මහ වනයක් මැද හේන් කොටන මිනිස්සු


ගලඋඩ වාඩිය 

 

රාස්සිගේ අවුවේ මලානික ස්වාභාවය නිසා මහ වනයේ ඈතින් දිස්වෙන ගෝවින්දහෙළ ගල්පර්වතය ගිලගන්නට මාන බලන හිරු දිස්වෙන්නේ ලොවි ගෙඩියකට සමාන අයුරකිනි. තවත් නොබෝ වෙලාවකින් අඳුර විසින් මෙම සුවිසාල වනපියස ගිලගන්නවාට කිසිදු සැකයක් නොමැත.   


‘‘ජයන්ත ඉක්මන් කරපං. තව කොටයක් දාලා මැලය අවුලපං. නැත්තං අලි කෑගහන සද්දෙට මහත්තුරු දුවයි අපිවත් දාලා.’’   


ඒ මහ වනය දෙවනත් කරමින් ඇසෙන සේනාධීරගේ කට හඬයි. කලාන්තරයක් මුළුල්ලේ සියඹලාආණ්ඩුව මහ කැලයේ වවන සේනාධීර ගොවි මහතාගේ අපූරු හේන් වගාව දැකබලා ගැනීමට අප නඩයකුත් සමගින් ඔහුගේ හේනට පැමිණ සිටිමු.   


සියඹලාආණ්ඩුව නගරය පසුකර අම්පාර දෙසට කිලෝමීටර් 30 ක් පමණ ගිය විට හමුවෙන දනකිරියාගම මාර්ගයේ තවත් කිලෝමීටර් 10 ක් මහ කැලෑව දෙසට වෙන්නට ඔහුගේ හේන් වගාව පිහිටා ඇත.   
මෙම හේන් වගා ඇති ප්‍රදේශවලට සවස් කල ගොවීන් නොයන්නෙ සවස් ජාමයේ වල්   
අලින් එළිබසින නිසාය. එම නිසා මෙම ප්‍රදේශය සවස් වෙන්නට දැඩි හුදකලා පාළු ස්වභාවයක් උසුලයි.   
මෙම හේන් වගාවට පිවීසීමට අපහට ඉඩ ලැබුණේ තවත් ගොවි මහතෙකුගේ ට්‍රැක්ටරයකට පින් සිදු වෙන්නටය. කැලෑව තුළ ගමන් කරන්නට ට්‍රැක්ටරයක් හැරුණකොට වෙනත් ක්‍රමවේදයක් නොමැත. හේනට ගමන් කිරීමේදී ට්‍රැක්ටරය අවස්ථා කිහිපයකදීම සිඳීගිය දිය පහර කිහිපයක්ම තරණය කිරීමේදී වැල්ලේ එරී ගිය අතර වැලි පිරුණු ඇතැම් ආරවල් තරණය කළේ රියදුරාගේ දක්ෂකම නිසාය.   
අප හේනේ වාඩියට පැමිණ හෝරා දෙකකට ආසන්නය.   


දසතින් ඇසෙන මොණරුන්ගේ ශබ්දය වනාන්තරයේ හුදකලා බව පසක් කරයි. සේනාධීර ගොවි මහතාගේ හේනේ හරි මැද පිහිටි විශාල ගල් කුල මත හේ සිය ආරක්ෂිත වාසස්ථානය වූ පැල්කොටය ඉදිකොට තිබේ. වන සතුනට කිසිදු අයුරකින් ළඟාවීමටවත් නොහැකි මෙම ගල්පවුර සතුරන්ගෙන් ආරක්ෂාවීමට සීගිරි කාශ්‍යප රජුන් තැනු සීගිරිය සිහිගන්වයි.  
‘‘මහත්තයා යාලුවන්ටත් කියන්න රෑට මේ ගලින් පහළට බහින්න එපා කියලා. දවස් දෙකකට කලින් මං දැක්කා වලහාගේ අඩි තියනවා.  


 සේනාධීරගේ අවවාදයත් සමග මා සමග කැලෑ ගමනට එක් වූ දම්මිකත්, කේසරත් තමන් කළ මෝඩකමක මහතයයි මොහොතකට පසුතැවෙනු ඇත.   
මොණරාගල අම්පාර ප්‍රදේශයට කාලාන්තරයකින් වැසි නොවැටුණු බවට අප මෙම ප්‍රදේශයට එන ගමනේදී වැලි පමණක් ඉතිරි වූ දිය ආර කිහිපයෙන් සාක්ෂි සපයයි. එහෙත් අපහට අවශ්‍ය ප්‍රමාණයට ජලය හේන්කරුවන් විසින් කල් තියාම සූදානම්කොට තිබේ.  
 වනාන්තරය රාත්‍රී කාලයේ දැඩි නිහැඬියාවකින් යුතුවෙයි. ගල් පර්වතය මත බුර බුරා   
නැගෙන ගිනි දැල්ලේ ආලෝකයට අමතරව පැල තුළ හා පිටත ස්ථාන කිහිපයකම   
ලන්තෑරුම් දල්වා තිබේ. මහත්තයා මේ විදියට ලන්තෑරුම් පත්තු කළේ නැත්නම් අලි කඩා පනිනවා. හේනම පාලුකරලා තමයි යන්නේ.   

 

හේන් වගාවන්  

 
 

මෙතෙක් පැවති නිහැඬියාව බිඳ දමමින් ජයන්ත පවසයි.   
අප ගත කරන්නේ පොහොය දිනට පසු දින බැවින් හඳ එළිය මදක් පමා වී විත් මුළු වනාන්තරයම ඒකාලෝක කරන්නට විය.  


 අලි බහිනකොට කීය විතර වෙනවාද?.   
මෙතෙක් වෙලාවක් අප තිදෙනාගේ යටි සිතේ තිබූ රහස එළියට දමමින් කේසර අසයි. ‘‘ආ ඒක තමයි මම හිතුවේ මේ මං බලන්න ආ ගමනක් නොවෙයි, අලි බලන්න ආ ගමනක් කියලා හේ පවසයි.   
සේනාධීර සිනා සෙමින් බුලත්විටක් කෑමට අප පොලඹවයි.   
මහත්තයා කැලයට ආවම කැලයේ විදිහට ජීවත් වෙන්න ඕනෑ. අලියා අපි කියන හිතන වේලාවට එන්නේ නෑ. රෑ දෙගොඩ ජාමයේ තමයි හේන්වලට පනින්නේ. අනික අලියගේ කියා මොනවා බලන්නද මහත්තයා. උංගේ පාඩුවේ උන් ඉඳීවි.   


සේනාධීර පැවසුවේ අලි බැලීමේ අපේ බලාපොරොත්තුව සුන් කරමිනි.   
දනකිරියාගම සේනාධීරගේ හේන අක්කර 20 ක් පමණ වෙයි. බඩ ඉරිඟු, කුරක්කන්, කොමඩු ප්‍රධාන බෝග වශයෙන් වගාකොට ඇත. හේන්යායේ තැනින් තැන දැවැන්ත ගස් මත ඉදිකොට ඇති පැල් කිහිපයකින්ම නැගෙන්නා වූ ලන්තෑරුම්වල ආලෝකය ඉතා චමත්කාරජනක දසුනක් වුවත් එහි වෙසෙන ගොවීන්ගේ ජීවිත ඉතා කර්කශකය. තෙරක් නොපෙනෙන තරමට එක යායට හේන් වැටී ඇත.   
අප තිදෙනා සේනාධීර හා ජයන්ත ඇතුළුව තවත් පුද්ගලයන් දෙදෙනෙකි. වාඩියේ අනෙක් මඩුවේ රාත්‍රී ආහාරය ලහි ලහියේ සූදානම් වෙමින් පවතී.   


 

‘‘මහත්තයා අද රෑ කෑම හේන් කෙළවර ඇති කුඹුරුමන්ඩියෙන් ගත්ත හාල්, හේනේ වම්බටු, වට්ටක්කා, වට්ටක්කා දලු, මැල්ලුම හා පිපිඤ්ඤ කිරට හදලා කිරල්ලු බැදුම. හැම දේම මේ හේනෙන් මහත්තයා. අමු මිරිස්, මිරිස්, තක්කාලී මම හදාපුවා.’’යයි සේනාධීර පවසන්නේ මහත් අභිමානයෙනි.   
කෙසේ වෙතත් මෙම ගමන පැමිණෙනවිට විශේෂයෙන්ම අවශ්‍ය දෙයක් සේනාධීර කල්තියාම පවසා තිබූ අතර ඒවා ඕනෑවටත් වඩා ගමන් බෑග් වලින් මතුවූයේ ගොවි මහතුන්ගේ අත්පොළසන් හඬ මැද්දෙනි.  
 විහිලුවෙන්, කතාවෙන් කාලය ගතවී තිබිණ. පැල් කවියක් මතක් වූ කේසර එය හඬනගා ගායනා කළේ වල් අලි අහල ගං හතකටවත් නොඑන ලෙසය. පැලේ තිබූ ඩොලැක්කය   
ගෙන ජයන්ත ගීයකට මුල පිරූ අතර වාඩියේ තිබූ බේසම්, යකඩ තහඩු වාද්‍ය භාණ්ඩ විය. මාගේ සගයන් වූ ධම්මිකත් කේසරත් හේන් ගොවීන්ගේ මනරම් ගායනාවට දෙවැනි නොවීය. කාලය ඉක්මනින්ම ගෙවීයයි.   
‘‘අපි කෑම ටික කාලා ඉමු.’’   


ජයන්තගේ ආරාධනයෙන් රාත්‍රී ආහාරය ගන්නා විටත් දවස ගෙවී තවත් අලුත් දිනයක් උදාවී ඇති බව මාගේ හෝරා යන්ත්‍රය කියා පායි.  


 එය කෑම කෑමක් නොව කෑම මැරීමක් බව මා දැනගත්තේ හැලිවළංවල පතුල දැකීම   
නිසාය. ලොව කිසිදු තරුපහේ හෝටලයකින් එවන් රසවත් ආහාරයක් ලබා ගත නොහැකි බව මාගේ අදහසයි.   


‘‘අපි නිදා ගන්නේ කොහේද’’ දම්මිකට ප්‍රශ්නයකි.  
‘‘මහත්තයා හේන්වල නිදාගන්නේ නෑ’’ ජයන්ත පවසයි.  
 අපි එළිවෙනකං මොනවද කරන්නේ? දම්මික අසයි.   
‘‘හැබැයි මම කියන විධියට හිටියොත් අලි පෙන්නන්න අරන් යනවා.’’   
සේනාධීරගේ එම වදන් අපගේ කනට මීපැණි දැමුවක් විය.  


සේනාධීර ට්‍රැක්ටරය පණගන්වාගෙන සියලු දෙනා පසුපස ට්‍රේලරයට නගින ලෙස දැන්වීමෙන් පසු අපි ගමන ආරම්භ කළෙමු.   


අප රැගත් ට්‍රැක්ටර් රථය කැලෑ අතුරුපාරවල් කිහිපයක ධාවනය කොට එක්තරා ගල් තලාවක් මත නතර විය. සීරුමාරුවට ගල්තලාව මතට නැගගත් අපට ගල්තලාවට අනෙක් පසින් දිස්වූයේ කුඩා වැවකි. දැඩි පායනා කාලයේ වුවත් එහි වැව් දිය තරමක් ඉතිරීව ඇති බව හඳ එළියෙන් පැහැදිලිව දර්ශනය වෙයි.   
අනෙක් ගොවීන් දෙදෙනා ගෙනා විශාල කූඩාරම් රෙද්ද ගල් තලාව මත එලාගෙන අප අලින් දිය බීමට පැමිණෙන තෙක් බලා සිටිමු. 

 
‘‘මහත්තයා මේ හේන් වගාව පරම්පරාවෙන් කරන මිනිස්සු තමයි මොණරාගල ඉන්නේ. හැම කන්නයකටම වාරයක් හේන් සුද්ද කරලා බඩ ඉරිඟු, වට්ටක්කා, කොමඩු, කෙසෙල් වගා කරනවා. මෑ, කවුපි, මෙනේරි, කුරක්කන් දාන අයත් ඉන්නවා.   


‘‘කන්නයක් කරලා ලැබෙන ආදායමින් තමයි අපි වර්ෂයම ජීවත් වෙන්නේ. කාලයකට පෙර හේන් වගාවෙන් විශාල මුදලක් අපි ගත්තත් අද වෙනකොට අපි ලොකු පාඩුවක් විඳිනව. එයට හේතුව තමයි වට්ටක්කා ඇටයේ සිට ඉරිඟු, කොමඩු ඇටය දක්වා පිටරටින් ගෙන ඒම. ඉස්සර බණ්ඩක්කා, ඉරිඟු බීජ අපේ හේන් ගොවීන්ට තිබුණත් අද ඒවා රටින් ගෙන එනවා. ඒවට අවශ්‍ය බෙහෙත් ද පිටරටින් තමයි ගෙන එන්නේ’’   
‘‘ඉරිඟු කඩන කාලයට කොම්පැනිකාරයෝ කතාවෙලා ගැනුම් මිල පහත දමනවා. කවදාවත් ස්ථාවර මිලක් ඉරිඟුවලට නෑ. පහුගිය කාලයේ ලක්ෂ ගණන් වියදම් කරලා කරපු වට්ටක්කා වගාවන් නියම මිලට දීගන්න බැරුව ගොවීන් හේන්වලම කුණු වෙන්න ඇරියා’’   


‘‘අපි එහෙම දුක්විඳලා තමයි මහත්තයා හේන් වගාව කරන්නේ’’ ස්නාධීර පවසයි. අලි ගහන්න එහෙම එලවලා නැද්ද?   


දම්මික අතුරු පැනයක් අසයි.  

 


‘‘මොකෝ නැත්තේ. දවසක් කට්ටියත් එක්ක හේනේ වැඩ කරලා ගෙදර යන්න යනකොටම හයියෙන් වැස්සා. කැලේට වැස්සම ආරවල් ගලන්නේ ගංගා වගේ. අපි තීරණය කළා පැලේ නවතින්න. අපිට කඩයකින් ගන්න කියා දෙයක් නෑ. හේනේ කෑම ජාති තියනවා. අපි උයාගෙන කාලා නිදා ගත්තා.’’  


 හේ බුලත්විටක් කටේ දමා ගනී   


මහන්සිය නිසාම හැමෝටම නින්ද ගිහිල්ලා. වැස්ස වැඩි කමට ගිනිමැලයද නිමිලා. පන්දර මඩුව පැත්තේ ටකරමක් පොඩි වෙනවා වගේ දැනුනා. නැගිටලා බලනකොට අලි රංචුවක්ම වාඩියට ඇවිදින්. මට මතක විදියට අපි නැගිටිනකොටත් අලි පැලේ ඉස්සරහා බිත්තිය බින්දා. අප එළියට පැන්නේ පසුපස දොරින්. එතන ගල් දෙබොක්කාවේ විශාල පලු ගහක් තිබුණා. අපි ගහට නැංගේ කොහොමද කියා මතක නෑ. හැබැයි එළි වෙලා අලි යනකං ගහ උඩ තමයි හිටියේ ’’   
සේනාධීර සිනහ සෙයි. ඒ සමගම කැලයේ වෙඩි හඬකි!   


‘‘ඉඳලා හිටලා ඌරෙකුට වෙඩියක් පත්තු වෙනවා’’ යයි ජයන්ත පවසයි. ඈතින් ඇසුනු කොළ අතු කැඩුණු ශබ්දය ළං ළංව ඇසේ.   


‘‘බය වෙන්න එපා. අලි මේ ගල් තලාවට නගින්නේ නෑ’’  


 යයි අනෙකුත් ගොවීන් පැවසුවේ අපගේ සිත් අස්වසනු පිණිසය. ගැබ්බර ඇතින්න පෙරටු කරගනිමින් ජල තටාකය වෙත පැමිණි අලි රංචුවේ 19 දෙනෙකු ගණන් කළ බව කේසර පැවසුවත් ගණන එයට වඩා වැඩි අගයත් ගනී. එදින අලින් දැකබලා ගැනීමට සඳඑළිය වෙනදාටත් වඩා වැඩි වූවාදෝ යයි මා සිත පවසයි. විටක මඩෙහි ඒමේ අත පෙරළෙති. දිය සොඬින් ගෙන වීසිකරති. අප ඇති තරම් වෙලා එම චමත්කාරය විඳ ගතිමු.   
අලි බැලීම හා බලි බැලීම ඇතිවෙන්නේ නැති බව පවසති. කෙමෙන් කෙමෙන් හිරු පායන මොහොතේ අප නැවත වාඩියට ඒමට පිටත් වූ අතර එන අතරමගදී දිය සිඳී ගිය ආරක හාරන ලද පතුවළකින් ශරීරය දෝවනය කර ගතිමු.   


රාත්‍රී පැල් රැක නැවත නිවෙස් කරා යන ගොවීන් කිහිප දෙනෙකු වර්තමානයේ හේන් වගාවට අත්ව ඇති ඉරණම පිළිබඳ මෙසේ කීය.   


වයි.එම්. සුදුබණ්ඩෙ 55.   


මම මේ කැලයේ හේන් වගාව පටන් ගන්නකොට අවු 20 ක් පමණ වයස ඇති. මගේ ජීවිතයම හේනට කැපකරා. ඉස්සර අපි හේන් වගාවෙන් ලාබ ලැබුවා. ගෙවල් හැදුවා, වාහන ගත්තා නමුත් දැන් හේන් වගාව ඉතා පාඩුයි. බවබෝගවලට නියමිත මිලක් නෑ. අතරමැදියන් ගසාකනවා. බීජවලට ලොකු මුදල් ගෙවා පිටරටින් ගන්න වෙලා තියන නිසා විශාල වියදමක් එයට යනවා.   


ඔක්කොටම හපන් අලි කරදරය. මාස ගණනකට කලින් අලි ගහලා ගොවීන් දෙදෙනෙක් මැරුණා. අලි පැමිණ හේන් වගාව විනාශ කරනවා. බලධාරීන්ට කියලා පලක් නෑ. අපි දුක් විඳලා හරි ජීවත් වෙනවා   
මහත්තයා යයි හේ පැවසීය.   


එස්.එම්. ජයවතී 40:   


අපි මෙම පළාතට අැවිත් අවුරුදු කිහිපයක් වෙනවා. මමත් සැමියාත් කරන්නේ හේන් වගාව. අපි මේ පාර වට්ටක්කා හා බටු දමා තිබෙනවා. පායන නිසා ජලය හිඟයි. අලුත් අවුරුද්ද ඉලක්ක කරලා තමයි එළවළු හදලා තිබෙන්නේ. හොඳ මිලක් නියමවෙයි කියා හිතෙනවා. කැලෑව මැද වගා කරන්න හරිම අපහසුයි. මොකද හයෙන් පස්සේ අලි කරදර. හේන අලින්ගෙන් රැකබලා ගන්න තමා අමාරු යැයි ඇය පැවසුවාය. හේනේ ඇති සීනි කැකිරි වලින් අපට සංග්‍රහයක්ද කළාය.   


සැබැවින්ම මහ වනමැද හේන් වගාවේ නිරත වී ජීවත් වෙන ගොවීන් ගණන අතිවිශාලය. මොණරාගල, අම්පාර ආදී දිස්ත්‍රික්කවල ආර්ථිකය එම වගාවන් මත රැඳී පවතී. හේන් ගොවීන්ට මුවා වී කැලෑව තුළට ගොස් විවිධ නීතිවිරොධී ක්‍රියාවල නිරත වන්නන්ද නැතුවාම නොවේ.   


ඒ අතර ගොවිතැනින් ජීවිකාව සරිකරගන්නා සේනාධීරලා, ජයන්තලාද ඔවුන් අතර වෙති. ජිනීවා මානව හිමිකම් ප්‍රශ්නය, ඇමෙරිකා ජනපතිවරණය, බොරතෙල් මිල, ඔවුනට අදාළම නැත.   


එළවළුවලට නිසි මිලක් ලබාදීම, බඩ ඉරිඟු ඇට කිලෝවට නියමිත මිලක් නියම කිරීම. ප්‍රදේශයට අවශ්‍ය ජලය හා තෙල්, බෙහෙත්, පොහෝර මිල ඉහළ යාමේ ප්‍රශ්න ඔවුන් වෙලාගෙන ඇත. කොතරම් ප්‍රශ්න තිබුණත් මෙම හේන් ගොවීන් ඉතා අහිංසක මෙන්ම නිර්ව්‍යාජය. ආගන්තුක සත්කාරවලට මනා ලැදිකමක් දක්වයි.  
 පුරා තෙදිනක් මෙම වානාන්තරයේ ඇවිද ලබාගත් අද්දැකීම් විවිධාකාරය. වෙහෙර විහාර   
නටබුන් මෙන්ම ගල් ඇන්දක් තුළ වෙසෙන වලසා හා පැටව් නැරඹීම කිසිදා අමතක නොවේ. එම රූප සටහන් ලේඛකයාගේ කැමරාවට නොගෙන සිතේ පමණක් රාමු කිරීමට සිදුවූයේ එම සත්වයින්ට එයින් අබමල් රේනුවක තරම් වරදක්වීම වළක්වනු පිණිසය.   


මෙම ගොවි ජනතාව අප රරට මහත් ආඩම්බරයකි. ඔවුන්ගේ අවශ්‍යතාවන් සොයා බලා ඔවුන් නගාසිටුවීම බලධාරීන්ගේ යුතුකමයි. වනාන්තරය සැබැවින්ම චමත්කාරජනකය. නැවත නගරයට ඒමට අපි ඔවුනට සමුදුනිමු. 

 

 

නයන තෙන්නකෝන්