මේක මත්පැන් පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි : කාන්තාවන්ගේ සම අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්


කාන්තාවන්ට මත්පැන් තහනම ලිහිල් කළ ගැසට්ටුව ඉල්ලා උසාවි ගිය සමනලී ​ෙෆාන්සේකා කියන කතාව

කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම, එවැනි ආයතනවල සේවය කිරීම තහනම් කිරීම පිළිබඳ පසුගිය සතියේ වැඩි අවධානයක් යොමු වුණා.   


ඒ බව දැනගන්නේ මේ සම්බන්ධව නිකුත් වූ ගැසට් නිවේදනයක් හා එය අවලංගු කිරීම පිළිබඳ නැඟුණ විවිධ මතවාද අනුවයි.   


මේ පිළිබඳව කාන්තාවන්ගේ අවධානය යොමු වුණෙත් ඊට පසුවයි. කාන්තාවන්ට සම අයිතිය රැක ගැනීම සඳහා කාන්තාවන් කිහිපදෙනකු ඊට එරෙහිව අධිකරණය හමුවට ගියා. එහි මූලිකත්වය ගෙන ක්‍රියා කළ පිරිස අතර සිනමා නිළි සමනලී ​ෙෆාන්සේකා ඉදිරියෙන්ම සිටිනවා. ඒ නිසාම අපි ඇයගෙන් ඒ පිළිබඳ විමසීමක් කළා.


 සමනලී ​ෙෆාන්සේකා කියන්නෙ තරුණ පරපුරේ නමක් දිනාගත්ත රංගන ශිල්පිනියක්. ඉතින් ඇයි මේ වගේ දේකට කතා කරන්න හිතුවෙ?   


මම දන්නෙ නෑ මම නමක් හද‌ාගෙන ඉන්න රංගන ශිල්පිනියක් කියලා කියන්නෙ කොයි පදනමින් ද කියන එක. නමක් හද‌ාගන්නවා කියන පදනම නෙමෙයි, අපි ඕනෑම ක්ෂේත්‍රයක වැඩ කරන්න ඕනෑ. ඒ වැඩ කරනකොට වැඩ ගැන කතා කරනවා මිසක් එතැනින් එහාට මගෙ ගැන කතා කරන දේ මට වැඩක් නෑ. ඒකත් එක්ක සමාජය හිතන විදියෙ සුචරිතවාදී චරිතයක් වෙන්නත් මට අවශ්‍ය නෑ. මට මගෙ හිතට එකඟව අවංකව ජීවත්වීමේ පදනමක් තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නෙදි ඒ ගැන කතා කරන එක මට නම නැතිවීම පිළිබඳ ගැටලුවක් නෑ.   


තරුණ පරපුර මේ දේවල්වලට ඇබ්බැහි වුණොත් එහි වගකීම ඔබලාටත් දරන්න වෙනවා නේද?

   
මෙහිදී පළමුවෙන්ම කියන්න ඕනෑ මේ මත්පැන් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙනවා මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ ආගම, ජාතිය, ස්ත්‍රී, පුරුෂ සමාජභාවය අනුව කාටවත් වෙනස්කොට සලකන්න බෑ කියලා. හැමෝටම සමානාත්මතාවයෙන් සැලකිය යුතුයි කියලා නීතියක් තියෙනවා.   


එතකොට මම කාන්තාවක් වීම නිසාම මේ නීතියෙන් කාන්තාවට අසමානතාවක් සිද්ධ වෙනවා නම් ඒ පිළිබඳ තමයි අපි කතා කරලා තියෙන්නෙ. මේ මොහොතේ මේ සිදුවීම උඩට ආපු ප්‍රශ්නයක් නිසා මේ ගැන කතා කළේ.

මෙවැනි ප්‍රශ්න තවත් අැති. විශේෂයෙන්ම සමාජය ඉදිරියේ සංස්කෘතිය, සමාජය හා වෙනත් ආගම් ඒවා ඉදිරියේ සමාජයේ එල්බගෙන ඉන්න විවිධ මතවාදයන් ඇතුළෙ ස්ත්‍රියට නොසලකා හැරීම් ස්ත්‍රියට අසමතුලිතව සැලකීම් සහ අඩුකොට සැලකීම් සිද්ධවෙනවා. ඒක වෙනම කතන්දරයක්. මේ සිදුවීම මුළු රටේ නීතිය ඉදිරියේ වුණු දෙයක්. ඒක එහෙම වෙන්නෙ කොහොම ද?   


නීතිය තුළත් මෙවැනි දේවල් සිදුවෙනවා නම් ගැහැනියට එහි ලොකු අසාධාරණයක් තියෙනවා. ඒ ගැන මෙතැනදි කතා කරන්නෙ. එහෙම නැතිව ළමයි මේ දේට ඇබ්බැහි වෙනව ද? බීලා කානුවක් ඇතුළෙ වැටිලා ඉන්න ​ඕනැ ද? බීගෙන දඟලන්න ඕනැ ද? එවැනි ගැටලු නෙමෙයි මේ. කාන්තාවන්ට මේ වගේ නීතියක් තියෙනවා නම් ඒවා පිරිමින්ටත් තියෙන්න ඕනෑ. පිරිමින්ට අමුතු නීතියකුයි කාන්තාවන්ට වෙනම නීතියකුයි තියෙන්න බෑ කියන තැන මම ඉන්නෙ.   


1951 දී ඔලිවර් ගුණතිලක ස්වදේශ කටයුතු ඇමැති කාලෙ කාන්තාවන්ට මත්ද්‍රව්‍ය විකිණීම, මිලදී ගැනීම, අලෙවි කිරීම තහනම් කරලා තිබුණා. එහෙම තියෙද්දිත් මේ දේවල් වෙනස් කරන්න කියන්නෙ ඇයි?  


ඇයි කාන්තාවන්ට විතරක් ඒ දේ කරලා තියෙන්නෙ.


අපේ රටේ සාම්ප්‍රදායික බවක් තියෙනවා නේද?


අන්න ඒක තමයි ප්‍රශ්නෙ. ඒක ඇයි කාන්තාව විතරක් රකින්න ඕනෑ. සංස්කෘතිය සදාචාරය කියන දේවල් කාන්තාවගෙ පිටේ පමණක් පැටවෙන්නෙ ඇයි? ඒ වගෙ වගකීම පිරිමින්ටත් වෙන් කරන්න පුළුවන්​ෙන්.   


මේ දේවල්වලින් ඉදිරියට පවුල් ප්‍රශ්න ඇති වුණොත්?   


මම අහන්නෙත් ඒක තමයි. මේ සඳහා චින්තනයෙ වෙනසක් තමයි අවශ්‍ය වෙන්නෙ. එහෙම නැතිව මේ හැමෝම කතා කරන දේනෙ. ඔළුවෙ ඇතුළෙ චින්තනයෙ වෙනසක් ඇති කරන්න ඕනෑ. නැත්නම් ගැහැනියට පමණක් නොවෙයි ගැහැනිය තලා පෙළා දැමීමෙන් ගැහැනිය පිට සද‌ාචාරය පැටවීමෙන් පමණක් නෙවෙයි පවුල් ප්‍රශ්න ඇතිවෙන්නෙ.   


මේ ආසියාතික රටක් නේද?   


මේ බටහිර - ආසියාතික ප්‍රශ්නයක් නෙමෙයි. මේ මානව සංහතිය පිළිබඳ ප්‍රශ්නයක්. පුරවැසියන් පිළිබඳ ප්‍රශ්නයක්. මේ චින්තනය වෙනස් කරන්න ඕනෑ කියන දේ තමයි මම කියන්නෙ. 

 
ජනාධිපතිතුමා මතට තිත තියන්න ඕනෑ කියලා කියද්දි මේ විදිහෙ දේවල් කරන්නෙ එතුමාට එරෙහි වීමට ද? නැත්නම් යම් කෙනෙක්ගෙ පෙළඹවීමකට ද?  


එහෙම කිසි පෙලඹවීමක් නෑ. මතට තිත තියන්න. ඒක ප්‍රශ්නයක් නෑ. එහෙනම් පිරිමින්ටත් ඒක තියෙන්න ඕනෑ. මතට තිත තියන එක හොඳයි. මත්පැන් අලෙවිය ලංකාවෙ නවත්තන්න. තියන්නම එපා. ඒවටත් තව කතිකාවන්, සාකච්ඡාවන් තියෙයි. ඒත් ඒ දේ කරනව නම් පිරිමින්ටත් ඒක තියෙන්න ඕනෑ. මොකද කාන්තාවන්ගෙ අයිතිය, නිදහස, අස්ථනය, අවකාශය කියන එක තීරණය කරන්න පිරිමියාට බෑ. පිරිමියාගෙ නීතියට බෑ. ඒක කාන්තාවන්ගෙ අයිතිවාසිකමක්. මොකද පිරිමින්ට තියෙන අයිතිවාසිකම් අපිට නැතිවෙන්න බෑ. මේ දේ ඇවිල්ලා සංකේතයක් වගේ. මේ සංකේතාත්මක වැඩ වර්ජනයක් වගේ දෙයක්. මේ මත්පැන් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මේ මොහොතේ කතිකාවක් ඇතිවිය යුතු ගැඹුරු ගැටලුවක්. මිනිසුන්ගෙ ඔළුව පෑදෙන්න ඕනෑ මෙහෙම දෙයක් වෙමින් පවතිනවා කියලා. අපි වෙනුවෙන් තීරණ ගන්න ගැහැනිය වෙනුවෙන් තීරණ ගන්න පිරිමියාට බෑ කියන දේ. මෙච්චර කල් වුණෙත් ඒ දේනෙ. නීතිය එක හා සමානයි හැමෝටම. නීතිය ඉදිරියේ හැමෝම යටහත්. ඒක තමයි හරි දේ. ඉතින් ඇයි ගැහැනියට විතරක් වෙන්කොට සලකන්නෙ.  

 

 

 

 

 

 


ධනු විජේරත්න