මිනිසුන්ට ලෙඩ දැමූ කළුවා ලෙඩෙක් වී මිය ගියේය


ජීවිතය යහමගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   


මතුගම පියසේන දොඩම්ගොඩ මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

මිනිසුන්ට ලෙඩ දැමූ කළුවා ලෙඩෙක් වී මිය ගියේය. 


එද‌ා ඇළ දොළ, ගහ කොළ, කෙත්වතු, සතා සීපාවාගෙන් යුක්ත වන පෙත් වලින් ගහන වූ ගම්මානයේ තිබුණේ කටුමැටි වරිච්චි බිත්තියෙන් නිමවා පොල් අතු සෙවිළි කළ ගෙවල් හත අටක් පමණි. රසායනික ද්‍රව්‍යයන් හා විෂ පොහොර වර්ග එදා භාවිතයේ නොතිබුණ බැවින් ගැමි ජනතාව නිදුක් නිරෝගිව පුරා ආයුකාලය සුවසේ ගතකළ බව නොරහසකි. 


කල්යාමේදී අැතිවූ විවෘත ආර්ථික රටාවෙන් පසු සියල්ල කණපිට පෙරලී සියළු සාර ධර්ම හා ගුණධර්ම නොතකා රුපියල් සත පමණක් දේවත්වයේ ලා සලකන ජන සමාජයක් බිහි විය. එකිනෙකා පරදා ඉහළයාම ගැමි සමාජයේ සිරිත නොවුණත් ගමේ දියුණුව කරා යන අයට අකුල් හෙළන කුහකයන්ද නොසිටියා නොවේ. සුළුවෙන් හෝ අණවින හදිහූනියම් කොඩිවින මලපරේත බන්දන කළ හැකි පෙරේතයෙක් වැනි ‘‘කළුවාද’’ එවැන්නෙකි. වවාකියාගෙන හොඳින් කාලය ගත කරන අය දුටුවිට මම ඕකුන්ට කරන්නම් ​ෙහාඳ වැඩක් කියා ගෙහිමියාට මතුරා නූල් පන්නා ලෙඩ කර භූමි පාළු වළදමා විනාශකර කොක්හඬ නගා සිනාසෙන කළුවාට නම් ඉහෙන් බහින රෝගයක් නොවිණ.   


 තම සැමියගේ මෙම අමන ක්‍රියාවලට තමාගේ කැමැත්තක් නැතිවුණත් කළුවාගේ බිරිදට කළහැකි දෙයක් නොතිබුණි. කළුවාගේ අතවරවලට පත් ගැමියන් ඇදුරන් ලවා ශාන්තිකර්ම තොවිල් ආදිය කර කළුවා කළ දෝෂ දුරුකර ගත්තද ඔහු දිගටම ගම්වැසියන්ගේ දියුණුවට බාධා ක​ෙළ්ය කළුවාගේ හැටි ගම්වැසියන් දැනගෙන සිටියත් ඔහුගේ මුහුණට කිසිවක් නොකීවේ ඔහුගේ ගුරුකම් වලට ඇති බිය නිසාවෙනි. එහෙත් මේ අපරාධකාරයට ‘‘හෙණහත’’ ඉල්ලා ගමේ දේවාලයට ලොස් දෙවියන්ට පුදසත්කාර කිරීම කාගෙත් සිරිත. විය මේ අතර ගහක් ගලක් වැනිව නිරෝගී සිටි කළුවා හදිසියේ රෝගාතුර විය. කිසිම හේතුවක් නැතිව ඔහුගේ මුලු ශරීරය පුරා කසන්නට විය. බිබිලි මතුවී එය දිය බුබුළු බවට පත්ව සැරව ගලා තුවාල වී මුළු ශරීරයම එකම වනයක් බවට පත්වීමට වැඩි දොහක් ගතවු​ෙණ් නැත. කොපමණ ප්‍රතිතාර කළත් සුවයක් ලැබෙන පාටක් පෙනුණේ නැති බැවින් රෝගියා ළඟම ඇති රෝහල කරා ගෙන යන ලදී. කළුවාට වැළඳී තිබුනේ ‘‘කරුම ලෙඩක්’’ බැවින් එන්න එන්නම රෝගය දරුණු වුණා මිස අඩුවු​ෙණ් නැත. අවසානයේ සිහිවිකල් වී වේදනාවෙන් කෑ ගසමින් සිටි කළුවා ලෙඩ ඇඳේදීම අවසන් හුස්ම හෙලීය. නිරපරාදේ මිනිසුන්ට ලෙඩ දැමු කළුවා ලෙඩෙක් වී මියගියේ දෛව​ෙය් සරදමකට මෙනි.   

 


අංගොඩ කුඩා බුත්ගමුව එම්.ඒ. ජයසිරි මහතා ලියා එවූ ලිපියකි.   

අධර්මයෙන් දිවි ගෙවලා - මිය ගියාය දුක් විඳලා   


දශක තුනකට පමණ ඉහත දී ගම් ප්‍රදේශයේ වූ සිදුවීමකි. මෙහි සඳහන් කාන්තාව එක්දරු මවකි. ඇය තම එකම දියණියගේද සහය ඇතිව වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වා ගෙන ගිය අතර ඉන් සාර්ථක දියුණුවක් ද අත් කරගත්තාය. එසේම මන්ත්‍ර ගුරුකම් වැනි කටයුතු කෙරෙහිද එම තැනැත්තිය යොමුවී සිටියාය.   


එහෙයින් දේශපාලන බලවතුන් කිහිපදෙනෙකුම දැන හැඳින ගැනීමට අවස්ථාව සැලසුණ අතර ඇතැමුන් අප්‍රසිද්ධියේ ඇය හමුවීමට පැමිණෙන අයුරුද ඇතැම්විට දැකගත හැකිවිය. එමගින් යම්කිසි බලයක්ද එම කාන්තාව විසින් ගොඩ නගනු ලැබ තිබිණි. එහෙත් ඇය එම බලය උපයෝගී කොට ගත්තේ අන් අයට දුක් පීඩා ගෙන දීම සඳහාය.   


කලක් වගා කටයුතු සඳහා භාවිත කළ පසුව පාළුවට ගිය ඉඩම් කොටස් කිහිපයක් ප්‍රදේශය තුළ තිබූ අතර ඒවායේ අයිතිකරුවෝ යාබද ග්‍රාමයෙහි පදිංචිව සිටියහ. එනමුදු ඇතැම්විට පැමිණ එම ඉඩම් දැකබලා ගැනීමේ සිරිතක් ඔවුන් තුළ තිබිණ. එබඳු අවස්ථාවක් බලා ක්‍රියාත්මක වූ එම කාන්තාව ඔවූහු ඉන් පළවා හැරියාය. ඒ මැරපිරිසක් යොදවා තර්ජනය කිරීම මඟිනි. පසුව ඇය ඉඩම් කිහිපයක්ම තමන් සතු කරගත්තාය.   


ඊට එරෙහිව නීතියේ පිහිට පැතීමට හෝ කිසිවෙක් ඉදිරිපත් නොවූයේ එම තැනැත්තියගේ අසාධාරණ ක්‍රියාකාරම් ඔවුන් හොඳින් දැන සිටි බැවිනි. තමාට වෙනස් මත දැරූ ඇතැමුන්ට රාජ්‍ය අංශයේ රැකියා ලබා ගැනීමට යාමේදී ද ඇය එක් බාදකයක් වූවාය. ඒ ඔවුන් පිළිබඳව දේශපාලකයන් හට වැරදි තොරතුරු සැපයීමට ඇය පුරුදුව සිටිය බැවිනි.   


වරක් අසල්වැසි මව් පිය යුවලක් තම ඉඩම් ඔප්පුව ඇපයට තබනු කැමතිව එම කාන්තාවගෙන් ණය මුදලක් ඉල්ලා සිටියහ. ඇය ඔප්පුව හොඳින් පරීක්ෂා කර බැලුව​ාය. එය පුතු නමින් ලියා තිබූ එකකි. ළාබාල තරුණයෙකු වන ඔහු රාජ්‍ය අංශයේ රැකියාවක නියුතු අයෙක් වූ අතර ඒ වනවිට අවිවාහකව සිටියේය. ​ෙකසේ වෙතත් පුතු කෙරෙහි පැවති විශ්වාසය මත ණය මුදල ඔවුනට ලබා දුන්නාය. ගිවිස ගත් පරිදි ණය මුදලින් විශාල ප්‍රමාණයක් පොලියද සහිතව ගෙවා දැමූ අතර පසුව යෙදුණ දුශ්කරතාවයක් මත සුළු කොටසක් පමණක් ගෙවා දැමීමට නොහැකි විය. පුතු ඒ බව එකී කාන්තාවට පවසා සිටියේය. ඇය තම දියණිය දැනුවත් කළ අතර හිඟ මුදල නොතකා හැරියාය. පමණක් නොව ඔප්පුව ද යළි එම පුතුහට භාර දුන්න​ාය.   


ටික කලක් ගතවූවා පමණි පුතුගේ හැසිරීමෙහි වෙනසක් ඇති වී තිබෙන බව මවු පිය යුවළට අවබෝධ විය. ඒ ඔහු එම දියණිය හමුවීම පිණිස නොයෙක් විට ඇගේ නිවසට යාමත් වෙනදාට වඩා ළෙන්ගතුකම් පෑමත් හේතුවෙනි. මෙය කිසිසේත් නොවිය යුතු දෙයකැයි ඔවුහු කල්පනා කළහ. ඊට හේතු වූයේ පුතුට වඩා වසර කිහිපයකින් ඇය වැඩිමල් තැනැත්තියක් වීමය.   


නොයෙක් දේවාල වෙත ගිය මවුපිය දෙදෙන පුතු ගැන සාස්තර ඇසීමට උනන්දු වූහ. කිසියම් වශී ගුරුකමක් ඔහුට බලපා ඇති බව එහිදී හෙළිවිය. ඒ අනුව පුතු මෙම අවාසනාවන්ත ඉරණමෙන් මුදා ගැනීම පිණිස ඔවුහු නොයෙක් දේ කළහ. එහෙත් ඊට මුදල් වැය වූවා මිස නිසි ප්‍රතිඵලයක් අත් නොවීය. පුතු තුළ තමන් කෙරෙහි පැවති ලැදිකම හා සෙනෙහස කෙමෙන් කෙමෙන් අහිමි වීම එම මවුපියන් හට දරාගත නොහැකි දුකක්  විය. ඔහුගේ හදිසි වෙනස් වීම පිළිබඳව සිහිකරමින් ඔවුහු මහත් සිත් වේදනාවෙන් කල් ගෙවූහ.   


එහෙත් වසරක් ගෙවී යාමට ද මත්තෙන් මවු පිය දෙදෙනා දුක්ඛිත ලෙස මෙලොව හැර ගියහ. පුතු ඉන් නිවසෙහි තනිවිය. එහෙත් වැඩි කලක් එලෙස සිටීමට අවකාශය ලබා නොදුන් එකී දියණිය කිසිදු බියක් සැකයක් නොමැතිවම පැමිණ එහි පදිංචි වූ අතර ඔහු තම සහකරු බවට පත්කර ගනු ලැබුවාය.   


මෙය සිදුවී ගතවූයේ කෙටි කලකි. ඇයගේ මව එකවරම රෝගී වූවාය. දෑත දෙපා අප්‍රාණිකව ඇවිද යාමටද නොහැකි වූ අතර වේදනාවෙන් විලාප දෙන්නට වූවාය. කරන ලද ප්‍රතිකාර මගින්ද සුවයක් නොලැබුණි ආහාරපාන කොතෙකුත් ලබාදුන් නමුදු කුසගිනි ඉවසනු බැරිව දුක් අඳෝනා නගන්නට වූවාය. එලෙස වසර පහක් පමණ ඔත්පළව වේදනා විඳ ඇය පසුව මෙලොව හැර ගියේ බියපත් මුහුණින් යුතුවය.   


අධාර්මිකව ජීවිතය ගෙවමින් අනුනට දුක් වේදනා ගෙනදීමෙන් අත්කරගත් පාප කර්මයට මෙලොවදීම ඇය විපාක ලැබුවේ එලෙසය.   

 



අතුරුගිරිය වික්‍රම සමරසිංහ මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

නපුරු මසුරුකමේ පල විපාක   


කොළඹට සමීප ගමක විසූ ජොන්සන් අප්පු උරුමයෙන්ම ඉඩ කඩම් වස්තු තිබූ ඉතා මසුරු ධනවත් අයෙකි. ඔහුගේ නපුරු මසුරුකම ද පරම්පරා උරුමයෙන්ම ආ එකකි. දුක් මහන්සි වී ඔහු වස්තුව උපයගෙන නොතිබුණ ද පරම්පරාවෙන් උරුම වූ එම දේපල ඉතා මසුරුකමින් රැක ගැනීමට ජොන්සන් දක්ෂ විය. ඔහුට අයිති ඉඩමක් මතින් හදිසියකටවත් කිසිවකුටත් යෑම තහනම්ය. දිරාපත් වූ දර කැබැල්ලක් හෝ පොල් අත්තක් වැනි යමක්වත් ගෙන යෑම ද තහනම්ය. ඔහුගේ විශාල පොල් ඉඩමට මායිම්ව ගම්මානයක් මෙන්ම නිවාස සංකීර්ණයක් ද විය. ඒවයේ ජනතාව පහසුව තකා කෙටි මාර්ගයක් වූ ජොන්සන්ගේ පොල් ඉඩම හරහා හදිසියක දී යෑම් ඊම් කළහ.   
එය වැළැක්වීමට ජොන්සන් නොකළ පහත් වැඩක් නැත. ඔහුගේ ඉඩමේ අඩි පාරවල් හරහා කම්බි ගැසීම, වීදුරු කටු ඇතිරීම, සත්ව මළකුණු සහ විෂ කටු වර්ග දැමීම, විදුලි රැහැන් ඇදීම ඉන් කිහිපයකි. තවද ඉඩමෙන් ගමන් කරන අහිංසක මිනිසුන්ට එරෙහිව නොයෙක් බොරු චෝදනා නගා පොලිසියේ පැමිණිලි කර දඩුවම් ද ලබා දුන්නේය. මසුරුකම නිසාම ඔහු පාවහන් ද නොපැළඳවූයේය. දිනක් එම ඉඩමට ගිය ඔහුට මියගිය සර්පයෙකුගේ විෂ කටුවක් දකුණු පාදයේ ඇනුනි. ඉඩම මතින් යන අයගේ පාදවල ඇනීමට එම විෂ කටු ඔහුම යොදා තිබුණත් ඔහුටම එය අමතක වී ඒ මතින් ගමන්කර ඇත. ඉන් ඔහුගේ පාදයේ දරුණු විෂ තුවාලයක් ඇතිවිය. නොයෙක් ප්‍රදේශවල වෙදුන් වෛද්‍යවරුන් හමුවී විවිධ පර්යේෂණවලට යොමුව වර්ෂ ගණනක්ම එයට ප්‍රතිකාර ගත්තත් සුවයක් නොවීය. ඒ සඳහා බලිතොවිල් ද කළහ. ඉන් කිසිදු පලක් නොවී දිනෙන් දිනම තුවාලයෙන් අධික වේදනා දෙමින් එය තව තවත් වර්ධනය විය. වෛද්‍ය මතය අනුව ජීවිතය බේරා ගැනීම උදෙසා එම පාදය කපා ඉවත් කරන්නට ද සිදුවිය. එ්ත් ඔහුගේ ජීවිතයට එයින් ද සුවයක් නොවීය. ඒ වෙනුවෙන් විවිධ වියදම් දරමින් තවත් කාලයක් බොහෝ නොයෙක් ප්‍රතිකාර කළ ද ඒ එකකින්වත් කිසිදු සුවයක් නොලැබ දුක් වේදනා විඳ අවසානයේ ඔහුට මරණය උද‌ාවිය. ප්‍රදේශවාසීහු ද ඔහුට අත්වූ ඉරණම ගැන අවංකවම දුක් වූහ. ඒත් ඔවුන් අදටත් පවසන්නේ තණ්හාවෙන් ජොන්සන් කළ නොයෙක් කෲර පාපතර නපුරු වැඩ නිසා ඔහුටම වේදනාකාරී ඉක්මන් මරණයක් අත් වූ බවයි.   

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් එ්‍වා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්