මාරයාගේ පදයට නටන සංසාරයෙන් මිදෙන්න


රාග, ද්වේශ, මෝහයෙන් මත්වන්නා ඒ මත්වීම හේතු කොටම සංසාරයේ ගමන් කරන බව බුද්ධ දේශනයයි. ඉපදීම, මරණය කෙළවරක් නැතිව හිමි වන්නේ ඔහුටයි. එබැවින් ‘සංසාරයෙන්’ මිදීම නිර්වානාවබෝධය සාක්ෂාත් කර ගැනීමය. අපි කවුරුත් උත්සාහ කළ යුත්තේත් වැර දැරිය යුත්තේත් ‘මාරයාගේ පදයට නටන’ සංසාරයෙන් මිදීම සඳහාය. නිවීම, සැනසීම, ලැබෙනුයේ එවිටය. ඒ සඳහා තවත් කොටසක් අද සාකච්ඡා කරමු.


බුදුරජාණන් වහන්සේ තමන් අවබෝධ කරගත් ධර්මයට අනුව සම්මතය හා පරමාර්ථය කියලා දෙපැත්තක් දේශනා කරනවා. 
මෙහි සම්මතය කියන්නේ මත්වන පැත්තටය. පරමාර්ථ සත්‍යය කියන්නේ ඇත්ත හෙවත් යථාර්ථයටයි.


සම්මතය තුළ තමයි මාර චක්‍රය තියෙන්නේ. මාර චක්‍රය කැරකෙන්නේ රාග, ද්වේශ, මෝහ නමැති ‘සං’ වලිනුය. ධර්ම චක්‍රය කැරකෙන්නේ ‘විසං’ වලින්. වීතරාග, වීත ද්වේශ, වීත මෝහයන් බුදුරජාණන් වහන්සේ මහා නිධාන සූත්‍රයේ ඛේමා භික්ෂුණියට පහන් දැල්ල උපමා කරගෙන අගනා දේශනයක් කරනවා. පහන් දැල්ල පවතින්නේ තෙල් සහ තිරය නිසා. තෙලුත්, තිරයත් නැති නම් පහන් දැල්ලක් නෑ. සංසාර චක්‍රයත් ඒ වගේමයි.


විඤ්ඤාණ ආහාර දෙන්න දෙන්න සංසාර චක්‍රය හරි අපූරුවට කැරකෙනවා. මොනවද විඤ්ඤාණයේ ආහාර. ඒවා තමයි රාග, ද්වේශ, මෝහ, හෙවත් ‘සං’.


විඤ්ඤාණයට ‘සං’ චේතනා ආහාර නුදුන්නොත් විඤ්ඤාණය ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒක හරියට තෙලුත්, තිරයත් නැති පහන වගේ දල්ලක් නෑ.


බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ‘අනේක ජාති සංසාරං’ වශයෙන් ගාථාවකින් ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කළා. එයින් කියැවෙන්නේ ‘සං’ සාර ලෙස ගත් හැම විටම තමන් වහන්සේ සසරේ දුකට පත් වූ බවය.


‘දුක්ඛා ජාති පුනං පුනං’ නැවත නැවත දුක් හටගත්තා කියලා.


 සං (රාග, ද්වේශ, මෝහ) තමයි දුක ඇති කරන්නේ, සං තමයි වේග ඇතිකරන්නේ. සං තමයි වේදනා ඇති කරන්නේ. එහෙනම් දුක තියෙන, සංවේග තියන, සංවේදනා තියන මේ සසර තමයි මාර චක්‍රය. මාර චක්‍රය පුරාම තියෙන්නේ ගිනි ගොඩක්.


පසුගිය දවසක අංගොඩ මානසික රෝහලේ වෛද්‍යවරයෙක් සමීක්ෂණයක් කරලා තිබුණා. ඔහු කියනවා ලංකාවේ ජීවත් වෙන මිනිසුන්ගෙන් ලක්ෂ ගණනක් විශාදය නමැති මානසික රෝගයෙන් පෙළෙනවා කියලා.


එහෙනම් පේනවා නේද, මාර චක්‍රයේ ගිනි ගොඩ අද පත්වී ඇති ස්වභාවය. ගින්න හොඳටම වැඩිවෙලා. මොනවද හේතු මේවත් බලන්න ඕනා. රාගය රසයි, ද්වේශය රසයි, මෝහය රසයි කියලා ගත් නිසා රටේ ලක්ෂ ගණනක් රෝගී වෙලා. ඉදිරියට මේක නැති වේවිද? නැතිවෙන්නේ නෑ. තවත් වැඩිවෙනවා. ඔබ තුළ රාග, ද්වේශ, මෝහ නමැති ‘සං’ වැඩි වෙන තරමට ඔබ මානසික රෝගියෙක් බවට පත් වෙනවා. විශාදය පමණක් නෙවෙයි, ඊට වඩා දරුණු රෝග ඔබට හට ගන්න පුළුවන්. අපි කතා කරන ‘සං’වලින් පමණට වඩා මත් වුණාම ඔබට ඔබ කවුද කියලා වැටහෙන්නේ නෑ. ඔබට ඔබ මොනවද කරන්නේ කියලා වැටහෙන්නේ නෑ. ඔබ ඉන්නේ මනුෂ්‍ය සමාජයක කියලා වැටහෙන්නේ නෑ. ‘සං’වලින් පමණට වඩා මත්වූවන් කරන කාම අපරාධ, කාම අපචාර, දවසින් දවස අහන්න ලැබෙනවා.


මේ ලෙසින් අඩු වැඩි වශයෙන් සියලු දෙනා පෙළෙනවා. එයින් මිදීම විසංඛාර වෙනවා. 


බුදුරජාණන් වහන්සේ දේදාවිතක්ක සන්තාන සූත්‍රයේ තමා තුළින් සත්‍ය ගවේෂණය කිරීමේදී මාරු චක්‍රයත්, ධර්ම චක්‍රයත් දුටු බව ප්‍රකාශ කරනවා.


‘සබ්බ පාපස්ස අකරණං’ සියලු පව් ප්‍රහාණය කළා. පාප චක්‍රය ඉවත් කළා.


‘කුසලස්ස උපසම්පදා’ රාග, ද්වේශ, මෝහ නමැති කුණු මුල් තුන ඉවත් කරලා පිරිසිදු බව ආශ්‍රය කළා. කුසල් ඇසුරු කිරීම හේතු කොට වීත රාගී වුණා. වීත ද්වේශී වුණා. වීත මෝහී වුණා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ඇති වුණා. මේක තමයි ධර්ම චක්‍රය. සංඛාර වන්නේ එයයි. මාර චක්‍රය සංඛාරය.


සංඛාර නිසා අපට වුණු දේ බලන්න.


‘සංඛාර පච්චයා විඤ්ඤාණං
විඤ්ඤාණ පච්චයා නාම රූපං’


සංඛාර ප්‍රත්‍යය කොට විඤ්ඤාණය ඇති වුණා. විඤ්ඤාණය ප්‍රත්‍යය කොට නාම රූප ඇති වුණා. මේ විදිහට ඉපදීම, ආදී සියලු දුකට පත්වීම සිදුවෙනවා. සංඛාර නිසා අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදය අප තුළ හදා ගන්නවා.


මේක තමයි සම්මත ලෝකයේ ස්වභාවය. සම්මතය තුළ කරකැවෙන කෙනා රාග, ද්වේශ, මෝහයෙන් මත් වෙනවා.
බුදු, පසේබුදු, මහරහත් උතුමන්ලා මත් වෙලා නෑ. උන්වහන්සේලා අමතයි. නිර්වාණයක් ‘අමත’යි. ‘අමත පදයට’ පත්වීම යනු සම්මතය නෙවෙයි, ස්වාභාවිකත්වයයි.


ස්වාභාවිකත්වයට පත්වීම ගැන ධම්මචක්ක පවත්තන සූත්‍රයේ සඳහන් වෙනවා. ධම්ම චක්‍රය පැවැත්වීමෙන් ‘අප්පතිවත්තියං’ විඤ්ඤාණයේ පැවතීම නතර වෙනවා. එනම් ‘පඤ්ඤාපනා’ වෙනවා. අප උත්සාහ කළ යුත්තේ මේ කියන ස්වාභාවිකත්වයට පත්වීම උදෙසාය.

සටහන:- අසංක ආටිගල