මුහුදු දෙකක් යා කරන සූවස් ඇළේ නැව් යන්නේ මෙහෙමයි


 

 

  • මධ්‍යධරණී මුහුද හා රතු මුහුද යා කරමින් ඊජිප්තුව හරහා ඇළ හාරන්න පටන් ගත්තේ 1859 දී. 

 

කොරෝනා ජරමර මැද, පසුගිය දින කීපයේ ලොව සැමගේ අවධානය යොමුවූයේ සූවස් ඇළටය. සූවස් ඇළේ දින 6 ක් තිස්සේ සිරවී, මහත් ආන්දෝලනයක් ඇති කළේ එවර්ගිවන් නමැති භාණ්ඩ නැවය. කෙසේ නමුත් දැන් සිරවුණු එවර්ගිවන් නැව ඉවත් කර අවසන්ය. එවර්ගිවන් නැව නිසා සිරවුණු සෙසු නැව් ද ඒවායේ ගමනාන්ත බලා ගමන් ආරම්භ කර අවසන්ය.


අප්‍රිකා මහද්වීපය හා සෞදි අරාබියට මැදිව ඇති රතු මුහුදත්, තුර්කිය, ග්‍රීසිය, ඉතාලිය වටකරමින්, මධ්‍යධරණී මුහුද යා කරමින්, සැතපුම් 101ක් දිගට ගලායන, වසර 148ක ඉතිහාසයකට උරුමකම් කියන සූවස් ඇළ යනු මිනිසා අතින් නිර්මාණය වූ විශිෂ්ට නිර්මාණයකි. ඉන්ජිනේරු විස්කමකි.   


ක්‍රි.පූ. 13 වැනි සියවසේදීද ඊජිප්තුවේ නයිල් නදිය, මධ්‍යධරණී මුහුද හා රතු මුහුද සමග සම්බන්ධ කිරීමට අදහසක් පැවතිය ද, එම අදහස පසුව අත්හැර දමන ලදී. ඉතිහාස වාර්තා අනුව, සූවස් ඇළ ඉදිකිරීම සඳහා පළමු පියවර තැබුවේ ප්‍රංශ අධිරාජ්‍යයා වන නැපෝලියන් බොනපාර්ට් ය. නැපෝලියන් අධිරාජ්‍යයා ක්‍රි.ව. 1789 සහ 1799 යන කාලවකවානුවලදී ආක්‍රමණශීලී යුද ක්‍රියාමාර්ග මගින් යුරෝපයේ රටවල් ගණනාවක්ම අල්ලා ගත්තේය. නැපෝලියන් අධිරාජ්‍යයා, ඊජිප්තුවේදී යෙදුණු ගවේෂණයන් අතරතුරේ මධ්‍යධරණී මුහුද හා රතු මුහුද සමග සම්බන්ධ කරමින් ඇළ මාර්ගයක් කැපීමේ අදහස පහළ වී ඇත.   

 

 


නැපෝලියන්ගේ බලාපොරොත්තු වී ඇත්තේ සිය පාලනය යටතේ පවතින ඇළ මාර්ගය භාවිත කර බ්‍රිතාන්‍යයේ නාවික වෙළඳ කටයුතු සඳහා බලපෑම් කිරීමටය. ඇළ මාර්ගය භාවිතයට ගන්නේ නම් ඒ සඳහා බ්‍රිතාන්‍යයන්ගෙන් බදු අය කර ගැනීමටය. ක්‍රි.ව. 1804 දී ඇළ මාර්ගය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරිම සඳහා සූදානම් විය. එහෙත්, මධ්‍යධරණී මුහුද සහ රතු මුහුද අතර තිබෙන මුහුදු මට්ටම ගණනය කිරීමේ කාර්යයේදී සිදු වූ වැරදි ගණනය කිරීම් හේතුවෙන් ඉදිකිරීම් වහාම අත්හිටුවීමට නැපෝලියන්ට සිදු විය.   
යළි 1858 දී ප්‍රංශ ජාතික ඉංජිනේරුවරයෙකු වූ ෆර්ඩිනන් ද ලෙසෙප් සිය රාජ්‍යතාන්ත්‍රික සබඳතා උපයෝගී කරගනිමින් සූවස් ඇළ ඉදිකිරීමට, ඊජිප්තු රජයේ සහය සහ එකඟත්වය ලබා ගත්තේය. යුනිවර්සල් සූවස් ෂිප් කැනල් කොම්පැනි යන නමින් සූවස් ඇළ ඉදිකිරීම සහ පාලනය සඳහා ආයතනයක් පිහිටුවා ගැනීම ඒ අනුව සිදුවිය. මෙම ආයතනයට ඇළ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ඇරඹීමට හා වසර 99 ක කාලයක් මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට බලතල ලබාදෙන ලදී. ආරම්භයේදී එහි බහුතරයක්ම කොටස් හිමියන් ප්‍රංශයේ පෞද්ගලික ආයෝජකයෝ වූහ.   


ඒ අනුව, විවිධාකාරයේ අභියෝග සහ මැලේරියා ආදී උණ වසංගත මැද, 1859 සැප්තැම්බර් 25 වැනිදා සූවස් ඇළේ ඉදිකිරීම් කටයුතු ආරම්භ විය. ඉන් වසර 10කට පසුව එනම් 1869 නොවැම්බර් 17 වැනිදා සූවස් ඇළ ඉදිකිරීම් නිමවී නිල වශයෙන් විවෘත කරන ලදී. මේ සඳහා ඩොලර් මිලියන 100 ක වියදමක් දරා ඇතැයි පැවැසෙයි. පසුව, 1962 දී ඊජිප්තු රජය, යුනිවර්සල් සූවස් ෂිප් කැනල් කොම්පැනි ආයතනයට නියමිත අවසාන ගෙවීම ද කිරීමෙන් අනතුරුව සූවස් ඇළේ පරිපාලන කටයුතු ඊජිප්තු රජය සතු විය.   
1875 දී ආර්ථික වශයෙන් බංකොළොත් වීම සහ අධික ණය බර හේතු කොටගෙන ඊජිප්තු රජය විසින් සූවස් ඇළේ හිමිකාරීත්වය බ්‍රිතාන්‍ය වෙත පැවරීමට පියවර ගත්තේය. ජාත්‍යන්තර වශයෙන් ඇති කරගත් සම්මුතීන්වලට අනුව, 1888 වසරේදී ලෝකයේ සියලු රටවලට සූවස් ඇළ භාවිත කිරීමට හැකියාව ලබාදීම ලෝක ආර්ථිකයේ සුවිශේෂිතම අවස්ථාවක් විය. 

 
1936 වසරේදී බ්‍රිතාන්‍ය විසින් සූවස් ඇළේ පරිපාලන කටයුතු සඳහා සිය හමුදාව යෙදවීම හේතුවෙන් මතු ගැටුමක් නිර්මාණය විය. ඉන්පසු යළි ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වූයේ ඊශ්‍රායලය සම්බන්ධවීමෙනි. එම ගැටුම හේතුවෙන්, 1948 වසරේ දී සූවස් ඇළේ නාවික ගමනාගමන කටයුතු නවතා දැමීම ද සිදුවිය. 1954 දී ඊජිප්තු රජය, බ්‍රිතාන්‍යය සමග ඇති කරගත් ගිවිසුමකින් පසු සිය හමුදාව සූවස් ඇළ පාලන කටයුතුවලින් ඉවත් කරගැනීමට බ්‍රිතාන්‍ය පියවර ගත්තේය. ඒ අනුව 1956 වසරේ නොවැම්බර් මාසය වනවිට සූවස් ඇළ සම්බන්ධයෙන් තිබූ අර්බුදය නිමාවූ අතර යළිත් 1957 මාර්තු මාසයේදී සූවස් ඇළ නාවික කටයුතු සඳහා විවෘත විය. කෙසේ නමුත් 1960 හා 1970 යන දස වසර තුළ ඊජිප්තුව ඇතුළු අරාබිකරයේ රටවල් ඊශ්‍රායලය සමග ඇතිකරගත් යුද ගැටුම් හේතුවෙන් වරින් වර සූවස් ඇළේ මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට සිදු විය.   


අද වනවිට සූවස් ඇළේ පරිපාලන කටයුතු සිදුකෙරෙන්නේ සූවස් ඇළ පාලන අධිකාරිය මගිනි. සූවස් ඇළේ මුළු දිග ප්‍රමාණය සැතපුම් 101ක් (කි.මී. 163) පමණ වේ. පළල අඩි 984ක් හෙවත් මීටර් 300කි. ඇතැම් තැන්වල පළල මීටර් 200 ක් යැයි පැවැසෙයි. බටහිර ඉවුර හරහා ඇළට සමාන්තරව දිවයන දුම්රිය මාර්ගයක්ද පිහිටා ඇත. උසින් මීටර් 19ක් හා බරින් ටොන් 210,000ක් වන සීමාවේ පවතින නෞකාවන්ට සූවස් ඇළ භාවිත කිරීම සඳහා අවසර ලබාදෙන අතර, ඇළේ පළල සම්බන්ධයෙන් තිබෙන සීමා සහිත බව හේතුවෙන් එකවිට නැව් දෙකකට මාරු වීම අසීරුය. ඊට පිළියමක් වශයෙන් එක් ධාවන තීරුවක් සහ නැවතුම් ස්ථාන කිහිපයක් ඉදිකර තිබේ. නැව් ගමනාගමනයේදී ඇතිවන තරංග නිසා ඇළ දෙපස ඇති ඉවුරුවලට සිදුවන හානිය වැළැක්වීමට අඩු වේගයකින් යාත්‍රා කිරීමට නාවිකයන්ට උපදෙස් ලබාදීම නිරන්තරයෙන් සිදුවෙයි. නැවේ වර්ගය, ධාරිතාව අනුව අය කෙරෙන ගාස්තුව තීරණය වේ. සූවස් ඇළේ වාර්ෂික ආදායම මේ වනවිට ඩොලර් මිලියන 5000 ද ඉක්මවන බව පැවැසෙයි.   

 


සූවස් ඇළේ වැදගත්කම ගැන කතා කිරීමේදී ආසියාතික රටවල් හා යුරෝපා රටවල් සහ එක්සත් ජනපදය ආදී රටවල් අතර සිදුවන ආනයන අපනයන කටයුතු සඳහා යොදාගැනෙන නාවුක ප්‍රවාහනයේදී කිලෝමීටර් 8900ක දුරක් සහ දින දහයක කාලයක් ඉතිරි කරදීමට සමත්ව තිබෙන අතර අප්‍රිකාවේ සුබපැතුමේ තුඩුව වටා නාවික සැතපුම් 11300ක (කි.මී.20900ක) අධික දුරක් ගෙවමින් දින 24ක් වැනි කාලයකින් යුරෝපය වෙත ළඟාවීමට තිබූ අන්තරාදායක සහ නාවිකයන් වෙත අතිශය වෙහෙසකර මුහුදු ගමන, නාවික සැතපුම් 6400ක් හා දින 14කින් අඩු කරමින් වඩා ආරක්ෂාකාරී මෙන්ම ඵලදායී කිරීමට සමත්ව ඇත. අප්‍රිකාවේ සුබපැතුමේ තුඩුව වටා මුහුද ප්‍රචණ්ඩය. අනතුරු සහිතය. එපමණක් නොව, මෙම මුහුදු කලාපයේ සෝමාලි මුහුදු කොල්ලකරුවෝ ද ගැවසෙති. සූවස් ඇළ හරහා යුරෝපීය රටවලට භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී ඇති මුළු දුර ප්‍රමාණයෙන් 43%ක දුරක් ඉතිරි කරගත හැකි අතර ලෝකයේ සමස්ත නාවික ප්‍රවාහනයෙන් 10%ක දුර ප්‍රමාණයක් ආවරණය වෙයි. මධ්‍යධරණී මුහුද සහ රතු මුහුද එකම ජල මට්ටමක පැවතීම නිසා පැනමා ඇළ මෙන් මෙහි ජල අගුල් නොමැති අතර සාමාන්‍යයෙන් පැය 11-16 අතර කාලයක් තුළදී සුවස් ඇළ තරණය කිරීමට නැව්වලට හැකියාව තිබේ. සූවස් ඇළ හරහා සාමාන්‍යයෙන් දිනකට නැව් 50-60 අතර ප්‍රමාණයක් පමණ ගමන් කරන අතර එමගින් රැගෙන යන භාණ්ඩ ප්‍රමාණය සාමාන්‍යයෙන් දිනකට ටොන් මිලියන 3 ක් යැයි ද පැවැසෙයි.

 

 

ලුසිත ජයමාන්න
විකිපීඩියා ඇසුරිනි