මනස පාලනයෙන් රඳවා ගනී. යම් පුද්ගලෙයකුට හෝ කණ්ඩායමකට තම අවශ්‍යතාව සඳහා අනෙකාගේ මනස පාලනය කිරීම (Mind Control) යොදා ගනී නම්, එයට අසුවන පුද්ලයා නොදැනිම මුළා වී හොඳ දෙයක් අරමුණු කරමින් එයට අනුබල දෙයි. මෙහිදී ඔහුට නොදැනීම එම කණ්ඩායමේ ක්‍රියාකාරීත්වයට සහයෝගය දෙයි. මෙහිදී එම පුද්ගලයාගේ සිතැඟියාවට නොව ඔහුට නොදැනුම්වත්වම, වංචනික ලෙස ඔහුගේ කාලයත්, ශ්‍රමයත්, සේසතත් (ඔහුගේ ආත්මය) සූරා කෑම සිදු කරයි. මෙහිදී පුද්ගලයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් සියල්ලම වනසා දමයි. කල්ලි දිනෙන් දින බලයෙන් හා ධනයෙන් වැඩෙන අතර අනුගාමිකයන් දිනෙන් දින විනාශයට පත්වෙති. 


කල්ලි මගින් මිනිස් වර්ගයාට හා සමාජයට ඇතිකරන අනර්ථයෙන් ආරක්ෂාවීමට හා විනාශය අඩුකර ගැනීමට සමහර ලාභ නොලබන ආයතන (Non Profit Organizations - Cultwatch.com. Factnet.org) මේ සඳහා දැනුම ලබා දෙයි. 


කල්ලි ප්‍රශ්නයෙන් බේරීමට ඇති හොඳම ක්‍රමය වන්නේ අධ්‍යාපනයයි. (මනස පාලනය ගැන හා කල්ලි ගැන වේලාසනින් දැනුම්වත්වීම) හා ඒවාට අසු වීමෙන් වැළකීමයි. එබැවින් අද පටන් අප ලංකාවේ සියලු දෙනාම කල්ලි ක්‍රියාකාරීත්වය ගැන හා ඒවායේ උපක්‍රම ගැන දැනුම්වත් විය යුතුයි. පාසල් දරුවන්ව දැනුම්වත් කළ යුතුයි. අද අන්තර්ජාලයේ පහසුකම් ඇති නිසා අප රටේ තරුණ බුද්ධිමත් උගත් දරුවන් මේවා ගැන හොඳින් ඉගෙනගෙන මුළු සමාජයම දැනුම්වත් කර තම තමන්ගේ වටපිටාව නිවැරදි කරන ක්‍රියාවලිය සිදු කළ යුතු වේ. කල්ලිවල ලක්ෂණ දැන ගත් විට අප අවට ඇති කල්ලි හඳුනා ගත හැක. 


වාසනාවකට මනස පාලනයේ සියලු විනාශකාරී බව විසිරුවා හැර තමා සම්බන්ධ වී සිටින විනාශකාරී ආයතනයෙන් හැර යාමට අධ්‍යාපනයේ මහඟු කර්තව්‍යයක් කරයි. ආචාර්ය මාග්‍රට් සිඟර් මහත්මිය කියන ආකාරයට 90 % ක්ම කල්ලි සාමාජිකයන්ට ටික දිනක් කණ්ඩායමෙන් එළියට ගෙන, එනම් වෙනම භූගෝලීය වෙනසක් වූ ස්ථානයකට රැගෙන ගොස් මනස පාලනය ගැන හා කල්ලි ක්‍රියාකාරීත්වය පිළිබඳ අධ්‍යාපනය දීමෙන්, කල්ලියෙන් එළියට ගිය අය සමඟ කතා කිරීමට සැලසීමෙන්, කල්ලියෙන් වූ මිනිස් ඝාතන, දූෂණ චෝදනා ගැන අවබෝධය ලබා දී කල්ලිවල භයානක බව උගන්වා ඒවායේ විනාශකාරී ලක්ෂණ පරීක්ෂා කිරීමට හා සැසඳීමට අවස්ථාව දුන්විට ඔවුන් එයින් නිදහස් වේ. 


ආචාර්ය මාග්‍රට් මහත්මිය විසින් විනාශකාරීව මනස පාලනය කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරී​ෙම් වරදක් ලෙසින් ඇමෙරිකානු ව්‍යවස්ථාවට ද ඇතුළත් කර ඇත. මේවා ගැන සවිස්තරව ඇගේ ලිපිවල ඇත. (නීතිය ඉගෙන ගන්නා දරුවන්ට මෙය වටිනා පර්​ෙ‌ය්ෂණ ක්ෂේත්‍රයකි.) කල්ලි නීතියේ රැහැනට අල්ලා ගත හැක්කේ ඔවුන් කරන නීති විරෝධී වැඩ වලිනි. 


මනෝ වෛද්‍යවරුන් උපදේශකවරුන් පිළියම් කරන්නේ ස්වභාවික තත්ත්වයේ අැති ලෙඩුනටය. නමුත් කල්ලිවල ක්‍රීයාකාරීත්වය මිනිසා විසින් වංචනිකව ඇති කරන තත්ත්වයක් නිසා කල්ලි ක්‍රියාකාරිත්වය ගැන ඔවුන් අධ්‍යයනය කළහොත් ඔවුනට ඉමහත් සේවයක් සමාජයට කළ හැක. 


කල්ලියකට අසුවූ පුද්ගලයෙකු මහත් මානසික පීඩනවලට පත් කරන බැවින් ඔහුගේ පෞරුෂය දෙකඩවී ඇත. කොටසක් කල්ලි නායකයාගේ ගති ගුණ ඇති නපුරු ආත්මය ද (Clone) කොටසක් නියම පුද්ගලයාගේ ස්වභාවික ලස්සන ආත්මය ද වේ. නියම පුද්ගලයාගේ ස්වභාවික ලස්සන ආත්මය (Authentic Self) යටපත් කර කල්ලි ආත්මය (Cult Self) බලගතු වීමට පුද්ගලයාට කල්ලිය පිළි නොගන්නා අයවලුන් සියලුදෙනා ගැන බිය ගන්වන දේවල් කියා, වීඩියෝ දර්ශන පෙන්වා කල්ලියෙන් පිට අයගෙන් ඈත්වීම සිදු කරයි. තවද ඔවුනට ඉහළ මානසික තත්ත්වයක් ඇති බව ද පිට අය නුවණින් අඩු පව්කාර නොපෙ​ෙනන බලවේගවලින් හසුරන දුර්වල අය බව ද ඔවුනට පවසයි. තවද මනස පාලනය ද මෝහන බලපෑම ද නිසා අනුගාමිකයෝ නායකයාගේ බස හිස් මුදුනින් පිළිගනිති. 


කල්ලියේ ඉගැන්වීම් නිවැරදි නොවේ කියන සැම දෙනාම ඔවුන් ප්‍රතික්ෂේප කරයි. ඔවුහු ඒවා විවෘතව සාකච්ඡා නොකරති. කල්ලිය ඔවුනට සතුටෙන් ක්‍රියාශීලීව සිටීමට උපදෙස් දෙයි. ඔවුනට හැඟීම් දැනීම් පෙන්වීම තහනම්ය. ඔවුන් ඉතා තද නීති පද්ධතියකට පත්කර ඇත. 


කල්ලිවලින් සාමාජිකයින් බේරා ගැනීමට අත්දැකීම් ඇති කල්ලි විශේෂඥයින් ලොව පුරා ඇත. Institute of Cultic Studies, Freedomofmind.com Youtube (How Cult Work (Must See) How Cult Work) ආදිය මෙයට විස්තර සපයයි. කල්ලිවලින් එළියට පැමිණි පුද්ගලයින් මනස පාලනය ගැන ඉගෙන ගෙන මනෝ විද්‍යාව, උපදේශනය ඉගෙන ගෙන Cult Expert & Counseling රැකියාවට යොමු වේ. මෙය අප රටේ අලුත් රැකියා ක්ෂේත්‍රයකට මඟ පාදයි. කල්ලි අධ්‍යයනයට සුදුසු පාඨමාලා පිට රට විශ්ව විද්‍යාලවල ඇත. උදා - කැලිෆෝනියා විශ්වවිද්‍යාලය. 
දූෂිත පද්ධතිය. 

 

 

 


නායකයා (Narcissist) 


පළමු පෙළ නායකයෝ (Narcissists/ Dsvchooaths/ Sociooaths) දෙවනපෙළ නායකයෝ Narcissists Psycsooaths / Sociooaths අනුගාමිකයෝ 


දූෂිත පද්ධතියක් ඉහත ආකාර ගනී. අනුගාමිකයෝ ඉතා තද නීති පද්ධතියකට යොමු කර ඇත. සන්නිවේදනය එක අතකට පමණි. ඉහළ තලවල අයට පහළ තලවල අය සඳහා තීන්දු තීරණ ගනී. සත්‍ය තලයෙන් තලයටත් පළමු හා දෙවන පෙළ නායකයන්ගෙන් නායකයාටත් වෙනස් වේ. අනුගාමිකයන්ට සිදු වන්නේ අණ පිළිපැදීම පමණි. ප්‍රශ්න කිරීම තහනම්ය. පාපොච්චාරණය කිරීමට ඇති නිසා අනුගාමිකයන්ගේ රහස් ඉහළ අය දැන ගනී. බොරුවෙන් වංචාවෙන් බියපත් කිරීමෙන් අනුගාමිකයන්ව පාලනය කරයි.

අනුගාමිකයන්ට ඔත්තු බැලීමට උනන්දු කරයි. පළමු හා දෙවන පෙළ නායකයන්ට විවිධ කණ්ඩායම් (විවිධ ආගමික, දේශපාලනික, වෙළෙඳ ආදී) පාලනය කිරීමට පවරා තිබිය හැක. එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම අතර රහස් ඇත. නායකයාට රිසි පරිදි විවිධ අනුගාමිකයන් කණ්ඩායම්වලට එක් එක් ක්‍රියාකාරකම් කිරීමට කෙළින්ම අණ දිය හැක. (ඉහත රූප සටහන ආධාරයෙන් මෙය කල්පනා කරන්න.) මෙම විනාශකාරී ප්‍රශ්නයෙන් අප සියලුදෙනා ​ෙවළාගෙන ඇති බව ඔබට නො​ෙපනේද? 


දරුවන්ගේ ආත්ම විශ්වාසය, ආත්ම ගෞරවය, ආත්ම අභිමානය අවංක භාවය හොඳින් වැඩී තිබීමෙන් අන් මතවාදවලට හරවා ගැනීම අපහසුය. තවද විමසීමේ ගුණය ප්‍රගුණ කර තිබීම වැදගත් වේ. නිවැරදි කිරීමේ අදහසින් කල්ලි සාමාජිකයා සමඟ කතා කිරීමේදී නායකායටත්, ඉගැන්විමටත්, ආයතනයටත් චෝදනා නොකරන්න. එසේ වුවොත් ඔවුන් වියරු වේ. තමන්ට වැරදුණු බව තේරුණ කෙනෙකුට සම්මා සතියෙන් තම සිතට එන ඝෘණ සිතුවිලි හඳුනාගෙන ඒවා නිවැරදි කර ගත හැක. 


කල්ලි විසින් යොදන උපක්‍රම 


සාංකාව හා ආතතිය (Anxiety And Stress) ඇති කරවයි. 


මානසික බලපෑම් ඇති කිරීමට පහත උපක්‍රම යොදයි. 


1. යෝජනා කිරීම් ක්‍රමයෙන් වැඩි කරයි. (Increase Suggestibility) ශ්‍රව්‍ය, දෘශ්‍ය හා වාචික ව්‍යායාම් කිරීමට දිගු කාලීන පුනරාවර්ත කටයුතු නින්ද සීමා කිරීම, පෝෂණය සීමා කිරීම ආදිය කරමින් පුද්ගලයා අඩු වයසකට ගෙනෙයි. 


2. පුද්ගලයාගේ සමාජයීය පරිසරය, කාලය, ඔහුට ඇති සමාජ සහයෝග පාලනය කරයි. 


3. තම මතයට විරුද්ධ තොරතුරු සහමුලින්ම තහනම් කරයි. 


4. පුද්ගලයාගේ අතීත සිදුවීම් ඉතා වැදගත් අවස්ථා අත්දැකීම් පෞරුෂය නැවත අගයා ඒවා සෘණව දැක්මට සලස්වයි. 


5. ඔහුව දුර්වල පුද්ගලයකු කරයි. දැඩි නීති නිරන්තර ක්‍ර්‍රියාකාරකම් හා පුද්ගලයින්ට යටත් කිරීමෙන් ඔහුගේ විනිශ්චය හා ආත්ම විශ්වාසය යටත් කරයි. 


6. ප්‍රබලව හැඟීම් අවුස්සා කලකිරීමට පත් කරයි. බරපතළ තීන්දු අහිමිවීමේ වරප්‍රසාද සමාජ හුදෙකලාව සමාජ තත්ත්වය වෙනස් කිරීම, දැඩි අපරාධයක් සාංකාව අවපීඩනය සහ අනෙකුත් ක්‍රම යොදා මානසික දඬුවම් දීම සිදු කරයි. 


7. පුද්ගලයාව බිය ගැන්වීම, කණ්ඩායමේ බලය යොදා ලෞකික සම්බාධක මානසික තර්ජන ආදිය මගින් මෙය සිදු කරයි. 


කල්ලියක විශේෂ ලක්ෂණ (Cultwatch.com) 


1. බොරු කීම (Deception) 


2. අපි පමණයි නිවැරදි (Exclusiveness) 


3. චරිත ඝාතනය (සත්‍යවශයෙන්ම කල්ලියක ලක්ෂණයකි.) (Character Assassination) 


4. ක්ෂණික මිතුරන් (Instant Friends, Love Bombing) 


5. සම්බන්ධතා පාලනය (Relationship Control) 


6. තොරතුරු පාලනය (Information Control) 


7. අනුගාමිකයෙකුගේ රහසිගත තොරතුරක් නායකයාට දැන්වූයේ නම් එය විශේෂයෙන්ම කල්ලියකි. (Reporting Structure) 


8. නායකයා දැන ගනීවි යැයි බියෙන් කල්ලි සාමාජිකයා තමාගේ නියම තත්ත්වය නොපෙන්වයි. 


(ආරූඪ චරිතයකින් ජීවත් වේ.) 


9. කෙළවරක් නැති සැසි. (කාලය පාලනය කිරීම) (Hyped Meetings) 


10. B.I.T.E. (පාලනය කරයි.) 


(නුහුරු ඉංග්‍රීසි වචනවල තේරුම්, විස්තරාත්මකව අන්තර්ජලයෙන් බලා ගන්න.) 


(Sagarin 1977) සමාජ ම​ෙනා් විද්‍යාඥයා කල්ලි සාමාජිකයෙකුගේ පවුලේ අයට හා මිතුරන්ට දැකිය හැකි ලක්ෂණ 9 ක් සොයා දක්වා ඇත. 


1. පෞරුෂය වෙනස් වීම. 


2. පුදුමාකාර ලෙස වටිනාකම් (Values) හා විශ්වාස වෙනස්වීම. 


3. ආහාර හා නින්දේ රටාව වෙනස්වීම. 


4. පවුලේ කටයුතුවලට සහභාගිවීම ප්‍රතික්ෂේප කිරීම (මඟුල් හා මළ ගෙවල්) 


5. කල්ලි නායකයා හා එහි ගුරුවරයෙකුගේ උපදෙස් නැතිව තීරණ ගැනීමට නොහැකි විම. 


6. සියලුදේ විස්තර කිරීමට අලුත් දෘෂ්ඨිවාද යොදා ගැනීම. 


7. සුදු හා කළු තර්ක කිරීම. (Black and White Thinking / Arguments) 


8. අලුත් වචන මාලාව. 


9. ඔහු හෝ ඇය කරන දේ කිරීමට ඔබට බල කිරීම. 

 


ඉහත දක්වා ඇති දේ ගලපා ඕනෑම කණ්ඩායමක් කල්ලියක් ද නැද්ද කියා විද්‍යාත්මකව ඔප්පු කළ හැක. 

 

 

​ෙමාරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ ජ්‍යෙෂ්‍ඨ කථිකාචාරිනී 
පී.එස්. යටපාන