මිනිසා විසින් මිනිසා සූරා කෑ ඇන්ගෝලාව


වළපල්ලට ගිය රටවල්

 

 

බොහෝ රටවල පාලකයින්ගේ, දේශපාලකයින්ගේ සාක්කුවලට සල්ලි වැටෙන විට ගුණධර්ම, ආචාර ධර්ම තුරන් වී යයි. ඔව්හු හැසිරෙන්නේ කුරගාය හැදුණු හරක් වගේය. අද ලොව බොහෝ රටවලට අවශ්‍ය වී ඇත්තේ මනුෂ්‍යත්වය අගය කරන, මුදලට නොව යුක්තියට සාධාරණයට ආදරය කරන පාලකයින්ය. ඇතැම් රාජ්‍යයන්හි බලවතුන් තනි තනිව දිව්‍යලෝක තනති. මේ රටවල අපායවල් බිහිවෙන්නේ පොකුරු පිටින්ය. මේ දේශයන්හි උගතුන් රට හැර යති. නූගතුත් විසින් රට පාලනය කරනු ලබති. නරකාදියට තල්ලුවෙන්නේ මේ රටවල්ය.


අතරින් පතර මුණගැසුණ මනුෂ්‍යත්වය


අප්‍රිකාව හඳුන්වන්නේ අඳුරු මහද්වීපය වශයෙනි. අද වළපල්ලට ගිය රටවල් තීරයෙන් හඳුන්වා දෙන්නේ. අප්‍රිකාවේ තවත් අඳුරු ජනරජයකි. මෙයද අලුත් පාලනයක් බිහි කිරීමට පෙර අලුතින් නොසිතන පුරවැසියන් බහුතරයක් වෙසෙන දිළිඳු රටකි. මම විවිධ විදේශ රාජ්‍යයන්හි ගිය මඟ තුළ සිය දහස් ගණනින් මනුෂ්‍යයින් දුටුවෙමි. ඒත් ඒ මඟ තුළ මනුෂ්‍යත්වය මුණගැසුණේ අතරින් පතරය. අප්‍රිකාවේ මේ අඳුරු රට ඇන්ගෝලාවයි. (ANGOLA) නැතහොත් ඇන්ගෝලා ජනරජයයි.


1975 දී පෘතුගාලයෙන් නිදහස ලබා වසර 43ක් ගත වී ඇතත් ඇන්ගෝලාව එතැනමය.


ඉදිරියට ගිය බවක් පෙනෙන්නට නැත. දිනකට ඉන්ධන (පෙට්ට්‍රල්) බැරල් ලක්‍ෂ 14ක් නිපදවන, දියමන්ති, රත්රන්, තඹ ආදියෙන් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් උපයන මේ රට ලොව දිළිඳුම රටවල් 50ක ලැයිස්තුවට ඇතුළත් වූයේ කෙසේද? ‘‘නිව්​ෙ‌යා්ර්ත් ටයිම්ස්’’ (New York Times) පත්‍රය හඳුන්වන්නේ ඇන​්ගෝලාව තෙල්වලින් පො​ෙසාසත් දූෂිත හා දුප්පත් රාජ්‍යයක් (OIL RICH BUT DIRT- POOR) වශයෙනි. මේ රටට මේ ඉරණම අත් වුණේ පාලකයින් විසින් එහි තෙල් හා දියමන්ති ආදායම ගසා කන නිසාය. යටිමඩි ගහන නිසාය. රටේ සාරය උරාබොන නිසාය. අතීතයේදී මේ රට පෘතුගීසින් සූරා කනු ලැබූහ. දැන් දේශපාලකයෝ සූරාකති.
අප්‍රිකාවේ 7 වැනි විශාලතම රට මෙයයි. ලෝකයේ 23 වැනි විශාලතම රටයි මේ. එය ප්‍රංශය මෙන් දෙගුණයක් විශාලය. මෙය ලොව අඩුම ආයුෂ කාලයකින් යුත් ජනතාවක් වෙසෙන රටකි. මෙහි මිනිසෙකුගේ ආයුකාලය අවු 56 දක්වා අඩු වී ඇත්තේ දරිද්‍රතාව, රෝ බිය හා අහේනිය නිසාය.


මිනිසා විසින් මිනිසා සූරාකෑම


නැම්බියාව, කොංගෝව, සැම්බියාව යන රටවලට මැදිව අත්ලාන්තික් සාගරයට මුහුණලා පිහිටි ඇන්ගෝලාව තවත් අසමත් රාජ්‍යයකි. (FAILED COUNTRY) කෝටි දෙක හමාරකට වැඩි (2,57,89,024) ජනගහණයකින් සමන්විතය. වර්ග කිලෝ මීටර් 12,46,700ක් හෙවත් ව.සැ. 4,81,400ක් විශාලය. මුළු ජනගහනයෙන් සියයට 77ක් දිළින්දන්ය. ඔවුන්ගේ දෛනික ආදායම ඩොලර් 1.50කට අඩුය.


මෙහි මුළු ජනගහණයෙන් සියයට 42ක් අවුරුදු 15ට අඩු දරු දැරියන්ය. ඔව්හු ගොවිබිම් වල ගිනි අව්වේ වැඩ කරන අයුරු හද කම්පා කරවනසුලු ය. මෙම ළමයින්ගෙන් බොහෝ දෙනා ධනපතියන්ගේ නිවාසවල මෙහෙකාරකම් කරති. ජනතාව බඩගින්නේ මොරදෙද්දී ඩොලර් බිලියන 1කට වැඩි මුදල් වැය කර පාපන්දු ක්‍රීඩාංගණ හදන ඇන්ගෝලාව වැනි රටක් දියුණුවෙන්නේ කෙසේද? විරැකියාව උග්‍ර වී ඇත. මිනිස් ශ්‍රමයට ගෙවන්නේ සොච්චම් මුදලකි. පාලන තන්ත්‍රයේ පහළ සිට ඉහළට හැම අංශයකම දූෂණය, වංචාව, අල්ලස, හොරකම ඉහ වහා ගොස්ය. මිනිසා විසින් මිනිසා සූරාකෑම සැබෑ ලෙසම සිදුවෙන දේශයකි.


අැන්ගෝලාවේ හොරා පොලිස් සෙල්ලම


රට නැත්තට නැති වුණේ එහි සිදු වූ සිවිල් යුද්ධයෙනි. මේ වසර 26ක සිවිල් යුද්ධයෙන් මියගිය අයගේ සංඛ්‍යාව ලක්‍ෂ 10කට වැඩිය. අවතැන්වූවන්ගේ සංඛ්‍යාව ලක්ෂ 45 කට වැඩිය. 2016 වර්ෂයේ ඇන්ගෝලාවට බලපෑ නියඟය නිසා රට කබලෙන් ළිපට වැටුණේය. මෙහි පළාත් 7කට මෙම නියඟය තදින් බලපෑවේය. මින් වගා බිම් විනාශ වී ගියේය. රටේ ආහාර හිඟයක් ඇති විය. විදේශ රටවල් හා ජාත්‍යන්තර සංවිධානවලින් ලැබුණු නියං ආධාර දේශපාලකයින් ගසා කෑ අයුරු ප්‍රකටය. සිවිල් යුද්ධය පවතිද්දී යුද අවිවලින් ගසා කෑම ගජරාමයට සිදුකළ පාලකයින් නියං ආධාරද ගසා කෑම හේතුවෙන් රට බංකොළොත් විය.

 


අඳුරු මහාද්වීපයක පැතිකඩක්


මේ රටේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව ලංකාවට වඩා 5 දෙනෙකුගෙන් අඩුය. එනම් මන්ත්‍රීවරු 220කි. මොව්හු දේශපාලන පක්‍ෂ 5කට අයත් මන්ත්‍රීවරුන්ය. රට තිබුණ තැනටත් පල්ලෙහාට ගොසින්ය. ඇන්ගෝලා පාර්ලිමේන්තුවෙන් රටට වෙන සෙතක් නැති බව කියන්නේ විදේශ ජන මාධ්‍යයන්ය. හරක් ගාලක් නඩත්තු කරන්නට රජය දැවැන්ත ධනස්කන්ධයක් වැය කරන බව මාධ්‍ය වාර්තා දක්වයි. මේ රටේ ද සිටින්නේ රටට දැයට වැඩදාායක, ගුණගරුක විනයගරුක අවංක පුද්ගලයින් තම පාලකයින් වශයෙන් තෝරාපත් කර ගැනීමට දැනුමක් ඥානයක් නැති පුරවැසියන්ය.


ඡන්දයෙන් දිනූ දා සිට හොරකමට මුල් තැන දෙන දේශපාලකයින්ගෙන් රටකට වැඩක් තිබේද? මේ කියන ඇන්ගෝලාවේ සිදු වී ඇත්තේ මෙයයි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය නිකුත් කළ ප්‍රකාශනයක සඳහන් වෙන පරිදි ඇන්ගෝලාව ඇතුළු අර්මේනියාව, ඉතියෝපියාව, නේපාලය, සෙනෙගාල් යන රටවල රාජ්‍ය තන්ත්‍රයන්හි මහා පරිමාණයෙන් දූෂණ සිදුවෙන බව අනාවරණය වේ. ලෝක බැංකුව, ඇම්නස්ටි ඉන්ටර්නැෂනල්, ඉබ්‍රහිම් ඉන්ඩෙක්ස් වාර්තාද මේ බව සනාථ කර ඇත. මේ මා දුටු අඳුරු මහාද්වීපයක පැති කඩකි.


සුරපුරයි- අපායයි එක තැන


ඇන්ගෝලාවේ අගනුවර වූ ලුවන්ඩා (LAUNDA) සුරපුරයක් පරිදිය. දේශපාලකයින්, ධන කුවේරයින්, ඉන්ධන නිධි හිමිකරුවන්, දියමන්ති හා රත්රන් ජාවාරම්කරුවන්ගෙන් පිරි ලුවන්ඩා අගනුවර මහා මන්දිර, සුඛෝපභෝගි යාන වාහනවලින් සමන්විතය. තරු පහේ හෝටල් හැම තැනමය. මේවායෙහි ප්‍රධාන ජාවාරම සූදු සෙල්ලමය. නගරයෙන් පිට පළාත්වලින් බොහොමයක් මිහිපිට අපායකි. බොහෝ පළාත්වල ගමනාගමන, සෞඛ්‍ය, විදුලිය, අධ්‍යාපන, පානීය ජලය ආදී පහසුකම් නැත. රටේ මුළු ජනගහණයෙන් සියයට 38කට පානීය ජල පහසුකම් නැත. ළමයින්ගෙන් සියයට 35කට පමණ අධ්‍යාපන පහසුකම් නැත. ලිංගාශ්‍රිත රෝගයක් වූ එච්.අයි.වී. (H.I.V) ඒඩ්ස් වෛරසයෙන් පෙළෙන අයගේ සංඛ්‍යාව 3,00,000 කට වැඩිය. මින් සියයට 65ක් ස්ත්‍රීන්ය. නිසි උපත් පාලන ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන නිසා ජනගහණය සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. රට පුරා මැලේරියාව, කොළරාව, ඩෙංගු උණ සහ කහ උණ යන රෝග පැතිරෙමින් පවතී.


ඇන්ගෝලාවේ නඩු අහන හැටි


මෙහි විවිධ ව්‍යාපෘති ඇරඹීම සඳහා චීනයේ එක්සිම් (EXIM) බැංකුවෙන් 2004 වර්ෂයේ සිට ණය මුදල් ලබා දුන්නේය. මුල්ම ණය මුදල ඩොලර් බිලියන 2කි. චීන ණය ගෙවා ගැනීමට නොහැකිව ඇන්ගෝලාව වළපල්ලට ඇදී වැටුණේය. දේශපාලකයින්ගේ උප්පරවැට්ටිවලින් තැළී පොඩි වී පෙළී සිටින ඇන්ගෝලාවේ ජනතාව ගේ ශෝකාලාපය රැව් පිළිරැව් දෙමින් පවතී.


මෙහි හිටපු ජනාධිපති සැන්ටෝස්ගේ පාලන තන්ත්‍රය අවසන් වූයේ ඔහු ඉල්ලා අස්වීමෙන් පසුවය. ජෝ මැනුවෙල් ලොරෙන්සෝ නව ජනපති වූ වහාම පොලිස් ලොක්කා, බුද්ධි අංශ ප්‍රධානියා, ආරක්‍ෂක ප්‍රධානියා ප්‍රමුඛ රටේ මර්මස්ථානවල වැජඹුණ හිටපු ජනපතිගේ ඥාතීන් එම තනතුරුවලින් ඉවත් කරන ලදී. හිටපු ජනපතිගේ දියණිය වූ ඉසබෙල් සියලු ඉන්ධන නිෂ්පාදන ආයතනයන්හි ප්‍රධානියා වශයෙන් ක්‍රියා කළාය. ඇයද තනතුරෙන් ඉවත් කරන ලදී. මේ අතර නීතිපති ඩී සෝසාද එළවා දැමුවේය. මේ සියලු දෙනාට එරෙහිව නව පාලනය මගින් විවිධ දූෂණ චෝදනා යටතේ නඩු පවරනු ලැබූ නමුත් එම නඩු විභාග වෙන්නේ ඉබි ගමනිනි. ඊට හේතුව ඇන්ගෝලාවේදී දූෂිත අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මක වෙන නිසාය.


හිටපු නීතිපති ඩී සෝසාට එරෙහි නඩු විභාගය 4 වැනි වරටත් කල් දමා ඔහුට පෘතුගාලයේ නිවාඩුවක් ගත කිරීම සඳහා යාමට ඉකුත් අප්‍රේල් 24දා ඇන්ගෝලා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අවසර දුන්නේය. සැන්ටෝස්ගේ අවුරුදු 38ක පාලන තන්ත්‍රයේ නියමුවන් තවමත් ඇන්ගෝලාව හසුරුවන බව දැන් සනාථ වී තිබේ.

 

 

 

 

සිරී හීන්පැල්ල
නිව්​ෙ‌යා්ර්ක් නුවර සිට ලියයි