මව්පියන්ගෙන් උරුම වූ ඉඩකඩම් පන්සලට පූජා කළ දානපතියෙක්


 

බුලත්සිංහල පොලේගොඩ ප‍්‍රකට ඉඩම් හිමියෙකු වූ සුනිල්් බෙනට් අතුකෝරාල මහතාට සිය මව වූ පත්මා අතුකෝරාල මහත්මිය මරණ මංචකයේ සිට පවසා ඇත්තේ හිමිකම් කියන්නට කෙනෙක් නැතිනම් මේ ඉඩම සහ දේපළ පන්සලට පූජා කරන ලෙසයි.  


මව මිය ගොස් වසර කීපයකට පසු ඇයගේ ඉල්ලීම ඉටුකරන්නට සූදානම් වන බවට ලද තොරතුරක් ඔස්සේ මේ අපූර්වතම මිනිසා සොයා අගලවත්ත පිඹුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයට ගොඩ වැදුනෙමු. අප යන විටත් ඉඩමේ ඔප්පු තිරප්පු බාහාලූ කවරය දෝතට ගෙන ධර්මශාලාවට වී දෙනෙත් විවර කොට බලා සිටින්නේ විහාරාධිපති බදුරලියේ සීලරතන හිමියන් වඩින තුරුය. මුවපුරා සිනාවකින් අප පිළිගත් ඔහු. පොඩ්ඩක් ඉන්න දැන් ලොකු හාමුදුරුවෝ වඩිනවා කියා තවත් මොනවදෝ කීවේය. එය අපට තේරුණේ නැතත්. විහාරාධිකාරී ඕවිටිගල මහින්ද හිමියන් පැවසුවේ මෙවන් වදනකි.  


 මේ මහත්තයා කාලයක පටන් පන්සලට නිතර එනවා යනවා. එයාට සිදුවූ හදිසි අනතුරක් නිසා කතා කරන්නේ ටිකක් අපහසුවෙන්. මහත්තයාට කාත් කවුරුත් නැහැ ඒත් ලොකු දේපළක් තියනවා. මහත්තයගේ අම්මත් මේ පන්සලට හරිම ලැදියි. එයා අවුරුදු අනූහතරක් ආයුෂ විඳලා මියගියා. දවසක් මහත්තයා කීවා. මම මේ දේපළ සියල්ල පන්සලට පූජා කරනව ඒක අම්මාගේ අවසන් ඉල්ලීම කියල. ඒ උතුම් කටයුත්ත එතුමා ඉටුකළා. අද ඔප්පුව භාරදෙන්න ඇවිත් ඉන්නේ.  


බෙනට් මහත්තයාට අයත් අක්කර දහඅටක් වූ ඉඩමත්, නිවසත්, ඉඩමට අයිති ගහකොළත් පන්සලට පූජා කළා. මේ අයගෙන් පස්සෙ මේ ඉඩමේ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කටයුතු කරන්නයි අපේ බලාපොරොත්තුව. ඒක ඒ මවගේ ඉල්ලීමක් නිසා හැකි ඉක්මනින්ම ඉටුකරනවා. 


අප කතා බහ කරන අතරතුර ලොකු හාමුදුරුවෝ වැඩියහ. කෝටි ගනණක දේපල පූජා කරනවා කියා ලොකු උත්සව නැත. පන්සලට පැමිණි කීප දෙනකු තැන තැන සිටියත් සිදුවන්නේ කුමක්ද කියා ඔවුන්ටද හැඟීමක් නැත.  
දොහොත් මුදුන් දී වැඳ නමස්කාර කළ බෙනට් මහත්තයා සිය ඔප්පුව විහාරාධිපති බදුරලියේ සීලරතන හිමියන්ට පිරිනමා යන්නට සූදානම් විය. 


යන්නද මහත්තයා මහින්ද හාමුදුරුවෝ ඇසුවෝය. 


එහෙමයි හාමුදුරුවනේ. ලීලාට කෑම දෙන්න තියනවා. බෙනට් මහත්තයා පිටවීගියේය.   


අපිද ඔහු හා එක්වීමු. කලවැල්ලාව පාර මතුගම හොරණ මාර්ගයේ ටික දුරක් ගොස් පොලේගොඩ ග‍්‍රාමයේ පිහිටි ඩයස්වත්ත නම් වූ මනරම් කඳුශිඛරයට අප පිවිසෙන විටත් හිරු බැසගොස්් බිම් කළුවරද වැටෙමින් තිබිණ. කොච්චර ළඟ සිටියත් මම කවදාවත් මේ වත්තට ඇතුළුවෙලා නැහැ. එහෙම කීවේ අපේ සගයා සමන් තිලකසිරිය. රූස්ස ගස්කොළන් පිරි විශාල වන පෙතක් බදු වූ අක්කර දහඅටකින් යුත් මේ ඉඩමේ කෙළවරක පිහිටි පාළුවට ගිය බෙනට් මහත්තයාගේ නිවස විය.  


නිවසට පැමිණි බෙනට් මහත්තයා අප පිළිගෙන බිත්තියේ එල්ලා තිබූ පැරණි ඡායාරූප එකින් එක ගෙනවිත් අපට පෙන්නුවේය. තම ආදරණීය බිරිඳත් මවත් පියාත් ඒ අතර විය කඳුළු පිරි දෙනෙතින් යුතුව අසුනක් මතට බර වූ ඔහු අපහසුවෙන් වචන පිටකළේය.  


‘‘මම විවාහකයි. දැන් වයස අවුරුදු 65 ක් වෙනවා. බිරිඳ වසන්තා අතුකෝරාල ඇය හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ හිටපු ගුරුවරියක්. වසර 10කට පෙර හදිසි හෘදයාබාදයකින් මියගියා. අපට දරුවන් නැහැ. මේ සියලූ දේපළ දොන් සයිමන් අතුකෝරාල නම් වූ මගේ පියාගෙන් මට උරුම වුණා. ඔහු මහනුවර ප‍්‍රදේශයේ කෙනෙක් පසු කලෙක මේ ප‍්‍රදේශයේ පදිංචියට ඇවිත් තියෙන්නේ.   


 මම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සාමාන්‍යාධිකාරිවරයෙක් විධියට සේවය කළේ දෙනියායෙ. එවකට මමත් බිරිඳත් මගේ මවත් පියාත් මේ ඩයස්වත්තේ පදිංචිව සිටියා. බිරිඳත් පියාත් මිය ගියාට පසුව මගේ මව අවුරුදු 96 ක් ආයුෂ විඳ මියගියා. ඇය මිය යනවිට කළ අවසන් ඉල්ලීම ඉටුකරන්න තමයි අද මම පන්සලට ගියේ.   
එතකොට කවුද මේ...?  


පාලූවට ගිය නිවසේ ඇඳක් මත වැතිර සිටින වයෝවෘද්ධ කාන්තාව ගැන අපි ඇසීමු 
මේ තමයි ලීලා. මැය අපේ නිවසේ සේවිකාව. වයසයි. ඇඳට වෙලා ඉන්නේ. තනිව නැගිටලා ඇවිදින්න බැහැ. කතාබහ කරන්න පුළුවන්.  


ඒත් මෙයාට කාත් කවුරුත් ඉන්නවාද කියලා කියන්න මම දන්නේ නැහැ. ඇයට පුළුවන් කාලේ අපිට රැකවරණය දුන්නානෙ. ඒ නිසා දැන් මම ඇයව ආදරයෙන් බලා ගන්නවා. ඇයට කවන්නේ, පොවන්නේ, නාවන්නෙ, වැසිකිළි කැසිකිළි සඳහා එක්ක යන්නේ මම. ඒ සඳහා වෙනත් අයකු යොදවන්න මම කැමති නැහැ. ඇය වැටුණොත් කියලා බයක් දැනෙනවා.  


ගෙදර උයන්න පිහන්න මම දන්නෙ නැහැ. අපි දෙන්නටම කෑම ගේන්නේ අසල කඬේකින්. කොච්චර දේපල තිබුණත් අද මම තනිවෙලා. ගමන් බිමන් යන්නෙ බස් එකේ. මගේ කාර් රථය වසර ගණනකට පෙර නතර කළ ගමන් පිටුපස ගරාජයේ. මම මේ කිසිදෙයක් ගැන දැන් සොයන්නෙ නැහැ. පන්සලේ හාමුදුරුවෝ අපි ගැන සොයල බලනවා. අදත් මේ පන්සලෙන් කට්ටිය දමලා අපේ වත්ත සුද්ද කළා.  


 අපි නිවස පිටුපසට ගි​ෙයමු. ඔහු කීවා හරිය. වොක්සෝල් වික්ටෝ වර්ගයේ පැරණි කාර් රථයක් ගාරාජයේ දිරාපත්වෙමින් තිබිණ. ඔහු එය අතගා බලා සිනාසුනේය. යම් මතකයක් ඔහුගේ සිතට නැගෙන්නට ඇත. කුමක්ද කියා අපි නොවිමසමු. 


මට වතුර ටිකක්. ඒ ලීලාගේ හඩය. ඔහු දුවගොස් ලීලාට වතුර පොවන්නට විය. 


රාත‍්‍රිය ළඟාවී තිබිණ. තොරතෝංචියක් නැති රැහැයියන්ගේ හඬ මුළු ඩයස්වත්තම ගිලගනිමින් තිබිණ. අපි මේ ගුණයහපත් මිනිසාගෙන් සමුගතිමු. 


සටහන සහ ඡායාරූප  
බුලත්සිංහල විශේෂ චිත්මි චේතාරි