මරතෝඩි අත්ල


 


ශරීරයට සිදුවන ඕනෑම ලේ ගලා හැලෙන තුවාලයකට මරතෝඩි දළු ටිකක් මුව තුළට දමා හප කොට තබා ගත් විට ලේ ගැලීම නවතින බවත් දින කීපයකින් තුවාලය සනීප වෙන බවත් ශ්‍රී ලාංකිකයන් වන අපි සියලු දෙනාම දන්නෙමු. එහෙත් ශ්‍රී ලාංකිකයින් වන අපි සියලු දෙනාම දෑත මරතෝඩි කොළ කොටාගත් රත් පැහැයෙන් සරසන්නේ නැත. එය සිදු කරන්නේ අල්ලා දෙවියන් වහන්සේ අදහන ඉස්ලාම් ආගම වැලඳගත් මුස්ලිම් කාන්තාවන් පමණි. එහෙත් දෑතෙහි රතු පැහැ මරතෝඩි දියර තවරා අලංකාර කර ගත් දෑතින් සැරසී සිටි වරදට කපා කොටා මරා දමන්නේ නම් මේ නොදියුණු ශිෂ්ටාචාරය තුළ ජීවත්වෙනවාට වඩා මිය යාම සුදුසු යයි සිතන්නෝ ද සිටිති. එහෙත් එසේ මරා දැමීම ඉතා උතුම් ක්‍රියාවකැයි සිතන පාපී ග්‍රහයින්ගේ නැකතින් උපන් තිරිසනුන් පිරිසක්ද ශ්‍රී ලංකාව නැමති දූපතේ යහතින් ජීවිත කාලය ගෙවා දමමින් සිටිති.


පිටතින් ගමකට පැමිණෙන ප්‍රචණ්ඩ මිනිසාට වසා දමා ඇති නිවසේ ජීවත් වෙන්නේ සිංහල ජන කොටසක්ද දෙමළ වර්ගයා ද මුස්ලිම් පුරවැසියන් දැයි දැන ගැනීමට ක්‍රමයක් නැත. මායිම් ගම්මානවලට දවල් කාලයේ විස්තර බලා ගැනීමට එන කොටි සාමාජිකයකු සිංහල මිනිසකු ලෙස නිරායුධව පැමිණ සිංහල වචන කීපයක් ගැට ගසා කථා කොට පිට වී යන ගමන් නිවස ඉදිරිපිට අත්තක් කඩා දමා ගියේය. රාත්‍රී කාලයේ ආයුධ සන්නද්ධව පැමිණෙන කොටි කොළ අත්ත කඩා දමන ලද නිවසේ පදිංචිකරුවන්ට වෙඩි තබා ගින්දර දමා ගියහ. නුවර දී සිදු වූයේ මිය ගිය සිංහල පුද්ගලයා වෙනුවෙන් නිවසේ සුදු ගොඩියක් දමන ලෙස අණ කර සිටීමය. ඔවුහු සුදු කොඩි දැමූහ. රාත්‍රියේ සුදු කොඩි දැමූ ගෙවල්වලින් ගිනි දැල් මතුවිය.   


එහෙත් ඇතැම් ඉස්ලාම් ආගම අදහන පවුල්වල ස්වභාවය නම් හොඳින් සිංහල භාෂාව කථා කිරීමට හැකිවීමයි. මෙහිදී ගෙවල්වල දොර කොඩට පැමිණි කාන්තාවෝ සිංහල බසින් කථා කළහ. එහෙත් මැරයෝ ගෙදර දොරකඩට පැමිණ බලහත්කාරයෙන් ස්ත්‍රීන්ගේ අත් දිගහැර බලා මරතෝඩි උලා තිබෙනු දැක ගෙවල්වල පියස්සට ලාම්පු තෙල් ඉස ගිනිකූර ගසා දැමූහ. ඇතැම් ගෙවල්වල භාණ්ඩ කුඩු පට්ටම් වී තිබිණ. මෙය සිදු වූයේ ලංකාවේ නොව ඉන්දියාවේ කොටසකය. මෙම බිහිසුණු ගිනි තැබීමට කොළඹ කොටුවේ සාක්ෂි එමටය. යාපනයේ මහලු කාන්තාවක් කුප්පි ලාම්පුවක් ද රැගෙන පාර දෙස බැලුවේ මහ රාත්‍රියේ කෑ ගසන්නේ කවුරුදැයි කුමක් නිසා දැයි දැන ගැනීමටය. මැරයා ලාම්පු කුප්පිය උදුරාගෙන ලාම්පු තෙල් ටික බිත්තියට හා අඩිතාලමට දමා පත්තු වෙමින් තිබුණ ලාම්පු තිරයෙන් බිත්තියට දමා ගැසුවේය. ඉතා පැරණි වියළි බිත්තිය ගිනි ගත් අතර රාත්‍රියේ නිවා දැමීමටද කිසිවකුත් ඉදිරිපත් නොවීය. ඒ යාපනයේ මහමෙරක් වටිනා පුස්තකාලයට සිදුකළ මහා අපරාධයයි. දෙවිනුවර පුස්තකාලයට ගිනි තැබුවේද වර්ගවාදී චේතනාවෙන් යුතුව රජිව් ගාන්ධි හා ජේ.ආර්. පළාත් සභා ගිවිසුම අත්සන් කළ දිනයේ දී උතුරට බලතල දෙනවාට විරුද්ධවය. මෙම ගිනි තැබීමේ වියරු බවට පණ පිටින් සිටි වෛද්‍යවරයෙකු ගිනි ගන්නා මෝටර් රථය උඩට දමා මරා දැමුවේ වැඳ වැටෙද්දී බව අමතක කරන්නට වැඩි කාලයක් අවශ්‍ය නොවීය.   


ලංකාවේ 1983 කොළඹ සිද්ධිවලදී ද නුවර ගිනි තැබීම්වලදී ද උඩරට වතුකරයේ ගැටුම්වලදී ද සිංහලබෞද්ධයන් යයි කියා ගන්නා ජාතික වීරයන් වීමට උත්සාහ කරන ම්ලේච්ඡ කොට්ඨාසය ස්ත්‍රී දූෂණයට පෙලඹුනේ නැත. එහෙත් පසුකාලීනව එවැනි සිද්ධි වාර්තා විය.      


බෞද්ධ හා හින්දු දර්ශනයන්හි මුල් පදනමක් ලෙස සත්‍යය පිළිබඳ දාර්ශනික චින්තනය මුල් බැසගත් සාධකයන් බවට පත්වී තිබේ. එබැවින් නුවර සිද්ධියේද සත්‍යය කථා කිරීම ඉතා අගනේය.   


එල්.ටී.ටී.ඊ. යුද්ධය ජයග්‍රහණයත් සමග උදම් ඇනූ දේශපාලන නායකයින් හා හමුදා කොටස් ද විශේෂයෙන් විශ්වවිද්‍යාලවල උගතුන් යයි කියා ගන්නා ඇතැම් කොටස්ද රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු දැරූ කොටස්ද ප්‍රකාශ කළ ඉතා වැදගත් කරුණක් විය.   


1. එල්.ටී.ටී.ඊ. එකෙන් රට බේරා ගත්තට මුස්ලිම්වරුන්ගෙන් බේර ගන්න බැහැ.   
2. ඊළඟට මුස්ලිම්වරුන්ගේ ප්‍රශ්නෙට ලෑස්ති වෙන්න ඕනෑ   
3. එල්.ටී.ටී.ඊ. එකට වඩා මුස්ලිම් සංවිධාන භයානකයි.   
4. මුස්ලිම්වරු තමයි රට කන්නෙ.   


ආදී ප්‍රකාශ කටින් කටට ගියේය. මෙය සත්‍ය වශයෙන්ම මහතැන් වලින් ප්‍රකාශ වෙන අන්දම කනගාටුවෙන් වුවද මටද අසා සිටීමට සිදුවිය. මෙයට විරුද්ධ වූ අයගේ බෙල්ල ගියේය. ලැබිය යුතු සුදුසුකම් ඇති තනතුර දුන්නේ නැත. මෙම අදහස්වලට විරුද්ධවීම සියතින් ගෙල සිඳ දැමීමක් විනා අන් කවර ප්‍රතිඵලයක්ද? එයට විරුද්ධ අදහස්වලට තැනක් ලැබුණේම නැත. මෑත අතීතයේ එනම් එල්.ටී.ටී.ඊ. පරාජයෙන් පසු මන්දිරවල සිට මෙම අදහස් පහළට ගලා ගියේ මහා මන්දිරවල අභ්‍යන්තරයේ මේ අදහස් නිතර දෙවෙලේ ප්‍රකාශ වූ බැවිනි.   


1. බෝ කිරීම වැඩියි.   
2. ​ඉස්ලාම් ජන සංඛ්‍යාව බලන් ඉන්දෙද්දි දෙගුණ වෙනවා   
3. කොළඹ ඉන්නෙ මුස්ලිම්වරු විතරයි. සිංහලයො නැහැ. රෑට මුස්ලිම් ගෑනු මොට්ටැක්කිලි දාගෙන පාරෙ යනව රංචු ගැහිලා. සිංහලයෙක් දකින්නවත් නැහැ. තව ටික කලක් යන කොට ​​මේකත් මුස්ලිම් රටක් වේවි.   
4. එක මිනිහෙක් ගෑනු 7 ක් ගත්තම උන් වැඩි වෙන්නෙ නැත්ද?   
5. මුස්ලිම් මුඩුක්කුවල - කුඩු ​ෙබදනවා, ගිනි අවි විකුණනවා, දෙමුහුන් ඈයො බය නැහැ, අරාබියෙන් සල්ලි එනවා, මැද පෙරදිග ගිහින් සල්ලි ගෙනැල්ල ආගමික, ත්‍රස්ත සංවිධානවලට දෙනවා.   


මෙම ප්‍රචාරවල කිසියම් බිංදු මාත්‍රයක සත්‍යයක් තිබේ. එනිසා මෙය සිංහල බෞද්ධයන්ගේ සිත්වලට වැදී තෙරපෙමින් තිබුණේය.     


ස්වාමීන් වහන්ස, සත්‍යය නම් මේ තිරය පිටුපස ඇති වෙළෙඳ බලය බිඳ දැමීමේ උපක්‍රමයයි. ශ්‍රී ලංකාවේ සෑම නගරයකම මුස්ලිම් වෙළෙඳ බලය දැන් වර්ධනය වී තිබේ. නගරයක වැඩි වශයෙන් ඇත්තේ මුස්ලිම් කඩවීම රහසක් නොවේ. කොළඹ පිටකොටුවේ ආනයන අපනයන වෙළෙඳාමත් ආහාර භාණ්‍ඩ තොග, වෙළෙඳාම හා රෙදි ඇඳුම් පැලඳුම්, සෙල්ලම් බඩු වෙළෙඳාමත් මෑතක සිට ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ වෙළෙඳාමත් මුස්ලිම්වරු හිමිකර ගත්හ. මෙහි වරද කාගේද?   


වෙළෙඳ ව්‍යාපාරවල බලය බිඳ දැමීමට ගිනි තබා පුළුවන්ද, රක්ෂණ​ෙයන් වැඩි මුදලක් ලැබේ. පහර දීමෙන් හෝ මරා දැමීමෙන් පුළුවන්ද? එය අපේ රට නැතහොත් ශ්‍රී ලංකාව මරා දැමීමකි. මෙහිදී පූජ්‍ය පක්ෂයේ කාර්යය කුමක්ද යන්න ප්‍රශ්න ගත ගැටලුවකි.   


අලුත් ව්‍යාපාරිකයින්ට පල්ලිය ආධාර දෙනු ලැබේ. අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමට උදව් කරන ජාත්‍යන්තර සංවිධාන තිබේ. එහෙත් සිංහල බෞද්ධයන්ට එවැනි ආධාර දීම වෙනුවට නැගී එන තරුණයකුට වළ කැපීමට සැරසීම සාමාන්‍ය දෙයකි.   


සංවිධානගතව ව්‍යාපාර ආරම්භ කිරීමට හා ඒවාට සහයෝගය දීමට ආයතන ආරම්භ කිරීමේ අවශ්‍යතාව දැන්වත් තේරුම් ගත යුතුය. බෞද්ධ ආගමික නායකයෙකු, මහා ධනවත් පන්සලකින්, ව්‍යාපාරිකයෙකු දිරි ගැන්වීමට යමක් දුන් බවක් නම් මා අසා නැත. උන්වහන්සේලා යදින්නෝය. එහෙත් පල්ලිය ආධාර කරනු ලැබේ. තව තවත් ව්‍යාපාරික ක්​ෙෂ්ත්‍රයට සිංහල බෞද්ධයන්ට ප්‍රවේශවීමට ඉඩ ප්‍රස්ථා සැලසීම වෙනුවට ආධාර අනුබල දීම මානසිකව දිරි ගැන්වීම වෙනුවට ඉස්ලාම් ව්‍යාපාරවලට හානි කිරීමෙන් කවර ප්‍රතිඵලයක්ද? බඩු ගන්නා අයට වේවැලෙන් ගැසුවේ බුරුමයෙන් ගෙනා දායාදයක් වශයෙනි. ඉන් තව තවත් කඩ බිහි විය. මෙම ආඥාන ක්‍රියාවෙන් වෙළෙඳපොළ බිඳ දැමිය හැකිද? මිනිසා ලාභ හොඳ භාණ්ඩ සොයා මිලදී ගැනීම වැළැක්විය හැකි නම් ආර්ථික විද්‍යාවද අසත්‍යයක් වේ. මේ කඩෙන් බඩු ගන්න එපා යයි කීමට පූජ්‍ය පක්ෂයට හැකි නම් ව්‍යාපාර ආරම්භ කිරීමට, ආධාර දීමට, මුල්‍යමය සහයෝගය දීමට පූජ්‍ය පක්ෂයට නොහැකි මන්ද? සිංහල බෞද්ධ තරුණ ව්‍යාපාරික පිරිසක් බිහි කිරීම මේ රටට අවශ්‍ය යයි කියන්නෝද වෙති. ‘‘ඇවිදින මිනිසාට ඉරිසියා නොකර දණ ගාගෙන පලයන්’’ යයි කියන්නේ අනාගතය ගැන සිතන බුද්ධිමතුන්ය.   


මහ නායක ස්වාමීන් වහන්සේ ඉදිරියේ ආගමික පාසල් වසා දැමීමත් එයට මහ නායක හිමි එකඟ වීමත් විසඳුමක් යයි නොසිතමි. මරදානේ සහිරා විද්‍යාලය වසා දැමීම විසඳුමක් වේද? ආගමික විනය හා ආගමික අධ්‍යාපනයද අත්‍යාවශ්‍යය. ඒවා එසේ තිබියදී සියලු ආගම්වලට සියලු ජාතීන්ට යා හැකි වැඩි පහසුකම් සහිත උසස් අධ්‍යාපනය හා තාක්ෂණ ක්‍රම හා පුහුණු ගුරුවරුන්ද ජාත්‍යන්තර සම්බන්ධතාද ඇති පාසල් බිහි කළ යුතුය. එය සාර්ථක වීමත් දේශපාලන නායකයින් එම පාසල්වලින් බිහිවීමත් අත්‍යාවශ්‍ය වේ.   


කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල දරුවන් සමඟ එකට ජීවත්වූ බේරුවල ජන නායකයකු වන ඉමිටියාස් බාකීර් මාකර් මහතාගේ චින්තන රටාවත් මෙම ප්‍රකාශය ගැන ඔහු දරන මතයන් ඉතා වටිනා බව ප්‍රකාශ කළ යුතුය. මෙහිදී සිද්ධි ලෙබ්බේ මහතා දරන ලද ගෞරවනීය අදහස වන ‘සියලු ජාතීන් එකට ජීවත්වීම’ අගය කළ යුතුය.   


අතීතයේ නුවර සිදුවූ පෙරහර ගමන් කිරීමේදී ඇති වූ ශබ්දවලට විරුද්ධ වීමත් වැලිගමදී සිදුවූ ගැටලුවටත් හේතුව ශබ්ද දූෂණය පිළිබඳ පරිසර නීති ශ්‍රී ලංකාවේ බලවත් නොවීමයි. ශබ්ද දූෂණය සම්බන්ධ දැඩි මතවාදයක් හෝ ප්‍රචාරයක් හෝ දැඩි නීති සම්පාදනයක් තවම සිදුවී නැත. ශබ්ද නිකුත් කරන්නා අසල්වාසින්ගේ ස්නායු තත්ත්වය ගැන නොසිතයි. ශබ්දයෙන් සිදුවන පරිසර හානිය නොසලකයි. ශබ්ද ගමන් කරන්නේ වායුගෝලය හරහාය. එය වායු දූෂණයක් වන්නේ එබැවිනි. එබැවින් පල්ලියෙන් නිකුත් කරන ශබ්ද කෙරෙහි මෙන්ම පන්සලේ පූජාව ගැනද නැවතත් සිතිය යුතු යුගය පැමිණ තිබේ.   


දකුණේ අන්ත ජාතිවාදින් විසින් තමන් උපන් රට විනාශ මුඛයට ගෙන යන බව ඔවුන්ට නොවැටහේ. ඊට හේතුව ඔවුන් ජාතිවාදය නම්වූ කළු රෙදිකඩින් දෑස වසා​ගෙන සිටීමයි. ඉස්ලාම් අන්තවාදීන්ද දමිළ අන්තවාදීන්ද එකට බැඳ දමා ඇති මහා යකඩ දම්වැල් නම් දෙමළ භාෂාවයි. දෙමළ භාෂාව කතා කරන්නන් එකට එක්විය යුතු බවත් එවිට නැගෙනහිර පළාත මුස්ලිම් ජනතාවගේ රක්ෂක ස්ථානය බවට පත්වන බවත් දැන් දැන් උතුරේ දේශපාලන නායකයෝ පවසති. මෙය අනාගතයේදී මේ රට විනාශ මුඛයට ගෙන යන බලවේගය බවට බිංදු මාත්‍රා සැකයක් නැත. මෙය දැන දැනම දකුණේ සිංහල අන්තවාදීන් විසින් ඉස්ලාම් ආගම අදහන එහෙත් දෙමළ භාෂාව කථා කරන කොටස් එකට එකතු කිරීම සඳහා අවශ්‍ය පසුතලය නිර්මාණය කරමින් සිටී. සුළු ජාතීන් එකතුවීම මහ ජාතියේ පරාජයයි.   


එයට එකම හේතුව ලෙස පැහැදිලි වෙන්නේ සුළු ජාතින්ගේ ආරක්ෂාව, සමානාත්මතාව සහ අයිතිවාසිකම් මහ ජාතිය විසින් නොසලකා හැරීමයි. මෙය ශ්‍රී ලංකාවට පමණක් අදාළ වෙන සිද්ධාන්තයක් නොවේ. සුළු ජාතීන් බිය ගන්වා, ඔවුන් පාගාගෙන ඔවුන් මුළාකොට, වාචික වශයෙන් රවටා ගෙන පාලනය කළ හැකි යැයි ඇතැමෙක් සිතූහ. එය වැරදුණේ බලාපොරාත්තු රහිත ලෙසය.   


ඉස්ලාම්වරු හා සිංහල ජනතාව දීර්ඝකාලීන මිත්‍රත්වයක් ගොඩ නගාගත් ජාතීන් දෙකකි. ඔවුහු එක ගමේ, එක නගරයේ ජීවත් වෙති. පල්ලියත් පන්සලත් අාසන්නව පිහිටා තිබේ. එබැවින් ප්‍රශ්නය වෙන්නේ මෙම ජාතින් භේද ඇති කළේ කවුරුන්ද යන්නයි.     


මෙවර මහනුවර ගැටුමට ආසන්න ​ හේතුව වූයේ ත්‍රිරෝද රථ රියදුරෙකුගේ හා ලොරිරථ රියදුරෙකුගේ බලාපොරොත්තු නොවූ ගැටුමකි. එය සැලසුම් සහගතව කරන ලද ආරවුලක් නොවේ. එහෙත් ශ්‍රී ලංකාවේ සිටින ත්‍රිරෝද රථ රියදුරන්ගේ නොහික්මීම හා ක්ෂණික හැරවීම සියලු දෙනාම දන්නා කරුණකි. ත්‍රීවීල් රථය පිටුපස එන වාහනයේ රියැදුරාට සිතාගත නොහැකි ලෙස අංශක එකසිය අසූවක (1800) කපන විට පසුපස රථය හා ගැටීම වැළැක්වීම නොහැකිය. මෙය වැළැක්වීමට ත්‍රීවීල් රථ නිෂ්පාදකවරුන් පියවරක් ගත යුතුව තිබේ. 1800 කැපීම වැළැක්වීමට ත්‍රීවීල් රථ රියදුරන්ගේ නොහික්මීම හා ඔවුන්ගේ තරුණ හැසිරීමද, සංගීතයෙන් මත්ව ගමන් කිරීමද, ආයුධ තබා ගැනීමද, කුඩු ප්‍රවාහනයද සාමාන්‍ය දෙයකි. එහෙත් ත්‍රීරෝද රථ පරික්ෂාවක් නොමැත. ඒවා පිළිබඳ පරික්ෂණ ආයතනයක් ද නැත. ලක්ෂ ගණනක් වන ත්‍රිරෝද රථ රටට ව්‍යසනයක් බවට පත්වීමට පෙර ඔවුන්ගේ කටයුතු සොයා බැලීම සඳහා ආයතනයක් ඇති කිරීම රජයේ වගකීම වේ.   


මෙය සාමාන්‍ය සිද්ධියකි. ක්ෂණික ගැටුමකින් මිනිසකු මිය යා හැකිය. එහෙත් එය ජාතිවාදී අරගලයක් දක්වා තල්ලු කිරීම සංවිධානාත්මක කාර්ය භාරයකි. ක්ෂණික දැනුම් දීමකින් පිරිසක් රැස් කර ගත හැකි සංවිධානගත ව්‍යුහයක් මහනුවර ප්‍රදේශයෙන් ඉස්මතු විය. මින් එළිදරව් වූ සත්‍යය නම් මූල්‍ය පහසුකම් ඇති අන්ත ජාතිවාදී සංවිධානයක් ඇතැම් ආගමික නායකයින්ගේ සහයෝගය ඇතිව ක්‍රමයෙන් වර්ධනය වෙන බවයි. මෙම වසංගතය ඉක්මනින් පැතිරේ. එහි බෝවීම වේගවත්ය.   


රජයේ වගකිවයුතු කොටස් අනාගතයේ ඇති විය හැකි මහා විනාශයක් වළක්වා ගැනීමට නම් මේ කොටස් දෙකම ගැන විමසිලිමත් වීම හා ඊට වහා පිළියම් යෙදීම අවශ්‍ය වේ.   


ජාතිවාදී ලෙස සලකමින් තවත් ජාතියක් හෝ ආගමික කොටස් හිංසාවට පත් කරන ඕනෑම පුද්ගලයෙකුට තරාතිරම හෝ තනතුර නොසලකා ඉතා දැඩි දඬුවම් දීමට අත්‍යාවශ්‍ය පරිසරයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී තිබේ.

 

 

 

 

කොග්ගල වෙල්ලාල බන්දුල