භීෂණයට හසුවූ මාතලේ


ජවිපෙ දෙවැනි කැරැල්ලෙන්

11 වැනි කොටස

 

 

වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ජවිපෙ 2වැනි කැරලි සමයට පාදක වන මෙම ලිපි මාලාව ලියන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ධර්මන් වික්‍රමරත්න මෙයට ප්‍රථම ජවිපෙ 2වැනි කැරැල්ල - ප්‍රථම කාණ්ඩය මැයින් පිටු 880ක ග්‍රන්ථයක්ද එළිදක්වා තිබිණි. ඉදිරියේදී නිකුත්වන ඔහුගේ දෙවන කාණ්ඩයේ ග්‍රන්ථයට අදාළ මෙම ලිපි මාලාව මෙතක් කිසිදු පුවත්පතක හෝ ග්‍රන්ථයක පළවී නැති අතර එය කොටස් වශයෙන් පාඨක ඔබවෙත මෙසේ ගෙන එනු ලබයි. 

 
මාතලේ දිස්ත්‍රික්කය යනු ලාංකීය ශිෂ්ටාචාරයේ සුවිශේෂී ලක්ෂණයන්ගෙන් පිරුණු භූමියකි. මුල්ම රාජධානිය වූ රජරටටත් අවසන් රාජධානිය වූ උඩරටටත් එකිනෙකට බෙහෙවින් වෙනස් සහ දුරස්ථ වූ ශිෂ්ටාචරයන් දෙකකින් එය මනාව පෝෂණය විය. එමෙන්ම වියලි කලාපය සහ තෙත් කලාපය යන පාරිසරික කලාප දෙකක් එහි අන්තර් කලාපයත් මාතලේ දිස්ත්‍රික්කය තුළ පිහිටියේය. උතුරු මැද මහා තැනිතලාවත් මධ්‍යම උස් කඳුකරයත් අතර සන්ධිස්ථානය වූයේද මාතලේය. එපමණක් නොව භූ ස්කන්ධයේ මධ්‍ය හෙවත් ශ්‍රී ලංකාවේ හදවත සේ සැලකිය හැකි ස්ථානය පිහිටියේද මාතලේ දිස්ත්‍රික්කයේය. මීටර් 300කට වඩා උස් වූ කඳු 35කින් සමන්විත දුම්බර කඳු පන්තියද එයට අයත් වේ.   


මාතලේ දිස්ත්‍රික්කයේ ඓතිහාසික බව ජනප්‍රවාදයක් මගින් අදෘෂ්‍යමාන වූ රාවණා යුගය දක්වා ඈතට රැගෙන ගොස් ඇත. විශේෂයින් ලග්ගල සහ ඒ අවට ප්‍රදේශ රාවණා ජනප්‍රවාදය සමඟ ගළපා ගැනීමට ඉතිහාසඥයෝ සමත් වූහ. එමෙන්ම විජයාවතරණය සහ සම්බන්ධ කුවේණි වෘත්තාන්තය සමඟද එම ප්‍රදේශ ඇදී බැඳී පවතී.   


 ශ්‍රී ලංකාවේ මුල්ම ජනපදිකයින් වන යක්ෂයින්, වැද්දන් සහ පසුව ආ ආර්යයන් සමඟ මෙම ප්‍රදේශයේ තිබුණු සමීප සම්බන්ධය එහි සැඟවුණු යථාර්ථය විය හැකිය. වන්නිය, කොට්ටියාරම, තමන්කඩුව සහ නුවර කලාවිය සමඟ මහනුවර රාජධානිය සම්බන්ධතා පැවැත්වූවේ මාතලේ හරහාය. එබැවින් ඈත අතීතයේදී ඉතා බලවත් සහ ඉසුරුමත් දිසාවක් වශයෙන් මාතලේ වැඩි දියුණු විය.   


බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් 1818 ඌව වෙල්ලස්ස කැරැල්ල සහ 1848 පැවති මාතලේ කැරැල්ලට ඉතිහාසයේ හිමිවන්නේ වැදගත් ස්ථානයකි. මාතලේ කැරැල්ල 1848 ජුලි 26වැනි දා ඇරඹුණේ මුඩුබිම් පනත, පීඩාකාරි බදුක්‍රම සහ හිංසාකාරි ක්‍රියාවලට එරෙහිවය. පුරන්අප්පු සහ ගොන්ගාලේ ගොඩබණ්ඩා එහි පෙරමුණ ගත්හ. ඉංග්‍රීසින් ගේ සේනාංකය, කණ්ඩායම් කැප්ටන්වරුන් වූ ලිලී, වොට්සන්, මැක්ඩොයෙල් යන අයගේ මෙහෙයවීමෙන් සිදුවිය. 1848 කැරැල්ලේ කැරලිකරුවන් විසුරුවා හැරීමෙන් පසු ඉංග්‍රීසින් විසින් පිහිටවූ සමරු ඵලකයක් වාරියපොල ඇල්වලදී ද වර්තමානයේ ද දැකගත හැකිය. මාතලේ දිස්ත්‍රික්කය අතීතයේ සිටම සටන් බිමකි.   


මේ සුවිශේෂී වූ සංස්කෘතික, පාරිසරික, ඓතිහාසික සහ විඥානීය පසුබිම නිසා මාතලේ දිස්ත්‍රික්කය සුවිශේෂී ස්ථානයකි. ජවිපෙ 1971 අප්‍රේල් කැරැල්ල අවස්ථාවේදී මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයන්හීදී කැරලිකාර කටයුතුවල වැඩි වගකීමක් දරණු ලැබුවේ පේරාදෙණිය සරසවියේ සිසුන් විසිනි. මාතලේ දිස්ත්‍රික්කයේ තුවක්කු සහ පතුරම් එකතු කිරීම ඇරඹුණේ 1971 ජනවාරියේදීය. බෝම්බ තැනීම සඳහා පාසැල් රසායනාගාර වලින් රසායනික ද්‍රව්‍ය විශාල වශයෙන් සොරකම් කිරීම සිදුවිය. මාතලේ කැරලි නායකයෙකු වූ විජේසුන්දර සොරකම්කළ ආයුධ රඳවා තැබීමට ලංකාතිලකගේ නිවසේ රහස් කුටියක්ද තනවා තිබිණි. මාතලේ ලග්ගල, අඹන, බකමූණ, ඇලහැර ආදී ප්‍රදේශවලදී කැරලිකරුවන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම් ඇතිවිය.   


වසර 1971 අප්‍රේල් කැරලි කාලයේදී මාතලේ රෝහලේ අලුතින් ඉදිකර වසාදමා තිබූ මාතෘ සායන ගොඩනැගිල්ලේ යුධ හමුදා පරිපාලන කාර්යාලයක්ද ක්‍රියාත්මක විය. පොළොන්නරුව පොලිසියට පහරදීමට ගිය තරුණයින් පිරිසක් පොලිස් වෙඩි පහරින් මියගිය අතර ඉන් පලාවිත් වල්මෝරුව ගමේ සැඟ වී සිටි තරුණයෙකු මහවෙල පොලිසියට භාරදෙන ලදී. සරසවි පැවිදි සිසුවෙකු වූ පුස්සැල්ල පන්සලේ විමලරත්න හිමි ඇතුළු කිහිප දෙනෙක්ද කැරලිකරුවන් ලෙස ඝාතනයට ලක්වූහ. 1971 අප්‍රේල් කැරැලි සමයේ මාතලේ දිසාපති වූයේ එච්.ඒ.පී. අබේවර්ධනය. නලීන් දෙල්ගොඩ මාතලේ ප්‍රධාන පොලිස් පරීක්ෂකයා විය.   


ජවිපෙ 2වැනි කැරැල්ලේදී 1986 සිට 1990 දක්වා මාතලේ දිස්ත්‍රික්කය මුල්තැනක් ගත්තේය. එය 2වන කැරැල්ලේ මූල කඳවුරු මෙන්ම අවි පුහුණු කඳවුරුවලටත් හොඳ තෝතැන්නක් විය. අවි පුහුණු කඳවුරු 15ක් පමණ නකල්ස්, දෝතොළුගල, පතනගල, නුවරගල, රඹුක්ඔලුව කඳු පන්ති සහ හබරණ කැලේ කේන්ද්‍ර කරගනිමින් ස්ථාන කිහිපයක පැවති අතර තෙදින සහ පස් දින නේවාසික අධ්‍යාපනික කඳවුරු සිය ගණනක් ලග්ගල, පිලගම්මින, විල්ගමුව බලුගම්මන, ඇටන්වල, පල්ලේගම කීනිගම, නාවුල, මීමුරේ, ලකේගල, මහලකොටුව, දම්මන්තැන්න, නකල්ස් වනය තුළ, රත්නින්ද, හදුන්ගමුව ඇතුළු ස්ථාන කිහිපයක පැවැත්විණි.   


මාතලේ දිස්ත්‍රික්කයේ ජවිපෙ දේශපාලන දිසා ලේකම්වරුන් වශයෙන් 1986 සිට 1989 නොවැම්බර් දක්වා කටයුතු කළේ ඔක්කම්පිටියේ ගුණසේකර, තංගරාජා පෙරියකරිප්පු හෙවත් පී. තංගරාජා, ආරියතිලක උඩුගමසූරිය හෙවත් නෝමන් මානවඩු, ආනන්ද ඉඩමේගම හෙවත් ධම්මික, කමලසිරි ගිරිබාව හෙවත් කමල්, කට්ටියගේ ගෙදර ඇල්පේනිස් හෙවත් අරුණ කන්දේවත්ත ඇතුළු කිහිපදෙනෙකි. සන්නද්ධ දිසා ලේකම්වරුන් වූයේ ආනන්ද පරාක්‍රම බණ්ඩාර හෙවත් රාජා හෙවත් කොටා, තුසිත මුනිදාස, කුමාරසිංහ, කුරුණෑගල ගුණසේකර ඇතුළු කිහිපදෙනෙකි.   


දේශපාලන දිසා ලේකම්වරුන් වූ තංගරාජා පෙරියකරිප්පු ඉන්දීය දෙමළ ජාතිකයෙකි. ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකු වූ තංගරාජා උපන්නේ 1950 පෙබරවාරි 10වැනිදා මාතලේදීය. ඔහුගේ පියා පෙරයකරිප්පු දිවාර් වූ අතර මව මීනාය. පවුලේ එකම පිරිමි දරුවා වූ පී. තංගරාජාට සොහොයුරියන් 4කි. ඔවුහු නම් අලගු, පූමනී, නවමලී සහ ප්‍රමීලිය. මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ තංගරාජා මාතලේ සහිරා විද්‍යාලයේ සහ උකුවෙල අජ්මීර් මහා විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරයෙකි. වසර 1982 සංවර්ධන සභා ඡන්දයට මාතලේ දිස්ත්‍රික්කයෙන් ජවිපෙ වෙනුවෙන් තරග වැදුණු කණ්ඩායමට ලලිත් සේනාරත්න, එච්.එම්. මුතුබණ්ඩා සහ වයි.එම්. අබේරත්න සමඟින් තංගරාජාද අයත් විය. 

 
පසුව ගුරු වෘත්තියෙන් ඉවත්ව ජවිපෙ පූර්ණකාලීනයෙකු වූ තංගරාජා 1982 ජනාධිපතිවරණ සමයේදී යාපනයේ දිසා ලේකම් විය. ජවිපෙ තහනමට පෙර වතු සේවක සංගමයේ ලේකම් සහ තහනමින් පසු ජනතා සටන් පෙරමුණේ නායකයෙකු වූ ඔහු ජනවාර්ගික ගැටලුව පිළිබඳව 1988දී සරසවි කිහිපයක සිංහල බසින් දේශන පැවැත්විය. ජවිපෙ දෙමළ භාෂා අංශයේ ලේකම්වරයාද වූ තංගරාජා වත්තලදී 1990 ජනවාරි 3 අත්අඩංගුවට පත්වීමෙන් පසු කොළඹ ග්‍රෙගරි පාරේ වධකාගාරයක දින 21ක් වධබන්ධනවලට ගොදුරු වීමෙන් පසු ඝාතනයට ලක්විය. තංගරාජා ගේ ඝාතනයෙන් පසු පවුලේ අය වත්තේගමට පැමිණි අතර අවිවාහක සොහොයුරියන් දෙදෙනෙකුට ආර්ථික අපහසුකම් හේතුවෙන් ගෘහ සේවිකාවන් ලෙසද කටයුතු කිරීමට සිදුවිය.   


දිසා ලේකම්වරයෙකු වූ ආරියතිලක උඩුගමසූරිය හෙවත් නෝමන් මානවඩු ඇල්පිටිය අවිත්තාවේදී 1947 අප්‍රේල් 15 උපන්නෙකි. මීගහතැන්න පිරිවෙනින් උසස් අධ්‍යාපනය හැදෑරූ ඔහුට සොයුරු සොහොයුරියන් 8කි. ආරියතිලක 71 අප්‍රේල් කැරැල්ලට ඇල්පිටියෙන් එක් වූ අතර පසුව 1977දී බන්ධනාගාරයෙන් නිදහස් විය. පිලිප් ගුණවර්ධනට හිතවත් ඔහුගේ පියා වූ ජෝර්ජ් ගම්සභා මන්ත්‍රීවරයෙකි. නුවරදී 1989 නොවැම්බර් 09 අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ආරියතිලක උඩුගමසූරිය 1989 නොවැම්බර් 14දී කුණ්ඩසාලේදී ඝාතනයට ලක්විය. කඩවත පදිංචි පද්මා සමඟ අවාහ වී සිටි ආරියතිලක මියයන විට දෙදරු පියෙකි.   


බදුල්ලේ කන්දේගෙදර 1960 ජුලි 17 උපන් කලක් මාතලේ දිසා ලේකම් වශයෙන් සිටි ආනන්ද ඉඩමේගම හෙවත් ධම්මිකද ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකු විය. පේරාදෙණි ඉංජිනේරු පීඨ සිසුවෙකි. දඹුල්ල කුරුණෑගල හංදියේදී 1989 දෙසැම්බර් 25 අත්අඩංගුවට පත්වූ ඉඩමේගම පසුව ඝාතනයට පත්විය. ඔහුගේ සිරුර 1990 ජනවාරි 12 කුරුණෑගල බඩගමුව රක්ෂිතයේදී විනාශකර තිබිණ. දඹුල්ල පල්ලේපොළ උඩපීලේ උපන් කට්ටියගේ ගෙදර ඇල්පේනිස් හෙවත් අරුණ කන්දෙවත්ත ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ උපාධිධාරියකු සහ ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකි. කලක් අධිකරණ ලිපිකරුවෙකු ලෙස සේවය කළේය. අධ්‍යාපනය ලැබූවේ අකුරම්පොළ මහා විද්‍යාලයෙනි. පවුලේ සාමාජිකයින් 6කි. විවාහකය. පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර පීඨයේ ප්‍රථම වසරේ සිසුවෙකු වූ උකුවෙල ජී. කුමාරසිරි ඇළහැර පදිංචිකරුවෙකි.   


සන්නද්ධ දිසා ලේකම්වරයෙකු වූ ගුවන් හමුදා හිටපු නිලධාරි රත්තොට ගම්මඩුවේ නාගුලියද්දේ ආනන්ද පරාක්‍රම බණ්ඩාර හෙවත් රාජා හෙවත් කොටා හිටපු ගුවන් හමුදා නිලධාරියෙකි. ඉන්දීය හමුදා ආක්‍රමණයෙන් පසු ගුවන් හමුදාව අතහැර පූර්ණකාලීනව ජවිපෙට එක්වූ පරාක්‍්‍රම 1965 උපන්නෙකි. විජේවීර ඝාතනයෙන් පසු සමන් පියසිරි විසින් කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි යුධ නායකයා ලෙස පත්කළේ ආනන්ද පරාක්‍රමය. එම දිස්ත්‍රික්කයන්හි දේශපාලන නායකයා වූයේ ගාමිණී ගුණසේකරය. පරාක්‍රම 1990 අවසානයේදී අනුරාධපුර කුලියන්කුලමේදී අත්අඩංගුවට පත්වූ අතර පසුව ඝාතනයට ලක් විය.   


තුසිත මුණිදාසද මාතලේ දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරයෙකි. මාතලේ යටවත්තේ මාතලාපිටිය පාරේ ඉඩම්ගම පදිංචි ඔහු මැටිහක්ක ග්‍රාමයේ කුඹල්ඔළුව ප්‍රදේශයේ උපන්නෙකි. මැටිහක්ක මහා විද්‍යාලයේ සහ මාතලේ විජය විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ තුසිත ලකුණු කිහිපයක අඩුවකින් සරසවියට තේරුණේ නැත. පසුව ජවිපෙ පූර්ණකාලීනයෙකු වූ ඔහුට කැරලි සමයේදී මාතලේ දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා නිලධාරින් 11ක් ඝාතනය කිරීමට සහ ස්ථාන 5කදී ආරක්ෂක අංශ වෙතින් ගිනිඅවි පැහැරගත් බවට චෝදනා එල්ල විණි. එක්දරු පියෙකු වූ තුසිත ඝාතනය කරන ලද්දේ අතුරු හමුදා කණ්ඩායමක් වූ කොළ කොටි විසිනි. ඝාතනයට ලක්වූ ඔහුගේ සිරුර මාතලේ පාලමේ ගැටගසා තිබූ අතර පසුව සුදු ගඟට විසිකර තිබේ. මාතලේ දිස්ත්‍රික් ජවිපෙ සන්නද්ධ බළකාය පසු කලෙක නම් කරන ලද්දේ ඔහුගේ නාමයෙනි.   

 

උකුරවෙලවරාකන්ද වත්තේ කේ.ජී. කමලාවති දෙවන කැරැල්ලේ ඝාතනයට පත්වූ සිය පුත්‍රයන් වන රෝහණ සහ සුසන්තගේ ඡායාරූප අතැතිව.

අතුරුදන්වූ සිය සැමියා පිළිබඳව හඬ නඟන බිරිඳක්  

 


මාතලේ දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප රත්තොට ආසන සංවිධායක බර්ට්‍රම් වෑගොඩපොල සහ මහජන පක්ෂයේ රත්තොට සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. යාලේගම ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නායකයෝ ගණනාවක් කැරලිකරුවන්ගේ ප්‍රහාරවලින් මරුමුවට පත්වූහ. එක්සත් සමාජවාදී පෙරමුණේ පළාත් සභා අපේක්ෂකයෙකුව සිටියදී යාලේගම 1988 මැයි 28 සහ ශ්‍රීලනිප රත්තොට සංවිධායක බර්ට්‍රම් වෑගොඩපොළ ජනපතිවරණයට පෙර දින එනම් 1988 දෙසැම්බර් 18වැනිදා ද එසේ ඝාතනය විය. වෑගොඩපොළ සමඟ වෑගොඩපොළ වලව්වේ පුංචි බණ්ඩා සහ ලෙනී ඇතුළු පවුලේ තිදෙනෙක් සමඟ 5 දෙනෙක් කැරලිකරුවන් විසින් ඝාතනය කර තිබිණි. වෑගොඩපොළ ඝාතනය පිළිබඳව පැවති නඩුවේ සාක්ෂිකරුවෙකු වූ චන්ද්‍රසිරි මොට්ටුවෙල පසුව 1989 අගෝස්තු 30 කයිකාවල මැදවේරගම නිවසේදී පැහැරගෙන ගියද පසුව දිවි බේරා ගැනීමට සමත් විය. වෑගොඩපොළ පවුලේ සාමාජිකයෙකු වූ නිශ්ශංක වෑගොඩපොළ එවකට තෙල්දෙණිය පොලිසියේ ස්ථානාධිපතිවරයා විය.   


පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ බවට චෝදනා ලත් රණසිංහ රන්දූව මුදියන්සේලාගේ අජිත් කුමාර නාවුල පොලිසිය මගින් 1988 අප්‍රේල් 8 වැනි දා නාවුල අකරහැටියදී අත්අඩංගුවට ගනු ලැබීය. ඒ ලග්ගල බෝවතැන්න අසළ කසිප්පුකරුවන් වැටලීමට ගිය අවස්ථාවකදී අනපේක්ෂිතවය. අජිත් කුමාර අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ කසිප්පු ඇල්ලීමට ගිය නාවුල පොලිසියේ පොලිස් කොස්තාපල් විදාන ආරච්චිගේ විමලසිංහගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමකටය. ඒ කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වූයේ උප සේවා කොස්තාපල්වරුන් වූ සෙනෙවිරත්න, ටිකිරි බණ්ඩා සහ ඥානරත්නය. පොලිස් නිලධාරින් දුටු අජිත් කුමාර සිය බිරිඳ සහ දරුවන් සමඟින් පසුබැස ගිය අතර එහිදී අජිත් කුමාර පොලිස් අත්අඩංගුවට පත්විය. පසුව උඩදෙණියේදී මාතලේ යන බස් රථයකට නැඟ පලායෑමට තැත් කරන ලදී. එහිදී උප සේවා කොස්තාපල් සෙනෙවිරත්න විසින් අජිත් කුමාරව අල්ලා ගනු ලැබිණ. පසුව පොලිසියට ගෙන ආ අතර පහරදීමේදී සිය අන්‍යනතාව පිළිගැනීමට අජිත් කුමාරට සිදුවිය. නාවුල පොලිස් පරික්ෂක වික්‍රමරත්න වැටලීම පොලිස් ඔත්තුකරුවෙකු මගින් සිදුකළ බවට සාවද්‍ය තොරතුරු ලබාදී රුපියල් දශ ලක්ෂයක් ලබාගැනීමට තැත් කළේය. එය ව්‍යර්ථකර සත්‍ය හෙළිකිරීමට මාතලේ ප්‍රාදේශීය මාධ්‍යවේදීහු සමත් විය. ඒ පිළිබඳව මාතලේ සහකාර පොලිස් අධිකාරි ගොපල්ලව කරන ලද පරීක්ෂණයේදී අජිත් කුමාර අත්අඩංගුවට පත්වීමේ සත්‍ය කථා පුවත හෙළි විය.   


මාතලේ දිස්ත්‍රික්කයේ කැරලිකරුවන් සහ සැකකරුවන් රඳවා සිටි ස්ථාන අතර තානායම් ගොඩනැගිල්ල, රෙඩ්බානා කඳවුර, විජය විද්‍යාලයේ ගුණසේන ශාලාව, අඹවත්ත මහා විද්‍යාලය, බණ්ඩාරපොළ කඳවුර, මාතල් කිස්තුදේව විදුහල අසළ තිබූ කඳවුර, වරකාවල පෝසිලේන් කම්හල ඉදිරිපිට මත්තව යුද හමුදා කඳවුර, නාඋල අරංගල වී ගබඩාව, කූඹියන්ගොඩ විහාරස්ථානය, ඕවිලිකන්ද යුද හමුදා කඳවුර, අරංගල නාඋල යුද හමුදා කඳවුර, රත්තොට කටාරන්තැන්න බංගලා යුද හමුදා කඳවුර, උකුවෙල යුද හමුදා කඳවුර, උඩුපිහිල්ල යුද හමුදා කඳවුර, හෙට්ටිපොල යුද හමුදා කඳවුර, නාගොල්ල පාරේ කාර්මික පුහුණු විදුහල යන කඳවුරු විය. ඒවායේ රඳවා සිටියදී බොහෝ සැකකරුවෝ සහ කැරලිකරුවෝ වධ බන්ධනවලට ලක්වූහ. 

 
ජවිපෙ මෙහෙයවීම අනුව ආරක්ෂක අංශවල සාමාජිකයින්ට ඉන් 1989 අගෝස්තු 20 පෙර සේවයෙන් ඉල්ලා අස්වන ලෙසට 1989 ජුලි 15 නියෝගයක් පනවන ලදී. ඒ අනුව මාතලේ දිස්ත්‍රික් කැරලිකරුවෝ ආරක්ෂක අංශවල සාමාජිකයින් සහ ඔවුන්ගේ ඥාතීන් 100ක ආසන්න පිරිසක් මාතලේ දිස්ත්‍රික්කය තුළ ඝාතනය කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස දඹුල්ල පාලටුවාවේ එක ගමක 52ක්ද උඩුපිහිල්ලේ අත් පිටුපසට බැඳ තිබූ තරුණයින් 18ක්ද වාරියපොළ වත්ත, අංකුඹුර, වෙලන්ගහ වත්ත වැනි ස්ථානයන්හි ගම්වැසියන් පිරිස් වශයෙන් ඝාතනයට ලක්වූහ.   


කැරලිකරුවන් විසින් මාතලේ පොලිසියේ සේවය කළ මුවන්දෙනිය වැටස්යාය ගමේ පොලිස් නිලධාරිනියක් වූ නන්දනී සේවයෙන් ඉල්ලා අස්නොවීම නිසා ඇයගේ නිවසේදී ඝාතනය කළ අවස්ථාවේදී පසුදා එම නිවසට යන මාර්ගයේ තරුණයින් 28 දෙනෙකු කපා කොටා වෙඩිතබා ඝාතනය කර තිබිණි. තවත් 3 දෙනෙකු එලෙසින්ම උඩවේරගම මකුළතැන් පන්සල ඉදිරිපිටදී ඝාතනය කර තිබිණි. මෙම ඝාතන දෙඅසලම එහි වගකීම කහ බළල්ලූ විසින් භාරගනිමින් පෝස්ටරයක් දමා තිබිණි.   


මෙසේ ඝාතනයකර තිබූ තරුණයින් 28 දෙනා ලොරිවල දමාගෙන ගෙනවිත් තිබුණේ නුවර සහ දඹුල්ල ප්‍රදේශයෙනි. ඔවුහු දඹුල්ලේ පැල්වෙහෙර රජයේ ගොවිපළේ වධකාගාරයේ සහ පල්ලකැලේ කඳවුර අසල ගඟන් එගොඩ සියඹලාගස ඉදිරිපිට වර්තමානයේ හෝටලයක් ඉදිකර ඇති ස්ථානයේ පිහිටා තිබූ වධකාගාරයේ සිටි තරුණයින් පිරිසකි. පසුදින රත්තොට පොලිසියේ සිටි ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක ගේ උපදෙස් පරිදි මුවන්දෙනිය පන්සල අසල මිනී වළක් කපා සාමූහික වශයෙන් 28 දෙනා වළලන ලදී. එම සමූහ මිනීවළ උඩ වර්තමානයේ කඩයක්ද ඉදිකර ඇත. මකුළේතැන්න පන්සල ඉදිරිපිටදී ඝාතනය කර තිබූ තිදෙනා එම ස්ථානයේම මාර්ගයට යාබදව වළලන ලදී.   


වසර 1988 මැද භාගයේ සහ 1990 පෙබරවාරි දක්වා මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, ලග්ගල, උකුවෙල, පල්ලේපොළ, විල්ගමුව, පල්ලේගම, හදුන්ගමුව, නාඋල, පොල්වත්ත, ඕවිලිකන්ද, තැන්න, ගලේවෙල ඇතුළු ප්‍රදේශ ගණනාවක් ජවිපෙ මූල කඳවුරු බවට පත් වී තිබුණ අතර කැරලිකරුවන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම් සිදුවිය. දෛනිකව මෙම කාලය තුළ මාතලේ සහ ඒ අවට ප්‍රදේශවල ප්‍රධාන මහාමාර්ග අයිනේ තරුණයින් ඝාතනය කර තිබීම සුලභ සිදුවීමක් විය. ඒ සඳහා යොදවා තිබූ විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් සිදුකළේ එසේ මහාමාර්ග අයිනේ මළසිරුරු කම්කරුවන් මගින් ට්‍රැක්ටර් රථයක පටවාගෙන මාතලේ රෝහලේ තිබූ මෙම වළට දමා පස්වලින් වැසීමය. මෙය භීෂණ සමය අවසානයේදී සිදුවූවද මෙය එකල අනුව සාමාන්‍ය ක්‍රියාපටිපාටියක් පමණක් සේ දිස්විය. එවකට තිබූ හදිසි නීති රෙගුලාසි යටතේ මරණ පරික්ෂණයකින් තොරව අදාළ අංශවලට දන්වා හඳුනාගත නොහැකි සිරුරු වැළලීමේ හිමිකමද ලැබී තිබිණි.   


ජවිපෙ 2වැනි කැරැල්ල සම්බන්ධයෙන් මෑතකදී මාතලේ කථාබහට ලක්වුණේ 2012 නොවැම්බර් 26 වැනිදාය. ඒ මාතලේ දිසා මහා රෝහලේ බිමේ එක්කෙරවළක ජීව වායු ඒකකයක් සිදුකිරීම සඳහා බැකෝ යන්ත්‍රයකින් කැනීම් කරද්දී ඇටකටු කිහිපයක් මතුවීම නිසාය. බැකෝ රියදුරු යන්ත්‍රය ක්‍රියාවිරහිත කොට රෝහල් බලධාරින්ට දැනුම් දුන්හ. මාතලේ රෝහල ඉදිකර ඇත්තේ 1871දී කැලෑ රොදක් හෙළි පෙහෙළි කිරීමෙනි. මිනිස් ඇටකටු 2012 මතුවූයේ පැරණි රෝහල් ගොඩනැගිල්ලට යාබද රෝහල් භූමියෙහිය.   

 

මාතලේ සමූහ මිනීවළේ පරීක්ෂණ කටයුතු සිදුකරමින්.   

 


මාතලේ මහේස්ත්‍රාත් චතුරිකා සිල්වා ඉදිරියේ වෛද්‍ය අජිත් ජයසේන ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් අඩි 70ක් පමණ දිග අඩි 50ක් පමණ පළල භූමියෙහි ඇටසැකිලි මතුකරගෙන සිතියම්ගත කළහ. මාතලේ රෝහල් මිනීවළ හෑරීමේදී 2012 නොවැම්බර් 28 මිනිස් හිස්කබල් 10ක් ඇටකටු තොගයක් මතුවීමෙන් එය සමූහ මිනීවළක් බව වෛද්‍ය අජිත් ජයසේන තහවුරු කළ අතර අධිකරණයට දැනුම් දුණි. ඒ අනුව ගාල්ල කරාපිටිය මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ යූ.සී. පෙරේරා එම කැණීම්වලට එක්විය. බිත්‍රාන්‍ය මානව විද්‍යා විශේෂඥ ඩිබෝරා මැක්බෑන් ද එයට එක්වූවාය. පුරාවිද්‍යා පරීක්ෂණ මෙහෙයවූයේ පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා ඇතුළු කණ්ඩායමකි. එයට අමතරව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේවද එක්විය.   


සමූහ මිනීවළේ සිදුකළ කැනීම් 2013 පෙබරවාරි 14 අවසන් විය. ඒ අනුව මිනිස් අස්ථි 154ක් හමුවිය. එහි වෙන්ව තිබූ හිස්කබල් ප්‍රමාණය 141කි. ශ්‍රී ලංකාවේ මෙතෙක් හමුවූ විශාලතම සමූහ මිනීවළ වන්නේ මාතලේ රෝහලෙන් මතුවූ මෙම මිනීවළ වේ. ජවිපෙ 2වැනි කැරැල්ලෙන් පසුව මතුවූ සූරියකන්ද, එළියකන්ද, දිවුලපිටිය සමූහ මිනීවළවල් පමණක් නොව යාපනයේ චෙම්මනි වෙතින්ද මෙවැනි පුවත් එයට පෙර අසන්නට ලැබුණද ඒවායේ දක්නට ලැබුණේ මළ සිරුරු කිහිපයක කොටස් පමණි.   


මාතලේ රෝහලෙන් මතුවූ සමූහ මිනීවළ පිළිබඳව ප්‍රථමයෙන් විවිධ මතයන් විය. මෙම සිරුරු කොටස් 1848 කැරලිකරුවන් ගේ බවට, 1915 සිංහල මුස්ලීම් කෝලහාලෙන් මියගිය පිරිසක් බවට, 1947දී මාතලේ පැතුරුණු වසූරිය වසංගතයෙන් දිවි අහිමිවූ පිරිසක් බවට, 1947 මාතලේ අගලවත්ත දියහෙනයක් මගින් බවට, 1971 ඝාතනයට ලක්වූ කැරලිකරුවන්ගේ බවට සහ 1986/1990 ජවිපෙ 2වැනි කැරලි සමයේ ඝාතනයට ලක් වූ අය බවටය.   


සමූහ මිනීවළ තිබූ ස්ථානයෙන් පුරා විද්‍යාඥයින්ට පැරණි බෝතලයක්, ප්ලාස්ටික් කැබැල්ලක්, මුදු, බොත්තම් වැනි දෑ හමුවිය. මිනීවළෙන් හමුවූ ප්ලාස්ටරය බ්‍රිතාන්‍යයේ බර්නිබර්ඩ් සමාගම විසින් 1986 වසරේ නිෂ්පාදනය කරන ලද්දක් බවත් රසායනික ද්‍රව්‍ය තිබූ බෝතලය 1988 වසරේ නිකුත්කළ එකක් වන අතර එය 1989 වසරේ මාතලේ රෝහලේ රසායනික ද්‍රව්‍ය තිබූ බෝතලයක් බවට පරික්ෂණයේදී තහවුරු විය. පුරා විද්‍යාත්මක න්‍යාය ආදේශ කරමින් කාලනිර්ණ සැන්ඩ්විච් ක්‍රමය යටතේ නිර්ණය කිරීමේ ක්‍රම මාතලේ මිනීවළ සම්බන්ධයෙන් යොදාගන්නා ලදී. මෙහිදී කැළණිය සරසවියේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයට අමතරව මාතලේ රෝහලේ වෛද්‍ය අංශය, පේරාදෙණිය සරසවියේ වෛද්‍ය අංශය, පරමාණු බලශක්ති අධිකාරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, පතල් සහ භූවිද්‍යා පරීක්ෂණ අංශයද මේ සම්බන්ධයෙන් විවිධ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කළහ.   
ඒ අනුව සාපේක්ෂ වශයෙන් දෙන කාල නිර්ණයක් වාර්තාවේ සඳහන් කරන ලදී. එය නිරපේක්ෂක කාල නිර්ණ ක්‍රමයක් මගින් විද්‍යාගාරයේ මැන බැලීම සුදුසු යැයිද මහාචාර්ය රාජ් සෝමදේව යෝජනා කළේය. ඔහුගේ පිටු 54කින් යුත් පරික්ෂණ වාර්තාව අනුව මාතලේ දිසා මහා රෝහලේ භූමියේ තිබී හමුවූ සමූහ මිනීවළේ තිබූ මානව අස්ථි 1988/1990 අයත් කාලයට සැලකෙන බව කාල නිර්ණයකර තිබිණි. මාතලේ මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු චතුරිකා ද සිල්වා 2013 මාර්තු 27 මේ බව අධිකරණයේදී හෙළි කළාය. මාතලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් ජයසිංහ මෙම අස්ථි පිළිබදව ගවේෂණාත්මක පර්යේෂණයක් සිදුකර මෙම අස්ථි වධ බන්ධනවලට ලක් වූ මානව අස්ථි බව නිගමනය කොට තිබිණි.   


මේ පිළිබඳව නඩුව පසුව මහේස්ර්‍ත්‍රාත් අධිකරණයේදී 2014 නොවැම්බර් 18 විභාගයට ගත් අවස්ථාවේදී මාතලේ මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු සම්පත් ගමගේ ප්‍රකාශ කළේ ඇමරිකාවේ ෆ්ලොරියා ප්‍රාන්තයේ බීටා ඇනලිටික්ස් පුරාවිද්‍යා කෞතුක රසායනාගාරය විසින් එවන ලද පර්යේෂණ වාර්තා අනුව මාතලේ සමූහ මිනීවළෙන් මතුවූ මානව අස්ථි 1950 වසරට එහා පැරණි අස්ථි බවය. අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් කියා සිටියේ එම කාලනිර්ණ විශ්ලේෂණ වාර්තාව පිළිගත නොහැකි බවය. 

 

  

මෙහි වමේ සිට මාතලේ දිස්ත්‍රික් හමුදා සම්බන්ධීකරණ නිලධාරියකුව සිටි ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ මාතලේ සමූහ මිනීවළ පිළිබඳව ගවේෂණය කළ කැලණි සරසවි පුරාවිද්‍යා පශ්චාත් ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව කැරලිකරුවන්ට එරෙහිව අවි අමෝරාගත් ඇමති ඇලික් අළුවිහාරේ මධ්‍යම පළාත භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොල සහ මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද බාලසූරිය වේ.   

 

මාතලේ දිස්ත්‍රික් ජවිපෙ දේශපාලන ලේකම්වරුන් වශයෙන් සිටි මාතලේ තංගරාජා පෙරියකරිප්පු හෙවත් පී. තංගරාජා, ගිරිඋල්ලේ කමලසිරි ගිරිබාව හෙවත් කමල් හෙවත් සුදු අයියා කට්ටියගේ ගෙදර ඇල්පේනිස් හෙවත් අනුර කන්දවත්ත උකුවෙල ගාමිණි කුමාරසිරිද දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්රයෙකු වූ ගුවන් හමුදාවේ හිටපු නිලධාරි රත්තොට ගම්මඩුවේ නාගුලියද්දේ ආනන්ද පරාක්‍රම බණ්ඩාර හෙවත් රාජා හෙවත් කොටා මෙහි වමේ සිටය.   

 

 


සමූහ මිනීවළ පිළිබදව නඩු විභාගය පැවතෙද්දීම ඒ පිළිබඳව ජනාධිපති කොමිසමක් 2013 අප්‍රේල් මස පත් කෙරිණි. එම තිපුද්ගල ජනාධිපති කොමිසමේ සභාපතිවරයා වශයෙන් විශ්‍රාම ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් පත්කළ අතර සෙසු සාමාජිකයන් වූයේ හිටපු පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික කිතුල්ගොඩ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.බී.කේ. අතපත්තු යන අයයි. ඔවුහු මාතලේ මිනීවළ නිරීක්ෂණය කර අදාළ පුද්ගලයින්ගෙන් සාක්ෂිද මාතලේ දිසා ලේකම් කාර්යාලයේ 2014 පෙබරවාරි 25 සහ 26 යන දිනයන්හිදී සටහන් කර ගත්හ.   


අතුරුදන්වූ අයගේ ඥාතීන්, රාජ්‍ය නිලධාරින්, සිවිල් ක්‍රියාකාරිකයෝ 66 දෙනෙක් එහිදී සාක්ෂි දුන්හ. එහි වාර්තාව 2015 අප්‍රේල් 29 ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් වෙත භාර දෙන ලදී.   


එම ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම නිගමනය කර ඇත්තේ සමූහ මිනීවළෙන් සොයාගත් අස්ථි කොටස් 1988/89 යන වකවානුවේ අතුරුදන්වූවන්ට කිසිදු සම්බන්ධයක් නොමැති බවය. කොමිසම මෙම නිගමනයට පැමිණ ඇත්තේ ඒවා 1950ට පෙර යුගයට අයත් බව නිගමනය කරමින් එක්සත් ජනපදයේ පිහිටි පර්යේෂණායතනයකදී කරන ලද කාලනිර්ණ පර්යේෂණයක වාර්තා මත පදනම් වෙමිනි.   


මාතලේ සමූහ මිනීවළෙන් මතු වූ මානව අස්ථි 1988 සහ 1989 භීෂණ සමයේදී මාතලේ ප්‍රදේශයේ තම ඥාතීන්ගේ මානව අස්ථි බව පවසමින් ඔවුන්ගේ පවුලේ ඥාතීන් විසින් දිවුරුම් පෙත්සම් 86ක් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. ඔවුහු රත්තොට, මාතලේ, දඹුල්ල, උකුවෙල, විල්ගමුව, නාවුල, ලග්ගල, ගලේවෙල සහ පල්දෙණිය පදිංචිකරුවෝය. මේ සඳහා මැදිහත්වූයේ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි.   
ජවිපෙ 2වැනි කැරැල්ල අවසාන භාගය වන 1989 වන විට මධ්‍යම පළාත භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා වූයේ ප්‍රේමදාස උඩුගම්පලය. මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වූයේ මහින්ද බාලසූරියය. මාතලේ යුද්‍ හමුදා සම්බන්ධීකරණ නිලධාරියා වූයේ ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂය. ශ්‍රී ලංකා යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ පළවන අනුඛණ්ඩය ත්‍රිකුණාමලයේ සිට මාතලේට කැඳවන ලද්දේ 1989 මැයි 1 වැනිදාය. එම කණ්ඩායමේ ලුතිනන්වරුන් වශයෙන් ශවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස් සහ සුමේධ පෙරේරා කටයුතු කරන ලදහ. ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය විවෘත කෙරුණේ 1989 ජුලි 25 වැනි දාය. (ජවිපෙ 2 වැනි කැරලි සමය වූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව පිළිබඳ විස්තර දුරකථන 011-5234384 ලබාගත හැකිය)