මැණික් සොයන මැණිකෙලා


 

මාල වළලු මුදු කරාබු රත්තරන් රිදී මුතු මැණික් පැලඳවීම සඳහා බොහෝ කාන්තාවෝ වැඩි වශයෙන් ඇලුම් කරති. එනිසාම කාන්තාවට රත්තරනේ. මැණික, මැණිකේ ආදී නම් තබන්නට ද පැරැන්නෝ අමතක නොකළහ. මැණික කාන්තාවකට සම කරන්නට ද කවියන් ගීත රචකයින් සාහිත්‍යධරයින් ගත් උත්සාහයන් ද අතීතයේ පොතපත හාරා අවුස්සා බැලීමේ දී මෙන්ම වර්තමානයේදී පසක් වන කරුණකි. 


පතල් කර්මාන්තය ඈත අතීතයේ සිටම කතාබහට ලක්වන ව්‍යාපාරයකි. පතල් කවි වලින් කියවෙන්නේ ද පිරිමි අය පතලේ වැඩ කරන බවය. එමෙන්ම ඔවුන්ගේ විඩාව සංසිදුවා ගැනීමට ඔවුන් තම අඹුදරුවන් මතක් කොට කවි ගායනා කළ අවස්ථා අපමණය. 


මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කළු ගඟ ප්‍රදේශය මැණික් සඳහා ඉහළ ඉල්ලුමක් පවතීන බලප්‍රදේශයකි. 


ලග්ගල ප්‍රදේශයේ පිරිමින් පරයා කාන්තාවන් මැණික් සෙවීමට දිවා රාත්‍රි දෙකෙහිම ඉතා කටුක ජීවිතයක් ගත කරන බව එම ප්‍රදේශයේ බොහෝදෙනා දනිති. එහෙත් වටිනා නිල් මැණික් මහපොළොව යට සැඟවී තිබෙන්නාක් මෙන් ලග්ගල කළුගඟ ප්‍රදේශයේ කාන්තාවන් පතල් රැකියාවේ නිරතවනවාය කියන පසුබිම රටේ බොහෝදෙනා නොදනිති. එම නිසාම අපි මෙම නිල් මැණික් සොයන ලග්ගල ලලනාවන්ගේ ජීවිතවලට එබී බලන්නට තීරණය කළෙමු. 


ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හත්තොට අමුණ, කළු ගඟ, මාඔය මෙන්ම පොළොන්නරු දිස්ත්‍රික් මායිමේ පිහිටි කිරිඔය ප්‍රදේශයේ ද පතල් කැපීම සහ මැණික් ගැරීම වසර ගණනාවක සිටම සිදු කෙරෙන්නෙකි. ඒ අතර මාඔය ප්‍රදේශයේ කාන්තාවන් රැසක් මෙම පතල් රැකියාවේ නිරත වෙන බවට ලැබුණු තොරතුර සමඟ අපි එහි ගියෙමු. 
වසර ගණනාවකට ඉහතදී ලැබුණු මැණික් ගැන වහ වැටුණු මෙම වනිතාවෝ තවමත් සුමුදු දෑත්වල කරගැට මතුවෙනතුරු දහදිය මුගුරු වගුරාගෙන නිල් මැණික්, ගෙවුඩ, ආරුනූල්, පසින්ගල් යන මැණික් වර්ග සොයමින් සිටිති. 

 

 


මෙම ගමනේ දී අපට හමු වූ එස්.කේ.කේ.ඒ. සේපාලිකා කුමාරි මහත්මිය (55) සිය ජීවිත කතාව මෙන්ම මැණික් කර්මාන්තයේ ඇති දුක, සතුට, සැප ගැන මෙසේ පැවසුවාය. 
 “මම අවුරුදු 10 ක 15 ක ඉඳලා මෙම රස්සාව කරනවා. ඒ කාලේ කීයක් හරි හොයාගන්න පුළුවන්. හැබැයි දැන් නම් ටිකක් අමාරුයි. ඒත් අපි අත්හරින්නේ නෑ. මොකද මගේ මහත්තයට අංශභාගය හැදිලා දැන් ගොඩක් කල් වෙනවා. එයාව ජීවත් කරවන්න දරුවෝ ජීවත් කරවන්න මම වෙන රස්සාවක් කළේ නෑ. පතල් රස්සාව තමයි කළේ. හැබැයි මම අනුන්ගේ පතල්වල වැඩට ගියෙත් නෑ. මටම කියලා පතලක් කපා ගත්තා. ඒ කාලේ ගඟේ ගිහිල්ලා ගැරුවා. දැන් මගේ ගෙදර පිටිපස්සෙම පතලක් බැහැලා ගෙදර පිටිපස්සෙම වළක් හදාගෙන ඉල්ලන් ටික හෝදන එක තමයි කරන්නේ” 


ඉස්සර වගේ නෙවෙයි දැන් මැණික් හරි අඩුයි. ගොඩ දෙනෙක් මැණික් රස්සාව කරනවා. ඒ නිසා මැණිකුත් අපිට දැන් ගණන් උස්සලා. මේ අත්වල කරගැට තියෙන්නේ අලවංගුවට උදැල්ලට. මොනව කරන්නද? අපි පුරුදු රස්සාව මේක නිසා කරනවා.” 


 “අපිට ළමයිනුත් උදව්පදව් කරනවා නැතුව නෙවෙයි. හැබැයි අපට කවුරුත් දිහා බලාගෙන ඉන්න බෑ මහත්තයාගේ බෙහෙත් හේත් කටයුතුවලට ලොකු මුදලක් යනවා. මම අන්තිමට මීට මාස කිහිපයකට කලින් මැණික් ගලක් වික්කා. හැබැයි එදා ඉදලා තාම හරියට මැණිකක් හම්බවුණේ නෑ. පුංචි දළං කෑලි පොඩි මුදලට හම්බ වෙනවා. ඒක එදිනෙදා විකුණනවා පොඩි ගණන්වලට.” 


 “කවද හරි මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා හොඳ නිල් මැණිකක් මට ලැබෙයි කියලා. ඒ බලාපොරොත්තුව අතාරින්නෙ නෑ. 


ලග්ගල මාඔය පදිංචි, වසර ගණනාවක සිට පතල් රැකියාව සිදුකරන එස්. සර්දාවති (50) මහත්මිය. 


 “මගේ දරුවනුත් මමත් දැන් වසර 10 ක 15 ක ඉඳලා පතල් රස්සාව තමයි කරන්නේ. අපිට දැන් ඒක පුරුදු වෙලා. කීයක් හරි හොයා ගන්නෙ ඒකෙන්. කුලී වැඩත් කරනවා. නැතුව නෙවෙයි. හැමදාම කුලී වැඩ නෑ. හැබැයි මහ පොළොවත් එක්ක ඔට්ටු වුණහම පොඩි දලං කෑල්ලක් හරි හොයාගන්න පුළුවන්. දවසෙ වියදම හොයාගන්න. හැබැයි අවුරුදු හත අටකින් මට හරියට ගලක් හම්බවුණේම නෑ.” 


“හැබැයි උත්සාහය අත්හරින්නෙ නැහැ. මහත්තයා නැතුව දරුවෝ ටික හදා ගත්තෙ මේ මහ පොළොවත් එක්ක ඔට්ටු වෙලා තමයි. ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මටත් හොඳ ගලක් හම්බවෙයි කියලා. මහන්සිවෙනවා. මහපොළොව අපිට වාසනාව පාදයි කියලා ලොකු බලාපොරොත්තුවකුත් තියෙනවා.” 

 

 


 “කාන්තාවෝ පිරිමි කියලා වෙනසක් නැහැ. පිරිමි කරන ඕනෑම වැඩක් අපිට කරන්න පුළුවන්. අපිට පතල් කපන්න පුළුවන්. මැණික් ගරන්න පුළුවන්. ඉල්ලන් ටික ගොඩ දාන්න පුළුවන්. පිරිමි කෙරුවත් කරන්නේ ඕකම තමා. ඉන් එහාට දෙයක් කරනවාද? එනිසා අපිට දැන් හොඳට පුරුදුයි මේ​ෙක. ප්‍රශ්නේ තියෙන්නේ හොරෙන් පතල් කපන අයත් ඉන්නවා. ඒ අයට මොනවත් ප්‍රශ්න නෑ. හැබැයි ඉතින් සමහර වෙලාවල් වලට අපේ ලයිසන් දාලා බලපත්‍ර අරගෙන කපනවට නිතර නිතර පොලීසියෙන් එනවා. පතල් කාර්යාංශය ඇවිත් බලනවා. හැබැයි ඉතින් මහා පරිමාණයෙන් ඩෝසර් දාගෙන පතල් කරන අය හැමදාම දිනුම්. අපි ඉතිං පොඩි පතලක් කරගෙන ඉන්න අය හැමදාම පැරදී ජීවිතයක්.” 


මධුවන්ති කැලුම් මහත්මිය (25) 


“අපි ඉතිං තරුණයි කියලා වෙන රස්සා නෑ. අම්මලත් එක්ක පුංචි කාලෙ ඉඳලම පතල් කැපුවා. දැන් ඒක හුරු වෙලා. කාටහරි පතල් කපන්න උදව් කරලා ඉල්ලන් ටික ඇදලා දීලා සමහර දවස් වලට පඩිය ගන්නවා. එහෙම නැත්නම් කොටහට ඒ වැ​ෙඩ් කරනවා. ගලක් හම්බුනහම වියදම් ඇරලා අපි දෙකට බෙදා ගන්නවා. අපේ ලොකුම බලාපොරොත්තුව නිල් කැටයක් හම්බවෙයි කියලා. හැබැයි බොහෝ අය හිතාගෙන ඉන්නේ අපිට වාසනාව නෑ කියලා. හැබැයි අපේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. අපි හොඳ ගලක් හමු උනොත් වාසනාවන්තයො කියලා තමයි හිතන්නේ. ඒ දවස කවදහරි උදාවෙයි කියලා තමයි ඉන්නෙ.” ඇය කීවාය. 

 

 


සටහන-ඡායාරූප
දඹුල්ල කාංචන කුමාර ආරියදාස