මහ නගර හැඩ කරන ‘කතුරු ඔංචිල්ලා’


‘ලන්ඩන් ඇස’ නැරඹුම් රෝදය අතිශය ජනප්‍රියයි 

රෝදයේ කුටීරයකට අවට පෙනෙන අයුරු

 

ලන්ඩන් අයි නොහොත් සහශ්‍ර රෝදය ඔබ හැබැහින් දැක නැතිව ද ඡායාරූපවලින් හෝ වෙනත් කිසියම් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයකින් එක්වරක් හෝ දැක ඇතිවාට සැක නැත. ලන්ඩන් නගරයේ බොහෝ තැන්වලට විවිධ කෝණවලින් මේ සුවිසල් වළල්ල නොහොත් රෝදය දැකගත හැකිය.   


එය දැන් නම් ලන්ඩන් නගරය නරඹන්නට මෑත දී එක්වූ ආභරණයක් වැනිය.  


මේ සුවිසල් රෝදයේ උස මීටර් 135කි. අඩිවලින් නම් 443කි. රෝදයේ වට ප්‍රමාණය මීටර් 120කි. අඩිවලින් නම් 394කි.   


මේ ප්‍රමාණය ඔබට සිතා ගත්විට එය කොතරම් විශාලදැයි සිතාගත හැකිය. එය තේම්ස් නදිය පසුබිම් කරගෙන නිල් අහසට විහිදුන දැවැන්ත රෝදයකි. එය ලන්ඩන් නගරයේ ඉහළම ස්ථානයේ සිට අවට දකින්නටම තැනු අපූරු නිර්මාණයකි. ලන්ඩන් අයි නොහොත් ලන්ඩන් ඇස ලෙසින් නම් කර ඇත්තේ එහෙයිනි.   


මෙම රෝදයේ කැප්සූලයක සිට ලන්ඩන් නගරය දැක ගැනීම අපූරු අත්දැකීමකි.   


රෝදය වටා එවැනි කැප්සුල 32කි. එම කැප්සුල වායුසමීකරණය කර ඇත. එකවර 25 දෙනකුට ගමන් කිරීමට හැකි තරම් මේ කැප්සුලයක් විශාලය. අවශ්‍ය නම් එහි ඇවිදිමින් වීදුරු කවුළු අතරට යමින් කැමැති කෝණයක් ඔස්සේ ලන්ඩන් නුවර සිරිය විඳගත හැකිය. නැතහොත් අසුන් පනවා ඇත. 

 
මේ කැප්සුල රෝදය වටේ සවි කර තිබේ. රෝදය සෙමෙන් කරකැවෙයි. කරකැවෙන වේගය තත්ත්පරයට සෙන්ටි මීටර් 26කි. එය ඉතා සෙමෙන් කරකැවෙන්නේ නරඹන්නන්ට රිසිසේ අවට සුන්දරත්වය පහසුවෙන් දැක ගැනීම සඳහාය.  


2000 වර්ෂයේ මෙම අපූරු නිර්මාණය විවෘත කරද්දී එය ලෝකයේ උසම නැරඹුම් වළල්ල විය. එහෙත් චීනයේ නැන්චාන්හි පිහිටි ‘ස්ටාර් ඔෆ් නැන්චාන් 2006දී විවෘත කෙරිණි. එහි උස අඩි 525කි. 2008 දී සිංගප්පූරුවේදී විවෘත කළ ‘සිංගප්පූරු ෆ්ලයර්’ උස අඩි 541කි. 2014දී ලාස්වේගාස්හි විවෘත කරන ලද නැරඹුම් වළල්ලේ උස අඩි 548කි.   


මේ අනුව දැනට ලෝකයේ උසම නැරඹුම් වීලය (වළල්ල) වන්නේ ලාස්වේගාස් හි පිහිටි හයිරෝලර්යි.   
2006 වෙනතුරු ලෝකයේ උසම නැරඹුම් වළල්ල වූයේ චීනයේ පිහිටි ස්ටාර් ඔෆ් නැන්චාන්ය. 2008 දී එම වාර්තාව බිඳී සිංගප්පූරුවේ ‘සිංගප්පූර් ෆ්ලයර්’ ලෝකයේ උසම නැරඹුම් වළල්ල විය.  

 

සිංගප්පූරුවේ ෆ්ලයර් නැරඹුම් රෝදය

 


එහෙත් ලන්ඩන් අයි තවමත් යුරෝපයේ උසම නැරඹුම් වළල්ලයි.   


ලෝකයේ පැරණිම නැරඹුම් වළල්ල ලෙස සැලකෙන්නේ අඩි 212ක් උසැති 1897 දී ඔස්ට්‍රියාවේ වියනා නගරයේ ඉදිකරන ලද රෙසෙනාර්ඩ්ය. බ්‍රිතාන්‍ය ලද ඉංජිනේරුවන් නිමවූ මෙය මුලින්ම කුටීර 30ක් තිබූ නමුදු පළමු වැනි ලෝක යුද්ධයේදී එයට හානි පැමිණීම නිසා පසුව කුටීර 15කින් යුතුව යළි පිළිසකර කෙරිණි.  


1920 සිට 1985 දක්වා මෙය ලෝකයේ උසම නැරඹුම් වීලය විය. ෆ්‍රැන්සිස් ජෝසප් 1 අධිරාජයාගේ ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් මේ නැරඹුම් වළල්ල ඉදි කළද මෙය වාණිජ වශයෙන් සාර්ථකත්වයට පත් නොවීය.   
නැරඹුම් වළලු නොහොත් නැරඹුම් වීලවල ආරම්භය සනිටුහන් වෙන්නේ ඇමෙරිකාවේ චිකාගෝ නගරයෙනි. ඒ 1893දීය.   


ප්‍රංශයේ සුප්‍රසිද්ධ අයිෆල් කුලුන තැනුවේ 1889දී ප්‍රංශයේ ලෝක වෙළඳ ප්‍රදර්ශනය සඳහාය. එහි උස අඩි 1063කි.   


මෙයින් පසු ඇමෙරිකාවට අවශ්‍ය වූයේ අයිෆල් කුලුනට වඩා සුවිශේෂී වූ නිර්මාණයක් 1893 කොලොම්බියා ලෝක වෙළඳ ප්‍රදර්ශනය වෙනුවෙන් ඉදිරිපත් කිරීමයි. ඒ සඳහා එහි සංවිධායකවරු ඇමෙරිකාවේ ඉංජිනේවරුන්ට මේ අභියෝගය බාර දුන්හ.  

 

ලාස්වේගාස්හි හයිරෝලර් නැරඹුම් වළල්ල

 


ඒ සඳහා ජෝර්ජ් වොෂින්ටන් ෆෙරිස් නම් ඉංජිනේරුවා මෙවැනි නැරඹුම් වීලයක යෝජනාව ඉදිරිපත් කළ විට සංවිධායකයෝ එය අනාරක්ෂිත බව කියූහ. එහෙත් ෆෙරිස් ඇමෙරිකාවේ සිටින හොඳම ඉංජිනේරුවන් සමග මේ පිළිබඳව යළි කතා කරද්දී එය ඉදිකිරීමට අවසර ලැබිණ.  


මෙහි කුටීර 36ක් විය. ඒ සෑම කුටීරයකම සවි කරන ලද අසුන් 40ක් විය. ප්‍රදර්ශනය ආරම්භ වූ විට දිනපතා 38,000ක නරඹන්නෝ එය නැරඹූහ.   


ප්‍රදර්ශනය නිම වූ වහාම ෆෙරිස් කීවේ එහි ලාභය පිළිබඳව අක්‍රමිකතා සිදු වූ බවයි.   


එහෙත් එය ලෝකයේ ප්‍රථම නැරඹුම් වළල්ල වූවා සේම එම නිර්මාණ ෆෙරිස් වීලය නමින් හැඳින් වෙයි. ඒ ඇමෙරිකානු සිවිල් ඉංජිනේරු ෆෙරිස් සිහිවන්නට එම නම යොදා තිබේ. ලෝකයට එම නිර්මාණය හඳුන්වා දුන් ෆෙරිස් වයස 37ක් වැනි වයසක දී උණසන්නිපාත රෝගය වැළඳීමෙන් මිය ගියේය.   


අද අප කතා කරන ලන්ඩන් ඇස නොහොත් මිලේනියම් වීලය ලන්ඩන් නගරයේ විවෘත කළේ සහශ්‍රය සැමරීම සඳහාය. එනිසාම එය ලන්ඩනයේ බොහෝ දෙනා හඳුන්වන්නේ මිලේනියම් වීල් නමිනි.   
මිලේනියම් වීලය විවෘත කරන ලද්දේ 1999 දෙසැම්බර් 31 වැනිදා එවකට බ්‍රිතාන්‍ය අගමැති වූ ටෝනි බ්ලෙයාර් විසිනි. එහෙත් එය එදින සිට ජනතාව වෙනුවෙන් විවෘත නොවිණ. එයට හේතුව වූයේ කැප්සූල ක්ලච් ගැටලුවකි. එය මහජනතාව සඳහා 2000 මාර්තු 09 වැනිදා විවෘත විය.  

 

ෆෙරිස් නැරඹුම් රෝදය

 


ලන්ඩන් ඇස නිර්මාණය කරන ලද්දේ තාවකාලිකවය. එය පස් අවුරුද්දකට පසු ඉවත් කරන්නට ගිවිසුම් ගතව තිබිණ.  


එහෙත් එහි අයිතිකරුවන් විසින් එය ස්ථිරව එහි පවත්වාගෙන යෑමට ඉල්ලුම් කරන ලදුව ඊට අවසරය ලැබිණ.  


2008 ජූනි 5 වැනිදා වනවිට මිලියන 30 ජනතාවක් මිලේනියම් වීලයේදී ලන්ඩන් සිරිය බලන්න සහභාගිවී තිබිණ.  


2013 ජුනි 2 වැනිදා එක කැප්සුලයක් රාජාභිෂේක කැප්සූලය ලෙස නම් කෙරිණ. ඒ එළිසබෙත් රැජිනගේ 60 වැනි රාජාභිෂේකය සිහිවීමටය.   


වරක් මෙම භූමි භාගයේ කුලිය වැඩි කරන ලදුව එය ගෙවා ගැනීමට අපහසු බව එහි අයිතිකරුවන් විසින් දන්වන ලදී. පසුව එය අවුරුදු 25කට බදු ගිවිසුමක් යටතේ පවරන ලදී.   


ෆෙරීස් වීලය නමින් හැඳින්වෙන මෙම වීලය නැතහොත් රෝදය මුල්වරට ඉදිරිපත් කළේ ඇමෙරිකාවෙන් වුවද 17 වැනි සියවසේ සිටම බල්ගේරියාව මෙන්ම එංගලන්තය ඇතුළු රටවල ලීයෙන් තනන ලද මෙවැනි විනෝදය සපයන රෝද තිබී ඇති බව විවිධ සංචාරකයන්ගේ සටහන්වලින් පැහැදිලි වෙයි. එහෙත් එය ෆෙරිස් වීලය ලෙස හැඳින්වූවේ නැත. 

 
වර්තමානයේ බොහෝ රටවල ෆෙරිස් වීලය දැකගත හැකිය. එය ජනතාවට විනෝදය සපයන නැරඹුම් වීලයකි. එමෙන්ම එය ජනප්‍රියය.   


අලුත්ම ෆෙරීස් වීලය ගැන තොරතුරු වාර්තා වෙන්නේ ඩුබායි රාජ්‍යයෙනි. එය මෙම වසරේ ඔක්තෝබර් මාසයේ දී විවෘත කරන්නට සූදානම්ව තිබිණ. එහෙත් හැම දෙයකටම මෙන්ම මේ විනෝදාංශවලට ද ගැටලුවක්ව පවතින්නේ ලෝකය ගිලගත් කොරෝනා වසංගතයයි. 

 
සිංගප්පූරු ෆ්ලයර් කොරෝනා වසංගතය තිබුණ ද සීමිත පිරිසක් සහභාගි කරවීම මගින් යළිත් ආරම්භ කෙරිණ.  


දැනට ලෝකයේ දෙවැනි උසම නැරඹුම් වීලය ලෙස සැලකෙන සිංගප්පූරු ෆ්ලයර්හි සිට කිලෝමීටර් 45ක දුර ප්‍රමාණයක් දුර සිට නැරඹිය හැකිය.   


මේ ෆෙරිස් වළල්ල නැතහොත් වීලය කෙතරම් ජනප්‍රියද යැයි පැහැදිලි වන්නේ එයට සහභාගී වන්නට එන පිරිස දෙස බැලීමෙනි. මේ නිසා එය විනෝදාංශයක් මෙන්ම රටක ඉහළම තැනක සිට අවට අසිරිය දැක ගැනීමේ විරල අවස්ථාවක් උදා කරන්නේය. එපමණක් නොව සංචාරකයන් මෙවැනි නැරඹුම් වීලවලට බොහෝ බොහෝසේ ප්‍රිය කරන නිසා එය රටවලට මුදල් ගලා එන උල්පතක් ද වෙයි.   


විශේෂයෙන් ලන්ඩනය ඇමෙරිකාව සිංගප්පූරුව ආදී රටවලට විදේශීය සංචාරකයන් වැඩියෙන් පැමිණෙන නිසා එය එම රටවලට විදේශ විනිමය ලබාගත හැකි මහඟු අවස්ථාවක් ද වන්නේය.   

 

රොඩ්නි විදාන පතිරණ