මහ ප​ාරේ තදබදයට පිළියමක්


වාහන තදබද ඇතිවෙන්නේ වාහන හැසිරවීමේදී

 

 

රටක දියුණුවකට ගමනාගමනය ඉතා වැදගත් කාරණයකි. නිසි මංමාවත් තිබුණද ගමනාගමනයේදී ඇති වන බාධක හේතුවෙන් බොහෝ දෙනාට අතරමඟ කාලය ගත කිරීමට සිදුවෙයි. විශේෂයෙන් ගමනාගමනයේදී ඇති වන වාහන තද බදය නිසා නිකරුණේ මහ මඟ කාලය හා ශ්‍රමය වැය කිරීමට සිදු වීම නිසා දෛනික කටයුතුවලදී එය තදින් බලපායි. එක් පැත්තකින් අනවශ්‍ය ලෙස මුදල් වැය වීමක් ද වෙයි.     


දිනෙන් දින ඇතිවන වාහන තදබදය පිළිබඳ අප විමසිමක් කළේ මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සමන් බණ්ඩාර මහතාගෙනි.   


ප්‍රශ්නය - දිනෙන් දින වැඩි වන මෙම වාහන තදබදයට හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද? 

 
පිළිතුර - ප්‍රධාන හේතුව හැටියට මම දකින්නේ දැනට අපේ තිබෙන ප්‍රවාහන පද්ධතියයි. එය මහජනතාවගේ අවශ්‍යතා අනුව නොවෙයි සකස් කර තිබෙන්නේ. උදාහරණයක් ගත්තොත් මහජනතාවට කොහේ සිට කොහාටද යන්න ඕනෑ කියන එක විමර්ශනයක් කළ යුතුයි. ඔවුන්ට අවශ්‍ය දේවල් සහ අවශ්‍ය තැනට යන්න ප්‍රවාහන පද්ධතිය සකස් වෙලා නැති නම් ප්‍රශ්න ඇතිවෙනවා.   


මහජනතාව පදිංචි ස්ථාන, රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන පිහිටි ස්ථාන ඒ වගේම සංවර්ධනය කළ යුතු ස්ථාන තමන්ට කැමති ආකාරයකට තීරණය කර ගන්න පුළුවන්. එසේම හැමෝටම නිවසක් හෝ ව්‍යාපාරික ස්ථානයක් ආරම්භ කිරීමට තමන් කැමති තැනක් තෝරාගන්න අයිතියක් තිබෙනවා. නගරයක් ගතහොත් නගරය පුරාවටම ගමන් කරන්න නිදහස තියෙනවා. නමුත් මහා මාර්ග පද්ධතිය සකස් වෙලා තිබෙන්නේ ඒ ආකාරයට නොවෙයි. අනාදිමත් කාලයක සිට ක්‍රියාත්මක වෙන්නේ ඒ ආකාරයටයි.   


කොළඹ නගරය කේන්ද්‍රස්ථානයක් නිසා යම් කිසි රාජකාරියක් ඉටුකරගන්න කොළඹට එන්න ඕනෑ. එහෙත් අද කොළඹ කොටුවට යන්නේ අතළොස්සක් වගේ ප්‍රමාණයක්. අනිත් බොහෝ දෙනෙක් යන්නේ වෙනත් තැන්වලට. ඒ අයට යන්න එන්න නිසි ක්‍රමවේදයක් නැති නිසා එක්කෝ ත්‍රීරෝද රියක, යතුරුපැදියක යන්න අවශ්‍යයි. ඊට හේතුව බස් රථයකින් හෝ දුම්රියකින් අදාළ ස්ථානයට ළඟාවෙන්න බැරි නිසා. ඒ නිසා ඉබේම විකල්ප ක්‍රමවලට යොමු වෙනවා.   


හැමෝම විකල්ප ක්‍රම සොයාගෙන යන්න ගියාම ඉබේම මේ තදබද තත්ත්වය ඇතිවෙනවා.   


ප්‍රශ්නය - දිගු කලක් ගත වෙලත් මේ ප්‍රශ්නයට නිසි පිළිතුරක් තවම ලැබී නැහැ නේද?   


පිළිතුර - ඒකට හේතු දෙකක් තිබෙනවා. එකක් තමයි ජනතාවට කොහේ සිට කොහේට යන්න ද අවශ්‍ය කියලා අපට හරි දැනුමක් නැහැ. අපි අනුමාන කරනවා විතරයි. අපි කරන ඒ අනුමානයට අනුව තමා විසඳුම් ලබාදෙන්නේ. එ්ත් අනුමානයට කරන කොට අපේ අතින් වැරදිත් සිදුවෙලා තිබෙනවා.   


දැන් අපි කොළඹ ඉඳලා කිලෝ මීටර් 20 ක් විතර දුරක සිට කොළඹ පැමිණෙන වාහන ගණන් කළ හොත් එන්න එන්නම වාහන ප්‍රමාණය වැඩිවෙලා පෙනෙනවා. 20,000, 30,000, 40,000 ලෙසට කොළඹට ඇතුළු වෙන වාහන සංඛ්‍යාව වැඩිවෙනවා. අපි කරන්නේ වාහන ගණන් කරන එක විතරයි. ගැනලා අපි කියනවා කොළඹට දැන් වාහන ගොඩක් කියලා. ඒත් ඒවා එන්නේ කොහේ ඉඳලද කියලා අපි දන්නේ නැහැ.   


අපි හරියට බැලුවොත් ඒ ඇතුළුවන වාහන එළියට යනවා. තව කට්ටියක් ඇතුළුවෙනවා. නැවත කට්ටියක් එළියට යනවා.   


මම දවසක් බත්තරමුල්ල ප්‍රදේශයේ සමීක්ෂණයක් කළා මාල​ෙඹ් සිට රාජගිරියට එන කොට අපි හිතමු වාහන 100 ක් ඇතුළු වුණා කියලා. නමුත් ඒ 100 ම පිටවෙලා. තවත් 100 ක් ඇතුළු වෙලා. දැන් ඔය මාර්ගයේ බස් සේවාවක් දැම්මොත් ප්‍රයෝජනයක් නැහැ. දැන් කෙනෙක් එන්න ඕනෑ ප්‍රධාන මාර්ගයට. ඊට පස්සේ ඒ කෙනා එතනින් බැහැලා අදාළ තැනට යන්න ඕනෑ. දැන් නාවලට යන්න ඕනෑ නම් ඔහු කොහෙන් හෝ බැහැලා නාවලට නැවත යන්න ඕනෑ. ඒකට පිළියමක් නැහැ. අපට ඒ වගේ දේවල්වලට හොඳම විකල්පය තමයි එක්කෝ ත්‍රීරෝද රථය, නැත්නම් යතුරු පැදිය. මොකද බස් රථයට ගොඩ වෙලා නැවත බැහැලා ත්‍රීරෝද රථයකට ගොඩවෙලා යනවට වඩා ​ෙහාඳයි ගෙදර ඉඳලම ත්‍රීරෝද රථයකින් එන එක. ඕක තමයි අපට තිබෙන ප්‍රධාන ගැටලුව.   


ඒ ගැටලුව ලේසි​ෙයන් විසඳා ගන්නත් අපහසුයි.   


ඊළඟට පොඩි පොඩි ප්‍රශ්න තිබෙනවා. පොඩි පොඩි ප්‍රශ්න කියන්නේ අපට විසඳාගන්න පුළුවන් ප්‍රශ්න. දැන් බලන්න වාහන එක පෙළට ගමන් කරනවා නම් කිසි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. වාහන හැරවීමේදී තමයි වාහන තදබද ඇතිවෙන්නේ. පදිකයන් පාර හරහා ගමන් කරන විට එක්කෝ හදිසි අනතුරක් වූ විට තමයි වාහන තදබදය ආරම්භ වෙන්නේ. පාරක එක දිගටම වාහන ගමන් කරනවා නම් තදබදයක් ඇති වෙන්නේ නැහැනේ. එක්්කෝ වාහනයක් නවත්වා තිබෙන විට මංසන්ධියක් අසල දී වාහන තදබදය දැකිය හැකියි.   


ප්‍රශ්නය - මෙයට විකල්පයක් හැටියට මොකක්ද යෝජනා කරන්නේ.   


පිළිතුර - ඇත්තටම විකල්පයක් කියලා එකක් නැහැ. මේ තිබෙන අර්බුදය තුළින්ම තමයි ගොඩ එන්න ඕනෑ. දැන් මංසන්ධියක් ගතහොත් සමහර විට විශාල තදබදය ඇති වෙන අවස්ථා තිබෙනවා. බොහෝ දෙනා අහනවා මේ තදබදයට විසඳුමක් නැතිද කියලා. එහෙම විසඳුම් තිබෙනවා. ඒත් අපි ඒවා පාවිච්චි නොකරන එක තමයි ප්‍රශ්නය.  


ප්‍රශ්නය - උදාහරණයක් හැටියට ඒ වැරදි තැන් හදා ගන්න පුළුවන් ක්‍රමය ගැන සඳහන් කළොත්?   


පිළිතුර - බලන්න බොරැල්ල කනත්ත වට රවුම. සමහර වේලාවට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව දක්වා එක පැත්තක වාහන තදබදයක් තිබෙනවා. එතන විදුලි සංඥාවල සුළු ගැටලුවක් තිබෙනවා. කාල වේලාව ගණනය කිරීමේදී ඒක ක්‍රියාත්මක කරලා විසන්ධි කොට නැවත ක්‍රියාත්මක කිරීමේදී කාල වේලාව අඩුවෙන් තමයි ගමන් කරන්නේ. වාහන ප්‍රමාණය ගමන් කරන පිළිවෙළ අනුව ඒ කාලය සකස් කරන්න පුළුවන් වුණොත් මේ ගැටලුව ඇති වෙන්නේ නැහැ.   


සමහර වේලාවට වාහනවලට පැය 1/2 ක් පමණ රැඳී සිටීමට ඉන්න සිද්ධ වෙනවා ඒ මංසන්ධිය පසු කරන්න. බොහෝ මංසන්ධි අසල මේ ගැටලුව තිබෙනවා. ඒ විදුලි සංඥාවල කාලය අදාළ වෙලාවට සකස් කර ගන්න පුළුවන් වුණොත් මේ ගැටලුවට තරමක හෝ විසඳුමක් ලබාගන්න පුළුවන්. ඒක හැමෝටම බැහැ. විදුලි සංඥා විශේෂඥයන්ගේ දැනුම අවශ්‍යයි. ඒ පිළිබඳ අධ්‍යයනය කරලා සමීක්ෂණ කරලා තමයි ඊට විසඳුම් දෙන්න ඕනෑ. පොඩි පොඩි විකල්ප අනුව විසඳුම් ලබාදෙන්න පුළුවන්. සමහර තැන් පොඩි දේ වලින් කරන්න බැහැ.   


අනික තමයි විසඳුම් දෙන විට එකකට එකක් තරගකාරී නොවිය යුතුයි. දැන් අපි බැලුවහොත් විදුලි දුම්රියක් ගේන්න යෝජනාවක් තිබෙනවානේ. ඒ විදුලි දුම්රියත් එක්ක තරග කරන්න බස් සේවාවක් යෙදවුවහොත් අපි බලාපොරොත්තු වන සේවාව වෙන්නේ නැහැ. එතනදී අපි කළ යුත්තේ බස්වලින් පුළුවන් තරම් සෙනඟ දුම්රියට ගෙන එන්න ඕනැ. නමුත් අපිට ඒ කෝච්චියෙන් විතරක් ප්‍රශ්න විසඳෙන්නේ නැහැනේ. කෝච්චියෙන් බැහැලා නැවත බස් රථයක් ගන්න ඕනැ අදාළ තැනට යන්න. අපි කලින් සඳහන් කළ ආකාරයට අපේ ගමනාන්තය දුම්රිය හෝ බස් මාර්ගය අසල නො​ෙවන්න පුළුවන්. ඒ සඳහා පිළියමක් නැතිනම් ජනතාවට සොයාගන්න වෙනවා තමන්ට පිළියමක්. ඒ නිසා තමයි ත්‍රීරෝද රථයක් යතුරු පැදියක් නැතිනම් තමන්ගේම මෝටර් රථයක් යොදා ගන්නේ. පාරේ ගමන් කරන ඕනැම කෙනෙකුගෙන් ඇසුවොත් ඔවුන් හැමෝම කියන්නේ පාරේ යන එක මහා කරදරයක් කියලනේ. මේ ට්‍රැෆික් එකේ යන්න බැහැ. ඒත් කරන්න දෙයක් නැහැ කියලා. අනික වර්ෂාව ඇති දවස්වලට කොහොමද බස් නැවතුම් පොළට දුම්රිය ස්ථානයට එන්නේ. එතනදී පදිකයන් ගැන අවධානය යොමු කරලා නැහැ. ඕනැම ගමනක් යන කෙනා අන්තිමට කුඩා දුරක් හෝ පයින් ගමන් කරන්න ඕනෑ. කොතරම් සැප පහසු සුඛෝපභෝගී බස් සේවාවක් යෙදවුවත් වැඩක් වෙන්නේ නැහැ. නිවසේ සිට බස් නැවතුම්පොළට එන්න බැරි නම් ඒ කියන්නේ පහසුවෙන් අමාරුවෙන් මඩ තවරා ගෙන තෙත බරිතව දූවිලි කාගෙන දාඩිය වක්කරගෙන එන්න පුළුවන්. නමුත් අපි එහෙම නොවෙයිනේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වගේ දේවල්වලට විසඳුම් නැති වෙන කොට කවුරුත් බලන්නේ වෙනත් විකල්පයක් කරා යන්නයි.   


එ් නිසා පදිකයන්ගේ​ අවශ්‍යතා හඳුනාගන්න ඕනෑ. ඔවුනට පහසුකම් සපයන්න අවශ්‍යයි. ඒ වගේ මූලික දේවල්වලට විසඳුම් නොදී අපි විශාල දේවල්වලට විසඳුම් සොයාගෙන ගියාට මේ ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැහැ. අනික පාරවල් පළල් කිරීමෙන් විතරක් මේ ප්‍රශ්නයට විසඳුම් සොයන්න බැහැ. පාරේ ගමන් කරන වාහන පුළුවන් තරම් අඩු කරන්න ඕනෑ. දැන් උදය වරුවේ බස් විශාල සංඛ්‍යාවක් ඇවිල්ලා මගීන් රැගෙන යනවා. ක්‍රමයෙන් දහවල් වන විට ඉල්ලුම අඩුවෙනවා. ඊට පස්සේ ඔය බස් ටික තැනිත් තැන නවත්ව නවත්ව රථවාහන තදබදයක් ඇති කරනවා. දැන් දුම්රිය ගතහොත් ඊට වෙනස්. උදය වරුවේ විනාඩි 5 න් පහට ගිහින් ටිකෙන් ටික ඒක දහයෙන් දහයට 15 න් පහළොවට ගමන් කරන්න ක්‍රමයක් සකස් කරන්න පුළුවන්. දුම්රිය වෙනත් පැත්තක තිබෙන්නේ. අනිත් වාහනවලට කරදරයක් වෙන්නේ නැහැ. ඒ වගේ විසඳුම්වලට අපි ගමන් කරන්න ඕනැ. තරගකාරී නොවන විදිහට අපි තරග කරන්න ගියහොත් මේ ප්‍රශ්නයට විසඳුම් සොයන්න බැහැ. නමුත් අපේ ක්‍රමවේදය හැදිලා තිබෙන ආකාරය අනුව ඒක නැවත සකස් කර ගන්න අමාරුයි. අපි සහයෝගයෙන් වැඩක් කරන්න යන්නේ.   


හැමදේම තරගකාරී ස්වභාවයක් තිබෙන්නේ. අන්න ඒ කාරණය මුලින්ම හදන්න ඕනෑ. ඒ නිසා අදාළ තාක්ෂණික උපකරණ තාක්ෂණික සේවා යොදාගෙන මෙයට විසඳුම් සොයන්න ඕනෑ. මොකද බස් රථයෙන් හෝ දුම්රියෙන් බැහැලා අවසානයේ නිවසට යන්න ක්‍රමයක් අවශ්‍යයිනේ.   


ප්‍රශ්නය එක් දිසාවකට එක් මං තීරුවක් ඔස්සේ වාහන ධාවනය කිරීමට හඳුන්වා දුන් වැඩ පිළිවෙළ සාර්ථකද?   


පිළිතුර - එක් දිශාවකට ගමන් කිරීමේදී අපි බලාපොරොත්තු වෙන්නේ වෙනත් දෙයක්. දැන් අපි කලින් සඳහන් කළානේ බොහෝ තදබදයක් ඇති වෙන්නේ ප්‍රධාන මාර්ගයේ සිට වාහන වෙනත් මාර්ගවලට හැරවීම නිසා කියලා. විශෙ​්ෂයෙන් දකුණට හරවන වාහන අන්න ඒ අවස්ථාවක දකුණට හරවන වාහන හා කෙළින් දිශාවට ගමන් කරන වාහන අතර තිබෙන තරගය අඩු කරන තරමට මංසන්ධියක සිදු වන වාහන තදබදය අඩු කරන්න පුළුවන්. සෑම තැනකම එහෙම කරන්න බැහැ. එවැනි දේ කරන්න පුළුවන් තැන් තිබෙනවා. අපි ඒවා හඳුනාගත යුතුයි. අදාළ දුර අනුව හරවන මංසන්ධිය අනුව ඒවා අධ්‍යයනය කරලා තමයි විසඳුම් දෙන්න ඕනෑ. බස්වලට යන අයට ගැටලුවලට මුහුණ පාන්න සිදු වෙනවා. ඒවා සොයා බලා තමයි විසඳුම් දෙන්න ඕනෑ. එසේ බැරි තැනකදි වෙනත් විකල්පයකට යන්න ඕනැ.   


දැන් වාහන ගමන් කරන මංසන්ධියක වාහන දකුණට හරවන විට වැඩි වාහන ගමන් කරන ආකාරය අනුව එය වෙනස් කරන්න පුළුවන්. දැන් හතරමං සන්ධියක වාහන තදබදය පවතින අවස්ථාවක හරවන දිශාව පාලනය කළ යුතුයි. ඒ අවස්ථාවේ ඒ මංසන්ධියේ වාහන තදබදය අඩු කරන්න පුළුවන්. එතකොට වාහන සියල්ලම එකම දිශාවකටයි ධාවනය කරන්නේ.   


දැන් තනි මං තීරුවක් ඔස්සේ ගමන් කරන මාර්ගයක මංසන්ධියක් තිබෙනවා නම් ඒ මංසන්ධියේ පාරවල් 4 ම එක හා සමාන වෙන්න ඕනෑ. පාරවල් දෙකක් කුඩායි අනිත් පාරවල් 2 ලොකු වුණාම එතන ගැටලු ඇතිවෙනවා.   


මොකද ලොකු පාරවල් දෙකේ ගමන් කරන වාහන කුඩා පාරවල් දෙකට යොමු කිරීමේදී විශාල තදබදයක් ඇති වෙනවා. මං තීරු දෙකක ගමන් කරන වාහන එක මංතීරුවක ගමන් කරන කොට වාහන තදබදයක් ඇති වෙන එක ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. අන්න ඒ වගේ බැරි තැන් තිබෙනවා පුළුවන් තැනුත් තිබෙනවා.   


ප්‍රධාන මාර්ගයේ නුසුදුසු තැනක බස් නැවතුම් පළක් හෝ පදික මාරුවක් තිබෙන්න පුළුවන්. එන්න ඒ වගේ තැන්වල වාහන තදබදය ඇති වෙන්න ඉඩ කඩ තිබෙනවා. දැන් දකුණට වැඩිපුර වාහන හරවන තැනක පදික මාරුව දකුණට වාහන හරවන පැත්තෙන් දැමුවහොත් වාහන දෙපාරක් මහා මාර්ගයේ නවත්වන්න සිද්ධවෙනවා. දකුණට හරවන වාහනවලටත් ඉඩ දෙන්න ඕනෑ. පදිකයන්ටත් ඉඩ දෙන්න ඕනෑ. ඒ පදික මාරුව අනිත් පැත්තෙන් දැමුවහොත් පදිකයන්ට මාරුවෙන්න පුළුවන්. දකුණට හරවන වාහනවලට බාධාවක් නැතිව හරව ගන්නත් පුළුවන්. ඒ වගේ බොහොම සුළු විකල්ප තිබෙනවා. දැන් සමහර බස්​නැවතුම්පළවල් තිබෙනවා වෙනත් බස් රථයකට ගොඩවීමේදී ප්‍රධාන මාර්ග 2 ක් හරහා ගමන් කළ යුතුයි. ඒ නිසා ප්‍රධාන මාර්ගයේ ගමන් කරන වාහන දෙපාරක් නැවැත්වීමෙන් වාහන තදබද ඇතිවෙනවා.   


​ෙහාඳම උදාහරණයක් තමයි දෙහිවල මංසන්ධිය. එතන ගුවන් පාලමක් ඉදි කළාට පහළ ප්‍රධාන මාර්ගයේ තදබදය අඩු වී නැහැ. දෙහිවල තදබදයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ පදිකයන් නිසා. මහරගම ප්‍රදේශයේ සිට දෙහිවල හරහා බස් රථයකින් කොළඹට යන ​ෙකනෙකුට පාරවල් කිහිපයකින් මාරුවෙලා තමයි බස් රථයකට ගොඩ​ෙවන්න ඕනෑ. එතනදී කිහිප අවස්ථාවක පදිකමාරුවීම සඳහා වාහන නැවැත්විය යුතුයි. අන්න එතනදී විශාල වාහන තදබදයක් ඇතිවෙනවා. බස්නැවතුම්පොළ මාරු කළහොත් මගීන්ට පාර මාරු වීමේදී 2 වතාවත් පනින්න අවශ්‍ය නැහැ. එහෙත් දැන් එය කරන්න බැහැ. ඒ අවට කඩ සාප්පු ඉදිවෙලා ඉඩ කඩ ප්‍රශ්නය නිසා. මුලදී පාරවල් හදන ​ෙවලාවේදි මේ ගැන අවධානය යොමු කළා නම් මේ අර්බුදය එන්නේ නැහැ? අර මගීන්ට යන්න ඕනෑ කොතනද කියන එක පිළිබඳ අවබෝධයක් නොමැති නිසා තමයි මේ වාහන තදබදයට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ. හැබැයි මේ විසඳුම වෙන තැනකට දෙන්න බැරි වෙන්න පුළුවන්. අපි අවධානය යොමු කරන්න ඕනෑ මහජනතාවට කොහේ සිට කොහේටද වැඩි පුරම ගමන් කළ යුත්තේ කියලා. අපිට අවශ්‍ය පහසුකම් දෙනවා නම් මෙයට යම් තරමින් හෝ විසඳුම් ලබාදෙන්න පුළුවන්. එහෙත් එක පාරට විසඳුම් ලබාදෙන්න බැහැ. ඒකට දැනුම අවශ්‍යයි. ආවට ගියාට කරන්න බැහැ. එක තැනකට ලබා දුන් පිළිතුර තව තැනකට දෙන්න බැහැ. පිටරටක හරිගිය එකක් මෙහෙට ගැළපෙන්නේ නැහැ. අන්න ඒ වගේ ප්‍රායෝගික ගැටලු තිබෙනවා. මේක ඉතා සංකීර්ණ ප්‍රශ්නයක්. ඒ නිසා පුළුල් අධ්‍යයනයක් කරලා විසඳුමක් කරා යොමු විය යුතුයි.

 

 

සටහන  - 
නිශාන්ත කුමාර බණ්ඩාර