මරණාසන්න මනෝ සංඥා


මරණය අභියසට ගොස් යළි ආ මිනිසුන්ගේ අත්දැකීම්

 

මරණය අභියස අතර සිටියදී මියගිය පුද්ගලයින් පැමිණ ඔවුන් සමඟ යාමට එන ලෙස කැඳවීම් කළ බවට අත්දැකීම් ඇත. එහෙත් පසුව ඔවුන්ට පිටත්ව යන ලෙස ප්‍රකාශ කළ බැව්ද ඇතැමුන් හෙළි කළහ. විවිධ සැත්කම් වලට භාජනය වූවන්ද කළ ප්‍රකාශ මගින් ඔවුන් තම සැත්කම සිදුකරන අයුරු ඉහළ සිට නැරඹූ බැව් අනාවරණය කළහ. ශල්‍යාගාරයට ගෙන ගොස් සිහි නැති කිරීමේ ඖෂධ ලබා දෙනු දුටු බවත්, අනතුරුව සිරුරෙන් ඉවත්ව ඉහළට ඇදී යන අයුරු දැනුණු බවත් ඔවුහු වැඩි දෙනෙක් පැවසුහ. අතිශය පුදුම උපදවන එවැනි මනෝසංඥා පිළිබඳව මෙමගින් අනාවරණය කෙරේ.  


මිනිසාගේ මරණය සිදුවන අවස්ථාවලදී සිතට දැනෙන හැඟීම් සහ දැකීම් කවරේද? යන්න සෙවීමට මනෝ විඳ්‍යාඥයෝ දැඩි උත්සාහයක යෙදී සිටිති. මේ යටතේ සිදු කරන පර්යේෂණ (NEAR DEATH EXPERIENCES) මරණාසන්න අත්දැකීම්, (OUT OF BODY EXPERIENCES) සිරුරෙන් ඉවත් වීමේ අත්දැකීම් සහ (DEATH BED VISION) මරණය අබියස දැකීම් යනුවෙන් හඳුන්වා දී තිබේ.  


මරණාසන්න අත්දැකීම් පිළිබඳ ශාස්ත්‍රීය පර්යේෂණ පවත්වන ප්‍රධානතම විශ්වවිද්‍යාලය වන්නේ ඇමරිකාවේ වර්ජීනියා විශ්ව විද්‍යාලයයි. (DIVISION OF PARAPSYCHOLOGY) යනුවෙන් වෙනමම අංශයක් පිහිටුවා පර්යේෂණ ආරම්භ කිරීම එහි සිදුවූයේ මීට පනස් වසරකට පමණ පෙරය.  


එහි අධිපතිවරයාව සිටි මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් විසින් 1957 වසරේ සිට ලොව රටවල් රැසක් සමඟ එක්ව මෙම පර්යේෂණ පැවැත්වීය. අනතුරුව 1970 වසරේදී (TELEPATHIC IMPRESSION) ටෙලිපතික් ඉම්ප්‍රෙසන්ස් යනුවෙන් මනෝ සංඥා ඇතුළත් ග්‍රන්ථයක්ද ලියා පළ කළේය.  


මරණාසන්න අවස්ථාවලදී එයට මුහුණ දුන් පුද්ගලයින්ට පමණක් නොව ඇතැමුන්ට සිදුවන අනතුරු වෙනත් පුද්ගලයින්ට දැනුණ මනෝ සංඥාද එයට ඇතුළත් කර තිබේ. පුනර්භවය හෙළි කළ දරුවන්ගේ මනෝ සංඥා පිළිබඳවද මහාචාර්ය ස්ටීවන්සන් විසින් පර්යේෂණවලට යොමු කරනු ලැබීය.   


මහාචාර්ය, ස්ටීවන්සන්ගෙන් පසු මහාචාර්ය බෘස් ග්‍රේසන් විසින්ද මරණාසන්න අත්දැකීම් පිළිබඳව පර්යේෂණ රාශියක් සිදුකර තිබේ. වර්ජීනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එමලි කෙලීද මේ පිළිබඳව දීර්ඝ ලෙස පර්යේෂණ පැවැත්වීමෙන් පසු මනෝ විද්‍යා පර්යේෂණ ලිපි රැසක් සම්පාදනය කර තිබේ.  


මේ වන විට වර්ජීනියා සරසවිය මගින් සිදුකර ඇති මරණාසන්න අත්දැකීම් පිළිබඳ පරීක්‍ෂණ දහස් ගණනක් තිබේ. මෙම පර්යේෂණ සිදු කරන අනෙකුත් රටවල් අතර එංගලන්තය, ජර්මනිය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, බුරුමය සහ ශ්‍රී ලංකාවද වෙයි.  
මරණාසන්න අත්දැකීම් පිළිබඳව ශ්‍රී ලංකාවේ පර්යේෂණ ආරම්භ වූයේ 1980 වසරේ සිටය. වරක් ශ්‍රීලංකාවට පැමිණි මහාචාර්ය ස්ටීවන්සන් එවැනි අත්දැකීම් පර්යේෂණ සඳහා ඉදිරිපත් කරන ලෙස ලංකාදීප පුවත්පත මගින් ශ්‍රී ලංකාවාසින්ගෙන්ද ඉල්ලා සිටියේය. අනතුරුව එවැනි අත්දැකීම් ලැබුවෝ රැසක් ඔවුන්ගේ අත්දැකීම් පර්යේෂණ සඳහා ඉදිරිපත් කළහ.  


එම පර්යේෂණ මගින් අනාවරණය වූ පුද්ගලයන්ගේ අධිමානසික ක්‍රියාවලියට හේතු වූ සාධක ඇතැම්විට අතිශය පුදුම උපදවන සුලුය. මරණාසන්නව ජීවිතයත් මරණයත් අතර සිටියදී ඔවුන් දුටු අත්දැකීම් අනුව ප්‍රධාන සිදුවීම් රැසක් පර්යේෂණ වාර්තා මගින් හඳුන්වා දී ඇත්තේ මෙසේය.  


* සිරුරෙන් ඉවත් වී යන අයුරු දැකීම  
* මළගිය පුද්ගලයින් හමුවීම  
* විවිධ අලෝකධාරාවන් දැකීම  
* මළගිය අය සමඟ සිටිනු දැකීම  
* අස්වාභාවික විරූප පුද්ගලයන් දැකීම.  
* ගුවනේ පාවී යනු දැනීම.  
* විවිධ ගුහාවන් සහ නලදිගේ යනු දැකිම  
* සිරුරට සිදු කළ ශල්‍ය කර්ම ඉහළ සිට නරඹනු දැකීම.  


මියගිය පුද්ගලයින් පැමිණ ඔවුන්ට අමතන, ශ්‍රවනය වීම ආදී වශයෙනි.  


ඇතැම් පුද්ගලයින් ඔවුන්ට සිදු කළ විවිධ සැත්කම් සිදුවන අවස්ථාවලදි දුටු දැකීම් සහ ඔවුන්ගේ හැසිරීම් රටා වෛද්‍ය අංශවල විමතියට හේතු වූ අවස්ථා තිබේ. මහාචාර්ය බෘස් ග්‍රේසන් විසින් සිදුකළ පර්යේෂණ අතරද එවැනි අතිශය පුදුම සිදුවීම් රැසක් ඇත. මහාචාර්ය ඉයන් ස්වීවන්සන්ගේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකාවේ සිදු කළ පර්යේෂණ අතර මියගිය පුද්ගලයින් හමුවූ බැව් හෙළි කළ අත්දැකීම් ලැබුවෝ සිටිති. 

 
ජීවිතයත් මරණයත් අතර සටනක සිටියදී මිය ගිය පුද්ගලයින් පැමිණ ඔවුන් සමඟ යාමට එන ලෙස කැඳවීම් කළ බවද ඇතැම් අත්දැකීම් අතර ඇත. එහෙත් පසුව ඔවුන්ට පිටත්ව යන ලෙස ප්‍රකාශ කළ බැව්ද ඇතැම්හු හෙළි කළහ.   


විවිධ සැත්කම් වලට භාජනය වූවන් කළ ප්‍රකාශ මගින් ඔවුන් තම සැත්කම සිදු කරන අයුරු ඉහළ සිට නැරඹූ බැව් අනාවරණය කළහ. ශල්‍යාගාරයට ගෙන ගොස් සිහිනැති කිරීමේ ඖෂධ ලබාදෙනු දුටු බවත් අනතුරුව සිරුරෙන් ඉවත්ව ඉහළට ඇදී යන අයුරු දැනුණ බවත් ඔවුන් වැඩි දෙනෙක් පැවසූහ.  


ඔවුන්ගේ ප්‍රකාශ අනුව එම දර්ශනය අවසන් වී ඇත්තේ සැත්කම සිදු කළ වෛද්‍යවරයා, ඔහු අමතන හඬ ඇසීමෙන් පසුව බවත් ඔවුන්ට මතකය. එවැනි අත්දැකීම් ලැබූ තවත් අය ප්‍රකාශ කළේ සිරුරෙන් ඉවත්ව සිටියදී කිව නොහැකි තරම් සුන්දර මිහිරියාවක් සිරුරට දැනුණ බවය. එම තත්ත්වයෙන් මිදීමට පවා බලවත් අකමැත්තක් දැනුණ බවද ඔවුහු පැවසූහ.  
සිරුරෙන් ඉවත්ව යන අයුරු වේගවත් ගමනක් ලෙසද ඇතැමුන්ට දැනී ඇත. ඒ ගමන් මග අවසන් වී නැවත සිරුර වෙත ඇදී ඒමක් සිදුවූ අයුරුද ඇතැමුන්ගේ මතකයේ තිබේ. අන්ධකාර ගුහා තුළින් සහ නල දිගේ ගමන් කළ බවක්ද දක්නට ලැබුණු බැව්ද අනාවරණය වූ අවස්ථා ඇත.  

 

මහාචාර්ය බෘස් ග්‍රේෂන් වර්ජීනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂණ අංශයේදී දේශනයක් පවත්වයි. මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් සහ මහාචාර්ය ජිම්ටකර්ද මෙහි වෙති.  

 

මරණාසන්න අත්දැකීම් වෛද්‍ය විද්‍යාවද අතිශය වැදගත් පර්යේෂණ ලෙස මනෝ විද්‍යාඥයෝ හඳුන්වා දෙති. NEAR DEATH EXPERIENCES HAVE ADVANCED THE FIELD OF MEDICAL SCIENCE යනුවෙන්ද හඳුන්වා දී ඇත. 

 
 මේ අතර මරණාසන්න අත්දැකීම් ලැබූවන් අතරින් දෑස් නොපෙනුන අයගේ සිදුවීම් මනසින් දැකීම හෙළිවන ප්‍රබල සාක්කි බවට පත් වී ඇත. එවැනි සිදුවීම් පිළිබඳව සිදු කළ පර්යේෂණ PEOPLE BORN BLIND CAN SEE DURING NED ලෙස පර්යේෂණ වාර්තාවලට ඇතුළත් වී තිබේ.  


මරණය අභියස සිටියදී මළවුන් දැකීම අනාවරණය වන අවස්ථා පිළිබඳව (NEAR DEATH EXPERIENCES WITH REPORT OF MEETING DECEASED PEOPLE) ලෙසද පර්යේෂණ සිදු කෙරේ.  


ශ්‍රී ලංකාවේ සිදු කළ ප්‍රථම මරණාසන්න අත්දැකීම් පර්යේෂණය සිදු කරනු ලැබුවේ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් විසිනි. එවකට පනස් දෙහැවරිදි වියේ පසු වූ ශාන්තිනම් ගුරුවරියකගේ එම අත්දැකීම ලැබී තිබුණේ ඇය ශල්‍යකර්මයකට භාජනය වෙමින් සිටියදීය.   
1982 වසරේදී ඇයට සිදු කළ සැත්කම ගර්භාෂය සම්බන්ධව විය. සැත්කම සිදුකිරීමට ප්‍රථම ඇයට දැනුන වේදනාවත් සමඟ කීප විටක්ම සිහි සුන් වීම සිදුවිය.  


අවසානයේ ඇයට ශල්‍යකර්මය සිදුකිරීමට වෛද්‍යවරුන් ක්‍රියා කළහ. සැත්කම සිදුවන අතර ලැබූ අත්දැකීම ඇය හෙළි කළ අයුරින්ම මෙසේය.  


‘‘ගර්භාෂයේ රෝගී තත්ත්වයක් නිසා මට දැඩි වේදනාවක් දැනුනා. වරින් වර මට සිහි නැති වන බව මට දැනුණා. ඒ වන විට රෝහලේදී ශල්‍ය කර්මය සිදු කිරීම සඳහා මා සූදානම් කරන අයුරු මා දුටුවා. එක්වරම මා පුදුම දර්ශනයක් දුටුවා. මගේ මවගේ සොහොයුරිය මියගොස් ඒ වන විටත් වසර දෙකක් වී තිබුණා.   


ඇය ජීවත්ව සිටියදී මට දැඩි ලෙස ආදරය කළා. එදා මා දුටු දර්ශනය වූයේ ඇය පදිංචිව සිටි නිවසක් වෙත මා ගියා. එම නිවස මා ඊට ප්‍රථම කිසි දිනෙක නොදුටු නිවසක්, එහි කාමර කීපයක් තිබුණා. එහි එක් කාමරයක මගේ ඥාතිවරිය සිටිනු මා දුටුවා. මා කාමරයට ගියත් ඇය මා සමඟ කතා කළේ නෑ.’’.  


‘‘දැඩි කෝපයකින් මා දෙස ඇය බලා සිටියා. එසේ බලමින් වාහම ඉන් ඉවත්ව යන ලෙස ඇය මට කීවා. මා ඉවතට එනවිට ඇයද පසු පසින් පැමිණ මට ඉවත්වන්න යයි බල කළා. මා කාමරයෙන් පිට වී නිවසේ සාලයට පැමිණියා. ඇගේ ඇස් දෙකෙන් දැඩි කෝපයක් මතු වී තිබුණා.  
මා මිදුලට බැස්සා. ඇය මා පසු පසින් පැමිණියා. ඒ වත්ත වටේටම කම්බි ගසා තිබුණා. පොළොව යටට සම්බන්ධව තිබුණු කම්බිය ඔසවා පිටතට පැමිණියා. ඇය මා දෙස බලා දැඩි සතුටකින් සිනාසුණා. මට සිනහව තවම මතකයි. ඒ සමඟම මට දොස්තර මහත්වරු කතා කරන හඬ ඇසුනා. මා දෑස් ඇර බලන විට ඇඳ වටේට දොස්තර මහත්වරු කීප දෙනෙක්ම සිටියා’’ යැයි ඇය ප්‍රකාශ කළාය.  


මීට වසර ගණනකට උඩදී වර්ජීනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය බෘස් ග්‍රේසන් විසින් සිදුකළ පර්යේෂණයකදී අනාවරණය වූ අතිශය පුදුම මරණාසන්න අත්දැකීමක් හෙළිවිය. හදවත් රෝගියකු මගින් අසන්නට ලැබුණු එම සිදුවීමද පර්යේෂණ වාර්තාවකට ඇතුළත් වී තිබේ.   
පනස් පස් හැවිරිදි රියැදුරෙකු හදවත් රෝගී බවක් නිසා රෝහල් ගත කැරිණි. ඔහු පරීක්‍ෂා කළ වෛද්‍යවරුන්ගේ මතය වූයේ ඔහුගේ හදවතේ නළ කීපයක් අක්‍රීය වී ඇති බවය.  
ඔහුට වහාම සිදු කළ යුතු (EMERGENCY CORONARY BY PASS OPERATION) සැත්කම සිදු කළ යුතු විය. ශල්‍යාගාරයට රැගෙන ගිය රෝගියා වහාම සැත්කමට භාජනය කිරීමේ කටයුතු ඇරඹිනි. සිහිනැති කිරීමේ ඖෂධ ලබා දීමෙන් පසු සැත්කම ආරම්භ වීය. හදවතට නාලයක් යෙදීමේ අවස්ථාව උදාවිය. රෝගියා සිහිසුන්ව සිටියේය.  


ගත වූයේ තත්පර කීපයකි. රෝගියාගේ නැවි තිබූ අත් එක්වරම දිගු කරන්නට විය. ශල්‍ය ව්‍යෛවරයා සමග සිටි සෙසු වෛද්‍ය කණ්ඩායම අතිශය පුදුමයට පත් වූහ. සිදුවන්නට යන්නේ කුමක්දැයි ඇදහිය නොහැකි වූ වෛද්‍යවරුන් ඔහු සිහිලැබී ඇතිදැයි පරීක්ෂා කළහ. එහෙත් එවැන්නක් සිදු වී නොතිබිණි. දැන් නිසොල්මන් කළ ඔවුහු ශල්‍ය කර්මය සිදු කළහ. මුළුමනින්ම නිර්වින්දනය වී සිටියදී රෝගියා දෑත් සෙලවූයේ ඇයි? වෛද්‍යවරුන්ට ගැටලුවක් වීය.  
සැත්කමක් අතරතුර සිදුවූ මෙම අතිශය පුදුම ක්‍රියාව පිළිබඳව වෛද්‍යවරුන් විමර්ශනය කළහ. අවසානයේ රෝගියා විසින් තමා ලැබූ අත්දැකීම් අනාවරණය කළේය. සැත්කම සඳහා ඔහු ශල්‍යාගාරය වෙත රැගෙන ගිය අවස්ථාවේ සිට නිර්වින්දනය සිදුවන මොහොත දක්වා සියල්ල හෙළි කිරීමට ඔහුට හැකිවිය. අනතුරුව ඔහු සිරුරෙන් ඉවත්ව යන බවක් ඔහුට දැනුණි. ඒ සමගම ඔහු ඉතා වේගයකින් ඉහළට ගමන් කළේය. එය පියඹා යාමක් ලෙස ඔහුට දැනුණි.  
ඈතට පියඹා යන විටදී නිල් පැහැති සෞම්‍ය ආලෝක ධාරාවක් දක්නට ලැබුණ බවත් ඔහු පැවසීය.  


‘‘නිල් පැහැති ආලෝකය සමඟ මම ඉහළට පියඹා ගියා.’’ යයි එම විමර්ශනය සිදු කළ වෛද්‍යවරුන්ට ඔහු පැවසීය. නිර්වින්දනය වී සිටියදී ඔහු දෑත් එසවීමට උත්සාහ ගැනීම එම පියඹා යාම සිදුවූ අවස්ථාව නිරූපණය වීමක් ලෙස පිළිගැනීමට සිදුවිය.


(මතු සම්බන්ධයි)

 

 

තිස්ස ජයවර්ධන