මං හැදූ චිත්‍රපට අතරින් කැමැතිම නිර්මාණය නිධානය


ශ්‍රී ලාංකීය සිනමාව, අපේ සිනමාව, යන සාඩම්බර සලකුණ සනිටුහන් කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වියතාණෝ, පරම ආයු ලැබ අපත් සමග බොහෝ කලක් ජීවත්ව සිට, පසුගියදා ස්වකීය ජීවිත ගමනට සදහටම සමු දුන්හ. ශ්‍රී ලාංකීය සිනමාව යන නිධානය මැවූ මේ මහාර්ඝ චරිතය ගැන මෙතැන් සිට බොහෝ දෙනා බොහෝ ලියනු ඇත. යුගයක බිහිවූ විශිෂ්ටතම චරිතයකටත් එහා ගිය සියවස් ගණනකට පරිච්ජේදයක් වූ චරිතයක් වීම ඊට හේතුව යැයි කිව යුතු නොවේ. ශ්‍රී ලාංකීය සිනමාවට ආ ගිය බොහෝ නිර්මාණවේදීන් අතර සදාතනික රිදී රේඛාව වූ මේම වියතාණෝ මීට ටික කලකට පෙරදී ඉරිදා ලංකාදීපය සමග පිළිසඳරකට එක්වූහ. මේ එහි සටහනය.  


අපේ සිනමාව යළි ගොඩනගන්නේ කෙසේද? එකී මාතෘකාව ඔස්සේ එතුමා සමග කථිකාවතක යෙදීමේ අරමුණ ඇතිව ඒ වෙනුවෙන් ඉඩක් ලබා ගැනීම සඳහා අපි ඇමැතුමක් ලබා දීමු. එවකට ඒ මහතා පදිංචිව සිටියේ ඩික්මන් පාරේ හෙවත් පසුව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත ලෙස නම් කරනු ලැබූ මාවතේ පිහිටි සුවිසල් ගාම්භීර බවක් පෙන්නුම් කළ නිවසකය.  


අප මුණගැසුණේ හැන්දෑ වරුවකදීය. ඒ හැන්දෑව සිහිල් සැඳෑවක් විය. කතා බහකට හොඳම පරිසරයක් මැවී තිබිණි. එම නිවසේ ඉදිරිපස සිට අපි අවට සිරි නරඹමින් සිටියෙමු. ගම්පෙරළිය, රේඛාව, දෙළොවක් අතර, ගොළු හදවත, නිධානය මේ සියල්ල මැවූ ‘ගෝඩ් කිං’ හෙමි හෙමිහිට ආලින්දය දෙසට පැමිණියේය.  


ආ.... ඔයාලා ආවද? ඔහු විමසීය.  


එහෙමයි ඩොක්ටර්. අපි පැවසීමු.  


එන්න ඇතුළෙන් ඉඳගන්න. මෙතැන හොඳයි නේද. යළි ඔහු කීය. ඔහු සමීපයෙහි අපි අසුන් ගැනීමට පෙර සුනඛ සුරතලා ඔහු අසලට ආයේය. උෟ ටිකක් නපුරු පාටයි. එත් එහෙම වුණාට අපේ සිනමාවේ නිධානය වූ මේ මිනිසාගේ සහ අපේ සිනමාවේ කිවිඳිය වූ සුමිත්‍රාගේ ආදරණීය සුනඛ සුරතලාය. මේ සුරතලා අපට නම් පෙනුණේ භයානක විදියටය. මේ බැව් තේරුම් ගත් එතුමා බිරිඳ සුමිත්‍රාට කතා කොට සුමිත්‍රා මෙයා ගෙනිච්චොත් හොඳයි කීවේය. ඇය පැමිණ ඒ අණට අනුව ක්‍රියාත්මක වූවාය.  


● හොඳයි දැන් අපි මොනවද කතා කරන්නේ? ඔහු විමසීය.  


සිනමාව යළි ගොඩනගන්නේ කෙසේද? යන්න අපි සිනමාවේ ප්‍රවීණයින් සමග සාකච්ඡා මාලාවක් ආරම්භ කළා. අපේ මාතෘකාව එයයි. අපි පැවසීමු.  


මං ප්‍රවීණයෙක්ද?  


එතුමා අපෙන් විමසීය. ඒ ඔහුගේ හැටිය. දැනුමැත්තෝ, නුවණැත්තෝ කොහොමත් හරිම සරල සැහැල්ලු චරිත වෙති.  


අපේ සිනමාවේ නිතරම අපි කතා කරන්නේ අතීතයේ කළ දේ ගැනයි. ඔබට කොහොමද අද අපේ සිනමාව දැනෙන්නේ?  


ඒ අපේ කතිකාවතෙහි ප්‍රවේශය විය.  


‘මෑතකදී මම චිත්‍රපට නොබැලූ තරම්. හැබැයි එකක් දෙකක් වගේ බැලුවා. ප්‍රසන්න එයාගේ ආකාස කුසුම් ඩීවීඩී තැටිය මට ගෙනැල්ලා දුන්නා. අන්න ඒක මම බැලුවා. ඒ හැරෙන්නට ‘අබා’ ඩීවීඩී තැටියත් ලැබුණා. ඒකත් නැරඹුවා. ඩීවීඩී එකේ චිත්‍රපට නැරඹීම ශාලාවක සිට නරඹන තරමට රසයක් මවන්නේ නැහැ. කොහොම වුණත් මම අශෝක හඳගම කළ චිත්‍රපටයකුත් නැරඹුවා. ඒ හැර ගැඹුරින් යමක් විස්තර කරන්නට තරම් මෑත කාලයේදී සිනමාව ගැන මා කියෙව්වේ නැහැ. නැරඹුවේ නැහැ.’  


මහා සිනමාවේදියාණෝ අපේ කතා බහට ප්‍රවේශ වූවේ එලෙසිනි. ඉනික්බිතිව එකිනෙක අප අැසූ ප්‍රශ්නවලට ඔහු සතු දැනුම වචන වලට හැරවූයේ මෙලෙසිනි.  


ඉරිදා ලංකාදීපය:- ශ්‍රී ලාංකීය සිනමාව ඇරඹී වසර පනහක් සම්පූර්ණයි. එසේ වීත් ඇයි කර්මාන්තයක් හැටියට අපේ සිනමාව දියුණු නොවුණේ?  


ලෙස්ටර්:- දියුණු වෙලා නැතෙයි කියන්නෙ මොන විදියටද?  


ඉරිදා ලංකාදීපය:- කර්මාන්තයක් ලෙස, දියුණු වෙලා නැහැ නේද?  


ලෙස්ටර්:- අපට ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර වගේ සිනමාවේදීන් සිටිනවා. ඔවුනගේ නිර්මාණ ජාත්‍යන්තරයට ගිහින් සම්මාන පවා ලබා තිබෙනවා. කලාව වශයෙන් නොවුවත් තාක්ෂණිකව ඒවා දියුණුවෙලා තියෙනවා. අපි කවදාවත් ආපස්සට ගිහින් නැහැ. ඉතිහාසය අලලා කරන කතාන්දර සහිත චිත්‍රපට ඉතා සාර්ථක වෙලා තියෙන බව මට දැනගන්න ලැබුණා. මේ විදියට හැදෙන චිත්‍රපට නිර්මාණ දෙස බැලුවොත් එක්තරා විදියකට දියුණුවක් ලබා තිබෙනවා.  


ඉරිදා ලංකාදීප:- ඇයි අපට අපේ චිත්‍රපට ලෝකයට විකුණන්න බැරි වුණේ? ඒ කියන්නේ ලෝක සිනමාවේ වෙළෙඳපොළ ආක්‍රමනය කරන්න බැරි වුණේ ඇයි?  


ලෙස්ටර්:- ජාත්‍යන්තරය ජයගෙන තියෙනවා. ඒවා විකිණිලා නැත්තේ නැහැ. කර්මාන්තයක් හැටියට දියුණු වී නැත්තේ. අද මේ අංශය වෙන මාවතකට ගිහින්. නමුත් අපි තවම එතැන නැහැ. අද චිත්‍රපට නිර්මාණය කරන විදියේ සිට ප්‍රදර්ශනය කිරීම දක්වා ඩිජිටල් තාක්ෂණය සමග තමයි ක්‍රියාත්මක වන්නේ. ඒක එක අතකින් ලොකු ප්‍රශ්නයක්. සුමිත්‍රාත් එයාගෙ අලුත් චිත්‍රපටය ඩිජිටල් තාක්ෂණයෙන් කරලා තියෙන්නේ. අද ඇත්තටම තියෙන්නෙ වෙනස්ම සිනමාවක්. ඒකට මුලින්ම අපි පුරුදු විය යුතුයි. හැදෑරිය යුතුයි. එහෙම නැතුව මේ විදියට දැවැන්ත චිත්‍රපට නිර්මාණය කරන්නට බැහැ. ඒ නිසා අපට දැන් සිදුව තිබෙන්නේ සම්පූර්ණයෙන්ම අලුත් වූ මේ ක්‍රමයට අනුගත වීමයි. අද ඇත්තටම ‘චිත්‍රපට’ කියලා දෙයක් නැහැ. මොකද ‘පටල’ නෙවෙයිනෙ තියෙන්නේ. චිප් එකකින් තමයි කැමරාවේ රූගත කරන සියල්ල ගබඩා වෙන්නේ. මේක ඇත්තටම එක විදියකට ප්‍රශ්නයක්. පැරණි සිනමා ශාලා යන්ත්‍ර කිසිවක් අදට වලංගු නැහැ. ඒත් අපි සිටින්නෙ එතැන නෙවෙයි. මුලින්ම ලෝක සිනමාව පටන් ගත්තෙ නිහඬ සිනමා ලෙසයි. ශබ්දය ආවේ පසුවයි. ඉන්පසුව ඊට වර්ණ එක්වුණා. මේ විදියට දියුණු වෙවී ආ සිනමාව මෑතකදී විශාල පෙරළියකට ලක්වුණා. කවුරුත් නොසිතූ තරම් සීඝ්‍ර වෙනසකට එය හුවමාරු වුණා. ඊට සාපේක්ෂව ඉන්දියාව ඒ වෙනසට අනුව සියල්ල කළා. ඇමෙරිකාවත් ඊට හුවමාරු වුණා. නමුත් අපේ රටේ සිනමා ශාලා දෙක තුනක් හැර අනෙක් ඔක්කොම ශාලා තවමත් තිබෙන්​ේන පැරණි විදියටයි. සිනමාව ඩිජිටල්කරණය වුණත්, අපේ රටේ සිනමාශාලා තවම ඒ තැනට අනුගත වෙලා නැහැ. මේ අපි අවතීර්ණව සිටින්නේ සිනමාවේ අලුත් යුගයකට. ඒක ඇත්තටම මම දකින විදියට විශාල වෙනසක්. මේක තවත් විදියකට කිව්වොත් විප්ලවයක්. හෙට දවසේ තවත් මොන විදියට එය වෙනස් වේවිද කියලා කියන්නට බැරි තරම්.  


ඉරිදා ලංකාදීපය:- ලාංකීය සිනමා ප්‍රේක්ෂක සමාජයේ රසිකත්වය ගැන ඔබට හැඟෙන්නේ මොන විදියටද?  


ලෙස්ටර්:- රසිකත්වය එදා වගේම තිබෙන බව පෙනෙනවා. නමුත් සිනමාශාලා බොහෝමයක් වැසී ඇති බව දැනගන්න ලැබුණා. එදා සිනමා ශාලා තුන්සිය ගණනක් විතර රට පුරා තිබුණත් අද ඒ ප්‍රමාණය අඩුවෙලා. මේ වෙනසට අනුගත වීමට බැරි නිසා එහෙම වෙන්න ඇති. සිනමාවේ රසිකත්වය ගැන නිශ්චිතව නිගමනයක් කරන්න බැහැ. නමුත් අපේ වේදිකා නාට්‍ය නිර්මාණ නම් අද ප්‍රේක්ෂකයින් අතර වඩා ජනප්‍රිය වෙමින් පවතින බව මට ආරංචියි. සාම්ප්‍රදාය වෙනස් වීම මේ විදියට සිදුවෙනවා. සිනමාවේ වගේම වේදිකාවෙත් මේ විදියට සිදුවන සම්ප්‍රදායේ වෙනස්වීම අනාගතයේ හොඳ වේවිද, නරක වේවිද කියා දැන්ම කියන්න බැහැ. එදා ගම්පෙරළිය හදන්න අපට වැය වුණේ ලක්ෂ දෙකයි. මම සල්ලි ගත්තේ නැහැ. සුමිත්‍රා ගත්තේ නැහැ. ගාමිණී රඟපෑමට අය කළෙත් නැහැ. අපි තුන්දෙනාම සල්ලි අරගෙන කළේ නම් ලක්ෂ 4 ක් විතර වැයවෙන්න තිබුණා. අද අපි ගම්පෙරළිය ඒ විදියට නිර්මාණය කරන්න ගියොත් ලක්ෂ 250 ක් විතර අඩුම තරමින් වැය කරන්න සිදුවේවි.  


ඉරිදා ලංකාදීපය:- සිනමාවේ සහ කලාවේ මේ වෙනස්වීම වගේම රටේ වෙනස ඔබ දකින්නේ මොන විදියටද?  


ලෙස්ටර්:- සමාජයේ වෙනස්වීම නිනරත්නයෙන් සිදුවෙන දෙයක්. ලෝකය ගලා යන්නේ ඒ විදියටනෙ. කලාව නිසා ජනතාවට ලොකු සහයෝගයක් ගෙන දෙනවා. පාන් විතරක් කාලා ජීවත් වෙන්න බැහැ. වෙනසක් ඕනෑ කියලා කතාවක් අපි අහලා තියෙනවනේ. එදා කලාව ඇසුරු කළ සමාජය නෙවෙයි අද තියෙන්නෙ. කවිය, ගීතය, නාට්‍ය, සිනමාව මේ සියලු අංශ වෙනස් වෙලා. මේ වෙනස එක්ක සිදුවෙන හොඳ නරක ගැන සමාජය දැනුම්වත් කරන්න මාධ්‍ය වෙත පැවරී තිබෙන්නේ ලොකු වගකීමක්.  


ඉරිදා ලංකාදීපය:- ලංකාවේ පවතින දේශපාලන තත්ත්වය ගැන ඔබට මොනවද කියන්න පුළුවන්?  


ලෙස්ටර්:- මම කවදාවත් දේශපාලනය කරලා නැහැ. අපි එක් පැත්තකට සහයෝගය දුන්නා. ඒක ඉතින් එකිනෙකාගේ කැමැත්තනේ. හැමෝටම දේශපාලනයක් තියෙනවා.  


වයෝවෘධ වුවද ඔහුගේ සිතිවිලි වර්තමානය හා අපූරුවට බැඳී පවතී. වයසට යන කොට අමතක වීමේ ප්‍රවණතාව බොහෝ දෙනාට තිබුණද මේ මහා සිනමාකරුවාගේ මනස තවමත් නිරවුල් බව අපට දැනේ. අප සමග ඔහු පිළිසඳරේ යෙදී සිටින අතරවාරයේදී සුමිත්‍රා පීරිස් පැමිණ ඔහුට බෙහෙත් පෙත්තක් දී යන්න ගියාය. ඇය මේ මහාර්ඝ සිනමාකරුවා රැක ගන්නට දැරූ වෑයම සැබැවින්ම පැසසිය යුතු දෙයකි. ඔහු සමග වූ පිළිසඳර අවසානයට පෙර ඔහු වෙතින් නිර්මාණය වූ චිත්‍රපට අතරින් වඩා කැමැති නිර්මාණය කුමක්දැයි අපි විමසිමු.  


 ‘නිධානය’ යැයි ඔහු එක්වරම පැවසීය. ‘ගාමිණී සහ මාලිනී’ යන චරිත ද්විත්වය ද නිධානය පුරා රංගනයෙන් නෙලූ අස්වැන්න සේම එහි කැමරාකරණය ඇතුළු තාක්ෂණය ගැනත් ඔහු සෑහීමකට පත්ව ඇතිවග පෙනේ. ජී.බී. සේනානායකයන්ගේ කතාව ගැනද සිහිපත් කරයි. ඒ කතාවේ හැටියට උපන් ලප හතරක් මුහුණේ සනිටුහන්ව ඇති කාන්තා චරිතයක් ඇතුළත්ය. නිධානයෙහි ප්‍රධාන චරිතය රඟපෑ මාලිනියට ස්වභාවයෙන්ම පිහිටීම තමාද විශ්මයට පත්කරවූ අවස්ථාවක් බව මේ මහා සිනමාකරුවා සිහිපත් කළේය. එය පුදුම සහගත දෙයක් යැයිද ජී.බී.​ සේනානායකයන් කෙටි කතාවට එය ඇතුළත් කළේ කෙසේද යන්න අදටත් තමා පුදුම කරවන දෙයක් යැයි ද ඔහු පැවසුවේය.  


ලෝකයට නිධානයක් වූ නිධානය ගැන ඔහු සිහිපත් කරද්දී ඔබ වඩා කැමැති කාගේ ගීත අහන්නදැයි අපි විමසීමු.  


ඒ කාලයේ ඉතින් සුනිල් ශාන්තයන්ගේ ගීත බොහෝ දෙනා වින්දනය කළා. වතාවක් ගුවන් විදුලියෙන් ඉවත්කර සිටියදී මා ඔහු හමුවෙන්නට ගියා. ඔහු තරමක් කලකිරීමකින් හිටියෙ. සිංහල චිත්‍රපටවලට මාව ගාව ගන්න එපා කියලා මට කිව්වා. එත් මම ඒ වෙලාවෙ හිතුවෙ කොහොම හරි කැමැති කරවා ගන්නවා කියා. ඒ අනුව මර්සිලීනු ජයකොඩි පියනම එක්ක මා එතුමා හමුවීමට ගියා. රේඛාවේ ගීත සඳහා සංගීතය නිර්මාණය වූයේ ඒ විදියටයි. සන්දේශයටත් පසුව ඔහුගේ දායකත්වය ලබා ගත්තා. මේ චිත්‍රපට දෙකම සංසංදනය කළොත් මටත් එක ගීතයක් කියලා තෝරන්න බැරිතරම් ඔක්කෝමට වාගේ ප්‍රියයි. ඒත් මම වඩා කැමැති සන්දේශයේ ‘පෘතුගීසිකාරයා’ ගීතයටයි.  


එලෙසින් පවසා ඔහු හොඳ හැටි සිනාසීය. ‘මුළු දවසෙම ගීත අහන එක ම​ෙග් පුරුද්දක්. අමරදේවයන්ගේ ගීත බොහෝ විට අහනවා. මාව එයින් සැහැල්ලුවට පත්වෙනවා.’ ඔහු එසේ පැවසුවේ සංගීතය කෙරෙහි වූ ඇති ප්‍රියතාවය නිසාමය. ඒ හැරත් මේ මහා සිනමාවේදියාට මුලින්ම අවැසිව තිබුණේ සංගීත අංශයෙන් ඉදිරියට යෑමට බව අපට කීවේය. එයින් දුර ගමනක් යාමට නොහැකිවීම ගැන තමා දුක්වෙන බව සඳහන් කළේය. මුලින්ම පියානෝව වාදනය කිරීමට ගිය පසු ‘නැහැ, අක්කත් පියානෝ ගහනවා. ඔයාට එ්ක එච්චර ගැලපෙන්නෙ නැහැ කියලා අම්මා කිව්වා’. ඒත් මම අවුරුදු දෙකක් ඉගෙන ගත්තා. මම පියානෝව ඉඳහිට වාදනය කළා. සංගීතයට මගේ ජීවිතයෙ ලොකු තැනක් තියෙන්නේ. ඇත්තටම සිනමාවට නෑවිත් සංගීතමය කළා නම් මම හිතන්නේ මීටත් වඩා මම ලොකු සතුටක් ලබාවි.  


ඔහුට ඒ සංගීතය රස විඳීමට ඉඩ දී අප නික්ම යා යුතුය. සැඳෑ අඳුර පැතිර තිබේ. ඔහු සමග තව තවත් කතා කිරීමට රිසි නමුත් තවදුරටත් ඔහු වෙහෙසට පත්කළ යුතු නොවේ. සමුගෙන ඒමට පෙර ‘ජීවිතය’ කියන්නෙ කුමක්ද? කොහොමද එය ඔබට දැනෙන්නෙ? ඒ හමුව අවසන අපි විමසීමු. 

 
ජීවිත​ෙය දැන් මම අනූගණනක් ගෙවලා ඉවරයි. දැන් වෙන ලෝකයකට යන්න කාලය ඇවිත්. අපට මේක නවතා තබාගන්න බැහැ. ජීවිතයේ එන දේට වගේම ඒ ස්වභාවය සතුටින් පිළිගත යුතුයි. මම එය සතුටින් පිළිගන්නවා. ඒ නික්වීමට මා මුහුණ දෙන්නෙ සතුටින්. ඔහු කීය.

 

හිස් නැතිව ජීවිතය යථාර්ථයෙන්ම තේරුම් ගෙන, සඳහටම සමුගෙන ගිය මහා කළාකරුවාණෙනි, ඔබට සුන්දර ගමනාන්තයක්.  

 

 

 

 

සටහන  
සඳුන් ගමගේ