මත්කුඩු අල්ලන මෙහෙයුමට එක්වෙන ගුවන් හමුදා නිල සුනඛයෝ


අලුතෙන් ගෙන ආ නිල සුනඛයෝ 

 

තිරිසන් සතුන් අතරින් සුනඛයා මිනිස් ශිෂ්ටාචාරය පුරාම මිනිසාගේ සමීපතමයකු ලෙස කටයුතු කරයි. විශේෂයෙන්ම මිනිසුන් තුළ පවා නැති පුදුමාකාර ගති පැවතුම්වලින් මේ සත්වයා පොහොසත්ය. නිවෙස් තුළ සුරතලයට ඇති කරන සුනඛයන්ට අමතරව රටේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශවලට සහාය දක්වන උසස් සුනඛ විශේෂ ශ්‍රී ලංකා පොලිසිය හා ගුවන් හමුදාව සතුය. යුදමය වාතාවරණය හමුවේ පවා රටේ ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී කාර්ය භාරයක් ඉටුකළ ගුවන් හමුදා සුනඛ ඒකකය වර්තමානයේ රටේ මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කිරීමෙහිලා ඒවා සොයා ගැනීමේ මෙහෙයුම්වල සැලකිය යුතු වගකීමක් දරයි.  
එම ඒකකයේ වත්මන් අණදෙන නිලධාරියා වින්ග් කමාන්ඩර් නිරෝෂන් කුමාරසිංහයි. ඒ මහතා මේ වනවිට ගුවන් හමුදාවේ වසර 22ක සේවා කාලයක් සැපිරූ නිලධාරියෙකි. මුලින්ම ගුවන් හමුදාවේ ගොඩබිම් ආරක්ෂක අංශයේ රාජකාරිවල නියැළෙන ඔහු 2014 දී වවුනියා ගුවන් හමුදා කඳවුරේ රෙජිමේන්තු අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළේය. ඉන් අනතුරුව වසර 4ක් ගුවන් හමුදා බෝම්බ නිශ්ක්‍රීය පුහුණු පාසලේ අණදෙන නිලධාරියා බවට පත්වූයේය. 2019 ඔක්තෝබර් මාසයේ සිට ගුවන් හමුදා සුනඛ ඒකකයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන වින්ග් කමාන්ඩර් නිරෝෂන් කුමාරසිංහ එම ඒකකයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව මෙලෙස අප හමුවේ කරුණු පෙළ ගැස්වීය.  


“මෙම සුනඛ ඒකකය ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියනවා. මුලින්ම රාජකීය ගුවන් හමුදාව යටතේ පැවැති කාලයේ එනම් 1972 අගෝස්තු 23 ගුවන් හමුදා පොලිසිය හා අනුයුක්තව මෙම ඒකකය ආරම්භ කළා. ගුවන් හමුදා පොලිසිය සතුව සිටි සුනඛයන් දෙදෙනකුගෙන් මේ ඒකකය මුලින්ම සක්‍රිය වුණා. ඒ අතර කාලයේ 1978 ජුනි 16 වැනිදා ෆ්ලයිට් ලුතිනන් සහබන්දු නම් නිලධාරිතුමාගේ අණ යටතේ බලපන්ති සැරයන් එදිරිසිංහ සමග සුනඛ පාලකයින් හය දෙනෙකුගේ සහායෙන් හා සුනඛයන් පස් දෙනෙකුගෙන් යුතුව මෙය විධිමත්ව ස්ථාපිත වුණා. මෙම ඒකකයේ සුනඛයින්ට පැවැරුණු මූලික වගකීම තමයි ගුවන් හමුදා කඳවුරේ යානා ඇතුළු වටිනා දේපල ආරක්ෂා කිරීම. ඊට අමතරව පුපුරණ ද්‍රව්‍ය ගැන සෝදිසි කිරීමත් මේ සුනඛයන්ට පැවරුණා.  
ඉන් පස්සෙ 1982 ජුලි 13 වැනිදා ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් දසනායක යටතේ බලපන්ති සැරයන් සමරක්කොඩිගේ සහභාගිත්වයෙන් මේ ඒකකයේ රාජකාරි අඛණ්ඩව සිදුවුණා. 1985 දෙසැම්බර් 16 වැනිදා එංගලන්තයෙන් සුනඛයන් 12 දෙනකු හා සුනඛ උපදේශකයන් දෙදෙනකු මෙම ඒකකයට ගෙන්වූවා. එම උපදේශකයන් යටතේ මෙම සුනඛයින් පුහුණු කිරීමේ කටයුතු විධිමත්ව සිදු කෙරුණා. පුපුරණ ද්‍රව්‍ය සෙවීම හා ආරක්ෂක රාජකාරි සම්බන්ධයෙන් මෙම සුනඛයින් පුහුණුව ලැබුවා.   


ඉන් අනතුරුව ත්‍රස්තවාදී කලබල තිබුණු සමයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හා නිදහස් වෙළෙඳ කලාපයට ඇතුළු වීමේ පර්යන්තවල හා දොරටුවල පුපුරණ ද්‍රව්‍ය සෙවීමේ හා ආරක්ෂක කටයුතු වෙනුවෙන් මේ සුනඛයින් යෙදෙව්වා. මේ කටයුතු අතරේ 1998 දී සුනඛයන් 17 දෙනකු නැවත එංගලන්තයෙන් මෙරටට ගෙන්වුවා. 2006 වසරේ නැවතත් ජර්මනියෙන් සුනඛයන් 12 දෙනෙක් ලංකාවට ගෙනාවා. ඒ ආකාරයෙන් මේ ඒකකය අඛණ්ඩව ව්‍යාප්ත වුණා. මුලින්ම විධායක කෘෂි ඒකකය යටතේ මෙය ක්‍රියාත්මක වුණා.  


2012 මාර්තු 15 වැනිදායින් පසුව විධායක කෘෂි ඒකකයෙන් වෙන් වෙලා අංක 48 වැනි රෙජිමේන්තු පක්ෂාංගය යටතේ මෙම සුනඛ ඒකකය වෙනස්ම ගමන් මගකට අවතීර්ණ වුණා. එවකට අණදෙන නිලධාරියා වුණේ වින්ග් කමාන්ඩර් වී.පී.ඩී. පියසිරි නිලධාරියායි. ඉන් අනතුරුව 2013 ජුලි 16 වැනිදා නිදහස් ඒකකයක් ලෙස ඉහත කී පක්ෂාංගයෙන් වෙන්වී ගුවන් සුනඛ ඒකකයක් ලෙස ස්ථාපිත වුණා. එහි අණදෙන නිලධාරියා වුණේ පී. එච්. පින්නගොඩයි. එදා සිට මෙම ඒකකය පුළුල් වෙමින් පැමිණිලා 2013 දී නෙදර්ලන්තයෙන් නැවත සුනඛයින් 10 දෙනෙකු මෙම ඒකකයට අලුතින් ගෙනාවා. එම නිලධාරියාගෙන් පසුව 2019 ඔක්තෝබර් මාසයේ මා මෙම ඒකකය එහි අණදෙන නිලධාරියා ලෙස බාර ගත්තා. මේ වකවානුවේ නෙදර්ලන්තයෙන් නැවත 2020 පෙබරවාරි 18 වැනිදා සුනඛයන් 20 දෙනෙකු ගෙනාවා. මේ වනවිටත් අපි ඒ සුනඛයන් පුහුණුකර ඔවුන්ගේ විසිර යාමේ පෙළපාළියට සූදානම් වෙමින් ඉන්නවා. දැනට මේ වනවිට විදේශයන්ගෙන් ගෙන්වූ සහ මෙරට සුනඛයන් 145ක් සහ ඔවුන් හැසිරවීමට හා බලගැනීමට නිලධාරින් 172ක් මේ ඒකකය සතුව සිටිනවා.  
මීට අමතරව මේ සුනඛයන් මේ වනවිට ගුවන් හමුදා කඳවුරු 14 කට අනුයුක්ත කර තිබෙනවා. කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ, මත්තල ගුවන් තොටුපොළ, කොළඹ කඳවුර, රත්මලාන, කොග්ගල, වීරවිල, දියතලාව, වව්නියාව, චීනවරාය, පලාලි, හිඟුරක්ගොඩ හා දිගන යන කඳවුරුවලත් මෙම සුනඛයන් යොදවා තිබෙනවා. දිගන කඳවුරේ ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙනුත් මෙම සුනඛයන් සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කරනවා.   


මෙම සුනඛයින්ට පැවරෙන ප්‍රධාන රාජකාරි කීපයක් තිබෙනවා. ප්‍රභූ ආරක්ෂක කටයුතු, ගුවන් යානා ආරක්ෂාව හා අධි ආරක්ෂක කලාපීය රාජකාරි, ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් ආරක්ෂා කිරීමේ කටයුතු පුපුරණ ද්‍රව්‍ය සෙවීමේ රාජකාරි අන්තරායකාරක මත්ද්‍රව්‍ය සෙවීමේ රාජකාරි, කඳවුරු ආරක්ෂිත රාජකාරි, ආපදා අවස්ථාවලදී රාජකාරි, සොරුන් පසුපස හඹා යෑමේ රාජාකාරි සහ ගුවන් හමුදා සංදර්ශන සඳහා සහභාගිවීම මූලික වගකීම්ය.  


මීට අමතරව රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වෙන සියලු කටයුතු වෙනුවෙන් මොවුන්ගේ දායකත්වය ලබා දෙනවා. එසේම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ඕනෑම අවශ්‍යතාවක් වෙනුවෙන් ඉල්ලීමක් කළොත් මෙම සුනඛයන් ලබාදීමටත් අපි කටයුතු කරනවා. ඒ වගේම ලෝක ළමා දිනය වගේ ළමා සැමරුම් උත්සවවලටත් විශේෂ උත්සවවලදීත් ගුවන් හමුදා මූලස්ථානයේ අනුමැතිය ඇතිව මේ සුනඛයන් ලබා දෙනවා.  
මේ සුනඛයන්ගේ ආහාරපාන ලබාදීමත් ඉතාම වැදගත් කටයුත්තක්. දේශීය සැපයුම්කරුවන් හරහා ටෙන්ඩර් පටිපාටිය යටතේ විදේශ රටවල නිෂ්පාදිත සුනඛයන් වෙනුවෙන්ම සැකසූ ආහාර වර්ග අපි ලබාදෙනවා. සාමාන්‍යයෙන් වැඩිහිටි සුනඛයෙකුට දිනකට ග්‍රෑම් 550ක් වගේ ප්‍රමාණයක් සහ සතුන්ගේබර අනුව කිලෝ 10-20 දක්වා වන පැටවුන්ට ග්‍රෑම් 370ක් වැනි ප්‍රමාණයක් ලබාදෙනවා. 

 
යුදමය රාජකාරිවලට පවා මේ සතුන් යොදා ගන්නා නිසා ප්‍රෝටීන් හා කායික ශක්තිය ඒ අයුරින්ම පවත්වාගෙන යාමට අවශ්‍ය ආහාර පශු වෛද්‍යවරුන්ගේ උපදෙස් මත ලබාදීමට කටයුතු කරනවා. සාමාන්‍යයෙන් උදේ 10.30ට හා සවස 6.30ට දවසේ කෑම වේල් දෙක අපි ලබා දෙනවා.  
ගුවන් සුනඛ ඒකකය කොටස් තුනක් යටතේ ක්‍රියාත්මක වෙනවා. සීතල දේශගුණික තත්ත්වයන් යටතේ කෙරෙන පැටව් බෝ කිරීමේ කටයුතු දියතලාව කඳවුරේ සිදු කෙරෙනවා. සුනඛ පුහුණු කිරීම් හා මෙහෙයුම් කටයුතු කටුනායක ගුවන් හමුදා සුනඛ ඒකකය මගින් කෙරෙනවා. ඊට අමතරව වින්ග් කමාන්ඩර් පී.එස්. ජයතිලක යටතේ පශූ වෛද්‍ය සේවා කටයුතු සිද්ධ වෙනවා. අපිට පාලනය කළ නොහැකි දෙයක් තිබුණොත් කොළඹ පශු වෛද්‍ය රෝහලට යොමු කෙරෙනවා. නැතිනම් වෛද්‍ය උපදෙස් මත පේරාදෙණිය පශු වෛද්‍ය රෝහලටත් යොමු කෙරෙනවා.  

 


පුහුණුවීම් සහ මෙහෙයුම් යන කොටස් දෙකක් මෙම ඒකකයේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වෙනවා. මෙහෙයුම් බාරව බළඝන නායක ශ්‍රී ලාල් සහ මෙහෙයුම් බාරව බළපන්ති ලුතිනන් කසුන් විතානත් සුනඛ ඒකකයේ සියලු කටයුතු භාරව බළලත් නිලධාරි, ඒකක බළපන්ති නිලධාරි ලෙස එම්.එස්. රණසිංහ යන නිලධාරීන් කටයුතු කරනවා.   


විශේෂයෙන්ම වසරකට සුනඛයන් වෙනුවෙන් පාඨමාලා දෙකක් සිදු කෙරෙනවා. මූලික ගුවන් සුනඛ පුහුණු පාඨමාලාව මාස හතරකුත්, උසස් ගුවන් සුනඛ පුහුණු පාඨමාලාවන් මාස හතරක කාලයක් ලෙස පැවැත්වෙනවා. ඊට අමතරව පුපුරන ද්‍රව්‍ය සෙවීම පුහුණු කිරීමේ පාඨමාලාව මාස තුනකුත් මත්ද්‍රව්‍ය සෙවීම පුහුණු කිරීම මාස හතරක් හා මුදවා ගැනීමේ සුනඛ පුහුණු පාඨමාලාව මාස දෙකහමාරක් තුනක්, සුනඛයාට හා පාලකයාට නැවත මතක් කරදීමේ පාඨමාලා සති දෙකක් වගේ සිදු කරනවා.  


අවසන් වශයෙන් ගෙනා සුනඛයන් ඇතුළුව සාමාන්‍යයෙන් සුනඛයකුගේ වටිනාකම ආසන්න වශයෙන් ලක්ෂ 15ක් පමණ වෙනවා. විශේෂයෙන්ම යුදමය වකවානුවේ මේ අය සුවිශේෂී කාර්ය භාරයක් ඉටුකළා. පසුව යම් සහනයක් ලැබුණත් ඒ කාලය තුළ සුනඛයන් පුහුණු කිරීම වෙනුවෙන් අපි කැප වුණා. රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්නත් රාජකාරි සඳහා මේ සුනඛයන් යෙදෙව්වා. පුද්ගලික අංශයටත්, රාජ්‍ය අංශයටත් ඒ කටයුතු වෙනුවෙන් සමානව මේ අයගේ දායකත්වය දුන්නා. ඕනෑම පොදු ස්ථානයක් ආරක්ෂා කරන්න සහාය වුණා. මේ වකවානුවේදීත් මත්තල හා කටුනායක ගුවන් තොටුපොළේ ආරක්ෂිත රාජකාරි සඳහා දායක වෙනවා.  


අවසන් වශයෙන් ගෙනා සුනඛයන් 20 දෙනාගෙන් 12 දෙනෙක් පුපුරන ද්‍රව්‍ය සෙවීමටත් 8 දෙනෙක් මත්ද්‍රව්‍ය සෙවීම වෙනුවෙන් අපි පුහුණු කළා. මේ පුහුණු කිරීම් සඳහා ශ්‍රී ලංකා පොලිසිය සුවිශේෂී සහායක් දුන්නා. අන්තරායකාර ඖෂධ පාලක මධ්‍යස්ථානයේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය අපට ලබා දුන් සහායත් කෘතගුණ පූර්වකව සඳහන් කළ යුතුයි. මහනුවර පොලිස් පුහුණු ඒකකය මගින් විශේෂ සහයක් ලබා දුන්නා. මීට අමතරව සුනඛයන් හැසිරවීමේ නිලධාරීනුත් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා.  


මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් මේ දිනවල කෙරෙන පුහුණුව අවසානයේ අපි මේ සුනඛයන් මත්තල හා කටුනායක ගුවන් තොටුපොළවල්වල මත්ද්‍රව්‍ය සෙවීමේ කටයුතු වෙනුවෙන් මේ සුනඛයන් යොදවනවා. මීට අමතරව පුපුරන ද්‍රව්‍ය සෙවීමටත්, ගුවන් තොටුපොළ මගීන්ගේ බෑග්වල රැගෙන යන තහනම් ද්‍රව්‍ය සෙවීමටත් මේ සුනඛයන්ගේ සහාය අපට හොඳින් ලැබුණා.   


ඉදිරියේ දී වරායේ වැඩ කටයුතුවලටත් පොලිසිය හා ත්‍රිවිධ හමුදාවලට සහාය ලබාදෙමින් රටේ ජාතික ආරක්ෂාවට දායකවීමටත් මේ සුනඛයන් යොදවනවා. එසේම එළිමහනේ සිදුවෙන ඕනෑම සෝදිසි මෙහෙයුමකට මේ අයගේ සේවය ලබා දෙනවා.

  
සාමාන්‍යයෙන් මේ සුනඛයකුගේ ආයු කාලය අවුරුදු 10-12 අතර වෙනවා. නිවසේ ඇති කරන සුනඛයෙක් වසර 14 ක් පමණ ජීවත් වුණත් මේ සුනඛයෙක් ඉහත සඳහන් කළ අවුරුදු ප්‍රමාණයක් ජීවත් වෙනවා. මේ සුනඛයන්ගේ හොඳම වර්ග අපට ලැබුණේ රුසියාවා, නෙදර්ලන්තය හා ජර්මනිය වැනි සීත රටවලින්. ලංකාවට ගේද්දිත් ඒ අය ඒ රටවල මාස හයක් විතර ජීවත්වෙලා. මෙහාට ගෙනාවට පස්සෙ දියතලාවේ සීතල පරිසරයේ වසරක් පමණ තියලා පුහුණුවීම් කරලා කොළඹ ගේන්නෙ. නමුත් සුනඛයාගේ ක්‍රියාකාරකම්වල අඩුවක් සිදුවෙන්නෙ නෑ. ඔවුන් හොඳින් අපේ රටට අනුවර්තනය වෙලා ඉන්නවා. මේ සියල්ලන්ටම ගුවන් සුනඛ ඒකකයේ වෛද්‍යවරු ප්‍රතිකාර ලබාදෙනවා.  


මෙහෙයුම්වල දී මේ අය සුළු සුළු අනතුරුවලට ලක්වූ අවස්ථාත් තියෙනවා. සමහර වෙලාවට ඉව පසුපස යද්දී සමහර දේවල් සුනඛයාට හානිදායක වූ තැන් තිබෙනවා. සමහර දේවල් ලෙව කෑවම මාරාන්තික අනතුරු පවා සිදුවුණා. එසේත් නැත්නම් මෙහෙයුමකට සහභාගි වෙද්දි වාහනයෙන් කලබලයෙන් පනිද්දි ඔවුන්ගේ කකුල් තුවාල වූ අවස්ථා තිබෙනවා.  


ලංකාව තුළ පැවතුණු සුනඛ සංදර්ශනවල දී මොවුන් විශාල පදක්කම් ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. විදේශ රටවලින් පවා සුනඛ සංදර්ශනවලට සුනඛයන් පැමිණෙනවා.   


මේ අයගේ සාමාන්‍ය දින චරියාව ඇර​ඹෙන්නේ පාන්දර 5.30 ඉඳන්. අපි මේ අයගේ කූඩු පිරිසු කරලා ඉවර වෙනවා 8.00 පමණ වනවිට. ඉන්පස්සෙ ගුවන් සුනඛයා හා පාලකයා එක්ව හමුදාවේ ක්‍රමයට අනුව පෙළපාළියක් පවත්වනවා. 8.30-10.30 අතරේ ඒ ඒ සුනඛයන්ට ආවේනික වූ ආකාරයට පුහුණුවීම් කරනවා. යුදමය කටයුතුවලට හා ප්‍රදර්ශනාත්මක කටයුතු වශයෙන් වෙන් වෙන්ව ඒ ඒ සුනඛයන් වර්ගීකරණයක් කර පුහුණුව ලබාදෙනවා. 10.30ට අපි මොවුන්ට ආහාර ලබාදෙනවා. 11.00 වනවිට මේ සුනඛයන් පිරිසුදු කරනවා. ඉන්පස්සෙ විවේකයක් ලබාදී නැවත 3.30-4.00 වෙනවිට පුහුණුවීම් සහ මොවුන් නිදහසේ ඇවිදවීම සිදු කරනවා. 6.00-6.30 වෙනවිට ඔවුන්ගේ රාත්‍රී ආහාර වේල ලබාදෙනවා. සමහරු නිදාගන්නා අතරේ. රාත්‍රී රාජකාරිවල නිරත වන සුනඛයන් ඒ ඒ රාජකාරිවල යොදවනවා. ගුවන් තොටුපලවල හා ගුවන් යානා ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් යොදවනවා. මේ හැම සුනඛයෙකුටම සේවා අංකයක් ලැබෙනවා. ඒ වගේම මේ අය කිසිදු දවසක විකිණීමක් කරන්නෙ නෑ. මේ අයගේ සේවය අවසන් වූ පසුවත් ඔවුන්ට ගෞරවාන්විතව සළකලා මිය යන තුරුම ආදරෙන් රැක බලා ගන්නවා. මියගිය පසු මේ සුනඛයන්ට මරණ පරීක්ෂණයක් පවත්වා ඒ සියල්ල ගුවන් හමුදා මූලස්ථානයට හා මෙහෙයුම් අධ්‍යක්ෂකට ලිඛිතව දන්වනවා. ඉන්පස්සෙ ගුවන් හමුදාවේ වත්කම්වලින් ඒ සුනඛයා ඉවත් කරනවා. අවසන් කටයුතු ගෞරවාන්විතව සිදු කරනවා. මේ සියලු කටයුතු සිදුවෙන්නේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ හා මෙහෙයුම් භූමි අධ්‍යක්ෂක නිලධාරි එයාර් වයිස් මාර්ෂල් සී.බී. ලැබිරෝයි යන මහත්වරුන්ගේ පූර්ණ උපදෙස් හා අධීක්ෂණය මතයි.

 

 

සටහන - දුෂ්‍යන්තw කුමාර