මරණ දඬුවමට පාර පෙන්වූ යාළුවෝ


විඳින්නට දුන් ජීවිතය විඳවමින් සිටිත් නම් ඒ ජීවිතය කුමකටදැයි ඔබට සිතෙන්නේ අනපේක්ෂිත කරදර පීඩාවන්ට ගොදුරු වූ අවස්ථාවක නොවේද? එහෙත් වළක්වා ගත හැකි ඇතැම් ක්‍රියාවන් වළක්වා නොගෙන ජීවිතය අගාදයකට ඇද දමා ගැනීම තමා විසින් කළ කල්හි අවසන ඉතුරු වෙන්නේ පසුතැවිල්ල පමණක්ම නොවේද? වැලිකඩ බන්ධනාගාරයේ උසට නැගි තාප්පවලින් වටවූ මේ පසුතැවිල්ලට මුල් වූ ක්‍රිෂාන්ත තවත් එවැනි කතාවක් අද ඔබට කියාපායි. 


‘මම අකුරක්වත් ලියන්න කියවන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඉතිං කොහොමද නීතිය ගැන දන්නේ. මත්පැන්, නරක මිත්‍රයෝ ආශ්‍රය කළ පවට අද මං ජීවිතයෙන් වන්දි ගෙවනවා. හිරගෙදරට ආවාට පස්සේ තමයි මම පත්තරයක් හරි කියවන්න ඉගෙන ගත්තේ. දැන් මෙහේ ඉන්න ගුරුවරු හොඳ නරක මොනවද කියලා තේරුම් බේරුම් කරලා දෙනවා. එද‌ා මට ඒ දේවල් කියලා දෙන්න කවුරු හරි හිටියා නම් අද මම මේ මහ උළුගෙදර දුක් විඳින්නේ නැහැ.’ 


මා ඔහු නමින් ක්‍රිෂාන්ත ලෙසින් හඳුන්වමි. නාත්තණ්ඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහු ඉකුත් වසරේ සැප්තැම්බර් මස (2017.09.27) 27 වැනිද‌ා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එන්නේ මරණීය දණ්ඩනය නියම වෙමිනි. පිහියෙන් ඇණ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ වරදට අධිකරණය මගින් මොහු වරදකරු කොට මරණීය දණ්ඩනය නියම කරනු ලබන්නේ 2010 වර්ෂයේ අගෝස්තු 08 වැනි දින සිද්ධියක් හේතුවෙනි. 


ඒ වෙන විට ක්‍රිෂාන්ත තිස්හත් වැනි වියේ පසුවූ තරුණයෙකි. ආදරයට සීමා මායිම් තිබේදැයි නොදත් ඔහු අනෝමා සමඟ පෙමින් වෙළෙන්නේ ඇය දරුවකුගේ මවක් වූ බව හෝ අමතක කර දමමිනි. පවුලේ ආරවුලක් හේතුවෙන් අනෝමා ඇගේ සැමියාගෙන් වෙන්ව දියණිය හද‌ාවඩා ගෙන ඉතාමත් දුක්ඛිත ජීවිතයක් ගතකරන බව ක්‍රිෂාන්ත දැනගෙන සිටියේය. අනුකම්පාව ආදරයකට පෙරළී එය විවාහයෙන් කෙළවර කර දැමීමට ක්‍රිෂාන්ත පෙළඹුණේ ඒ ආදරයේ නාමයෙනි. ක්‍රිෂාන්ත ගමේ කා අතරත් ඉතාමත් ජනප්‍රිය චරිතයක් විය. ඒ ඔහුගේ රැකියාව හේතුවෙනි. ගමේ පොල්ගස්වල ඵලද‌ාව පොල් ගසින් බිමට වැටෙන්නේ ක්‍රිෂාන්තගේ දෑතෙනි. ‘පොල් ක්‍රිෂා’ යනුවෙන් ගමේ ඇත්තන් ඔහු ඇමතුවේ ඒ නිසාමය. 


‘දරුවයි නෝනයි ජීවත් කරවන්න මගේ රස්සාව හොඳටම සෑහුණා. උදේ ඉඳලා පොල්ගස් දහයකට විතර නැගලා පොල් කඩනවා. හවස් වෙද්දි ඇඟපතට අමාරුයි. ඒ අමාරුකම් ඇරෙන්න පොඩි අඩියක් ගහන්න මං පුරුදු වෙලා හිටියා.’ 


එතරම්ම උස මහත ශරීරයක් හිමි නොවූ ක්‍රිෂාන්ත බැලූ බැල්මටම කළු හමකින් යුක්ත වුවත් ඔහුටම අනන්‍ය වූ සිනහවකින් මුව සරසාගෙන සිටිනායුරු නිතර දක්නට ලැබුණු දෙයකි. වැලිකඩ මහ උළුගෙදර ජීවිතයට තවමත් හුරුවෙමින් සිටින ඔහු තම ජීවිත කතාව මා ඉදිරියේ එකින් එක පෙළගස්වන්නට වූයේය. 


 අප කොතෙක් කීවද ජීවිතය යනු සුන්දර සිදුවීම්වලින්ම පමණක් සමන්විත වූවක් නොවන බව අපි හොඳින්ම දනිමු. ක්‍රිෂාන්ත ‘පොල් කඩන්නෙකු’ වුව ද ඔහුගේ ආද‌ායමෙන් කොටසක් බලෙන් පැහර ගැනීමට ඒ ගමේම තවත් පුද්ගලයෙකු නැගී සිටියේය. ඔහු ලසන්ත ලෙසින් හඳුන්වා දෙනු ලබන්නේ කතා පුවත නිරවුල්ව ඔබට ගෙන ආ යුතු බැවිනි. ගමේ හොඳම කකුලක් වූ එනම් ගමේ චණ්ඩියා වූයේ ලසන්තය. ඔහුගේ ව්‍යාපාරය වූයේ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය සහ අලෙවි කිරීම මෙන්ම බෙද‌ාහැරීමයි. එපමණින්ම සෑහීමකට ලක් නොවූ තැන ලසන්ත සූද‌ානම් වූයේ ගමේ අහිංසකයන්ගේ ආද‌ායම් ලැබෙන ක්‍රමයකින් කීයක් හෝ කප්පම් ලෙසින් ලබා ගැනීමය. එසේ නොදුනහොත් තම මැර බලය භාවිත කිරීමට ද ලසන්ත කිසිසේත් පසුබැස්සේ ද නැත. 


හැම සතියකම රුපියල් දෙදහක් ලසන්තට දෙන්න ඕනෑ. ඒ කප්පම නොදුන්නොත් මැරයොත් අරගෙන ඇවිල්ලා තර්ජනය කරනවා කපනවා කොටනවා කියලා. මේක මට වදයක් වෙලා තිබුණේ. බැරිම තැන මං එයාට අහුනොවෙන්න කට්ටි පැන පැන හිටියා. සති තුනක් විතර රුපියල් දෙදහ ගානේ මං දුන්නේ නෑ. එහෙම ඉද්දි තමයි මගේ යාළුවෙක් ඉතාලි ඉඳලා ලංකාවට ආවේ. එයා විස්කි බෝතලයක් ගෙනල්ලා තිබ්බා. එයාගේ ආරාධනයෙන් යාළුවෝ දහ දෙනෙක් විතර ගමේ එක තැනකට එකතු වුණා අඩියක් ගහන්න. 


 ආගිය තොරතුරු මතින් මිත්‍ර සමාගම සව්දිය පුරමින් සිටියේ කලෙකින් ලද විදේශීය මත්පැන් බෝතලයට මෙන්ම වි​දේශයෙන් පැමිණි මිත්‍රයාට ද වහ වැටෙමිනි. 


 ඒ වෙන විට හවස් යාමය පසුවෙමින් තිබිණි. හදිසියේම එතැනට කඩා පාත් වූයේ කවුරුත්ම අපේක්ෂා නොකළ චරිතයක් වූ ලසන්තය. 


‘ඇයි උඹලා අපිට හොරෙන් සෙට් වුණේ? ඇයි අපි ගමේ එවුන් නෙවෙයිද? උඹලා ලොකු ජාතියද? ඇයි අපිට කිව්වොත් උඹලගේ මොනවද අඩුවෙන්නේ?’ අසභ්‍ය වචන රැව් පිළිරැව් දෙද්දී මහ හඬින් කෑ මොරදුන් ලසන්ත ඇතුළු පිරිසගේ හැසිරීම හමුවේ මිත්‍ර සමාගම දැඩි අපහසුතාවට පත්වන්නට විය. කොතෙක් තොරතුරු කීව ද, මැර පිරිස් ඉන් නොනැවතී ගතු කියන්නට වූ අතර ලසන්තගේ කෝපයට තමා දැන් දැන් ගොදුරු වෙතැයි ක්‍රිෂාන්ත හොඳින්ම දැන සිටියේය. 


‘ආ... උඹත් ඉන්නවද? මට උඹවත් අල්ලගන්න තමයි ඕනෑකම තිබ්බේ? කෝ උඹ දැන් මාසෙකින් මට සම්තිං එක දුන්නේ නෑ. මොකද කියන්නේ?’ කෝපයෙන් වියරු වැටුණ ලසන්ත ක්‍රිෂාන්තගේ ඇඟට කඩා පැන්නේය. ඔවුන් දෙදෙනා අතරට මිතුරන් ද පැන්නේ අනතුරක් වළක්වා ගැනීමේ අටියෙනි. එහෙත් දැඩි කෝපයෙන් සිටි ලසන්ත ඔහුගේ ඉනේ සඟවා ගෙන සිටි කඩුවක් බඳු පිහිය එළියට ඇද ගත්තේ ක්‍රිෂාන්තට ඇනීමේ පරමාර්ථයෙන් බව එතැන සිටි අයට තේරුම් යාමට එතරම් වෙලාවක් ගත නොවිණි. ඒ මොහොත වෙන විටත් ලසන්ත ද තදින්ම බීමතින් සිටි අතර මේ ලේ හැලීම නතර කර ගැනීමට එතැන සිටි පිරිස මහත් උත්සාහයක් ගත්හ. 


ලසන්ත එතැනට ආවාට එතැන හිටිය කවුරුවත්ම කැමැති වුණේ නෑ. එයා ආපු ගමන්ම කළේ අපි බිබී හිටපු විස්කි බෝතලේ අරගෙන කටේ තියාගෙන බීගෙන බීගෙන ගිය එක. ඊට පස්සේ තමයි මගේ ඇඟට පැන්නේ මට කොටන්න. එයාගේ ඉනේ හැම තිස්සේම කඩුවක් තිබ්බා. එයා නැගිටලා ඇවිත් මට කොටන්න ගියා. මම එයාගේ අතින් කඩුව අරගෙන එයාට පාරවල් දෙකක් කෙටුවා. ඊට පස්සේ මම කඩුව එතැන ද‌ාලා දිව්වා. මම හිතුවේ නෑ එයා මැරෙයි කියලා.’ 


ගමේ චණ්ඩියාට කඩුවකින් කෙටූ ක්‍රිෂාන්ත කෙලින්ම දිව ගියේ තම මිතුරෙකුගේ නිවසක් වෙතය. අනතුරුව එම ප්‍රදේශයෙන් ද පලා යෑමට ඔහු තීරණය කළේ තමන් අතින් පහර කෑ පුද්ගලයා අනිවාර්යයෙන්ම තමාගෙන් පලි ගනිතියි යන බියෙනි. එහෙත් සිදුවී ඇත්තේ වෙනකකි. මියගිය පුද්ගලයාට දරුණු පිහිපාරවල් 18 ත් 20 ත් අතර ප්‍රමාණයක් වැදීමෙන් මියගොස් ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වාර්තාවෙන් ඉදිරිපත් කර තිබිණි. 


‘මම හිතුවේ නෑ මට යාළුවෝ මෙහෙම කරයි කියලා. මම කිසිම දැනුමක් ඇති කෙනෙක් නෙමෙයි. මගෙත් එක්ක එතැන බිව්වේ ඔක්කොම උගත් කට්ටිය. අන්තිමට ලෝයර් මහත්තයා කියපු විදිහට මම වරද භාරගත්තා. ඇත්ත මම පාරවල් දෙකක් කෙටුවා. ඒත් මං හිතුවේ නෑ මට මරණීය දණ්ඩනය නියම වෙයි කියලා. පස්සේ තමයි මම දැනගත්තේ මගේ ළඟ හිටපු අනිත් අය මාව මේකට පටලවලා කියලා. මම ලසන්තට කෙටුව තැන ඉඳලා මීටර් 100 ක් විතර එහායින් තමයි කඩුව වැටිලා තිබුණේ. මම එතැන නෙමෙයි කඩුව ද‌ාලා දිව්වේ. පස්සේ මට තේරුණා. නරක ආශ්‍රය මත්පැන් අද මගේ ජීවිතය බිත්ති හතරකට කොටු කළා. 


ක්‍රිෂාන්ත දැඩි වේදනාවකින් කීවේය. ඒ මොහොතේ දී ඔහුගේ දෙනෙතින් රූරා වැටුණු කඳුළු කිව්වේ ඔහුගේ නිර්දෝෂි භාවය ද නැතහොත් පසුතැවිල්ල ද යන්න තේරුම් ගැනීමට මට වුවමනා නොවිණි. 


දැන් මම හිරගෙදර දහම් පාසල් යනවා. දැන් මට අකුරු ලියන්න කියවන්න පුළුවන්. මම ඉස්කෝලේ ගියේ තුන වසරට විතරයි. අද මේ හිරගෙදර ගුරුවරු අපිට උගන්වනවා. කරන්න ඕනෑ දේ මොනවද එපා දේ මොනවාද කියලා. ඒත් මගේ ජීවිතේ ඉවරයි. මගේ නෝනා ගෙවල්වල වැඩකාරකම් කරලා තමයි දුවව ආරක්ෂා කරන්නේ. මෙහෙම දෙයක් වුණාම මුළු පවුලම කඩා වැටෙනවා. අපි ජීවත් වෙද්දි තේරුම් ගන්න ඕනෑ දේ ඒකයි. මට දෙන්න පුළුවන් එකම අවවාදය තමයි නරක මිත්‍රයෝ ආශ්‍රය කරන්න එපා. අන්තිමට ඉතුරු වෙන්නේ තමන්ගේ කියන එක්කෙනෙක් දෙන්නෙක් විතරයි. 


සැබැවින්ම ඔහුගේ කතාන්දරය ඔබටත් මටත් ගෙනෙන්නේ ප්‍රබල පණිවිඩයකි. නිසි අධ්‍යාපනයක් නොලදත් සමාජයේ හැසිරිය යුතු ආකාරය උගෙන ගැනීමට පාසල් අධ්‍යාපනයම අවශ්‍ය වන්නේද? එහෙත් ඒ සමාජ තලයම කෙනෙකුගේ ජීවිතය අගාදයට ඇද දමන්නේ නම්? අද ඔහු මුළු මහත් සමාජයටම වෛරකරන්නකු බවට පත්වී ඇත. කෙසේ වෙතත් ‘මං අද අකුරක් හරි ඉගෙන ගන්නවා.’ මරණයට නියම වූ ඔහු කුමන හෝ අභිලාෂයකින් එසේ කියයි. සිතන්නට යමක් ඔබට ඉතිරි කරමි. 


(මෙහි එන සියලු නම් ගම් මනඃකල්පිතයි) 


විශේෂ ස්තූතිය 


බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන්ත ධනසිංහ, ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරි ටී.අයි. උඩුවර, ප්‍රධාන ජේලර් ප්‍රසාද් ප්‍රේමතිලක, පුනරුත්ථාපන අංශය භාර ජ්‍යෙෂ්ඨ නිලධාරි පියසිරි වටගොඩ යන මහත්වරුන්ට. 

 

 

නිමන්ති රණසිංහ