මහන මැෂිමෙන් ලෝකය ජයගත් සිංගර් සමාගම


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

  • අයිසැක් මෙරිට් සිංගර් සහ එඩ්වඩ් කැබොට් ක්ලාක් යනු ‘සිංගර්’ ලෝකයාට දායාද කළ ව්‍යවසායකින් දෙදෙනාය
  • අයිසැක් මෙරිට් සිංගර්ගේ මරණින් පසුව, ඔහුගේ බූදලය දරුවන් 24 දෙනකු සහ බිරින්දෑවරුන් අතර බෙදී ගිය බව සැළවේ. 

 

‘සිංගර්’ යන නාමය ශ්‍රී ලංකීය ජනතාවට අලුත් හෝ අමුතු නාමයක් නොවේ. විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය කාන්තාවන් අතර ‘සිංගර්’ නාමය වඩාත් ප්‍රචලිතව ඇත්තේ මහන මැෂිම නිසාය. එනිසා දශක ගණනාවක් තිස්සේ එලෙසින් ප්‍රචලිතව ඇත්තේ මහන මැෂිමට අමතරව ශීතකරණ යන්ත්‍ර සහ පසුකාලීනව ටී.වී. යන්ත්‍ර, විදුලි උපකරණ ආදි ගෘහස්ථ නිෂ්පාදන ගොන්නක් නිසාය. මෙලෙසින් ප්‍රචලිතව ඇති ‘සිංගර්’ නිෂ්පාදන ගැන ඔබ දැන සිටිය ද, සිංගර්, සමාගමේ උපත සහ එය බිහිකළ ව්‍යවසායකයා ගැන විස්තර නොදන්නවා විය හැකිය. ප්‍රකට සමාගම් ලොව දිනු විශේශාංගය වෙතින් අද අප විස්තර කරන්නට සුදානම් වන්නේ මේ ‘සිංගර්’ සමාගමේ කතාව ගැනය.   


සිංගර් උපත 

 
සිංගර් සමාග යනු අද ඊයේ බිහිවුවක් නම් නොවේ. අයිසැක් එම් සිංගර්, එඩ්වර් සී ක්ලාක් යන කර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් දෙදෙන විසින් සිංගර් සමාගම ස්ථාපිත කරවූයේ 1851 නිව්යෝර්ක් නගරයේදීය. ඒ මහන මැෂින් නිෂ්පාදනය කරන සමාගමක් ලෙසය. නිවෙස්වල භාවිතය සඳහා ගෘහස්ථව භාවිත කළ හැකි මහන මැෂිම ඔවුන් ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබුවේ 1851 දී පමණ යැයි සඳහන් වේ. එය එවකට වෙළඳ පොළට ආ හොඳම යන්ත්‍ර වලින් එකක් ලෙස පිළිගැනිණි. මේ සියල්ලට මුල් වූ පුරෝගාමී චරිතය වුයේ ‘අයිසැක් මෙරිට් සිංගර්’ නම් වූ නව නිපැයුම්කරුවා සහ කෝටිපති ව්‍යවසායකයාය.   


එදා 1851 දී අයි.එම්. සිංගර් හෙවත් අයිසැක් මෙරිට් සිංගර් ඔහුගේ මිතුරකුව සිටි නිව්යොර්ක් නගරයේ ජීවත් වූ ප්‍රකට නීතිඥයකු වූ එඩ්වඩ් සී ක්ලාක් එකල වඩාත් ජනප්‍රියත්වයට පත්වූයේ ගෘහස්ථව භාවිත කළ මෙම සිංගර් මහතා මැෂිම හඳුන්වාදීම නිසාය. මෙලෙසින් ජනප්‍රිය වෙමින් තිබූ ‘සිංගර්’ 1865දී නිෂ්පාදන සමාගමක් ලෙස ස්ථාපනය විය. ‘සිංගර් කම්පැනි’ ලෙස එය ලෝකයට විවර වූයේ ඊට සියවසකට ආසන්න කාලයකට පසුවය. එනම් 1963 දී පමණය. නමුත් නිෂ්පාදන ක්‍රියාවලියේදී මහ පරිමාණ නිෂ්පාදන ක්‍රියාවලියට ඔවුන් අවතීර්ණ වූයේ එදා ආරම්භක යුගයේදීම යැයි සඳහන් වේ. නිව් පර්සිහි එළිසබත් නගරය මූලික කරගෙන සිංගර් එදා එලෙසින් ලෝකය ආක්‍රමණය කිරීමට පටන් ගත්තේය. ‘සිංගර්’ සමාගමේ ඉතිරි කතාව පසුව සටහන් කිරීමට ඉඩ තබා මෙම සමාගම බිහි කළ අයිසැක් මෙරිට් සිංගර් සහ එඩ්වඩ් කැබොට් ක්ලාක් කවුද කියා අපි බලමු. 

 

 
අයි. එම්. සිංගර්   


අයිසැක් මෙරිට් සිංගර් උපත ලැබුවේ 1811 ඔක්තෝබර් 27 වැනිදා නිව්යෝර්ක් නුවර පිට්ස්ටවුන්හිදීය. දරුවන් අට දෙනකුගෙන් යුතු පවුලක හත්වැනියා ඔහු විය. අයිසැක්ගේ පියා වූ ඇඩම් සිංගර් සහ මව වූ රූත් ජර්මනියේ සිට ඇමරිකාවට සංක්‍රමණය වී සිටි යුවළක් වූහ. වයස අවුරුදු 10දී පමණ කුඩා අයිසැක් හට මුහුණ දීමට සිදුවූයේ අවාසනාවන්ත සිද්ධියකටය. එනම් මව්පිය දෙදෙනා දික්කසාද වූහ. එයින් පසුව මව මේ යුතු ඇයගේ බාරයේ තබා ගැනීමට අකමැති වූවාය. ඉනික්බිතිව ඔහු ජීවිතයට මුහුණ දුන්නේ විවිධ කම්කටොළු, බාධක, දුෂ්කරතා අතරේය. 

 
කුඩා කාලයේදීම රංගනය කෙරෙහි ලොල් බැද සිටි අයිසැක් රොචෙස්ටර් ප්ලේයර්ස් නමින් තිබු වේදිකා නාට්‍ය කණ්ඩායම හා එක්විය. එය තැනින් තැන ගොස් නාට්‍ය රඟදක්වා, පෙන්වූ කණ්ඩායමක් විය. මෙලෙසින් කුඩා අයිසැක් මෙරිට් සිංගර් වයස අවුරුදු 12දී නිවසින් පලා ගියේ එලෙසින් රංගනයේ යෙදීමට තිබු ආසාව නිසා යැයි සඳහන් වේ. කෙසේ වෙතත් ඒ වෙනුවෙන් වෙනත් හේතු බලපෑවාද යන්න සඳහන් නොවේ.   


නම සිංගර් වුණාට නළුවකු වීම 

 
අයි. එම්. සිංගර් නමින් ඔහු හැඳින්වුවද, නාමයෙහි අරුතට අනුව ගායකයකු නොවූ සිංගර්, නළුවකු වීමෙන් පසුව මුදලක් උපයා ගන්නට තරම් සමතෙකු විය. නළු වෘත්තියෙන් ලද මුදල් ටිකෙන් ටික ​ඩොලරයෙන් ඩොලරයට ඔහු එක්කාසු කර පොදි බැඳ ගත්තේ ඉලක්කයක් තිබූ බැවිනි. ඒ ඉලක්කයට අනුව 1839දි ගල් කැණීමේ යන්ත්‍රයක් නිපදවා ඊට පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට ඔහු සමත් විණි. එලෙසින් ගල් කැනීමේ යන්ත්‍රයක් ඔහු නිපදවූයේ සහජ දක්ෂතාවය නිසා නම් නොවීය.   


වයස අවුරුදු 12දී පමණ වේදිකා නළුවකු ලෙස තැනින් තැන සංචාරය කරමින් රඟපාන අතරේ ඉඩ ලද අවස්ථාවල දී වඩු කාර්මිකයකු ලෙස පට්ටල් යන්ත්‍ර ක්‍රියා කරවන්නෙකු ලෙස එක් එක් රැකියා කරන්නට විය. පසු කාලෙක කාර්මික දැනුම උකහා ගත්තේ එවැනි දේ ප්‍රායෝගිකව කළ නිසාය. අනෙකුත් ළමුන් පොත පතට හුරුවී පාසල් අධ්‍යාපනය ලැබූ අතරේ ‘සිංගර්’ කාර්මික අංශයේ කටයුතුවල නිරත වූයේ පොත පතේ දැනුම ද නොමැතිවය. එසේ වීද සියල්ල ග්‍රහණය කර ගැනීමේ හැකියාව ඔහු සතුව තිබිණි.   


එදා 1839දී ගල් කැණීමේ යන්ත්‍රය නිපදවා ලද පේටන්ට් බලපත්‍රය සඳහා ඔහුට ඩොලර් 2000ක මුදලක් ලැබිණි. එය අද දවසට සාපේක්ෂව සසඳා බැලුවහොත් ඩොලර් 60,000කට ආසන්න මුදලකි. එදා ඩොලර් 2000 මුදල ලද පසු සිංගර් නැවතත් සුපුරුදු නළුකමට බැස්සේය. එවර ඔහු නළුකමට පිවිසියේ තමාගේම නාට්‍ය කණ්ඩායමක් නිර්මාණය කර ගනිමින්ය. එය හැඳින්වූයේ මෙරිට් ප්ලේයර්ස් නමිනි. ඒ සමාගම ඔහු තමාගේ නාමය වේදිකාවේදී භාවිතා කළේ ‘අයිසැක් මෙරිට්’ නමින්ය.   


නාට්‍ය රඟ දැක්වීමට සංචාරය කරන අතරේ සිංගර් පෙම් පළහිලව්වකට බැඳුණේ එම නාට්‍ය කණ්ඩායමේ සිටි තැනැත්තියක සමගය. නාට්‍ය රග දක්වන අවස්ථාවල දී ඇය ප්‍රේක්ෂයා හමුවේ කියා සිටියේ මම අයිසැක් මෙරිට් මහත්මිය කියාය. ඇයගේ නම ඈන් ස්පොන්සිලර් වුවද ඇය එසේ කියා සිටියේ ඒ වනවිටත් පඩි පෙළක් මෙන් දරුවන් ගොන්නක් ලැබ සිටි නිසාය. හරියටම කිව්වොත් දරුවන් අටදෙනකු විය. වීදි නාට්‍ය රංගනයෙන් පස් වසරක කාලයක යෙදී සිටි ‘සිංගර්’ අවසාන තීරණය කළේ නැවත තම දරු පවුල සමග නිව්යෝර්ක් නුවර බලා යාමටය. ඈන් සහ සිංගර්ගේ විවාහය ලියාපදිංචි වී නොතිබුණ අතර එය සිදුවූයේ 1839 පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට වසර ගණනාවකට පෙරදීය. නිල වශයෙන් ඔහු මුල්වරට විවාහ වූ වග සඳහන් වන්නේ 1830 වසරේදීය. එවිට 19 හැවිරිදි වියේ පසුවූ අයිසැක් සිංගර් විවාහ වී සිටියේ පහළොස් හැවිරිදි දැරියකව කැත්රින් මරියා හේලීය. එම විවාහයෙන් දරුවන් දෙදෙනකු ලැබිණ. ඉන්පසුව ඉහත සඳහන් කළ මේරි ඈන් ස්පොන්ස්ලර් අනියම් සම්බන්ධයක් පටන් ගත්තේ 1917 දී පමණ යැයි සඳහන් වේ. මේරී ඈන් හට අයිසැක් සිංගර් නිසා දරුවන් දස දෙනෙක් ලැබූ බවත් එයින් දරුවන් දෙදෙනකු උපතේදීම මියගිය බවත් සඳහන් වේ.   


දරුවන් හදන තරමට පේටන්ට් බලපත්‍රවලට ද උරුමය දැරීම   


අයිසැක් මෙරිට් සිංගර් හරි පුදුම චරිතයක් විය. බිරිඳ ද අනියම් බිරිඳ ද සමග දිවි ගෙවමින් දරුවන් රොත්තක් බිහි කරන අතරේ නව නිපැයුම් සොයා යාම ද දිගින් දිගටම කරගෙන ගියේය. අන්තිමට සංචාරක වේදිකාවේ නළුකම සහ නාට්‍ය කණ්ඩායමද නවතා දැමුවේ නව නිපැයුම් සොයා ගත් බැවිනි. මෙලෙසින් නව නිපැයුම් සොයා යාමේදී අයිසැක් සිංගර් හට නඩුහබවලට මුහුණ දීමට සිදුවූයේ පේටන්ට් බලපත්‍ර උල්ලංඝණය කිරීම ආදි දේ නිසාය. කෙසේ වෙතත් ඒ කිසිවකින් සිංගර්ගේ ගමන නතර නොවුණි. එමෙන්ම පළමු විවාහය කරගෙන සිටිය දී අනියම් බිරිඳක සමග දිවි ගෙවීම යන කාරණය මත බහු භාර්යා චෝදනා යටතේ නඩුවලට මුහුණ දීමට ද සිංගර් හට සිදුවිණි. මෙනිසා තරමක් කම්පනයට පත්ව සිටි ඔහු හිත හදා ගන්නට ‘ලන්ඩන්’ වෙත පලා ගිය බව සඳහන්ය.  


ලන්ඩනයේදී ද තවත් කාන්තාවක් සමග ජීවත් වීමට පටන් ගත් සිංගර් පසුව 1863 දී නිල වශයෙන් නීත්‍යානුකූලව දෙවැනි විවාහය කර ගත්තේ ඉසබෙලා ඉයුජින් බෝයර් සමගය. ඇය ප්‍රංශ ජාතික කාන්තාවක වූවාය. සිංගර් මියෙනතෙක් ජීවත් වූයේ මෙම ඉසබෙලා සමග යැයි සඳහන් වේ.   

 


සිංගර් හට දරුවන් දහ අටක්ද, විසි හතරක්ද? නැත්නම් ඊටත් වඩා වැඩිද?  


ලෝකයට ඇඳුම් මැසීමේ කලාවට අලුත් අරුතක් ගෙනදුන් අයිසැක් මෙරිට් සිංගර් මුලින්ම කැත්රින් මරියා විවාහ කර ගත්තේය. ඒ අතරේ අනියම් බිරිඳක් වූ ඈන් සිටියාය. ඈන් සමග පවුල් කන අතරේ මේරි මැක්ගොනිල් (මැතිව්ස්) සමග සබඳතාවක් තිබිණි. ඇය සමග එක්ව දරුවන් හත් දෙනකු ලද බව සඳහන් වේ. එයින් දෙදෙනකුද උපතේදීම මිය ගිය වග සඳහන්ය. නීත්‍යානුකූලව පසුව විවාහ වූ ඉයුජින් හටද දරුවන් ලැබිණි. මේ නියම සහ අනියම් බිරින්ඳෑවරු හට සිංගර්ට දාව දරුවන් විසි හතර දෙනකු උපත ලබා ඇති බව වාර්තාවල සඳහන්ය. මෙම දරුවන් අතරින් වැඩි දෙනෙක් සමාජයට ඉතා කීර්තිමත් මිනිසුන් බවට පත්වීම ද විශේෂිත කරුණක් වන්නේය.   


තමා පාසල් අධ්‍යාපනයක් හරි හැටි නොලැබුවද පාසල් හෝ සරසවි අධ්‍යාපනය ලද බොහෝ දෙනාට වඩා ප්‍රායෝගික වූ අයිසැක් මෙරිට් සිංගර් දරුවන් හට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට කටයුතු කළේය. ඒ දරුවන් අතර සෙනෙට් සභිකයකුට ශ්‍රීමත් නාමය පවා දිනු චරිතයක් පවා සිටි වග සඳහන් වේ. අයි.එම්. සිංගර් සහ සමාගම නමින් 1851 දී ව්‍යවසායක ගමනක් අරඹා මහන මැෂිමෙන් මුළු ලෝකයම අල්ලා ගැනීමට සමත් වු අයිසැක් මෙරිට් සිංගර්, ස්වකීය ජීවන ගීතය නිමා කළේ 1875දීය. දියණියක වූ මේරි ඊස්ට්වුඩ් වෝල්ටර්ස්ගේ විවාහයෙන් දින කීපයකට පසුව ක්‍රීඩකයකු නළුවකු නව නිපැයුම්කරුවකු, ව්‍යවසායකයකු ලෙස කටයුතු කරමින් ගමට, රටට පමණක් නොවි ලෝකයට නමක් රඳවා අයිසැක් මෙරිට් සිංගර් යළි නොඑන්නටම ගියේ 1875 ජුලි 23 වැනිදාය. සිංගර් මියයන විට විශාල ධනස්කන්ධයකට සහ වත්කමකට හිමිකම් කීය. අනුමාන වශයෙන් ඩොලර් මිලියන 13ක පමණ මුදලකට හිමිකම් දැරු බව සඳහන්ය. කෙසේ වෙතත් එම බූදලයට උරුමකම් කීමට අඹු දරුවන් කීප දෙනෙකුම ඉදිරිපත් වූ බව සඳහන්ය.  


අයිසැක් මෙරිට් සිංගර් මිය ගිය පසු දේහය සහිත අමංගල රථ පෙරහර රැගෙන ගියේ ආකර්ශනීය අයුරින් සරසන ලද අශ්ව කරත්ත අසූවක් සහිත රථ පෙරහරකිනි. දේහය බහාලු පෙට්ටිය ස්ථර ත්‍රිත්වයකින් නිමකර තිබිණි. එය ඉතා අලංකාර නිමැවුවක් විය. දේහය තැන්පත් කළේ කිරිගරුඬින් නිමවන ලද සොහොනකය. පුදුමය නම් ඒ සියල්ල සිදු කළේ අයිසැක් මෙරිට් සිංගර්ගේ ඉල්ලීම පරිදි වීම විශේෂත්වයක් විය.  
මැහුම් කලාවට අලුත් රිද්මයක් අලුත් උපකරණයක් හඳුන්වා දෙමින් කළ ව්‍යවසායකත්වයේ ගමන උදෙසා, දෙවැනි ලෝක යුද්ධයේ දී ඇමරිකානු නාවික හමුදාව භාවිතා කළ ‘ලිබර්ටි 55 නමැති නෞකාව අයිසැක් මෙරිට් සිංගර් නමින් නම් කළේ ඔහුට කරන ලද ගෞරවයක් ලෙසිනි. එමෙන්ම ෆ්ලොරිඩාවේ සිංගර් දිවයින නම් කළේ ඔහුගේ පුතකු වූ (අයිසැක්ගේ 22 වැනි පුතු ඔහු යැයි සඳහන් වේ) පැරිස් සිංගර් නමිනි. 

 
එඩ්වඩ් කැබට් ක්ලාර්ක්   


සිංගර් කෝපරේෂන් බිහි කිරීමට පුරෝගාමී චරිතය වූයේ අයිසැක් සිංගර් බව සැබෑය. එහෙත් ඔහුගේ අනෙක් ව්‍යාපාරික සඟයා වූ එඩ්වඩ් කැබට් ක්ලාක් ගැන ද සඳහනක් කළ යුතුම වේ. එඩ්වඩ්ගේ පියා මුලින්ම පදිංචිව සිටියේ ඇතැන්ස්හිය. එහිදී ව්‍යාපාරයක් ආරම්භ කළ අතර එය ඉතා සාර්ථක විය. එඩ්වඩ් ඉගෙනීමට දක්ෂයකු වූ අතර ලතින් සහ ග්‍රීක භාෂාවද හැදෑරීය. පසුව උපාධිය ලබාගත් ඔහු නීතිය හැදෑරීමට කටයුතු කළේය. නිව්යෝර්ක් පළාතේ සෙනෙට් සභිකයකු මෙන්ම පසුව නීතිපති දෙපාර්තමේන්තුව ජනරාල්වරයකු වූ ඇම්බ්‍රෝස් එල් ජෝර්ඩන් යටතේ නීතිඥ වත්තියේ නියැලීය. එඩ්වඩ් හට සිංගර් මුණ ගැසුණේ 1849 දි පමණය.  


‘මැසීමේ කලාවට මම 
අලුත් දෙයක් හොයා ගත්තා   


මට ඒකට පේටන්ට් එක ලැබුණා. මොකද කියන්නේ? අපි වැඩේට බහිමුද?  


සිංගර් එඩ්වඩ් හට කියා සිටියේ මුදල් යෙදවීමට වඩා පේටන්ට් බලපත්‍ර සඳහා නඩුහබ කීමට සිදුවන අවස්ථාවලදී ඒවාට ගාස්තු ගෙවීමට වඩා නීතිඥ එඩ්වඩ් හොඳ ආයෝජනයක් වූ බැවිනි. එඩ්වඩ් ක්ලාක් ඊට අමතරව දේපළ වෙළදාම් කිරීමේ ආයතනයක්ද පවත්වාගෙන ගියේය. ඔහු විවාහ වූයේ කලින් සඳහන් කළ ඔහුගේ නීති විශේෂඥයාව සිටි ඇම්බ්‍රොස් ජෝර්ඩන්ගේ දියණිය වූ කැරෝලයින් සමගය.   


ඔවුන් දෙදෙනා දරුමල්ලන් හදාගෙන ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ අතර ඇපල් වතු පවා මිලදී ගෙන තිබිණි. නිවාඩුව සහ ග්‍රීෂ්ම සමය ගත කිරීමට විටින් විට යුරෝපයේ සංචාරය කළ අතර මේ යුවළ ශීත කාලය ගත කළේ එක්කෝ ඉතාලියේදීය. නැතිනම් ප්‍රංශයේදීය. වයස අවුරුදු 70ක් ආයු වළදා එඩ්වඩ් කැබට් ක්ලාක් මිය ගියේ මැලේරියා උණට ගොදුරු වීමෙනි. ඔහු සතුවූ සුවිසල් ධනස්කන්ධය සහ දේපොළ දරු මුණුපුරන් අතර බෙදාදීමට කටයුතු කර තිබේ.   


දෙවැනි ලෝක යුද සම​යේදී සිංගර් සමාගම කළ දේ   


දෙවැනි ලෝක යුද සම​යේ දී ‘සිංගර්’ සමාගම මැෂින් නිපදවීම නතර කළේ ඒ වෙනුවට යුද හමුදාව වෙනුවෙන් ආයුධ නිෂ්පාදනය කිරීමේ කටයුතු පැවරුණ නිසාය. ඇමරිකාවේ මෙන්ම යුරෝපයේ අනෙකුත් රටවල ස්ථාපිත කර තිබු සිංගර් කර්මාන්ත ශාලා පවා මැෂින් වෙනුවට යුද්ධය සඳහා අවශ්‍යව තිබූ ආයුධ නිෂ්පාදනය කිරීමට යොද ගැනිණි. 

 
පසුව නැවතත් මහන මැෂින් නිෂ්පාදන ක්‍රියාවලියට අවතීර්ණව ‘සිංගර්’ සමූහය සාර්ථකව නව නිපැයුම් සමග ගමනක් ගියේය. එකල රුසියාවේ පීටර්ස්බර්ග් නුවර පවා සිංගර් ස්ථාපිත වීම විශේෂත්වයකි.   


එවකට ඇමරිකාවේ මැන්හැටන්හි ඉදිකළ සිංගර් ගොඩනැගිල්ල උසම ගොඩනැගිල්ල ලෙස පැවතිණි. ලෝකයේ තැන තැන ඉදිකළ සිංගර් ගොඩනැගිලි අතරින් වඩාත් ආකර්ශනීය නිමාවක් රැගත් නිර්මාණය ලෙස සඳහන් වන්නේ ඉහත සඳහන් කළ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්යා ඉදිකරන ලද ‘සිංගර් හවුස්’ ගොඩනැගිල්ලය.

 

 

පරිවර්තන සටහන : සඳුන් ගමගේ