මී නාම්බාගේ පා පහරින් එලොව ගිය මස්වැද්ද‌ා


ජීවිතය යහමගට ගැනීමට නිවැරැදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   

 

අකුරැස්ස පහළ මළිදුව චිත්‍රානන්ද ගුණවර්දන මහතා ලියා එවු කතාවක් මෙසේය.   

අසරණ සතුන්ට ගිනි බින්ද පාපය කිරිනේරිස් කරාම එයි


සද්දන්ත පුරුෂයකු වූ කිරිනේරිස් මින් දශක ගණනාවකට පෙර ඈත දුෂ්කර ගම්මානයක ජීවත් වූවෙකි. ඔහු හේන් ගොවිතැනින් තම දිවි පෙවෙත සරුකර ගත්තෙකු විය. අක්කර කීපයක කැලෑ පෙදෙසක් වුවත් එය එළිපෙහෙළි කොට ගොවි බිමක් බවට පත්කර ගැනීම ඔහුට මහා ලොකු කාර්යයක් නොවීය. ඒ තරමටම ඔහුගේ කාය ශක්තිය ප්‍රබලවිය. 

 
ඔහු තුළ එක්තරා බලවත් දුර්වලකමක් විය. ඒ නම් දඩමසට වූ දැඩි කෑදරකමයි. මේ නිසාම ගොවිතැන සේම සතුන් දඩයම් කිරීමද ජයටම කෙරී ගෙන ගියේය. 

 
එකල අදමෙන් දඩයමට දැඩි තහංචි නොතිබුණි. තම ආහාරය සඳහා සතුන් දඩයම් කර කිරිනේරිස් වැඩිපුර මස් අලෙවි කොට අතමිට සරුකර ගත්තේය.   


රාත්‍රී කාලයේ හේනට යන කිරිනේරිස් හේනට පැමිණෙන ඌරන්, ගෝනුන්, ඉත්තෑවුන් වැනි සතුන් ගැවසෙන තැන්වල තුවක්කු බැඳ සතුන් දඩයම් කර ගත්තේය. මෙසේ බඳින තුවක්කු ඔහු හැඳින්වූයේ බඳින කඳන් නමිනි. සතුන්ට කඳන් බැඳීමට පමණක් නොව බඳින කඳන් සැකසීමටද කිරිනේරිස් අති දක්ෂයෙකු විය.   


බඳින කඳන් වලට වෙඩි බෙහෙත් යකඩ කැබලි ආදී දේ පුරවා ඉතා තදින් කොටා සකස් කර සතුන් ගැවසෙන තැන්වල ගස් වලට තබා බැඳ තබනු ලබයි. එම කඳන් වල ගැස්සෙන කොටස හෙවත් කොකා ගේ සිට වැල් ඇද තබන අතර ඒවා මරු වැල් යනුවෙන් හඳුන්වයි.   


මරු වැලක් සතෙකුට පෑගුණ සැනින් තුවක්කුව පත්තු වී සතාගේ පාද වලට වැදී පාදය බිඳී යන්නේ නිමේෂයකි. වනය දෙවනත් වන්නට විලාප දෙමින් දැඩි දුකක් විඳිමින් සතා මිය යන්නේ ඉතා ඛේදජනක ලෙසිනි. මෙය අසන දකින අයට මහත් දුකක් වුවත් කිරිනේරිස්ට එය මහත් අමන්ද‌ානන්දයට හේතුවක්ම විය. 

 
පව්පින් නොහඳුනන කිරිනේරිස්ගේ එකම අරමුණ සතෙකු මරා මස්කර ගැනීම පමණි. ඔහු සහායට මිතුරෙක් ද වූ අතර ඔහුගෙන් කිරිනේරිස්ට ලැබුණේ නොමඳ සහයකි. දිවා කාලයේ බඳින කඳන් සකසා ගන්නා ඔවුන් රාත්‍රී කාලයේ ඒවා බැඳීම ඔවුන්ගේ දින චරියාවේ ප්‍රධානතම කටයුත්තක් විය. මෙම පාපතර ක්‍රියාව නතර කරවීමට හැකි අයෙකු ඒ ගමේ තබා අහලකවත් නොවීය.

   
සොබා දහමින් හෝ මොහුගේ මේ පාපතර ක්‍රියාවන් නතර කරවීමට තීරණය කළා වන්නට ඇත.   
එදිනද සුපුරුදු පරිදි බෙහෙත් කොටා ගිනිබටය සැකසූ කිරිනේරිස් එය තම ගෙපැලේ ඉස්තෝපුවේ බිත්තියට හේත්තු කර තැබුවේ තම සගයා ද පැමිණෙන තෙක්ය. තවමත් නොපැමිණි මිතුරා එන මග බලමින් ඉස්තෝප්පුවේ ඇති කොට බිත්ති කඳ මත ඉඳගත්තේ බුලත් විටකින්ද සප්පායම් වෙමිණි.   


මදක් ප්‍රමාද වූ නිසා මිතුරා පැමිණියේ තරමක කලබලයෙනි. ඔහු මධු විතකින් ද සප්පායම් වී තිබිණි. ගමනට සූදානම් වී කිරිනේලිස් මිදුලට බැසීමට සූද‌ානම් විය. මිතුරා ගිනි බටය ගැනීමට ඒ අසලට ගියා පමණි. එක් වරම ඔහුගේ පය පැකිලී ගිනි බටයේ වැදිණි. ඒ සමගම හෙණ හඬක් නංවමින් එය පිපිරිණි. 

 
ඒ හඬත් සමගම කිරිනේරිස්ගේ විලාප හඬින් ගම දෙවනත් විය. කරුණු කාරණා සොයා බලන විට සියල්ල සිදු වී හමාරය. මිතුරාගේ අත් වැරැද්ද නිසා පිපිරුණු වෙඩිල්ල වැදී තිබුණේ කිරිනේරිස්ගේ වම් පාදයටය. එය වළලු කරට පහළින් යළි සැකසිය නොහැකි ලෙසින් කුඩු පට්ටම් වී ගොස් තිබුණි.   


විනාශ වී ගොස් තිබූ පාදයේ පහළ කොටස කපා දැමීමට සිදුවිය. එද‌ායින් පසු කිරිනේරිස්ගේ දිවිය ඇඳටම සීමා වූ අතර ඔහුගේ දැවැන්ත සිරුර වැහැරී ගියේ බලා සිටියදී වාගේය. තුවාලය ද සුව කිරීමට හැකි එකක් නොවන බවට පත්විය.   


අහිංසක සතුන්ට කළ අපරාධවලට දඬුවම් මෙලෙස තමාට ද ලැබුණු බව වරින් වර අවසිහියෙන් මෙන් කියවමින් සිටි ඔහු මෙලොව හැර ගියේ සොබාදහමට අවනත නොවන කාටත් අපූරු පාඩමක් කියා දෙමිනි. 


 
ගුණතිලක මැටියගනේ මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

මී නාම්බාගේ පා පහරින් එලොව ගිය මස්වැද්ද‌ා   


තම ආගමට අනුව කිසිදු ගැළපීමක් නොමැති වුවත් අප ඔහු ගෝ-මස් යනුවෙන් හැඳින්වූවාට වරදක් නැත. වසර පනහක පමණ වූ ඔහුගේ මුළු ජීවිත කාලයම ගතවූයේ ගෝ (ගව) මස් සමග වන නිසාය. දේවමැදි හත්පත්තුවේ පහළ දොළොස් පත්තුවේ අසරණ ගවයින් දහස් ගණනකගේ ගෙල සිඳලන්නට පිහියේ මුවහතට පාර පෙන්වූයේ ගෝමස්ය.   


ගෝමස්ට ඒ හැම ගමකම පාහේ සිංහල බෞද්ධ මිත්‍රයින් යහමින් සිටියේය. ඔහු වැඩිපුර ගැවසුණේ ගම්බද තේපැන් කඩවලය. ඔහු ලෝස් නැතිව ඒ හැම යහළුවෙකුටම තේ වතුර, බීඩි සිගරට්වලින් සංග්‍රහ කළේය. ඔවුන් සමග හරි හරියට සම්පප්‍රලාප දොඩමින් බංකු රත් කළේය. ඒ අතර කොහේ හෝ හරකෙක් විකුණන්නට ඇති ඔත්තුවක් ඔහුගේ කණට වැටෙන්නට මග පෑදෙයි.   


‘‘තම්බි බලපු හරකා වගේ’’ යැයි අපේ ගැමි සමාජයේ නියමනක් ස්ථාපිතව ඇත්තේ පදනමක් ඇතිවය. ඔහුගේ ඇසට වැටුණු ඒ හරකාගේ මරණ සහතිකය මොන ජාතියෙන් හෝ ලියැවෙන බැවිනි. හරකෙක් දුටු සැණින් උගේ අන්තිම මස් කිලෝ එක ටක්කෙටම මනෝමයෙන් හදන්නට ගෝමස් අති දක්ෂයෙකි. ප්‍රදේශයේ හෝ ඝාතකාගාර දෙක තුනකම බලයලත් නිත්‍ය නියෝජිතයා වූයේ ගෝමස්ය.   


 ගවයින් පමණක් නොව මගුල් තුලා, සම්භාෂණ ආදියට අවශ්‍ය කුකුළු මස් තොග පිටින් සැපයුවේත් ගෝමස්ය. දිනක් තම යතුරු පැදියේ බැඳගත් ලොකු පෙට්ටියක අලංකාර කුකුළන් කීප දෙනෙක් සිරකැරගෙන යනු දුටු නොදරු ළමයෙක්, ‘‘මාමේ, මේ ගොල්ල ගෙනියන්නේ හදන්ඩදැ’’ යි ඇසූ වෙලේ ගෝමස් ඊට පිළිතුරු දෙමින් කීවේ ‘‘අපොයි නැතුව පොඩි මහත්තයො. හදන්ඩ තමයි’’ කියාය. ඒ උපහාසාත්මක සිනාවක් ද නගමිනි.   


පවු වැඩේ කළාට බොරු නොකියන ගෝමස් ඒ කීවේ ‘‘මේ ගොල්ල මිරිසට හෝ ඩෙවල් කර හදනවා’’ කියන එකය. මේ සංවාදය දෙස බලා සිටි මේ පොත් කාරයාට එක විඩේටම මතකයට ආයේ තමන්ට පාසල් අවදියේ නිර්දේශ වී තිබුණු ‘දෙයියන්ගෙ රටේ’ නවකතාවේ සිද්ධියකි.   


ඒ නවකතාවට අනුව කුරුවිට පැත්තේ එක උපාසිකාවක් සිරිපා වන්දනාවේ යාමට කාසි එකතු කරන්නේ ‘‘අනේ තම්බි, මේ හරකා විකුණන්නේ ඔන්න මසට හෙම නෙමේ’’ කියමින් එළ වැස්සියක් මුදලාලිට විකුණ‌ා දමමිනි. ඒ තම්බි ද ගෝමස් මාදිලියේම පිළිතුරක් දෙන්නේ ‘‘චී මෙණිකේ, යපි ඒම පොරු කියල සත්තු ගෙනියනවද, මේ තිවට කුණුවෙලා යනවා තමා’’ යනුවෙනි.   


බැතිමත් උපාසිකාව සිතන්නේ බොරු කී විට දිව කුණු වී වැටෙන බැවින් තම්බි බොරු නොකියන බවය. වෙළෙන්ද‌ා කියන්නේ ගවමස් කැබැල්ල දිව මුල සිට පහළට කුණු වෙමින් යන බවයි. ඉතින් හරිනෙ. බොරුවක් කිව්වාය කියා පාපයක් සිදු වන්නේද නැත. ඇත්තම කිව්වොත් ගනුදෙනුව, කෙරෙන්නේද නැත. එවුන් නැහැලා ඔය වෙළෙඳාම අතින් කප්ගසා සිටින්නේ ඒ විදියට හැම පැත්තක්ම බේරා ගනිමිනි. 

 
එක් නෝම්බි සමයක ගෝමස් නොවටිනා මිලක් ගෙවා දැවැන්ත යකඩ ගුලියක් ලෙසින් දිලිසෙන මී නාම්බෙකුට මරණ සහතිකය ලීවේය. ලොරියකුත් තව සගයින් දෙදෙනෙකුත් තැරැව්කරුවාත් කැටුව ඇවිත් පැටවිල්ල සූජානං කළේය. එහෙත් මේ තමන් වාහනයක නැගී යන පළමු මෙන්ම අවසන් වතාවත් වන බව ගොන් මොළේට වැටහුණු මී නාම්බා ලොරියට නොනැඟ දන්නා සෙල්ලම් දමන්නට විය.   


සතුන් වාහනවලට පැටවීමේදී අනුගමනය කරන නිර්දය අමානුෂික වදහිංසා, පිළිබඳ ඩිප්ලෝමාලාභියෙකු වූ ගෝමස් ද ඒ සියල්ල ප්‍රායෝග කළ ද ඒ සියල්ල නිරර්ථ විය.   


අන්තිමේ බැරිම තැන අඩපණ වූ සතාගේ ඉදිරිපස ගාත් දෙක ලොරි තට්ටුව මතට ඔසවා ගන්නට සමත් වූ ගෝමසුත් ගවයාගේ දෙපරැන්ද යටට රිංගා තම හිසේ වාරුවෙන් ඌ ඔසවා උගේ පසු කොටසත් ලොරියට ඔබා ගන්නට මුළු වෙර පාවිච්චියට ගත්තේය.   


එහෙත් මරණය ඉදිරියේ තම අන්තිම ශක්ති ප්‍රභවයත් ප්‍රයෝජනයට ගත් මී නාම්බා මුළු වැර යොද‌ා එල්ල කළ පා පහරින් ගෝමස් මුදලාලි කූඩැල්ලෙකු මෙන් හැකිලී මීමාගේ බඩ යට ඇද වැටුණේය. පා පහර නිවැරදි එල්ලයට වැදී තිබුණේ ඔහුගේ බාහිර පුරුෂ ලිංගික අවයව පද්ධතියටය.   


අධිරුධිර පීඩනය හා හෘද රෝගයකිනුත් පෙළුණු ගෝමස් එහි සිට කි.මී අටක් පමණ දුරින් පිහිටි නායන්නෙන් එන රෝහල වෙත ගෙන යන විටත් මයිඝාතයක් (මෘත කලේබරයක්) බවට පත්ව තිබෙන්නට ඇත.   


කෙසේ වෙතත් ඔහුගේ චුති චිත්තය විශ්ලේෂණය කොට දණ්ඩන ගණන් මිණුම් තක්සේරු කරන්නට අවීචියේ විගණනපල්ලන්ට තත්පරය කියත් කාල නිර්ණය දසකෝටි එක්ලක්ෂ වාරයකට බෙදූ විට එන උත්තරය වන ‘‘එක්ෂණය’’ කියන ඩිංගිත්තන් ඇසිල්ල ප්‍රමාණවත් පින්වතුනේ.   



ඇල්පිටියේ මහින්ද ගුණවර්ධන මහතා ලියා එවූ කතාවක් මෙසේය.  

ඌරන් මැරූ සියදෝරිස් උෟරෙකු සේ වෙඩිකා මරුට  


සියදෝරිස් තමන්ගේ ජීවිතය ගොඩනගා ගැනීමට වෙහෙසක් ගෙන කටයුතු කළ අයෙකි. ගමේ කුලී වැඩ කරමින් තම ජීවිතය ආරම්භ කළ ඔහු සිය පිය උරුමයෙන් ලැබී තිබූ ගොඩ මඩ ඉඩම් ද අස්වද්දමින් තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට දැහැමිව දිවි කැපකළේය.  


දූ දරුවන් කිහිප දෙනෙකු ද හද‌ාවඩා ගනිමින් සමාජයේ අවශ්‍යතාවයන් ද ඉටුකරමින් ඔහු ගත කළ ජීවිතයෙන් මානව සමාජයට කිසිඳු කරදරයක් හිංසාවක් සිදු නොවුණි.  


එහෙත් ඔහුගේ පියා ජීවත්ව සිටි කාලයේ සිටම ඔහු අබ්බැහි වී තිබූ පුරුද්දක් ඔහුට අතහැරීමට නොහැකි වූයේ ‘‘ජම්මෙට වඩා පුරුද්ද ලොකුය’’ යන කියමන සනාථ කරමිනි. ඒ දඩයමේ යාමයි ඔහුගේ නිවස ආසන්නයේ තිබූ විශාල කැලෑව වල් ඌරන් බහුල ප්‍රදේශයක් විය. මේ නිසා වල් ඌරන් දඩයමට ඔහු ඇලුම් කළේය.  


සතියකට වරක් දෙවරක් දඩයම්කර ගන්නා වල් ඌරෙකුගෙන් ලබා ගන්නා මස් ඔහුට අතිරේක ආද‌ායම් මාර්ගයක් විය. සතෙකු දඩයම්කර ගත්විට එම මස් අලෙවි කර ගැනීමට වැඩි වෙහෙසක් දැරීමට සිදු නොවුණි.   
ඉල්ලුමට අනුව සැපයුම් කළ නොහැකි වුවද කලක් තිස්සේ කරගෙන ආ මෙම කටයුත්ත නිසා ඔහු ප්‍රදේශයේ ප්‍රකට වල් ඌරුමස් වෙළෙන්දෙකු ද විය.  


තම වැඩිමහල් පුතණුවන් යෞවනවියේ පසුවූ අවදියෙහි දඩයමේ යන අවස්ථාවල ඔහු ද කැටුව යාම සියදෝරිස්ගේ පුරුද්දක් විය. තම පියා ජීවත්ව සිටියදී තමා ද පියා සමග දඩයමේ ගිය අයුරු සියදෝරිස්ට සිහිපත් විය.  


එද‌ා ඉරිද‌ා දිනයක් විය. තම වැඩිමහල් පුතනුවන් ද නිවසේ සිටි බැවින් ඔහු ද කැටුව උදෑසනම සියදෝරිස් ඌරු දඩයමට පිටත්විය. දෙදෙනා අතම ගිනිබට දෙකක් තිබූ නිසා දඩයමට පහසුවිය.  


කැලයට ඇතුළු වූ ඔවුන් දෙපැත්තකට බෙදී ගමන් කළේ වල් ඌරෙකු ඇස ගැසුන සැනින් දඩයම් කරගැනීමේ චේතනාවෙනි. ටික වේලාවකින් හැඩිදැඩි ඌරෙකු සියදෝරිස්ගේ නෙත ගැටුණි. එහෙත් ඔහුගේ ඉක්කය වැරදුණි. තම පුතා ගිය දෙසට ඌරා දුවගිය අයුරු දුටු ඔහු ‘‘ලොකු පුතේ ඔන්න ඔය පැත්තට ආවා තියාපන්’’ යයි මොර දුන්නේය.  


ගත වූයේ නිමේෂයකි. සිය පුතණුවන් තැබූ වෙඩි පහර සියදෝරිස්ගේ උදරය සිසාරා පිටවුණි. 

 
‘‘පුතේ මම ඉවරයි’’ සියදෝරිස්ගේ කෙඳිරිය ඇසුන පුතා දුව එන විට පියා වෙඩි කෑ ඌරෙකු සේ බිම වැටී සිටිනු දුටුවේය.  


ඌරන් සිය ගණනකගේ ජීවිත අහිමි කළ සියදෝරිස් ද තම පුතණුවන් තැබූ වෙඩි පහරකින් ඌරෙකු ලෙස වෙඩිකා මියගිය පුවත ප්‍රදේශය පුරා ප්‍රචලිත විය.   


මෙබඳු කතා ඔබත් දන්නේනම් ඒවා ඉරිද‌ා ලංකාදීපයට යොමු කරන්න.

 

 

සකස් කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්