මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මුළුගැන්වෙන මෙරට අවසන් රහතන් වහන්සේ වැඩසිටි වට්ටාරම


 

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන කෑගල්ල වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරය ලංකාවේ අවසන් මහරහතන්වහන්සේ වන මලියදේව මහරහතන්වහන්සේ වැඩසිටි ස්ථානය වශයෙන් සැලකේ. කෑගල්ල - පොල්ගහවෙල මාර්ගයේ කිලෝමීටර් 7ක් පමණ ගමන් කළ විට වට්ටාරම රජමහා විහාරය හමුවේ.
 

 

මලියදේව යන නාමය නොයෙකුත් කතාවන් හා සම්බන්ධිතව “රසවාහිනී”, “සද්ධර්මාලංකාරය”, “විශුද්ධි මාර්ගය”, “මහා වංශය” ආදී ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන් වෙයි. එයින් සමහරෙක සඳහන් වන්නේ මලියදේව හිමියන් “කල්ලකගම”, “මණ්ඩලාරාමයෙහි” පර්යප්තිය උගනිමින් විදර්ශනා කොට රහත් වූ බවය. කල්ලකගම යනු වර්තමාන කෑගල්ල බවත්, මණ්ඩලාරාමය යනු කෑගල්ල පොල්ගහවෙල පාරේ පිහිටි වට්ටාරම බවත් අපවත් වී වදාළ පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් වැනි විද්වතුන්ගේ මතයයි.වට්ටාරම මලියදේව හිමියන් වැඩසිටියේ කවර කාලයක ද යන්න ස්ථිර නිගමනයකට බැසීමට අපහසු මූත් උන්වහන්සේගේ උත්පත්තිය පිළිබඳව එන කතා නම් කීපයකි. දෙවැනි පෑතිස් රජ දවස සංඝමිත්තා මෙහෙණින් ප්‍රමුඛ බෝධාහර අටසිටුකුල පරිවාර ජනයා ද සමග ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩම කළ බව ඉතිහාසයෙහි සඳහන් ප්‍රකට පුවතකි. එසේ පැමිණි සිටු කුමාරවරුන් රටේ එක් එක් දිසාවන්ට යවමින්, යොදුනින් යොදුනට සර්වඥධාතු තැන්පත්කොට දාගැබ් බැන්දවීමට රජු විසින් අණකරනු ලැබූ බව ජනප්‍රවාදයේ එයි. එසේ පැමිණි සිටුකුමාරයකුගෙන් පැවත එන පරපුරක අයෙක් වූ උඩපොල, බෝවලපිටියේ චම්පක බෝධිගුප්තදේව නම් අයකුට දියණිවරුන් දෙදෙනකු සහ එක් පුත්‍රයකු ද සිටියහ.

වට්ටාරම පැරණි විහාර මන්දිරය සහ බෝධීන්වහන්සේ.


මහාදේව නමැති මෙම පුතා ඇතුගල්පුර ආරාමයක පැවිදිව පසුව වට්ටාරමට පැමිණ භාවනා පුහුණු විය. මලියදේව හිමි නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි උන්වහන්සේ වට්ටාරමට නුදුරින් පිහිටි “හැලමඩ” නමැති ගමට නිතරම පිඬුසිගා වැඩම කරවීමට පුරුදුව සිටියහ. එම ගම මහලු උපාසිකා මාතාවක් මේ කුඩා හිමියන් කෙරෙහි මහත් ආදරයෙන් “පුතා” යනුවෙන් ආමන්ත්‍රණය කොට තුන් මසක් දිනපතා උන්වහන්සේට දන් පිළිගැන්වීම කරගෙන ගියාය. දන්පිළිගන්වන විට කුඩා හිමියන් පින්දෙනවා හැර වෙනත් වැඩි ධර්මයක් දේශනා කිරීමෙහි අපොහොසත් විය.


පසුව මලියදේව හිමියන් රහත්බවට පත් බව දැනගත් උන්වහන්සේගේ ගුරු හිමියන් විසින් ධර්ම දේශනාවක් පවත්වන ලෙසට ආරාධනාකර එයට දිනයක් හා වේලාවක් ද නියම කරන ලදී. මලියදේව හිමියන් ධර්ම දේශනා කිරීමට නොදන්නා කෙනකු වශයෙන් සලකා සිටි අවට ගම්වල උදවිය “අද ඔන්න මලියදේව හාමුදුරුවෝ බණ කියනවලු” යයි අවඥා සහගතව කියන්නට පටන්ගත් අතර “උඹේ පුතා ඔන්න අද බණ කියනවා අහන්න යන්නෙ නැද්ද?” යනුවෙන් ඉහත කී මහලු මාතාවට ද විහිලු කිරීමට පටන් ගත්හ.


නියම කරගත් වේලාවට ධර්මදේශනය ආරම්භ වූ අතර පැමිණ සිටි පිරිස පුදුමයට පත්කරමින් එදා මලියදේව හිමියෝ වටිනා ධර්මදේශනාවක් කළහ. එම ධර්මය ශ්‍රවණය කළ හැලමඩ උපාසිකාව මුලින්ම සෝවාන් ඵලයට පැමිණි අතර ඊට පසුව උන්වහන්සේ රටේ නොයෙකුත් තැන්වල සැරිසරමින් ධර්මදේශනා කරමින් බොහෝ දෙනකු සෝවාන් ඵලයට පැමිණ වූ බව කියති. එයට පසුව රටේ කොයිකවුරුත් උන්වහන්සේට “අපේ රහතන් වහන්සේ” යනුවෙන් ගෞරවයෙන් ඇමතීමට පුරුදු වූ බව ද කියනු ලැබේ.


උන්වහන්සේගේ සොහොයුරියන් දෙදෙනා නාරම්මල පාදෙණිය ගමේ සහ පොල්ගහවෙල දෙනගමුව ගමේ වාසය කළ බවත්, වට්ටාරම මලීමහපායෙහිදී අපවත් වූ මලියදේව මහරහතන් වහන්සේගේ සිරුර (දෙන) උන්වහන්සේගේ අධිෂ්ඨානය පරිදි තම සහෝදරියන් දෙදෙනාට දැක බලා ගැනීමට හැකිවන පරිදි පළමුව දෙනගමුවටත් දෙවනුව නාරම්මලටත් වැඩි බව කියනු ලැබේ. දෙන අහසින් වැඩ පාත් වූ ස්ථානය නිසා එය “දෙනගමුව” නමින් හැඳින්වෙන්නට වූ බව කියති. මලියදේව හිමියන්ගේ දෙන පාත් වූ බව කියන ගල් ආසනය අදත් දෙනගමුව බෝධිගුප්ත පිරිවෙන් විහාරස්ථානයේදී දැකගත හැකිය.

 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කෙරෙන පැරණි පොත්ගුල.

 


මලියදේව රහතන් වහන්සේගේ දෙන නාරම්මල රජමහා විහාරස්ථානයේදී ආදාහනය කළ බව කියති. මලය රටෙහි උපන් උන්වහන්සේ “මහාදේව” නමින් හැඳින්වී පසුව “මලියදේව” නමින් හැඳින් වූ බව ද කියනු ලැබේ. මේ අනුව මලියදේව හිමියන් දඹදිව සිට මෙහි පැමිණි කෙනකු නොව මෙහිම උපන් කෙනකු බව පෙනී යයි. මුලින් සඳහන් කළ රන් පිළිම සතර උන්වහන්සේ සෘධියෙන් ගොස් දඹදිවින් රැගෙන එන්නට ඇති බව ද මේ කතාව අනුව සිතිය හැක. බුදුන්වහන්සේගේ සිරුර දැමූ සෑයට රජුන් පිදූ ඔටුණු උණු වී සෑයේ සතර කොණින් මේ රන් පිළිම සතර පැන නැගුණු බව කියන අතර වට්ටාරමත්, කොත්මලේ පුසුල්පිටිය විහාරයේත්, මාදන්වල විහාරයේ සහ මොරපාය විහාරයේත් මෙම රන් පිළිම සතර තැන්පත්ව තිබේ. 


මලියදේව මහරහතන් වහන්සේ වැඩසිටි බව කියන මලීමහපායේ නටබුන් ද දඹදිවින් ගෙනෙන ලද දඹරන් පිළිමය ද අදත් මෙම විහාරස්ථානයෙහිදී දැක ගැනීමට හැකි අතර දෙතිස් මහා ඵලරුහ බෝධිය මෑතකදී කඩා වැටීම නිසා එම ස්ථානයෙහි අලුතින් රෝපණය කළ ශ්‍රී මහා බෝධි අංකුරයක් ද දැක ගැනීමට ඇත. එසේම මෑතකදී කරන ලද පුරාවිද්‍යා කැනීම්වලදී සොයාගත් විශාල ප්‍රමාණයේ ගල් පහණක්, කැටයම් කළ ගල් උලුවහු කීපයක් ආදී නටබුන් ද විහාර භූමියේදී දැක ගතහැකිය. 2015 වසරේදී පමණ කරන ලද කැනීම්වලදී විහාරස්ථානයට තරමක් දුරින් පිහිටි විහාරස්ථානය සතු භූමියක තිබී පැරණි චෛත්‍යයක නටබුන් ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මතුකරගෙන ඇත.

රුපියල් මිලියන 38ක වියදමින් අලුතින් ඉදිකරන සුවිසල් ධර්මශාලාව.

 


මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මෙම විහාරස්ථානය ආශ්‍රිතව පැවැත්වෙන හෙයින් අලුතින් තවත් අංශ රාශියකින් මෙම විහාරස්ථානය සංවර්ධනය කිරීමට රජය මගින් පියවර ගෙන තිබේ. ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නේ විහාර භූමියෙහි රුපියල් මිලියන 38ක වියදමින් ඉදිකරන විශාල ධර්මශාලාවයි. ජනාධිපති සහ අගමැති ඇතුළු රාජ්‍ය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් මැයි 10 දා රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන්නේ මෙම නව ධර්ම ශාලාවේදීය. 


රාජ්‍ය වෙසක් උත්සවයේ සංවිධාන කටයුතු සඳහා වට්ටාරම විහාරාධිකාරී වෑවල සමිත හිමියන් සමග විහාරස්ථ දායක සභාවේ සභාපති ඩබ්ලිව්. ආර්. චන්ද්‍රදාස, ලේකම් සිසිර ජයසිංහ යන මහත්වරු ප්‍රමුඛ දායක සභාව ද විශේෂ අනුග්‍රහයක් දක්වති.


බුද්ධශාසන ඇමැති විජයදාස රාජපක්ෂ, නියෝජ්‍ය ඇමැති දුෂ්මන්ත මිත්‍රපාල, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය, ආයෝජන ප්‍රවර්ධන ඇමැති කබීර් හසීම් යන මහත්වරුන් ඇතුළු කෑගලු දිස්ත්‍රික්කයේ සියලු පාර්ලිමේන්තු හා පළාත් සභා මැති ඇමැතිවරුන්ගේ අධීක්ෂණය යටතේ රාජ්‍ය වෙසක් උත්සවයේ සියලු කටයුතු සිදුකෙරේ.

සටහන / ඡායාරූප
කෑගල්ල කරුණාරත්න අතුකෝරළ