මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය පෑගූ ‘යකඩ සපත්තු’


මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය අවසන් වූයේ මියන්මාර අගනගරය වූ - නෙයි පී තාවු - හි යුද හමුදා බැරැක්ක ‌තොගයක් ගොඩ නගමිනි. දැන් යළිත් එරට පවතින්නේ හමුදා පාලනයකි. රට වෙනුවෙන් තම සමස්ත ජීවිතයම කැප කළ අවුන් සාන් සුකී නම් අභීත කාන්තාව යළිත් නිවාස අඩස්සියට පත්ව සිටින්නීය. මේ සිදුවීම් සමුදාය සරලව අර්ථකථනය කළ හැකි වන්නේ ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමක් ලෙසිනි.   


නෙයි පී තාවූ හි හිස් මාර්ග ඔස්සේ යුද ටැංකි, හමුදා බැරැක්කවලින් පිරී ගියේය. මියන්මාර හමුදාවට අවුන් සාන් සුකී ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී නායකයින්ගේ අවසාන දිනය පැහැදිලි විය. ඒ නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයයි. ඡන්දය උණ්ඩයට වඩා බලවත් විය හැකි බව නොවැම්බර් මැතිවරණය එහි ඉහළ පෙළේ හමුදා නිලධාරීන්ට පැහැදිලි කර තිබුණි. ඊට හේතු වූයේ අවුන් සාන් සූ කීගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය ආසන 476 න් 396 ක් ලබා ගනිමින් අතිවිශිෂ්ට මැතිවරණයක් ජයග්‍රහණය කිරීමයි. නව රජය වගකීම භාර ගැනීමට සූදානම් වෙමින් සිටිය දී හමුදාව පාලනය අල්ලා ගත්තේය. 

 
අවුන් සාන් සූ කී, ජනාධිපති වින් මයින්ට් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නායකයින් රඳවාගෙන වසරක කාලයක් පුරා හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළේය. මියන්මාරයේ හිටපු ඉන්දීය තානාපති ගෞතම් මුඛෝපාධ්‍යා පැවසුවේ මෙයයි. “එය නොසන්සුන් සහජීවනයකි. සිවිල් ජයග‍්‍රහණය සමඟ සමගි වීමට හමුදාවට නොහැකි වූ අතර එය ඔවුන්ව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනු ඇතැයි හැඟු‍ණා විය හැකි” යැයි ද ඔහු කියා සිටියේය.   
හමුදා අත්අඩංගුවට පත් මියන්මාර නායිකා අවුන් සාන් සුකීට එරෙහිව චෝදනා ගොනු කිරීමට එරට පොලීසිය මේ වන විටත් පියවර ගෙන තිබේ. මැතිවරණයෙන් විශිෂ්ට ලෙස ජයගෙන සිටි මියන්මාර නායකයින් බලයෙන් පහකර එරට පාලන බලය අල්ලා ගැනීමට හමුදා නායකයෝ ක්‍රියා කළහ. ආනයන අපනයන නීති උල්ලංඝණය කිරීම සහ නීතිවිරෝධී සන්නිවේදන උපකරණ සිය භාරයේ තබාගෙන සිටීම ඇයට එරෙහිව එල්ල කර ඇති චෝදනා අතර වේ. ඇය රඳවා සිටින ස්ථානය පිළිබඳව මෙතෙක් පැහැදිලි නොමැති වුවද සමහර වාර්තා පවසන්නේ මියන්මාර අගනගරයේ - නෙයි පී තාවු - හි පිහිටි ඇයගේ නිවසේ අවුන් සාන් සුකී ව රඳවා ඇති බවය. අගනුවර රැඳී සිටින විශාල සංඛ්‍යාවක් වන යුද හමුදා බැරැක්කවලින් කියැවෙන්නේ ඇය අගනගර‌යේ රඳවා සිටින බවය.   


1988 න් පසු මියන්මාරයේ සිදු වූ පළමු කුමන්ත්‍රණය මෙයයි. එරට පැවැති හමුදා ජුන්ටාව සීමිත ප්‍රජාතන්ත්‍රවාදී අත්හදා බැලීමකට ඉඩ දී දශකයකට පසුව, එය දැන් යළිත් කරළියට පැමිණ තිබේ. හමුදාව විසින් එරට රූපවාහිනී හා ගුවන් විදුලි මධ්‍යස්ථාන වසා දමා ඇති අතර දුරකථන මාර්ග සහ අන්තර්ජාලය ද අක්‍රිය කර ඇත. හමුදා ප්‍රධානී මින් අවුන්ග් හේලින්ග් කුමන්ත්‍රණය සාධාරණීකරණය කළ අතර එය නීතියට අනුකූල බව පැවසීය. “බොහෝ ඉල්ලීම්වලින් පසුව, රටට මෙම මාර්ගය නොවැළැක්විය හැකි බව ඔහු කියා සිටියේය.   
මියන්මාරයේ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් කලාපයේ බලවතා ලෙස ඉන්දියාවේ ප්‍රතිචාරය දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය කියා සිටියේ “මියන්මාරයේ සිදු වූ වර්ධනයන් අපි දැඩි අවධානයෙන් යුතුව සිටින බවත්, මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රාන්ති ක්‍රියාවලියට ඉන්දියාව සැමවිටම සහයෝගය දක්වන බව ද හෙතෙම කියා සිටියේය. තවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය තහවුරු කළ යුතු බවත්, ඒ ගැන ඉන්දියාව හොඳින් නිරීක්ෂණය කරමින් සිටින බවය.”   


මියන්මාරයේ අවිනිශ්චිතතාවය ඉන්දියාවට විශාල අභියෝගයක් වී තිබේ. විශේෂයෙන් චීනය අසල්වැසි ප්‍රදේශවල සිය ශක්තිය තහවුරු කිරීමට උත්සාහ කරන මොහොතක. එය ඉන්දියාවේ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයෙකු වූ දිවංගත ජේ.එන්. ඩික්සිත් කියා සිටියේ කලාපයේ ප්‍රජාතන්ත්‍රවාදයේ උන්නතිය ලෙස ඉන්දියාව ආඩම්බර වුවද, අතීතයේ දී එයට ජුන්ටාව වෙත ළඟා වීමට සිදු විය. ඉන්දියාව “ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ට සහයෝගය දක්වන” නමුත් තථ්‍ය රජයන් සමඟ අන්තර් ක්‍රියා කරන බව 1991 දී ඩික්සිත් පැහැදිලි කර තිබුණි.   


මියන්මාරය යනු ඉන්දියාවේ ‘අසල්වැසියාට ප්‍රථමයෙන්’ සහ ‘නැගෙනහිර දෙස බලන්න’ ප්‍රතිපත්තිවල ප්‍රධාන කුලුනකි. කොවිඩ් -19 එන්නත මාත්‍රාව ලක්ෂ 15 ක් යැවීම ඇතුළුව මියන්මාරය ආකර්ෂණය කර ගැනීම සඳහා ඉන්දියාව ආකර්ෂණීය තීන්දු තීරණ ගනු ලැබීය. ඊට පෙර නොවැම්බරයේ දී ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රින්ග්ලා සහ යුද හමුදාපති ජෙනරාල් එම්.එම්. නාරවානේ “වැදගත් ද්වීපාර්ශ්වික ගැටලු‍” සාකච්ඡා කිරීම සඳහා නෙයි පී තාවු වෙත ගියහ.   


දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව මේ වෙන විට වැඩි දියුණු කර තිබේ. ඉන්දියාව මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගත අර්බුදය බංග්ලාදේශය සමඟ සියුම්ව හසුරුවමින් මියන්මාරයේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන්නේද මෙවැනි තත්ත්වයක් යටතේය. 2019 දී ඉන්දියාව සිය වාර්ෂික අයවැයෙන් මියන්මාරයට රුපියල් කෝටි 170 ක් වෙන් කළේය. මෙවර එය රුපියල් කෝටි 400 දක්වා ඉහළ දැමීමෙන් දෙරට අතර පවතින ද්වීපාර්ශ්වික අවබෝධය සිතා ගත හැක.   


කොවිඩ් වයිරසය මැඩපවත්වන ඉන්දීය එන්නත වෙනුවෙන් රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ මූල්‍යමය සහයෝගය ලැබී ඇත්තේ මියන්මාරයේ යුද හමුදා ජෙනරාල්වරුන් චීනය කෙරෙහි තරමක් කලකිරී සිටින මොහොතක ය. පසුගිය ජූලි මාසයේ දී මින් අවුන්ග් හේලින්ග් සම්මුඛ සාකච්ඡාවක දී චෝදනා කළේ මියන්මාරයේ ත්‍රස්ත කණ්ඩායම්වලට “ශක්තිමත් බලවේග” පිටුබලය දෙන බවයි. ඊට මසකට පෙර මියන්මාරයේ විගණකාධිපති මාව් තෑන් අනතුරු ඇඟවූයේ චීන ණය මත යැපීමෙන් රටට ශ්‍රී ලංකාවේ මෙන් කිරීමට බල කළ හැකි බවයි. “ලෝක බැංකුව වැනි මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය හා සසඳන විට චීනයෙන් ණය ඉහළ පොලී අනුපාතයකට පැමිණේ. “එබැවින්, චීන ණය භාවිතා කිරීමේ දී වඩාත් සංයමයෙන් කටයුතු කරන ලෙස මම රජයේ අමාත්‍යාංශවලට මතක් කිරීමට කැමැත්තෙමි.” යැයි ද මියන්මාර විගණකාධිපතිවරයා කියා සිටියේය.   
කෙසේ වෙතත් චීනය මියන්මාරයේ ප්‍රබල බලවේගයක් ලෙස දිගටම පවතී. දිල්ලිය පදනම් කරගත් නිරීක්ෂණ පර්යේෂණ පදනමේ උපාය මාර්ගික අධ්‍යයන වැඩසටහනේ ප්‍රධානියා වන හර්ෂ් පාන්ට් පැවසුවේ “මිලිටරිය ඇති එකම ක්‍රීඩකයා වීමට චීනයට ඉඩ දිය නොහැක. මියන්මාරය සමඟ මාර්ග දෙකේ ප්‍රතිපත්තිය දිගටම පවතිනු ඇත. “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අපගේ කැපවීම පවතී. අපි ජනප්‍රිය පාලනයට කැමතියි. එය තිරය පිටුපස රාජ්‍ය තාන්ත්‍රික භාවය විය හැකිය.”   


ඉදිරි මාස කිහිපය තීරණාත්මක වනු ඇත, විශේෂයෙන් මියන්මාර මිලිටරිය සිය අභියෝගකරුවන්ට එරෙහිව සටන් කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී ගැති විරෝධතා හැඩ ගැසීමට පටන් ගැනීමත් සමඟ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉරණම වන්නේ රෝහින්ග්‍යා විරෝධී ස්ථාවරය නොතකා නැවත අත්අඩංගුවට ගත් සූ කී නැවත වරක් ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතය බවට පත් වීමෙනි.”‍   


ඊට පෙර මෙතරම් පහසුවෙන් හමුදා කුමන්ත්‍රණ සිදුවීමට මියන්මාරය තුළ පසුබිම සකස් වූයේ කෙසේද යන්න මඳක් විමසා බැලීම වටින්නේය. මියන්මාරය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබන්නේ ශ්‍රී ලංකාවට මාසයකට පෙරදීය. එනම් 1948 ජනවාරි 4වැනිදාය. ඒ වන විටත් මියන්මාරය හෙවත් එකල බුරුමය ගිනිකොණ ආසියාවට හුරුපුරුදු වාම මාවතේ මඳක් දුර ගමන් කර අවසන්ය. එරට දේශපාලනයට ප්‍රවිෂ්ට වූවන් අතරින් ඉදිරියෙන්ම සිටි ‘අවුන් සාන්’ 1946 වන විට බුරුම විධායක කවුන්සිලයේ සභාපති ලෙස පත්වීම් ලැබ සිටියේය. එහෙත් රට තුළින්ම අවුන් සාන්ගේ බලවත් වීමට කුමන්ත්‍රණ සිදුවූ අතර 1947දී ඔහු ඝාතනය වන්නේ ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් අතිනි.   


නිදහස ලැබීමෙන් පසු වෙනත් යටත් විජිත මෙන් මියන්මාරය පොදු රාජ්‍ය මණ්ඩලයට එක් වූයේ නැත. මියන්මාරයට එරටටම අනන්‍ය වූ දේශපාලන ගමනක් තිබූ අතර නිදහසින් පසු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය එරට ජනතාව ඉස්මුදුනින් පිළිගෙන තිබිණි. කෙසේ වුවද ලෝකයේ සෙසු රටවල් සමඟ කටයුතු කිරීමේ දී මියන්මාර අනන්‍යතාව ඉහළින්ම ආරක්ෂා වූ අතර සෙසු රටවල් අතර මියන්මාරයට කිසියම් ගරුත්වයක් ද විය. යුරෝපා ජාතිකයකු නොවන ප්‍රථම එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ‘යූ තාන්ට්’ බිහිවූයේ ද මියන්මාරයෙනි. එදා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වූ ‘යූ තාන්ට්’ ස්වකීය කාර්ය මණ්ඩලයට මියන්මාරයෙන් බඳවාගෙන තිබූ සේවක පිරිස අතර ‘අවුන් සාන් සු කී’ ද වූවාය. ඒ 1961 වසරේ දීය.   
මියන්මාර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට කණකොකා හඬන්නේ 1962 දීය. ඒ එම වසරේ දී මියන්මාර හමුදාවේ ජෙනරාල් ‘නේ වින්’ සිදු කළ හමුදා කුමන්ත්‍රණයත් සමඟිනි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යටතේ රට ධනවාදය කරා ගමන් කරමින් තිබෙන බව හමුදා කුමන්ත්‍රණයේ නිදහසට කරුණ වූ අතර රාජ්‍ය බලය නේ වින් අතට පත් වීමෙන් පසු ‘සමාජවාදය කරා වන බුරුම මාවත’ ඔවුන්ගේ ප්‍රතිපත්තිය විය. බෞද්ධාගම වෙනුවෙන් මුල්තැන ලැබුණු අතර පෞද්ගලික ව්‍යාපාර සියල්ල හමුදා පාලනය යටතට ගනු ලැබීය.   
මේ හමුදා පාලනය මියන්මාර ජනතාව ප්‍රතික්ෂේප කර සිටියේ වරක් හෝ දෙවරක් නොවේය. මේ විරෝධතා 1974, 1975, 1976, 1977 වසරවල අඛණ්ඩව ක්‍රියාත්මක විය. මේ සියල්ල ජනතාව වෙත පරාජය උරුම කරමින් නවතා දැමීමට හමුදා පාලනය සමත් විය. අවි බලය මෙන්ම දේශපාලන බලයද, තීන්දු ගැනීමේ හැකියාවද එක් පාර්ශ්වයක් සතු වීමේ ආදීනව මියන්මාරයෙන් මුළු ලොවටම දිස් විය.   


මේ වන විට මියන්මාරයේ යකඩ ගැහැනිය අවුන් සාන් සුකී දේශපාලනයට ප්‍රවිෂ්ට වී අවසන්ය. ඇය සියලු‍ බාධක මැද මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටියාය. ඇයගේ දේශපාලන පක්ෂය ‘ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජාතික ලීගය’ නම් විය. 1988 දී ඇය එම පක්ෂය පිහිටුවන විට ඇයට සහය ලබා දීමට මියන්මාරයේ හමුදා පාලනය ගැන කලකිරීමෙන් සිටි හිටපු හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙක් ද සහය දුන් බව මෙහි සඳහන් කළ යුතුමය.   


1990දී එරට පැවති මහ මැතිවරණයෙන් සුකී ගේ දේශපාලන පක්ෂයට සියයට 81ක ජනතා බලයක් හිමිවූ නමුදු මැතිවරණ ප්‍රතිඵලය අවලංගු කර දිගටම පාලනය ගෙන යාමට මියන්මාර හමුදා ප්‍රධානීන් කටයුතු කළහ. ජනතා කැමැත්ත ඔවුන්ට වැදගත් වූයේ නැත. ඒ වෙනුවට සුකී ට හිමිවූයේ නිවාස අඩස්සියයි. ඇය 1989 සිට 2010 දක්වා නිවාස අඩස්සියේ පසුවූවාය. එය වසර විසි එකක දීර්ඝ කාලයක් විය. ඇයගේ සැමියා වූ භූතානය සහ හිමාල සංස්කෘතිය පිළිබඳ ඉතිහාසඥ මයිකල් ඒරිස් සහ දරු දෙදෙනා ඇයගෙන් වෙන් කෙරුණු අතර ඇය රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියල්ල දරා සටනේම රැඳී සිටියා. ඒ වෙනුවෙන් 1999දී ඇයට නොබෙල් සාම ත්‍යාගය ද හිමි වූ බව සඳහන් කළ යුතුය.   


අවසානයේ 2010 වසරේ දී ඇයගේ ඉවසීම, දරා ගැනීම සහ සටන්කාමීත්වය ද, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මියන්මාර් ජනතාව තුළ පවතින දැඩි බලාපොරොත්තුව ද හමුවේ ඇය නිදහස් කිරීමට මිලිටරි ජුන්ටාවට සිදුවිය.   


නිවාස අඩස්සියෙන් මිදුණු සුකී යළි තම දේශපාලන ජීවිතය අරඹන අතර විදෙස් බලපෑම හමුවේ ඇයට ඒ සඳහා ඉඩ සැලසීමට ද හමුදා පාලකයන්ට සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස 2011 වසරේ දී මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කෙරෙන්නේය.   


2015 වසරේ දී මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු යෙදුණු අතර එම මහ මැතිවරණයෙන් සුකීගෙ පක්ෂය අති විශාල බහුතරයක් සහිත ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය. තමන් හුදකලාව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටනේ නිරත වූයේ යැයි සුකී සිතා සිටියාට තමාව තම රටේ ජනතාව කිසිදා තනි නොකළ බව ඇය එදින වටහා ගන්නට ඇත. නව රජයේ ඇය වෙනුවෙන්ම නව ධුරයක් ස්ථාපිත කෙරුණු අතර එය ‘රාජ්‍ය උපදේශක’ යනුවෙන් විය.   


සුකී අති විශාල ජනතා බලයක් ලැබුවද ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව තුළ සුකීගේ පාක්ෂිකයන්ට හිමිවූ නියෝජනය සියයට 75ක් පමණක් විය. පාර්ලිමේන්තු අසුන්වලින් සියයට 25ක් සහ ප්‍රධාන අමාත්‍යාංශ තුනක බලය හමුදාව සතු විය.   


සුකී ඇතුළු පිරිස හැකිතරම් ජනතාවාදී පාලනයක් ගෙන ගිය බව සඳහන් කළ යුතුය. මේ සඳහා සුකීට විදේශ රටවල සහය ද නොඅඩුව හිමි විය. එහෙත් 2017 වසරේ දී එරට රකිනේ ප්‍රාන්තයේ සිදුවූ රොහින්ග්යා අර්බුදය හේතුවෙන් සුකී විදේශයන්හි දැඩි දෝෂදර්ශනයට ලක්වුව ද බහුතර මියන්මාර ජනතාව තුළ නම් ඇයගේ ජනප්‍රියත්වය තව තවත් ඉහළ දැමීමට එය හේතුවිය. මේ වන විට මියන්මාර හමුදාවට සුකී පාලනය ඇතිවෙමින් යන බවක් පෙනෙන්නට විය.   


සුකී පාලනය සමඟ හමුදා පාලනය සමපාත නොවූ අතර 2020 වසරේ දී ඒ වන විට එරට හමුදා නායක ජෙනරාල් මින්ග් අවුන්ග ලායින්ග් පවසා සිටියේ ‘සිවිල් පාලනය මගින් සමාව දිය නොහැකි වැරදීම් සිදුවෙමින් පවතින බවයි’. 2020 නොවැම්බර් 3 වැනිදා හමුදා නායකයා මෙසේ පවසා සිටියේ නොවැම්බර් 8 වැනිදා එරට මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබියදීය. එසේ වුවද රොහින්ග්යා සිදුවීමේදී නම් සුකී සහ හමුදාව අතර මනා අවබෝධයක් වූ බව සඳහන් කළ යුතුය.   


තත්ත්වය එසේ තිබිය දී නොවැම්බර් මස 8 වැනිදා මියන්මාරය යළිත් මහ මැතිවරණයක් පැවැත්වූ අතර එහිදීද අති විශාල ජනතා බලයක් සුකීට හිමි විය. එහෙත් එවර මැතිවරණ වංචා සිදුවූ බවට විපක්ෂයෙන් චෝදනා එල්ල වන්නට විය. කෙසේ වුවද මේ චෝදනාවලට පිළිතුරු දීමට සුකී කලබල නොවූ අතර ඇය තම හිතවත් පුද්ගලයන් අතරින් ජනාධිපති, අගමැති සහ කැබිනට් මණ්ඩලයට පත් කිරීම්වල යෙදුණාය. එහෙත් පාලනය යළි තමා අතට ගැනීමේ හමුදා උත්සාහය වැළැක්වීමට ඇයට හැකියාව ලැබුණේ නැත.   


හමුදාව මෙවර තම මාවත ලෙස ප්‍රජාතන්ත්‍රවාදී මාවතම තෝරාගෙන තිබූ අතර 2021 ජනවාරි 26 වැනි දින හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරල් සවු මින් ටුන් පවසා සිටියේ ආණ්ඩුව සිදු කළ මැතිවරණ වංචා නිවැරදි කිරීමට කටයුතු නොකරන්නේ නම් ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවනු ඇති බවයි. විදෙස් මාධ්‍ය පසුව වාර්තා කර සිටියේ ඒ වන විටත් රැන්ගුන් නුවර මහා මාර්ගවල හමුදා රථ ගමන් කරමින් තිබූ බවයි.   


රටවල් රැසක රාජ්‍ය නායකයන් ද මියන්මාර හමුදා කුමන්ත්‍රණය හෙළා දැකීමට කටයුතු කර ඇති අතර අභිනවයෙන් පත්වූ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හමුදා පාලනයට තර්ජනය කරමින් පවසා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය හැකි තරම් ඉක්මනින් යළි ස්ථාපිත කළ යුතු බවයි. එසේ නොකළහොත් ඇමෙරිකාව මියන්මාරයට සම්බාධක පැනවීමට කටයුතු කරන බව ද බයිඩ්න් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.   
කෙසේ වුවද වසර එකොළහකට පසු යළිත් අවුන් සාන් සුකී නිවාස අඩස්සියට පත් වී තිබේ. ඇය මේ වන විට 75 වැනි වියේ පසුවන අතර පෙර තිබූ සටන්කාමීත්වය ඇයගෙන් බැහැර වී නොමැති බව කිව යුතුමය.   

 

 

ඉන්දියාවේ “ද වීක්”‍ ප්‍රවෘත්ති සගරාව ඇසුරෙනි   
(පරිවර්තනය - තිළිණි ද සිල්වා)