මාතෘ නිවාසය වෙනුවට රෝහලක් හදාගත් අපූරු ගමක කතාව


රෝහල් ගොඩනැගිලි

 

 

මාතෘ නිවාසයක් රෝහලක් බවට පත් කළ ගමක් ගැන ඔබ අසා තිබෙනවාද? ඔවුන් රෝහලේ ගොඩනැගිලි පවා ගොඩනැඟුවා. රෝහල් කාමර අලුත්වැඩියා කළා. තිබෙන කුඩා සම්පතෙන් පවා උපරිම ඵල ප්‍රයෝජන ගන්න මේ පිරිස අමතක කළේ නෑ. මේ පිරිසට නායකත්වය දෙන්න දෙන්නෙකුත් හිටියා.   


මේ ගම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇලයාපත්තුව නම් ගම්මානයයි. මේ රෝහල ඇලයාපත්තුව ප්‍රාදේශීය රෝහලයි. මාතෘ නිවාසය ප්‍රාදේශීය රෝහලක් බවට පත්කිරීමට ගත් උත්සාහයේ මූලිකයා වෙන්නේ උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි හිමි හා වත්මන ඇලයාපත්තුව ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය ප්‍රියශාන්ත යන දෙපොළයි. රෝහලේ දීර්ඝ ඉතිහාසය පිළිබඳ දැනුමැති සද්ධාරංසි නාහිමියෝ සිය අදහස් මෙසේ පැවසූහ.   


 ‘‘පනස් ගණන්වල තමයි මේ රෝහල ආරම්භ කරලා තියෙන්නේ. මේක මුලින්ම මාතෘ නිවාසයක් විදිහටත් ඩිස්පෙන්සරියක් විදිහටත් තමයි පවත්වාගෙන ගියේ. මේක කාලාන්තරයක් පුරාවට මේ විදිහටම කරගෙන ආවා. මට හිතුණා මේක වෙනස් කරන්න ඕනෑ කියලා. එහෙම හිතලා 2007 දී මම වැඩේට බැස්සෙ. මුලින්ම හැදුවා වාට්ටු දෙකක්. එකක් හාමුදුරුවන්ට අනෙක් එක සාමාන්‍ය ජනතාවට. ඒ දෙකම අල්ලලා දොස්තර මහත්තයෙකුට ඉන්න පුළුවන් පොඩි කාමරයකුත් හැදුවා. ඔන්න ඊට පස්සේ තමයි රෝහලක් හැටියට පිළි අරගෙන මෙතෙක් දුර ආවේ.’’   


‘‘මේ රෝහල තමයි අනුරාධපුර මහ රෝහලට ළඟින්ම තියෙන ප්‍රාදේශීය රෝහල. ගම් 65ක සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍යමය අවශ්‍යතා සපුරා ගන්නේ මේ රෝහලට පින්සිද්ධ වෙන්න. මේ රෝහල මේ තරම් දුරට රැකගෙන ආවේ අහිංසක ගැමියන්ගේ ශක්තියෙන්. වගකිව යුත්තන්ගෙන් දෙයක් ලැබුණත් ඒ ඉතා කලාතුරකින් තමයි. ඉතින් අපි හැමදේම ඉහළ තැන්වලට දන්වන්නෙ නැතිව අපට ඇති සම්පත්වලින් අපි උපරිම ප්‍රයෝජන ගත්තා.’’ 

 
‘‘මෙතනට ආපු හැම දොස්තර කෙනෙක්ම හිටියේ බොහොම අඩු කාලයක්. තිබෙන දුෂ්කර බව නිසා ඉක්මනින් මාරුවීම් හදාගෙන යනවා. හැබැයි 2016 දී මේ රෝහලට ආපු ප්‍රියශාන්ත දොස්තර මහත්තයා අදටත් අපිත් එක්ක ඉඳිමින් මේ රෝහලේ දියුණුවට උර දෙනවා. අර මං පෙර පැවසුවා වගේ අනුරාධපුර මහ රෝහලට කිට්ටුම රෝහල නිසා, මේ තැන ඉතා වැදගත්. හේතුව අවට රෝහල් 4 ක් 5 ක් තිබුණත් අසාධ්‍ය රෝගියෙක් මහ රෝහලට ගෙනියන්නට පෙර අපේ රෝහලෙන් මූලික ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන් නම් ඒ රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට ඇති අවස්ථාව වැඩියි.’’   


 ‘‘අපි මේ කරන්නේ උඩුගං බලා පීනනවා වගේ වැඩක්. නමුත් අපිට ඒක පුළුවන්’’ නායක හාමුදුරුවෝ පැවසුවේ දැඩි අදිටනකින් යුතුවයි.   


2016 ට පෙර මෙතනට ආපු හැම දොස්තර කෙනෙක්ම වැඩි කාලයක් හිටියේ නැහැ. නමුත් 2016 දී රෝහලට ආපු මේ දොස්තර මහත්තයා, අපේ නායක හාමුදුරුවොයි, ගමයි එක්ක එකතු වෙලා රෝහල ගොඩනගන්න අපමණ වෙහෙසක් ගත්තා. ආමි එකයි, සිවිල් ආරක්ෂක බළකායයි ගමේ මිනිස්සුයි එකතු වෙලා රෝහල අවට කැලේ කැපුවා. අනතුරුව රෝහලේ වාට්ටු පිළිසකර කරලා ඇඳන්වලට මෙට්ට, මදුරු දැල් පවා ගෙනත් දැම්මා. රෝහලේ විදුලි සැපයුම, ආලෝක පද්ධතිය නැවත යථා තත්ත්වයට පත් කළා.’’   


‘‘ඔය අතරේ අපේ නායක හාමුදුරුවොයි දොස්තර මහත්තයයි හදිසි ප්‍රතිකාර ඒකකයක් ඇරඹුවා. ඊට අවශ්‍ය නවීන උපකරණ නැතත් තියෙන උපකරණවලින් දොස්තර මහත්තයා ඒ වැඩේ හරියටම කරනවා. ළමා උද්‍යානයක්, වෛද්‍ය නිල නිවාසයක් අඩු පාඩුව තිබුණා. ඒවත් හැමෝගෙම උපකාරයෙන් ගොඩනගා ගත්තා. අද හැම වාට්ටුවකම ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර රෝග පිළිබඳවත් එයින් අත්මිදෙන ආකාරය ගැනත් ගැමියන්ව දැනුවත් කරනවා. අද වනවිට පරිගණක පද්ධතියක් පවා අපේ රෝහලට තියෙනවා’’.

   
‘‘අද ලෙඩ්ඩු 20-30 ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. කොටින්ම කියනවා නම් දොස්තර මහත්තයත් මේ ගමේම කෙනෙක් වගේ. රෝහල අලංකාර කරන්න මල් පෝච්චි, බිමට අල්ලන කොන්ක්‍රීට් කෑලි අපි දොස්තර මහත්තයා එක්ක එකතු වෙලා හදනවා. මේවා හදන්න වැලි ටික පවා ගොඩ දැම්මෙ මේ දොස්තර මහත්තයා. මෙච්චර වැඩ ටිකක් අපි කළේ අපේ නායක හාමුදුරුවන්ගේ මඟ පෙන්වීමෙන් ඇරඹුණු රෝහල් සංවර්ධන කමිටුව නිසා.’’   


කමිටු සාමාජික ජයසූරිය මහතා එසේ පවසද්දී, කමිටු සාමාජික ඉන්දික බණ්ඩාර මහතා රෝහලට අඩුපාඩු හා අවශ්‍යතා රැසකගේ ලැයිස්තුවක් අප වෙත ඉදිරිපත් කළා.   
‘‘අපිට ළමා වාට්ටුවක් නෑ. ගම්මාන 65 හේම දරුවන්ට තියෙන්නේ ඇඳන් 6යි. ළමා වාට්ටුවක වුවමනාව කාලයක සිට අපිට තිබෙන දෙයක්.’’   


‘‘රෝහලේ වාට්ටු, බාහිර රෝගී අංශය, සායන ගොඩනැගිල්ල, දන්ත ශල්‍යාගාරය වෙනමම ඉඩම් දෙකක තියෙන්නේ. තද අව්වක දී වැස්සකදී රෝහලට එන අයට එහාමෙහා යාමේ අපහසුව තියෙනවා. රෝහලට කොරිඩෝ පද්ධතියක් තියෙනවා නම් හරි වටිනවා’’.   


‘‘ලේ මුත්‍රා පරීක්ෂා කරවා ගැනීමට රසායනාගාරයක් නොමැති වීම ලොකු අඩුපාඩුවක්. දැනට මේ සියලු පරීක්ෂා කර ගැනීම සිදු කරන්නේ පෞද්ගලික අංශයෙන්. ඒකට ලොකු මුදලක් ගැමියන්ට වැයවෙනවා. රසායනාගාරයක අවශ්‍යතාව දැඩිව තියෙන දෙයක්’’.   


‘‘ඇලයාපත්තුව රෝහලට දෛනිකව බොහෝ පිරිසක් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙනවා. එහෙත් පැමිණෙන රෝගීන් සමඟ බැලූවිට අපිට ඉන්නේ ඉතා සුළු කාර්ය මණ්ඩලයක්. කාර්ය මණ්ඩලයේ වැඩිවීමක් සිදුවෙනවා නම් හොඳ ගුණාත්මක සේවයක් ලබාදීමේ හැකියාව තිබෙනවා.’’   


‘‘හදිසි ප්‍රතිකාර ඒකකයට හා සූතිකාගාරයට අවශ්‍ය උපකරණවල හිඟකමක් තදින්ම තියෙනවා. හදිසි අවස්ථාවකදී රෝගීන්ට නිසි ප්‍රතිකාර කිරීම්වලදී නිසි උපකරණ නොමැති වීම නිසා බොහෝ අපහසුතාවලට පත්වෙනවා.’’   


 ‘‘සී.ටී.පී. මැෂිමක්, මල්ටි මොනිටරයක්, ඉන්ෆියුශන් පම්ප් එකක්, සිරින් පම්ප්, බේබි වෝම මැෂිමක්, බේබි කොට් ආදී දේවල දැඩි අවශ්‍යතාවක් පවතිනවා. රජයෙන් හෝ නැතිනම් වෙනයම් පාර්ශ්වයකින් මේ අවශ්‍යතා ටික සපුරා ගැනීමට අපිට උදවු කරනවා නම් ඒක ලොකු දෙයක්. ලොකු පිනක්. ඉහතින් සඳහන් කළ ඒවා අපි මූලිකවම සපුරාගතයුතු ඒවා. ඊට අමතරව රෝහලේ ආරක්ෂාව, අභ්‍යන්තර දුරකථන පද්ධතිය, නිල නිවාස, වැසිකිළි කැසිකිළිවල ඇති අඩුපාඩු ආදී තව බොහෝ දේවල් තියෙනවා. ඒත් මුලින් සඳහන් කළ අඩුපාඩු ටික සපුරා දෙනවානම් බොහොම වටිනවා.’’ ජයසූරිය මහතා අවසාන වශයෙන් මෙසේද පැවසීය. ‘‘මොකද මේක මැරෙන කොට අපි අරන් යන දෙයක් නෙවෙයි. මේක රටට ජාතියට ඉතිරිවෙන දෙයක්. ඉතින් ඔබටත් පුළුවන් මේ පුණ්‍යකර්මයට දායක වෙන්න.’’   

 

 

 

සටහන
සේහාන් වික්‍රමසිංහ   
ඡායාරූප - ශාන්ත රත්නායක