මරණයේ දිනය හෙළිකළ පියවරුන් දෙදෙනෙක්


මරණාසන්න මනෝ සංඥා

 

කිසියම් අයෙකුට තම මරණය සිදුවන දිනය කල් ඇතිව හෙළි කිරීමට හැකිනම් එය ඇදහිය නොහැකි කරුණක් වන බැව් නිසැකය. ස්භාවිකව තම මරණය සිදුවන දින සහ වයස් ප්‍රමාණ නිවැරදිව හෙළි කළ පියවරුන් කීප දෙනෙක් මනෝ විද්‍යාත්මක පර්​ෙ‌ය්ෂණවලට ඇතුළත් වී තිබේ.  


ඒ අතරින් ඉතා නිවැරදිව තම මරණය සිදුවන දිනය හෙළි කළ එක් පියෙකු වූයේ සර්වෝදය නායක ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ පියාය.  


තවත් එවැනිම මරණ සිදුවන වයස් ප්‍රමාණය නිවැරදිව හෙළි කළ පියෙකු වූයේ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරියකව සිටි සුමනා අමරසිංහ ඇතුළු දරුවන් අට දෙනෙකුගේ පියෙකු වූ කරෝලිස් අමරසිංහ මහතාය.  


මරණය සිදුවන දිනය ඉතා නිවැරදිව අනාවරණය කළ ආරියරත්න මහතාගේ පියා වූ හෙන්ද්‍රික් ජිනද‌ාස මහතා පදිංචිව සිටියේ ගාල්ලේ උණවටුනේය. වෙළෙඳ ව්‍යාපාරිකයෙකු වූ ​ෙහන්ද්‍රික් මහතා පිරිවෙන් අධ්‍යාපනය තුළින් ජීවිතය හැඩගස්වාගෙන සිටි අයෙකි. තරුණ වියේ සිටම ඔහු ආගමික කටයුතුවලට දැඩි උනන්දුවක් දැක් වූ අයෙකු විය. ඔහුගේ බිරිය බවට පත්වූ රොසලිනා ගජධීර දරුවන් සයදෙනෙකුගේ ආදරණීය මව වූවාය.  


තම දරුවන් අතරින් පවුලේ තෙවැනි දරුවා වූ ආරියරත්නට පියා තුළ වූයේ දැඩි ආඩම්බරයකි. තම පුත්‍රයා සමාජසේවා කටයුතුවල නියැළී සිටීම ඔහු මහත් ආඩම්බරයෙන් කතා කරන්නට විය. ආරියරත්න මහතා තම පියාට දැඩි සෙනෙහසක් දැක්වීය. කොතරම් දුර බැහැර සර්වෝදය ව්‍යාපාරයේ සමාජ සේවාවල නියැළී සිටියද නිතර නිතර පියාගේ දුක සැප බැලීමට උණවටුනට යෑම ඔහුගේ සිරිතවිය.  


ආරියරත්න මහතා විවාහයෙන් පසු කොළඹ පදිංචි වී සිටියද ඔහු නිතර නිතර උණවටුන මහ ගෙදරට යාම ඇතැම් විට සතියකට දෙකකට වරක් හෝ සිදු කැරිණි. ජිනදාස මහතාගේ සියලු දූ දරුවෝ උසස් අධ්‍යාපනය ලබා රැකියාවල නිරතවී සිටියහ. ඒ වන විට නිරෝගීව සිටි ජිනද‌ාස මහතාට දියවැඩියා රෝගී තත්ත්වයක් උද‌ා වූයේ බලාපොරොත්තු නොවූ අයුරිනි. අනතුරුව ඒ සඳහා නොකඩවා ප්‍රතිකාර ගැනීමට ඔහුට සිදුවිය.  
පියාගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබාදීමේ වගකීම ආරියරත්න මහතා විසින් බාරගෙන තිබිණි. ඒ සඳහා ඔහු නිතර නිතර උණවටුනේ නිවසට ගොස් පියාට අවශ්‍ය ප්‍රතිකාර සහ සාත්තු කිරීම් පිළිබඳව විමසා බැලීම සිදු කළේය. කලක් රෝගී තත්ත්වයෙන් සිටි ජීනද‌ාස මහතා මරණයට පත්වූයේ අනු එක් වැනි වියේදීය. ඔහු මරණයට පත්වන දිනය කල් ඇතිව නිවැරදිව ප්‍රකාශ කිරීම අතිශය පුදුම සිදුවීමක් විය. එම ප්‍රකාශය සිදු කරනු ලැබුවේ 1970 අප්‍රේල් මාසයේදීය.  


අප්‍රේල් මුල් සතියේ දිනෙක සර්වෝදය ශ්‍රමද‌ාන කඳවුරක සේවය සඳහා ආරියරත්න මහතාට යාමට සිදුවිය. එදිනද පියා බැලීමට ඔහු උණවටුනේ පියා පදිංචිව සිටි නිවසට ගියේය. පියාට අවශ්‍ය පහසුකම් සපයන ලෙස තම පුත්‍රයා එහි සිටි සැමට උපදෙස් දෙනු පියාට ඇසුණි. එය ඇසුණු ජිනද‌ාස මහතා ආරියරත්න මහතා ඇමතීය.  


‘‘පුතා කලබලවෙන්න එපා. තියෙන වැඩක් කරගෙන 29 වැනිද‌ා එන්න එද‌ාම සවස දෙකට මම මැරෙනවා’’ යි පැවසීය.  


ආරියරත්න මහතා නිවසින් යන අතර වෛද්‍යවරයෙකු වෙත ගියේය. පියාව පරීක්ෂා කර බලන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව පැමිණි වෛද්‍යවරයා පැවසුවේ රෝහලකට ගෙන නොයන ලෙසත් නිවසේ විවේකීව සිටීමට ඉඩ දෙන ලෙසත්ය. තව දින කීපයකට වඩා ඔහු ජීවත් නොවනු ඇතැයිද වෛද්‍යවරයා පැවසීය. ඒ වන විට ඉතා දුර්වල තත්ත්වයේ සිටියද වෛද්‍යවරුන් ඉංග්‍රීසියෙන් කළ ප්‍රකාශය තේරුම්ගත් ජිනද‌ාස මහතා වෛද්‍යවරයා වෙත බලා ඔහු ඇමතීය.  


‘‘මම මැරෙන්නෙ 29 වැනිද‌ා සවස දෙකට’’ යයි පැවසීය. එය ඇසුණ වෛද්‍යවරයා ‘‘ඇයි තාත්තට 29 වැනිද‌ාට මැරෙන්න ඇති උවමනාව’’ යයි ප්‍රශ්න කළේය. එයට පිළිතුරුදුන් ජිනද‌ාස මහතා පැවසුවේ මෙයයි.  
‘‘මම මැරෙන්න ඕන හොඳ දවසක ශ්‍රී සුමංගල හාමුදුරුවො, අනගාරික ධර්මපාල තුමා, සහ මගේ ගුරුවරයෙකු වූ අහංගම සුමනජෝති හාමුදුරුවො අපවත් වුණෙත් 29 වැනිද‌ා. ඒ නිසා එද‌ාට මම මැරෙන්න ඕනෑ’’ යයි කීය.  


නිවසින් පිටවී ගිය ආරියරත්න මහතා අනෙකුත් සොයුරු සොයුරියන්ට අප්‍රේල් 28 වනද‌ා නිවසේ නතරවීමට සුද‌ානමින් පැමිණෙන ලෙස දන්වා යැවීය. අප්‍රේල් 27 වැනිද‌ා ආරියරත්න මහතා සිටියේ අනුරාධපුරයේය. ශ්‍රමද‌ාන කඳවුරක සේවා කටයුතුවල යේදී සිටි ඔහු අනුරාධපුර විශේස කොමසාරිස්වරයාගෙන් පණිවුඩයක් ලැබිණි. එහි සඳහන් වූයේ වහාම උණවටුන නිවසට එන ලෙසය. වහා ක්‍රියාත්මක වූ ඔහු සිය පවුලේ අයත් බාල නැගණියත් සමග උණවටුන නිවසට පැමිණියේය.  


ජිනද‌ාස මහතාට හොඳට සිහි තිබිණි. ඔහු වරින්වර කතාකළේය. දූ දරුවෝ සියලුම දෙනා නිවසේ රැඳී සිටියහ. දින දෙකක් ගතවිණි. අප්‍රේල් 29 වැනිද‌ා උදාවිය. වරින්වර හුස්ම ඉහළ පහළ කරමින් දෑස් විවර කරමින් ජීනද‌ාස මහතාගේ සමුගැනීම ළඟාවී ඇතිබැව් දක්නට ලැබිණි. තම පියාගේ අවසන් අවස්ථාව උදාවී ඇති බවත් කිසිවෙක් හඬ නඟා හැඬීමක් හෝ සිදු නොකරන ලෙසත් ආරියරත්න මහතා පවුලේ අයට උපදෙස් දුන්නේය.  
වේලාව හරියටම සවස දෙක පසුවිය. ඔහුගේ හුස්ම ගැනීමේ වේගය වැඩිවිය. කීප විටක් තදින් ආශ්වාස ප්‍රශ්වාස කළ ජිනද‌ාස මහතා දෑස් විවරකර මුව විවර කළේය. ඒ සමගම සිනහවක් මතුවී ඔහු නිහඬවිය. කල් ඇතිව ප්‍රකාශ කළ පරිදිම සිය පියාගේ මරණය නිවැරදිව එදින සිදුවීම ආරියරත්න මහතා ඇතුළු පවුලේ සැමට අතිශය පුදුම කරුණක් වීය.  


තමා මරණයට පත්වන වයස නිවැරදිව හෙළි කළ තවත් පියෙකු වූයේ බණ්ඩාරගම පදිංචිව සිටි කරෝලිස් අමරසිංහ මහතාය. එම ප්‍රදේශයේම තරුණියක් වූ මේරි නෝනා ඔහුගේ ආදරණීය බිරිය වීය. දරුවන් අට දෙනෙකුගේ පියෙකු වූ කරෝලිස් මහතා සිය වෘත්තිය ආරම්භ කරනු ලැබුවේ මොනිටර් ගුරුවරයෙකු වශයෙනි. අනතුරුව ඔහු ව්‍යාපාරික කටයුතුවල නිරතවිය. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම කරෝලිස් මහතාගේ එකම අරමුණ වී තිබිණ. 

 
තම බාල දියණිය වූ සුමනාට වැඩි ආදරයක් දැක්වූ ඔහු ඇයට උසස් අධ්‍යාපනයක් ලබාදීමට දැඩි අවධානයක් යොමුකළේය. ඒ අනුව සුමනා ද අධ්‍යාපන දස්කම් පෙන්වමින් සරසවි වරම් ලැබ ගෞරව උපාධියක්ද හිමි කරගත්තාය. අනතුරුව අධිකරණ අමාත්‍යාංශයට සම්බන්ධ රැකියාවක නිරතවීමෙන් පසු ඇය ජාතික ​ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට එක්වූවාය.  


සුමනා විවාහයෙන් පසු පදිංචිව සිටියේද මහගෙදර සිය පියාගේ නිවසට ආසන්නවය. මේ නිසා ඇය රැකියාවට යන එනවිට මහගෙදරට යෑමටද පුරුදුව සිටියාය. පසු කලෙක කරෝලිස් මහතා සුමනාගේ නිවසේම ජීවත්විය.  


බාල දියණිය වූ නිසාත් ඇය තම පියා සමගම නිතර සිටීම නිසාත් කරෝලිස් මහතා දැඩි සතුටකින් ජීවිතය ගතකළේය. අනෙකුත් දරුවන් පිළිබඳවත් ඔහු හැමවිටම මහත් සතුටෙන් කතා කරන්නට විය. මේ අතර කරෝලිස් මහතා නිතර පැවසූ කරුණක්විය. එනම් මම මැරෙන්නෙ අවුරුදු එකසිය දෙකක් වෙලා යනුවෙනි.  
ඒ හැරුනවිට ඔහු විසින් කළ තවත් ප්‍රකාශයක් වූයේ ඔහු මරණයට පත්වන අවස්ථාවකදී බිරිය හෝ බාල දියණිය හෝ ඔහුට නොපෙනෙන ලෙස සිටින ලෙසය. එයට හේතුව ලෙස ඔහු පවසා ඇත්තේ මියයන මොහොතේ ඔවුන් පිළිබඳව ඇල්මක් ඇතිවීම වැළැක්විය යුතුබවය.  


සුමනා පැවසූ පරිදි කරෝලිස් මහතා උපත ලබා ඇත්තේ 1905 ජනවාරි පළවෙනිදාය. නිරෝගී පුද්ගලයෙකු ලෙස සිටි කරෝලිස් මහතාට 2006 පෙබරවාරි මාසයේ මුල් සතියේදී උණ රෝගයක් සෑදුණි. අනතුරුව රෝහල් ගත කිරීමෙන් පසු ඔහුට ශ්වසන පද්ධතියේ දුර්වලත්වයක් මතුවිය. ප්‍රතිකාර සඳහා යන්ත්‍ර සවිකිරීමද සිදු කැරිණි. “මේවා ගලවා දමා මට නිදහසේ ඉන්න දෙන්න” යයි ඔහු කියන්නට විය.  


හොඳ සිහියෙන් සිටියත් අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ කරෝලිස් මහතා පෙබරවාරි 10 වැනිද‌ා අවසන් හුස්ම හෙළීය. ඔහු පැවසු පරිදි ඔහුගේ මරණය සිදුවී ඇත්තේ වසර එකසිය දෙවන වියට පිවිසීමෙන් පසුවය. ඔහුගේ ප්‍රකාශය පරිදිම ආයු කාලය ගෙවීම සුමනා ඇතුළු දූ දරුවන්ගේ පුදුමයට හේතුවී තිබේ.  

 

 

තිස්ස ජයවර්ධන