මාව මරා දමන්න ප්‍රභාකරන් නියෝග දී තිබුණා


 

උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා උතුරේ ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් නැගී සිටින දේශපාලනඥයෙකි. කලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කළ ඒ මහතා 2015 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම විශේෂ සිදුවීමක් විය. ටෙලෝ සංවිධානයේ දේශපාලන අංශ සාමාජිකයකු ලෙස දේශපාලන ගමන්මගට පිවිසි ඔහු දේශපාලනයට නැඹුරු වූයේ ළමාවියේ සිටය. 


වැල්වැටිතුරෙයි  ගමේ උපන් ඔහු ළමාවියේ සිටම ප්‍රභාකරන් දැන හඳුනාගෙන සිටියේය. තම ජීවිතයට තර්ජනයක් ඇති බැවින් ඉන්දියාවට පලායෑමට උපකාර කරන මෙන් ප්‍රභාකරන් ඉල්ලා සිටියේ ඔහුගෙනි. අවසානයේ එයම පාරාවළල්ලක් බවට පත්වී ඔහුගේ දිවි තොර කිරීමට ප්‍රභාකරන් උත්සාහ කළේය. සිය දේශපාලන ජීවිතය සහ උතුරේ එවක පැවැති සන්නද්ධ සංවිධාන හා එල්.ටී.ටී.ඊය සම්බන්ධයෙන් සිය අත්දැකීම් පිළිබඳව සිවාජිලිංගම් මන්ත්‍රීවරයා සමඟ පසුගියදා යාපනයේදී කළ සාකච්ඡාවකි.

 


● ඔබේ දේශපාලන ජීවිතයේ ආරම්භය කෙබඳුද?
මගේ මවගේ බාල සොහොයුරා නීතිඥවරයෙක්. ඔහු මෝතිලාල් නේරු. 1965දී ඔහු කොමියුනිස්ට් පක්ෂයෙන් පේදුරුතුඩුව ආසනයට තරග කළා. මාමාගේ හිතවත්කම මත එස්.ඒ. වික්‍රමසිංහ, කොල්වින් ආර්. ද සිල්වා, පීටර් කේනමන් වැනි වාමාංශික නායකයන් මාමාගේ නිවෙසට ආව ගියා. ඔවුන්ගේ කතාබහ මට හරිහැටි නොවැටහුණත් ඒවා මගේ සිත් ගත්තා. සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ රජය පැවැති කාලයේ විශ්වවිද්‍යාවලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී සිංහල සිසුන්ට එක් ලකුණු මට්ටමකුත් දෙමළ සිසුන්ට තවත් ලකුණු මට්ටමකුත් ඇති කිරීමට එරෙහිව දෙමළ ශිෂ්‍ය ව්‍යාපාරය මෙහෙයවන ලද උද්ඝෝෂණ සහ විරෝධතාවලට පාසල් සිසුවකු වශයෙන් මා එක්වුණා. අප රජයට විරෝධතාව පළ කළේ පෙළපාළි යෑම, කළු කොඩි දැමීම, දේශපාලනඥයන්ට විරෝධය පෑම වැනි ක්‍රියාවලින්.


තවදුරටත් එබඳු විරෝධතාවලින් රජයට අපේ ප්‍රශ්න පිළිබඳ හැඟීමක් ඇති නොවන බැව් අපට පැහැදිලි වුණා. එහෙයින් ආයුධ සන්නද්ධ අරගලයකට යෑමට තරුණ පිරිස් තීරණය කළා. 1969දී ටෙලෝ සංවිධානය ආරම්භ කෙරුණා. එයට සම්බන්ධ තරුණයෝ බැංකු, වෙළෙඳසල්, සමුපකාර ආදිය කොල්ලකෑම, සුළුසුළු ප්‍රහාර එල්ල කිරීම වැනි නීතිවිරෝධී ක්‍රියාවල නිරත වෙමින් මුදල් ඉපයූවා. 1973දී මම ටෙලෝ සංවිධානයට එක් වනවිට මගේ වයස අවුරුදු 16යි. මා සම්බන්ධ වූයේ දේශපාලන අංශයටයි. සන්නද්ධ සටන් සඳහා සහභාගී වූයේ නැහැ. 

 


● ප්‍රභාකරන් හා ඔබ අතර ඥාති සම්බන්ධයක් තිබෙනවාද?
ඔව්. හැබැයි ඒක දුර නෑ සබඳකමක්. ඇතැම් අය කියා තිබෙනවා මම ප්‍රභාකරන්ගේ මස්සිනා කියලා. අප අතර තිබෙන්නේ විවාහ නිසා ඇති වූ ඥාතිත්වයක් විනා ලේ ඥාතිත්වයක් නොවෙයි.

 


● ඔබට ප්‍රභාකරන් හමුවන්නේ කොහොමද?
මා කුඩා කාලයේ සිට ඔහු හඳුනනවා. අපි එකම ගමේ අය. ප්‍රභාකරන් මගේ වැඩිමහල් සොහොයුරාගේ හොඳම මිතුරා. ඔහු ඒ කාලයේ අප නිවෙසට පැමිණ සොහොයුරා සමඟ බොහෝ වේලා කතාකරමින් සිටිනවා. එවැනි අවස්ථාවල මා සමඟත් කතාබහ කරනවා. 1969 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනීි සිටීමෙන් ටික කාලෙකට පස්සෙ ප්‍රභාකරන් ටෙලෝ සංවිධානයේ සාමාජිකයකු බවට පත්වුණා. මා එම සංවිධානයට සම්බන්ධ වනවිට ඔහු එහි සාමාජිකයෙක්. 

 


● ප්‍රභාකරන්ගේ ළමා කාලයේ සිදුවීම් මතකද?
ප්‍රභාකරන්ගේ පියා දිස්ත්‍රික් ඉඩම් නිලධාරිවරයා. ඔහු නීතිගරුක රජයේ නිලධාරියෙක්. ඒ වගේම වැල්වැටිතුරේ සිවන් කෝවිලේ භාරකාරයා වුණේ ඔහුයි. ඔහු කිසිදිනෙක මස්මාංශ අනුභව කළ අයකු නොවෙයි. ඔහු දැඩි පුද්ගලයෙක්. ඔහු තම දරුවන්ටත් දැඩි නීති පනවා තිබුණා. ගමේ කොලුකුරුට්ටෝ සරම් ඇඳගෙන, කමිස නැතිව පාරෙ ගියත් ප්‍රභාකරන්ට හා ඔහුගේ වැඩිමහලු සොහොයුරා වූ මනෝහරන්ට සරොම් ඇඳගෙන නිවෙසින් එළියට බැසීමට පවා තහනම් කරලා තිබුණා. ඔවුන් එළියට යනවා නම් කොට කලිසම් ඇඳගෙන යා යුතු වුණා. දැඩි විනයක් සහිත පරිසරයකයි ප්‍රභාකරන්ගේ ළමා කාලය ගෙවුණේ. ප්‍රභාකරන් කුඩා කාලයේ දඩබ්බර පුද්ගලයෙක් නොවයි. පියාගේ නීතිරිති යටතේ හොඳින් ජීවත් වූ කෙනෙක්. පසුකාලයේ ඔහු සන්නද්ධ සංවිධානයකට එක්වීම පිළිබඳව ඔහුගේ පියා දැඩි කෝපයකින් පසු වුණා.

 

 


● ඔබ ටෙලෝ සංවිධානයට සම්බන්ධ වූයේ කෙසේද?
කුමරප්පා, ගෝපාලස්වාමි මහෙන්ද්‍රරාජා නොහොත් මහත්තයා වැනි අය මගේ පන්ති මිතුරන්. ඔවුන් සියලු දෙනා ටෙලෝ සංවිධානය සමඟ එක්වුණා. සංවිධානයට එක්වන ලෙස ඔවුන් මගෙන් ඉල්ලා සිටියා. දකුණේ රජය දෙමළ ජනතාවට සිදුකරන අසාධාරණකම්වලට විරෝධය පෑම සඳහා මා එම සංවිධානයට එක් වුණා.

 


● ප්‍රභාකරන්ට ඉන්දියාවට පැනල යන්න උපකාර කළේ ඔබ නේද? එය සිදුවූ අයුරු පැහැදිලි කරන්න. 
ප්‍රභාකරන් සහ ටෙලෝ සංවිධානය එක්ව කටයුතු කළ කාලයක් තිබුණා. ඒ කාලයේ යාපනයේ සුප්‍රසිද්ධ නිර්වේලි බැංකු කොල්ලය සිදුකරනු ලැබුවේ තංගතුරේ, කුට්ටිමනි, ප්‍රභාකරන්, තේවන් වැනි පිරිසක් විසිනුයි. ඔවුන් රුපියල් ලක්ෂ 81ක් කොල්ල කෑවා. කොල්ලයෙන් දින දහයකට පසු කොල්ලයට සම්බන්ධ වූ තංගතුරෙයි, කුට්ටිමනි සහ තේවන් නමැති තිදෙනා පේදුරුතුඩුවේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත්තා. ප්‍රභාකරන්  හැංගුණා. මේ කාලයේ උතුරේ සන්නද්ධ කල්ලි පහ හයක් තිබුණත් 1983 වනතෙක් ඒ සියල්ලේම සිටියේ 100කට අඩු සාමාජිකයන් පිරිසක් පමණයි. මෙම සිදුවීමෙන් පසු මෙම සංවිධානවලට සම්බන්ධ පිරිසෙන් දහදොළොස් දෙනෙක් හැර ඉතිරි සියලු දෙනා අත්අඩංගුවට පත්වුණා. මගේ පුංචි අම්මගේ පුත්‍රයා ප්‍රභාකරන්ගේ සමීපතමයෙක්. ඔහුත් ප්‍රභාකරන් සමඟ සැඟවී සිටියා. දිනක් ප්‍රභාකරන් ඔහු අත මට පණිවිඩයක් එව්වා “හැමෝම අත්අඩංගුවට ගන්නවා. මට හමුදාවෙන් බේරිලා ඉන්දියාවට පැනල යන්න ඕනැ. ඒකට උපකාර කරන්න” කියලා. මම ඔහුට එන්න කියලා වැල්වැටිතුරේ ප්‍රදේශයෙන් ආරක්ෂිත ස්ථානයක් සපයා දුන්නා. එහිදී අපි බොහෝ දේ සාකච්ඡා කළා. ප්‍රභාකරන් මට කිව්වා “අපේ සංවිධානයේ නායකයන් වැඩි දෙනෙක් අත්අඩංගුවේ පසුවෙනවා අපි කොහොම හරි ඉන්දියාවට ගිහින් පිරිස එකතු කරලා ශ්‍රී ලංකා හමුදාවට මුහුණ දිය යුතුයි” කියලා.


ටෙලෝ සංවිධානයේ නායකයකුගේ සහෝදරයෙක් හිටියා. ඔහු බෝට්ටු හිමිකරුවෙක්. මා ඔහු හා සාකච්ඡා කර ප්‍රභාකරන් ඇතුළු දස දෙනෙක් ඉන්දියාවට පිටත් කළා. සැකයක් ඇති නොවීම සඳහා ඔවුන් පිටත් කළේ වැල්වැටිතුරෙයි හමුදා කඳවුර ආසන්න ස්ථානයක සිටයි. ප්‍රභාකරන් මට කිව්වා ජුනි 5 වැනි දිනය ඔහුට ඉතා සුබ දවසක් ඒ නිසා කොහොම හරි එදා රෑම ඔහු ඉන්දියාවට පිටත් කර හරින්න කියලා. එහෙත් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න නිසා මා කිව්වා පසුදින රාත්‍රියේ පිටත් කරන්නම් කියලා. ඔවුන් ඉන්දියාවට පිටත්ව ගියේ 1981 ජුනි මාසෙ 6 වැනිදා. එදා සිට වසර 21ක් ගතවන තෙක් මා ප්‍රභාකරන් දුටුවේ නැහැ. 1982 දී එල්.ටී.ටී.ඊය හා ටෙලෝ අතර තිබූ සබඳතාව බිඳිලා ගියා. අපි වෙනම සංවිධානයක් ලෙසත් එල්.ටී.ටී.ඊය වෙනම සංවිධානයක් වශයෙනුත් ක්‍රියාත්මක වුණා.


ප්‍රභාකරන්ට ඉන්දියාවට පලායෑමට උපකාර කළ ආකාරය පිළිබඳව 1990 දී ඉන්දියානු මාධ්‍යවේදී නාරායන් ස්වාමිට ප්‍රකාශ කළා. ඔහු එය ‘ලංකා කොටි’ ග්‍රන්ථයේ සඳහන් කර තිබුණා. මෙයට ප්‍රභාකරන් දැඩි ලෙස කෝප වී කියා තිබුණා ඇයි මෙයා මේවා කියන්නෙ කියලා.

 


● ප්‍රභාකරන් අවස්ථා කීයකදී ඔබ ඝාතනය කිරීමට උත්සාහ කළාද?
86 ටෙලෝ සංවිධානයට පහරදුන් අවස්ථාවේ එකම මොහොතක මා සැඟවී සිටිය හැකි බවට සැක කළ නිවාස පහකට කඩා පැන මා සෙව්වා. 89 මැතිවරණ සමයේ දෙතුන් වරක් උත්සාහ කළා. 90-91 කාලයේ කොළඹදී දෙතුන් වරක් උත්සාහ කළා. 94 මට වෙඩිතිබ්බා. ඒ අවස්ථාවෙත් අනූනවයෙන් බේරුණා. 96 අගෝස්තු 25දා ත්‍රිකුණාමල දිස්ත්‍රික් කාර්යාලයේදී බෝම්බ ගහලා මරන්න හැදුවා. 97-98 කාලයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් සිටියදී මාව මරන්න උත්සාහ කළා. 2000 වසරෙත් දෙතුන් වතාවක් උත්සාහ කළා. එල්.ටී.ටී.ඊයෙන් පමණක් නොවෙයි හමුදාවෙනුත් මට ජීවිත තර්ජන තිබුණා. ඔවුන් හිතුවේ මම එල්.ටී.ටී.ඊ කාරයෙක් කියලයි. ඊ.පී.ඩී.පි. එකත් මා මරන්න උත්සාහ කළා. ඒ කාලයේ මා ගතකළේ ජීවිතයත් මරණයත් අතර දාං අඳින පුද්ගලයෙක් වගෙයි.

 


● එල්.ටී.ටී.ඊය හා ටෙලෝ අතර විරසකය ඇති වූ කෙසේද?
1984 වැනි කාලයේ ටෙලෝ සංවිධානය තුළ අර්බුදයක් නිර්මාණය වුණා. ප්‍රදේශ දෙකක සිටි ටෙලෝ කණ්ඩායම් දෙකක් අතර විරසකයක් ඇති වුණා. මම සංවිධානයේ නායකයා වූ ශ්‍රී සභාරත්නම් සමඟ ගිහින් එය සමථයකට පත්කළා. පසුව ශ්‍රී සභාරත්නම් මේ කණ්ඩායම් දෙකෙන් එක් කණ්ඩායමකට සහය දැක්වූවා. ඔහුගේ අනුදැනුම ඇතිව අනෙක් කණ්ඩායමේ පුද්ගලයන්ට වෙඩි තැබුවා. මෙම සිදුවීමෙන් ටෙලෝ සංවිධානය දුර්වල වුණා. ‘දෙමළ ඊළාම් අරගලය වෙනතකට යොමුවීමට බලපෑ ප්‍රධානම සිදුවීම දාස් නමැති ටෙලෝ නායකයා ටෙලෝ සංවිධානය විසින්ම ඝාතනය කිරීමේ ක්‍රියාවලිය බවට’ ඉන්දියානු මාධ්‍යවේදියකු සඳහන් කර තිබුණා. මෙය ශ්‍රී සභාරත්නම් ඔහුගේ දකුණත කපා දැමූවා වැනි ක්‍රියාවක් බවයි ඔහු සඳහන් කර තිබුණේ. මෙම සිදුවීමෙන් මසකට පසු එල්.ටී.ටී.ඊය අපට පහර දෙන්නට පටන් ගත්තා. ඔවුන්ට අවශ්‍ය වූයේ අනෙකුත් සියලු සංවිධාන ඉවත් කර දමා ඔවුන් පමණක් දෙමළ ජනයාගේ එකම ගැලවුම්කරු බව පෙන්වන්නයි. ඔවුන් 1984 අප්‍රේල් 29 දා ටෙලෝ සංවිධානයට ප්‍රථම ප්‍රහාරය එල්ල කළා. එය එක් ප්‍රදේශයකට පමණක් සීමා වුණේ නැහැ. යාපනය, මඩකළපුව, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල නොනවත්වාම ප්‍රහාර එල්ල කෙරුණා. මා තවදුරටත් වැල්වැටිතුරේ රැඳී සිටියා නම් ඔවුන් මාවත් මරා දමනවා. ඒ කාලයේ මගේ මව්පියන් සහ සහෝදර සහෝදරියන් වාසය කළේ එදා ප්‍රභාකරන් ඉන්දියාවට යැවීම සඳහා සඟවා තැබූ නිවෙසේ. එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් කණ්ඩායම් පහක් එකම මොහොතක එම නිවසට හා අපගේ ඥාතීන්ගේ නිවෙස්වලට කඩා පැන මා සොයා තිබුණා. මම ඔවුනට හසු නොවී මන්නාරමට ගියා. මම ප්‍රභාකරන්ට කොතරම් උපකාර කළත්, ඔහු කුඩා කාලයේ සිට හඳුනාගෙන සිටියත් මා මරා දමන්නට ඔහු නියෝග දී තිබුණා. මේ ප්‍රදේශයේ කොටි අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කළේ ප්‍රභාකරන් සමඟ සිටි මගේ ඥාති සොහොයුරා. ඔහු මගේ මිතුරකුට පවසා තිබුණා එල්.ටී.ටී.ඊය මරා දැමූ පුද්ගලයන්ගේ ලැයිස්තුවල සිවාජිලිංගම්ගේ නම නැහැ ඒ නම එනකං අපි බලාගෙන ඉන්නවා කියලා. ඒ වගේම මගේ ලොකු අම්මාගේ පුතාත් මාව මරන්න ආපු තවත් පුද්ගලයෙක්. මෙම සොහොයුරන් දෙදෙනාම දැන් ලන්ඩනයේ ජීවත් වෙනවා. 


එල්.ටී.ටී.ඊය මා හා අමනාප වූයේ මම ඔවුන්ගේ සංවිධානයට එක්නොවීම නිසයි. ඔවුන්ගේ ඇතැම් ක්‍රියා මම අනුමත නොකළ බැවින් කොටි සංවිධානයට එක්වීමට මගේ කැමැත්තක් තිබුණේ නැහැ. ඔවුන් සිවිල් ජනතාවට බොහෝ හිරිහැර කළා. අපේ අරමුණ වූයේ දේශපාලන විසඳුමකින් දෙමළ ජනයාගේ අයිතිවාසිකම් දිනාගත යුතු බවයි. ඔවුන්ගේ එකම අරමුණ වූයේ සන්නද්ධ අරගලයකින් සියල්ල දිනාගත යුතු බවයි. 


මා වැල්වැටිතුරෙයි නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කළ කාලයේ එල්.ටී.ටී.ඊය නගර සභාව පුපුරුවා හැරියා මා මරා දමන්න. වාසනාවකට මා එදින කොළඹ පැමිණ සිටි නිසා ජීවිතය බේරුණා.

 


● ටෙලෝ සංවිධානය දේශපාලන පක්ෂයක් බවට පත්වූණේ කොහොමද?
එල්.ටී.ටී.ඊයේ මරණ තර්ජන හේතුවෙන් මම කොළඹට පැමිණ මගේ මාමා වූ නීතිඥ මෝතිලාල් නේරුගේ නිවෙසේ නැවතී සිටියා. වසර දෙකක් පමණ මා කිසිදු සංවිධානයකට සම්බන්ධ වූයේ නැහැ. 1988දී ටෙලෝ සංවිධානය දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය වුණා. 1989 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ තරග කළා. එම මැතිවරණයට ටෙලෝ පක්ෂයෙන් තරග කරන ලෙසට ටෙලෝ සංවිධානය මගෙන් ඉල්ලා සිටියා. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණත් එම පක්ෂයෙන් තරග කරන ලෙස මගෙන් ඉල්ලා සිටියා. කෙසේ වුවත් මා මැතිවරණයට තරග කළේ නැහැ. එහෙත් ඔවුන්ගේ ජයග්‍රහණය උදෙසා උපරිම සහය ලබා දුන්නා. මා කොළඹ සිටි කාලයෙත් මාව මරා දමන්න එල්.ටී.ටී.ඊය උත්සාහ කළා. මෝටර්සයිකල්වලින් මා යන එන තැන්වල සැරිසරන බව මට දැනගත හැකි වුණා. මම දිගටම ටෙලෝ සංවිධානය සමඟ සිටියා. 1994 පාර්ලිමේන්තු මැතිවරණයට මම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තරග කළා. 1997 කොළඹ මහනගර සභා මැතිවරණයේදී ටෙලෝ පක්ෂයේ නගරාධිපති අපේක්ෂකයා වූයේ මායි. එයත් ජයග්‍රහණය කළ නොහැකි වුණා. චන්ද්‍රිකා කුමාරතුංග රජය 1997 යාපනයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කළා. ඒ කාලයේ අප පක්ෂය තුළ අර්බුද නිර්මාණ වෙලා තිබුණා. පක්ෂ නායකත්වය හිමිවුණේ දේශපාලන අංශ නායකයාට. ඒ අනුව පක්ෂ නායකයා වූයේ මායි. සන්නද්ධ අංශ නායකයා පක්ෂයේ සභාපති. මම වැල්වැටිතුරෙයි නගර සභාවට තරග කර ජයගත්තා. මම එහි නගරාධිපති වුණා. 2000 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළත් ජයගත නොහැකි වුණා. 2001 වසරේ අප පක්ෂ හතරක එකමුතුවෙන් ටී.එන්.ඒ. සන්ධානය නිර්මාණය කළා. එම සන්ධානයේ ප්‍රචාරක රැස්වීම්වලට කයිට්ස් ගිය අවස්ථාවක ඊ.පී.ඩී.පී. පක්ෂය අපට පහර දුන්නා. මා තදබල ලෙස තුවාල ලැබුවා. මගේ වාහනයේ ගමන් කළ දෙදෙනෙක් මරණයට පත් වී 29 දෙනකුට තුවාල සිදු වුණා. කෙසේ හෝ එම මැතිවරණයෙන් ජයගෙන මා පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

 


● ප්‍රභාකරන් පිළිබඳ ඔබේ අවසාන මතක සටහන් කෙබඳුද?
2002 වසරේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් හමුවීමට අවශ්‍ය යැයි එල්.ටී.ටී.ඊය ප්‍රකාශ කළා. ඒ අනුව මන්ත්‍රීවරු 15 දෙනෙක් ප්‍රභාකරන් හමුවීම සඳහා එහි ගියා. එහිදී අපට ප්‍රභාකරන්, පොට්ටු අම්මාන්, සුසෙයි, කරුණා අම්මාන්, තමිල් සෙල්වම්, ඇන්ටන් බාලසිංහම් වැනි අය කිලිනොච්චියේ පිහිටි එල්.ටී.ටී.ඊ. දේශපාලන කාර්යාලයේදී හමුවුණා. ඒ. වසර 21කට පසු ප්‍රභාකරන් මට හමු වූ මුල් අවස්ථාවයි. ‘ආ කොහොමද සිවාජිලිංගම්. උඹ දැන් හුඟක් වෙනස් වෙලානේ’ කියා මා දුටු විගස ඔහු මට පැවසුවා. ‘අපි අන්තිමට හමුවුණේ බොහෝ කාලෙකට ඉස්සෙල්ලා. ඉතින් වෙනස් නොවී සිටිය හැකිදැ’යි මා ඔහුගෙන් පෙරළා ඇසුවා.  අප ඉන්පසු අවස්ථා කිහිපයකදී හමුවුණා. ඒ සෑම අවස්ථාවකදීම අපේ පැරණි හිතවත්කම් මතක් කළේ නැහැ. අපි සාකච්ඡා කළේ දේශපාලන විසඳුමක් වෙත යා හැකි ක්‍රමයක් පිළිබඳව පමණයි. 

 


● ප්‍රභාකරන්ගේ සහෝදර සහෝදරියන් දැන් සිටින්නේ කොහේද?
ඔහුගේ වැඩිමහලු සොහොයුරු මනෝහරන් ඩෙන්මාර්කයේ ජීවත් වෙනවා. වැඩිමහලු සොහොයුරියන් දෙදෙනාගෙන් එක් අයෙක් වන ජගදීස්වරී ඉන්නේ ඉන්දියාවේ. අනෙක් සොහොයුරිය විනෝදිනී කැනඩාවේ ජීවත් වෙනවා.

 


● ඔබ එල්.ටී.ටී.ඊ සංවිධානයේ මරණ වරෙන්තුවට යටත් වී සිටි පුද්ගලයෙක්. එහෙත් ඇතැම් අය ඔබ හඳුන්වන්නේ කොටි සංවිධානයට සහය දක්වන පුද්ගලයකු ලෙසිනුයි. මෙවැනි චෝදනාවක් එල්ල වී ඇත්තේ ඇයි?
යුද්ධය පැවැති සමයේ එය නතර කළ යුතු බවට ඉන්දියානු පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණය කළ කෙනෙක්. එල්.ටි.ටී.ඊය තුන්වැනි පාර්ශ්වයකට අවි බාර දී යුද්ධය අවසන් කොට දේශපාලන ප්‍රවාහයට ඇතුළත් විය යුතුයැයි මම ‘තේසම්’ නමැති දෙමළ මාධ්‍යයට කියා සිටියා. මෙම ප්‍රකාශය දුටු කොටි සංවිධානය මා කෙරෙහි තදින් කෝප වුණා. මට දුරකතනයෙන් කතාකොට අසභ්‍ය වචනයෙන් බැණ වැදුණා. 2001 ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු කිසිදු නිදහස් අරගලයක් යුදමය වශයෙන් ජයග්‍රහණය කළ නොහැකි බව මගේ දේශපාලන දැනුම අනුව මට වැටහී තිබුණා.

සාර්ථකත්වයක් ලබාගත හැකිනම් එය ලබාගත හැක්කේ සාකච්ඡා මාර්ගයෙන් පමණක් බවත් මා වටහා ගත්තා. මගේ මතය වූයේ එක්සත් ලංකාවක් තුළ බලය බෙදාහැරිය යුතු බවටයි. මේ නිසා එල්.ටී.ටී.ඊය මා ද්‍රෝහියකු ලෙස සැලකුවා. දේශපාලනඥයකු වශයෙන් මා දෙමළ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ නැගී සිටිනවා. ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටිනවා. මේවා ඇතැම් අය දකින්නේ වැරදි අයුරින්. ඒ නිසා ඔවුන් මට කොටියා කියා දොස් නගනවා.!

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
ඡායාරූප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය