මිනිසත්කම මතු කළ ආණමඩුවේ මිනිස්සු


 

 

ආණමඩුව නගරයේ කා සමඟත් හිත හොඳ වඩවමින් වසර 30කට ආසන්න කාලයක් ආපන ශාලාවක් පවත්වාගෙන යමින් නගරයේ කාගෙත් මිතුරකු වූ මොහොමඩ් නවුෆර් මහතාගේ ආපන ශාලාවට ගොඩ වැදී තේ කොප්පයක හෝ කෑමක රසක් නොබැලූ කෙනෙකු නැති තරම්ය. තම ආපන ශාලාවට ගොඩ​ෙවන අයට පමණක් නොව සෑම කෙනෙකුටම ඔහු ලෙන්ගතු මිනිසෙකු විය. 


 ඒ නිසාම කිසිදු විටක ඔහුට කිසිම අයෙකු වචනයකින් හෝ දොසක් තැබීමට කටයුතු කර නොතිබුණි. එවන් අයකුගේ ආපන ශාලාව 11 දින අලුයම 2ට පමණ කිසියම් පිරිසක් ගිනි තබා වනසා ඇති බව කන වැකුන විට එයින් කම්පාවට පත්වූ නගරයේ ව්‍යාපාරිකයින් සේම ජනතාව වැළ නොකැඩී අදාළ ආපන ශාලාව වෙත කඩිනමින් පැමිණ ඇවි​ෙලමින් තිබූ ගින්න නිවා දැමුවේ නවුෆර් මහතා එම ස්ථානයට ඔහුගේ නිවසේ සිට පැමිණීමටත් පෙරය.
 ආපන ශාලාවට ගැසූ පෙට්‍රල් බෝම්බය හේතුවෙන් ආපන ශාලාවේ වහලය සම්පූර්ණයෙන් පිළිස්සී ඇතුළත තිබූ බඩු බාහිරාදිය විනාශ වී තිබූ අතරම මේ ගින්න නිසා අසල පිහිටි දුරකථන වෙ​ෙළඳ සැලකට ද හානි වී තිබුණි. අනෙක් වෙළෙඳසැල් වෙත ගින්න පැතිරී යාමට තිබූ ඉඩකඩ ජනතාව වළකා ඇත්තේ දැඩි පරිශ්‍රමයක් දරමිනි.


 ආපන ශාලාව ගිනිගෙන විනාශ වී තිබෙනු දුටු නවුෆර් මහතා කිසිවකුටවත් වචනයකින්වත් දොසක් නැගුවේද නැත. නමුත් සිදුව ඇති විනාශයෙන් කම්පාවට පත්ව සිටින ආකාරය දැක ගත හැකි විණි. 


ආපන ශාලාවට ගිනි තැබීමට සම්බන්ධ සැකකරුවන් සොයා ආරක්ෂක අංශ කටයුතු කරද්දී ආණමඩුවට සිදුවූ කළු පැල්ලම ඉවත් කිරීමට නගරයේ ව්‍යාපාරික සංගමය සහ ජනතාව වහාම එකඟතාවයකට පැමිණ තිබුණි. ඒ සඳහා ආරක්ෂක අංශවලින් ද ඉතා ඉහළ දායකත්වයක් ලබා දී තිබුණි. 

 

 

 ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ව්‍යාපාරික සංගමය තම සංගමයේ මුදල් කිසිදු සිමාවකින් තොරව වැය කරමින් විනාශ වූ ආපන ශාලාව නැවත තිබූ ආකාරයටම සකස් කිරීමට කටයුතු කරද්දී නගරයේ සෙසු ජනතාව ද ඔවුන්ට හැකි සෑම දායකත්වයක්ම දක්වමින් මේ සඳහා එක්ව සිටි අතර වහලය සකස් කිරීමට පහලගම වඩුකාර්මිකයන් ද එක්ව සිටියහ.


 රටටම ආදර්ශයක් ලබා දෙමින් ගිනි තබා විනාශ කළ ආපන ශාලාව දිනක් යන්නටත් පෙර තිබූ ආකාරයටම නැවත සකස් කර දෙන්නට සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේම දායකත්වය ලබා දීම පිළිබඳව රටටම පණිවිඩයක් එක්කර තිබුණි. 


 එසේ සියලු කටයුතු අවසන් කළ පසු ආපන ශාලාවේ කටයුතු නැවත ආරම්භ කිරීම සිදු වූයේ මහා සංඝරත්නය සහ මුස්ලිම් මව්ලවි තුමන්ගේ ආගමික කටයුතුවලට මුල් තැන ලබා දෙමිනි. ඒ අවස්ථාවට දේශපාලනඥයින් සේම ආරක්ෂක අංශ නිලධාරීන් ද එක්ව සිටියහ.


 එකම මේසයේ තේ කෝප්පයක රස බැලූ සියලු දෙනා විසිර ගියේ සංහිඳියාව වචනයට නොව ක්‍රියාවන්ගෙන් ඔප්පු කළ බව මතක් කරමිනි. 


 මෙම නොහොඹිනා ගිනි තැබීම සිදුකළ වයස අවුරුදු 17, 18, 20, 22, සීමාවන්වල තරුණයින් හත් දෙනෙකු ආණමඩුව පොලිසිය මේ ​ෙවනවිට අත්අඩංගුවට ගෙන ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. මොවුන් අතර පාසල් සිසුවකු සේම පොලිස් නිලධාරියකුගේ පුත්‍රයකු සිටින බව කියයි. අත්අඩංගුවට ගත් පිරිසට අමතරව මේ සඳහා අනුබල දුන් බව කියන තවත් තරුණයින් කීපදෙනෙකු ද සිටින බවත් මොවුන් නීතියේ ඇසින් ගැලවී ඇති බවට ද චෝදනා එල්ල වෙමින් තිබේ.

 

 

 

 

සටහන සේයාරු 
හිරාන් ප්‍රියංකර ජයසිංහ