මස් වැද්දා මස් උගුරේ හිරවී මරු මුවට


ජීවිතය යහ මඟට ගැනීමට නිවැරැදි මඟ පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.


ගුණතිලක මැටියගනේ මහතා ලියා එවූ කතාවකි.   

නූතන චුන්ද සූකරයෙකුගේ ඉරණම


කැලණි ගං මෝය කට දිගට විහිදී ගිය ඒ ගම පුරාම නිදැල්ලේ යන ගම්  ඌරු රංචු බොහෝය. හාජ් ඕපන් වැසිකිළි පිරිසුදු කිරීමේ කාරිය උනු යස අගේම  එසැණින් ඉටු කර දුන්නෝය. අප එහිදී කෑම මිලදී ගත්තේ එක් කතෝලික ගෙදරකිනි. ඒ  කෑම වේලට ද නිතර පාසෝ ඌරු මස් එකතු වී තිබිණි. සොයා බලන විට දැන ගන්නට  තිබුණේ ඒ ගෙදර ගෙහිමියා වනාහි දෙමටගොඩ මස් මඩුවේ ඌරන් ඝාතනය කරන්නා බවයි.   


(අපි ඔහු මෙහිදී රෝගුස් ලෙසින් බෞතීස්ම කර ගනිමු.)   


ඌරකු ඝාතනය කරන ආකාරය ඇසින් දකින්නට තබා කනින් අසන්නටවත්  නොපැතිය යුතු මිලේච්ඡ අපරාධයකි. බරැති යකඩ පොලු නාරාසන පොරෝ පහර කීපයකින්  හිසට පහර දීමෙන් පසු අඩපණ වන අසරණ සතා සෑහෙන වේලාවක් මර ළතෝනි දී හිට නිසල  වෙයි.   


රෝගුස්ට ද මෙයාකාරයට දවසකට තඩි ඌරන් හත් අට දෙනෙක් මරා දාන්නට  සිදු වේ. ඔහු හැන්දෑවට ගෙදර එන්නේ අසරණ සතුන්ගේ මරණීය දෝංකාරය කන් අඩි වල  දෝංකාර දෙද්දීය. ටික කලක් ගත වෙද්දී වෙරිමත හිඳීගෙන යන විට රෑ මැදියමේ  ඇහැරෙන රෝගුස් ද අර තාලෙන්ම යටිගිරියෙන් විලාප කියන්නට පටන් ගත්තේය. ඔහුගේ  බිරින්ඳෑ වූ අපේ බත් අම්මා වන පත බ්‍රියට්‍රියා ඔහුට සන්තානම් පල්ලියේ  ශුද්ධ වූ ජලය ගෙනවුත් ඉස කුඩිච්චි දමා බොන්ට දුන්නත් දිනෙන් දින රෝගය  උත්සන්න වනු විනා මර්දනයක් නම් නොවීය.   


රෝගුස් ඌරු විලාපය නගමින් මහ රෑ ගෙයින් එළියට පැන ඌරු ගාල්  අස්සේ ද වැසිකිළි පිටුපස ද හැංගෙන්නට විය. කැලණි ගං මෝය කට ඒ අසලින්ම  පිහිටා තිබූ බැවින් රෝගුස් මෙල්ල කොට අාන්බාන් කර ගැනීම අසල්වාසීන්ට වදයක්  බවට පත් විය.   


අන්තිමේ උගුරෙන් පහළට කෑමක් බීමක් යවා ගන්නට නොහැකි වූ තැන  නැගිට ගත නුහුණු රෝගුස්ගේ ගෙදරින් ඇසෙන්නට වූයේ ඌරන්ගේ මරණීය විලාපයත් පත  බ්‍රියට්‍රියා දේව මෑණියන්ට යාච්ඤා කරන හඬත්ය.   


බෞද්ධ සාහිත්‍යයේ එන චුන්ද සූකර කතා වස්තුව සිහිපත් වන මේ  අවස්ථාවේ අප දිට්ඨ ධම්ම වේදනීය කර්ම ඵල විපාක ගැන පහදා දෙන්නට නොගියේ  ඔවුන්ගේ දේව ඇදහිල්ලට අනුව ඒවා නයාට අඳු කොළ මෙන් වන බැවිනි. එතෙක් අසරණ  තිරිසන් සතෙකු මරා දමන ප්‍රාණ ඝාත අකුසලයේ කර්ම ඵල විපාකය ඔහු කරා  පැමිණෙන්නේ ඔහු කුමන ආගමකට අයත් වූවත් නැගෙනහිරින් ඉර පායන්නාක් වැනි නියත  නියාම ධර්මයකට අනුවය. 

 


 
අම්බලන්තොට එස්. සෝමසිරි මහතා ලියා එවූ කතාවකි.   

මස් වැද්දා මස් උගුරේ හිරවී මරු මුවට 


“කට කබරා” යනුවෙන් ඔහුට නම ලැබුණේ කටේ කබර පැවතීම නිසාය. හිරු  බැස යද්දී තම වාරය ආවා යැයි කල්පනා කළේ රැකියාව සඳහා පිටත් වීමට සුදුසු  වෙලාව බැවිනි. ඔහුගේ රැකියාව සත්ව දඩයමයි. මේ වන විට වයස අවුරුදු 45 ඉක්ම  වූ හෙතෙම මේ රැකියාව ආරම්භ කර ඇත්තේ දැනුම් තේරුම් ඇති කාලයේ සිටය. එහෙත්  ඉන් ඔහු හරි හම්බ කර ගත් දෙයක් නැත. මව්පියන් අටවා තිබූ කටු මැටි සහිත ගේ  කෑල්ලෙහි අඹු දරුවන් සමග විසුවේය. වහලේ පොල් අතු දිරා ගිය විට එය සෙවිලි කර  ගැනීමට දස අතේ ණය විය. පවුල් ජීවිතය ද අඬ දබර වලින් තොර වූයේ නැත. 16  හැවිරිදි වැඩිමල් දරුවා පිරිමියෙකි. එහෙත් තවමත් ඔහුට තම කටයුතු තනිවම කර  ගත නොහැක. මන්ද හෙතෙම උපතින්ම අංගවිකල හෙයිනි.   


බෙහෙත් කොටන තුවක්කුව, වතුර පිර වූ ලබු කැටය, පිහිය, ගෝනියා  සහ ලණුව රැගෙන කට කබරා පාරට පිළිපන්නේය. සැතපුමකට ආසන්න දුරක් අඩි පාර  ඔස්සේ ගිය ඔහු වනය තුළට පිවිසියේය. හෙමින් අඩි තබමින්, කටු පඳුරු අතරින්  රිංගමින් නෙත් හා කන් තීව්‍ර කරගෙන ඉදිරියට ගියේය. ඈතින් ඇති යමක නෙත  ගැටුණි. ගමන නතර විය. විපරමින් බැලූ විට ඒ ලැගු සිටින ඌරු නාම්බෙකු බව  හඳුනා ගැනීමට අපහසු නොවීය. මුවඟට නිරුත්සාහයෙන් සිනාවක් නැගුණි.   


ඌරාට වෙඩි තැබීම භයානක බව හේ දනී. පොඩි වැරදීමක් වුවොත් කෙළවර  වන්නේ, ඌරාගේ දිවිය නොව, වෙඩි තැබූ අයගේ දිවියයි. එබැවින් වඩාත් සීරුවට  ඉලක්කය ගැනීම සඳහා හෙමින් සීරුවේ ඌරාට සමීප විය. පඳුරකට මුවා විය. යටි සුළඟ  එදෙසින් හමා යාම තවත් අනුබලයකි. තුවක්කුව දිග දමා එල්ලය ගත්තේය. කොකා  ගැස්සෙනවාත් සමග පළාතම දෙදරුම්කා මූනිස්සම් විසිර ගියේය. ඌරාට වෙඩි වැදුණු  බව ස්ථිරය. ඌරා පැන දිව්වේය. එහෙත් වැඩිදුර දිව යාමට ඌරාට නොහැකි බව  ස්ථිරය. පැන ගිය ඌරා සෙවූමුත් හමු නොවීය. කුමක් හෝ අමුත්තක් සිදු වී ඇති බව  තේරුණි. කට කබරාට යකා නැංගේය. “කවුද..... පුතෝ අහුර ගැහුවේ.” කුණු හරුප  වැලක් මුවින් පිට විය.   


අහුර ගහනවා යනු පැරණි ගම්මාන වල විසූ යන්ත්‍ර මන්ත්‍ර දන්නා  අයෙකු කරන ක්‍රියාවකි. වෙඩි හඬක් ඇසුණු විගස එම මන්ත්‍රය දන්නා තැනැන්තා  අදාළ මන්ත්‍රය කියා දකුණෙන් මහපට ඇඟිල්ල හා මැද ඇඟිල්ල එකට තබා ශබ්දයක් පිට  කිරීමය. එවිට එම මන්ත්‍රයේ බලයෙන් වෙඩි වැදුණු සතා සොයා ගැනීමට දඩයක්කරුට  හැකි නොවේ. නැතහොත් සතාට වෙඩි නොවදී.   


බොහෝ වෙහෙස වී වැටී සිටි සතා සොයා ගත්තේය. මදක් ඈතින් සිට  විපරම් කරද්දී වැටහුණේ ඒ වන විටත් සතා මිය නොගිය බවයි. ඒ නිසා සතාට ළං නොවී  ආපසු හැරුණේය. ගම්මානයට ගොස් තරුණයන් කීප දෙනෙක් කැඳවා පැමිණියේය. සතාට ළං  වීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවූහ.   


“හරි තොපිටනෙ බැරි මම යන්නම්” කී කට කබරා හෙමින් සතාට ළං වී  දෑත බදා මහ පිහියෙන් බෙල්ල වෙන් වෙන්නටම පහරක් දුන්නේය. ඌරාගේ ලේ දසත විසිර  ගියේය. ඉන් පසු ඌරා කුදලාගෙන ගමට ගෙනාවෝය. පුලුස්සා මස් කර කොටස් වෙන්  කළේය. සගයන් කීප දෙනාට කොටස් කීපයක්, වෙළෙඳාමට එක් කොටසක්, කෑමට එක් කොටසක්  වශයෙනි. කෑමට ඉතිරි කළ කොටස කුඩා කෑලි වලට කපා බිරිඳ අඹරා දුන් තුන පහ  යොදා ළිප තැබීය.   


එකෙක් ගොස් විසල් රා කළයක් ගෙන ආවේය. මස් හොද්දේ සුවඳ රස නහර  පිනවීය. මත් පැන් සාදය ජයටම පැවැත්විණ. ළිප තිබියදී හට්ටියේ මස් කෑලි  අඩුවෙයි. වෙරි මර ගාතේ සිටි සියලු දෙනාම රැඟුවේ විසූක දස්සනය. කට කබරයාට  හොඳටම වැඩිය. හිට ගැනීමට පවා වාරු නැත. තවත් රා කට්ටක් මුවට හලා කට්ට ඉවතට  දැමීය. මස් කෑල්ලක් මුවෙහි ඔබා ගත්තේය. එකෙනෙහිම කැස්සක් ඇති විය. ඇස් උඩ  ගියේය. හුස්ම ගැනීම අපහසු විය. ගත වූයේ සුළු මොහොතකි. කට කබරා කපා හෙලූ  කෙසෙල් කඳක් සේ බිම ඇඳ වැටුණි. කාගේත් වෙරි සිඳුණි. හැකි ඉක්මණින් රෝහල වෙත  ගෙන ගියේය. ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරුන් කීවේ මිය ගොස් ඇති බවයි.   


පසුවදා පෙරවරුවේ හදිසි මරණ පරීක්ෂණ හා පශ්චාත් මරණ පරීක්ෂණය  පැවැත්විණි. ඉදිරිපත් වූ සාක්ෂි හා අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ වාර්තාව  සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂකවරයා සිය නිගමනය ප්‍රකාශයට පත් කළේය. එය  මස් කෑල්ලක් උගුරේ හිරේවීමෙන් හුස්ම හිර වී සිදු වූ හදිසි මරණයකි.   


අකාලයේ සතුන්ගේ දිවි තොර කර කුස පුරවා ගත් කට කබරා ද කළ පව්කම් මොළොවදීම පළ දී අකාලයේ මිය ගියේ එලෙසිනි. 

 


 
අනුරාධපුර පබා රණසිංහ මහත්මිය ලියූ එවු කතාවකි.   

කියා නොයෙක් මුසා මැරුණි ගමක් නසා   


රජරට පළාතේ සුන්දර ගම්මානයකි. වැඩිදෙනා ගොවිතැනින් ජීවත් වූ  අතර ඔවුන්ට එතරම් අගහිඟකම් බලනොපෑවේ හොඳ ආදායමක් ලැබීම නිසාය. ​ෙජ්මිස් ද  ගොවියෙකි. වයස අවුරුදු තිස් පහක් පමණ වූ ඔහුට නිතරම ඇදුම රෝගය සෑදීම නිසා  වියපත් මහල්ලෙකුගේ පෙනුම ඔහු කෙරෙන් දිස් විය. ඔහුගේ බිරිය වයස අවුරුදු  තිහක් පමණ රූමතියකි. වයසට වඩා තරුණ පෙනුමක් ඇය සතු විය. කොටින්ම ​ඇය  දුටුවන් වශීකරවන රූමතියක් වූවාය. සැමියා නිතර රෝගී වන නිසා ඔවුන්ට එතරම්  සරු ආදායමක් නොවීය. අවුරුදු හයක හා හතරක දියණියන් දෙදෙනෙකු ඒ පවුලට අයත්  විය.   


නිතර නිතර පන්සලට යන ඇය දුක් ගැනවිලි කියන විට පන්සලේ සිටි  එකම ස්වාමීන් වහන්සේ ඔවුන්ට අනුකම්පා කොට උන්වහන්සේට පිරිකර ලෙස ලැබෙන  සබන්, කිරිපිටි, තුවා, ඇඳ ඇතිරිලි ආදිය ඔවුන්ට දුන්හ. නිතර නිතර උදව් ඉල්ලා  එය අඩුවන විට ඇය කළේ ගමේ කාන්තාවන් වැවේ නාන විට පන්සලෙන් ගෙනා තුවා  ඇඳිරිලි සේදීමට ගෙන යන රෙදි අතර තබාගෙන යාමයි. කිළිටි කඩමලු රෙදි අතර වටිනා  තුවා ඇඳ ඇතිරිලි අන් කාන්තාවන්ට පෙනෙන විට ඒවා පන්සලෙන් ලැබෙන බවත් කොතරම්  එපා කිව්වත් හාමුදුරුවන් ඒවා නිවසට එවන බවත් තමන්ට අයතු යෝජනා කරන බවත් ඇය  පවසන්නීය.  


ගැමියන් පන්සලෙන් ඈත් වන විට එම පන්සල බාර ලොකු  හාමුරුවෝ එම පන්සලට පැමිණ තොරතුරු සොයා වෙනත් හිමිනමක් පන්සලට එවා සිටින  හිමි නම වෙනත් පන්සලකට යවයි. ජේමිස්ගේ බිරිඳ මාලනී එම හිමියන්ට ද දුක්  ගැනවිලි කියා උදව් ලබා ගත්තා. උදව් අඩු වන විට පෙර පරිදිම ගමේ කාන්තාවන්ට  හාමුදුරුවන් පිළිබඳ සැක සිතෙන දේ කියයි. ජේමිස් නිතර අසනීප වන නිසා ගමේ අය  මේ කතා විශ්වාස කරන්නට වූහ.  


මාලනීගේ මෙම ක්‍රියාකලාපය නිසා  පන්සල අවුරුද්දකට වඩා එක හිමි නමකට වැඩ සිටීමට නොහැකි තැනක් බවට පත් විය.  නගරයේ විසූ පන්සල බාර ලොකු හාමුදුරුවන්ට ද මාලනී බොරු කතා ගොතන්නට වූවාය.  ගැමියෝ එය ද විශ්වාස කොට පන්සලෙන් ඈත් වූ නිසා පන්සල වැසී ගියේය. පන්සල්  බිම පාළු විය.   


ගමේ කවුරුත් මාලනීට ශාප කරන්නට පටන් ගත්හ. ගමකට පන්සලක් නැති  අඩුව දැනෙන්නේ පාංශූ කූලයක දී හෝ බෝධි පූජාවකදීය. පන්සල වැසී ගොස් වසරක්  පමණ ගිය පසු මාලනීට මුඛ පිළිකාවක් වැළඳුණි. එය ඉතා ඉක්මණින් මුළු ශරීරය  පුරා පැතිරුණි. මුඛයෙන් කොටසක් ද පියයුරු දෙකම ද බඩ වැල් කොටස් කපා දැමීමට  වෛද්‍යවරුන්ට සිදු විය. පිළිකා ප්‍රතිකාරය නිසා ඇයගේ ලස්සන දිගු කෙස් වැටිය  ද අහිමි විය. දුටුවන් වශී කළ මාලනී දැන් දැන් ගමටම ඇසට කටු අත්තකින් මෙන්  දර්ශනයක් විය. කවුරුත් ඇයව පිළිකුල් කළහ. ජේමිස් ද මිය ගිය නිසා දරු දෙදෙනා  පුංචි අම්මා කෙනෙකුගේ භාරයට පත් වූහ. මාලිනී නිතර නිතර රෝහල් ගත වීම නිසා  නිවස ද වත්ත ද පාළුවට ගියේය. ඇය රෝහල් ගතව සිටියදී ගමේ කිසිවකු හෝ ඇය  බැලීමට නොපැමිණීමද විශේෂයක් විය. ගම්මුන්ට සත්‍ය අවබෝධ විය. වසර දෙකක් පමණ  පිළිකා රෝගයෙන් කායික දුක් විඳි මාලනී ඊට වඩා මානසික වේදනාවක් විඳින්නට ඇත.  සිරුරු කොටස් අහිමි වී විරූපී වී සිටි ඇය අවසානයේ රෝහලේදීම අවසන් හුස්ම  හෙළුවාය. මෘත ශරීරය බාර ගැනීමට හෝ කිසිවෙකු නොසිටි නිසා රජයේ වියදමින් එය  මිහිදන් කිරීමට කටයුතු යෙදුණි.   

 


තමන්ට අවශ්‍ය දේ පන්සලෙන් නොලැබෙන විට ඇති වන වෛරයක් පළි  ගැනීමක් යන සිතෙන් කෙරෙන පවු ද බොරුව, කේළම යන වාචික  පවු ද එකවර කර ගත්  මාලනී අපමණ කායික මානසික වේදනාවක් විඳ මිය ගියේ ගමේ කාටත් හොඳ පාඩමක් කියා  දෙමිනි.   

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

සකස් කළේ   
ප්‍රසන්න සංජිව තෙන්නකෝන්