මුලතිව් සටනේ අමතක නොවන මතකය


​රට වෙනුවෙන් අතපය දන්දුන් රණවිරුවෝ

 

විජිත් ඉපදුනේ දකුණේ ගාල්ලේ රත්ගම ග්‍රාමයේය. දේවපතිරාජ විදුහලෙන් සිප් සතර හැදෑරු ඔහුගේ පවුලේ ඔහු ඇතුළුව පිරිමි සහෝදරයන් පස් දෙනෙකි. සහෝදරියන් තිදෙනෙකි. පාසල් අධ්‍යාපනය නිමා කළ විජිත්ගේ ඊළඟ අරමුණ වූයේ රැකියාවක් සොයා ගැනීමය.   


දකුණෙහි තරුණයකු වූ නිසාම රට වෙනුවෙන් සේවයක් කරන්නට රට රකින විරුවකු වන්නට පුංචි සිහිනයක් ඔහුගේ හිත් අග නොතිබුණාම නොවේ. ඒ බව ඔහුගේ වැඩිමහලු සහෝදරයන්ගේත්, සහෝදරියන්​ගේත් කනේ තැබුව ද ඔවුන්ගෙන් විජිත්ට ලැබුණේ ධනාත්මක පිළිතුරක් නොවේ. කෙසේ වුවද ඔහු අවසානයේ ඔහුගේ හිතුවක්කාර තීරණය අබියස නතර වූයේය. ඒ රට රකින විරුවකු වන්නටය.   


ඒ අනුව 2007 සීදුවේ විශේෂ බළකා මූලස්ථානයට ඇතුළු වූ ඔහු අනුරාධපුර සාලියපුර කඳවුරේ මාස පහක් හා මාදුරු ඔය පුහුණු පාසලේ මාස තුනක පුහුණුව ලබා 4 වැනි විශේෂ බළකායේ ලාන්ස් කෝප්‍රල්වරයකු ලෙස 2008 වසරේ හා හා පුරා කියා වැලිඔය සටනට පණ දුන්නේය.   


සටන් බිම නුහුරු නුපුරුදු වුව ද නිල ඇඳුම ඇඳ ඔහුට හිමි ආයුධය අතට ගත් පසුව ඔහුගේ හිතට ගතට අමුතුම ශක්තියක් ආරෝපණය වූයේය.   
‘අවි පුහුණුව ලබන කාලයේ පුහුණුව තරමක් දුෂ්කර එකක් නිසා පුහුණුව අතරතුර හිටපු ගමන් සමහර යාළුවෝ පැනලා යනවා. මටත් එහෙම කිහිප වරක්ම පුහුණුව දාලා යන්න හිතුණත් මම ඒ තීරණය අමාරුවෙන් වෙනස්කර ගත්තා. නිවාඩු ගිය අවස්ථාවලත් රැකියාවට නොයා සැඟවෙන්න හිතුණත් අයියලත් බල කළා රැකියාවට යන්න’   


‘2008 වන විට යුද්ධයේ තීරණාත්මක තැනක අපි හිටියේ. මම මුලින්ම සම්බන්ධ වුණේ වැලිඔය සටන්වලට. විශේෂ බළකායේ 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් ත්‍රිවිධ හමුදාවන්ටම සහාය දෙන්න එළියට යවනවා. මුලින්ම සටනට බහිද්දී හිතේ පුංචි තිගැස්මක් බියක් තිබුණා. ඒත් හැම දේම දරාගෙන සටන ඇතුළේ හිටියා. මුලින්ම සටනට අදාළ සිතියමෙන් අපේ ගමන් මාර්ගය පැහැදිලි කළාම ඒ එක්කම අපට ඉලක්කයකුත් ලැබෙනවා. එකම ඉලක්කය වෙනුවෙන් සති දෙකක් පමණ වෙහෙසෙන වෙලාවල් තියෙනවා. ගොඩක් වෙලාවට දහවල් කාලයේ එළියට බහින අපි කැලෑබද මාර්ගවලින් සතුරා ලුහුබඳින්න තමයි උත්සාහ කරන්නේ.   


එහෙම කිලෝමීටරයක දුරක් යන්නත් සෑහෙන කාලයක් වැය වෙනවා. සතුරා විනාශ කරමින් අපේ ජීවිතත් ආරක්ෂා කරගෙන තුවාල ලබන අපේම සොයුරන් ආපහු රැගෙන එන එකත් සුළුපටු කටයුත්තක් නොවෙයි. එකට අපි එක්ක යුද වදින මිතුරන් අනතුරුවලට ලක් වුණාම දරා ගන්න බැරි දුකක් ඇති වෙනවා. එහෙම අනතුරකට ලක්වුණු කෙනෙක් සටන අතරම කරේ තබාගෙන ළඟම තියෙන යුනිට් එකට ගේන්න ඕනෙ.   


ඉන්පස්සෙ මුලතිව් සටන්වලටත් සම්බන්ධ වුණා. අර වගේම 8 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායම් තමයි නිතරම සටන් බිමට යන්නෙ. අපේ ටාගට් එක එනකම් සති ගණන් අවි අමෝරාගෙන බලන් ඉන්න වෙලාවල් තියෙනවා. එල්ටීටීඊ සතුරාත් ඒ වගේම අපිව විනාශ කරන්න ඒ වගේ බලන් ඉන්නවා. ඒක ​ලේසි පහසු කටයුත්තක් නොවෙයි.   


දවසක් සටනෙදි නිහඬව සතුරාව විනාශ කරන්න රැකගෙන ඉන්න වෙලාවක දරුණු විදියට කැස්සක් එන්න හදපු නිසා ඇඟේ ඔතාගෙන තිබුණු කළුපාට මීටරයක් පමණ දිග රෙදි කෑල්ල කටේ ඔබාගෙන ගිලගෙන හිටියා. කැස්ස නිසා සතුරාට මම ඉන්න ඉසව්ව හොයා ගන්න පුළුවන් වෙන නිසා.   
ඊළඟට මම මුහුණ දීපු දරුණුම සටන පුදුකුඩුඉරිප්පු සටනයි. අපිත් අපේ උපරිම ශක්තිය යොදලා ඒ සටනට පණ දුන්නා. ඉහළ නිලධාරීන් නිතරම අපේ මොරාල් එක වැටෙන්න නොදී සටන ඇතුළේ අපිව තියා ගත්තා. යහළුවො තුවාල වෙනකොට මරණ දකිනකොට සතුරා ගැන අපට එන්නෙ පුදුම කේන්තියක්. ඒ වෙලාවට අපට අමුතු ජීවයක් එනවා.   


එදත් අපි 8 දෙනාගෙ කණ්ඩායම 4 දෙනා 4 දෙනා දෙකට බෙදිලා දවස් දෙකක් විතර සටන අල්ලගෙන හිටියා. තුන්වැනි දවසෙ නයිට් මිෂන් එකක් තිබුණා. පාන්දර 4.30 පමණ වනවිට 50ක් 60ක් විතර ත්‍රස්තවාදීන් එක දිගටම අපට ප්‍රහාර එල්ල කළා. ඒ සටනේ දී අපේ විශේෂ බළකායෙ දෙන්නෙක් මැරුණා. එයාලව දාලා යන්නත් බෑ. සතුරා ලයින් එක කඩාගෙන ඇතුළට ආවොත් ඒකත් විශාල අවදානමක්.   

 


කොහොම වුණත් පාන්දර 5.00 විතර වෙද්දී අපි තුවාලකරුවො අරගෙන එනවා. නූල් වගෙ සටන් භූමිය පුරා ඇදලා තියෙන ට්‍රැෆික් එකක් මට පෑගුණා. එක පාරටම කකුල හිරිවැටුණා වගේ දැනුණා. ලේ ගලනවා. ඉතිරි වෙච්ච අපේ හය දෙනාගෙන් හතර දෙනෙක් මගේ ආසන්නයේ හිටියා. මාත් එක්ක ළඟින්ම දෙන්නෙක් හිටියා. මම අමාරුවෙන් බඩගාගෙන ඒ දෙන්නා ළඟට කිට්ටු කළා. වෙඩි වරුසාව නොනවත්වාම යනවා. ටිකකින් අපි තව කණ්ඩායම් දෙකක් එතැනට ගෙන්න ගත්තා.   


මම ඊළඟ මොහොතේ හිටියේ චොපර් එකේ. මගේ කකුලේ වේදනාව එන්න එන්නම වැඩිවෙමින් තිබුණා. ඒත් එක්කම මට සිහිය නැති වුණා. මට ආපහු සිහිය එද්දි මම හිටියෙ අනුරාධපුරේ. එතැනින් කොළඹ ගෙනාවා. කොළඹ මහ රෝහලේ දී කකුලට ශල්‍යකර්මයක් කරලා ඇණ හයි කළා. මාස තුන හතරක් රෝහලේ හිටියා.   


2011 වසරේ මම විවාහ වුණා. කොහොම වුණත් මට විශේෂ බළකායට යන්න තිබුණු ආසාව ඉෂ්ට කර ගැනීම ගැන මට ඇත්තටම සතුටුයි. රට වෙනුවෙන් මගේ කකුල දන් දුන්නට රට බේර ගන්න මට දායකවෙන්න පුළුවන් වෙච්ච එක ගැන මට තියෙන්නෙ ඊට වඩා සතුටක්. මගෙ දරුවො යුද්දෙ ගැන විස්තර අහනකොට මම පුදුම සතුටකින් ඒවා ගැන කතා කරන්නෙ.   


යුද්දෙ හිටපු මගේම සහෝදර සෙබළු හමුවෙලා අපේ අත්දැකීම් ගැන කතා කරද්දිත් හිතට පුදුම සතුටක් දැනෙනවා. ඒ වගේම මගේ ගෙවල් වට පිටාවෙත් හමුදාවේ කට්ටිය ඉන්නවා. ඔවුන් නිවාඩු ආවමත් අපි රට වෙනුවෙන් කරපු කැපවීම් ගැන කතා කරන්නෙ පුදුම සතුටකින්.  


නිකම්ම නිකම් සිවිල් පුද්ගලයෙක් විදියට සාමාන්‍ය රැකියාවක් කළා නම් අද සමාජයේ අපට මේ ලැබෙන පිළිගැනීම, ආදරය ලැබෙන්නේ නෑ නේද කියලා හිතනකොට රණවිරුවෙකුවීම ඇත්තටම මට නම් විශාල ආඩම්බරයක්. දැනට මම ප්‍රතිකාර ලබන රාගම රණවිරු සෙවණේ සේනා විධායකතුමාට මගේ හදපිරි ගෞරවය පිරිනැමෙනවා. එතුමා අපට උපරිමයෙන් සලකනවා. අපි ගැන සොයා බලනවා.   


විශේෂ ස්තුතිය: යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ, රාගම රණවිරු සෙවණේ සේනා විධායක බ්‍රිගේඩියර් තුෂාන් සේනාරත්න යන මහත්වරුන්ට  

 

සටහන: දුෂ්‍යන්ත කුමාර