මුතුරාජවෙල හෝටල් සංකීර්ණයෙන් පරිසරය වැනසේ ද?


ඇකේෂියා  වලින් තෙත්  බිම වැසී ඇති අයුරු

 

 

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තෙත්බිම් ලෙස ප්‍රකාශයට පත් කර ඇති තෙත් බිම් අතර මුතුරාජවෙල තෙත් බිම ප්‍රධානතම එකකි. හෙක්ටයාර් 3,068 ක බිමක් ආවරණය කෙරෙන මුතුරාජවෙල කොළඹට උතුරින් පිහිටා ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයට අයත්වේ.   


ඉහළ ජෛව විවිධත්වයකින් හා පාරිසරික වැදගත්කමකින් හෙබි මුතුරාජවෙල තෙත් බිම ඒකාබද්ධ වෙරළබඩ තෙත්බිම් පරිසරයක් සාදයි.   


1996 දී මුතුරාජවෙල උතුරු කොටසේ හෙක්ටයාර 1,777 ක භූමි ප්‍රදේශයක් තෙත්බිම් අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත්කොට ඇත. එවන් ආරක්ෂිත තත්ත්වයක් තිබියදීත් මේ වටිනා තෙත්බිම විවිධ පාර්ශ්වයන්ගෙන් දැඩි තර්ජනයකට ලක්ව තිබේ.   

 


මෙම තෙත්බිම තුළ අවට ප්‍රදේශ 1991 සිට නාගරික, නේවාසික, විනෝදාත්මක හා කාර්මික සංවර්ධනය සඳහා කලාපකරණයට ලක්කොට ඇති අතර සැබෑ විනාශය ආරම්භ වී ඇත්තේ එකී කලාපකරණයෙන් පසුව බව ආපසු හැරී බලද්දී පෙනී යයි.   


මේ වනවිටත් වාණිජ හා නේවාසික අරමුණු සඳහා වේගයෙන් ඉඩම් ගොඩකිරීම කරන බව එහි කළ සංචාරයේ දී පෙනී ගියේය. මේ මොහොත වනවිටත් කාර්මික හා ගෘහස්ථ අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් වගුරු බිමට මුදාහරින බවත් එයින් සිදුවන විනාශය අති මහත් බවත් පෙනී යයි.   
මේ වනවිට එහි අක්කර හයසීයක ඉදිවන හෝටල් සංකීර්ණයක් හා ගොල්ෆ් පිටියක් සඳහා පාරිසරික අගැයීම් වාර්තාවක් සකස් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය අවසර දී තිබේ.   


එම ව්‍යාපෘතිය පිළිබඳව පරිසරවේදීන් විරෝධය පළ කර ඇති අතර පරිසර අමාත්‍යවරයා ද එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිත ඉඩම් නිරීක්ෂණය කළ අතර කිසිදු නීති විරෝධී ව්‍යාපෘතියක් මුතුරාජවෙල තෙත් බිමෙහි ඉදිකිරීමට අවසර නොදෙන බව එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.   
මධ්‍යම පරිසර අධිකාරිය මෙසේ පරිසර අධ්‍යයන වාර්තාවක් සකස් කිරීමට මැල්වත් ප්‍රොපටි සමාගමට අවසර ලබා දුන්නේ අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදුකර මසක් ගෙවී ගිය තැනය.   
මධ්‍යම පරිසර අධිකාරිය එකී ලිපිය ඉකුත් 12 වැනිදා නිකුත් කරන ලද්දේ මේ සම්බන්ධව විරෝධතා නැති බවට රාජ්‍ය ආයතන 16 කින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම අධිකාරියට ලිඛිතව ඉකුත් 07 වැනිදා දැනුම් දීමෙන් පසුවය.   


කෙසේ වෙතත් එම ඉදිකිරීම් බිම නිරික්ෂණය කිරීමට ‘ලංකාදීප’යට ඉකුත් දා අවස්ථාව ලැබිණි.   
කටුනායක (ඊ 3) අධිවේගී මාර්ගයේ ජා-ඇල පිවිසුම ආසන්නයෙන් ආරම්භ වන එහි යෝජිත ඉදිකිරීම් බිම කෙරවලපිටිය දෙසට අක්කර 600 ක් දක්වා විහිදෙයි.   
එම භූමියට ඇතුළු වී කෙරවලපිටිය දෙසට ජා-ඇල ඇළ ඉවුර ඔස්සේ ඇවිද යද්දී පැරණි ඕලන්ද ඇළ හමුවේ. එම ඇළ ඉවුර ඔස්සේ ද කිලෝමීටරයක් තරම් දුර අප ඇවිද ගියෙමු. හාත්පස පෙනී ගියේ අතහැර දැමුණු නිවාසය. එමෙන්ම අතහැර දැමුණු ඌරු කොටු රාශියක් ද දැකිය හැකි විය. 

 
තවමත් මිනිසුන් පදිංචි නිවාස ද එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බිමෙහි ඇත. ඒවායෙහි පදිංචිකරුවන් කීවේ තම ඉඩම් මැල්වත්ත සමාගමෙන් මිල දී ගෙන ඇති නමුත් නව නිවාසවල පදිංචි වනතුරු තවත් කෙටි කාලයක් තමන් එහි ජීවත්වීමට අවසර ලබාගත් බවය.   
ජා-ඇල ඇළ ඉතා කළු පැහැති ජලය රැගෙන බැස යන අයුරු ද ඒවා පැරණි ඕලන්ද ඇළ ඔස්සේ ගලා බසින අයුරු ද දැකිය හැකි විය. එසේ ඇළෙහි ජලය කළු පැහැවන්නට හේතුව නාඳුනන බවුසර්කරුවන් විසින් මුතුරාජවෙලට ගෙනැවිත් ඇළට දමන කම්හල් අපදියර යැයි එහි වැසියෝ පැවැසූහ.   
එමෙන්ම කාලයක් තිස්සේ මුතුරාජවෙලට වැසිකිළි අපද්‍රව්‍ය සහිත ගලි බවුසර් ගෙනැවිත් හලන්නට පුරුදු වූ ගලි බවුසර්කරුවෝ සිටින බව අප කළ නිරික්ෂණයේ දී හෙළිවිය. මේ වනවිට ඇතුළුවීම තහනම් කරමින් මැල්වත්ත සමාගම විසින් දැන්වීම් දමා ඇති ප්‍රදේශයේ පවා මෙසේ ගලි බවුසර් ගෙනැවිත් හලතැයි එහි වැසියෝ පැවැසූහ.   


මේ හැරුණ විට එම භූමියේ නිරික්ෂණය කළ දේ අතර පොලිතින් මහා පරිමාණයෙන් ගෙනැවිත් සෝදන තැන් ද දැකිය හැකි වූ අතර ඒ ආසන්නයට යා නොහැකි වුවද ඈතින් සිට අපේ තොරතුරුකරුවන් පෙන්වා සිටියේ නීති විරෝධී මත්පැන් පෙරන ස්ථානයන් ය.   
අප ඇවිද ගිය ප්‍රදේශයේ පැවැතියේ ඇකේෂියා හා වෙල් ආත්තා ගස් ය. මුතුරාජවෙල පුරා මේ වනවිට පැතිර ඇත්තේ ඇකේෂියා හා වෙල් ආත්තා වන අතර කඩොලාන තිබුණේ මුහුද ආසන්න පරිසරයේ හා කළපුව ආසන්න පරිසරයේ පමණි. ඇකේෂියා ස්වභාවික පරිසරයට හානි කරන ආගන්තුක ශාකයක් බව ද කිව යුතුය.   


මෙම හෝටල් සංකිර්ණය හා ගොල්ෆ්පිටිය ගැන පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පවසා සිටියේ මෙම වටිනා පාරිසරික පද්ධතිය රකිනවා ද ව්‍යාපාරික අරමුණු සඳහා ලබාදෙනවා ද නැද්ද යන්න රජය තීරණය කළ යුතු බව ය.   
“කොළඹට ආසන්න ලොකුම තෙත් බිම මේක. ගම්පහ සහ කොළඹ උතුර ප්‍රදේශවල ගංවතුර පාලනයේ දී මුතුරාජවෙල ඉතා වටිනා ප්‍රදේශයක්. ජලය රඳන්නට තෙත් බිමක් අවශ්‍යයි. ඒවා ව්‍යාපාරවලට දීම වැරදියි. තෙත් බිම අයිති කුරුල්ලන්ටයි. 1991 දී හැදුණු මහ කොළඹ ආර්ථික සැලැස්මේ ආරක්ෂණ කලාපයි මේ ව්‍යාපාරයකට දෙන්න හදන්නේ.   
මැල්වත්ත සමාගමේ සභාපති අජිත් පණ්ඩිතරත්න මහතාගෙන් මේ පිළිබඳ කළ විමසීමේ දී ඔහු කියා සිටියේ මුතුරාජවෙල තෙත් බිමෙහි තමන්ට හිමි පෞද්ගලික ඉඩම්වල සංවර්ධන ව්‍යාපෘතියක් ඉදිකිරීමට තමන් සූදානම් බව සැබෑවක් බවය.   


එහි අක්කර 150 ක වනාන්තරයක්, වැව් දෙකක්, කළපුව ආසන්නයේ අක්කර විසිපහක සත්‍ය කඩොලාන සහිත කැලයක් සහ ඉලක්ක (Hole) 18ක ගොල්ෆ් පිටියක් සහිත හෝටල් සංකීර්ණයක් ද ඉදිකරන බව හෙතෙම කියා සිටියේය. එම අක්කර 150 ක කැලයේ අක්කර 125 ක් මිනිස් පහසින් තොරව තැබීමට බලාපොරොත්තු වන බවත් අනෙක් අක්කර විසිපහ සංචාරකයන්ට මිනිස් පහසින් තොර කැලය නැරඹීම සඳහා වෙන් කරන බවත් කී ඔහු වඳවීමේ තර්ජනයට ලක්වූ කුරුල්ලන්, සමනලුන් යළි ගෙන්වීම තම අරමුණ බවත් කීය.   


“ඇවිදින මංතීරු, විනෝද උයන් වගේම මේ ව්‍යාපෘතියේ අක්කර 60කට අධික ප්‍රමාණයක් වෙන් වන්නේ පාරවල්වලටයි. පරිසර හානි සිදුනොවෙන්න මේ ව්‍යාපෘතිය කරනවා. තෙත් බිම ගැන අධ්‍යයන මධ්‍යස්ථානයක් මේ ව්‍යාපෘතියට අයත්. නොමිලයේ සේවා ලබා ගත හැකි එතැන තෙත් බිම් ගැන දැනුම ලබාගන්න පර්යේෂණ කරන්න යොදා ගන්නා තැනක්. අපට පරිසර අගැයීම් වාර්තා සකස් කරන්න අවසර දුන්නේ රාජ්‍ය ආයතන 16ක් විසින්. ඒවාට අප මේ පොරොන්දු දීල තිබෙනවා. අපට බොරු කරන්න බැහැ.   
මේ වෙනකොට මේ වැඩේට විරුද්ධ අය කරන්න ඕන විරුද්ධ වෙන එක නොවෙයි. උදව් කරන එකයි. ගෙවල් 300ක් වගේම ඌරු කොටු 200 ක් අයින් කළා. ඒ ඌරු කොටුවලින් සිදුවුණ පරිසර විනාශය ගැන කවුරුවත් කථා කරන්නේ නැහැ.   


අවුරුදු සිය ගණනක් පැරණි සින්නක්කර ඉඩම් අපි මිල දී ගත්තේ. ඒ වගේම ඉදිරි අවුරුදු 50ක කාලයේ මේ ප්‍රදේයේ ගංවතුර පාලනය කරන වැඩපිළිවෙළක් මේ ව්‍යාපෘතියට අයිතියි. ඒ වගේම විශේෂ කරුණ අධිවේගී මාර්ගයේ අයින දිගේ අක්කර විසිපහක් මල් වත්තක් වවන්න අපි සැලසුම් කර තිබෙනවා.” යැයි ඔහු කියා සිටියේය.   
මේ සම්බන්ධව මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරිසර අධ්‍යයනයක් සිදුකිරීම සඳහා කරන ලද ඉල්ලීමකට අනුමැතිය ලබා දී ඇතත් පරිසර අධ්‍යයනයේ දී කුමක් කීවද ඒ සම්බන්ධව අවසන් තීරණය ගනු ලබන්නේ මහජනතාවගේ මතය විමසීමෙන් පසුව බවය.   


 පරිසර වශයෙන් ඉතාමත් වැදගත් සංවේදී පරිසර කලාපයක් වන මුතුරජවෙල තෙත් බිම අභයභූමියක් වශයෙන් ගැසට් කිරීම සඳහා ඊට අයත් ඉඩම් ප්‍රමාණය මේ වනවිට මැන අවසන් කර ඇති අතර ඊට මුතුරාජවෙල තෙත් බිම අවසාන වන මෝය ප්‍රදේශය පවා ඇතුළත් කර තිබෙන බවත් ගැසට් කර අවසන් වනවිට කිසියම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමකට අයත් යැයි කියන කිසියම් ඉඩම් ප්‍රමාණයක් ඇත්නම් ඔවුන් ඉවත් කරන්නට පියවර ගන්නා බවත් ඔහු කියා සිටියේය.   


කිසිදු පුද්ගලයෙකුට මෙම වටිනා තෙත් බිම විනාශ කිරීමට ඉඩ නොතබන බව කී අමාත්‍යවරයා ඒ සඳහා නීතිමය පියවර ක්‍රමානුකූලව ගනිමින් සිටින බව ද කීය.   


පරිසර අධ්‍යයනයක් යනු පවරා දීමක් නොවන බවත් කිසියම් ඉදිකිරීමක් කළ යුතු වන්නේ පරිසර අධ්‍යයන වාර්තාව මගින් පමණක් නොව ඒ සම්බන්ධව මහජන මතය විමසීමෙන් පසුව බවත් අමරවීර මහතා සඳහන් කළේය.”   


තිරසර සංවර්ධනය සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු ඉන්දික අනුරාධ ගමගේ මහතා මේ සම්බන්ධව අදහස් දැක්වූ අතර ඔහු කියා සිටියේ රටේ පරිසර ත්‍රස්තවාදයක් පවතින බවය. රජය හෝ වේවා පෞද්ගලික අංශය හෝ වේවා කරන ව්‍යාපෘතිවලට පදනමක් නැතිව විරුද්ධ වීම මේ ත්‍රස්තවාදයේ අංගයක් යැයි ද සැබෑ පරිසරවේදීන් අතර සිටින මේ පිරිස සැබෑ පරිසරවේදීන්ට හානියක් බව ද ඔහු කීවේය.   


“මාලදිවයිනේ මුහුද යට සංචාරක හෝටලයක් හදල තියෙන්නේ ශ්‍රී ලාංකික සමාගමක්. ඒ සමාගම සංචාරකයන් ආකර්ෂණය කරන වීඩියෝවේ තිබෙන්නේ සීගිරිය, දඹුල්ල වැනි තැන්. ඒවා පෙන්වා සංචාරකයන් ගෙන්වා මෙහේ එක්ක එනවා. නවතින්නේ මුහුද යට හෝටලයේ.   


ඒ වගේ හෝටලයක් ලංකාවේ හදන්න හැදුවොත් මොකද වෙන්නේ? අපට බැරිද කොරල්පර තියෙන දකුණු මුහුදේ ඒ වගේ හෝටලයක් හදන්න. අපේ අධ්‍යයනයන්ට අනුව නම් මේ ව්‍යාපෘතියෙන් මුතුරාජවෙල සුරැකෙනවා. මුලින්ම කරන්න ඕනැ පරිසර ත්‍රස්තවාදය තුරන් කිරීමයි.” ඔහු කීවේය.   


මුතුරාජවෙල සැබැවින්ම අපූරු පරිසර පද්ධතියකි. එහි කළ නිරික්ෂණයන්ට අනුව නම් මෙවැනි ව්‍යාපෘතීන්ට දුන්නත් නොදුන්නත් වහාම එහි ඇති ඇකේෂියා ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් අත්‍යවශ්‍යය. එමෙන්ම කරන ඕනෑම කටයුත්තක් විශේෂඥ මතය ලබාගෙන කළ යුතුය. මන්ද මුතුරාජවෙල අමිල සම්පතක් වන බැවිනි. 

 

 

සටහන හා ඡායාරූප
විනීතා එම්. ගමගේ