මීමුරේ ගැමි වරුණ


 

ඈත නිල්වන් අහස්තලය උතුරා යන සෙනෙහසින්, සිප ගනිමින් ඉන්න දුම්බර කඳු කොමළිය හරිම ප්‍රේමනීයයි. අහසට මේ තරම් ආදරය කරන කඳු වළල්ලක් මීට පෙර දැක්කේ නැති තරම්. කඳුයාය මැදින්, රූස්ස ගහ කොළින් සෙවණ වුණු ඉමක් කොනක් නොපෙනෙන වනාන්තරය අතරින් ඇදී යන වාහනයේ කවුළු දොර අතරින් හමා ආ සීතල සුළං පොදක් හෙමිහිට මුමුණමින් කිව්වේ, “එන්න.... මේ මී මුරේ සොඳුරු පහස විඳින්න...” කියන්නා සේය. හුන්නස්ගිරියෙන් වාහනය නතර කළාට පස්සේ අපි දෙපා නගන්නට වුණේ සොඳුරුතම පාරාදීසයක් වුණු මී මුරයටයි. 

 
මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තියෙන මී මුරේ ගැන තොරතුරු අපිට මුලින්ම කිව්වේ චමිල උඩුකුඹුරයි. ඔහු පහන් තරුවක් වගේ මඟ පෙන්වමින්, ඉතා පරිස්සමට සහ අතිශය සහෝදරත්වයෙන් ඒ සොඳුරු ගම්පියස පුරා අප රැගෙන ගියා පමණක් නෙවෙයි ගමටම ආවේනික සංස්කෘතික සිරිත් විරිත්, ජනප්‍රවාද, විශ්වාස, ඇදහිලි ගැන කළ දැනුම්වත් කිරීම් අප්‍රමාණයි.   


හුන්නස්ගිරියේ ඉඳලා මීමුරේට යද්දි ඒ සොඳුරු සුන්දර පරිසරයේ දකින්න, විඳින්න තිබූ දේ කොයිතරම් ද කියලා හිතුණු වාර අනන්තය. ගමන සොඳුරු සුන්දර මෙන්ම අතිශය දුෂ්කර වගත් පය තබන තබන හැම තැනකදීම කියා දුන්නේ සොබාදහමය. එසේම මේ සොඳුරු පරිසරය විනාශ කරන්න නම් එපා, තවත් බොහෝ අයට මේ සුන්දරත්වය විඳින්න ආරක්ෂා කර දෙන්න සොබාදහම මුමුණන්නාක් මෙනි.   


අයස්කාන්ත දිය ඇලි, දර්ශනීය කඳුවැටි, ඒ කඳුවැටි සිපගෙන හමා එන සුළං රැල්ල ගමනේ වෙහෙස නිවනවා විතරක් නෙවෙයි හිත ආදරෙන් පිරිමදිනවා වගේ. ගම මැදින් ගලා බසින “දිඹිගොල්ලේ ඔය”‍, “හීන් ගඟ”‍ ගංදියේ හඬ වගේම ගම ඇතුළේ ඉඳලා කිලෝ මීටර් හතරක පමණ දුරින් වනාන්තරය ඇතුළට වෙන්නට පිහිටි, අඩි දෙසීයකට විතර ආසන්න ”‍ දිය කැරැල්ල”‍ දිය ඇල්ලේ හඬ ගව් ගාණක් දුරට ඇහෙනවා.   

 


ගහකොළ අතරින් වගේම රූස්ස ගස් බෙණවල, තුරුලිය අතර එහාට මෙහාට පනිමින්, නටමින්, අඩව් කස්තිරම් අල්ලන තොරතෝංචියක් නැතුව සිංදු කියන කුරුලු කිරිල්ලියන්ගේ මිහිරි ගී හඬ අපේ ගමනට ආශිර්වාද කරනවා වගේ. මීමුරයටම ආවේනික දුම්බර, කැහි බෙල්ලා වගේම පොළොස් කොට්ටෝරුවා, නීල කොබෙයියා ඇතුළු කුරුලු‍ කිරිල්ලියෝ තමයි මේ තරම් රහට ගී ගයන්නේ කියලා අපේ ගමන් සගයා වුණු චමිල කිව්වේය. ඔහු පවසන අන්දමට දුම්බරට ආවේනික සතුන් ගණනාවක් මේ සොඳුරු පුරවරයේ සිටින අතර ඔවුන් අතර දුම්බර ගල්පර මැඩියා, පළා පොළඟා, ඇහැටුල්ලා, දිවියා, ඕලු‍ මුවා, ගෝනා වැනි සතුන් ද සිටිය ද එම කිසිදු සතෙකුගෙන් මිනිසුන්ට හානියක්, කරදරයක් සිදුවී නැත.   


එහෙත් ඉවක් බවක් නොමැතිව හිතුමනාපයේ ගම පුරා සැරි සරන අයෙකුට කිසියම් කරදරයක් සිදුවීමට ඉඩ කඩක් තිබෙන බැවින්, මෙම සොඳුරු පරිසරයේ මිහිර විඳින්නට කිසියම් අයෙකු එන්නේ නම් ගම පිළිබඳව හොඳින් දන්නා ගමේම අයෙකු සමග එහි සරන්නට වග බලා ගත යුතු බවය.   


සැබැවින්ම අපට මෙහිදී හමුවූ බොහෝ ගම්මුන් අහිංසකය. සරල ය. බොහෝ මිත්‍රශීලිය. ළෙන්ගතු ය. ආගන්තුක සත්කාරයට අතිශය ළැදිය. මනුස්සකම, ගැමිකම, සංවරකමින් පරිපූර්ණ ය. තම මඩිය තර කරගන්නට දඩයම් බල්ලන් සේ පසු පසින් එළව එළවා එන මිනිසුන් මෙහි සිටියේම නැත. ගමේ ගහකොළ, බෙහෙත් ඖෂධ, පඬුරු පාක්කුඩම් විකුණන සේරිවාණිජලා එහි නැත. ගජබින්න ඇද බාමින්, ප්‍රබන්ධ කතා කියන අය ද නැත. ගමටම ආවේනික ඖෂධ වර්ග ද ගණනාවකි. බිං කොහොඹ, කුඩා හැඩය, මහ හැඩය, අරලු‍, බුළු, නෙල්ලි, නව හන්දි, මුරු රාජ, වන රාජ ඒ අතරින් විශේෂය. 

 
ගමට එන ඕනෑම අයෙකුට බුලත් කසට පිරුණු දසන් විදා නගන ගම්මුන්ගේ ඒ අහිංසක සිනාව කිසිවෙකුට අමතක කරන්නට බැරි තරම් වෙනු ඇත. ඔවුන් බොහෝ දෙනාගේ ජීවනෝපය ගොවිතැන ය. පවුල් ලෙස ගත්විට 153 කි. මී මුරේට පැමිණිය හැකි ප්‍රධාන මාර්ගය වන්නේ මහනුවර සිට හුන්නස්ගිරියට කිලෝ මීටර් 40 ක් ගොස් එතැන් සිට කිලෝමීටර් 35 ක් පමණ යන විට මී මුරේ ට පිවිසීමට හැකි ය. හුන්නස්ගිරියේ සිට මී මුරේට පැමිණීමේ දී දැකිය හැකි සහ ළඟා වීමට හැකි සුවිශේෂී ස්ථාන ද ගණනාවකි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති ඩීස්ටන් තොරතුරු මධ්‍යස්ථානයෙන් නකල්ස් කඳු පන්තියට මායිම්ව ඇති සුන්දර මෙම පරිසරය ගැන පමණක් නොව බොහෝ කරුණු දැන ගැනීමට හැකියාව තිබේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුමට වෙන්නට ඇති කෝබට් ගැප් සුළං කපොල්ල දැක ගැනීමටත්, වෙඩි ලු‍ණු ගුහාව සහ අලු‍ගල් ලෙනට යා හැකි පිවිසුම් මාර්ග ද මේ අතර වෙයි. අලු‍ගල් ලෙන අවට තියෙන භූමියේ පස් වෙනුවට ඇත්තේ පසට සමාන අලු‍ වැනි දෙයකි.   

 


නකල්ස් වනාන්තරය අභ්‍යන්තරයේ හා පරිවාර කලාපයේ ගම්මාන 40 කට ආසන්න ප්‍රමාණයක් දැකිය හැකි අතර එහි එකිනෙකට යාබද ගෙවල්, ගල් මැටි තාප්පවලින් වටවූ පුද්ගලික ඉඩම්, සශ්‍රීක කුඹුරු වෙල් යායවල්, රූස්ස ගස් වැල්, සීතල දිය කඩිති නොහැකි තරම්ය. ගල් පර්වත අතරින් රූරා හැලෙන දිය පහරවල් ගණනාවකි. මෙහි වෙසෙන බොහෝ ගම්මුන් සාම්ප්‍රදායික වෙදකම්, ඇදහිලි විශ්වාස, සාම්ප්‍රදායික කෙම් ක්‍රම, ආහාර රටාවන්, ඇවතුම් පැවැතුම් සංස්කෘතික ලක්ෂණ සියල්ල සුවිශේෂි බව ද ඔවුන් හා කළ කතා බහේදී පසක් වූ කාරණා අතර විය.   


ගමේ පහළ කෙළවරට වන්නට තිබූ ‘‘තාලි කට”‍ මැයෙන් නම් වූ ස්වභාවික නාන තාටාංගය මෙන්ම ඉහළ සිට සුදු පෙණ පිඩු නගමින් පහළට ගලා හැලෙන විශාල දිය පහරේ පහළට ලිස්සා යා හැකි ස්ථානය අතිශය සුන්දර දසුනකි. එහෙත් මෙහිදී බොහෝ සේ සැලකිල්ලට ගත යුතු කාරණාව වන්නේ මේ සියලු‍ තන්හි සැරි සරන්නේ නම්, එහි මිහිර විඳින්නේ නම්, දිය කෙළි කරන්නේ නම් ගම ගැන මනාසේ දන්නාවූ ගම්මුන්ගේ උපදෙස්, මග පෙන්වීම් මතම කළ යුතු බවය. නොඑසේ නම් සිදුවෙන, සිදුවිය හැකි අවාසනාවන්ත තත්ත්වයන් ද බොහෝ වනු ඇත. දිඹිගොල්ලේ ඔයත්, හිං ගඟත් මී මුරේට පැමිණෙන රසවතුන්ට දිය කෙළි කරන්නට අපූර්වතම ස්ථානයන් වෙයි. දිඹිගොල්ලේ ඔය අවසානයේ හිං ගඟට වැටෙන අතර එය අවසානයේ එක්වෙන්නේ මහවැලි ගඟට ය.   
ගම තුළ ඇති ඉපැරැණි මී ගස ගමට සුවිශේෂී ය. ගම්මුන් පවසන අන්දමට මේ මී ගසට අවුරුදු දෙතුන් සීයක වයසක් ඇත. මී ගස නිසා මී මුරේ වූවාද, කඳු වළල්ලෙන් වටවූ, මිහිතලය ආරක්ෂා කරන “මිහියෙන් මුර කරවූ”‍ යන අදහස ඇති බැවින් මී මුරය වූවා ද කියා ගම්මුන් හා කළ කතා බහේදී පසක් වුවද මී මුරේ යන්නට තවත් ජන ප්‍රවාද රාශියක් තිබෙන බව ද මෙහිදී දැන ගන්නට ලැබුණු කරුණු අතර විය.   
ගම්මුන්ගේ කතා බහ මෙන්ම ජනප්‍රවාද සම්බන්ධයෙන් ද චමිල කියූ කතා අතර ඒවා බෙහෙවින්ම රසවත් ඒවා ද විය.   
“විමලධර්මසූරිය රජතුමාගේ කාලයේ මෙම ඝන වනාන්තරයේ බේදුරුවා නමින් වැද්දෙක් ඉඳලා තියෙනවා. මේ කාලයේ පොද්දල්ගොඩ කඩතුරාගල කියන පැත්තේ ඉඳලා දඩයමේ ආව හේරත් හාමි කියන පුද්ගලයා විසින් ඌරෙක් දඩයම් කර තියෙනවා. ඒ දඩයමට හසුවු ඌරා දුවගෙන ඇවිත් වැටිලා තියෙන්නේ දැනට වෙල්යායක්ව තියෙන මේ මී මුරේ වෙල් යායටයි. ඌරාව මස් කරන්නට යාමේදී බේදුරුවා වැද්දා හමුවී තියෙන අතර මුල දී දේශ සීමාව ගැන පොඩි ආරවුලක් දෙදෙනා අතර ඇති වුණත් පසුව හිතවත් වී තිබෙනවා. මෙම පළාත ගොවිතැන් කිරීමට සුදුසු තැනක් ලෙසට හේරත් හාමි සිතා තිබෙනවා. පසුව බේදුරුවා වැද්දාගේ සීමා මායිම් බලන්නට කැලයේ ඇවිදින අවස්ථාවක ලකේගෙල ආසන්නයේ එක් තැනක බේදුරුවා වැද්දා හේරත් හාමි විසින් මරා දමා තියෙන බව තමයි ජනප්‍රවාදයේ තියෙන්නේ. අදටත් ඒ ස්ථානය හඳුන්වන්නේ ‘‘බේදුරුවා මැරු පතන”‍ කියලයි.   


ඉන්පසුව හේරත් හාමිගේ සහෝදරයෙක් වුණු රිටි හාමි කියන පුද්ගලයා (ඔහුට හිටි හාමි කියාත් කියනවා) ඉතින් මේ දෙන්නා මෙම ප්‍රදේශයේ විශාල ගෙවල් දෙකක් හදාගෙන තියෙනවා හේරත් හාමිගේ ගෙදර උඩ වළව්ව කියාත්, පහළින් හදපු රිටි හාමුගේ ගෙදර පහළ වළව්ව කියාත් හඳුන්වන අතර අදටත් මේ මී මුරේ බොහෝ ගම්මුන්ගේ නමට මුලින් එන වාසගම් ලෙස “උඩ වළව්වේ ගෙදර සහ පහළ වළව්වේ ගෙදර”‍ නමින් භාවිතා වන බවත් චමිල කියා සිටියේ, මී මුරේ බොහෝ ගම්මුන්ගේ වාසගම් නිර්මාණය වී තිබෙන ආකාරය ගැන ද පහදා දෙමිනි.   


කන්ද උඩරට රජකළ සිංහලේ අන්තිම රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින්ගෙන් බේරී පළා යන්නටත්, සුන්දර දුම්බර කඳු යායේ සැඟවී සිටින්නට රජු සැලසුම් කර තිබුණේ ද මී මුරේ ලෙස සමහරු පවසති. එසේම ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ බිසෝවරුන් සහ කුමරියන් සැඟව සිටි මැද මිදුලක් සහිත නි​ෙවස අදටත් මෙහි දක්නට තිබෙන අතර එය උඩ වළව්ව ලෙස හඳුන්වන බව ද ගම්මුන් පවසන බව කියා සිටියේ චමිල මහතා ය.   


මෙම ගමනේ දී තවත් ගමන් සගයෙකු වූ එම ගමේම උපන් එහි ජීවත්වෙන ගැමියෙකු වන බණ්ඩා අයියා අපට පෙන්වා සිටියේ රාජසිංහ රජුගේ බිසෝවරුන් සඳහා දිය නෑමට හැඳු “කටු පඳුරේ ළිඳ”‍ නමින් හඳුන්වන ළිඳ පෙන්වමිනි. කටු පඳුරු සහිත පවුරක් එහි සකසා තිබූ බැවින් ළිඳට එම නම වැටෙන්නට ඇති බව කීවේ බණ්ඩේ අයියා ය. බණ්ඩේ අයියාට ගම්මුන් කියන්නේ බිත්තිගෙදර බණ්ඩා අයියා කියා ය. ඒ මීමුරේ ගමට ගලින් බිත්ති බැඳි පළමු ගෙදර එය වූ බැවිනි. කටුපඳුරේ ළිඳ පිහිටා ඇත්තේ ඒ බණ්ඩේ අයියා පදිංචි නිවසට ආසන්නව ය.   


මී මුරේට ආරක්ෂාව සලසන කඳු රැසක් පිහිටා ඇත. ගම වටා දැවන්ත ආරක්ෂක පවුරක් විදිහට ඇති ලකේගල, ඇදිරිගල, උඩුවන්නිමාන, අලු‍ත් දෙයියන්ගෙ ගල, ගෙම්බානිය, දුම්බානාගාරය, ලබු පැලස්ස පතන, බටදනුලෙන මේ විදියට තිබුණු කඳු පංතිය දර්ශනීය චිත්‍රයක් වගේ ය. මෙම බොහෝ කඳු අතරින් මතකයේ බරට රැඳවුනේ ලකේගලය. ඒ ලකේගල අනෙක් බොහෝ කඳුවලට වඩා දර්ශනීය ලෙස පෙනෙන්නට වූ නිසාවෙන්නට ඇත. රාමා සීතා පුරා වෘත්තයේ එන රාවණා දඬු මොණරය පැදවූ ගමන් මාර්ගයේ දී ලකේගල මාර්ග සලකුණු කළ ස්ථානයක් ලෙස ගම්මුන් සලකති. එසේම ලකේගල පෙර නැවියන්, නාවික ගමනාගමනයේ දී සලකුණක් ලෙස ද භාවිතාකොට ඇත. සැබැවින්ම ලකේගල ද සොඳුරු ස්ථානයකි.   


ෆ්‍රයිඩ් රයිස්, නාසිගුරන්, චීස් කොත්තු, මොන්ගෝලියන් රයිස් වෙනුවට මී මුරේදී උදේට, දවල්ට, රාත්‍රියට කන්නට ලැබුණු කෑමවල රස ගැන කියන්නට වචන නැත. ඒවා ඒ තරම්ම රසවත් ය. සමහර කෑම අපට කන්නට ලැබුණේ ජීවිතේ මුල්ම වතාවට ය.   
මඩු පිට්ටු, මඩු දලු‍ මාලු‍ව, වෙල් අල කොළ, අලකොළ මාලු‍ව, දෙල් මාලු‍ව, මඤ්ඤොක්කා කොළ මැල්ලු‍ම, කොච්චි සම්බෝල සමග කිරිබත්, දිය රොටි, කිරි රොටි, පුච්චපු බඩ ඉරිඟු මේ උදේට දවල්ට ලැබුණු කෑම ය. රාත්‍රී කෑම වේල ද අතිශය රසවත් ය. මස් පුළුස්සා තැනු කෑම හැරුණු විට මී මුරේටම ආවේනික දිය රොටි, කිරි රොටි ඇතුළු මතකයට නගා ගත නොහැකි කෑම ගණනාවක්ම එහි තිබිණ.   
දිය ඇලිවලින් හිතේ හැටියට දිය කෙළි කර, ඇස් රතු වන්නට දිය නා, බඩ පිරෙන්නට මීමුරේ කෑම රස විඳි අපට රාත්‍රි අඳුර දසතින් ගලා හැලෙද්දි කිසියම් බියක් හිතට නොදැනුනා නම් නොවේ. රෑහියන්ගේ හඬ, ගස් කොළ මහ සුළඟට හසුව සැලෙන හඬ, දිය පහරක් හරස් කර උණ බම්බුවක් ඒ මත සවිකර විටින් විට හඬ නංවන දිය හොල්මන නමින් හැඳින්වෙන එම උපකරණයෙන් නැගෙන හඬ සැබවින්ම හොල්මන් හඬක්ම විය. මහ ඝණ වනාන්තරයේ අපට නිදා ගන්නට සකස් කර තිබුණේ රෙදිවලින් සකසන ලද කූඩාරම් ය. මේ කූඩාරම් දුටු විට නම් සිත බියෙන් ගැහුණු වග නම් කියන්නටම ඕනෑය. සොර සතුරන්, විසකුරු සතා සරුපයන්, චමිල පැවසු දිවියා කොයි මොහොතේ මේ කුඩාරම් අසලට කඩා වදිදෝ යන බිය තිබුණේ, මොහොතකට පමණි. අප සොබා සෞන්දර්ය සිත් සේ විදින්නට වූයෙමු.   


සුළඟේ මුණු මුණුව විටෙක සෙමින් මතුව එයි. විටෙක ගස කොළ අඹරවමින් ඒ සුළඟ හමා එයි. සීතල සුළඟ වනාන්තරය මැද දල්වා ඇති විශාල ගිනි ගොඩින් උණුසුම් වෙයි. රූස්ස ගස් කොළ අතරින් ඇදහැළෙන සඳ එළිය මිහි මඩල පුරා අපූරු රටා මවා ඇත. රිද්මයකට නැගෙන රෑහියන්ගේ හඬ අන් කවර කලෙකටත් වඩා මිහිරි වග සවන් පත් පිරි මදිමින් කියන්නා සේ ය. වෙලාව රාත්‍රි එකට ආසන්න ය. බියෙන් තැති ගෙන එකිනෙකාට තුරුලුව මෙන් සිටි අය, දැන් හිතේ හැටියට එහේ මෙහේ ඇවිදිනු පෙනෙයි. විටෙක කූඩාරමට ගල් පඩි දෙක තුනක් බැස යන අයෙකු, නැවත අපි රාත්‍රි කෑම ගත්, ගිනි මැල ගසා ගත උණුසුම් කරගත් ගිනිමැලය අසලට එයි. අලු‍තින් දර කෑල්ලක් දෙකක් ගිනිමැලයට විසි කරමින්, ගින්දර උණුසුම හිතේ හැටියට විඳින දසුන සැබැවින්ම සොඳුරු ය. 

 
ත්‍රාසය, භීතිය, කුතුහලය, සතුට, සොබා සුන්දරත්වය සිත් සේ විඳි අපි කූඩාරම් තුළ ගාල් වුණේ එළිවෙන්නට තව ඇත්තේ හෝරා කිහිපයක් පමණක් නිසා ය. සොර සතුරු බියක් කිසිසේත් ඇති කර නොගන්නා ලෙසට චමිල පුන පුනා කියා සිටිය ද ඒ වන විට, මී මුරයේ ස්වභාවය, මිනිස්සුන්ගේ මනුස්සකම ගැන අප ඕනෑවටත් වඩා අත් විඳ තිබූ නිසා ඒ බිය දැනුනේම නැත.   


ගහකොළට, සුන්දර ඇළ දොළකට, කඳු අතරින් කඩා හැළෙන දිය ඇල්ලකට අපේ හිත් කොයිතරම් නිවන්න පුලළුවන් ද? අනේකවිධ ප්‍රශ්න ගැටලු‍, ජීවන අර්බුද, හුස්ම ගන්න ඉස්පාසුවක් නැති කාර්යබහුලත්වය නිසා හෙම්බත් වුණු, ගිනියම් වුණු හදවත් සිසිලසකින් පුරවන්න පුළුවන් ද? ඉතින් මේ සොඳුරු අත්දැකීම විඳින්න ලැබුණේ දුම්බර කඳු මිටියාවතෙන් මායිම් වුණු මීමුරේ ගතකළ සොඳුරු හෝරා කිහිපය ඇතුළෙයි. මේ සටහන ඒ සුන්දර දුම්බරේ මීදුම් පවුරු අතරේ ගත කළ සොඳුරුතම අත්දැකීම තුළ තවමත් ජීවත් වෙමිනි.   
නිල්ල නිලන ගහකොළ, ඇසට අසුවන මාඉමේ පුරා හිනැහෙන නිල් ගොයම විතරක් නෙමෙයි අතිශය ළෙන්ගතු මිත්‍රශීලි සහ සංග්‍රහශීලි මිනිසුන් ඇසුරේ ගතකළ ඒ සොඳුරු හෝරා කිහිපය ජීවිතේ කවදාවත් අමතක නොවේවි.   


ස්තුතිය   
මී මුරේ ගම්මැද්දේ චමිල උඩුකුඹුර සහ එහි වෙසෙන ආදරණීය ගම්මුන්ට.   

 

 

සටහන හා ඡායාරූප :
පද්මිණි මාතරගේ