මහ වැසි මැද අවාරයේ සිරිපා මළුවට ගිය ගමන


 

බෞද්ධ ජනතාව මහත් භක්තියකින් වන්දනා කරන ස්ථානයකි ශ්‍රී පාදය. බු.ව. 236 ට පෙර සිටම මෙම පූජනීය උස්බිම ශ්‍රී පාදය ලෙස හැඳින්විණි. එසේම ශ්‍රී පාදය සමනොල කන්ද ලෙස ද හැඳින්වේ. එසේ හඳුන්වන්නේ සමනලයන් සිය වාර්ෂික සංක්‍රමණයේ දී ශ්‍රී පාදස්ථානයේ වාසය කරන බව සලකන බැවිනි. සුමන සමන් දෙවියන් මෙහි වාසය කරන බවට විශ්වාස කරන බැවින් සමන් කූඨය ලෙස ද ශ්‍රී පාදය හැඳින්වෙන අතර මීට අමතරව රත්නගිරි හා ස්වර්ගරෝහණම් යන නම් ද භාවිත කෙරේ.   


වසරේ අවසන් පොහොය දින සිට ඊළඟ වසරේ වෙසක් පොහොය දක්වා ශ්‍රී පාද වන්දනා සමය වේ. ඉතිරි මාස හතක කාලය වන්දනාකරුවන්ගෙන් හිස් කලාපයක් වූ ශ්‍රී පාදය අවට රක්ෂිතය වන සතුන්ගේ රජ දහනක් මෙන්ම අධික වැසි වැටෙන ප්‍රදේශයක් බවට පත් වෙයි.   


​මේ ශ්‍රී පාද අවාරයේ දී කන්ද තරණය කරන බොහෝ පිරිස් ද සිටිති. ඔවුන් අතර බහුතරය වන්නේ දේශීය සංචාරකයින්ට වඩා විදේශීය සංචාරකයෝය. ඔවුහු සිරිපාදය නැගීම පිණිසම අවාරයේ දී මෙහි එති. සංචාරක මඟ පෙන්වන්නන්ගේ අදහසට අනුව අවාරයේ දී වැඩිපුරම ශ්‍රී පාදය නගින්නේ යුරෝපීය ජාතිකයින්ය. ඒ අතරත් ප්‍රධාන වන්නේ ජර්මන් ජාතිකයින්ය. අවශ්‍ය කරන සියලු දෑ පුරවා ගත් විශාල මල්ලක් උරෙහි එල්ලා ගන්නා විදේශීය සංචාරකයින් මධ්‍යම රාත්‍රී 12 ට හෝ අලුයම එකට පමණ නල්ලතන්නියෙන් ශ්‍රී පාදය තරණය කරන්නේ බොහෝ විට හැටන් මාර්ගය ඔස්සේය. ඒ ඉර සේවය දැක බලා ගැනීමටය.   


එහෙත් මේ වසර පුරා පැවැති කොරෝනා තත්ත්වය නිසා කිසිදු සංචාරකයෙක් මෙරටට නොපැමිණෙන තත්ත්වය මත අවාරයේ දී ශ්‍රී පාදය පාළුවට ගොසිනි. කොරෝනා නිසා දේශීය සංචාරකයන්ගේ ද අඩුවක් පෙන්වයි.   


සංචාරකයන්ගෙන් හිස් වූ මේ කාලයේ ශ්‍රී පාදය තරණය කරන්නට අපි තීරණය කළෙමු. ඒ දහ අට වතාවක් ශ්‍රී පාදය තරණය කළ මිතුරකු වූ කුමාර පන්නිලගේ අදහසකට අනුවය. මෙම සංචාරයට එක් වීමට මුල දී බොහෝ දෙනා කැමැත්ත පළ කළ ද දිනය ළං වන විට බොහෝ දෙනා ඉන් මඟ හැර ගියේ සිතේ ඇති වූ බියත් දෙගිඩියාවත් නිසා විය යුතුය.   


පසුගිය පළමු වනදාට යෙදී තිබුණු පසළොස්වක පොහෝ දින අලුයම එකට පමණ නල්ලතන්නියෙන් අපි ශ්‍රී පාද ගමන අරඹන විට අපේ කණ්ඩායම අට දෙනෙකි. ඔවුන් අතර අවුරුදු 12 ක් වයසැති කුමාරගේ කුඩා දරුවා ද සිටියේය. සිහින් වාර්ෂාව දිගටම වැටෙමින් තිබිණි. අධික ශීතල අපේ ගමනට තිබූ විශාලතම බාධාව විය. වර්ෂාවටත්, ශීතලටත් ඔරොත්තු දෙන ලෙස හැකි ආකාරයෙන් සැරසුණු අපට තිබූ ඊළඟ ගැටලුව අන්ධකාරයයි. සිරිපා සමයේ දී සෑම පියගැට පෙළක්ම වාගේ විදුලියෙන් ආලෝකමත් වී තිබුණ ද අවාරයේ දී ඝන අන්ධකාරය හාත්පසම වෙළා ගෙන තිබිණි. රැගෙන ගිය කුඩා විදුලි පන්දම් එළියෙන් හා ජංගම දුරකථනයේ එළියෙන් අපි ශ්‍රී පාදය තරණය කිරීම ආරම්භ කළෙමු.   


අධික වර්ෂාව නිසා දකින දකින තැන්වල ජලය පිරී තිබිණි. නල්ලතන්නිය දක්වා පැමිණි ගමනේ දී අධික වර්ෂාව හා සුළඟ නිසා ගස් කඩා වැටී තිබිණි. අසල පිහිටි මාඋස්සාකැලේ ජලාශය ද පිරී ගොසිනි. කන්ද තරණය කිරීමේ දී වර්ෂාවේ තරමක් අඩුවක් දක්නට ලැබුණ ද ජල පහරවල ශබ්දය වඩා ප්‍රබලව නැගිණි. මීදුමෙන් හාත්පසම වෙළාගෙන තිබූ අතර පියගැටපෙළ දිගේ ගලා ආ ජලය අප ගමනට තරමක බාධා ඇති කළේය.   

 

 

සාම විහාරය පසු කරමින් දැන් අපි ගඟුලතැන්නට පැමිණ සිටිමු. එතැනින් ගලා බසින ශීත ගඟුලේ ශබ්දය නිස කිසිවක් නොඇසෙයි. සිරිපා වන්දනා සමයේ දී දක්නට නොලැබෙන අති විශාල ජල කඳක් අසලින් ගලා බසියි. අප කණ්ඩායමේ ද ශ්‍රී පාද වන්දනාවේ පළමු වරට ගිය දෙදෙනෙකු වූ බැවින් අපි ශීත ගඟුල ළඟ නතර වුණෙමු. ශ්‍රීපාද කන්ද නැගීම හා බැඳුණු සම්ප්‍රදායික ක්‍රියා පිළිවෙත් රාශියකි. පළමු වරට ශ්‍රීපාද වන්දනා කිරීමට පැමිණෙන බැතිමතා කිරිකෝඩුකාරයා ය.   


ශීත ගඟුලෙන් ස්නානය කොට සුදු පිරුවටවලින් පේ වී වන්දනාව ආරම්භ කළ යුතුය. අධික ශීතලෙන් යුතු සිරිපා අවාරයේ දී ශීත ගඟුලෙන් දිය නෑම අති දුෂ්කර ක්‍රියාවක් බැවින් අප සමග ගිය කුඩාම සාමාජිකයා වූ ගගනත් උපාලිත් ශීත ගඟුලේ ජලයෙන් පිරිසිදු වී පේ වූහ. මේ වන විට තවත් වන්දනා නඩයක් එම ස්ථානයේ සිටියහ. ඒ පිරිස ද ශීත ගඟුල අසල පේ වෙමින් සිටියහ. එම පිරිස සමග දොඩමළු වීමට අපට අවශ්‍ය වුවත් ශීත ගඟුලට කඩා හැළෙන යෝධ දිය ඇල්ලේ හඬ ඊට බාධා කළේය.   


ශ්‍රී පාද වන්දනාකරුවන්ගේ මූලික අභිප්‍රායක් වන්නේ සූර්ය උදාවට පෙර කඳු මුදුනට නැගීමයි. ඉර සේවය නමින් ජනවහරේ මෙය හඳුන්වන අතර කඳු මුදුනේ දී සූර්ය උදාව නැරඹීම කිසිදා අමතක නොවන අත්දැකීමකි. මේ වන විට අලුයම තුන ද පසුවී තිබුණි. අපි අඩිය ඉක්මන් කළෙමු.   


ශීත ගඟුල දල්වා තිබූ විදුලි පහන්වලින් පේ වීමේ කටයුතු පහසු කළේය. පහළ සිට ඉහළට යන ගමනේ දී හමුවන ප්‍රධාන ස්ථාන ලෙස සැලකෙන මකර තොරණ, සීත ගඟුල අහස් ගව්ව, ඉඳිකටුපාණ, ගෙත්තම්පාණ, ධර්මරාජගල, ගෝනතැන්න, ඇහැළකනුව, මහගිරිදඹ හා සිරිපා මළුව හැරෙන්නට අන් ස්ථාන ඝන අන්ධකාරයෙන් වැසී ගොසිණි. අපි විදුලි පන්දම් එළියේ ආධාරයෙන් ඉහළට යන විට තවත් වන්දනා නඩයක් ශ්‍රී පාදය තරණය කරනු පෙනුණේ ඔවුන් අත තිබූ විදුලි පන්දම් එළියෙනි.   


ශ්‍රී පාදය කන්ද නගින අතරතුර බැතිමතුන් එකිනෙකාට ආශිර්වාද කර ගනිති. අවාරයේ දී එය අවම වන්නේ වන්දනා නඩයක් හමු වන්නේ ඉතා කලාතුරකින් බැවිනි. සිහින් වර්ෂාව තවමත් පවතී. පියගැට පෙළෙන් ගලා එන ජල ධාරාව දිගේ අඛණ්ඩව ගමන් කිරීම නිසා අපේ නඩයේ ඇතැමෙකුගේ සපත්තු ද තෙත බරිත විණි. පසුව ඉන් කීපයක අඩි ගැලවී ගියේය.   


ඉඳිකටුපාණේ දී අදාළ චාරිත්‍ර ඉටු කළ අපි ඉදිරියටම යද්දී වන්දනා කරමින් සිටි නඩයක් ගෑස් සිලින්ඩරයක් උපයෝගී කර ගනිමින් වතුර උණු කරමින් සිටියේ තේ හදන්නටය. මහනුවර ප්‍රදේශයේ සිට පැමිණි මේ තරුණ පිරිස තේ බීමට නවතින්නැයි අපට ද ආරාධනා කළෝය. අපි එතන මඳක් නැවතුණෙමු. කුඩා ගෑස් සිලින්ඩරයක් ද ඔසවා ගෙන මේ තරම් දුරක් ගමන් ගන්නා මේ තරුණ බැතිමතුන් ළිපෙහි ගින්දර අධික සුළඟින් ආරක්ෂා කර ගන්නට දැඩි වෑයමක් දැරූහ. අවසානයේ කහට උගුරකින් සප්පායම් වූ අපට නව ජවයක් ලැබිණි.   


සිරිපා සමයේ දී වෙළෙඳ සල් සිය ගණනක් පහළ සිට ඉහළට තිබුණ ද ඒ සියල්ල අවාරයේ දී වසා දමා තිබුණි. ඒ අතුරින් ගඟුලතැන්න පොලිස් මුර පොළ අසල පිහිටි මස්කෙළියේ පදිංචි සෝමරත්න මහතාගේ කඩය පමණක් විවෘතව තිබිණි.   

 

 

ඉඳිකටුපාණ පසු කරමින් ගෙත්තම්පාණ ධර්මරාජගල ද තරණය කරමින් ඉදිරියට ගමන් කළෙමු. මේ වන විට අලුයම හතර පසු වී තිබිණි. වන සතෙකුගේ දැඟලීමෙන් වනපෙත සැලෙනු දැක අපි මොහොතක් සලිත වීමු. ශ්‍රීපාද අවාරයේ දී නිතර සැරිසරන සතෙකු ලෙස හඳුන් දිවියා ප්‍රකටය. අප තැති ගත්තේ හඳුන් දිවියා හා සර්පයින් ගැන සිතීමෙනි. ශ්‍රී ලංකාවේ වෙසෙන උරග විශේෂ 235 අතුරින් සමනොල කන්ද ආශ්‍රිතව වෙසෙන උරග විශේෂ ගණන 35 කි. එයිනුත් සිරිපා බිමේ දී හමුවන උරග විශේෂ ගණන 06කි. එසේම රටේ කුරුලු විශේෂ 492 අතුරින් 47 ක් මෙම රක්ෂිතයේ දක්නට ලැබෙන අතර සිරිපා බිමේ දී ඉන් කුරුලු විශේෂ 10ක් දක්නට ලැබේ. එහෙත් මොනතරම් දරුණු ගණයේ සතුන් මෙහි සිටිය ද භක්තියෙන් යුතුව පැමිණෙන වන්දනාකරුවන් සුමන සමන් දෙවියන් විසින් ආරක්ෂා කරනු ඇත යන සත්‍ය පිළිබඳව විශ්වාසය තබමින් අපි ඉදිරියට ගියෙමු. ශ්‍රී පාදයට ළඟා විය හැකි මාර්ග කීපයකි. එනම් රත්නපුර පලාබද්දල මාර්ගය හැටන් නල්ලතන්නි මාර්ගය, කුරුවිට එරත්න මාර්ගය, නූර්යාවත්ත, මුකුවත්ත හා මාලිම්බොඩ මාර්ගයයි. අපි තෝරා ගත්තේ බහුතර බැතිමතුන් ගමන් ගන්නා හැටන් මාර්ගයයි.   


අපි දැන් ශ්‍රී පාදයේ තරණය කළ යුතු දුෂ්කරම මඟ වූ මහගිරිදඹයට පැමිණ සිටිමු. දැන් දැන් අවට ආලෝකය පැතිර යාමට ආසන්නය. එහෙත් අවට පැතිර තිබූ මීදුම තව තවත් වැඩිය. ඉර සේවය දැක බලා ගන්නට මීදුම බාධාවක් වේ යැයි සිතුව ද උදෑසන 6 ට පෙර සිරිපා මළුවට යාමට අපි යුහුසුළු වීමු. මහගිරිදඹයට එන විට තවත් වන්දනා නඩ කිහිපයක් අපට එකතු වූහ. “තව ටිකයි කරුණාවයි” අපි, අපි එකිනෙකාට කියා ගත්තෙමු.   
මහගිරිදඹය සෙමෙන් සෙමෙන් තරණය කළ අපි ඉර උදාවට පෙර සිරිපා මළුවට පැමිණියෙමු. අප එහි එන විටත් තවත් විස්සක පමණ පිරිසක් එහි සිටියහ. වෙනදාට එහි සිටින උඩමළුවේ පොලිසිය එහි නොසිටි අතර මස්කෙළියේ පදිංචි වේලු පමණක් ශ්‍රීපාදස්ථානයේ ආරක්ෂාව සඳහා එහි සිටියේය. 

 
මෙතෙක් පැළඳ ආ පාවහන් ඉවත් කළ පසුව ගමනේ අතිදුෂ්කරම කාර්යයට මුහුණ දෙන්නට සිදු විය. අයිස් කුට්ටියක් මත දෙපා තැබුවා මෙන් අධික සීතලත්, සිහින් වර්ෂාවත් අපව හකුලා දැම්මේය. මළුව උඩට හමන සුළඟ අප පිරිසම පහළට දැමීමට තරම් ඉතා ප්‍රබල විය. මළුව උඩ රැඳී සිටීම අති දුෂ්කර වුවත් සති ගණනක් පේ වී ඉතා භක්තියෙන් පැමිණි මෙම ගමනේ ලැබිය හැකි භක්තියේ හා වන්දනාවේ උච්චතම ස්ථානයේ අපි බොහෝ වේලාවක් රැඳී සිටියෙමු. වන්දනා කළෙමු.   


ඉර සේවය දැක බලා ගැනීම අත්හැර දමන්නට සිදු වූයේ අවට වෙලාගත් දැඩි මීදුම නිසාය. ශ්‍රී පාද වාරයේ දී හා අවාරයේ දී පැහැදිලි වෙනස එයයි. ශ්‍රීපාද වාරයේ දී ඉර සේවය ඉතා පැහැදිලිව දැක බලා ගන්නට බැතිමතුන්ට හැකි වෙයි. නමුත් අවාරයේදීත් බොහෝ දිනවල ඉර සේවය දැක බලා ගත හැකිය.   


ශ්‍රීපාදය වන්දනා කළ අප දැන් සූදානම් වන්නේ පහළට බැසීමටය. ශ්‍රීපාදය නගිනවාට වඩා එය දුෂ්කර එකක් වන්නේ දෙපාවල ඇති වන දැඩි වේදනාව නිසාය. මහගිරිදඹ මඳක් බැස අප රැගෙන ආ බිස්කට්, අග්ගලා වැනි දෑ ආහාරයට ගෙන අපි පහළට බැස්සෙමු. දැන් දැන් මීදුම තරමක් පහව ගොසිනි. අවට පරිසරය මනරම් දර්ශනයක් මවයි. ශ්‍රීපාද වාරයේ දී දක්නට නොලැබෙන අලංකාර දිය ඇලි 20ක් පමණ මේ කාලයේ දී දැක ගත හැකිය. වරෙක මීදුම අවට වපුරමින් ද තවත් වරෙක මීදුම රහිත ප්‍රදේශයක් බවට පත් කරමින් විචිත්‍ර චිත්‍රයක් අප අවට දර්ශනය වෙයි. එදින පොහෝ දිනයක් බැවින් වෙනදාට වඩා බැතිමතුන් පිරිසක් ශ්‍රීපාද වන්දනාවට පැමිණෙනු පෙනුණි. වන්දනා සමයට විවෘතව පවතින පොලිස් මුරපොළ හා බැතිමතුන්ගේ විවේකාගාර පාළුවට ගොසිනි. සිරිපා වාරය ළං වන නිසා අලුත්වැඩියා කළ යුතු පිය ගැට පෙළ අලුත්වැඩියා කිරීම ද අත් වැට නොමැති තැන්වලට අලුත් අත්වැට සැකසීම නාවික හමුදාවේ සෙබළුන් අතින් සිදු වෙමින් තිබිණි.   
අප ගඟුලතැන්නේ පිහිටි සෝමරත්න මහතාගේ කඩයට පැමිණියෙමු. උණු උණු පොල් රොටීවලින් හා උණුසුම් තේ කෝප්පයකින් ඔහු අපට සංග්‍රහ කළේය.   


මහත්තයෝ වෙන අවුරුදුවලට මෙලහකට සුද්දෝ පිරිලා. මේ සැරේ බේතකටවත් සුද්දෙක් ආවේ නැහැ ඔහු කියයි. කොරෝනා හින්දා මුළු සිරිපාදයම පාළු වෙලා. වෙනදාට මගේ පොල් රොටී කන්න සුද්දො හරියට එනවා. මේ සැරේ අවාරයේ කවුරුත්ම නෑ. ලංකාවෙ අයත් නෑ. අද පෝය හින්දා මේ ටික හරි එන්නේ. සුද්දා පොල් රොටී කාලා ප්ලේන්ටි බොනවා. ලුණු මිරිසුත් කනවා. ඒ අය හරිම විනයගරුකයි. හරිම භක්තිමත්. පොලිතින් කෑල්ල පවා තමන්ගේ බෑග් එකට දමාගෙන යනවා. අවාරයට වන සතුන් පවා මෙතනට එනවා. ඒත් උන්ගෙන් කරදරයක් නෑ. ඔහු කියයි.   


ශ්‍රීපාද වන්දනාවේ එන දේශීය සංචාරකයින් අවට විසි කරන ලද පොලිතින් ප්ලාස්ටික් ආදිය බොහෝ තැන්වල දී අපට දක්නට ලැබිණි. එහෙත් එවැනි අකටයුතුකම්වලින් මේ ශුද්ධ භූමිය රැක ගත යුතු යැයි අපි ඉල්ලා සිටිමු. සිරිපා අඩවිය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද්දේ 1940 ඔක්තෝබර් 25 දාය.   


එසේම ශ්‍රීපාදස්ථානයේ මාර්ගයට විදුලි ආලෝකය ලබා දුන්නේ 1950 මාර්තු 04 වනදාය. ඒ වනතුරු බැතිමතුන් ශ්‍රී පාදය තරණය කළේ පන්දම් දල්වාගෙනය. කැලයේ පිහිටි පටු අඩිපාරවල් තරණය කරමිනි. මේ වන විට ශ්‍රීපාදය වන්දනා කිරීමට පහළ සිට ඉහළටම පිය ගැට පෙළ තිබේ. විදුලි ආලෝකය තිබේ. එබැවින් අවට පරිසරය ද ආරක්‍ෂා කර ගනිමින් රක්ෂිතය සුරකමින් මතු පරපුරට ශ්‍රීපාදය ආරක්ෂා කර දීම සැමගේ යුතුකමක් වන්නේය. 

 

 

සංචාරක සටහන
දොම්පේ අජිත් මදුරප්පෙරුම