මව්පියන් නොරිස්සූ ගුරු දියණියට වූ විපත


ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් ඇවසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   

 

 

​ෙකාස්වත්ත බිංගිරිය ඩී.එන්. දිසානායක මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

මව්පියන් නොරිස්සූ ගුරු දියණියට වූ විපත   


දැනට වසර කිහිපයකට පෙර මධ්‍යම පළාතේ ජීවත් වූ ඇය අපි නමින් සුසිලාවතී යනුවෙන් හඳුන්වමු. ඇය ඉතා දිළිඳු පවුලක තැනැත්තියක් වූ අතර නොයෙකුත් අගහිඟකම් පිරුණු දරුවන් සය දෙනෙකුගෙන් යුත් මෙම පවුල සුසිලාවතීගේ පියා හා මව රැක ගත්තේ කුලී වැඩ සහ අන්‍යයන්ගේ ගෙදර දොරේ බැල මෙහෙවරකම් කරමිනි. නොයෙකුත් ආර්ථික දුෂ්කරතා මැද ජීවත් වුවද දෙමහල්ලන් තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා නොමසුරුව විය පැහැදම් කළේ ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය ගැන සිතමිනි.   


කෑමට, බීමට වඩා තම දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු කෙරෙහි ඔවුහු විශේෂ සැලකිල්ලක් දැක්වූහ. පවුලේ වැඩිමහල් දියණිය වූ සුසිලාවතීට මේ අතර උසස් අධ්‍යාපනයට වරම් ලැබ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමේ මහඟු අවස්ථාව උදා වූයේ දෙමහල්ලන්ගේ මෙම දැඩි උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙනි.   


විශ්ව විද්‍යාලයට යන මුල් දිනයේ ඈ තම දෙමව්පියන් කිසිවෙක් ඒ ගමනට සහභාගී කර ගත්තේ නැත. කුලී වැඩකරමින් දරුවන් ජීවත් කරවන තම පියා කොණ්ඩය බැඳි අයෙකු බැවිනුත් තම මව ද රෙද්ද හා හැට්ටය අඳින කෙසඟ සිරුරකින් යුත් තැනැත්තියක බැවිනුත් ඈ විශ්ව විද්‍යාලයට ගියේ තම පාසලේ කලිසම් අදින හැඩකාර තරුණ ගුරුවරයකු සමගය.   


තම පියා මහා ධනවතෙකු බවත් ඔහු සතු පොල් ඉඩම් අක්කර සිය ගණනක් ඇති බවත් තම මවද බොහෝ ධනවත් පවුලක තැනැත්තියක බවත් පවුලේ එකම දරුවා වන තමා සතුව දෙමහල් විශාල නිවසක් හා යාන වාහන බොහොමයක් ඇති බවත් ඈ විශ්ව විද්‍යාලයේ තම හෙයෙළියන් සමග නිතර නිතර පැවසුවාය.   


මේ අතර දිනක් තම දියණිය බැලීමට කොණ්ඩය බැඳි පියා විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරය වෙත ගියේ බත් මුලක් ද තවත් කෑම ජාති ද රැගෙනය. පට සරමක් හා මේස් බැනියමක් ඇඳගෙන තුවායක් ද කරේ දමාගෙන එන තම පියා ඈත සිටම දුටු සුසිලාවතී ගෙදර හරක් බලන සයිමා එන බැව් තම මිතුරියනට පවසා හනික ඉදිරියට දිව ගියේ දැඩි කෝපයෙනි. තම පියාට තදින්ම බැණ වැදුණු සුසිලාවතී යෙහෙළියනට පෙනෙන සේ තම පියා ගෙන ආ බත් මුල ඇතුළු කෑම ජාති පියාගෙන් උදුරාගෙන ඈතට වීසි කළේ තම පියාට තදින්ම බැණ වදිමිනි.   


තව දුරටත් තදින්ම බැණ වදිමින් තම පියා ආපසු එළවාගත් සුසිලාවතී මිතුරියන් වෙත අාපසු දිව ගොස් පප්පලා මම්මලා හරක් බලන සයිමා අත එවූ කෑම ජාති තමා නොකන නිසා ඒවා විසී කළ බැව් පැවසුවාය.   


කඳුළු පිරි දෙනෙතින් යුතුව ආපසු නිවස බලා ආ පියා දැඩි ශෝකයකින් කල් ගෙවූ අතර සුසිලාවතී ගෙදර ආවේ ඊට අවුරුද්දකට පමණ පසුවය. ගෙදර ආ ඇය තමා දුක සේ හදා වඩා ගත් තම පියාටත් මවටත් තදින්ම බැණ වදිමින් ‘මින් පසු කිසිදිනක නැවත තමා බැලීමට විශ්ව විද්‍යාලය පැත්කටවත් නොඑන ලෙස’ තදින්ම කරවටු කළාය. උපාධිය ලබාගෙන සරසවියෙන් පිටවුණු සුසිලාවතී ඈත පෙදෙසක පාසලකට පත්වීමක් ලබාගෙන ගිය අතර අෑ තම පියාගේ හෝ මවගේ මළ ගමටවත් ගමට නොපැමිණියාය.   


වසර කිහිපයකට පසු ගුරුවරයකු හා විවාහ ගිවිසගත් සුසිලාවතී තම සහකරු සමගින් එකම පාසලක සේවය කරමින් සිටින අතරතුර පිළිකා රෝගයක් වැලඳීමෙන් ඇගේ ස්වාමි පුරුෂයා මිය පරලොව ගියේ එතෙක් දරුවන් නොමැතිව සිටි සුසිලාවතී ද අනාථ කරවමිනි. ටික දිනකට පසු අයාලේ යාමේ වරදින් විනය විරෝධී ක්‍රියාවකට මැදි වූ සුසිලාවතීගේ පාසල් දිවියද අවසන් වූයේ ඇය වැඩ තහනමකට ලක් වීමෙනි.   


කිසිත් කර කියාගත නොහැකිව අනාථ වූ සුසිලාවතී අවසානයේ ඇගේ මව හා පියා ජීවත් වූ දුගී පැල්පතට විත් යළික් ඇද වැටුණේ වසර කිහිපයකට පසුවය. අවසානයේ ඉතාමත් දුකසේ හරි හමන් අහරක් නොමැතිව ජීවත් වූ සුසිලාවතී ද හෘදයාබාදයකින්  මිය පරලොව ගියේ තමා හදා වඩා ගත් දෙමව්පියන්ට එදා සැලකූ ආකාරය පිළිබඳව දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන්දෙමිනි.   


මෙහි නම් මනඃකල්පිතය. මෙය සත්‍ය සිදුවීමකි.   

 


රන්න වාඩිගල බන්දුල සේනානායක මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

ඌරන් මැරූ අප්පුහාමිට ඒ පව මෙලොවදීම පළ දුන් හැටි.   


දඩයක්කරුවකු වූ ඔහුගේ නම නම් ගමේ කිසිවකුත් දන්නා බවක් මම නොදනිමි. එහෙත් ගමේ හැම දෙනාම ඔහු ඇමතුවේ අප්පුහාමි නමිනි. අප්පුහාමිගෙන් කැලේ සිටින සතුනට හැර ගමේ කිසිවකුට කරදරයක් නැත. ගමේ කෙනෙකුට දඩමස් ටිකක් ඕනෑ වූ වි​ෙටක ඒ උදව්ව නොමසුරුව ඉටු කිරීම අප්පුහාමිගේ සිරිතයි. එම නිසාදෝ ගමේ කිසිවකු අප්පුහාමිට වරදක් කියන්නේ නැත.   


රාත්‍රී ආහාරය වේලාසනින් ගන්නා අප්පුහාමි රාත්‍රී අට පමණ වෙන විට ගිනි කඳයා කර ගසාගෙන කැලෑවට වදී. කෑලි පහේ විදුලි පන්දමක් තිබෙන්නේ අප්පුහාමිට පමණක් බව ගමේ කවුරුත් දනිති. කවුරුත් විදුලි පන්දම් පාවිච්චි කළාට විදුලිය වැනි එළියක් විහිදුවන විදුලි පන්දමක් ඇත්තේ අප්පුහාමිටය. අප්පුහාමිගේ විදුලි පන්දම් එළිය කවුරුත් හඳුනන්නේ ඉන් හැබෑම විදුලි එළියක් විහිදුවන බැවිනි.   


කැලෑවට වදින අප්පුහාමි වල් ඌරකු ඉත්තෑවකු මීමින්නකු හාවකු කර ගසා ගෙන එනවා බොහෝ දෙනාට පුරුදු දැකුමකි. ඌරු මසට වැඩි කැමැත්තක් ඇති ඔහුගේ නිරතුරු අපේක්ෂාව වූයේ කෙසේ හෝ ඌරකු දඩයම් කර ගැනීමයි.   


සමහර දිනක ඔහු හිස් අතින් ද නොපැමිණෙන්නේ නොවේ. ඔහුගේ දඩයම ජීවනෝපාය පිණිස වුවත් ගමේ කිසිවකු එය අනුමත කරන්නේ නැත. අප්පුහාමිගේ ජීවනෝපාය මෙන්ම විනෝදාංශයද දඩයම් කිරීමයි.   


සතකුට වෙඩි වැදී ඌ ජීවිතයත් මරණයත් අතර කරන සටන ඔහුට විනෝදාංශයකි. ඔහු හවසට රා ටිකක් බොන්නට රා පොළට ගිය අවස්ථාවල දඩයමින් ඔහු ලබන කාලකන්නි සතුට ගැන පුරසාරම් දොඩන්නට අමතක නොකරයි. ඌරකුට වෙඩි වැදුන විට ඌ වෙඩි කාගෙන බොහෝ දුර දිව යන සැටිත් අවසන බලවත් වේදනාවෙන් දඟලමින් සිටි ඌ මිය යන සැටිත් ඔහු පවසන්නේ මහත් විනෝද ආශ්වාදයක් විඳිමිනි. ඌරන් මරණයට පත් වීමට පෙර මර හඬ දෙන සැටිත් ඉත්තෑවුන් කටින් පිඹිමින් මරණයට පත් වන සැටිත් පවසන්නේ මහත් අභිරුචියෙනි. දිනක් ඔහුගේ වෙඩි පහරින් මිය ගිය ඊරියකගේ පැටවකු අල්ලා ගත් අප්පුහාමි ඌ ගෙදර ගෙනාවේය. ඔහුගේ ගෙදර ඇති දැඩි වුණු මව නැති ඌරු පැටවා අපු්පුහාමිට හීලෑ විය. ඔහු ගමේ කොතැනට ගියත් මේ ඌරු පැටවා ඔහුගේ පසු පසින් යාම සිරිත විය. මාසයකට හමාරකට වතාවක් වත් ගමේ පන්සලට ගිය ද අප්පුහාමිගේ ජීවනෝපාය නිසාදෝ දඩයමේ ආදීනව ගැන ඔහුට පවසන්නට හාමුදුරුවන් වහන්සේලාවත් උනන්දු වූයේ නැත.   


​ෙමසේ කලක් යන විට ඔහු අසනීප වූයේ හිටි හැටි​යේය. බොහෝ දෙනා කියන්නට වූයේ ඉහෙන් බහින රෝගයක් නොතිබුණු අප්පුහාමිට කළ කම් පඩිසන් දෙන බවයි. වයස අවුරුදු හැට පහක් පමණ වූ ඔහුගේ රෝගය දිනෙන් දින බලවත් විය. රෝහල් ගත කළ ඔහුට සතියක් පමණ විවිධ ප්‍රතිකාර කළත් වෛද්‍යවරුන්ට ඔහුගේ රෝගය හඳුනා ගන්නට නොහැකි විය. කෑමට, බීමට නොහැකි වූ ඔහු වෙද හෙද කම් ද ප්‍රතික්ෂේප කළේය.   


රෝහලේ ඇඳේ සිටින අප්පුහාමි සතුනට වෙඩි තබන්නට කුමරුමානම් අල්ලන්නට විය. අතේ තුවක්කුව නැතත් එය මානන සෙයක් පෙන්නුම් කරයි. වරක් ඔහු ඌරකු මෙන් මර හඬ දෙන්නට විය. ආන් අර ඌරු තඩිය ඔය ඔතන හැංගුණා. මං හොඳටම දැක්කා. කුරුමානම් අැල්ලූ ඔහු ඇඳෙන් බැස දිව යන්නට විය. රෝහලේ සේවකයාත් සාත්තුවට සිටි අයත් ඉතා අමාරුවෙන් ඔහු අල්ලා ගත්හ.   


ආහාර සහ ඖෂධ වර්ජනය කළ අප්පුහාමි හිටි ගමන් ඌරකු මෙන් මර හඬ දෙන්නේය. වෛද්‍ය උපදෙස් මත අප්පුහාමි ඇඳට තබා බැඳ තබන්නට සිදුවිය.   


දිනක් රාත්‍රී ඌරකු මෙන් මර හඬ දුන් අප්පුහාමි මරණයට පත් වූයේ අැඳේ මුණින් අතට වැටෙමිණි. ඔන්න අසරණ සතුනට ගිනි පිඹල දස වධ දීපු පාපෙට අප්පුහාමිට මෙලොව වශයෙන් පඩිසත් දුන්නා. ගමේ වැඩිහිටියන් කියන්නට විය.  

 

 

 


​ෙමබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.   

සකස් කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්