මහ මග හිඟාකන පවුල් 30ක් රකින යාචක නායකයා


 

“වහින්නට හැකිනම් ගිඟුම් දී... වියළි ගම්බිම්වලට ඉහළින්.... ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැලක රහසින්..
විශාරද නන්දා මාලනියන් විසින් ගායනය කරන ලද මෙම ගීතය අපට නැවත පසක් වූයේ එම ගීතය පසක් කරන අපූරු මිනිසෙකු හමුවීමත් සමඟය.


ඔහු නමින් එස්. ආර්. ඩබ්ලිව්. ශාන්ත කුමාර මහතායි. පාසල් අධ්‍යාපනයක් නොලැබු ඔහු උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් කලාවැව නෑගම්පහ අලිවංගුව ගමේ පදිංචි වී සිටී. 


ශාන්ත ගැන කතාකරන්නට අවැසිවූයේ වෙන කිසි දෙයක් නිසාවෙන් නොවේ. ජනතා මුදල් ලබාදී බලය ලබා දී පහසුකම් ලබා දී ජනතාවට සේවය කරන්නැයි පවසා ජනතාව විසින්ම සුදුසුයැයි තෝරාගෙන පාර්ලිමේන්තු යවන ජනතා සේවකයන්ගේ  ජන දුකත් කිසිදු පාසලකට නොගිය කුඩා කාලයේ සිට සිය පියා සමඟ හිඟමනේ යෙදුන අවසානයේ සිඟමන් යෙදෙන ජනතාවට නායකත්වය දෙමින් ඔවුන් සිඟමනෙන් මුදවා එක්තැන් කොට යම් මට්ටමකට දෙපයින් සිටගෙන දරුවන්ට අකුරක් උගන්වන්නට හිසට නිවසක් දෙන්නට ආගමට දහමට ලැදි කරන්නට වසර ගණනාවක සිට ගන්නා උත්සහය නිසාවෙනි.


මෙම කතාව ඇතැමෙකුට නිර්මාණයක් දැයි සිතිය හැකිය. තවත් අයෙකුට චිත්‍රපටයක් දැයි සිතිය හැකිය. එහෙත් මේ කතාව සම්පූර්ණ සත්‍ය දැනට සිදු වෙමින් පවතින සියැසින් දැක ගතහැකි කතා පුවතකි. මේ කතාවේ කතා නායකයා වූ ශාන්ත කුමාර කොටින්ම කියනවානම් යාචකයන් වෙනුවෙන් ගම්මානයක් තනා එම ජනතාව යාචක කමින් මුදවා අතේ පයේ රැකියා හුරු කරමින් සිටින යාචක පවුලක හිත හොඳ තරුණයෙකි.


කැකිරාව බස් ඩිපෝවේ හිටපු කළමනාකරු සුදත් ඒකනායක මහතාගේ දැනුම්දීම මත මේ අපූරු මිනිසා හමුවීමට අලිවංගුව නැමැති ගම්මානයට අප ගියෙමු.


කලා වැවේ බැම්ම මතින් පහළට ඇති මාර්ගයේ අවුකන රජමහා විහාරයට හැරෙන හංදියෙන් වළස්වැව මාර්ගයේ ගමන් කරද්දී නෑගම්පහ අලිවංගුව ප්‍රදේශයේ හමුවෙයි. වනජීවි කාලාපයක් නිසා එම ප්‍රදේශය තවමත් වනාන්තර ගතියක් පවතී. එම ප්‍රධාන මාර්ගය දෙපස කටුමැටි ගැසූ රෙදි එල්ලු ටකරන් කැබලි, පොල්අතු සෙවිලි කළ කුඩා නිවාස සහිතව දර්ශනය වෙයි. මේවා නිවාස ද සෙල්ලම් ගෙවල්දැයි යමෙකුට සිතා ගැනීමට හෝ නොහැකිය. අප එම ගමට යද්දී ශාන්ත කුමාර පැමිණ අපව පිළිගෙන ගමේ ගෙයක් ගෙයක් ගානේ අපව රැගෙන යන්නට විය.


බාල මහලු වැඩිහිටි බොහෝ දෙනා ඉතා අසරණව දුප්පත්කම දරිද්‍රතාවය පතුලේම සිටින වග මෙම නිවාස වලින් ඇඳුම් පැළදුම් වලින් පමණක් නොව මේ අයගේ ශරීරකූඩු වලින්ද මනාව පැහැදිලි වෙයි.


දොර යතුරු දාගෙන රාත්‍රි නින්දට යන බොහෝ දෙනාට පුදුම හිතෙන පරිදි මෙහි ගෙවල් බොහෝමයක් දොර බවට පත්ව අත්තේ පැදුරු කඩමාල්ලය. ටකරන් කැබලිය. පොල් අතු කීපයක්ය. ඇඳ ඇතිරිළි කොට්ට මෙට්ට නොමැතිව නිදාගන්නට නෙහැකි බහුතර දෙනාට මේ ජනතාව නිදා ගන්නා ආකාරය පාඩමකි. එනම් පැදුරු කඩමාල්ලක් බිම එලා දුවිල්ලේ මුළු පවුලම එකට එක්වී නිදා ගනිති.

 


උපතින්ම සිංහල බෞද්ධ වූ ගම්මානයේ දරුවන් රැසක් අධ්‍යාපන වයසේ පසු වුවත් පාසල් අධ්‍යාපනයක් ඔවුන්ට නැත. වැඩිහිටි බහුතරයකට ද තත්ත්වය එසේමය. ශාන්ත කුමාර මහතා කීවේ මරණාධාර සමිතියේ නාම ලේඛනය තීන්ත වලින් පිරී ගොස් ඇත්තේ කණ අත්සන (ඇගිලි අත්සන) තබන නිසා බවය.


මෙම ගෙවල්වලට යන අතරතුරේදී අලිවංගුව ගම හැදුන හැටිත් සිගමන් යදිමින් තැන තැන සිටි පිරිස එකතැනකට වූ සැටිත් ඒ සඳහා අදටත් එකම අරමුනක් කරා තමන් යන මාර්ගය පිළිබඳවත් ශාන්ත කුමාර අප සමඟ කීවේය.


එම කතාව අසා සිටි අපට චිත්‍රපටයක කොටස් මෙන් ඒ සියල්ල සියැසින් දැකීමට හැකිවිණි.


මමත් යාචක පවුලක කෙනෙක්. මම පුංචි කාලයේ තාත්තා රෝද තුනේ බයිසිකලේක තියාගෙන පාරවල් දිගේ හිඟා කෑවා. පාසලකට ගියේ නෑ. තාත්තා මිය ගියාට පස්සේ මම හිඟමනට සමුදීලා පත්තර කඬේක පත්තර ඇද්දා. පස්සේ පත්තර විකුණන්න ගත්තා. ඒ යන එනකොට අතර මඟදී යාචක අය දකින කොට මගේ අතිීතය මතක් වෙනවා. මම කල්පනා කළා. ඉන්න හිටින්න තැනක් නැති මේ යාචකයෝ එක තැනක පදිංචි කරවලා දෙන්න. ඒ අනුව මම පවුල් 30ක් සොයාගත්තා. 1995 වසරේ මම පන්සලකට ගිහින් හාමුදුරුවෝ හම්බවෙලා අකුරු ටිකක් කියවන්න ඉගෙන ගත්තා.


වනජීවී එකේ මහත්තයෙක් හම්බවෙලා වැදලා ඉල්ලුවා මේ පවුල් 30ට පොඩිවට ගෙවල් හදාගන්න තැනක් දෙන්න කියලා. ඒ මහත්වරු තාවකාලිකව ඔය අලිවංගුව කියන ප්‍රදේශයේ පාර දෙපැත්තේ ඉන්න කීවා. පොඩිවට ගෙවල්හදලා ඒ අයව පදිංචි කළා. හොඳ නරක කියලා දුන්නා. අරක්කු බිලා රණ්ඩු සරුවල් කරන එක නවත්තලා පාසල් යන්නේ නැති කීප දෙනෙක් පාසල් වලට යවලා හිඟමනේ යන එකට අමතරව ඔය පොල් කඩන්න, යකඩ එකතු කරන්ඩ ලස්සන පිංතූර විකුණන්ඩ හුරු කෙරුවා. ඒ අතරදී අකුරු ලියන්ඩ දන්න අය ළඟට ගිහින් මැති ඇමතිවරුන්ට ලියුම් ලියවගෙන ගිහින් කිව්වා. මම ළඟ තියෙනවා එහෙම ලියපු ලියුම් තුන්දාහක් විතර. මේ අයට ගෙවල් හදාගන්ඩ වතුර ගන්ඩ, ලයිට් ගන්න උදව් කරන්න කියලා පස්සේ හාමුදුරු නමකගෙන් පන්සලෙන් අයින් කරපු කැඩුණු බුදු පිළිමයක් අරගෙන ඇවිත් බෝ ඇට ගෙනල්ලා පැළ කරලා කුඩා මඩුවක් හදලා ගමේ අයට වැදුම් පිදුම් උගන්නලා හොඳ මිනිසුන් බවට පත් කළා. හදන්ඩ බැරි කීප දෙනෙක් ගමෙන් එළවලා දැම්මා. පස්සේ සජිත් ප්‍රේමදාස මහත්තයා නිවාස ඇමති උණාට පස්සේ මගේ ඉල්ලීමකට නිවාස 30ක් හදාගන්න උදව් කළා. එක පවුලකට රුපියල් ලක්ෂ පහ බැගින් දුන්නා.

 


ඒ මුදලින් ගෙවල් හදන්න බැරි  නිසා වියදම් අඩු කරගන්ට ගමේ පිරිමි අයට පෙදරේරු වැඬේ උගන්වලා ඒ අය හරහා ගෙවල් ටික දැන් හදාගෙන යනවා. ගල්නෑව පොලිසිය, ප්‍රාදේශීය ලේකම් තුමා ග්‍රාමනිලධාරී තුමා මට ගොඩක් උදව් කළා. ළගදීම ගෙවල්වල වැඩ ඉවර කරලා පදිංචි කරනවා.


“ගමේ බොහෝ පිරිසක් ඉන්නේ ඉගෙනගත්තු නැති අය. තවම ඉන්නවා පාසල් යන්නේ නැති තවමත් ලියන්න බැරි දරුවෝ. මේ අයව පාසලකට දාන්න. අකුරු බැරි අයට නමවත් ලියන්න පුරුදු කරන්න තමයි දැන් මම උත්සහා කරන්නේ. මොකද මට ඒක කරන්න බෑ මම ඉගෙන ගෙන නැති හින්දා. කව්රුහරි ඒ උදව්ව කරනවා නම් ලොකු දෙයක්.”


අපේ ගම ගැන දැනගත්තු කුරුණෑගල ඇතුගල ඇත්පවුර කියන සංවිධානයක දොස්තර මහත්වරු දෙව්වරු වගේ අපි රටෙන්ම කොන්වෙලා ඉන්නකොට ඇවිත් ප්‍රජාශාලාවක් හදලා දීලා ගොඩක් උදව් කළා.


මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මගේ ජනතාවට ආහාර හා ඇඳුම් පැළඳුම් හිඟය. මොකද දැන් යකඩ එකතු කරන්න බෑ මිලක් නැහැ. කුලී වැඩත් නෑ. කුඹුරක් ගොවිතැනක් මොනවත් නෑ. ඇත්තටම අමාරුවෙන් දවසකට එක වේලක් කාලා මේ ගේ හදාගන්න වැඬේට යටවෙලා ඉන්නේ. සිංහල අලුත් අවුරුද්දට හරි බඩු ටිකක් දුන්නොත් ලොකු පිනක්.


ඒ වගේම මගේ ගමේ අයට කුඩාවට හරි බුදු මැදුරක් හදලා දෙන්න. පෙරපාසලක් දාගන්න, වගේ උදව් කළොත් පිනක්.
ශාන්ත කුමාර මහතා එසේ අප සමඟ පැවසීය. ශාන්ත මේ කතාව කියද්දී සුදත් ඒකනායක මහතාත් මමත් පුදුමයෙන් මෙන් බලා සිටියේ කිසිදු ආර්ථික වාසියක් නැතිව එකම අරමුණකට වී යාචකයන් විකුණා මුදල් ගරන සමාජයක කුඩා දරුවන් පෙන්වා මුදල් ගරන සමාජයක් යාචක පවුල් එකතුකොට සංවර්ධනය කිරීමට මෙම පුද්ගලයා දරන කටුක සිද්ධිදාමය දෙසය.


ශාන්ත කුමාර මහතා අප සමඟ කියූ මේ කතාව සත්‍යයක්දැයි පසක්කැර ගැනීම සඳහා ගම්මුන් කීප දෙනකු සමඟ අප කතා කළෙමු.
පතිරාජ මුදියන්සේලාගේ විමලසිරි මහතා :- “අපි අම්මලත් එක්ක පාරවල් ගානේ තමයි හිටියේ. මට දරුවෝ හය දෙනෙක් ඉන්නවා. දැන් ඉන්නේ හතරයි. දෙන්නෙක් නැති වුණා. අපි දැන් සිඟමනේ යන්නේ නෑ. මම පොල්කඩන්ඩ පුරුදු වුණා. දැන්නම් මට අසනීප වෙලා මගේ බිරිඳ ගෙවල්ගානේ යනවා. හිඟාකෑම වෙනුවට අලංකාර බුදු පිළිම, රූප ආදි ලොකු පොටෝ කොළ අරගෙන ඒවා ගෙවල් වලට විකුණලා ඇත්ත කියලා කීයක් හරි හොයාගෙන එනවා. ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. අපේ සභාපතිතුමා තමයි අපිව මේ තත්ත්වයට ගෙනාවෙ. ඇත්තටම අපි හිටියේ අගුපිල්වල නිදාගන්නේ එහෙම හිටපු අපිට අද යම් මට්ටමකින් හොඳයි. ආර්ථික දුෂ්කරතා අඩුවෙයි.


දිසානායක මුදියන්සේලාගේ ගීතානි දිසානායක මිය :- “ අපි අදටත් දුක් විඳිනවා. ජීවත්වෙන්න. ඒත් සමාජය අපි හිඟන්නෝ කියන කතාව ටිකක් හරි අඩුවෙලා යන නිසා සතුටුයි. ඉස්සර අපිට එහෙම ලැජ්ජාවක් තිබුණේ නැහැ ඉල්ලාගෙන කණ්ඩ. දැන් මොනව හරි වැඩක් කරලා ජීවත් වෙන්න තමයි හදන්නේ. දරුවන්ට උගන්නගත්තොත් එයාලා හරි ගොඩයයිනේ. අපිට දැන් තමයි තේරෙන්නේ අම්මා තාත්තා එක්ක පුංචි කාලේ ඉදලා පාරට වැටිලා හිඟාකෑමට වඩා ජීවිතයක් තියෙනවා කියලා. ඒ පින ඔක්කොම ඉතින් මේ ශාන්ත අයියට තමයි.” 


“මගේ දරුවන්ට ඇඳුම් පැළඳුම් පොත්පත් ටිකක් දෙන්න ලොකු දෙයක්.”


පී. ටී. එම්. කාචංනා දමයන්ති පෙරේරා මිය. :- “මමත් දරුවෝ දෙන්නත් මහත්තයත් තමයි ඉන්නේ. මහත්තයා දැන් පොල් කඩනවා. අපි දවසට එක වේලක් තමයි කන්නේ. එක දරුවෙක් කොහොම හරි පාසලට යවනවා. කන්ඩ නැති දවසට විතරයි යවන්නේ නැත්තේ. මමත් මගේ මහත්තයත් ඉස්කෝලේ ගිහින් නෑ.” 

 

 


අපි කවදාවත් ඇදක මෙට්ටයක නිදාගෙන නැහැ. මේ වගේ හරි ඉන්න ලැබීම ලොකු දෙයක්. නැත්නම් අපි හිටියේ කඩපිල්වල පන්සල්වල පුංචි කාලයේ ඉදලම. දැන්නම් හරි සතුටුයි. බඩගින්නේ හරි වැටිලා ඉන්ඩ තැනක් අපේම කියලා තියෙන එක ගැන. 
ආර්. ස්වර්ණලතා මිය :- “අපේ ගමේ ඒ දවස්වල හැමදාම අරක්කු බීලා ගෝරි. කොල්ලෝ ගංජා ගහනවා. විවිධ දේවල් වලට ලක් වෙලා තිබුණේ. දැන් අපි පුදුම සතුටකින් ඉන්නේ. අපේ ගමේ සභාපතිතුමා මේ ඔක්කොම නවත්වලා කොල්ලෝ මිනිස්සු හැදුවා. අපි ඉල්ලාගෙන කාලා තමයි තැන තැන හිටියේ. මේ පැල්කොටවලට වෙලා නාකි වෙනකල් දුක් වින්දා. දැන් ඉතින් දරුවන්ට හරි අනාගතයක් තියෙනවා. අපේ ගමේ ඉන්නේ සියලු දෙනා සිංහල බෞද්ධයෝ. අපිට බුදු මැදුරක් හදාගන්න පොඩිවට පන්සලක් හදාගන්ඩ තියෙනවා නම් ගොඩක් හොඳයි.”


මේ ගම්මානයේ පාසල් නොයන ඒත් පාසල් යන වයසේ පසුවන දරුවන් රැසක් සිටිති. එමෙන්ම පාසල් අධ්‍යාපනයක් නොලබපු තරුණ තරුණියන්ද රැසක් සිටිති. එම පිරිස එක් ස්ථානයකට පැමිණ අපෙන් ඉල්ලා සිටියේ අධ්‍යාපන වරම් හිමිකැර දෙන ලෙසය. එමෙන්ම දැනට අධ්‍යාපනයක් නොමැතිව සිටින වැඩිහිටි පිරිසට පොතක් පතක් කියවා ගන්නට නම ලියන්නට ඉගෙන ගැනීමට මේ පිරිස දැඩි කැමැත්තකින් පසුවන බව පැවසූහ. 


මෙම ගම්මානයේ පවුල් දෙකකට පමණක් රජයෙන් ලැබෙන සමෘද්ධි සහනාධාරය ලැබෙන බවත් සෙසු අයට එය ද නොමැති බව ගම්මුන් කියති.


සිඟමන් යදිමින් සමාජයේ පිරිහෙමින් විවිධ සමාජ අකටයුතුකම්වලට නතු වෙමින් සිටි මෙම ජනතාව සමාජ ගත කරන වගකීම පැවරෙන බලධාරීන් නිලධාරින් ජනතා මුදල් ලබමින් සිටින පිරිස් ඔහේ බකන් නිලාගෙන රටේ දියුණුව මෙතකැයි කියා පාමින් සිටින අවස්ථාවක එම සමාජ වගකීම කරට ගත් යාචක පවුලකින් එන ශාන්ත කුමාර රටටම ආදර්ශයකි. 


සමාජය මගින් ඔහුව ඇගයීමට ලක්කළ යුතුව ඇත. අකුරු ලියන්න බැරි ඒත් ඔහුගේ හැකියාවන් ගැන අප අගය කළ යුතුව ඇත. ගමක් කළමනාකරණය කරන්නට ඔහුට ඇති හැකියාව අගය කළ යුතුව ඇත.


මේ ලිපිය කියවන කාට හෝ ගම්මානය ජනතාවට උදව්වක් කරන්න හැකියාවක් ඇත්නම් එය උතුම් දෙයකි. මන්ද සමාජයේ පිරිහෙමින් යන සාරධර්ම නැවත ඉස්මතු කරමින් දෙපයින් ඇවිදින්නට වෙර දරන අලිවංගුව නැමැති කැලෑව ගමක් බවට පත්කළ මේ මිනිසුන් ආදර්ශමත් නිසාය.


සටහන / ඡායාරූප
දඹුල්ල කාංචන කුමාර අරියදාස