මංගල භෝජනයට වස දැමූ එතන හාමිට අත් වූ ඉරණම


ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් වැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   


කිතුල්ගල දික්හේන එච්. ජී. ගුණපාල මහතා ලියා එවූ කතාවකි.   

සත්ව ඝාතක සේතංට වස පෙවුණ හැටි   


මෙයට අවුරුදු හතළිහකට පමණ පෙර පිටිසර ගොවි ගම්මානයක උපත ලද ඔහු නමින් සේතංය. හැඩි දැඩි මිනිසෙකු වූ ඔහුට දික් සේතං යන නම ද ප්‍රචලිතව තිබුණේ ඔහු උසින් වැඩි අයෙකු වූ බැවිනි. අවිවාහකව කල් ගෙවූ මොහු දෙමව්පියන් සිටි මහ ගෙදරම පදිංචිවූයේ කිසිවෙකු නොසිටි නිසාවෙන්ය. හතර වටින්ම වනාන්තරයෙන් වටව තිබූ මෙම ගමේ වැඩි දෙනෙක් හේන් ගොවිතැන කිතුල් මල් කැපීම සිය ජීවන උපාය මාර්ගයක් ලෙස කරමින් කාලය ගත කළහ.   


සේතං ද කිතුල් මල් කැපීම ද විටින්විට හොර සුරා පෙරා විකිණීමද ඒ සමගම සතුන් දඩයම් කිරීමද මුල් තැනක තබමින් කටයුතු කළේය. නිරත්තරයෙන්ම වන සතුන් බහුලවම සිටි මෙම ප්‍රදේශ​ෙය් සේතං තම ඉලක්කය සපුරා තිබුණේ සෑම දිනයකම වගේය. අසල් වැසි ගොවියන්ගේ ගොවිබිම්වලට එන සතුන්ගේ මංකඩවලට බඳින බෙහෙත් කොටන තුවක්කු බැඳීමද උගුල් හබක් ඇටවීමද කරමින් ගොවීන්ට සහය දැක්වූයේ ඔහුගේ අත මිට ද එයින් සරුවෙන නිසාවෙන්ය.   


එවකට නීති මගින් බෙහෙත් කොටන තුවක්කු පරිහරණයට විරුද්ධව කටයුතු නොකෙරුනේ ගැමි ජනතාව ගොවිපළවලින් ලැබෙන දෙයින් සිය දෛනික කටයුතු සපුරා ගත් නිසාය. දුර බැහැර මෙම ගම් පිහිටියේ අඩිපාරවලින් සැතපුම් ගණන් දුර ගෙවන මාර්ගවලින් යුතුවය. බෙහෙත් කොටන තුවක්කු සහ බඳින කඳන් ප්‍රමාණයක් ද සේතං සතුව පැවතිණි. වෙඩි බෙහෙත් ගෙන්දගම් ආදී කළමනාදී ගෙන යන අඩුම කුඩුම මල්ලෙහි නිතරම හිඟයකින් තොරව තිබිණි.   


විටෙක තනිවම රාත්‍රී කාලයේද වනාන්තරයට පිවිස දඩයම් කිරීමටත් සතුන් වනාන්තරය තුළදීම මස් කර ගමට ගෙන ඒමටත් සැකක් බියක් නොදත් මොහුට ඉතිරි වැඩවලට සහය වීමට ගෝල බාලයන් පිරිසක් ද වූහ. ඔවුන් ඉවසී​ෙමන් යුතු වූයේ එයින් ඔවුන්ටද ලැබෙන ලාභ ප්‍රයෝජනයන් අඩු නොවන නිසාමය.   


කිතුල් රා වඩියකින් ද හොරා සුරා බෝතල් ගණනකින් ද සප්පායම ලැබෙන අතරම දඩමස් කොටසක් ද මේ පිරිසට වෙන් කෙරේ. වල් ඌරන්, වැලි මුවන්, ඉත්තෑවන්, වඳුරු, රිළා ආදී සතුන් ද මොහුගේ ඉලක්කයට හසු නොවන්නේ නම් එය කලාතුරකින් පමණි. අවට ගම්වලට ද විකිණෙන සේතංගේ දඩමස් පරිභෝජකයින් ද ගණනින් විශාලයි.   


විටෙක මෙම ගිනිඅවි භාවිත කරන සේතංට ද අනතුරු ඇඟැවීම් අතර අනතුරු ද සිදු නොවුණාම නොවේ. එක් වරක තුවක්කුවක බේත් කොටා පදම් කරන අතර තුර ගිනි ගැනීමෙන් ඔහුගේ මුහුණත් හිසත් පිළිස්සීමෙන් තුවාල ලබා මාස ගණනාවක්ම රහසේ කැලයේ ගස් පොතු කොළ උපයෝගී කර ගනිමින් බෙහෙත් ගල්වා සුවපත් කර ගත් අතර තවත් වරෙක දෑතම පිළිස්සීමෙන් පමණක් තුවාල සිදු වුවත් වෙඩි නොවැදී තිබුණේ නූලෙන් වගේය. එමෙන්ම මේ අතර වාරයෙහි වනාන්තරයෙහි අටවා තිබූ බඳින කඳන් මරු වැල පෑගි එක් අයෙකුගේ පාදයකට ද තුවාල සිදු වී මාස ගණනක් ප්‍රතිකාර ලබා සුව වී නැවත ගමට පැමිණ සිටි නමුදු එය සේතංගේ නමට බැර වූයේ ද නැත. ඒ සාක්ෂි හෝ සාධකයක් නොමැති නිසාත් ඔහුට තිබූ හිතවත්කම නිසාත්ය.   


වනය තුළ ඔහු නොදත් ඉසව්වක් ඇලක් දොළක් කන්දක් තැනිතලාවක් පමණක්ම නොව ගහක් කොළක් ද නැති තරම්ය. ඒ තරමටම වසර ගණනාවක් ඒ තුළ කරක් ගසා දඩයමේ ගිය නිසාය. ඔය ගම අසබඩ කැලෑමණ්ඩිය අතර තැනෙක හොර මත් පැන් පෙරා සඟවා තබන ස්ථානයන් ද විටකදී සේතංගේ නෙත ගැටෙන වේලාවන් ඇත. සමහර විටෙක එම බූලියකින් හීන් අඩියක් ගසන්නේත් ඔහු විසින් දඩයමේ යන ගමන්ය.   


මොහු මැදි වියට සමීපව සිටියේය. කැලයේ දිනයක උදේ ඔහුගේ ගෝල බාලයන් දෙතුන් දෙනෙකු කිතුල් රා වඩියක් සප්පායම් වීමට පිය නැගුවේ සේතංගේ නිවහනටය. එළියේ ඔහු නොසිටි නිසාවෙන් ගේ අැතුළට පියවර තබත්ම දුටු දසුනින් ඔවුන් ද අන්ද මන්දව ගියේය. ඒ සේතං ​ගේ තුළ බිම වැතිරී ​ෙගන ලේ වමනය දමා වැටි සිටි නිසාය. සොලවා කතා කළත් ඒ වන විට සිටියේ අවසන් ගමන ගොස්ය. ඔවුන් මේ බව ගමටද දන්වන ලදී. පසුව කටින් කට කියැවුණේ මොහු හොර මත් පැන් බී ඇති අතර මත් පැන්වලට හිමිකරු විසින් වස මිශ්‍ර කර තිබූ බවය. දිනපතාම වෙනත් අය විසින් මෙම සුරාපළෙන් සොරකම් කර මත්පැන් බී ඇත. ඒ අයට දඬුවම් දීමට වසා දමා තිබුණි. මත් පැන් බූලියෙන් සේතං ද මත් පැන් බී ඇති නිසා මෙම බිහිසුණු ඉරණමට පත් විය.   


සත්ත්ව ඝාතකයන්ට මෙලොව දීම පළ දෙන බවට එය සාධකයකි.

 



අංගොඩ කුඩාබුත්ගමුව එම්.ඒ. ජයසිරි මහතා ලියා එවූ කතාවකි.  

අනුනට දුන් දුක් පීඩා
 තමන් කරා එළැඹුණ හැටි


බස්නාහිර පළාතට අයත්ව පිහිටි එක්තරා ග්‍රාමීය ප්‍රදේශයක වාසය කළ තිදෙනෙකුගෙන් සමන්විත වූ පවුලක එකම දරුවා වූයේ ඔහුය. එහෙයින් එකී මවුපිය දෙපළ තම පුතු හට මහත් ළෙන්ගතුකමක් පෑ අතර, නොයෙක් දුෂ්කරතා මධ්‍යයේ වුවද, දරුවා පෝෂණය කිරීමේ කටයුතු හොඳින් ඉටු කළහ.   


අපි ඔහු ගුණසිරි නමින් හඳුන්වමු. හෙතෙම කෙමෙන් කෙමෙන් වයසින් වැඩෙත්ම තරමක අකීකරු ගති පැවතුම් ප්‍රදර්ශනය කරන්නට වූයේ ඇතැමුන් තුළ බිය සැක උපද වන ආකාරයෙනි. ගුණසිරි ඉගෙනීමේ කටයුතු ද අතර මඟ නවතා දැමූ අතර පාප මිතුරන් ඇසුරෙහි කාලය ගෙවීමට ද උනන්දු විය. එහි ප්‍රතිඵලය වූයේ හෙතෙම හොර සුරා පානයට යොමු වීමය.   


ඇතැම් විට තම් මව්පියන්ට ද තර්ජනය කොට ඒ සඳහා මුදල් ලබා ගැනීමට ද ගුණසිරි පසුබට නොවීය. ඔහු දැඩි ලෙස සුරා පානයට යොමු වී ඇති බව අසල්වාසීන් හට ද වැටහී ගියේ සමහර දිනවල අධික ලෙස බීමත්ව මහ මඟ වැනි වැනී තම නිවෙස වෙත එන අයුරු දැකීමෙනි. යොවුන් වියෙහිදීම මෙබඳු අවාසනාවන්ත තත්ත්වයකට ගුණසිරි පත්ව තිබීම පිළිබඳව ඔවුහු කනගාටු වූහ.   


​ඇතැමෙක් මෙහි ආදීනව පෙන්වා දී ඉන් මොහු වළකාලන්නට කටයුතු කළ ද ඊට අවනත කර ගැනීම දුෂ්කර කරුණක් විය. මවු පිය දෙපළ ද තම පුතු දුෂ්චරිතයෙන් මුදවා ගැනීමට නොගත් උත්සාහයක් නැති තරම්ය. මේ පිළිබඳව, කරුණු කියා දෙමින් කොතෙක් ඇවිටිලි කළ නමුදු ඉන් ඵලක් නොවූ අතර සිදු වූ එකම දෙය නම් හෙතෙම පෙරටත් වඩා පාපතර ක්‍රියාවන්හි නිරත වීමය.   


අසල්වාසීන් හට ද ඉන් පීඩා විඳින්නට සිදු විය. ඒ ඔවුන්ට ද තර්ජනය කොට මුදල් ලබා ගැනීමට ක්‍රියා කිරීම හේතුවෙනි.   


එ් සඳහා උල් ආයුධයක් ද ඔහු භාවිත කළ අතර, ඊට බියෙන් නො​ෙයක්​ දෙනා එලෙස මුදල් දීමට පෙළැඹී සිටියහ. ඉන් නොනැවතුන ගුණසිරි තලගොයන්, ඉබ්බන් වැනි අහිංසක සතුන් ද දඩයම් කිරීමෙහි යෙදුණි. මෙසේ අල්ලා ගත් එම සතුන් මරා මස් අනුභව කිරීමට හෙතෙම පසුබට නොවීය.   


ඔහු එයින් ද සෑහීමකට පත් නොවූ අතර අසල්වැසි නිවෙස්වල ඇති කරනු ලබන කුකුළන් පවා රහසිගතව සොරකම් කොට මරා පුළුස්සා කෑමට ද මහත් රුචිකත්වයක් දැක්වූයේය. නොයෙක් දෙනා ගුණසිරිගේ මෙම පාපතර මැර ක්‍රියා ඉදිරියේ අසරණ විය. එනමුදු එ් කිසිවෙකුත් ඔහුට එරෙහිව නීතියෙන් පිහිට පැතීමට හෝ ඉදිරිපත් නොවීය. ඒ තම ජීවිත අනතුරේ වැටෙතැයි ඇති වූ බිය හේතුවෙනි.   


එසේ වුවද ඒ කව්රුත් රහසිගතව ඔහුට දොස් නගන්නටත් ශාප කරන්නටත් පසුබට නොවූහ. කාලය මෙලෙස ගෙවී ගිය අතර ගුණසිරි හදිසියේම රෝගාතුර වූයේය. ඒ දරුණු උදරාබාධයක් වැළඳී තිබීම හේතුවෙනි.   
එහෙත් ඒ සඳහා රෝහල් ගත වීම හෙතෙම තරයේ ප්‍රතික්ෂේප කළේය. මවුපියන් කොතෙක් උත්සාහ කළ ද ඔහු ඊට එකඟ කරවා ගත නොහැකි විය.   


සයනයෙහි වැතිර දෑතින් තම උදරය ස්පර්ශ කරමින් ගුණසිරි වේදනාවෙන් විලාප නගන්නට වූයේය. අම්මෝ මාව පිච්චෙනවා. මට ඉන්න බැහැ. උල් කටුවලින් අනිනවා වගේ දැනෙනවා... යනාදී වශයෙන් ඔහු අඳෝනා නැගීය. මෙසේ සතියකට ආසන්න කාලයක් වේදනාවෙන් දුක් විඳි ගුණසිරි පසුව අවසන් හුස්ම හෙළුවේ මව්පිය දෙපළ මහත් ශෝකයෙන් කඳුළු වගුරවමින් බලා සිටියදීය.   


අනුන් බිය ගන්වා මුදල් ආදිය පැහැර ගනිමින් මස් පිණිස අසරණ සතුන් මරමින් කළ පාපකර්මවලට විපාක මොලොව දීම ගුණසිරිට ලැබුණු බව අසල්වැසි කා හටත් රහසක් නොවීය.   

 



අලව්ව රාගල ජී. එච්. සේනාරත්න මහතා ලියා එවූ කතාවකි.   


වියළි දේශගුණික වැව් බැඳි කැලෑබද ගම්මානයක වැසියෝ වී ගොවිතැනින් හා ​ෙහ්න් ගොවිතැනින් ජීවිකාව ගෙන ගියහ. මෙයට අමතරව ඇතැම්හු ගෝනුන්, මුවන්, හා වල් ඌරන් වැනි වන සතුන් දඩයම් කර විකුණා ආදායම් කර ගත් අතර තවත් සමහරෙක් තම තමන්ගේ ප්‍රයෝජනයට දඩයම් කළහ.   


එතන හාමි හා ඩිංගිරාල එම ගම්මානයේ ජීවත් වූ දෙමහල්ලෝය. එතන හාමි කාටවත් යටත් නැති නිවසේ නායිකාව වූ අතර හැඩි දැඩි සිරුරකින් යුත් දඩබ්බර කාන්තාවකි. ගමේ කොයි කටයුත්තකදී වුවත් සහභාගි වුවද විශ්වාසය තැබිය නොහැකි කෙනෙකු බව ගම්මු දැන සිටියහ.   


එතන හාමිට හා ඩිංගිරාලට පුතෙකු හා දියණියක සිටියහ. තරුණ වියට පත් වී සිටි මේ දරුවන් දෙදෙනාගෙන් පළමුවෙන් දියණියක විවාහයක් කර දීමට එතනහාමි ඩිංගිරල සමග කතා කළාය. දන්නා හඳුනන මඟුල් කපු මහතෙකු ඩිංගිරාලගේ නිවසට​ ගෙන්වා කෑම බීම්වලින් සංග්‍රහ කොට කාරණය පැහැදිලි කළේ එතන හාමිය. එතන හාමිගේ ඉල්ලීම භාර ගත් කපු මහතා පිටත්ව ගියේ වැඩිහිටි දෙපළගේ ආචාර සමාචාර හා ආශිර්වාද මැද දහසක් බලාපොරොත්තු ඇති කර ගනිමිනි.   


දින කිපයකට පසු කපු මහතා මනාලයෙක් සමග ඩිංගිරාලගේ නිවසට පැමිණියේය. පෙර දැනුම් දීමකින් පැමිණි හෙයින් එතන හාමි සූදානමින් සතුටින් මඟ බලා සිටියේ නොඉවසිල්ලෙනි. කපු මහතාට හා මනාලයාට සංග්‍රය කර දියණිය පෙන්වීමෙන් පසු ඔව්හු පිටත්ව ගියහ. තම දියණියට මනාලයා කැමති වී ඇතැයි (සැකයට මුළා වී ක්ෂණිකව සතුටු වන හා ක්ෂණිකව කෝප වන) මව දුවට පැවසුවේ වාසනාව උදා වී ඇති බවය.   


ටික දිනක් ගත වෙද්දී මනාල පාර්ශ්වයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවූ හෙයින් කපු මහතා හමු වීමට එතනහාමිම ගියාය. දියණියගේ එතරම් ප්‍රිය මනාප ගතියක් නොවූ හෙයින් මනාලයා අකැමැති වූ බව කපු මහතා දැන සිටියත් එතනහාමිට ඒ බව නොකියා යහපත් පිළිතුරක් ලබා දෙන බව පවසා එතනහාමිගේ සිත සතුටු කර පිටත් කර හැටියේය.   


එයිනුදු කාලය ගත වී ගිය හෙයින් වෙනත් තැනකින් දියණියට කෙනෙකු සොයා දෙන ලෙස එතනහාමි කපු මහතාට කීවාය. දින කීපයකට පසු තවත් මනාලයෙක් එතන හාමිගේ නිවසට රැගෙන ආවේය. ඔහුද එතනහාමිගේ දියණිය බලා නිහඬ විය. එතනහාමිගේ දියණිය ප්‍රියමනාප නොවූ හෙයින් කපුමහතා රැගෙන ආ එම මනාලයාද කැමති නොවීය.   


එතනහාමිගේ දියණියට අකැමැති වූ තුන් වෙනි මනාලයා කපු මහතාට කියා සිටියේ මෙම ගම්මානයට තමා ඉතා ප්‍රිය කරන හෙයින් මේ ගම්මානයෙන්ම සිටී නම් ප්‍රියමනාප සහකාරියක් සොයා දෙන ලෙසයි. එම ඉල්ලීම සිතට ගත් කපු මහතා මෙම ගම්මානයේම වෙනත් නිවසකට යොමු කිරීමෙන් මනාලයා මෙම කටයුත්තකට කැමති විය. එම නිවසේ දෙමව්පියන් තම දියණිය මොහුට විවාහ කර දීමට ලහි ලහියේ සූදානම් වූහ. ඔවුහු මංගල්‍යයට දින නියම කර ඥාති මිත්‍රාදීන්ට ආරාධනා කළහ. වී මෝල් නොතිබූ එකල ගැමි ලියෝ එකතු වී නිවසේම වංගෙඩි උපයෝගී කර ගෙන වී කොටා මඟුලට අවශ්‍ය සහල් සූදානම් කර ගත්හ. ගැමියෝ එක් වී මිදුලේ අතු සෙවිලි කර සරසා මඟුල් මඩුව සාදා ගත්හ.   


මඟුල් දා ඥාති මිත්‍රාදීන්ට සංග්‍රහ කරන්නේ එම මඟුල් මඩුව තුළය. එතනහාමිගේ දියණිය දීමට ඇය බලාපොරොත්තුවෙන් සිටි මනාලයා වෙනත් නිවසකින් හිරයක් (විවාහයක්) ගැනීමට යාම ගැන මහත් කෝපයකින් හා ද්වේශයකින් පසු වූවාය. ඩිංගිරාල නිහතමානී නිහඬ පුද්ගලයෙකි. ඔහු මෙම් කිසිවක් නොදත්තේය.   


මංගල දිනය උදා විය. දිවා මංගල භෝජනය ගමේ කාන්තාවන් එකතු වී සකස් කරද්දී මඟුල ජයටම සිදු වෙනු දුටු එතනහාමිට ඇති වූයේ පළිගැනීමේ චේතනාවකි. එතනහාමි ඔසරි පොටේ සඟවා ගෙන ආ යමක් ගෝන මස් හැළියට දමා හැඳිගානු ගමේ කාන්තාවන් කීප දෙනෙකු දැක වැංජනයට අවශ්‍ය තුන පහ දැමීයැයි සිතූහ.   


මංගල්‍ය අවසන් වූවා පමණි ගෝන මස් අනුභව කළ සියල්ලෝම බඩ පපුවේ වේදනාවකින් ග්‍රාමීය රෝහලට ගියහ.   


දරදඬු සිතක් තිබූ එතනහාමි හොර බැළලියක සේ නිහඬව සිටියාය. කළ කම් පළ දෙන්නේ ගහෙන් ගෙඩි එන්නා සේය.   


ගෙවී ගියේ ටික දිනකි. කිසිදා නොවූ විරූ ලෙසින් ඇයගේ මුළු සිරුරම තද දැවිල්ලකට පත් වී කෑ ගසද්දී නිවැසියෝ අසල්වාසීන් සමග රෝහලකට ගෙන ගියහ. ඇයගේ ශරීරය පුරා සැරව බිබිලි මතු විය. මැස්සන් ඒමට පටන් ගත් හෙයින් මදුරු දැලක් සේ දුහුල් රෙද්දකින් ඇය වට කර ප්‍රතිකාර කරන ලදි. වේදනාවෙන් නිති කෑ ගැසුවාය. ප්‍රතිකාරවලින් සහනයක් නොලැබුණේ ඇගේ පව්කාරකටමය.   


දැනට දසක පහකට පමණ පෙර එක් රාත්‍රියක රෝහලේදී එතනහාමි මෙලොව හැර ගියාය. මංගල භෝජනයට වස මිශ්‍ර කළ පාපය එතනහාමිට මෙලොව දීම පළ දුන්නේ අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දිට්ඨ ධම්ම වේදනීය කර්මය සක්‍රීය වීමෙන් යැයි එකල ගැමියෝ කීහ.   

 

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා 'ඉරිදා ලංකාදීප'යට යොමු කරන්න.

සකස් කළේ   
ප්‍රසන්න සංජීව තෙන්න​ෙක්න්