මීටර් සියයේ වේගවත්ම කනිටු ක්‍රීඩිකාව අමාශා ද සිල්වා


හදාගත්තොත් රටම දිනුම්   

 

‘මගේ එකම ඉලක්කය තමයි ඔලිම්පික් තරගයකදී ශ්‍රී ලංකාව නියෝජනය කරලා පදක්කමක් ගේන එක. ඒ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් දැනට නැති එක ලොකු ප්‍රශ්නයක්. ඒ පිළිබඳ බලධාරීන් හොයලා බලලා කටයුතු කරනවනම් ඔලිම්පික් පදක්කම් ගෙන එ්මේ සිහිනය සැබෑවීම වැඩි ඈතක නෑ’   


ලංකාවේ මීටර් 100 ධාවන ඉසව්වේ කනිෂ්ඨ මට්ටමේ සිටින වේගවත්ම ක්‍රීඩිකාව සමඟයි මේ කතාබහ...   


ජපානයේ තිබුණු තරගාවලිය තමයි මට අමතක නොවෙනම තරගාවලිය. ඊට පෙර මම කවදාවත්ම පිටරටක ගිහින් දුවලා නෑ. ඒක ​ෙලාකු අත්දැකීමක් වුණා. ඒ දුවපු පළමු තරගයෙන්ම ලංකාව වෙනුවෙන් ජයග්‍රහණයන් ලබාගන්න හැකිවුණා.   


මට හිතාගන්න බැරිවුණා තරගය අවසන්වතුරුම මම ජයග්‍රහණය කළා කියලා. උඩ ස්ක්‍රීන් එකේ දෙවෙනි ස්ථානය කියලා දාද්දී තමයි දැන ගත්තෙ මගේ ජයග්‍රහණය ගැන.   
මේ අමාෂා ද සිල්වා...   


ක්‍රීඩාවට පිවිසීම ගැන මුලින්ම කතා කරමු.   


මං පුංචිම කාලෙනම් ක්‍රීඩාවට එතරම් දක්ෂ කෙනෙක් නෙමෙයි. ඒත් ක්‍රීඩාවට මගෙ ලොකු කැමැත්තක් තිබුණා. ඒ මගෙ අම්මා මලල ක්‍රීඩිකාවක් නිසා. ඇය ධාවන ඉසව්වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒවයේ ඡායාරූප පවා මම දැකලා තියෙනවා. ඒවත් එක්ක මටත් හිතුණා මටත් දුවන්න පුළුවන් ඇති කියලා.   


මගෙ පාසල මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය. මුලින් අපේ පාසලේ මලල ක්‍රීඩා තිබුණෙ නෑ. මම 7 වසරෙදි තමයි අපේ පාසලේ මලල ක්‍රීඩා කරන්න පටන් ගත්තෙ. ඊට පස්සෙ මට වැටහුණා මටත් යම් දක්ෂතාවක් තියෙනවා කියලා. 

 
මුලින්ම මගෙ පුහුණුකරු වුණේ සනත් සර්. ඔහු​ෙගන් අවුරුද්දක් විතර පුහුණුව ලැබුවා. ඉන්පසුව මේවනතුරුම වීරක්කොඩි සර් යටතේ තමයි පුහුණුව ලබන්නෙ.   
අමාෂා 7 වසරේදිනෙ ක්‍රීඩාව ආරම්භ කළා කිව්වෙ? ඒ වසරෙදිම ජයග්‍රහණය කරන්නත් හැකි වුණාද?   


මුලින්ම ලොකු දක්ෂතාවක් තිබුණෙ නෑ. එහෙත් මගෙ ලොකුම බලා​පොරොත්තුවක් තිබුණා පදක්කමක් ගන්න. කොහොමහරි ටිකින් ටික දක්ෂතා දක්වලා ජයග්‍රහණය කරන්න හැකිවුණා.   


මුල්ම ජයග්‍රහණය සිදුවුණේ පාසල් මට්ටමින්. ඒත් පදක්කමක් ලැබුණෙ නෑ. සහතික පත්‍රයක් තමයි ලැබුණෙ. ඉන් පසුව නිවාසාන්තර ක්‍රීඩා උළෙලවලින් පදක්කම් ලබාගන්න හැකිවුණා. එතැනින් පසුව කලාප, කොට්ඨාස තරගවලට සම්බන්ධවෙලා ජයග්‍රහණය කළා. ඒ විදියට ටිකින් ටික ඉදිරියට ආවා.   
ටිකින් ටික ඉදිරියට ඇවිල්ලා?   


අවුරුදු 17 දී තමයි මගෙ සම්පූර්ණ හැකියාවන් එළිදක්වන්න හැකිවුණේ. එතැනින් පසුව තමයි මම කව්ද කියලා කට්ටිය දැන ගත්තෙ.   
ලැබූ ජයග්‍රහණ?   


පාසල් මට්ටමින් ගොඩක් ජයග්‍රහණයන් ලැබුණා. මේ වෙද්දී කනිෂ්ඨ මට්ටමින් ලංකාවෙ ඉන්න මීටර් 100 ධාවන ඉසව්වේ වේගවත්ම ක්‍රීඩිකාව මමයි. කලාප මට්ටමින් දක්ෂතම මලල ක්‍රීඩිකාව වුණා. ඒ 2017 සහ 2018 වසරවල. පළාත් මට්ටමිනුත් මීටර් 100, 200 ධාවන ඉසව්වල පළමු ස්ථානය ලබාගෙන රන් පදක්කම්වලට යන්න හැකිවුණා. ඒ වගේ පාසල් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියෙන් සහ ​ෙජා්න් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියෙන් වසර දෙකක් මීටර් 100, 200 ජයග්‍රහණය කරලා රන් පදක්කම් ලබාගත්තා.   


මේ වෙද්දි ජාත්‍යන්තර තරග තුනකට සහභාගී වෙලා තියෙනවා. මේ වසරේ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියෙන් මට රන් පදක්කම් 4 ක් දිනාගන්න හැකිවුණා. ඒ මීටර් 100, 200, 100x4 සහ 400x4 ධාවන ඉසව්වලින්.   


ඒ තරගය ජයග්‍රහණය කළාට පසුව මම සුදුසුකම් ලැබුවා, ජපානයේ පැවැත්වුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගයට සම්බන්ධ වෙන්න.   


මම ඊට පෙර කවදාවත්ම පිටරටකට ගිහින් තිබුණෙත් නෑ. ඒ නිසා ඒ තරගාවලිය මට ලොකු අත්දැකීමක් වුණා. ඒ තරගාවලියේදී මම මීටර් 100 ධාවන ඉසව්වෙන් දෙවන ස්ථානයත් මීටර් 200 දෙවන ස්ථානයත් ලබාගත්තා. ඒ වගේම 400x4 සහය දිවීමේ තරගයෙනුත් ලෝකඩ පදක්කම ලබාගත්තා.   


ඉන්පසුව එංගලන්තයේ පැවැත්වුණු ​ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී නම් ජයග්‍රහණය කරන්න හැකිවුණේ නෑ. මීටර් 100 පස් වැනි ස්ථානය තමයි දිනා ගත්තෙ. 400x4 සහය දිවීමේ තරගයෙන් 8 වැනි තැන ලැබුණෙ.   


මුලදි පදක්කමක් ගන්න ලොකු කට්ටක් කාපු අමාෂාට පසුව පදක්කම් එකදිගට ලැබෙද්දි ඇතිවුණ සතුට කොහොමද?   


මගෙ අම්මා වගේම අක්කාත් ක්‍රීඩාවට දක්ෂයි. ඇය හොකී ක්‍රීඩිකාවක්. ධාවන ඉසව් එහෙමත් කරනවා. ඉස්සර මට වඩා අක්කට දුවන්න පුළුවන්. ඉතින් අක්කා පදක්කම් ගනිද්දී මටත් ආසා හිතුණා මටත් පදක්කම් ගන්න ඕනැ කියලා. ඉතින් පස්සෙ මම එක දිගට ජයග්‍රහණය කරලා පදක්කම් ලැබෙද්දි මේ මමමද කියලත් හිතුණා.   


අමාෂාව මේ වෙනුවෙන් දිරිමත් කරන්නෙ කවුද?   


ගොඩක්ම සහයෝගය දෙන්නෙ අම්මයි, තාත්තයි, අයියයි, අක්කයි. අම්මා මහනුවර මහ රෝහලේ ලිපිකාරිනියක්. අයියා කැලණිය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබනවා. අක්කා වයඹ විශ්වවිද්‍යාලයේ දෙවෙනි වසරෙ ඉන්නෙ. ඉතින් ඒ අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.   


මගෙ පුහුණුකරු සුනිල් වීරක්කොඩි සර් ගොඩක් කැපවෙනවා. සර්ගෙ පුහුණුව නිසා තමයි මේවගේ තැනකට ඇවිල්ලා ඉන්නෙ. ඒත් එක්කම මගෙ පාසලේ විදුහල්පති ඇතුළු ගුරුවරුත්, යාළුවො හැම දෙනාමත් මගෙ නෑදෑයොත් සහය ලබාදෙනවා. මහනුවර මහ රෝහලේ කාර්ය මණ්ඩලයත් විශේෂයෙන් මතක් කරන්න ඕනෑ. ස්කෑන් ඇතුළු හැමදේම කරගන්න මට උදව් කරන්නෙ ඔවුන් තමයි.

   
ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඒ අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබාදෙන්නෙ නැද්ද?   


අපි සංචිතයෙ ඉන්න නිසා අපට ඒ අවශ්‍ය පහසුකම් ලැබෙනවා. එහෙත් අපි ඒ දේවල්වලට කොළඹට එන්න ඕනෑ. ඒක දුෂ්කරයි. ඒ නිසා අවශ්‍ය වෛද්‍ය පහසුකම් මහනුවර රෝහලේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයෙන් කර ගන්නෙ.   


මේ ගමන යන්න තියෙන දුෂ්කරතා මොනවද?   


මගෙ ඔලිම්පික් හීනය සැබෑ කරගන්න, ඒ අරමුණට යන්න මට කව්රුහරි අත දෙනවනම් මීට වඩා දක්ෂතා දක්වන්න පුළුවන්. මම පාසල් ගිහින් අවසන් වුණා විතරයි. ඒ නිසා තවම මට තනියෙන් ගමනක් යන්න අමාරුයි. ආර්ථීක වශයෙනුත් බොහෝ ගැටලු තියෙනවා.   


ක්‍රීඩාවේදී අසනීප ආබාධ ඇතිවුණාම ප්‍රතිකාර ගැනීම, ක්‍රීඩාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සොයා ගැනීම වගේ ප්‍රශ්න ඇතිවෙනවා. එවැනි වාතාවරණයක හරියට ක්‍රීඩාවෙ නිරත වෙන්න බෑ. ඉතින් අපට ඒ වෙනුවෙන් උදව් කරන්න කව්රුහරි ඉන්නවනම් ලොකු හයියක්. 

 
ක්‍රීඩා කෞශල්‍ය වැඩිදියුණු කරගන්න මොනවද ලැබිය යුතු දේවල්?   


අපට දැනට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මාසිකව දීමනාවක් දෙනවා. මාස 3 ක් විතර ඒ දීමනාව ලැබුණා. ඒත් ඒවා ස්ථිර නෑනෙ. දැන් රට යන විදියට විශ්වාස නෑ. මොකද ඊට පෙර අපිට මාස 6 ක් මධ්‍යම පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පෝෂණ දීමනාවක් ලැබුණා. ඒක දැන් ලැබෙන්නෙ නෑ. ස්ථීරවම දෙයක් ලැබෙනවනම් හොඳයි. ඒ වගේම පුහුණුවීම් කරන්න වුනත් අවශ්‍ය පහසුකම් නෑ.   


මම නුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ පුහුණුවීම් කරන්නෙ. ගෙදර ඉඳන් ක්‍රීඩාංගණයට එන්න පැයයි විනාඩි 15 ක් වගේ ගතවෙනවා. ඉතින් ඒ ක්‍රීඩාංගණයෙත් අවශ්‍ය පහසුකම් අපිට නෑ. ක්‍රීඩාංගණයෙ කාපට් ට්‍රැක් එකක්වත් නෑ. මගෙ පුහුණුකරු හොඳ මට්ටමක ඉන්නවා. පුහුණුවීම් කරන්න අවශ්‍ය පහසුකම් නැති එක තමයි තියෙන ප්‍රශ්නෙ. අවශ්‍ය පහසුකම් ටික අපිට හදලා දුන්නොත් අපේ කුසලතා වැඩිදියුණු කරගන්න පුළුවන්. අවශ්‍ය පහසුකම් නොදී අපව තරගයක් දිනුවම විතරක් මල්මාලා දාලා පිළිගත්තට වැඩක් නෑ.   
තරගයක් දිනුවම විතරද මල්මාලා දාලා පිළිගන්නෙ?   


ඔව්. තරගයක් දිනලා ලංකාවට ආවහම ගුවන් තොටුපොළේදී අපව මල්මාලා දාලා පිළි ගන්නවා. ඊට පස්සෙ අපි කව්ද කියලාවත් කව්රුත් දන්නෙ නෑ. බලන්නකො අපි ජපානෙ ගිහින් එද්දී ඉහළ පිළිගැනීමක් තිබුණා. එහිදී අපේ අයගෙ දක්ෂතා රැසක් එළිදැක්වුණා. නමුත් කනිෂ්ඨ ලෝක ශූරතා තරගාවලියට ගියාට එහිදී අපේ අයට ජයග්‍රහණ අරගන්න හැකිවුණේ නෑ. ජැමෙයිකාව, ඇමරිකාව වගේ රටවල් එක්ක අපිට දුවන්න ටිකක් අමාරුයිනෙ. ඒ පරිසාධක මට්ටමට අපි තවම නැහැ. ඉතින් එ් තරගෙන් පදක්කම් ගේන්න බැරි වුණ නිසා අපි ලංකාවට එද්දී අපිව පිළිගන්න එදා කව්රුත්ම නෑ. එතකොට ජපානෙ ගිහින් දිනලා ආපු අපිමද කියලාත් අපටම හිතුණා. අපිව රටට වටින්නෙ නැද්ද කියා හැඟීම් තමයි තදින්ම හිතට දැනුණෙ.   


විදෙස් තරගකරුවන් එක්ක කරට කර තරග කරලා දිනපු ක්‍රීඩකයන්ට අනිත් රටවල් එක්ක බලද්දී මොනවද තියෙන අඩුපාඩු?   


එහෙම ගියාම අපි කව්ද කියලා හිතෙනවා. අපි එංගලන්තයට ගියාම ලෝකෙ රටවල් ගණනාවකින් ආව ළමයින්ට තියෙන පහසුකම් දැක්කම අපට අපි ගැනම දුක හිතෙනවා. ඒ ළමයිගෙ පොඩි දේවල් ගැන පවා බලධාරින් මාර විදියට හිතනවා. අපි ටුවර් එකක් යද්දී සිරුරේ ආබාධයක් ඇතිවුණාම මසාජ් කරන කෙනෙක්වත් එක්කගෙන යන්නෙ නෑ.   
ඒ පහසුකම් එක්ක බලද්දී අපි ගොඩක් පහළින් ඉන්නෙ. අපේ රටේ අයට හරියට ඉන්න තැනක්වත් නෑ. ලොකු රටවල්වලට හොඳ තැන් බෙදලා දීලා තියෙන්නෙ. ලංකාවට කොඩියක්වත් ගහලා නෑ. අපි ඒ තරම් පහත් මට්ටමකද ඉන්නෙ කියලා හිතෙනවා.   


ටිකට් එකයි අවශ්‍ය පහසුකම් ටිකයි දුන්නොත් ඇති කියලා අපේ රටේ අය හිතන්නෙ. ඒක නෙමෙයි වියයුතු වෙන්නෙ. අපේ රටේත් ප්‍රශ්න තියෙනවා. එ්ක ඇත්ත. ඒත් ඉතින් අපිට ඉහළ තැනකට යන්න පුළුවන්. ඒ වෙනුවෙන් කැපවෙන්න ඕනෑ. පාලකයො ඒ ගැන හොයලා බලන්න ඕන.   


සංචාරවලදී ප්‍රශ්න ඇති වුණේ නැද්ද? ඒ දේශගුණික තත්ත්වය ඔරොත්තු දුන්නද?   

 


ජපානෙ ගියාම දේශගුණය ලංකාවෙ වගේමයි තිබුණෙ. තරගයට පෙර දවසෙ තමයි අපි ඒ රටට ගියේ. ඒ නිසා විවේකය ටිකක් මදි වුණා. ඒ වගේම අපි ඒ රටේ දේශගුණයට හැඩ ගැහෙන්නත් ඕනැනෙ. ඒවගේ දෙයක් තිබුණා. ජපානෙදි කෑම ප්‍රශ්නෙත් පොඩ්ඩක් තිබුණා. ඒ කෑම ටිකක් අමුතු නිසා. ඒ හැර ප්‍රශ්න ඇතිවුණේ නෑ.   


ඉදිරි තරගාවලි ගැන කතා කළොත්?   


මේ දවස්වල පුහුණුවීම් කරන්නෙ ජාතික ශූරතා තරගාවලිය වෙනුවෙන්. ඒ තරගාවලිය අප්‍රේල් මාසෙ දොහා කටාර්වල පැවැත්වෙන්නෙ. ඒ වෙනුවෙන් ලංකාවෙන් තෝරා ගැනීම් කරන්නෙ 2019 පෙබරවාරි මාසෙ. ඒ අභියෝගයට මුහුණ දෙන්න හොඳින් තරග වදින්න මේ දවස්වල හොඳින් පුහුණුවීම් කරගෙන යනවා.   


කොහොමද පුහුණුවීම් සිද්ධ වෙන්නෙ?   


උදේ 6.30 සිට 8.30 දක්වා පුහුණුවීම් සිදු කරනවා. දවස් 6 ක් සතියකට පුහුණුවීම් කරගෙන යනවා. ඉතින් මානසික මට්ටමත් හොඳින් තියාගන්න ගොඩක් දේවල් මේ දිනවල කරනවා. ප්‍රවෘත්ති බලනවා, සින්දු අහනවා ඒ දේවල් වගේම ම​ගේ ඥාති සහෝදරයෙක් ඉන්නවා මනෝ වෛද්‍යවරයෙක්. ඔහුගෙනුත් ලොකු සහයක් ලබාගන්නවා මේ වැඩකටයුතුවලට.   

 

 


ධනු විජේරත්න